ඉතින් පුතා ඔයාට තියෙන්නේ ඒ ළමයට ඔයාගේ අදහස කියන්නනේ. මමත් කැමති ඒ දුවට.
අම්ම කියද්දී කිලාන් බැලුවේ තිගැස්සිලා.
මොකද බය වෙලා බලන්නේ. මම ඔයාගේ අම්මා දරුවෝ. අම්ම කෙනෙක්ට තමන්ගේ පුතාව තේරුම් ගන්න බැරි නම් කාටද පුළුවන්?
කොල්ල සුසුමක් හෙළුව. දැන් නම් අම්මත් එක්ක ඔක්කොම විවෘතව කතා කරන්න පුළුවන් මට්ටමක කිලාන් හිටියේ. ඔක්කොම කියල හිත නිදහස් කරගත්තට පස්සේ ඔහුට සැහැල්ලුවක් දැනුන.
වැඩක් නෑ අම්ම. මම එච්චර වාසනාවන්ත නැහැ. එයා මිහින්ගෙ ගර්ල්. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ පිට රට ලු. මිහින් එයාව පන වගේ බලාගන්නවා. මට එයා වගේ කෙනෙක් ලබන්න වාසනාවක් නැහැ. කියද්දී කොල්ලගේ හඬ බිඳුන.
අම්ම කොල්ල දිහා බලන් හිටියේ දුකෙන් වගේම පුදුමෙන්. මේ ඉන්නේ තමන්ගේ පුතාම ද කියල ඇයට හිතුන. ඔහුගේ මේ අසාමාන්‍ය හැසිරීමට හේතුව ඇයට දැන් පැහැදිලිය. කවදාවත් නැතුව වෙලාවට ගෙදර එන්නෙත් කොහේ වත් නොයා ගෙදර රැඳෙන්නේ ත් පාඩම් වැඩ හරියට පිළිවෙලට කරගන්නෙත් මෙහන්සා නිසා කියල ඇයට වැටහුනා. වඩා ම වැදගත් වන පරිදි ඔහු නොසඟවා ඔහුගේ සිතුම් පැතුම් තමන් ඉස්ස්සරහ හෙළි කිරීමත් ඇයට ගොඩක් වටිනවා. වසර ගානකින් නොදුටු ඇයගේ ආදරණිය පුතු ඇයට නැවත ලැබිල වගේ දැනුනේ. ඒ නිසාම ඇයට කෙල්ල ගැන ඇති වුනේ කියා නිම කල නොහැකි තරම් ප්‍රසාදයක්. මේ විස්තර ඇය දැනගන්නත් ඉස්සෙල්ලයි ඇගේ හිතේ කෙල්ල ගැන ප්රස්සදයක් ඇති වුනේ.
සොරි පුතා මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැනේ. දැන් ඉතින් ඒකට පසුතැවිලි වෙලා වැඩක් නැහැ. ඔයාට තියෙන්නේ ඉස්සර වගේ පිස්සු වැඩ නොකර ඉන්න. එතකොට ලස්සන හොද ගර්ල් කෙනෙක් ලැබෙයි. නරකට හිතියාම හම්බවෙන්නෙත් නරක අය.
මම ආයේ කලින් වගේ මෝඩ වැඩ කරන්නේ නෑ එත් මට වෙන හොද ගර්ල්ස්ලා ඕනේ නැහැ අම්මා. කොල්ල යන්න ගියේ එහෙම කියල.
පුංචි කාලේ ඉදන් තමන්ට ඕනේ හැම දෙයක්ම කොහොමහරි ලබාගන්න සමත් කිලාන් මෙහෙම හිතන එක ගැනම සේනානායක මහත්මියට දැනුනේ පුදුමයක්.
ඔය කිව්වට පස්සේ ඕව අමතක වෙලා යයි. ඔය වයසේ හැටිනේ. ඇය හිතුවේ එහෙම.
කොහොම උනත් ඇය එක කරුණක් සම්බන්දයෙන් ගොඩක් සතුටු උනා. ඒ කිලාන් කවදාවත් නැතුව ඇයත් එක්ක විවෘතව කතා කරපු එක ගැන. ඔහු හිටපු විදියට මේ අන්දමින් හෝ තමන්ට සමීප වීම ලොකු දෙයක්. සැමියාද බොහෝ වෙලාවට ලග නැතිව වැඩිමහල් පුතු සමග කිසිදු සම්බන්දතාවයක් නැතුව එකම බලාපොරොත්තුව නෙතුසර පුංචි පුතු පමණක්ම කරගෙන ගෙවූ කාලය නිම වෙලා වගේ ඇයට දැනුනේ. ඒ නිසා ඇය හිටියේ ගොඩක් සතුටින්.
