40 වන කොටස

“එහෙම නෙමෙයි ජයන්තී මම ඊයේත් මේ ගැන කල්පනා කරා..දිසෙන් අද ඉන්නේ එදා මම හිටපු තැන…ශේෂා අද ඉන්නේ ඔයා හිටපු තැන..ඇයි අපිට බැරි ඔයාගේ පේරන්ට්ස්ලාට වඩා වෙනස් විදිහට හිතන්න..අපේ ළමයාගේ සතුට ගැන හිතන්න…..අපි අපේ ළමයාගේ කැමත්තට ඉඩ දෙමු ජයන්තී …”

රෙජිනෝල්ඩ් ගේ ඒ වදන් අසා ජයන්තී ඔහු දෙස දෑස් විසල් කරගෙන බලාසිටියේ ඔහු මේවගේ දෙයක් කියනු ඇතැයි ඈ කිසි සේත්ම බලාපොරොත්තු නොවූ නිසාය…

“ඔයාට පි/ස්/සු/ද රෙජිනෝල්ඩ් එහෙම උනොත් අපේ ස්ටේටස් එකට මොකක්ද වෙන්නේ…මම ඉන්නකම් තාත්තාට යි දුවටයි පි/ස්/සු නටන්න දෙන්නේ නැහැ..”

ජයන්තී එසේ කීවේ රෙජිනෝල්ඩ් දෙස රැවුමක් පාකර යවමිනි…

“එහෙම නෙමෙයි ජයන්තී මම මේ දුර කල්පනා කරලා කියන්නේ…මට හිතෙනවා දිසෙන් කියන්නේ අපේ දුවට අපේ පවුලට ගැළපෙන කෙනා කියලා …”

රෙජිනෝල්ඩ්ගේ වදන් අසා ජයන්ති පුදුමයෙන් දෑස් විසල් කරගත්තේ එක්වරම සිය සැමියාට කුමක් වූයේදැයි කල්පනා කරමිනි …

“වට් නොන්සන්ස් රෙජී…?ඔයාට මොනවද වෙලා තියෙන්නේ..”

“මට මුකුත් වෙලා නෑ…මම මේ දුර කල්පනා කරලා කියන්නේ…. මට හිතෙනවා වෙන සල්ලි කාරයෙක්ව කසාද බඳිනවට වඩා ශේෂා දිසෙන්ව කසාද බඳින එක හොඳයි කියලා….වෙන කෙනෙක්ව බැන්දානම් ඒ කෙනා එයාගේ බිස්නස් වැඩ කර කර ඉදීවි..

ඒත් ශේෂා දිසෙන්ව කසාද බැන්දොත් දිසෙන් මගෙන් පස්සේ අපේ බිස්නස් වැඩ ටික ගානට රන් කරන් යාවී කියලා මට හිතෙනවා…මටත් හැමදාම මේවට මහන්සි වෙන්න බෑනේ…”

“ඒ කො/ල්/ලා/ට පුළුවන්ද එච්චර දෙයක් කරන්න…මම නම් හිතන්නෑ..”

“නෑ..ඒ කොල්ලා මාර බ්‍රයිට්. හොඳ මොලයක් තියෙනවා..හොඳට ඉගෙන ගත්ත ළමයෙක්…මට හිතෙනවා ඒ ළමයා අපේ බිස්නස් තවත් වැඩිදියුණු කරයි කියලා…”

දිසෙන් ඉක්මනින් යමක් අවබෝධ කරගත හැකි හොඳ නුවණක් ඇති කාර්යශූර තරුණයෙකු බව ජයන්තී ටද සිතුනත් ඇය නිහඬව සිටියේ ඇගේ එක වචනයක් රෙජිනෝල්ඩ්ට අනුබලයක් විය හැකි බැවිනි .

