39 වන කොටස

“ශේෂා..අපි මෙතනින් වාඩි වෙලා ටිකක් කතා කරමු…”

ඔහු කීවේ මිදුලේ වූ උද්‍යානයේ ඇති සිමෙන්ති අසුනක් පෙන්වමනි.සෙහන්සා එක් අසුනක හිඳ ගත්තේ නිහඬවමය.ඔහු ඊට යාබද අසුනේ හිඳගත්තේ සෙහන්සාගේ රූබර මුහුණ දෙස වසඟවමෙන් දෑස් දල්වා බලමිනි…

“මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ…”

සෙහන්සා එසේ කීමත් සමඟම ඔහු ඈ දෙස දෑස් අයා පුදුමයෙන් මෙන් බැලුවේ මේ වෙන්නට යන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවය .

“ඇයි ඒ එහෙම කියන්නේ …?.”

ඔහු එසේ ඇසුවේ පුදුමයෙන් සෙහන්සා දෙස දෙබැමි රැලි ගන්වමින් බලන ගමන්ය..පියාගේ කීමට වැඩි උනන්දුවක් නොමැතිව ඔහු මෙහි පැමිණියද දුටුව පළමු මොහොතේම ඇය තමාගේ සිත සොරකම් කල බවක් ඔහුට හැඟිණි..ඇය එසේ තමා නොරුස්සන විලසින් කතා කලේ තමාට අකමැති නිසාවත්දෝයැයි සිතී ඔහුගේ සිතට දුකක් දැනුනි.

“මම මේ ප්‍රපෝසල් එකට කැමති නෑ…”

“ඇයි ඒ…අකමැති නම් ඇයි ඔයාලා අපිට මෙහාට එන්න කියලා කීවේ..?”

“එන්න කීවේ අපේ ඩැඩී..අපේ ගෙදර අය මේකට කැමති.ඒත් මම කැමති නෑ.මම කැමති නෑ කියලා කියද්දී තමා ගෙදර අය ඔයාල්ට එන්න කිව්වේ…”

“ඇයි මට අකමැති ..මාත් ආවේ කැමත්තෙන් නෙමෙයි ..ඒත් මම ඔයාව දැක්කට පස්සේ කැමති උනා…”

“අයැම් එක්ස්ට්‍රීම්ලී සොරි ..මම ආදරය කරන කෙනෙක් ඉන්නවා …ඒත් එයාට ගෙදරින් කැමති නෑ .එයාලා මගේ අකමැත්තෙන් මාව ඔයාට මැරි කරලා දෙන්න හදනවා…අනේ ප්ලීස් මට උදව් කරන්න ..”..

ඇය එසේ කියද්දී ඔහු ලොකු හුස්මක් ගත්තේ තමාගේ සිත නැවතුනේ වෙනකෙකුගේ පෙම් කරන තරුණියකට නිසාවෙනි. ඔහුට ඇය ගැන අනුකම්පාවක් ඇතිවූයේ ඒ සමඟමය…….

“ඔයා දැන් නෙමෙයි.ගෙදර හියාම මේ ප්‍රපෝසල් එකට කැමති නෑ කියන්න..ප්ලීස් මට මගේ ආදරේ නැති කරන්න එපා…මම බදිනවානම් බඳින්නේ එයාව විතරයි ..මම වෙන කෙනෙක්ව බදින්න ජීවත් වෙන්නේ නැහැ …”

සෙහන්සා එසේ පවසද්දි ඔහු ඈ දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි..මෙතරම් ආදරය කරන තරුණියක් ලැබෙන්නට ඇගේ පෙම්වතා කෙතරම් වාසනාවන්ත දැයි ඔහු මොහොතක් කල්පනා කලේය.

ඇය කෙතරම් රූමත් වුවත්,ධනවත් වූවත් වෙනකෙක් හා මේසා දැඩිව බැඳි සිටින ඇගේ ආදරය කඩාකප්පල් කර ඇයව විවාහ කරගැනීම පවක් යැයි ඔහු කල්පනා කරන්නට වූවේය.

“හරි.ඔයාගේ කැමත්ත ඒකනම් ඒක එහෙමම සිද්ධ වේවී ශේෂා..”

