වෙස්

42 වන කොටස

ඉහළ මාලයේ සිට පහළ මාලයට ඇවිදන් එන සෙහන්සා ට එක්වර ඇසුනේ හොඳින් හුරුපුරුදු කටහඬකි.ඒ කටහඬ ඇසී පුදුමයටත් කලබලයටත් පත්වූ ඇය පහළ මාලයට බැස ගෙන ආවේ දිව එමිනි..

පහළ මාලයේ දොරකඩ ලඟ සිට ගෙන මව හා පියා සමග කතා කරමින් සිටින ඔහු දැක ඇය පිනා ගියේ සතුටිනි…එහෙත් ඔහුගේ රුව සමීපයට දුටු ඇය විස්මයට පත් වූයේ එක් ඇසිල්ලෙනි…

ඒ ඔහු සමඟ පොලිස් නිල ඇඳුමෙන් පැමිණි සිටි අනිත් දෙදෙනා දැකීමෙනි..දිසෙන් ඒ පොලිස් නිලධාරීන් සමග නිල ඇඳුමකින් මෙහි පැමිණියේ කුමක් සඳහා දැයි ඇය කල්පනා කරන්නට වූවාය..

අවට සිටි සියල්ලන්ගේම අවධානය ඇය වෙත යොමු වුණේ සෙහන්සා පිරිස සමීපයට ඉක්මන් ගමනින් දිව එද්දීය.අම්මාත් තාත්තාත් තුෂ්නිම්භූතව මෙන් ඉන්නා අයුරු දැක පුදුමයට පත්වූ සෙහන්සා ඔවුන්ගෙන් ඇසින් ඉඟිකර ඇසුවේ සිදුවෙන්නේ කුමක්ද යනුවෙනි.

සෙහන්සා එක්වරම තිගැස්සී ගියේ මෙතෙක් වෙලා ඇයව නොදුටු විලාසයෙන් සිටි දිසෙන් ඇය වෙත හෙලු බැල්මෙන් ඇයට අමුත්තක් දැනුණු නිසාය..ඔහුව ඇසුරු කළ වසරක කාලයක ඔහු කෙදිනකවත් මෙලෙස ඇය දෙස බලා නොමැති බව ඇයට සිතිණි…

සිතේ පැවැති විමතිය වැඩිකමට ඇයට ඔහු හා සිනහ වෙන්නට පවා අමතක විය…

“මිස්ටර් රෙජිනෝල් එහෙනම් ම්ස්ටර් දන්නවනේ තමුන්ට විරුද්ධව තියෙන සාක්ෂි ගොඩක් බලවත් කියලා.එන්න අපි එක්ක පොලිසියට යන්න..”

දිසෙන් සමග සිටි පොලිස් නිලධාරියා එසේ කියද්දී සෙහන්සා ට ඒ වදන් විශ්වාස කරගත නොහැකිව ඇගේ දෑස් විසල් විය..

ඇය මොහොතක් කල්පනා කලේ මේ දකින්නේ සිහිනයක් දැයි යනුවෙනි..

ඇය දෑස් පිස දමා නැවත විවර කළේ එය තහවුරු කර ගැනීමට මෙනි..නැත-මෙය සිහිනයක් නොවේ..

මේ සිදු වන්නේ කුමක්ද?..මේ පොලිස් නිලධාරීන් පියාව අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ ඇයි?…

නිකරුනේ පියාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී දිසෙන් මෙසේ නිහඬව සිටින්නේ ඇයි?….ඇය එසේ මොහොතක් කල්පනා කළාය..

“දිසෙන් මෙතන මොකක්ද මේ සිද්ධ වෙන්නේ?..ඇයි මේ කට්ටිය මගේ තාත්තව ඇරෙස්ට් කරන්න හදන්නේ?..ඇයි ඔයා මේ දේවල් බලාගෙන ඉන්නේ…?”

සෙහන්සා එසේ විමසද්දී සියල්ලෝම එකිනෙකාගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලුවේ ඇයව තව තවත් පුදුමයට පත්කරමිනි..

