36 වන කොටස
“ඔයාට මාව බැන්දොත් මේ සල්ලී මේ යාන වාහන ,ගෙවල් දොරවල් මේ හැම සැප පහසුකම් සේරම නැතිවෙලා යාවී..කමක් නැද්ද?..”
“කමක් නෑ..සල්ලි විතරක් නෙමේ ජීවීතේ කියන්නේ… කොයි තරම් සල්ලි තිබ්බත් මට ඔයා නැති ජීවිතයෙන් වැඩක් නෑ දිසෙන්…”
සෙහන්සා එසේ පැවසුවේ රිය පදවන ගමන් ඔහු දෙස මදහස පාමින් බලමිනි.
“නෑ සෙහන්සා නෑ…ඔයා දැන් ඔහොම කිව්වට ..ඔයාට එහෙම ජීවත් වෙන්න වුනොත් තමයි තේරෙන්නේ…එක වේලක් දෙකක් බඩගින්නේ ඉන්නකොන්න්බ්ට ඔය ආදරේ කියන දේ අමතක වෙලා යනවා…ඔයා සැපසම්පත් විඳින්න ඉපදුණු කෙනෙක්…සැපසම්පත් අඩුවක් නැතිව විඳවන ඔයාට සැපසම්පත් නැතිව ජීවත් වෙන්න බෑ…ඒක නිසායි ඔයාලගේ ගෙදර අයත් මට අකමැති….”
“එහෙම නෑ.මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ ඔයා තවම දන්නේ නෑ දිෂ්…..ඒකයි ඔහොම කතා කරන්නේ..”
සෙහන්සා කීවේ ඔහුගේ වදන්වලට තැවුණු පෑරුණු සිතිනි.
“ශේෂා කාර් එකේ බ්ලූ ටූත් ඔන් කරන්න…”
එක්වර දිසෙන් එසේ පවසද්දී සෙහන්සා එසේ ඇසුවේ කුතුහලයෙන් ඒ ඇයිදැයි ඔහු දෙස බලමිනි..
“ඒ ඇයි?..”
“මගේ ෆෝන් එකේ ලස්සන සින්දුවක් තියෙනවා.ඔයාට අහන්න දෙන්න…”
සෙහන්සා බ්ලූටූත් ඔන් කරේ ඒ ගීය කුමක්දැයි කල්පනා කරමිනි..
සිටු කුමාරියේ….
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි…
අගහිඟ නරකයි
සිටු කුමාරියේ ….
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිඳී
නිල් තරු එළි හීන රටින් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කෝම ඒක කියන්නේ..
ඒක කියන්නේ
සිටු කුමාරියේ….
නුඹට සීතල අගුණයි…
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි…
කණකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කෝම ඒක කියන්නේ…
ඒක කියන්නේ
සිටු කුමාරියේ…
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි..
අගහිඟ නරකයි
සිටු කුමාරියේ…
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට
වැහි පිනි අපලයි….
ගුණදාස කපුගේ ගායකයාගේ ඒ ගීතය ඈ අසා සිටියේ දෑස් කදුළුවලින් පුරවාගෙනය..ඒ ගීය කෙලින්ම ඇවිත් නතර වූයේ ඇගේ හදවතටමය..
ඔහු නොකියා පවසන්නේ ඔහුගේ අඟ හිඟ කම් ගැනත් තමාට ඒවා නිසා දුක් විඳීමට සිදුවෙන බවත්ය.ඔහුට අඟ හිඟකම් කොතෙකුත් තිබුණත් ඒවා නිසා මේ ආදරය බිල්ලට දීමට නොහැකි බව ඈ සිතා ගත්තාය..
“මට ඔච්චර දුක් දෙන්න එපා දිසෙන්…ඔයා මොන දේ කිව්වත් මම ඔයාව දාලා යන්නේ නෑ..”
දිසෙන් හෙමිහිට හිස ඔසවා සෙහන්සා දෙස බැලුවේ ඇගේ කටහඩ පවා වෙව්ලන්නට වූ නිසාය..
ඔහු හිඳහුන් අසුනේ හිස ඉහළට වන සේ තබාගෙන දෑස් පියාගෙන කල්පනා කරන්නට වූයේ ඇගේ කඳුලු බලා ඉවසා සිටීමට නොහැකි තැනය..
“මට ඇත්ත කියන්න දිසෙන් මම විතරද ඔයාට ආදරේ කරන්නේ..ඔයාට මාව එපාද?.හැමතිස්සේම මට ඔයාව දාලා යන්න කියන්නේ ඒකටද?…”
සෙහන්සා එසේ කීවේ ඔහුගේ දෑස් මුලට කඳුළු ගෙනෙමිනි…ඔහු ඒ කදුලු දෑස් තුලම සිරකරගෙන සඟවාගෙන උන්නේ පිරිමින්ට හැඬීම අකැප දෙයක් වූ නිසාමය…
කාර්‍යාලයට ගියද සෙහන්සාත් දිසෙනුත් පසුවූයේ කල්පනාබරිතවය…සෙහන්සා ඇගේ මේසයේ සිට කල්පනා කරමින් සුසුම් හෙලන්නට වූ අතර දිසෙන් එම කුටියේම ඔහුගේ මේසයේ හිඳගෙන පරිගණකයට මුහුණ හෙලාගෙන වැඩ කරන අතරතුරේ සුසුම් හෙලන්නට වූවේ තමාට මෙතරම් පෙම් බඳින ඇයගේ හිත රිදවීමට සිදුවීම ගැනය.