නිදියහනට වන කිලාන් දහවල් අදිශ විසින් ගෙන තිබුණු චායා රුප බලන්න පටන් ගත්ත.
ඇය කෙතරම් රූමත් දැයි ඔහු සිතුවේ සිය දහස් වෙනි වතාවට විය යුතුය. රූමත් කමත් ගුණවත් කමත් නිර්භීතභාවයත් දක්ෂතාවයත් එකට කැටි වූ සංකලනයකි ඇය.
සම්මානයද අතැතිව ඔහුත් අයත් පෙනී සිටි චායාරුපය කොල්ලගේ හිත ගත්ත.
ඔයාව මට ලග තියාගන්න පුළුවන් මේ විදියටම් විතරක් වේවි නේද මෙහන්සා. කොල්ල හිතුවේ චායාරුපය දිහාම බලාගෙන.
අදත් පාඩම් කරන්නද හදන්නේ? මිහින් ඇහුවේ කෙල්ල පොත් පත් ලැස්ති කරනවා දැක්ක හින්ද. මහන්සි නැද්ද නංගි?
මහන්සි තමා. පාඩම් කරන්න නෙමේ මම මේ බැලුවේ අර අපේ පුංචි අම්මගේ අච්චෝ දෙන්නට ගණන් ටිකක් එක්ක නෝට් එකක් හදන්න කියල.
හෙට සෙනසුරාදනෙ උදේට කරගන්න බැරිය ඒක ඕනෙවට වැඩිය මහන්සි වෙන්න එපා.
හරි හරි මට අමතක උනා. අද එහෙනම් ඕනේ නැහැ. මේ ඒක නෙමෙයි බිනු ඔයාව මතක් කරන්න කිව්වා.
ආ…. එයා එක්කද අර කියව කියව හිටියේ?
නැතුව ඉතින් වෙන කවුද මට කෝල් කරන්න ඉන්නේ?
හ්ම්. හ්ම්. මාත් මතක් කරා කියනවා එහෙනම්. අද නම් මාර හොද දවසක්. ඔයාටයි කිලාන්ටයි දෙන්නටම ප්ලේස් තිබුනනේ. මට මාර සතුටුයි ඒ ගැන.
මටත් ගොඩක් සතුටුයි. ඔයාට නම් ඉන්නේ මාර පිස්සු යාළුවො ටිකක්. මට හිනා වෙලාම බද රිදෙනවා බස් එකේ කියපු සින්දු ටික අහන ඉදල
බිතුම් ගැන ද ඔය කියන්නේ? ඌ ට පිස්සු.
ඒක නෙමේ. හෙට ආන්ටි එන්න කිව්වා පාටි එකට. මතකනේ? යනවද?
යන්න වෙනවනේ ඉතින්.
මම නම් පාටි වලට යන්න කැමති නෑ අයිය. ඔයා දන්නවනේ.
මම දන්නවා. එත් ඉතින් ආන්ටිට සතුට සමරන්නත් විදියක් තියෙන්න එපයි. ඔය යකා ඔහොම සම්මානයක් ගත්තු පලවෙනි වතාවනේ. වෙන මිනිස්සු වගේ නෙමෙයි නංගි කිලාන් ගේ අම්මයි තාත්තයි කොච්චර පෝසත් උනත් ප්‍රසිද්ධ උනත් හරි සාමාන්‍ය විදියට ජිවත් වෙන මිනිස්සු. කවදාවත් තමන්ගේ තත්වේ පෙන්නන්න උත්සහ කරන්නේ නැහැ.
මමත් ඒක නම් හිතුව. ආන්ටි නම් හරිම හොදයි වගේ.
ඔව් එක තමයි මේක ඉතින් විශේෂ අවස්තාවක්නේ. ආන්ටිටයි අන්කල්ටයි සතුටු වෙන්න වැඩක් අපේ එකා කරාමනේ ඔය. අනික හෙට උගේ උපන් දිනේ. ඊටත් ආන්ටි ඔයාට විශේෂෙන් එන්න කිව්වනේ.