මෙතෙක් වෙලා නිහඬව සිටි දිසෙන් ඔහුගේ හඬ අවදි කළේ තවදුරටත් නිහඬව සිටීම නොකටයුතු දෙයක් යනුවෙන් ඔහුට හැඟුණු නිසාය…

“අයැම් සොරි මිස් සෙහන්සා…මට මිස්ටර් රෙජිනෝල් වෙනුවෙන් මොකුත් කරන්න විදිහක් නෑ..”

ඔහුගේ වදන් සෙහන්සා තව තවත් මවිතයට පත් කළේ දිසෙන් මෙසේ ඇය හා කතා කළේ නන්නාදුන්නෙක් පරිද්දෙන් නිසාය..

“මොකක්ද දිසෙන් මෙතන වෙන්නේ?ඇයි ඔය අමුතු විදිහට ඇක්ට් කරන්නේ..?.”

ඇගේ ඒ වදන් ඔහුගේ මුලු හදවතම සසල කරන්නට විය..මෙතෙක් දවස් තමා සිදු සිදුකළේ රඟපෑමක් යැයි ඇයට පවසන්නේ කෙසේදැයි ඔහු මොහොතක් කල්පනා කරන්නට විය..ඇයට එය දරා ගැනීමට හැකි වේදැයි නොහැකි වේ දැයි කල්පනා කිරීමෙන් ම ඔහුගේ හිස තෝන්තු වන්නට විය….

එහෙත් තවදුරටත් මෙය ඇගෙන් වසන් කිරීම පලක් රහිත දෙයක් බව ඔහුට අවබෝධ විය..ඔහු අපහසුවෙන් සිත ගලක් කරගෙන කලිසම් සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය ඉවතට ගත්තේ එක් සැණෙකිනි.

පසුම්බිය විවර කළ ඔහු එතුලින් ඉවතට ගත්තේ ඔහුගේ රාජකාරී හැඳුනුම්පතයි..ඔහු එය සෙහන්සා වෙත දිගුකර පෑවාය…

“මේ මොකක්ද මේ?.මට මේ කිසි දෙයක් තේරෙන්නෑ…”

“මිස් සෙහන්සා මේ මගේ අයිඩින්ටි කාඩ් එක…මේක බැලුවම ඔයාට මේ සේරම තේරේවී…”

ඔහු මේ පවසන වදනුත් ඔහුගේ ක්‍රියා කලාපයත් ඇයට දැනුණේ අපබ්‍රන්සයක් මෙනි..කෙසේ නමුත් සිදු වන්නට යන්නේ නොසිදුවිය යුතු දෙයක් යැයි ඇයට සිතිණි.ඇය ඔහු දිගු කළ රාජකාරී හැඳුනුම්පත සිය අතට ගත්තේ වෙව්ලන දෑතිනි..

ඒ රාජකාරි හැඳුනුම්පත දැක ඇගේ දෑස් විසල් වෙන්නට වැඩිවේලාවක් ගියේ නැත..
මෙය සිදුවන්නේ සිදු වන්නේ කෙසේද ? දෑස් අදහාගත නොහැකිව ඔහුගේ හැඳුනුම්පත දෙස ඇය මොහොතක් බලා සිටියා ය..

එය ශ්‍රී ලංකා රහස් පොලීසියෙන් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතකි. ඔහුගේ නම දිසෙන් ගම්ලත් අමරවංශ ලෙසින් එහි සටහන් වී තිබුනි.ඔහුගේ රැකියාව වශයෙන් ඒ සඳහන් වී තිබුණේ සී.අයි.ඩී ඔෆිසර් ලෙසිනි…

සෙහන්සා ට එක්වරම සිතුනේ මේ හැදුනුම්පතත් මේ නිල ඇඳුමත් ඔහුගේ විහිළුවක් ලෙසිනි.ඔහු රහස් පොලිසියේ සේවයේ නියුතු රහස් පරීක්ෂක වරයෙක් නම් හමුවුනු අවදියේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළේ කෙසේදැයි ඇය නැවතත් කල්පනා කරන්නට වූවාය ..අනිවාර්යෙන් මෙය නම් ඔහුගේ විහිළුවක් යැයි සිතා ඈ සිනා සෙන්නට විය…

“මෝ//ඩයා…මාව බය කළා..කොහෙන්ද මේ බොරු අයඩින්ටි කාඩ් එක..ඔයා නම් නියමයි ඇක්‍ට් කරන්න..”

