වෙස්

41 වන දිගහැරුම

“ඒත් පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා .”

“කන්ඩිෂන් එකක්….ඒ මොකක්ද ?…”

ඔහු එසේ ඇසුවේ ඔහුගේ සිතේ පැවති කුතුහලය උපරිමයටම ත්‍රීව වෙද්දීය..

“අපි ඉන්න ගේ මගේ නමට ලියලා දෙනවා කිව්වා.මැරි කළා ට පස්සේ අපිට එහෙ නවතින්න කිව්වා..”

ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වූයේ ඒ අසාය..ඇය කුහුලෙන් බලා සිටියේ ඔහු දෙබැමි හකුලුවාගෙන කල්පනා කරන අයුරුය.

ඔහු පුදුමයෙන් කල්පනා කරන්නට වූයේ මෙතුවක් තමාට විරෝධතාවය පෑ ඇගේ දෙමාපියන් එක්වරම මෙසේ කැමත්ත දැක්වීමයි.මෙය කුමක් හෝ කුමන්ත්‍රණයක් දැයි දිසෙන්ට සිතුණේ ඒ කොන්දේසිය ඇසීමත් සමඟය.

ඔහු මුහුණ හකුලුවාගෙන කල්පනා කරන අයුරු දෙස සෙහන්සා විමතියෙන් බලාසිටියේ මෙතරම් සතුටුදායක ආරංචියක් ඔහු ගණනකටවත් නොගැනීම නිසාය..

“ඔයානම් වැඩක් නෑ දිෂ් මම විතරයි ඔයාට ආදරේ කරන්නේ…ඔයා මට ආදරේ නැහැ…වෙන බෝයි කෙනෙක් නම් මේ වගේ නිව්ස් එකක් ඇහුවම කොච්චර සතුටු වෙනවාද ?.ඒකට ඔයා..ඔයා දන්නවාද මම අර ප්‍රපෝසල් එකෙන් ගැලවුණේ කොයිතරම් අමාරුවෙන්ද කියලා ..ඊට පස්සේ වෙන ප්‍රපෝසල්ස් ගේන්න හැදුවා..මම බෑ ඔයාවම ඕනේ කියලා රණඩු කලා.පස්සේ තමයි තාත්තා කැමති වුනේ..තාත්තා හරිම අමාරුවෙන් අම්මිව කැමති කරගත්තේ ….”

ඇය එසේ කීවේ ඔහු වෙත දවා අළු කර හැකි බැලමක් හෙලමිනි.

“නෑ ශේ..මට.සතුටුයි..ඒත් පොල්ලෙන් ගහන්න වගේ එකපාරටම එයාලා කැමති උනා කියලා කිව්වාම පුදුම හිතුනා..අර කොන්දේසිය ගැන අහපු ගමන් නම් හිතට මහ අමුත්තක් දැනුණා ශේ..මට හිතෙන්නේ ඔයාගේ අම්මයි තාත්තයි අපිව රවට්ටන්න හදන්නේ කියලා ..”

“එහෙම එකක් නෑ දිෂ් …එයාලා බොරුවට නෙමෙයි කැමත්ත දුන්නේ.ඇරත් බොරු කියලා රවට්ටන්න පුළුවන් වයසක නෙමෙයි මම ඉන්නේ ..”

“එහෙනම් මොකටද ඔය කොන්දේසිය ?..”

ඔහු එසේ ඇසුවේ කුඩා ජෝග්ගුවකට සිනී හා පිටි එකට දමා හැඳි ගාමිනි…

“අම්මාලාට බයයි අපි මැරි කරලා ගමේ යයි කියලා..එයලාට ඕනේ මාව හැමදාම එයලා ළඟ තියාගන්න..”