“ජයන්ති අපි ඒ ළමයි දෙන්නට කැමැත්ත දෙමු.ශේෂා කියන්නේ මහා මුරණ්ඩු ගෑනු ළමයෙක්..එයා කවදාවත් කැමති දේ නොලැබීලා පුරුදු කෙනෙක් නෙමෙයි…අපි මේකට අකමැති වුනොත් ඒ ළමයා හිතුවක්කාරකමට අර පිරිමි ළමයව බැඳලා

යාවි කියලා මගෙන් මගේ හිතේ බයක් තියනවා ජයන්තී …”

“ඒවා කොහෙද මාත් එක්ක. ඔය ළමයට ඔහොම උනේ ඔයා නිසා රෙජී… ඔයා ඒ ළමයා ඉල්ලන ඉල්ලන දේ අරන් දීලා නරක් කළා…”

ඒ සමගම රෙජිනෝල්ඩ්ගේ දෑස් ඉදිරියේ

සෙහන්සා ගේ ළමා කාලය මැවී පෙනෙන්නට වූවේය …සැබැවින්ම අතේ තඹ සතයක් නැතිව හිටපු තමා අද මේ වගේ දියුණුවෙන් හිණි පෙත්තටම ගමන් කලේ සෙහන්සාගේ උපතින් පසුව බව ඔහුට මේ මොහොතේත් සිතුණි ..

බිරිඳ ගේ හිතුවක්කාර තීරණ නිසා සිය දියණියගේ සතුට,ජීවිතය විනාශ විය හැකිබව රෙජිනෝල්ඩ්ට සිතුණි ..

“මටනම් හිතෙන්නේ එහෙම වුනොත් අපේ ෆැමිලි එකම විනාශ වෙයි කියලා…මට තව ටිකක් කල්පනා කරන්න ඕනේ…”

“කල්පනා කරලා බලන්න ජයන්තී අපේ කාලෙ නම් දැන් ඉවරයි..මේ අපේ ළමයින්ගේ කාලේ. ඒ ගොල්ලොන්ගේ සතුට ගැන අපි වැඩිපුර හිතන්න ඕනේ… “

ජයන්ති මොහොතක් කල්පනා කරන්නට වුයේ සැමියාගේ වදන් ගැනය.ඔහු පවසනා සියල්ල සැබෑවක් වුවත් ජයන්තිට තවමත්

දිසෙන්ව විශ්වාස කිරීමට අපහසු ය.මේ තරුණයා දුටු පළවෙනි මොහොතේ සිටම සිතේ අවිශ්වාසයක් පැන නැගුනේ ඇයිදැයි ඇයටද තවම සිතා ගත නොහැකිය..

රෙජිනෝල්ඩ් පවසන පරිද්දෙන් මේ තරුණයා සැබෑම දක්ෂයෙක් බවත් ඔහු දුටු පළවෙනි මොහොතේම ජයන්තිට සිතුනේ කිසිවෙකුවත් පහසුවෙන් විශ්වාස නොකරන සිය සැමියා මේ තරුණයාව අසීමිත ලෙස විශ්වාස කරන අන්දම දැකීමෙනි…

සෙහන්සා කුඩා කාලයේ සිටම සමාජශීලී ලෙස හැදී වැඩුණු සෙල්ලක්කාර තරුණියක් වුවත් නිදහස ඇයට කෙතරම් අසීමිත ලෙස ලැබුණත් ඇය මීට පෙර කිසිම තරුණයෙකු හා ප්‍රේම සම්බන්ධයක් නොපවත්වා ඇති බැවින් ඇය මෙසේ මේ තරුණයා ඉල්ලා සිටිමින් මුරණ්ඩු වෙන්නේ ඔහුට ඇති සැබෑ ආදරයට බව ජයන්තිට ඒ මොහොතේ සිතුණි …

ඒ සමඟම මෙතෙක් දවස් ඇයට අමතක වී තිබුණු ඇගේ අතීතය සිහිපත් වෙන්නට පටන් ගත්තේ සැමියාගේ ඒ වදන් ඔස්සේය…

සැමියා කියන්නේ සැබෑවකි…සෙහන්සාට තිබෙන්නේ තමාගේම ගතිගුණය… ඇයද තමා මෙන්ම තම සිතැගි වලට මුල් තැන දෙන හිතුවක්කාරීයෙකි….වසර විසි පහකට පෙර අතීතය අනාගතයේ නැවත ප්‍රතිනිර්මාණය වෙනු ඇතැයි ජයන්තීගේ සිතේ බියපත් සිතුවිල්ලක් ඇති විය…

සැමියා කියූ පරිදි සිය දියණිය මේ තරුණයාට විවාහ පත් කර දීම මීට ඇති එකම විසඳුම බව ජයන්තීට ද ඒ මොහොතේ සිතුණි ..