ඔව් මට මතකයි. යමු ඉතින් නොගිහින් ඉන්නත් බෑනේ. මොනාද අපි එයාට ගෙනියන්නේ?
හෙට උදේට ගිහින් මොනාහරි ගමු. ඔයානේ ඉතින් තෑගී තෝරන්න දන්නේ.
නමුත් කඩේකින් මිලට ගත යමක් ඔහුට දෙන්නට ඇයට අවැසි නොවිණි. මන්ද යත් හිතු හිතු විදියට වියදම් කරන්න මුදල් ඇති ඔහුට එවැනි මිලට ගත තෑග්ගක වටිනාකමක් නැති බව ඇය දනී. ඇයට අවශ්‍ය වුයේ ඔහුට මතකයේ රැදෙන වටිනාකමක් ඇති දෙයක් දෙන්නටය.
ඉතින් මහා රෑ නැගිටලා අඩුම කුඩුම හොයාගෙන ඇය සැරසිල්ලක් ගෙත්තම් කලේ නිදාගන්න එකත් දවසෙම තරගෙට සහභාගී වෙලා දුර ගමනක් ගිහින් ඇවිල්ල ගතට දැනෙන මහන්සියත් අමතක කරලා.
මම දන්නේ නැහැ කඩෙන් ගත්ත දෙයක් ඔයාට දෙන්න හිතෙන්නෙම නැහැ මට. ඔයා මේකට කැමති වෙයිද මන්ද. කෙල්ල සැරසිල්ල හැදුවේ එහෙම හිත හිත.
කිලාන් ගේ නිවසේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් සාදය පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
ඊට සහභාගී වීමට සුදු පැහැති පසුබිමේ රිදී පැහැයට හුරු අළු පැහැති තරු විසිරි තමා වඩාත්ම ප්‍රිය කල සල්වාර් අඩුම තෝරාගත් මෙහන්සා දිගු කොණ්ඩය තනි කරලට ගොතා ඇදුමට සරිලන සේ රිදී පැහැගත් කොන්ද මලකින් අග සැරසුව. ගෙල රැදී සිහින් රන් මාලයත් දෙකන් පෙති සැරසු කරාබු යුවලත් පමණි ඇගේ ආභරණ වුයේ. අවසානයේ ඇය සුදු පති සිහින් පටි සහිත පාවහන් යුගලක් දමා ගත්ත.
නංගි ඔයා ලෑස්තිද? අසමින් ඇගේ කාමරයට ආපු මිහින් මොහොතක් නතර වුනේ කෙල්ලව දැකල.
මොකද ඔහොම බලන්නේ? මම ලැස්ති වෙලා තියෙනවා හොද නැද්ද?
හොද නැහැ නෙමෙයි හොද වැඩි වගේ මට පෙන්නේ.
කෙල්ල තමන්ගේ දිහාම බැලුවේ සැකෙන්.
නෑ නෑ මෝඩි මම කිව්වේ ඔයා ලස්සනයි ගොඩාක් අද. ආන්ටිට අද ගෙදර තියාගන්නම හිතෙයිද මන්ද.
පිස්සු
කිසිදු ආලේපනයක් තවරා නොසිටියද ඇගේ රූමත් බව ට ඉන් කිසිදු හානියක් සිදු වී නොතිබිණි. දෛවය නපුරු රෝගයකින් ඇය වෙහෙස කල ද රූමත් බව නම් නොඅඩුව ලබා දීල තියෙනවා කියල මිහින්ට හිතුන.
ඔයාව පරිස්සම් කරන්න නම් මට මුරකාරයෙක් දාන්න වෙයි වගේ නංගි.
නිකම් මෝඩ කතා කියන්නෙපා අනේ. මගේ තත්වේ මම දන්නවා. කාටවත් බලාපොරොත්තු දීල අසරණ කරවන්නේ නැහැ අයිය මන්. එහෙම කලොත් මට පව් සිද්ද වෙයි. ලබන ආත්මෙවත් සැනසීමක් නැති වෙයි. කෙල්ල කිව්වේ ඇස් වල කදුළු පුරවාගෙන.
මිහින් ඉක්මනට කෙල්ලව තුරුළු කරගත්තේ දුකෙන්.
පිස්සු කෙල්ල මම විහිලුවටනේ කිව්වේ නංගි. හැම දෙයක්ම හොදින් වෙයි. ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න.