සෙහන්සා එසේ තවමත් ඔහුව විශ්වාස කරද්දී ඔහුගේ ළය ගිනි ගන්නා සේ ඔහුට මොහොතකට දැනුණි..රාජකාරී කටයුත්තක් නිසා වුවද ඔහු මේ කරගත්තේ විශාල පාපයක් යැයි ඔහුට සිතිණි.ඔහුගේ මුහුණ සුදුමැලි වෙන්නට වැඩි වේලාවක් ගියේ නැත..

“මිස් සෙහන්සා..මේ සී.අයි.ඩී නාකොටික් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න හොඳම බුලට් එක..මේ සී.අයි.ඩී ඔෆිසර් ගම්ලත්…”

“මොනවද තාත්ති මේ inspector කියන්නේ?..දිසෙන් කොහොමද සීඅයිඩී ඔෆිසර් කෙනෙක් වෙන්නේ…එය අපිට හමු මුණ ගැහෙනකොට ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්..දිසෙන් කියන්නේ මගේ bodyguard..මගේ පර්සනල් ඇසිස්ටන්ට්…මේ දේවල් වෙන්න විදිහක් නෑ…”

රෙජිනෝල්ඩ්ගේ දෑතේ එල්ලී සෙහන්සා එසේ පවසද්දී රෙජිනෝල්ඩ්ගේ පමණක් නොව ජයන්තීගේ ද හදවත ඇවිළී යන්නට වූයේ මේ සිදුවෙන දේවල් කෙසේ නම් සෙහන්සා විඳ දරා ගන්නේ දැයි කල්පනා කරමිනි..ඉහළ මාලයේ සිට පහළ මාලයට දුලාන්සා බැස ගෙන ආවේ ඒ සමගය.

“ඇයි මේ පොලිසියෙන්…මොකක්ද තාත්ති මෙතන වෙන්නේ…”

රෙජිනෝල්ඩ් දියණියන් දෙදෙනාගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලුවේ ඒ මුහුණු අභියස ඔහු බෙහෙවින් අසරණ වූ නිසාය…මේ සැබැවින් සිදුවන්නක්ද සිහිනයක් දැයි රෙජිනෝල්ඩ්ද එසේ සිතන්නට විය..මෙය සිහිනයක් ම වේවා යැයි රෙජිනෝල්ඩ් සිතුවේ මේ සැබෑවක් නම් තමා අසීරුවෙන් තනාගත් ලෝකයම වැඩිවෙලාවක් යන්නට කලින් සුනු විසුනු වන බව ඔහු දැන සිටි නිසාය…

“මිස් අපි ආවේ මිස්ටර් රෙජිනෝල්ඩ් ව ඇරෙස්ට් කරන්න…”

“ඒ මොකටද ඒ inspector?..”

දුලන්සා එසේ ඇසුවේ මේ කිසිවක් ඇයටද වටහා ගැනීමට හෝ අදහා ගැනීමට නොහැකි වූ නිසාය..

“ඔයාලගේ තාත්තට විරුද්ධව තියෙන චෝදනාව නීති විරෝධී ලෙස මත්//ද්‍රව්‍ය ලංකාවට ගෙන්වීමත් බෙදාහැරීමත්..මේක පොඩි පහේ චෝදනාවක් නෙමෙයි..”

