වෙස්

43 වන කොටස

“දිසෙන්..ත/මුසේ මොනවද මට මේ කළේ…ත/මුසේ තමුසෙගේ ප්‍රමෝෂන් එක වෙනුවෙන් මගේ ආදරේ බිල්ලට ගත්තා.ත/මුසේ මාව රැවට්ටුවා.ත/මුසේ කොහොමද මේ දේවල් කරේ කියනවා..”

සෙහන්සාගේ ඒ වදන් ඔහුගේ හදවතට දැනුණේ උල්වූ පිහිතුඩක් පරිද්දෙනි.ඒ වදන්වලට ඔහුගේ සිත පෑරුණත් ඔහු එය නොපෙන්වා සිටීමට වගබලා ගත්තේය..

“මට සමාවෙන්න මිස් සෙහන්සා..මම මේ ඩ්‍රග්ස් ඩීල් එකේ සුල මුල හොයද්දී මට රතු මහත්තයා ගැන ආරංචි ආවා..රතු මහත්තයා ළමා නිවාසයක් පැත්තේ යනවා එනවා කියලා මට හොයාගන්න පුලුවන් වුනා.ඒ ළමා නිවාසය මිසිස් ජයන්තිගේ ළමා නිවාසය.මෙයාලා මුණගැහෙන්නේ පවා රහසිගත විදිහට..ගනුදෙනු ගැන කතා කරන්නේ මිස්ට රෙජිනෝල්ඩ් බඩු සප්ලයි කරන්නේ මේ සේරම කරන්නේ ළම නිවාසයේ මුණ ගැහුනාම..එහෙමයි මිස්ට රෙජිනෝල්ඩ් තමන්ගේ නම ආරක්ෂා කරන් බළල්ලු ලවා කොස් ඇට බෑවේ..මම මුලින්ම සැක කරේ මේ දේවල් කරන්නේ මිසිස් ජයන්‍ති කියලා මොකද මේ ඩ්‍රග්ස් ඩීල් වලට සම්බන්ධ ලේඩි කෙනෙක් කියලා අපිට නිව්ස් එක හම්බවුන නිසා..මම මිසිස් ජයන්ති ගැන විස්තර හෙව්වා.එතකොට මහත්‍තයායි දුවලා දෙන්නායි ගැන විස්තර මට හොයාගන්න පුළුවන් උනා.මට ආරංචි උනා මිසිස් ජයන්තිට නාහෙට අහන්නැති සෙල්ලක්කාර දුවෙක් ඉන්නවා කියලා..”

ඒ වදන් ඔස්සේ සෙහන්සා ට සියල්ල අවබෝධ වන්නට විය..එසේ නම් ඔහු මෙසේ තමා සොයාගෙන එන්නට ඇත්තේ යම්කිසි සූක්ෂම සැලැස්මට අනුවය..සමහරවිට ඔහු පවුලට ලං වීමට තියෙන උවමනාව නිසාම තමාව පැහැරගෙන බේරා ගන්නට ඇති බව ඇගේ තෙවැනි ඇසට වැටහිණි…එහි සත්‍ය අසත්‍යතාවය තහවරු කර ගැනීමට ඇයට උවමනා විය…

“දැන්නේ… මට සේරම තේරෙන්නේ…එතකොට මේ කිඩ්නැප් එක සේරම තමුන්ගේ ප්ලෑන් එකක්…අපේ පවුලට ලං වෙන්න ත//මුසේ මාව ඉත්තෙක් කරගත්තා…”

දිසෙන් සුසුමක් හෙලා වාතලයට පිටකලේ ඒ සැකය නිවැරදි නිසා..මෙතෙක් දවස් ඇයව රැවටූ හැටි සිහිපත් වෙද්දී ඔහුට ඔහු ගැනම ඇති වූයේ මහත් පසු තැවිල්ලකි.