“එහෙමත් වෙන්න ඇති ශේ…ඒත් මගේ හිතට අමුත්තක් දැනෙනවා..ඔයාලගේ අම්මයි තාත්තයි මාව රූකඩයක් කර ගන්නවත්ද හදන්නේ කියලා මට හිතෙනවා …”

ඔහු ඇගේ අතට උණුසුම් තේ කෝප්පය තැබුවේ එසේ කියමිනි…

“ඔයා මම ගැන එහෙමද හිතන්නේ..මම ඉන්නකම් එයාලට ඒ වගේ දෙයක් කරන්න තියා හිතන්නවත් අමාරුයි…දිෂ් චොක්ලට් බිස්කට් තියෙනවාද ?..”

දිසෙන් පැන්ට්‍රිය විවෘත කර එතුළ වූ චොකලට් බිස්කට් පැකැට්ටුවක් ගෙන ඇය අත තැබුවේය..

ඇය බිස්කට් පැකැට්ටුව විවරකර එයින් එකක් දිසෙන් ගේ මුව මත තබා තවෙකක් කන්නට වූයේ රස කරමිනි…

ඇය බිස්කට් පැකැට්ටුව රස කරමින් කන ආකාරය දෙස ඔහු බලාගෙන සිටියේ කුඩා දරුවකුගේ සුරතල් ක්‍රියාවක් බලමින් සතුටු වෙන වැඩිහිටියකු පරිද්දෙනි…

“ඔච්චරටම චොක්ලට් බිස්කට් කන්න කැමතිද?..”

“හ්ම්…ඔයා දන්නවනේ මම වැඩිපුරම ආස චොක්ලට් ෆේවර් එකට කියලා..කෝ ඉතිං ඔයා ඉඳල හිටලාවත් මට චොක්ලට් එකක්වත් අරන් දෙනවද?…”

සෙහන්සා එසේ කීවේ උණු උණුවෙන් තේ බොන්නට ගොස් පිලිස්සුණු ඇගේ මුව දිවෙන් තෙත් කර ගනිමිනි.සෙහන්සා තොල් උල්කරගනිමින් මුව දිවෙන් තෙත් කර ගනිමින් උන් ආකාරය දුටු දිසෙන්ට ඇගේ සුරතල් ඉරියව් වලට ලෝභ සිතිණි ..
ඔහු ඇගේ අත තිබූ තේ කෝප්පය පසකින් තබා ඇයව ඔසවා පැන්ට්‍රිය මත හිඳෙව්වූවේ ඇගේ දෑස් විසල් කරමිනි…

“මේ මොකද මේ..එකපාරටම රොමෑන්ටික් වෙලා ..”

ඇය ඇසුවේ සිය මුහුණ දෙස නෙතු නොපියා බලා සිටින ඔහුට ඇස් වලින් ඉඟි කරමිනි .
තවත් ඒ ඉඟිබිඟි ඉවසා දරා සිටිය නොහැකි තැන ඔහු ඇගේ සුදු මුහුණට පහත් වූයේ අසිහියෙන් මෙනි…

ඔහුගේ දෙතොල් ඇයගේ මුහුණ පුරා ගමන් කළේ ඒ චුම්බන වල සුවයට ඇගේ දෙඇස්
හෙමිහිට පියවෙද්දිය..ඇය ඔහු ඇඳ උන් ටී ෂර්ට් එක යටින් අත දැමුවේ ඇගේ අතැඟිලි ඔහුගේ පිට පුරාවට හෙමිහිට නිය රටාවක් අදිමිනි..

ඇගේ සුවඳ,ඒ රතඇඟිලිවල පහස ඔහුව ගෙන ගියේ අමුතුම ලොවකට ය…ගින්දරයි පුළුනුයි එකට එකතු වී ගිනිගන්නට යෑමට ගතවෙන්නේ සුළු මොහොතක් බව ඒ සැනින්ම ඔහුට සිහිපත් විණි.ඔහුව සිරකරගෙන වැළඳගෙන සිටින ඇයගෙන් ඔහු මිදුනේ එසැනින්ය..