සෙහන්සා සතුටින් පිනායන්නට වූවේ
ඔහුගේ වදන් අදහා ගැනීමට නොහැකිවඔහු එසේ කීමත් සමඟ ඇගේ දෑස් දිලිසෙන්නට වූයේ සතුටටය…

“ඔයා මම හිතුවා වගේ කෙනෙක් නෙමෙයි .මම හිතුවේ පොලිස් ඔෆිසර් කෙනෙක් කීවාම නපුරු කෙනෙක් කියලා ..ඒත් ඔයා ගොඩාක් හොඳ කෙනෙක් .ඔයා මට මේ කරන්නේ ලොකු උදව්වක්…ඔයාට කවදාවත් වරදින්නේ නැහැ..”

“ශේෂා පොලිස් යුනිෆෝම් එක ඇන්දාත් පොලිසියේ ඩියුටි කලත් අපිත් මිනිස්සු…රාජකාරි ජිවිතේදි අපි පොලිස් දෙපාර්තමේන්තුවට යටත් වෙලා ඒ නීති රීති වලට වැඩ හිත් පිත් නැතිව අකුරට වැඩ කළත් අපි පොද්ගලික ජීවිතයේදී සාමාන්‍ය මිනිස්සු වගේම තමයි..මම ඔයාව දැකලා කැමති උනා තමයි …ඒත් වෙන කෙනෙක්ට ආදරේ කරන කෙනෙක්ව මම බලෙන්ව මගේ වයිෆ් කරගන්න කැමති නෑ…මට ඔයාව බලෙන් කසාද බඳින්න පුලුවන් ඒත් මට ඔයාගේ ආදරේ බලෙන් ගන්න බෑ…”

“ඒත් ඒක අපේ අම්මලාට තේරෙන්නේ නෑ…”

සෙහන්සා කීවේ ලොකු සුසුමක් අවට වාතලයට හෙලමිනි..

❤❤❤❤❤❤❤❤❤❤

ඩී.අයි.ජී සෙනෙවිරත්න ගේ පවුලේ අය පිටවීමත් සමඟ සෙහන්සා උඩුමහලේ වූ තම කුටියට පිවිසුණේ පවුලේ කිසිවෙකු හා කතාවට නොඉඳය..

සෙහන්සා ඩී.අයි.ජී.සෙනෙවිරත්න ගේ පුතා සමඟ සුහදව කතා කරමින් හුන් අයුරු දුටු රෙජිනෝල්ඩ් හා ජයන්තී හුන්නේ සන්සුන් වය.

“මට හිතා ගන්න බැරි මෙච්චර දවස් ඒ ලමයාට අකමැත්තෙන් හිටපු ශේෂා ඒ ළමයා එක්ක හොඳට කතා කරපු එක …”

ජයන්තී කීවේ කෑම මේසය අස්පස් කරමින් සිටිනා මැගිලින් දෙස බලන් ඉන්නා ගමන්මය..

“ඒක තමයි මම හිතුවේ ශේෂා ඒ ළමයා එක්ක වචනයක් වත් කතා කරන එකක් නෑ කියලා …”

“මුලින් ශේෂා යන්න අදිමදි කළා.. මම රවලා බැලුවාමයි ගියේ…පස්සේ හිතෙන්න ඇති අර වගේ නිකම්ම නිකම් තර්ඩ් ක්ලාස් කො/ල්/ලෙ/ක්/ට වඩා මේ වගේ කො/ල්/ලෙ/ක්/ව බැන්දා නම් හොඳයි කියලා .ඇති යන්තම් දැන්වත් ඔය ළමයාට මොළේ පෑදුනොත් ..හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ මට නම් දැනෙන්නේ …”

ජයන්තී කී කරුණු කාරණා රෙජිනෝල්ඩ් මොහොතක් කල්පනා කරද්දී රෙජිනෝල්ඩ් හිතට නම් මද සැකයක් ඇතිවූයේ සෙහන්සා ගේ ගතිගුණ ඔහු හොඳින්ම දැන සිටි නිසාවෙනි …

ඈ තනිකරම ජයන්තීගේ කපාපු පළුවක් බඳුය..සෙහන්සාට මුරණ්ඩු කම,ආඩම්බර ගතිගුණ ,එඩිතර බව,කිසිවෙකුට නොනැමෙන දැඩි ගතිගුණ ලැබී ඇත්තේ ජයන්තීගෙන් යැයි රෙජිනෝල්ඩ් ට ඒ මොහතේත් සිතුණි ..