“ඔව් ඔයා හරි මිස් සෙහන්සා…මම තමයි ඔයාගේ ක්ලබ් එකේ ඩාන්සින් ෆ්ලෝ එකට අර මනුස්සයාව එව්වේ..ඊට පස්සේ ඒ මිනිස්සු ලවා කිඩ්නැප් කෙරෙව්වේ..”

සෙහන්සා මුව ඇඳ කරගත්තේ මෙතෙක් දවස් වීරයෙක් යැයි ඇදහු ඒ පුද්ගලයාගේ මුළාවට අපහාසයට මෙනි…දිවි පරදු කරගනිමින් ඇයව බේරා ගත්තාට ඇය ඔහුට සැළකූ අන්දම සිහිපත් වෙද්දී ඇගේ ළය ගිනි ගන්නට වූයේ ඇය ඔහුට දරුණු ලෙස රැවටීම පිළිබඳව ඇයට ඇය ගැනම ආත්ම අනුකම්පාවක් ඇතිවීමෙනි…

දැන් ඉතින් තමාගේ ආදරය හැමෝගෙම ඉදිරියේ පිළුණු වී ගොසිනි.මේ දේවල් නිවසේ අය ඉදිරියේ පමණක් නොව ඉදිරියේදී මුළු රටටම ප්‍රසිද්ධ පුවතක් වනු ඇත.. එසේ සිතූ ඇයට සියල්ලෝම ඉදිරියේ ඔහු තමාගේ ආදරය හා සෙල්ලම් කරේ ඇයි දැයි අසා දැනගන්නට උවමනා විය..

“අපේ ගෙදරට රිංගා ගෙන අපේ රහස් හොයාගන්න දාපු ප්ලෑන් එක…එතකොට ත/මුසෙගෙ ඔය බොරු ආදරේත් ඒ ප්ලෑන් එකේ කොටසක්…”

“නෑ එහෙම ප්ලෑන් එකක් තිබ්බේ නෑ මිස්…මම ප්ලෑන් කරේ මිස්ගේ employee කෙනෙක් වෙලා මිස්ගෙ ගෙදරට එන්න.ඒක මට ලේසියෙන් කරගන්න පුළුවන් වුණා…”

“තමුන් සීඅයිඩී ඔෆිසර් කෙනෙක් වෙලා ගැහැණු ළමයෙක් ගේ ජීවිතය ආදරය එක්ක කරපු මේ සෙල්ලම කොහෙත්ම අනුමත කරන්න බෑ.”

“මිස් සෙහංසා පොඩ්ඩක් මතක් කරලා බලන්න මිස්ගෙ පස්සේ ආවෙ මම ද මිස් ද කියලා…මම කොයි තරම් මිස්ව මග හැරියද?මිස් මම එපා කියද්දිම මට ලන් උනේ..මම මාව ගොඩක් කන්ට්‍රෝල් කරගන්න උත්සාහ කරා..”

මේ දේවල් රෙජිනෝල්ඩ් ජයන්ති දුලංසා ඇතුළු පිරිස අසා සිටියේ මවිතයෙන් මෙනි..ඒ මොහොතේදීත් රෙජිනෝල්ට සිහිපත් වූයේ ජයන්ති එදා දිසෙන්ව ගෙදර නවතා ගැනීමට දැඩි සේ අකමැති වූ අන්දමය..කාන්තා සිතකට දැනෙන සැකය කවදාවත් වැරදි වන්නේ නැත..එය බොහෝ දුරට කිරි ගහට ඇන්නා සේ නිවැරදි යැයි රෙජිනෝල්ඩ්ට සිතුනි.ජයන්තී එදා කී ලෙසින් ගින්දර හා පුළුන් එකට එක් වී දැවී ගිනි ගත්තා පමණක් නොව සිදුවී ඇත්තේ ඒ ගින්දරින් තමාගේ මුළු පවුලම මුළු ලෝකය ම ගිනි ගෙන අළු බවට පත්වීමයි..