සිතුවිලි වලින් මුසපත් වී සිටී ඇයට ඔහුගේ මිදීමත් සමග දැනුනේ අපමණ දුකකි..ඇය මොහොතක් කල්පනා කරන්නට වූවාය..ඇයගේ යෙහෙළියන්ගේ පෙම්වතුන් කිසිවෙකුත් මේ ආකාරයන් නොහැසිරෙන බව ඇය දන්නා දෙයකි..ඔවුන්ගේ ඇත්තේ බොහෝ දුර දිග ගිය සම්බන්ධතාය..ඔවුන් අඹු සැමියන් නොවන්නේ නීතියට පමණි..

අනෙකුත් තරුණයින් තමා පෙම් කරන යුවතිය ඉදිරියේ මද කිපුනු ඇතුන් සේ හැසිරෙද්දි දිසෙන් හැසිරෙන්නේ හැඟීම් වලින් විනිර්මුක්ත වූ තවුසෙකු පරිද්දෙන් යැයි ඇයට සිතුණි…ඔහු එසේ හැසිරෙන්නේ ඔහුට තමා ගැන කිසිම හැඟීමක් නොදැනෙන නිසා යැයි සිතී ඇගේ සිත පෑරිණි…

ඇය ඉකිබිඳිමින් අඬන්නට වූයේ එහෙයිනි..එක්වරම හඬන්නට වූ ඇය දෙස ඔහු බැලුවේ මවිතයෙනි …ඇයට සිදුවූයේ කුමක්දැයි ඔහු කල්පනා කරන්නට වූයේ ඇයගේ හිස අතගාන ගමන්ය..සිය හිස අතගාන ඔහුගේ දෑත් ඇය පසෙකට ගසා දැමුවේ ඉවසාගත නොහැකි තරම් කෝපයෙනි…..

“මොකෝ ශේෂා මේ එක පාරටම…”

ඔහු එසේ ඇසුවේ ඇයව වටහාගත නොහැකිවය..

“ඔයා මට මේ කරන්නේ බොරුවක්….ඔයාට මම ගැන කිසිම හැඟීමක් නෑ..වෙන බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලාට ගර්ල් එක්ක මෙහෙම තනිවෙන්න තනි වෙන්න අවස්ථාවක් ලැබුණොත් හැසිරෙන්නෙ ඔයා වගේ නෙවෙයි…ඔයා මට ආදරේ නෑ…”

ඇය කීවේ කෝපයෙන් රත් පැහැ ගත් ඇගේ දෑස් වලින් ඔහු වෙත රැවුමක් පා කරමිනි..

“ශේෂා මේ බලනවා මගේ ඇස් දෙක..මගේඇස් දෙකේ තමුසෙට ආදරේ පේන්නේ නැද්ද?..ආදරේ කියන්නේ තනි උන වෙලාවට ඇදුම් ගලවලා විසිකරලා කෙ/ල්/ල/ගෙන් ප්‍රයෝජන ගන්න එක ද?..කෙ/ල්/ල/ව ආරක්ෂා කරන එකද?..ඔයාගේ සමාජය ආදරය කියන්නේ ඒක කියලා හිතුවට අපේ සමාජය ආදරය කියන්නනේ ඒකට නෙමෙයි..සෙහන්සා මටත් තමුසෙ වගේ ම නංගි කෙනෙක් ඉන්නවා..මම හැම ගෑණු කෙනෙක්ට ම මගේ අම්මටයි නංගිටයි වගේ ගරු කරනවා..”

ඔහුගේ ඒ වදන් වැදුණේ ඇගේ පපු ගැබටමය..ඔහුගේ ගැඹුරු සිතුවිලි ගැන විශ්මයට පත් ඇය ඔහු දෙස දෑස් අයාගෙන බලා සිටියාය..