සමහරවිට රෙජිනෝල්ඩ් කියූ පරිද්දෙන් මේ තරුණයා තම සැමියාගේ ව්‍යාපාර වැඩි දියුණු කර දෙනු ඇත..තමාගේ සිතේ දිසෙන් ගැන තවම විශ්වාසයක් ඇති නොවුණ ද සිය දියණියගේ හා සැමියගේ කීමට එකඟ වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැති බව ජයන්තිටද මේ මොහතේ සිතුනි..

සෙහන්සාද සාලයට පිවිසියේ ඒත් සමගමය ..ඉදිමුණු දෑසින් හා රත් පැහැ ගැන්වූ මුහුණින් සිටි ඇය හුන්නේ කොහේ හෝ යාමට සූදානම්වය….

“ශේෂා කොහේ යන්නද මේ ලෑස්ති වෙන්නේ ..?..”

“මිශ්‍කාගේ ගෙදර යන්න..”

“මේ හදිස්සියේ…”

“මට ගෙදර ඉන්න කම්මැලියි…”

“මම දන්නවා මිශ්කාගේ ගෙදර යනවා කියලා ඔය යන්න හදන්නේ කොහෙද කියලා…අර කො/ල්/ලා මීට් වෙන්න යන්න නේද හදන්නේ…?..”

මවගේ ඒ වදන් වලට සෙහන්සාට කට උත්තර නැති විය..මව මේ තරමට තමාගේ සිත කියවන්නේ කෙසේදැයි ඇය කල්පනා කරන්නට වූවාය.

“නැහැ…”

“බොරු කියන්න එපා ශේෂා.ඔයාට තාත්තගේ කනෙන් රින්ගන්න පුළුවන් උනාට

මේ අම්මගෙ කනෙන් රිංගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා..තාත්ත ඔයාව ඇස් වහගෙන විශ්වාස කරාට මම ඔයාව විශ්වාස කරන්නේ නැහැ..”

සෙහන්සා ඇගේ කාරයේ යතුර ඒ මේ අත පෙරලමින් ඒ දෙස බලමින් කල්පනා කරන්නට වූයේ කෙසේ මේ ගෙදරින් පිටවෙන්නේ දැයි යනුවෙනි..

“රෙජි…ඔයාටයි ඔයාගේ දුවටයි හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න…හැබැයි ඒ තීරණය වැරදුණු දවසට මම නෑ..ඒක ඔය දෙන්නම විසඳගන්න….”

ජයන්තිගේ වදන් අසා රෙජිනෝල්ඩ්ගේ මුව පැහැපත් වූයේ සතුටිනි…

එහෙත් සෙහන්සා කල්පනා කරන්නට වූයේ මව මේ පවසන අපබ්‍රංශය කුමක්දැයි යනුවෙනි..ඇය සිය මවගේත් පියා ගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූවේ මේ කිසිවත් වටහා ගත නොහැකිවය…

“දුව අම්මායි මායි මේ ගැන ගොඩක් කල්පනා කරා…අපි අන්තිමට තීරණය කලා ඔයාගේ කැමැත්තට ඉඩ දෙන්න….”

සිය පියාගේ වදන් සෙහන්සාට එක්වරම අදහාගත නොහැකි තරම්‍ ය.මෙතෙක් දවස් මේ ගැන තදින් විරෝධතාවය පල කල සිය දෙමාපියන් එක්වරම ඊට අනුමැතිය පළකරේ ඇයිදැයි ඇය කල්පනා කරන්නට වුවාය..

මෙය සිහිනයක්ද සැබෑවක් දැයි ඇයට සිතා ගත නොහැකි විය…

“ඒ කි..ව්..වේ…”

ඇය එසේ ඇසුවේ කලබලය වැඩිකමට ගොත ගසමිනි…

“අපි තීරණය කළා ඔයාට දිසෙන්ව බන්දලා දෙන්න..හැබැයි කොන්දේසියක් උඩ..?”