දිසෙන් එදා නිවසට ඇතුළුවූ පලවෙනි දවසේම ගෙදර හුන් සුරතල් බලු පැටියා වූ බෲනෝව මෙල්ල කරගත් හැටියේම ජයන්තී ඔහු ගැන කී සියල්ලම සත්‍ය බවත් එදා ඒවා පිළිගෙන මේ තරුණයා පවුලට ලං කරගෙන නොසිටියානම් අද මේ කිසිවක් සිදු නොවුණු බව සිතුණු රෙජිනෝල්ඩ් පසුතැවෙන්නට විය.

දිසෙන් ගේ ඒ වදන් අසා සෙහන්සාට දැනුණේ
ඇගේ ගත පණ නැති වූ සේය..ඇය අසීරුවෙන් දෙපා වාරු කර ගෙන සිටියේ ඇයගේ සිතේ ශක්තිය ට ම ය..

ඔහු කීවේ ඇත්තකි..ඔහුට මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ ඇයමය..ලොවම නිදනා රාත්‍රියේ ඔහු සොයා ගියේ ඇයමය.ඒ ආදරය ඔහුගෙන් පැතුවේ ඇයමය..ඔහුගේ සුවිසල් පපුතුරේ උණුසුම සෙව්වේ ඇයමය..ඒ මොහොතේ දී ඔහු වැලඳගන්නට සිප ගන්නට ඇත්තේ ඔහුගේ තුරුණු හැඟීම් ඉවසා ගැනීමට නොහැකිව විය යුතුය…ඔහු කෙතෙක් නම් වාරයක් ඔහුට ඇයව විවාහ කර ගැනීමට හැකිවේද යන්න විශ්වාස නැති බව පැවසුවාද?.

ඒ මොහොතේදී ඇය සිතුවේ ඔහු එසේ පවසන්නේ ඔහුගේ දුප්පත්කමත් ඇයගේ පොහොසත් කමත් අතර ඇති පන්ති පරතරය නිසාය. මෙතෙක් දවස් ආදරය කියා රැවටුණේ මිරිඟුවක ට යැයි හිතුනු සෙහන්සා නිහඬවම දුක් වූවාය…

“අපිට මුලින්ම ඕඩර් ඒක ආවේ මිස්ටර් රෙජිනෝල් ජයන්ති එක්ක මිස් සෙහන්සාව ඇරෙස්ට් කරන්න…ඒත් මේ ඔෆිසර් දිසෙන් තමයි මින් සෙහන්සා මේ කිසිදේකට හවුල් නැහැ කියලා පෘෆ් කරල පෙන්නුවේ.මිස් සෙහන්සා දැන් අපේ ඩියුටි එකට බාධා කරන්න එපා..අපි ඔයාගේ අම්මවයි තාත්තවයි ඇරෙස්ට් කරනවා..”

ඒ වදන් අසා දුලන්සාගේත් සෙහන්සාගේත් මුහුණ සුදුමැලි වන්නට වූයේ පියා පමණක් නොව මවත් මෙසේ පොලිස් අත් අඩංගුවට ගැනීමට සූදානම් වූ නිසාය..මවත් පියාත් දෙදෙනාම මෙසේ පොලිස් භාරයට පත් වුවහොත් තමුන් දෙදෙනාට අත්වන ඉරණම කුමක් දැයි දෙදෙනාට සිතාගැනීමට නොහැකි විය…චෝදනා බරපතළ නිසා ඔවුන් දෙදෙනා බේරාගැනීමට නීතියෙන් කිසිම ඉඩකඩක් නැතැයි දෙදෙනාටම සිතිණි..

නොබෝ දවසකින් මේ සියලුම දේපල රාජ්‍යසන්තක වනු ඇත.එවිට දෙදෙනාටම යන එන මං නැතිව පාරට බැසීමට සිදුවෙනු ඇත…ධනය හා දේපල කෙතරම් තාවකාලික දැයි සෙහන්සා කල්පනා කරන්නට වූවාය..

පොලිස් නිලධාරියා ඉන් අනතුරුව තමා අත තිබූ පොලිස් වරෙන්තුව රෙජිනෝල්ඩ්ටත් නිවසේ සියල්ලන්ටම පෙන්වූයේ ඔහු ළඟ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අවසර ඇති බව ඇඟවීමටයි..