“ඒ වුණත් අපි බඳින්න ඉන්නේ.මම ඔයාගේ ෆියුචර් වයිෆ් …අපේ අම්මා කිව්වා ඔයාට ගෙදර අයත් එක්ක කතා කරලා දවසක් දාගෙන එහෙ එන්න කියලා..ඔයා මාව මැරි කරන්න ඉන්නේ ඉතින් මොකක්ද තියෙන වැරැද්ද?..”

“සෙහන්සා….අපේ මේ ජීවිත කොයි වෙලාවේ ඇති වෙයිද නැති වෙයිද කියලා කියන්න බෑ…හදිසියේ හරි මට මොනා හරි දෙයක් වුණොත් ඔයාට වෙන කෙනෙක් ළඟට යන්න පුළුවන් විදියට මම ඔයාව ආරක්ෂා කරන්න ඕනේ…මම නැති වුණු දවසක මම නිසා ඔයාව අසරණ කරන්න මං කැමැති නෑ ..”

ඔහුගේ ඒ වදන් ඇයට අදහා ගැනීමට නොහැකි තරම්ය..ඒ වදන් වලට ඇගේ සිත පෑරීණි…සිතේ මෙතුවක් පැවැති වැරදි වැටහීම් පහ වූ ඇය ඔහුගේ පපුවට හිස තබා හඬන්නට වූයේ ඉකිබිඳිමිනි…

“එහෙම කියන්න එපා..දිෂ්…ඔයාට එහෙම දෙයක් වෙන්නේ නැහැ..ඔයාට එහෙම දෙයක් වුණොත් මම ජීවත් වෙලා වැඩකුත් නෑ…ඔයා හිතනවාද ඔයා නැතුව මම වෙන කෙනෙක්ව මැරි කරයි කියලා..මම මේ කියන එක මතක තියාගන්න..මම කවදහරි දවසක මැරි කරනවා නම් මැරි කරන්නේ ඔයාම විතරයි..ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ..මේ ශේෂා ගැන ඔයා හොඳට දන්නවා…මම කිව්වොත් කිව්වා..ආයේ ඒ වචනේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ..”

ඇයගේ කඳුළු වලට වඩා ඇගේ ඒ වදන් ඔහුගේ ගොරහැඩි පිරිමි පපුව උණුකර වන්නට විය…දරා ගැනීමට නොහැකි තරම් ඇය මෙසේ ආදරේ කිරීමට ඉගෙන ගත්තේ කෙසේදැයි ඔහු පුදුමයෙන් කල්පනා කරමින් ඇගේ හිස ආදරයෙන් සිප ගන්නට විය…

“ඔයා එහෙනම් ඉක්මනටම ගෙදර අය එක්ක අපේ ගෙදර එන්න දිෂ්…තවත් මට මෙහෙම දෙතැනක වෙලා ඉන්න බෑ..මට ඔයාව ඕනේ…අපි ඉක්මනටම මැරි කරමු….”

“අපේ ගෙදර ටෙලිෆොන් නෑනේ ශේ…ඉතින් මට ගෙදර ගිහිල්ලා ම අම්මයි තාත්තයි එක්ක මේ ගැන කතා කරන්න වෙනවා…මම මේ වීක් එන්ඩ් එකේම ගෙදර ගිහින් ඒ ගැන කතා කරගෙන එන්නම් මැණික…”

ඔහු එසේ මුමුනද්දි ඇය සතුටින් විකසිතව හිනැහෙන්නට වූයේ ඔහුගේ අත ගන්නා ඒ මල්වර දවස අත ළඟ එනබව සිහිපත් කරමිනි …

❤❤❤❤❤❤❤❤❤❤

සතිඅන්තයේ ගමේ ගිය දිසෙන් ඇමතුමක් දෙන තුරු සෙහන්සා දෑස් රිදෙන තුරු මග බලා ගෙන සිටියත් ඒ ඇමතුම එන්නට දින ගණන් ප්‍රමාද වෙද්දී ඇය යටි සිතින් කළබල නොවූනාද නොවේ …

ජංගම දුරකථනය ඇය අතින් පසෙකට නොකර අතේම තබා ගත්තේ ඔහුගේ ඇමතුම මග හැරේවියැයි බියෙනි..සෙනසුරාදා ඉරිදා දින දෙකම ගතවූයේ ඒ අයුරිනි….