මෙතරම් පහසුවෙන් ඇය තම හිත වෙනස්කරගනී යැයි රෙජිනෝල්ඩ් ට සිතෙන්නේම නැත්තේ ඒ තරම් ඔහු ඇයව හඳුනන නිසාවෙනි .

“මට නම් ශේෂාව ෂුවර් කරන්න අමාරුයි ..ඒ ළමයාට ඇවිත් තියෙන්නේත් ඔයාගේ ගතිගුණ.ඒ දවස්වල ඔයලගේ ගෙදරින් අපිට කොයිතරම් අකමැති වුණාද.ඔයාව පවුලෙන් අයින් කරනවා කිව්වත් ඔයා තෝරගත්තේ මාව ..අම්මා කරපු දේ දුව නොකරයි කියලා හිතන්න පුළුවන්ද ?.එක අතකින් ඒ දරුවා පව් කියලාත් හිතෙනවා..අපි ආදරය කරලා බැඳලා අපේ දරුවන්ගේ සතුට ආදරය නැති කරන්න හදනවා නේද කියලා මට හැමතිස්සෙම හිතෙනවා ජයන්තී ..”

“අපේ ඒ අත්දැකිම් නිසාමයි මම ඒ සම්බන්ධයට මෙච්චරම අකමැති ?.”

ජයන්තී එසේ කීවිට රෙජිනෝල්ඩ් ඇය දෙස බැලුවේ අදහාගත නොහැකි තරමට පුදුමයෙනි…

“ඒ මොකද ඒ?..”

“අද අපිට හැමදේම තිබ්බත් එදා අපිට මොනවාද තිබුණේ..මගේ හිතුවක්කාර කම නිසා අපේ ගෙදර අය නැදෑයෝ මට අයිති වෙන්න ප්‍රොපටීස් සේරම නැති වුණා .. ශේෂා ඉපදෙන්න ඉන්න කාලෙ වෙනකම් අපි මොනතරම් දුක් වින්දාද?මම ඒ විඳපු දුක මගේ දරුවන්ට මම විඳින්න දෙන්නේ නෑ රෙජී…ඒකයි මම ඒ එෆෙයාර් එකට මෙච්චරම අකමැති …සැපම විතරක් විදලා පුරුදු ශේෂාට දුක් විඳින්න බෑ…අපේ ළමයි දුක් විදිනවා බලන් අපිට සැප විඳින්න පුලුවන්ද රෙජී…”

ජයන්තීගේ වදන් සැබැවක් බව රෙජිනෝල්ඩ්ටද සිතුණි …එහෙත් එදා තමන් කිසිම දෙයක් නැති අනාතයෙකු පරිද්දෙන් සිටියදී තමාට ජයන්තී ඉදිරියට යාමට සවියක් වූ අයුරුත් නිහඬ හැමදේම දරාගෙන ඈ දුකත් සැපත් බෙදා සිටි අන්දම සිහිපත් විය.එදා ඈ තමා අසලම නොසැලී නොසිටියානම් අද තමා දියුණුවේ හිනිපෙත්තට නඟින්නේ නැතිබවත් ඔහුට සිතුණි ..

එදා තමන් සිටි තැනම අද දිසෙන් සිටින බව ඔහුට සිහිපත් විය..එදා ජයන්තීගේ දෙමාපියන් පරිද්දෙන් අද තමාත් සිත්පිත් නැති පරිද්දෙන් ඒ සේරම අමතක කර ඔවුන්ගේ ආදරයට හරස් කැපීම සාධාරණ නැතිබව රෙජිනෝල්ඩ් ට ඒ මොහොතේ සිතුණි..

දිසෙන්ට තමාගේ ව්‍යාපාර පවරා ඒවා දැන් පවතිනවාටත් වඩා විසි තිස් ගුණයකින් වැඩිදියුණු කරගත හැකිබව රෙජිනෝල්ඩ් ට ඒ සමඟම සිතුණේ දිසෙන් ගේ කාර්‍යශූර බව,බුද්ධිමත් බව රෙජිනෝල්ඩ් මනාව අවබෝධ කරගෙනසිටි නිසාවෙනි.

එහෙත් රෙජිනෝල්ඩ් නිහඬවම සිටියේ
එයට ජයන්තී කිසිසේත්ම ඉඩනොදෙන බව දන්නා නිසාත් ඩී.අයි.ජී සෙනවිරත්න වැනි කෙනෙක් සිය පවුලට සම්බන්ධ කරගැනීමට තිබෙනවා නම් සිය ව්‍යාපාරික කටයුතු වලට එය කෙතරම් රුකුලක් දැයි ඒ සමඟම ඔහුට යලි සිහිපත් වීමත් නිසාමය..

