හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන රුපියල් 800,000ක් ඉක්මවන අධික මුදලක් අඅය කෙරෙන අතර  මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත. ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ගලවා ගැනීම සඳහා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.
 


ඒ අනුව මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව එක් වන්දනාකරුවෙකුට රුපියල් 500,000ක් වන අඩු මුදලකට හිමිවන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.

නව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මේ වසර සඳහා එරටින් 3500 ක කෝටාවක් අපේ රටට ලැබී තිබෙනවා. “පසුගිය රජය සමයේදී පසුගිය වසරේ ශ්‍රී ලංකාවට සවුදි අරාබියෙන් ලැබුණු හජ් වන්දනා කෝටාව 2700 යි.  නමුත් මේ වසරේ හජ් වන්දනාව සඳහා මේවනවිට අපේ කමිටුව වෙත 4600 ක අයැදුම්පත් ලැබී තිබෙනවා. මේ නිසා අපිට 6000 ක් දක්වා වන කෝටාවක් ලබා දෙන ලෙස සවුදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා” යැයිද අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේ
   මක්කම දක්වා යාමට සහ ඒමට අවශ්‍ය වීසා ගාස්තු  ගුවන් ටිකට්පත්, යක්ෂයාට ගල් ගසන ස්ථානය අසල නවාතැන් ගැනීම සඳහා නවාතැන් සහිත කූඩාරමක්, මක්කම ශුද්ධ වූ නගරයට ආසන්නව හෝටලයක නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම්,, ශ්‍රී ලාංකීය ආහාරපාන, වන්දනාමාන කටයුතු සඳහා පුහුණුව ලත් ආගමික මාර්ගෝපදේශ ආදී සියලුම පහසුකම් මෙන්ම  වන්දනාකරුවන්ට අවශ්‍ය ආහාරපාන සැකසීම සඳහා මෙරටින් අරක්කැමියන් ද  මෙම ගමන් පැකේජයට ඇතුළත් වන බව අබ්දුල් සත්තාර් මහතා සඳහන් කළේය.