ජයන්ති එසේ පවසනවාත් සමඟ සෙහන්සා සිය මව දෙස බැලුවේ එවර ඇය කුමක් කීමට යනවාදැයි හිතේ හටගත් කුහුලෙනි..

“ඒ මොකක්ද?..”

සෙහන්සා මෙන්ම රෙජිනෝල්ඩ්ද ජයන්ති දෙස බැලුවේ ඇස් විසල් කර ගනිමිනි..

“ඔය දෙන්නා මැරිකරලා ඉන්න ඕනේ අපිත් එක්ක…අපේ මේ ගෙදර ….”

සෙහන්සාගේ හිතේ මෙතෙක් වෙලා තිබුණු සතුට දියවී යන්නට ගත්තේ මවගේ ඒ කොන්දේසියත් සමඟය.

මෙයට දිසෙන් කැමති වේ දැයි ඇය කල්පනා කරන්නට වූවාය..ඔහු දුප්පත් බව සත්‍යයක් වුවද මෙසේ ඔහුගේ පිටකොන්ද තලා ඔහුව ඒ කොන්දේසියට යට කිරීම අසාධාරණ බව ඇය කල්පනා කළාය …

“ඇයි ඒ වගේ කොන්දේසියක්?…”

“ශේෂා..ඔයා සැප විඳලා පුරුදු ළමයෙක්…ඔයාට ඔය හිඟන දුප්පත් ගෙවල්වල දුක්විඳලා පුරුදු නෑ….ඔයා අපි ළඟ ඉන්නකම් ඔයාගේ සුව පහසුව ගැන අපිට බයවෙන්න දෙයක් නෑ…ඒකයි මම එහෙම කොන්දේසියක් දැම්මේ …”

රෙජිනෝල් මොහොතක් සිය බිරිඳගේ කොන්දේසිය ගැන කල්පනා කරන්නට වූයේය..එක් අතකින් ඇය පවසන්නේ සැබෑවකි..සිය සුවිසල් නිවසේ අතට පයට දැසි දසුන් පුරවාගෙන සුඛිත ජීවිතයක් ගතකරන සෙහන්සාට දුක් විඳීම කිසිසේත් ම පුරුදු නැත..

සෙහන්සා තමාත් තම බිරිඳත් ප්‍රථම වතාවට දුටු දරුවා ය…තමාත් බිරිඳත් මවකු පියෙකු වූයේ ඈ නිසාය..තමාගේ වාසනාව දෑත් මිටි කරගෙන ඇය ඉපදුණු බව රෙජිනෝල් කවදත් විශ්වාස කර දෙයකි. ඔහුගේ ප්‍රියතම දියණිය සෙහන්සා වූයේ ඒ නිසාමය…

සිය බිරිඳ කියනා පරිදි විවාහයෙන් පසු සෙහන්සා තමා ළඟ තබාගැනීම නුවණට හුරු යැයි ඔහුටද සිතුනි…

“ශේෂා ඔයාගේ අම්මා කියන දේට මාත් ඇග්‍රී..අම්මා හරි…කොහොමත් මේගේ මම ඔයාගේ නමට ලියන්න තමයි හිතන් හිටියේ..අපේ අර බ්‍රාන්ස් ප්ලේස් තියෙන ගෙදර නංගිගෙ නමට ලියලා මේක ඔයාට ලියන්න තමයි අපි හිතන් හිටියේ…”

“ඒ උනාට තාත්ති…දිසෙන් කියන්නේ පිරිමියෙක් එයා මේකට කැමති වෙයිද කවුද දන්නේ…?.”

“ශේෂා…ඒ මොකද ඒ හරිනම් අපියි දිසෙන්ට අකමැති වෙන්න ඕනේ ..අපි ඉල්ලන්නේ පොඩි දෙයක් …ඒ පොඩි දේ එයාට කරන්න බැහැ කියන්නේ එයා ඔයාට ආදරේ නෑ කියන එක…එයා ඒකට කැමති නම් එයාලගේ ගෙදර අය එක්ක එයාට මෙහේ දවසක් දාගෙන එන්න කියන්න …”

සෙහන්සා නිවසින් පිටවී රියේ නැගී රිය දිසෙන්ගේ ඇනෙක්ස් එක දෙසට හසුරුවන් යන්නට වූයේ සිය මවගේ යෝජනාව හා කොන්දේසිය ගැන සතුටු වෙන්නේදැයි නැතිදැයි කල්පනා කරමිනි..