මිනිසුන් ස්වභාවයෙන්ම තමන්ගේ වාසිය වැඩිපුර සිතන්නට කැමතිය..ව්‍යාපාරිකයෝ සාමාන්‍ය මිනිසාටත් වඩා වැඩිපුර තම වාසිය අපේක්ෂා කරති.. ඔවුන් මුල්තැන දෙන්නේ ලාභ පාඩු,ආවස්ථික පිරිවැයට මිස බැදීම් හා හැඟීම් වලට නොවේ..

❤❤❤❤❤❤❤❤️❤️❤️

රෙජිනෝල්ඩ් හා ජයන්තී පසුදා උදෑසන නොඉවසිල්ලෙන් හිටියේ ඩී.අයි.ජී සෙනෙවිරත්න ගෙන් ඇමතුමක් ලැබෙන තුරුය.ඉර උදාවූ මොහොතේ සිට හෝරාවෙන් හෝරාව ගතවී ඉර මුදුන් වන මොහත තෙක් බලා සිටියත් ඒ ඇමතුම නොලැබුණු නිසාවෙන් ජයන්තී රෙජිනෝල්ඩ්ට ඇමතුමක් ගන්නා ලෙස පැවසුවේ බලාසිටීමට නොහැකි තැනය..

“එහෙම කමක් නැද්ද ජයන්තී ….?”

“කමක් නැහැ …කතා කරලා බලන්න..”

තමාගේ දියුණුවේ ,සාර්ථකත්වයේ තමා පසුපස සිටි ජයන්තීගේ වදන් ඇසීමට පුරුදු වී සිටි රෙජිනෝල්ඩ් ඇගේ වදන් අසා ඩී.අයි.ජී.සිරිවර්ධනට ඇමතුමක් ගත්තේ දෙවරක් නොසිතාමය…

ඩී.අයි.ජී සිරිවර්ධන ඒ ඇමතුමට පිළිතුරු දුන්නේ රෙජිනෝල්ඩ් දෙවන වතාවට ඇමතූ මොහොතේය.

“රෙජිනෝල්ඩ් මම ඔයාට කෝල් එකක් ගන්නමයි හිටියේ…දන්නැද්ද රාජකාරි වැඩ එක්ක මම පොඩ්ඩක් බිසී වුණු නිසා ..”

“ඒකට කමක් නෑ.සෙනවි මොනවාද පුතා කියන්නේ ?..”

රෙජිනෝල්ඩ් එසේ ඇසුවේ තවදුරටත් ඉවසා නොසිටිය හැකි තැනය.

“රෙජීගේ දුව මොනවාද කියන්නේ..”

“අපේ දුව ඉතින් මොනවා කියන්නද?එයා අපි කියන දේකට උඩින් යන්නේ නෑ…”

ඩී.අයි.ජී.සෙනවිරත්න මොහොතක් ගොලුවී මෙන් සිටියේ ඒ වදන් වලටය.

“අයැම් සොරි මචන්…පුතා කැමති නෑ කියනවා…”

ඩී.අයි.ජී.සෙනෙවිරත්න ගේ ඒ වදන් වලට රෙජිනෝල්ඩ්ගේ ලෝකය දෙදරනවා සේ දැනුණේ ඔහු මේ විවාහය දැඩි සේ අපේක්ෂාවෙන් සිටි නිසාවෙනි ..

“ඇයි ඒ අපේ දුවගේ මොකක්ද තියෙන අඩුපාඩුව “

“අයියෝ එහෙම හිතන්න එපා.. ඒ ළමයාගේ කිසිම අඩුපාඩුවක් නෑ..හින්දි ෆිල්ම් ස්ටාර් කෙනෙක් වගේ ඒ ළමයා හැඩට ඉන්නේ.අපේ කො/ල්/ලා/ට පින නෑ…කොහොමත් ගෙදර ඉඳන් ආවේත් අදිමදි කර කර..රෙජිනෝල්ඩ් දන්නවානේ දැන් කාලේ හැදන ළමයි ගැන..සමහරවිට දැනටමත් පුතාට ගෑනු ළමයෙක් ඇති…ඒකනේ මෙච්චර ලස්සන ළමයාට කැමති නැත්තේ …ඒත් ඇහුවාට කියන්නේත් නැහැ.”