දැන් ඉතින් අඬල ඔය ලස්සන මුණ කතා කරගන්නේ නැතුව ඉන්න. පාටියකට යන්නේ ඔහොමද ආහ්
මිහින් ඉතින් දාහක් දේවල් කියල සනසලා තමයි කෙල්ලව පාටියට එක්ක ගියේ.
මොකද කිලාන් දෙකට කැපිච්ච පණුවෙක් වගේ දගලන්නේ? මේ එක තැනකට වෙලා පාඩුවේ ඉදපන්කෝ. බිතුම් කිව්වේ කිලාන් එක තැනකට වෙලා ඉන්නෙම නැති නිසා.
උඹ නම් කියයි මේක මගේ පාටිය උනහම මම එපැයි හැම දේම බලන්න.
අනේ බොරු නොකිය පලයන් බන්. උබ දැන් එහාට මෙහාට ගියා මිසක් මොනවත් කරා යැ. ආන්ටිනේ ඔක්කොම ඔර්ගනයිස් කරලා තියෙන්නේ. මිහින් එනකම්නේ හොර ගල් අහුලන්නේ. සෙනාල් කිව්වේ කොල්ලෝ ටික දිහත් බලල
බම්බුව මම මොකටද ඌ එනකම් බලන් ඉන්නේ?
ආ මට වැරදුන. සොරි සොරි මිහින් නෙමේ මෙහංස එනකම් වෙන්නැති.
එයා එන එකක් නෑ. කිලාන් කියද්දීම
දැන් නම් ගෙදරට ලයිට් නැතත් කමක් නැහැ බන්. ඈතක් බලාගෙන හිටපු දසුන් කිව්ව හින්ද කට්ටියම ඒ පැත්ත බැලුව.
සඳ මිදුලට එනවා……………. බිතුම් ඒ අස්සේ සිංදුවකුත් කියන්න ගත්ත.
ඇත්තද? එහෙනම් ගේට්ටුව වහල ඉබ්බෙක් දාපන්. එතකොට සඳ මිදුලට එන එකක් නැහැ. අදිශ කිව්වේ බිතුම්ට.
කෙල්ලෙක් කියන්නේ අන්න ඒ වගේ එකියෙක්ට තමයි.
මිහින් කොහෙන් හොයාගත්තද මන්ද මේ රෝස මල. මට නම් උගේ තේරීමේ කිසිම ඇදයක් පෙන්නේ නැහැ.
මෙහන්සා වගේ තව 7 ඉන්නවලුනේ. එකෙක් හියාගන්න ඕනේ මට.
කොල්ලෝ මෙහන්සා දිහා බලාගෙන එක එක ඒවා කියනවා. කිලාන්ට නම් වචනත් අමතක වෙලා වගේ.
කිලාන්… උබ මොකද ගල් ගිලපු කිඹුලා වගේ බලන් ඉන්නේ. ගිහින් කතා කරපන් යකෝ. සේනාල් කිව්වේ හුස්ම ගන්නත් අමතක වෙලා වගේ කිලාන් කෙල්ල දිහා බලන් ඉන්නවා දැකල.
එතකොට තමයි කොල්ල පියවි සිහියට ආවේ. මම මිනිත්තුවෙන් එන්නම් මචන්ලා, කියපු කිලාන් ගියා
කෙල්ල හිටපු දිහාට.
කිබුලෝ ගලුත් ගිලිනවද බන් මම හිතන් හිටියේ කිරිමැටි විතරයි කියල. බිතුම් කිව්වේ සෙනාල්ට.
නෑ ඉතින් කිරිමැටි ගිලින කොට ඒකත් එක්ක මික්ස් වෙලා ගලුත් ගිලෙන්න පුළුවන්නේ
මට වෙලාවකට අරූ පව් කියලත් හිතෙනව බං. කිලාන් යන දෙස මොහොතක් බලා සිටි සෙනාල් කී අතර මිතුරෝ ද එය අනුමත කරමින් මොහොතකට නිහඩ උනා.
හපෝ මේ දැන් මල ගෙදර ආව වගේ මූනත්තහඩු ටිඅ එල්ලගෙන ඉන්නැතුව ජොලියෙ ඉදපල්ල. හැමදාම පාටි හම්බෙන්නෙ නෑනෙ. බිතුම් කී හෙයින්කට්ටිය ආපහු විනෝද වෙන්න පටං ගත්තෙ කිලාන් අමතක කරල.