හ්ම්…”

රෙජිනෝල්ඩ්ට නිවසින් පිටතට අඩිය තැබීමට පවා නොහැකි සෙයක් දැනුණී..තරුණ දියණියන් දෙදෙනා මෙසේ තනිකර හැර දමා යන්නේ කෙසේදැයි ඔහු කල්පනා කළේ ළය පිරි සොවිනි…උපරිම සැපසම්පත් භුක්තිවිඳි ඔවුන් දෙදෙනාගේ හෙට දවස කෙබඳු වේදැයි සිහිපත් වෙද්දී රෙජිනෝල්ඩ්ට දැනුණේ දරාගත නොහැකි දුකකි .දරුවන්ට සැප සම්පත් දීමට ගොසින් ඔහු මේ ව්‍යාපාරයටත් මුදල් රැස් කිරීමටත් ඇබ්බැහි වූ අන්දම ඔහුට සිහිපත් විය..

තමා පණ මෙන් ආදරය කළ දියණියන් දෙදෙනා මින්මතුවට තමාට වෛර කරනු ඇත.එසේ සිතද්දී පවා රෙජිනෝල්ඩ්ගේ හදවත පුපුරු ගසන්නා සේ ඔහුට දැනුණි..මෙතෙක් දවස් සඟවා තිබූ තම අතීත කතාව දියණියන් දෙදෙනාට පැවසීමට දැන් කාලය එළඹ ඇතැයි සිතුනු රෙජිනෝල්ඩ් එය ඔවුන් දෙදෙනාට පැවසීමට තීරණය කළේය..

“ඉන්ස්පෙක්ටර් මට මගේ දුවලා දෙන්නට කියන්න දෙයක් තියෙනවා මට පොඩි වෙලාවක් දෙන්න….”

“දැන් බෑ අපිට පරක්කු වෙනවා…”

“ඉන්ස්පෙක්ටර් පොඩි වෙලාවක් දෙන්න…මේ දේවල් මගේ දරුවෝ දෙන්න දැනගන්න ඕනේ…”

අවසානයේ ඉන්ස්පෙක්ටර් ඔහුගේ ඉල්ලීමට එකඟ වීමට තීරණය කළේ මානුෂික හැඟීමකින් යුතුවය..

“ඉක්මන් කරන්න අපිට පරක්කු වෙන්න බෑ..”

“ඕකේ තැන්ක් යූ වෙරි මච් ඉන්ස්පෙක්ටර්..”

“රෙජි ඒ දේවල් දරුවෝ දැනගන්න ඕන නෑ…”

ජයන්ති ඊට අකමැත්ත පෑවාත් පලක් වූයේ නැත.රෙජිනෝල්ඩ් තීරණය කළේ ඒ සියල්ලම පවසා තමා ගේ සිත නිදහස් කර ගැනීමටය.

“නැහැ ජයන්ති…මගේ ජීවිතය ගැන දන්නේ ඔයා විතරයි..එයාලටත් අයිතිය තියෙනවා ඒ දේවල් දැනගන්න..”

දුලන්සා ත් සෙහන්සා ත් තුෂ්නිම්භූතව මෙන් ඇස් අයාගෙන බලා සිටියේ පියා මේ කියන්නට සැරසෙන්නේ ඔවුන්ට ඉතා වැදගත් කාරණාවක් යැයි සිතීමෙනි..

“මම ඉපදුනේ කාත්කවුරුත් නැති අසරණයෙක් වගේ..මගේ අම්මා කවුද තාත්ත කවුද කියලා මම අදටවත් දන්නේ නැහැ…මම හැදුනේ වීදි දරුවෙක් වගේ.කාත් කවුරුවත් නැති අසරණ මම මගේ මේ අත්දෙකින් ඕන තරම් මුට්ට කර ගහන්න ඇති..එක දවසක් එක මහත්තයෙක්ගේ පොකට් එකක් පික් පොකට් කාරයෙක් ගැහුවා..