“ඉතින් සෙනවි ළමයින්ගේ පදයටද නටන්න ලෑස්ති වෙන්නේ….”

“එහෙම නෙමෙයි ඒත් මේ එයාලගේ ජීවිතේ..එයාලා වැඩිහිටි පුරවැසියෝ විදිහට එයාලා කැමති කෙනෙක් බදින්න අපි නිදහස දෙන්න ඕනේ..අපේ කාලේ දැන් ඉවරයි…දැන් ඉතින් එයාලගේ කාලේනේ..රෙජිගේ හිත රිදුනානම් සමාවෙන්න .මෙතන මට කරන්න දෙයක් නැහැ …මමත් ආසාවෙන් හිටියේ රෙජී මගේ මස්සිනා වෙනවාට…ඒත් මොනා කරන්නද ..?මම පොඩ්ඩක් බිසී.පස්සේ කෝල් එකක් දෙන්නම්..”

ඩී.අයි.ජී.සෙනෙවිරත්න එසේ ඇමතුම විසන්ධි කළත් රෙජිනෝල්ඩ් තවමත් සිටියේ වික්ෂිප්ත වූ අයුරිනි.

“මොකක්ද වුණේ රෙජී.ඇයි ඔයා අප්සට් එකෙන්..?.”

ජයන්තී එසේ ඇසුවේ මැලවීගිය රෙජිනෝල්ඩ් ගේ මුහුණ දෙස බැලීමෙනි ..

“ඩී.අයි.ජී ගේ පුතා අපේ දුවට කැමති නෑලූ…”

“ඒ මොකද ඒ අපේ ශේෂාගේ මොකක්ද තියෙන අඩුව…හොඳ පොලිටිෂියන් කෙනෙක්ගේ පුතෙක්ට හරි ලොකු බිස්නස්මන් කෙනෙක් උනත් අපේ ශේෂාට ලේසියෙන් හොයාගන්න පුළුවන්….ඕක අල්ලලා දාන්න ..මට පුළුවන් අපේ ශේෂාට ඔයිට වඩා හොඳ කෙනෙක් හොයාගන්න..අපේ වෙල්ෆෙයාර් එකේ ඉන්න මිසිස් සුබසිංහ ගේ පුතාටත් ගැලපෙන ළමයෙක් හොයනවාලූ…ඒ ළමයා කාර් සේල්ස් කරන ළමයෙක් ….මම බලන්නම්..ඔයා කලබල නොවී ඉන්න…”

ජයන්තී එසේ කීවේ ගානකට නොගෙනය..ශේෂාට මීට වඩා හොඳ කෙනෙක් පහසුවෙන් සොයා ගත හැකි බව දන්නා ජයන්තී නම් ඒ ගැන බිදක්වත් ගණනකට ගත්තේ නැත.

“එහෙම නෙමෙයි ජයන්තී මම ඊයේත් මේ ගැන කල්පනා කරා..දිසෙන් අද ඉන්නේ එදා මම හිටපු තැන…ශේෂා අද ඉන්නේ ඔයා හිටපු තැන..ඇයි අපිට බැරි ඔයාගේ පේරන්ට්ස්ලාට වඩා වෙනස් විදිහට හිතන්න..අපේ ළමයාගේ සතුට ගැන හිතන්න…..අපි අපේ ළමයාගේ කැමත්තට ඉඩ දෙමු ජයන්තී …”

රෙජිනෝල්ඩ් ගේ ඒ වදන් අසා ජයන්තී ඔහු දෙස දෑස් විසල් කරගෙන බලාසිටියේ ඔහු මේවගේ දෙයක් කියනු ඇතැයි ඈ කිසි සේත්ම බලාපොරොත්තු නොවූ නිසාය…

“ඔයාට පි/ස්/සු/ද රෙජිනෝල්ඩ් එහෙම උනොත් අපේ ස්ටේටස් එකට මොකක්ද වෙන්නේ…මම ඉන්නකම් තාත්තාට යි දුවටයි පි/ස්/සු නටන්න දෙන්නේ නැහැ..”

ජයන්තී එසේ කීවේ රෙජිනෝල්ඩ් දෙස රැවුමක් පාකර යවමිනි…

හමුවෙමු මීළඟ කොටසින්