තැවුලට පත්ව කල්පනා කරමින් සිටින සිය දියණිය දෙස රෙජිනෝල්ඩ් බලාගෙන සිටියේ දුකෙනි..ඔහුට ඕනෑ ම දෙයක් ඉවසා ගත හැකි වුවත් ඇගේ දියණියන් දෙදෙනාගේ වෙනසක් දරාගත නොහැකි තරම්ය.විශේෂයෙන්ම සෙහන්සා ඇගේ ප්‍රියතම දියණියයි…කොයි වෙලාවෙත් සිනහමුසු මුහුණින් දඟකාර විලාශයෙන් සිටිනා ඇය මේ ලෙස ලතැවුලෙන් සිටීම ඔහුට සිටිය නොහැකි තරම් ය..

“ඇයි ශේෂා ඔහොම කල්පනා කරන්නේ…?”

“තාම දිසෙන් ගෙන් කෝල් එකක් නෑ..එයාගේ මොබයිල් එක වැඩ කරන්නෙත් නැහැ..වෙලාවකට කරදරයක් ද කියලා හිතෙනවා තාත්ති…”

“ඒ ළමයට කෝල් ගන්න බැරි නම් මොබයිල් එකේ වැඩ නැතුව ඇති..ඒ ළමයා හෙට එනවා කිව්වනේ…කලබල නොවී ඉන්න..”

පියාගේ වදන් සැබෑවක් යැයි සෙහන්සාටද සිතුනි…තමා කලබල වූයේ නිකරුනේ යැයි සිතා සෙහන්සාට ඇය ගැනම ලැජ්ජා සිතුණේ ඇය කුඩා දෙයටත් කලබල වෙනවා යයි සිතමිනි..

ඇය රාත්‍රී නින්දට ගොසින්ද ඇගේ ජංගම දුරකථනයේ තිබූ ඔහුගේ ඡායාරූපයක් බලන්නට වූයේ ඔහු නැති පාලුව මඟ හරවාගැනීමට මෙනි…ඉන් අනතුරුව ඇගේ දෑසට නිදිමත දැනෙනෙ තුරු ඇය ඔහුගෙන් ලද කෙටි පණිවිඩ එකින් එකට කියවන්නට වූවාය …

❤❤❤❤❤❤❤❤

පසුවදා උදෑසන අවදි වූ ගමන්ම ඇය ඇඟපත දොවා ගත්තේ දිසෙන්ගෙන් තවමත් ඇමතුමක් නොලද නිසා ඔහුගේ නවාතැනට ගොස් ඒමටයි..

ඩෙනිම් කලිසමකුත් සුදු පැහැති ටී ෂර්ට් එකකුත් ඇඳ ගත් ඇය හිස මුදුනට වන්නට කොණ්ඩය බැද විලවුන් තවරා ගත්තේ කලබලයෙනි…

ඉහළ මාලයේ සිට පහළ මාලයට ඇවිදන් එන සෙහන්සා ට එක්වර ඇසුනේ හොඳින් හුරුපුරුදු කටහඬකි.ඒ කටහඬ ඇසී පුදුමයටත් කලබලයටත් පත්වූ ඇය පහළ මාලයට බැස ගෙන ආවේ දිව එමිනි..

පහළ මාලයේ දොරකඩ ලඟ සිට ගෙන මව හා පියා සමග කතා කරමින් සිටින ඔහු දැක ඇය පිනා ගියේ සතුටිනි…එහෙත් ඔහුගේ රුව සමීපයට දුටු ඇය විස්මයට පත් වූයේ එක් ඇසිල්ලෙනි…

හමුවෙමු මීලඟ කොටසින්