අපි හිටපු බජාර් එකේ පික්පොකට් කාරයෝ ඕනේ තරම් හිටියා..ඒ කට්ටියව මම දැනගෙන හිටියා පික් පොකට් ගහද්දි මම හිටියේ නෑ..ඒත් ඒ මහත්තයා පර්ස් එක හැමතැනම හෙවුවා. ඒ මහත්තයා මට කිව්වා ඒ මහත්තයාගේ පර්ස් එකේ වැදගත් ඩොකියුමන්ට්ස් වගයක් තියෙනවා ඒ ටික හොයන්න උදව් කරන්න කියලා…

මට ඉතිං ඒ මහත්තයා ගැන අනුකම්පා හිතිලා මම පික් පොකට් කාරයන්ගේ තිප්පොලට ගිහින් ඒ පර්ස් එක හොයාගෙන ගෙනත් දුන්නා.ඒ මහත්තයා මට ජොබ් එකක් හොයලා දුන්නා…ඔෆිස් එකක සිකියුරිටි කෙනෙක් විදිහට..ඒ ජොබ් එක කර කර ඉන්නකොට තමා මට ඔයාලගේ අම්මව හම්බ උනේ…”

සෙහන්සාත් දුලන්සාත් මේ සියල්ලම අසා සිටියේ සුරංගනා කථාවක් අසා ගෙන සිටින සුරතල් දැරියන් දෙදෙනෙකු පරිද්දෙනි.
පොලිස් නිලධාරිනුත් දිසෙනුත් මේ සියල්ලටම සාවධානව ඇහුම්කන් දුන්නේ මීයට පිම්බාක් පරිද්දෙන්..මන්දයත් මේ දේවල් රහස් පොලිසියට පවා තවමත් රහසක් වූ දේවල්ය..

“අම්මගෙයි මගෙයි අතර සම්බන්දයක් ඇති වුනා..හරියට ඔයයි දිසෙන් කියන අපේ ගෙදර වැඩ කරපු දුප්පත් සේවකයයි අතර සම්බන්ධයක් ඇති වුණා වගේ…හැබැයි මගේ ආදරේ වංචාවක් වුණේ නෑ..”

රෙජිනෝල්ඩ්ගේ වදන් දිසෙන්ට දැනුනේ ඔහුගේ මුහුණට ගැසූ කම්මුල් පහරක් සේය…ඔහු නිහඬව රෙජිනෝල්ඩ්ට ඇහුම්කන් දුන්නේ ඔවුන්ගේ ආදරයට රෙජිනෝල්ඩ් කැමැත්ත දැක්වූ හේතුව දිසෙන්ට මේ මොහොතේ අවබෝධ වීම නිසාය..

“අපේ ආදරේට ගෙදරින් අකමැති වුණා කියලා ජයන්ති පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ..මම වගේ හි//ඟන්නෙක් දුවව බඳිනවටඅකමැති වෙච්ච ජයන්තිගේ ගෙදර අය අපි දෙන්නට එක එක බලපෑම් කරා..

ඒ දවස් වල ජයන්ති ත් සෙහන්සා වගේම හරිම මුරණ්ඩුයි..මේ සම්බන්ධය නවත්වන්න බැරිවුණ තැන ජයන්තිගේ ගෙදර අය ජයන්තිට ගෙදරින් එළියට බහින්න දුන්නෙ නැහැ..

අපිට මුණ ගැහෙන්න වත් බැරුව අපි කාලයක් දුක් වින්දා..ජයන්තිගේ අක්කගෙ වෙඩින් එක ආවා..එදා දවසේ ජයන්ති ගෙදරින් පැනලා මාව හොයාගෙන මම නැවතිලා හිටපු බෝඩිමට ආවා..