සෙහන්සාත් දුලන්සාත් දෑස් අයාගෙන පොලිස් නිලධාරීන් දෙස බලාගෙන සිටියේ මෙය කිසිසේත්ම පදනම් විරහිත චෝදනාවක් යැයි සිතමිනි…තවදුරටත් මේ අභූත චෝදනා ඉවසා දරා ගැනීමට අපහසු වූ සෙහන්සා පොලිස් නිලධාරින් සියල්ලන්ගේම මැද්දෙන් දුවගෙන ආවේ දිසෙන් වෙතටය.

“මේ මොකක්ද මෙතන වෙන්නේ.මට මේ කිසි දෙයක් තේරෙන්නෑ..අනේ මගේ ඔලුව කැක්කුමයි දිෂ්…”

සෙහංසා ඔහුගේ තුරුළට ගොස් ඒ හැඩිදැඩි පපුවේ මුහුණ තබාගෙන හඬන්නට වූයේ අවට සිටි සියල්ලෝම මොහොතකට සසල කරමිණි.

ඒ කඳුළුවලින් ඔහු ඇඳ සිටි නිල ඇඳුමේ කමිසයේ පපු පෙදෙස තෙමද්දී ඔහුට දැනුනේ ඔහුගේ හදවත දෙකඩ වීමට තරම් විසල් දුකකි…

පියාගේ වැරදි නිසා ඇයගේ හදවත සමඟ මේ කරන ලද්දේ ඉතා භයානක සෙල්ලමක් යැයි සිතා ඔහු දහස්වාරයක් සිතින් තැවෙන්නට විය…

ඇගේ කඳුළු පිස දමා ඇගේ හිස අතින් අතගා ඇය සැනසීමට ඔහුට සිතුනත් ඇඳ සිටි නිල ඇඳුම එයට බාධාවක් නිය්ට්සා ඔහු ඉවසා දරාගෙන ගහක් ගලක් මෙන් සිටියේ අපහසුවෙනි…

“මිස් සෙහන්සා එහාට යන්න…මට මගේ රාජකාරියට බාධ කරන්න එපා…ඔයාට පේනවා නේද මේ යුනිෆෝම් එක..මේ inspector කියපු දේවල් සේරම ඇත්ත…ඔයාගේ තාත්තා ඔය සේරම ජාවාරම් කරන්නේ පාතාලයේ ඉන්න රතු මහත්තයා දම්මලා..”

“ඔය කියන්නේ බොරු…අපේ තාත්තා මොකටද ඒ වගේ වැඩ කරන්නේ…අපිට ඕන තරම් සල්ලි තියෙනවා…තාත්තගේ ටෝයිස් ෆැක්ට්‍රියෙන් අපිට කොච්චර ප්‍රොප්ස්ට් තියෙනවද?ඔයා බොරු චෝදනා කරන්න එපා..”

දුලංසා දිසෙන්ට බැන වැදුණේ ඇය ගේ දබර ඇඟිල්ල ඔහු වෙත දිගුකරමිනි…

සෙහන්සාට ඇමැතුමක් ආවේ ඒ සමගිනි..ඒ අමතන්නේ කාර්යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා බව හදුනා ගත් ඈ එම ඇමතුමට පිළිතුරු දුන්නේ ඔහුගෙන් ඈත්වී පසෙකට ගොසිනි..

“හලෝ…”

“ඔව් කියන්න මිස්ට දුනුවිල”

“මැඩම් පොලිසියෙන් ඇවිත් ඔෆිස් එකයි
ෆැක්ට්‍රි එකයි දෙකම සීල් තිබ්බා..අපිට මෙතනින් යන්න කියනවා මිස්…”

“එහෙම කොහොමද කරන්නේ…පොඩ්ඩක් ඔයා ඉන්න මිස්ටර් දුනුවිල මම ඔයාට කෝල් එකක් ගන්නම්..”

සෙහන්සා ඇමතුම විසන්ධි කරේ මේ සිදුවන්නේ කුමක් දැයි කල්පනා කරමිනි..