කාර්‍යාලය නිමවන වෙලාව එනතුරාම ඈ සිටියේ වෙනදා මෙන් නොව ඈලි මෑලිව කල්පනාවක දැවටෙමිනි…
කාර්යාලය අවසන් වී සෙහන්සා අසුන්ගත්තේ රියේ රියඳුරු අසුනට එහාපැත්තේ අසුනිනි..ඈ නිහඬව කීවේ තමාට රිය පදවන ලෙස යැයි වටහාගත් දිසෙන් රියදුරු අසුනේ හිඳ ගත්තේය….
වරින්වර ඈ නළල මිරිකාගමින් ඉන්නා අයුරු දුටු දිසෙන්ට වැටහුණේ ඈ ඉන්නේ හිසරදයෙන් බවයි…ඔහු ඈ දෙස බලා උන්නේ අනුකම්පාවිනි….
“ශේෂා ඇයි ඔලුව කැක්කුමද?..”
දිසෙන් එසේ ඔහුගෙන් ඇසුවේ ඈ ඉන්නා අයුරු බලා සිටීමට නොහැකි තැනය.
ඈ නිහඬව හුන්නේ ඔහුගේ වදන් නෑසුනාක් පරිද්දෙනි..
ඈ නිහඬව ඉන්නේ තමාගෙන් පලිදැරීමට බව වටහාගත් දිසෙන් නිහඬව රිය පදවන් ගියේ තමාගේ තවත් එකඳු වදනකින් ඇගේ සිත රිදී තැවුනු ඇතැයි සිතීමෙනි..
“ඇයි ඇනෙක්ස් එකට යන්නේ නැද්ද?..”
සෙහන්සා හිස ඔසවා වටපිට බැලුවේ රිය වෝඩ් ප්ලේස් වලට හරවනවාත් සමඟය.
“ඔයාට අමාරුයිනේ.මම ඔයාව ගෙදරින් බස්සවලා බස් එකේ යන්නම්..
“නෑ මම අද රෑට ක්ලබ් යනවා..ඔයා කාර් එකෙන්ම ගිහින් මාව ගන්න නවයට විතර එන්න…”
“ඒ මොකටද ඒ ඔයා දැන්.. ක්ලබ් යන්නේ නැහැනේ..ඔයාට ඔළුව කැක්කුමත් එක්කනේ “
ඔහු ඇසුවේ ඈ දෙස විමතියෙන් බලමිනි.
“අද යන්න ඕනේ.ඔයා .ගේට් එක ළඟින් මාව දාන්න…”
සෙහන්සා මුරකුරු විසින් විවර කෙරූ ගේට්ටුව තුළින් ගේඇතුළට යන අයුරු මද වෙලාවක් බලාසිටි දිසෙන් යළි නැවතී හුන් ඇනෙක්සිය බලා ගියේ සෙහන්සාට එක්වරම රාත්‍රී සමාජ ශාලාවට යාමට සිතුණේ ඇයිදැයි සිතමිනි…
දෙවටොර තෙක් දිග රත් පැහැ ගවුමකින් සැරසී තොල් ආලේපන ආලේප කරමින් සිටින සෙහන්සා දෙස ජයන්ති බලාගෙන සිටියේ නැවතත් ඈ රාත්‍රී සමාජ ශාලාවට යාමට සැරසෙන්නේදැයි කල්පනා කරමිනි.
“මම එනකොට රෑ වෙයි..බලන් ඉන්න එපා …”
කැඩපතින් පෙනෙන මවගේ ප්‍රතිබිම්බය දෙස බලමින් සෙහන්සා එසේ කීවේ ගණනකට නැතිවය ..
“ආයෙමත් ක්ලබ් යන්න පටන් ගත්තද?.
“කාලෙකින් යන්න බැරි වුණා …”
“අර මිනිස්සු හෙට අනිද්දම මෙහේ එයි…ඒ වැඩ ඉක්මනට පිළිවෙලක් කරානම් අපේ හිතටත් කිසි බරක් නෑ..”
“ඇයි අම්මලා මගේ කැමැත්ත අකමැත්ත ගැන හිතන්නේ නැත්තේ?…මම ඕකට කැමති නෑ කියලා කිව්වනේ..”