මම ජයන්තට ගෙදර යන්න කියලා කිව්වත් ජයන්ති මම කියන දේ ඇහුවේ නෑ.ජයන්ති මාව කසාද බඳින්න ඕනේ කිව්වා..අපි බැන්දා..ජයන්තිගෙ ගෙදර අය එදා ඉඳලා ජයන්තිව පවුලෙන් අයින් කරා.

අතට පයට වැඩකාරයෝ හිටපු ජයන්තිට මම නිසා දුක් විඳින්න වුනා..කිසිම දවසක බඩගින්නක් ගැන දැනගෙන හිටපු නැති ජයන්තිට මම නිසා වරු ගානක් බඩගින්නේ ඉන්න වුණා…


ඒ දේවල් මට ඉවසගෙන ඉන්න බැරි වුණා…ඔය අතරතුර ජයන්තිට සෙහංසාව ලැබෙන්න ආවා.ජයන්තීත් ලැබෙන්න ඉන්න දරුවාත් දුක්විඳිනවා බලාගෙන ඉන්න බැරිම තැන මට ඉක්මනට සල්ලි කාරයෙක් වෙන්න ඕන වුණා.මම අපේ බජාර් එකේ ඉදලා සල්ලි කාරයෙක් වෙච්ච මගේ යාළුවෙක් හොයාගෙන ගියා.ඒ යාළුවා මට ඉක්මනට සල්ලි හොයාගන්න කියලා දුන්නා..මමත් ඒ යාලුවා එක්ක ඩ්‍ර/ග්ස් බිස්නස් කරන්න පටන් ගත්තා..

ඔහොම තමයි මම වැරදි පාරට ආවේ..අපේ අතමිට සරු වෙන්න ගත්තා..ජයන්ති මේ දේවල් දැනගෙන විරුද්ධ වුණා..ඒත් මම ආයෙමත් හැරෙන්න කැමති වුනේ නෑ..උගත්කමක් නැති මට සල්ලි හොයාගන්න වෙන පාරක් හොයාගන්න බැරි උනා..ජයන්ති මේ බිස්නස් එකෙන් මාව ගලවගන්න කීප වතාවක් උත්සාහ කරා..

ජයන්තිට ඒක කරන්න බැරි වුණා..බැරිම තැන ජයන්ති මාත් එක්ක එයාගේ ගෙදර ගියා.අපිට උදව් කරන්න කියලා..ඒත් එයාලා අපිට උදව් කරන්න කැමති වුණේ නෑ..ජයන්ති පවුලට ලැජ්ජ කරා කියලා අපිව එළවලා දැම්මා…මම ඒ පාරේ ගිහින් සල්ලි කාරයෙක් වුණා..ඒත් මම එතනින් නවතින්න කැමති වුණේ නෑ..

මට ඕනේ වුණේ පිට රටවල් වලින් මේවා ඉම්පෝට් කරලා මට ලොකු ලාභයක් තියාගෙන බෙදාහරින්න. මට ඕන වුණේ මේ දේවල් රහසක් විදියට තියාගන්න..ඒ මගේ දුවලා දෙන්නට මේ දේවල් බලපෑමක් වෙයි කියලා මට හිතුන නිසා.

.ඊට පස්සේ තමා මම මේ toy factory එක පටන් ගත්තේ..මම අම්මට ළමා නිවාසයක් දාලා දුන්නේ එතකොට කවුරුවත් ගැන සැක නොකරන නිසා..charity වැඩකරලා සමාජයෙන් හොඳ නමක් හදා ගත්තා…

අපි මේ හැම දෙයක්ම කරේ හොඳට සැලසුම් සහගතව..කාටවත් අහු වෙන්නේ නැති විදියට.ඒත් අද ඔප්පු වුණා කොයි තරම් සූක්ෂම විදිහට කරත් මේ දේවල් වෙනවා කියලා..”

සෙහංසාත් දුලංසාත් දෙදනා මේ සියල්ල අසා සිටියේ ඉහලට ගත් හුස්ම පහලට යවා ගන්න බැරි විදියට..