“මට ෆැක්ටියෙන්
කතා කරා..ඔයාලා අපේ ෆැක්ට්‍රි එකත් සීල් තියලා..මොකක්ද මෙතන මේ වෙන්නේ…තාත්තේ ඇයි ඔයා මෙහෙම සද්ද නොකර ඉන්නේ…මට පේන්නේ මේ සේරම තාත්තාගේ තරහකාරයන්ගේ වැඩ…කතා කරන්න තාත්තේ…සද්ද නැතුව හිටියොත් තාත්තගේ පිටින් මේ සේරම වැරදි යයි.”

සෙහන්සා ගේ වදන් අසා රෙජිනෝල්ඩ් කතා කරන්නට පටන් ගත්තේ ඔහු මොන දේ ඉවසා සිටි‍යත් සිය දියණියන් දෙදෙනාගේ දුක ඔහුට කිසි ලෙසකින්වත් දරා ගැනීමට නොහැකි නිසාමය..

“inspector මට මගේ දුවලා එක්ක personally කතා කරන්න ඕනේ…”

” personally කතා බෑ..කතා කරන දෙයක් අපි ඉස්සරහා..දැන් අපෙන් හංගන්න දෙයක් නෑ….අපි මේ හැම දෙයක්ම හොයාගෙන ඉන්නේ…”

රෙජිනෝල්ඩ් මොහොතක් කල්පනා කරන්නට වූයේ ය..දැන් ඉතින් මේ දේවල් මුළු ලෝකය ඉදිරියේ ප්‍රසිද්ධ වෙද්දී තවදුරටත් මේවාව් තම දියණියන් දෙදෙනාගෙන් සඟවාගෙන සිටීම ඵල රහිත දෙයක් බව ඔහුට වැටහිණි…

දියණියන් දෙදෙනාගේ අනාගතය සුඛිත මුදිත කරන්නට ගොස් අවසානයේදී තමා විසින්ම ඔවුන් දෙදෙනාගේ අනාගතය විනාශ කර දැමූ බව ඔහුටම වැටෙහිනි..දැන් ඉතින් සිදු කිරීමට දෙයක් නොමැත…ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවාගත නොහැකි බව ඔහුට වැටහුනේ බොහෝ ප්‍රමාද වය..

“මගේ දුවලා දෙන්නා පුළුවන් නම් තාත්තට සමාව දෙන්න..මම මේ හැමදෙයක්ම කළේ ඔය දෙන්නා වෙනුවෙන්…මට ඔයාලා දෙන්නා දුක් විදිනවා බලන් ඉන්න බැරි වුණා..”

පියාගේ ඒවදන් අසා දුලංසාටත් සෙහන්සා ටත් දැනුණේ එක්වරම ඔවුන්ගේ ලෝකයේ ලෝකය උඩු යටිකුරු වූ බවය..එසේ නම් මේ චෝදනා පදනම් විරහිත වූ ඒවා නොවේ..මෙතෙක් දවස් රනින් සැරසී සුවසේ සැප වින්දේ අනන්ත අසරණ මිනිස් ජීවිත බිලිගනිමින් කරන ලද ජාවාරමකින් යැයි අවබෝධ කරගත් ඔවුන් දෙදෙනා නිහඬව කල්පනා කරන්නට වූයේ මින් ඉදිරියට සිය ජීවිත කුමන දිශානතියකට හැර වේවි දැයි සිතමිනි.

“කියන්නේ මෙච්චර දවස් අපි ජීවත් වුණේ ඔය ජ/රා සල්ලි වලින් ද?…අපිට අපි ගැනම පිලිකුල්…තාත්තට සල්ලි තිබුනේ නැත්තං කුලී වැඩක් කරලා හරි අපිට කන්න බොන්න දෙන්න තිබ්බා…එහෙම වේලක් කාලා ජීවත් වුණත් මීට වඩා නම්බුයි තාත්තේ…”

සෙහන්සා ගේ ඒ වදන් එක එල්ලේ පතිත වූයේ ‍රෙජිනෝල්ඩ් ගේත් ජයන්තිගෙත් ඇතුළු හදටමය..