එන්න එන්න මිහින්. මොකද කලින් ඇවිත් නැතුව වගේ බලං ඉන්නෙ. කොහොමද මෙහන්සා?
අනෙ අනේ නවත්තගනිං උබේ සාම්ප්‍රදායික පිලිගැනීමේ ක්‍රමේ. මිහින් කිව්වෙ කිලාන්ව වැලදගෙන. කොහොමහරි කමක් නෑහැපි බර්ත් ඩේ බං පරිස්සම් වෙයන් දහ නමයනෙ නමය නපුරුයි කියනවනෙ.
හැපි බර්ත්ඩේ. ගෙනිච්ච තෑග්ග අතට දීල මෙහන්සත් සුභ පැතුව.
තෑගි මොකටද මෙහන්සා.
බර්ත්ඩේ පාටි එකකට තෑග්ගක් නැතුව එන්න පුලුවන්ද?
ඔයා ආවනෙ ඒ හොදටම ඇති කියන්නට කොල්ලට හිතුන.
ආනේ මිහී. දැන්ද උබ ආවෙ. මං දැක්කෙත් නෑ. මෙහන්සා ආව කියල දැක්ක හින්ද බිනූත් ආව ඔවුන් අතරට.
ඔව් බං ආව විතරයි
මට හරිම සතුටුයි උබ කප් එක ගත්තට
ඕක ඊයෙ කෝල් කර වෙලෙත් කිව්වෙ
ඔයා අනවුන්සින්ග් කරන්නෙ නැද්ද? කිලාන් ඇහුවෙ බිනූගෙන්.
හපෝ නැහැ. මට තේරෙන්නෙ නෑ ඒක ඔන්න ඩිබෙට් එකක් නම් කමක් නෑ තව
අහ් ඔව් ඔව් නිකනුත් කතා කරන්නෙ විවාදයක් වගේනෙ. මෙහන්සා කිව්ව.
අනේ පලයං බං යන්න.
දන්නවද අයිය මේ අපේ ඩිබෙට් කැප්ටන් ඉස්කෝලෙ. අපේ ඉස්කෝල දෙකෙන් ඩිබෙට් එකක් තිබ්බොත් මෙයාගෙන් තමයි ඔයා බේරෙන්න ඕනෙ.
ඔව් ඉතිං අපි නොදන්නවයැ මේ කට ගැන. අපේ නම් අර අතන ඉන්න ගල් භූතය තමා කැප්ටන්. කිලාන් කිව්වෙ දුර හිටපු සෙනාල්ව පෙන්නල.
අපිත් යමු නේද එතෙන්ට. මිහින් කිව්ව.
අම්ම ඔයා එනකම් බලං හිටිය මෙහන්සා. කිලාන් කිව්වෙ ඔවුන් යාලුවො සිටි දෙසට යන්න හදද්දි.
කෝ ආන්ටි කොහෙද ඉන්නෙ?
එහෙනං ඔයා ආන්ටි එක්ක කතා කරල එන්න. මිහින් කිව්වෙ කෙල්ලට. අපි අරහෙන් ඉන්නම්. යමු බිනූ.
මේ මොකද මේ හැමෝම අපි දිහා කන්න වගෙ බලන්නෙ? මෙහන්සා ඇහුවෙ කිලාන්ගේ මව සොයා යන ගමන් හැමෝගෙම විමසිලිවන්ත දෑස ඔවුන් වෙත යොමු වෙල තිබුනු හින්ද.
මගේ පාටියට හද පායල තියෙන්නෙ මොකද කියල වෙන්නැති. කොල්කට කියවුනා.
කෙල්ල රතු උනේ ලැජ්ජාවට.
සොරි මෙහන්සා මම ඒක හිතල කිව්වෙ නෑ. අපෙ කට්ටිය ඔයා එද්දි එහෙම කතාවක් කිය කිය හිටපු නිසා මට කියවුනේ. ඔයා අද හරි ලස්සනයි. ඒකයි හැමෝම බලන්නෙ. කොල්ල ආයෙත් කිව්වෙ හෙමින්.
තෑන්ක්ස්. කෙල්ල මිමිනුව.
ආ.. කිලාන් අපිට අදුන්නල දෙන්නැද්ද මේ සුරංගනාවී ඔවුන් එක් මේසයක් පහු කරගෙන යනකොට එහි හිටපු තරුනයෙක් කිව්ව.
