සිතින් විතරක්..
විසි නවය… 29
වෙහිකල් එක ගෙයි පෝටිකෝ එක යට නතර කරද්දිත් සීයා පප්පා හිටියෙ සාලෙට වෙලා මඟ බලාගෙන.
ඒන්ජල් කොහොමද පැංචියෙ ඔයාට හොඳින් නේද..?
මාව දැක්ක ගමන් සීයා පප්පා ඇහුවා. මම ඒ ප්‍රශ්නෙට උත්තර නොදීම බැළුවෙ සෙත් දිහා. මෙයා මම ලේ දුන්න එක පත්තරේටත් දැම්මද දන්නෙ නෑ. සීයා පප්පටත් කියලා. අනේ මන්දා.
මම හොඳින් සීයා පප්පා.. මට එහෙම අමාරුවක් නෑ මෙයා මේ බොරුවට බය වෙලා.. මම කියවගෙන ගියෙ සෙත් දිහා බලාගෙනමයි. එයා මොනවත්ම නොකියා හිනාවුනා.
ඔයා ගොඩක් වීක්නෙ දරුවො.. ඒකයි සෙත් බය වෙලා තියෙන්නෙ..
සෙත් වෙනුවට කතා කලේ සීයා පප්පා.
මම එහෙම වීක් නෑ… ඩොක්ටර් කීවා බලඩ් ඩොනේට් කලාට අවුලක් නෑ කියලා.. ඔයාලා තමා මම වීක් වීක් කියන්නෙ… මම කියවගෙන ගියෙ හුරතල් හඬකින්.
ඇත් පණ්ඩිත ආච්චි..කියෙව්වා..යන්න රූම් එකට ගිහින් රෙස්ට් කරන්න.. දවසක් දෙකක් යනකං එක තැනකට වෙලා ඉන්න එහෙ මෙහෙ දුවන්නෙ නැතුව.. සීයා පප්පා මොනවත් කියන්න කලින් සෙත් කියවගෙන ගියා.
බලන්නකො සීයා පප්පා…මෙයා කියන දේ මට බෑ..දවසෙම රූම් එකට වෙලා ඉන්න.. මම කීවේ නෝක්කාඩු හඬකින්.
එයා කියන්නෙ ඇත්තනෙ ඒන්ජල්.. අමාරු නැති උනාට කමක් නෑ දවසක් දෙකක් දඟලන්නෙ නැතුව ඉන්න එක තැනක.. දැන් හොඳ ළමයා වගේ යන්නකො රූම් එකට…
සීයා පප්පා එහෙම කිව්වම මට කියන්න දෙයක් තිබුනෙ නෑ. මම ඒ දෙන්නටම ගස්සගෙන රූම් එකට ආවා. හිත හොඳටම බරයි. කිසිම දෙයක් ගැන හරියට හිතා ගන්න මට තේරෙන්නෙ නෑ. කෑ ගහලා අඬන්න මට ඕනි වුනා. ඒත් ගෙදර අය බය කරන්න බැරි නිසා මම ඇඬිල්ල වාව ගත්තා.
කොච්චර අමතක කරලා ඉන්න හැදුවත් මට විහඟව අමතක කරලා හිත හදාගන්න බෑ. එයා රෝහලේ ඉන්න විඳිහ මට මැවිලා පෙනුනා. එතකොට ආයිම ඇස්වලට කඳුළු පිරුනා.
දවස් දෙකක් යනකං සෙත් මට රූම් එකෙන් එලියට යන්න දුන්නෙ නෑ. හැම වෙලාවෙම එයා මගෙ ලඟටම වෙලා ඉන්නවා. ඒ දවස් දෙකේම ගෙදර හැම වැඩම කරන්න වුනේ නයනට. එයා පව් කියලා මට හිතුනා ඒත් සෙත් මට ඉඩ දුන්නෙ නෑ එයාට උදව් කරන්න.
විහඟට වගේ නෙවී සෙත්ට ගෙදර පුංචිම වැඩක්වත් කරන්න බෑ. අඩුම තරමින් තේ එකක්වත් හදා ගන්න දන්නෙ නෑ. ඉතිං නයනා ඇත්තටම පව්. ඒත් මම සෙත් කියන විඳිහටම හිටියෙ නැත්තං තවත් දවස් ගානක් රූම් එකේ ඉන්න වෙයි කියලා බයේ.
මගෙ හිත නං එකම මොහොතක්වත් විහඟ ගැන නොහිතා හිටියෙ නෑ. ඒත් මට එයා ගැන සෙත්ගෙන් නිතර නිතර අහන්නත් බෑ. මහ පුදුම අසරණකමක් මේක. මේ නොසන්සුන්කම දරාගන්න හරි අමාරුයි.