සෙහංසා කල්පනා කරන්නට වූයේ වසර ගණනක් ආයතනයේ සේවය කළ ඇයට කිසිදිනෙක හසු නොවුණු දේවල් මේ ගතවුණු වසරක කාලයකදී දිසෙන් සොයාගත්තේ කෙසේදැයි කල්පනා කරමිනි.

.මද වේලාවක් කල්පනා කරන ඇයට සිහිපත් වූයේ මෑතකදී ළමා නිවාසයත් කාර්යාලයටත් කිසිවකු අගුළු කඩා ඇතුළත් වූ ආකාරයයි..එසේ නම් මේ සියල්ල සිදු කරන්නට ඇත්තේ ඔහුමය..

එහෙත් ඇයට එක් වරට සිහිපත් වූයේ ඒ සිදුවීම සිදු වුණු දා රාත්‍රිය තමා දිසෙන් හා ගත කළ අන්දමය..එසේනම් ඔහු එය සිදු කළේ කෙසේද සෙහන්සා එය කල්පනා කරන්නට වූවාය…

“එතකොට අපේ ළමා නිවාසයට ඔෆිස් එකට ෆැක්ට්‍රි එකට කඩන් පැන්නේ ඔයා?.”

සෙහන්සා එසේ අසද්දී දිසෙන්ටත් සිහිපත් වූයේ එදා රාත්‍රිය ඇය ඔහුගේ තුරුලේ නිදා උන් අයුරුය..ඒ ගැන සියල්ලන්ගේ ඉදිරියේ කතා කිරීම නුසුදුසු නිසාම ඔහු වචන තෝරා බේරා ගත්තේ අපහසුවෙන්…

“ඒ මිෂන් එක කරේ මම නෙමෙයි මගේ ගෝලයෙක්.මම එදා හිටියෙත් මේ ගෙදරම තමයි….”

“ඔයාගේ ඒ ගෝලයා අර මහේල නේද?..”

“නැහැ මිස් සෙහන්සා මහේල කියන්නේ ඇත්තටම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්..එයා මේ කිසිම දෙයක් දන්නේ නැහැ.මම වෙස් වලාගෙන ගමෙන් ආපු කෙනෙක් විදියට ජොබ් එකක් හොයද්දි මට මහේලව හම්බ උනේ..මහේල හිතන්නෙත් මම දුප්පත් ගමක දුප්පත් කො//ල්ලෙක් කියලා.මම මෙහේ ආපු මුල් දවස්වල හිතන් හිටියේ මිස් සෙහන්සාත් මේවාට සම්බන්ධයි කියලා.ඒත් කාලයක් යද්දි ඒ සැකය නැති වුණා..ඒත් එදා මිෂන් එක දවසේ තමා මිස් මේ කිසි දෙයකට සම්බන්ධ නෑ කියලා මට ඔප්පු වුණේ…එහෙනම් අපි දැන් යන්නම්…මගේ ඩියුටි එක ඉවරයි…”

දිසෙන් එසේ පවසමින් පොලිස් නිලධාරීන් සමග මවත් පියාත් රැගෙන යන අන්දම සෙහන්සා බලාගෙන හිටියේ දෑස් කඳුලැලි වලින් වැගිරී යද්දී..සෙහංසා තරම් සිත ශක්තිමත් තරුණියක් නොවූ දුලන්සා වුන්නේ ගල් බීත වූ පරිද්දෙනි.සෙහන්සා සොයුරියගේ අතින් අල්ලා ගත්තේ දැන් ඇයව බලා ගැනීමට සිටින්නේ තමන් පමණක් යයි සිතමිනි..

මෙතෙක් දවස් ඔවුන් ජීවත් වූ සුරන්ගනා ලෝකය එක් වරම අතුරුදහන් වී ඇති බව සෙහන්සා ට වැටහුනි ..දැන් ඉතින් ඉදිරියේ ජීවත්වන්නට සිදුවන්නේ තාත්තා වැනි අනාථයින් පරිද්දෙනි..ජීවිතය කුමන දිශාන්තියකට හැරේවි දැයි ඇයට සිතා ගත නොහැකි විය.