කිලාන්ටත් දැන් හරි ගිහිං වගේනේහ්. තව තරුනයෙක් කිව්වෙ මෙහන්සව උඩ ඉදන් පහලටම නිරීක්ශනයක කරමින්. හැබැයි මං එකක් කියන්න ඕනෙ. උබේ තේරීම නං නියමයි. ආයෙ දෙකක් නෑ.
ඒකා මෙච්චර පිලිවෙල ඇදුමක් ඇදගෙන ඉන්න කෙල්ලව ඇස් වලින් නිරුවත් කරනව දැක්කම කොල්ලට යක්ශය ආවේශ උනා.
ඩිලන් උබට මම කිව්ව කියල හිතා ගනිං.
කොල්ල ඉක්මනට එතනිං ආවෙ කෙල්ලගෙ අතිනුත් ඇදගෙන.
කෙල්ලට තේරුනේ නැහැ ඇයි කිලාන්ට තරහ ගියේ කියල.
ඇයි මේ මොකද උනේ?
පොඩ්ඩක් කටේ ගහගත්තම උන් හිටිතැන් අමතක වෙනව.අම්මටත් පිස්සුනෙ එක එක හාල්පාරුවොන්ට එන්න කියන්නෙ. කිලාන් කිව්වෙ තවමත් නිම නොවිච්ච තරහෙන්.
ගනන් ගන්න එපා. උනේ මොකද්ද කියල තේරුනේ නැතත් කෙල්ල කිව්ව. අද ඔයාගෙ පාටි එක දවසෙ ආපු මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒක එච්චර හොද දෙයක් නෙමෙයි.
කොල්ල බැලුව මෙහන්සා දිහා. ඔයා කොල්ලන්ගෙ හැටි දන්නෙ නෑ මෙහන්සා. පාටිය හින්ද තමයි මම ඉවසුවෙ ආයෙ ඒ වගෙ වැඩක් මගෙ ඉස්සරහ කරොත් නම් මම පාටියද කවුද කින්ද මන්ද කියක බලන්නෙ නෑ.
මම හින්ද ප්‍රශ්න ඇති කරගන්න එපා. ක්ල්ල ටිකක් තදින් කිව්වෙ තවමත් කොල්ලගෙ ග්රහනයට මැදි වෙල තිබුනු සුරත මුදවගෙන.
අම්ම ඇත්තෙ කිචන් එකේ. යමු. ලොකු හුස්මක් අරගෙන සන්සුන් වෙලා කිලාන් කිව්ව.
එක වචනෙකට ඔහු සන්සුන් වූ අයුරු දැක්ක කෙල්ලත් කොල්ලගෙ පස්සෙන් ගියේ පුදුමෙන්.
අනේ දුව මම හිතුවෙ නෑ ඔයා ඒවි කියල. සේනානායක මහත්මිය කෙල්ලව පිලිගත්තෙ සෙනෙහසින්.
මුලුතැන්ගෙයි වැඩ කරමින් හිටි කාන්තාවො කරමින් හිටපු වැඩ නවත්තල ඔවුන් දිහා බැලුව.
ආන්ටි හින්දමයි මම ආවෙ. කෙල්ල කියද්දි කිලාන්ට දුක හිතුන.
එයා ආවෙ අම්ම එන්න කිව්ව හින්දද. කොහොමහරි ආවනෙ ඒ ඇති. කොල්ල හිත හදාගත්තෙ එහෙම හිතල.
එහෙනං ඔයාල ගිහින් හොදට එන්ජෝයි කරන්න. මම මේ වැඩ ටික ඉවර වෙල එන්නම්. ආවට ගොඩක් සතුටුයි දරුවො.
හරි සීදේවි ගෑනු දරුවෙක්නෙ නෝනා. පිටව යන කිලාන් සහ මෙහන්සා දෙස බලමින් එක් කාන්තාවක් කිව්ව.
ඔව් නීලා.
කිලාන් මහත්තයගෙ ගෑනු ලමයද ඒ?
ඒ අර මම කිව්ව තරගෙ දිනපු දරුව. අපේ පුතාගෙ යාලුවෙක්ලු.
කිලාන් මහත්තයට ඒ දැරිවි හොදට ගැලපෙනව නේද නෝනා.
සේනානායක මහත්මිය කලේ සිනාසීම පමනි.