මං හින්දා ඔයාටත් මේ දවස් දෙකේ හොස්පිටල් යන්න බැරිවුනා නේද..?
මම එහෙම ඇහුවෙ ඉවසලා ඉවසලා ඉවසන් ඉන්න බැරිම තැන. කෙලින්ම විහඟ ගැන සෙත්ගෙන් අහන්න මට බය හිතුනා.
හ්ම්ම්… එයා කීවෙ ඕනිවට එපාවට වගේ.
එයාට තාමත් අමාරුද හුඟක්…? මම ආයිම ඇහුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරි නිසා.
හ්ම්ම්… එයා ආයිම කීවා.
මොනා ද අනේ.. එයාට මොනවද වෙලා තියෙන්නෙ කියන්නකො.. හොඳින්ද එයා… ඇත්තටම මෙයාගෙ මේ හැසිරිම මට තේරුං ගන්න බෑ.
එයා ගැනම හාර හාර අහන්නෙ…මං ගැන අහන්න බෑද ඔහොම… මම උන්නද මලාද කියලවත් බලන්නෙ නෑ…
ඒ ගමන එයා කීවේ නෝක්කාඩු හිනාවකින් උනත් ඒ වචන වල ඇත්තටම තිබුනෙ වේදනාවක්.
මාව ගැස්සුනා හොඳටම. මම සෙත්ට කරන්නෙ බරපතල වැරැද්දක් කියලා මට නොතේරුනා නෙවී. මෙච්චර හාර හා විහඟ ගැන හොයන කොට සෙත්ට මොනා හිතෙන්න ඇති ද කියලා මට හිතුනෙම නෑ.
ඔයා ගැන අහන්න ඔයා අසනීප වෙලා නෑනි… හුඟක් අමාරුවෙන් හිනාවෙලා මම කීවේ ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න හිතාගෙන.
ඔහොම කොච්චරවත් හොය හොයා ලඟට වෙලා ඉන්නව නං අසනීප වෙලා ඉන්න බැරිය මාස ගානක් හොස්පිට්ල් එකක…. කියලා එයත් හිනාවුනා.
අසනීප වෙලා දවසක් දෙකක් හොස්පිට්ල් එකක ඉන්න උනානං තේරෙයි..
මට ඕනි වුනේ ඒ කතාව නතර කරගන්න.
අවුලක් නෑනේ එතකොට ඔයා මාව බලාග න්නවනෙ ලඟට වෙලා ඉදගෙන…. කෙඳිරි ගගා ලඟට වෙලා ඉන්න විතරයි තියෙන්නෙ…
එයා ආයිම කියවගෙන යනවා. මාව හොඳ ටෝම ගැස්සුනා ආයිම. විහඟ අසනීප වෙලා උන්න දවස් මතක් වෙලා.
ඇයි බබෝ…මේ හැමදේටම ඔහොම ගැස්සෙ න්නෙ… රතුවෙලා ජම්බු ගෙඩියක් වගේ.. මේ අහක ඉන්න අපිවත් අවුස්සනවා.. ඒ ගමන..
මට තේරෙන්නෙ නෑ කියන්න ඕනි මොනවද කියලා. මම දන්නවා මට ඉක්මනට හිත හදාගන්න වෙනවා. මේ අසරණ කම හැමදාම උහුලගෙන ඉන්න මට බෑ. විහඟ ගැන හිත හිත සෙත් එක්ක ජීවත් වෙන්නත් බෑ. ඒත් මේ හිත ඒක හදා ගන්න මම දන්නෙ නෑ.
අනේ.. එයාට කොහොම කියන්නකො.. දැන් හොඳයි නේද..?
මට ඕනි වුනේ කොහොම හරි විහඟ ගැන දැන ගන්න.
නෑ බබෝ..සර්ජරි එක නං කලා.. ඒත් තාමත් කො ල් ල ට සිහිය නෑ.. සිහිය එනකං මොන වත් කියන්න බෑ කියලා තමා ඩොක්ටර්ස්ලා කියන්නෙ..
අනේ….
මට කෑ ගැස්සුනා එක පාරම. දෙයියනේ එයාට එච්චර අමාරුද..
ඕකනි ඔයා එක්ක මොනවත් කියන්න බැරි..
.අඬන්න තියා ගන්නවනෙ..
එයා කීවේ මගෙ ඇස්වල කඳුළු පිහමින්.
එයාට ඒ හැමදේම වුනේ මම නිසා…
හුඟක් දේවල් කියන්න තිබුනත් මට ඇඬෙන එක නතර කර ගන්න බෑ.