ඇය රිය ඔහුගේ ඇනෙක්ස් එක අසල නවත්වා රියෙන් බැස එහි වූ දොරට තට්ටු කරන්නට වූයේ දොර අගුළු දමා වසා තිබූ නිසවෙනි..

දිසෙන් දොරවිවර කරගෙන එළියට ආවේ
මොහොතක් යන්නට මත්තෙනි..
ඒත් සමඟම සෙහන්සා ඔහු සමගින් ඔහුගේ ඇනෙක්ස් එකට ගොඩවැදුණේ පිරිමි ළමයෙක් තනියම ඉන්නා ස්ථානයක් මේ තරමට පිලිවලට පවතින්නේ කෙසේදැයි කල්පනා කරමිනි….

ඇය ඔහුව තුරුල් කරගත්තේ ඔහු දොර වසා දැමීමත් සමඟය.ඇය ඔහුගේ මුහුණ සිපගෙන ඉන් අනතුරුව ඔහුගේ මුවට බරවුයේ ඒ දෙතොල් සිය දෙතොලින් අල්ලාගෙනය..

ඇගේ දගකාරී හැසීරීම හමුවේ ඔහුද උන්නේ අසිහියෙන් මෙන් ඒ සිපුම් විදගනිමිනි.

“මොකෝ මේ අද අමුතුම සතුටකින් ශේ..”

“ඔයාට ගුඩ් නිව්ස් එකක් කියන්න තියෙනවා”

ඇය කිවේ ඈගේ අතකින් අල්ලාගෙන ඔහුගේ කුටියේ සයනය මත ඔහු හා හිඳගනිමිනි…

“ඒ මොකක්ද ඒ?..”

ඔහු ඇසුවේ ලොකු කුතුහලයකිනි…

“අපේ අම්මායි තාත්තයි මේ එෆෙයාර් එකට කැමතියි කිව්වා …ඔයාට ඔයාගේ ගෙදර අය එක්ක දවසක් දාගෙන අපේ ගෙදර එන්න කිව්වා…”

“බොරු…”

ඔහු කීවේ එය අදහා ගැනීමට නොහැකි තරමට මවිතයෙනි…

“බොරු නෙමෙයි ඇත්ත…”

සෙහන්සා ඔහුගේ පපුවට හිසතබාගෙන තුරුළු වූයේ එසේ කියමින් හුරතල් හඬිනි…..

“නියමයි නේ ශේෂා…”

ඔහුගේ කටහඩේ සතුටත්,කුතුහලයත්,විස්මයත් ගැබ්ව ඇති බව ඇයට සිතුණි …දැන් ඉතින් තමාත් දිසෙනුත් වෙන්කරන්නට කිසිවෙකුටත් නොහැකි යයි සිතී ඇය සතුටින් ඉපිළ ගියාය…

ඇයට සිය මවගේ කොන්දේසිය සිහිපත් වූයේ ඒ සමගිනි..ඇයගේ සිතේ පැවති සතුට අතුරුදහන් වූයේ ඔහු ඊට කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි යනුවෙන් සිතමිනි.

“ඒත් පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා .”

“කන්ඩිෂන් එකක්….ඒ මොකක්ද ?…”

ඔහු එසේ ඇසුවේ ඔහුගේ සිතේ පැවති කුතුහලය උපරිමයටම ත්‍රීව වෙද්දීය..

“අපි ඉන්න ගේ මගේ නමට ලියලා දෙනවා කිව්වා.මැරි කළා ට පස්සේ අපිට එහෙ නවතින්න කිව්වා..”

ඒ අසා ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වූයේ එක්වරමය..ඇය කුහුලෙන් බලා සිටියේ ඔහු දෙබැමි හකුලුවාගෙන කල්පනා කරන අයුරුය.

හමුවෙමු මීළඟ කොටසින්