“ඔය මිස් කිව්වා හරි..ඔයාල දන්නවද ඔයාලගේ තාත්තට කොච්චර සූක්ෂ්ම මොළයක් තියෙනවද කියලා…තාත්තා පිටරට ඉඳන් ඩ්‍ර//ග්ස් ගේන්නේ කොහොමද දන්නවාද?.ඔයාලගේ තාත්තා රට ඉඳන් ඉම්පෝට් කරන toys වල අස්සෙ හන්ගලා…මේ බලන්න අපේ වැටලීම්වලින් අපි හොයාගත්ත දේවල්…සී අයි ඩී ඔෆිසර් ගම්ලත් ඔයාගේ ෆෝන් එකේ ගැන ඔය විඩීයෝස් පෙන්වන්න..”

සෙහන්සාත් දුලන්සාත් ඉහලට ගත් හුස්ම පහලට ගත නොහැකිව ඒ වීඩියෝ දර්ශන දෙස බලා සිටියේ මවිතයෙනි..ඇය මෙතුවක් කල් ආයතනයේ කළමනාකාරීත්වය හා තාක්ෂණික සේවා පිළිබඳව සොයා බැලුවද ඇය නොදන්නා මොන තරම් රහස් මේ ආයතනයේ සැඟවී තිබුනේදැයි ඇය කල්පනා කරේ පුදුමයෙනි.

“මේ හැම දෙයක්ම කරලා තියෙන්නෙ කාටවත් හොයාගන්න බැරි තරම් සූක්ෂම විදියට..අපේ මේ සී.අයි.ඩී ඔෆිඩර් ගම්ලත් හිටිය නැත්නම් අපිට මේ කිසිම දෙයක් හොයාගන්න බැරි වෙනවා..අපිට මේ හැම දෙයක්ම a to z හොයලා දුන්නේ මෙ ඔෆිසර්… මේ ඔෆිසර් හෙටඅනිද්දා ඉඳන් ඇසිස්ටන්ට් හෙඩ් ඔෆ් නාකොටිෆ්…මේ මිෂන් එක හින්දම තමයි මේ promotion එක ලැබෙන්නේ..”

පොලිස් නිලධාරියාගේ ඒ වදන් අසා මෙතෙක් වෙලා ඇයට සිහිපත් නොවූ දෙයක් සිහි පත්වුණි..එසේනම් දිසෙන් තමාගේ ජීවිතයට ළං වූයේ හුදෙක් ඔහුගේ උසස්වීම තකා පමණි..ඔහු තමාට ඒ දැක්වූයේ බොරු ආදරයක් යැයි ඇයට විශ්වාස කිරීමට නොහැකි තරම්‍ ය.

ඔහුගේ වෘත්තිය ජීවීතය වෙනුවෙන් මේ සා රඟපෑමක් කර රැවටීම සාධාරණ දැයි ඇය කල්පනා කරන්නට වූයේ ඉහවහා ගිය තරහෙනි.හඬන්නට වත් නොහැකි තරමට ඇගේ සිත දුකින් බර වී ගොසිනි..ඇය උන්නේ මේ කිසිදු දෙයක් කිරා ,මැන විනිශ්චය කළ නොහැකි තැනකය…

ඇය කෝපයෙන් වෙව්ලමින් ඔහු දෙස බලා සිටියේ ආදරය කරපු තරමටම දැන් ඒ සිතේ ඔහු ගැන ඇතිවූ වෛරී සහගත බවටය..

“දිසෙන්..ත/මුසේ මොනවද මට මේ කළේ…ත//මුසේ ත//මුසෙගේ ප්‍රමෝෂන් එක වෙනුවෙන් මගේ ආදරේ බිල්ලට ගත්තා.තමුසේ මාව රැවට්ටුවා.තමුසේ කොහොමද මේ දේවල් කරේ කියනවා..”

හමුවෙමු මීළඟ කොටසෙන්b