පිස්සු කතා කියවන්න එපා ඒන්ජල්..කවුද එහෙම කීවේ..
කවුරුත් කියන්න ඕනි නෑ.. මගෙ අප්පච්චි අල්ලන්න ගිහින්නෙ එයාට වෙඩි වැදුනෙ… මම ආයිම ඇඬුවා.
ඒන්ජල්.. මේ අහන්න..විහඟ එයාව අල්ලන්න ගියෙ එයා ඔයාගෙ අප්පච්චි නිසා නෙවී.. ඩ්‍රග්ස් ඩීලර් කෙනෙක් නිසා… ඒක එයාගෙ ඩියුටි එක.. විකාර හිතලා බොරුවට අඬලා අසනීප වෙන්නෙ නැතුව හොඳ ළමයා වගේ රිලැක්ස් ඉන්න….විහඟට මොනවත් වෙන්නෙ නෑ…
එයා කියවාගෙන ගියෙ මොනවගේ හැඟීම කින් ද කියලා මම දන්නෙ නෑ. ඒත් ඒ වචන වල මොකක්දෝ නොතේරෙන අසරණකමක් තිබුනා කියලා මට දැනුනා.
එහෙනං ඔයා හොස්පිට්ල් යනකොට මාවත් එක්ක යන්නකො.. මට මට එයාව බලන්න ඕනි….
මට තේරෙන්නෙ නෑ මම මෙහෙම මුරණ්ඩු වෙන එකේ තේරුම මොකක්ද කියලාවත්.
ඔයාට නං කියලා වැඩක් නෑ ඒන්ජල්…ටික දවසක් ඉන්නකො දඟලන්නෙ නැතුව…
ඉතිං මං දවස් දෙකක්ම හිටියෙ රූම් එකට වෙලා මම හොඳින්නෙ ඉන්නෙ..අනේ මාවත් එක්ක යන්නකො… මම ආයිම ඇවටිලා කලා.
අනේ මන්දා ඒන්ජල් ඔයා…
එහෙම කියාගෙන එයා රූම් එකෙන් එලියට ගියා. දෙයියනේ දැන් දවස් කීයක් ද.. තාමත් සිහිය නැත්තං.. මාව වෙව්ලනවා.
ඒත් ඒත් මට මොනවද කරන්න පුළුවන්. කාම රේට වෙලා ඇඳේ ගුලි වෙලා අඬන්න විතරයි. ඇස්වල කඳුළු ඉවර වෙන කම්ම.
ඒත් ඒකවත් නිදහසේ කරන්න බෑ. සෙත් සැරෙන් සැරේ ඇවිත් කතා කරද්දි අඬන්නෙ ඇයි කියලා අහද්දි මට දෙන්න උත්තරයක් නෑ.
ඉතිං එතකොට. මම විහඟ වෙන්වෙන් මේ තරම් දුක් වෙන්නෙ ඇයි කියලා කොහොමද එයාට කියන්නෙ.
හිතේ දුක ඉවර වෙනකම්ම අඬන්නවත් නිද හසක් නැති මම මොන තරම් අසරණ ද. ඇයි ජීවිතේ මේ වගේ දේවල් කරන්න මං වගේ අහිංසක කෙ ල් ලෙ ක් වම තෝරගත්තෙ. මං පව් නැද්ද..
විහඟව අමතක කරලා සෙත් ගැන විතරක් හිතන්න මට කවදාවත්ම පුළුවන් වෙන එකක් නැද්ද මුළු ජීවිත කාලෙම මම මෙහෙම විඳවන්න ඕනිද..
සෙත් මොනවත් කීවෙ නැතත් මම හවස හොස්පිට්ල් යන්න ලෑස්ති වුනේ බලෙන් හරි එයා එක්ක යනවමයි කියලා හිතාගෙන.
සෙත් උඩට ආවෙ නැති නිසා මම පහලට ගියා දවස් දෙකකට පස්සෙ තමා මට පහලට බහි න්න වුනේ. පේන තැනක සෙත් හිටියෙ නැති නිසා මම කෙලින්ම ගියෙ සීයා පප්පගෙ රූම් එකට.
ඒන්ජල්..කොහෙ යන්නද දරුවො මේ… ඔයා හොඳින් නේද..?
මාව දැක්ක ගමන් සීයා පප්පා ඇහුවා.
ඔව් සීයා පප්පා මම හොඳින්… හොස්පිට්ල් එකට යන්න හදන්නෙ…
ඔයා තනියම..?