සමහර විට මෙතෙක් දවස් මවත් පියාත් කෙරූ පව් වලට ඔවුන් දෙදෙනාට වන්දි ගෙවන්නට සිදු වෙනු ඇත.තමා ළඟ ඉතුරු වී ඇත්තේ උගත් අධ්‍යාපනය පමණි..දැන් තමාගේ පිහිටට තිබෙන්නේ එපමණකි…එහෙත්.තමාගේ උගත්කමට සරිලන රැකියාවක් ඉදිරියේදී ලංකාවෙදි නම් ලබා ගැනීමට නොහැකි වනු ඇත.ඒ පියාගේ අප්‍රකට ව්‍යාපාරය නොබෝ දිනකින් කුප්‍රකට වන නිසාමය..කුමන දෙයක් සිදු වුණත් නැගණිය කෙසේ හෝ රැක බලා ගැනීමට සෙහන්සා අදිටන් කළේ ඇගේ හිස අත ගාන ගමන්ම ය.

සෙහන්සා ත් දුලංසාත් නිවසටම වී සිටියේ පහුගිය සති ගණනාව පුරාම ඔවුන්ගේ පියාත් ආයතනය හා ළමා නිවාසය රටේ ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට පත්වීම නිසා එළිපෙහෙළියට බැසීමට පවා නොහැකි තත්වයක් උදා වීම නිසාය..

සෙහන්සා ඇසුරු කළ මිතුරියන්ගෙන් තවමත් ඇය හා කතා කරන්නේ මිෂ්කා පමණි..අන් සියල්ලෝම දැන් ඇයව මග හරින්නේ උවමනාවෙනි..මිල මුදල් තත්ත්වය ඇතිදා වටවී සිටින පිරිවර මිලමුදල් නැතිදා අතුරුදහන් වන්නේ පැදුරටත් නොකියා යැයි ඇය කල්පනා කරන්නට වූයේ ජීවිතය ගැන හටගත් මහත් කලකිරීමකිනි..

කුළුඳුලේ සිතේ ඇති වුන ඒ ප්‍රේමණීය හැඟීම දැන් ඇගේ සිත හැම විනාඩියේම ලැතැවුල් ඇතිකරයි.ඇය ඔහුව කෙතරම් නම් විශ්වාස කළාද?..ඇගේ සිත තුළ මෙතෙක් කල් ආධිපත්‍යය පතුරුවා සිටි ඒ පෙම්වතා පරමාදර්ශි පෙම්වතෙක් නොව වංචනිකයෙක් යැයි සිතීම පවා ඇයට වේදනාවක් ගෙන දෙන්නට විය..ආදරය කියන්නේ මොනතරම් බොරුවක් දැයි ඇය කල්පනා කරන්නට වූයේ නිහඬවමය.

සාලයේ සෝපාව මත හිඳගෙන සිටින සෙහන්සා එක්වර තිගැස්සී ගියේ නිවස ඉදිරියේ නැවැත්වූ මෝටර් රථයක හඬ ඇසීමෙනි..සෙහන්සා දොර විවර කළේ
කිසිවෙකුගේ හව්හරණක් නැති ඔවුන් බැලීමට මේ පැමිණෙන්නේ කවුදැයි සිතමිනි.

මෝටර් රථයෙන් බැස එන ඒ පුද්ගලයා දෙස සෙහන්සා බලාගෙන සිටියේ පුදුමයෙන් විසල් වූ දෑසිනි..ඔහු තවදුරටත් මෙහි පැමිණෙන්නේ කුමක් සඳහාද?..දැන් තමාට ඔහු සමග කතා කිරීමට දෙයක් ඉතුරු වී තිබේදැයි සෙහන්සා කල්පනා කරන්නට වූයේ මිදුලේ සිට නිවසේ ප්‍රධාන ද්වාරය දෙසට ඇවිදගෙන එන දිසෙන් දෙස බලමිනි…

හමුවෙමු මීළඟ කොටසින්