“ඔයාගේ කැමැත්ත අකමැත්ත අපිට වැඩක් නෑ ..ඔයා කරන්න ඕන අපිට ඕන දේවල් …ඔයා කරපු අනෙක් හැම දෙයක්ම කලේ ඔයාට ඕන දේවල් ….ඔයාගේ දෙමාපියෝ විදිහට මේ දේ වත් අපිට ඕන විදිහට කරන්න දෙන්න…ඇත්තටම මේ ළමයින්ගේ කිසිම සැනසීමක් නෑ…අපි පොඩි කාලේ දුක් මහන්සි වෙලා හැදෙනවා ලොකුවෙලා සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා …ඒත් ලොකුවෙලා ඊට එහා ….ඔයා කොච්චර හිතුවක්කාරකම් කරත් අපි ඔයාට ඔය හි/ඟ/න්/න/ව නම් කසාද බන්දවයි කියලා හිතන්න එපා…”
ජයන්ති එතනින් පිට වූයේ එසේ කියමිනි.ජයන්තී එතනින් පිට වූවද ඇගේ වදන් සෙහන්සා ගේ හිත කළඹවන්නට සමත් විය…
සයනයේ අසුන්ගත් සෙහන්සා මවගේ වදන් ගැන ගැන මොහොතක් කල්පනා කරන්නට වූවාය …මවත් පියාත් මොනතරම් ඔහුට විරුද්ධ වුවත් ඔහුගෙන් තොර ලොවක් ගැන දැන් ඇයට සිතීමටවත් බැරි තරම්ය..
සෙහන්සාගේ ජංගමයට ඇමතුමක් පැමිණියේ ඇය කල්පනාවෙන් මුදවමිනි…
ඇමතුම පැමිණෙන්නේ ඔහුගෙන් බව දුටු ඇය කලබල වූයේ ඔහු තමා ගැනීමට නිවස අසලට පැමිණ ඇති බව සිතීමෙනි..
ඇය ඊට පිළිතුරු දුන්නේ සිහින් සරිනි..
“හලෝ…”
ඔහුගේ ඒ හඬ ඇසීමෙන් පවා ඇගේ තුන් සිතම මෙසේ දැහැන් ගත වෙන්නේ කෙසේදැයි ඇයටවත් සිතා ගත නොහැකිය.
නැත ..මියෙන තුරාවට ඔහුගෙන් මිදීමට නොහැක..ඇය එසේ තම සිතට පිළිවදන් දුන්නාය..
“ශේෂා..මම ඔයාලගේ ගේට් එක ගාව ඉන්නේ…”
“ඕකේ මම එන්නම්..”
ඇය ඉක්මන් ගමනින් රියට නැග්ගේ නිහඬවමය.
රාත්‍රී සමාජ ශාලාවේ වෙනදා මෙන් ඇගේ මිතුරු මිතුරියන් කිසිවකුවත් නොසිටි බැවින් දිසෙන් ඇය ළඟින් සෙලවුණේ වත් නොමැති තරම් ය..
මිතුරියන් නොමැතිව තනිව රාත්‍රී සමාජ ශාලාවට ඈ පිවිසියේ ඇයිදැයි ඔහු මොහොතකට කල්පනා කරන්නට විය …
සමහරවිට තමාගේ රිදවූම් නිසා තැවුල් සිත සනසා ගන්නට ඇය මෙහි පැමිණෙන්ට ඇතැයි ඔහු කල්පනා කරන්නට වූවේය..
ඔහුගේ කල්පනාව මිදුණේ ඇය අසළට යමෙකු පැමිණෙනවා දැකීමෙනි..ඔහුගේ දෑස් විසල් වූයේ ඒ දනුක බව හඳුනාගනිමිනි…
“හායි ශේ….ෂැල් වී ගෝටූ ඩාන්ස්…”
ධනුක එසේ ඇසුවද දිසෙන් එය ගණනකට නොගත්තේ ඇය කිසි ලෙසකින් වත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදෙන බව ඔහු දන්නා නිසාවෙනි…..
“ඕකේ ෂුවර්…”
දිසෙන් තිගැස්සී ගියේ ඇය ඒ ඇරයුම පිළිගනිමින් තමා දෙස එකදු බැල්මක් වත් නොහෙලා ඇය දනුක සමඟ ඩාන්සින් ෆ්ලෝ එකට පියමැන්න අයුරු දැකීමෙනි…
දිසෙන් පානය කරමින් සිටී මධුවිත බඳුන එක හුස්මට පානය කළේ සිතට දැනුනු ආවේගය දරාගත නොහැකිවය.
ඇය ධනුකට ලංවී වේගරිද්මයේ ගීතයට නටන අයුරු දිසෙන් බලාගෙන සිටියේ රිදුම් දෙන සිත වාරු කර ගැනීමට නොහැකිවය…
ඔහුට දැනුණේ කිසිවකු තම සිත කොනිති ගසනවාක් මෙනි..
වෙනදා දනුකව ගණනකටවත් නොගන්නා ඇය අද මෙසේ ඔහු සමඟ නටන්නේ තමාගෙන් පලි ගැනීමට බව ඔහුට සිතිණි..
ඔහු මධුවිත වඩියෙන් වඩිය හිස් කලේ ඈ ගැන සිතට දැනුණු කෝප සිතුවිල්ලෙනි..
හමුවෙමු මීළග කොටසින්