නෑ සීයා පප්පා සෙත් එක්ක…
සෙත් එක්ක සෙත් හොස්පිට්ල් ගියානෙ… ඔයාට කීවේ නැද්ද..
සියා පප්පා එහෙම කියද්දි දැනුනෙ වචන වලින් කියන්න බැරි අසරණ කමක්.සෙත් එහෙම කලේ ඇයි එයාට මං ගැන සැක හිතිලද එයා හද න්නෙ මාව විහඟගෙන් ඈත් කරන්ද…
එයා කීවනෙ මාවත් එක්ක යනවා කියලා… මම ආවෙ එයා ලේට් ඇයි බලන්න…
මම කියවගෙන ගියෙ අඬන්න හුඟක් ලඟ හඬකින්. ඇත්තටම එයා මාව එක්කගෙන යනවා කීවෙ නෑ.
හදිසි කෝල් එකක් ආවා හොස්පිට්ල් එකෙන් ද දන්නෙ නෑ… හොස්පිට්ල් යනවා කියාගෙන ගියා.. ඔයා යනවා කියලා මම දන්නෙ නෑනෙ…
සියා පප්පා ආයිම කීවා. ඒ කියන්නෙ විහඟට හදිසියෙන් හුඟක් අමාරු උනාද..එයාට මොනවා හරි කරදරයක් වෙයිද..මට බයයි මට එයාව බලන්න ඕනි ඒත් කොහොමද යන්නෙ. බස් එකේ යන්න දන්නෙ ඔෆිස් එකට විතරයි. තනියම කවදාවත් හොස්පිට්ල් එකට ගිහින් නෑ. දැන් මම මොනවද කරන්නෙ.
මමත් හොස්පිට්ල් එකට යන්නම් සීයා පප්පා..
තනියම ඔයාට පුළුවන්ද ඒන්ජල්..කවදාවත් ගිහින් නෑ නේද.. සෙත්ට කතා කරලා..බලන්න අනික ඔයා මේ හදිසියෙන් හොස්පිට්ල් යන්න ඕනි නෑනේ ඕනිනං හෙට යන්න… මම සෙත් ආවම කියන්නංකො..
සීයා පප්පා එහෙම කිව්වම මට කියන්න දෙය ක් තිබුනෙ නෑ. විහඟව බලන්න යන්නම ඕනි කියලා අරගල කරන්න එයා මගෙ කවුරුත් නෙවී. ඉතිං එතකොට මම මොනා කියන්ද..
මම අඬ අඬාම ආපහු රූම් එකට ගියා.
සෙත් මාව ගෙදර දාලා ගියෙ හිතා මතාමයි කියලා මම දන්නවා. එයාට දැනෙන්න ඇති මම විහඟ ගැන හිතනවා කියලා. එයාට ඕනි මාව විහඟ ගෙන් ඈත් කරන්න.
සෙත් වැරදියි කියලා කියන්න මට බෑ. කවුරු වත් කැමති නෑ තමන් ආදරේ කරන කෙනෙක් වෙන කෙනෙක් ගැන හිතනටවත් ඉතිං සෙත්ට දොස් කියන්න මට බෑ. ඒත් ඒත් මේ හිත ඒක හරිම අසරණයි.
මම කාමරේට ගිහින් ඇඳේ ගුලි වෙලා ඇති වෙනකම්ම ඇඬුවා. මට ඕනි මේ හිත හදාග න්න. ඔව් කොහොම හරි මට විහඟව අමතක කරන්නම වෙනවා. ඒ දෙන්නා අතරෙ අසරණ වෙන්න මට බෑ. ඒ වගේම මං හින්දා අසරණ වෙන්න ඒ දෙන්නට ඉඩ දෙන්නත් බෑ.
ඒන්ජල් ඇයි බබෝ මේ ඔයා හොඳින්ද..?
අඬලා අඬලා මහන්සියටමද කොහෙද මට එහෙම්මම නින්ද ගිහින්. සෙත් කතා කරද්දි මට ඇහැරුනේ. මොන තරම් හිත හදා ගන්න හැදුවත් සෙත් දකිද්දි මට දැනුනෙ තරහක්.
මම තරහයි ඔයා එක්ක…?
මම ඇඳෙන් නැඟිට්ටෙ එහෙම කියාගෙන.
අනේ ඇයි පැටියො මා එක්ක තරහා වෙන්නෙ මං මොකක්ද කරපු වැරැද්ද..?
එයා ඇහුවෙ කිසි දෙයක් හිතා ගන්න බැරුව.
ඔයා මාව දාලා හොස්පිට්ල් ගියා…
මම කීවේ නෝක්කාඩු හඬකින්.
අනේ මැණික ඒකට තරහා වෙනවද මාත් එක්ක..
ඔව්..මම ඔයාට මාව එක්කගෙන යන්න කියද්දි ඔයා මාව දාලා ගියා..
අහන්නකො ඉතිං…කො ල් ල ට තාමත් සිහිය නෑ.. එක් එහෙම ඉන්නවා මටත් බලාගෙන ඉන්න බෑ…
ඔයා එක්ක ගියානං අඬන්න තියාගන්නවනෙ ඒකයි දාලාගියෙ.. අනේ මැණික තරහා වෙන්න එපා.. ඔහොම මං පව්නෙ..
සෙත් කියවගෙන යනවා.
එයාට තාම සිහිය නෑද..අනේ…
මට කෑ ගහලා ඇඬුනා. කොච්චර හිත හංග ගෙන ඉන්න හැදුවත් මෙහෙම දෙයක් අහද්දි ගහක් ගලක් වගේ ඉවසන් ඉන්න මට බෑ.
ඔය මෙතන ඔහොම හූ තියනවා එතෙන්ට ගියා නං කොහොම වෙයි.. මා වත් එක්කම හොස්පිට්ල් එකෙන් ඇදලා එලියට දානවා ඒ ගමන..
එයා කියවගෙන ගියා.ඇත්ත තමා. එයාව ඒ විඳිහට දකිද්දි මම මොනා කරයිද කියලා මටම හිතා ගන්න බෑ. ඒත් මම කොහොමද එයාව නො බලා ඉන්නෙ. ඒත් මට ඒක සෙත් එක්ක කියන්න බෑ. මම අමාරුවෙන් ඇඬිල්ල වාව ගත්තා.
ඔයා හැමදේම ඕනිවට වඩා හිතනවා ඒන්ජල් ඒකයි මේ හැමදේම.. විහඟට වෙඩි වැදුනෙ ඔයා නිසා නෙවී ඒක එයාගෙ ඩියුටි එක..
එයා ඒ ජොබ් එක කරන්න ඒ රිස්ක් එකත් අරගෙන.. ඒක නිසා ඔයා දැන් ඒ ගැන හිතන්න එපා..තේරුනාද..අඬන්නෙ නැතුව හොඳ ළමයා වගේ හිටියොත් මම ඔයාව හෙට හොස්පිට්ල් එකට එක්ක යනවා….
සෙත් කියවගෙන ගියෙ මගෙ හිසපිරිමදින ග මන්. මම ඇඳුවෙ විහඟට මම නිසා වෙඩි වැදු නා කියලා සෙත් හිතපු එක නං ලොකු දෙයක්. ඒත් මට දැනුනෙ ලොකු වරදකාරී හැඟීමක්. මම මම සෙත්ව රවට්ටනවද..
එයාගෙ ගෙදර අය එන්නෙ නෑද එයාව බලන්න..
මම ඇහුවෙ මගෙ හිත සන්සුන් කරගන්න.
උ\ඹ\ත් මහ ඕපාදූප මල්ලක්නෙ බලාගෙන යද්දි..හැම රෙද්දම හොයනවා..
ඒ ගමන සෙත් කීවේ හිනාවෙවි.
ඒක ඕපාදූපක්ය මම දන්නෙ නැති නිසානෙ ඇහුවෙ..කවුද එයාගෙ ගෙදර ඉන්නෙ තව… මම ආයිම ඇහුවා.
අම්මයි..අප්පච්චියි අයියයි..වයිෆුයි බබාලා දෙන්නයි..
සෙත් කියවගෙන ගියා. මට දැනුනෙ එකපාරම මගෙ ඔළුව උඩ අකුණක් පුපුරලා ගියා වගේ හැඟීමක්. මුළු ඇඟම පිච්චිලා යනවා වගේ දැනුනා.
ඒ කියන්නෙ ඒ කියන්නෙ එයා මැරි කරපු කෙ නෙක්ද එයාට බබාලත් ඉන්නවද..? මගෙ දෛවය කවදාවත් මම කැමති මම ආදරේ කිසිම දෙයක් මට දෙන්නෙ නෑ.
අනේ දෙයියනේ එයාට කරදරයක් වෙන්න එපා. මම වෙනුවෙන් නෙවී අර දරුවො වෙනුවෙන් එයාව ඉක්මනට සනිප කරලා දෙන්න. අම්මා තාත්තා නැති උනාම දරුවො මොන තරම් අස රණ වෙනවද කියලා මම තරම් වෙන කවුරුව ත් දන්නෙ නෑ. ඒ අහිංසකයන්ට එහෙම වෙන්න දෙන්න එපා.
හමුවෙමු.