Ex වයිෆ්
50 වන කොටස
“මගේ අතේ එකතු කරපු සල්ලි ටිකක් තියෙනවා..මට වාහනයක් ගන්නත් ඕනේ..තව මගේ හිතේ අදහසකුත් තියෙනවා ටවුමට කිට්ටු වෙන්න ටිකක් ලොකු බිල්ඩින් එකක් අරගන්න.හැබැයි මම ළඟ ඒ දෙකටම සල්ලි නෑ”
“මමත් උ/ඹ/ට කියන්න හිටියේ දැන් ඉතිං ඉක්මනටම වාහනයක් ගත්ත නම් හරි කියලා …ඒ නිසා ඒ අදහස නම් ඇත්තටම හොඳයි….එතකොට බිල්ඩින් එකක් බලන්නේ?…”
“මට හිතෙනවා අපේ අවුට්ලට් එකක් කරා නම් හොඳයි කියලා…අපි ඇඳුම් මැහුවට අපිට වඩා ආදායමක් ගන්නේ අතරමැදියෝ…ෂොප්ස් වල අය…අපේ ෂොප් එකක් දැමමා නම් අපිට හොඳ ලාබයක් ගන්න තිබ්බා.මේ ටවුන් එකේ කිඩ්ස් අවුට්ලට් එකක් ඇත්තේම නෑ …අපේ ප්‍රඩක්ට්ස් නිසා කස්ට්‍රමස්ලාට රීසනබල් ප්‍රයිස් එකකට අපිට ඇඳුම් දෙන්න පුළුවන්…”
සඳුනි හිරූෂා කියන දේ මොහොතකට කල්පනා කරන්න ගත්තා…
හිරූෂා කියන දේ ඇත්ත…හිරූෂා හොඳ ව්‍යාපාර නුවණක් තියෙන කාන්තාවක්…
කුස්සියේ දුම් ගැහි ගැහී තුන් වේලම බත් තම්බ තම්බා හිටියේ මෙච්චර දක්ෂ බුද්ධිමත් කාන්තාවක් කියලා කවුරුවත් හිතන්නේ නෑ හිරූෂා ගිහාන්ගේ පතිනියම වෙලා හිටියානම්……
හිරූෂා තමන්ගේ ශක්තිය දැනගත්තේ ගිහාන්ගේ හැර යාම නිසා…ප්‍රතික්ෂේප වීම නිසා..
එක අතකින් ගිහාන් හිරූෂාව හැරයාම හිරූෂාගේ වාසනාව කියලා සඳුනිටහිතුණා.
“නියමයි කෙල්ලේ..මට උ/ඹ ගැන ගොඩාක් ආඩම්බරයි…අපි බලමු සාධාරණ ගාණකට හොඳ බිල්ඩිම් එකක් බද්දට ගන්න…”
“ඒත් ඉතින් ඒක කරන්න ගියොත් මට වාහනයක් ගන්න බැරි වෙනවානේ සඳූ..මගේ ළඟ තියෙන සල්ලී ඒ දෙකටම මදිනේ…”
හිරූෂා එහෙම කිව්වේ ලොකු හුස්මක් හෙලන ගමන්….
“ඕක මොකක්ද කෙ/ල්/ලේ…අපිට ඔය දෙකම කරගන්න පුළුවන්..?..
සඳුනි එහෙම කීවාම හිරූෂා පුදුමයෙන් වගේ සඳුනි දිහා බැලුවා…
“ඒ කොහොමද ඒ ?…”
“අපි අතේ තියෙන සල්ලි වලින් බිල්ඩින් එකක් ලීස් කරලා ගමු…වාහනයක් ලීස් කරලා ගමු…ලීසිං එක ගෙවාගන්න පුළුවන් නේ….”
සඳුනිගේ අදහස හොඳයි කියලා හිරූෂාට එකපාරටම හිතුණා..වාහනයට එකපාර යටකරන්න සල්ලි නැති නිසා ලීසිං කරන එක හොඳ විසඳුමක් කියලා හිරූෂා කල්පනා කළා….
“ඒක හොඳ අදහසක් අපි එහෙම කරමු…උ/ඹට පුළුවන් නේද මගේ ග්රැන්ටර් විදිහට සයින් කරන්න…”
“අයියෝ ඕක මොකක්ද හිරූ…ඒක නෙමේ මම මේ හිරූෂාගෙන් අහන්න හිටියේ ෂොප් එක පටන් ගත්‍තාට පස්සේ කවුද ෂොප් එක බලාගන්නේ කියලා…දුවත් එක්ක උ/ඹ/ට කරගන්න පුළුවන්ද…..”
“දුව උදේ ස්කූල් බස්සලා දවල් ස්කූල් ඉවරවෙනකන් මට එතැන ඉන්න පුලුවන් නේ..මදූකාට දවල් වරුව එතැන බලාගන්න කියලා කියනවා..හොඳ විශ්වාසවන්ත දන්නඅඳුරන ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි මුලින් වැඩට ගත්තනම් හරි..
හිරූෂා හොඳ සැලසුමක් ඇතිව දුරදිග බලා වැඩ කරන කෙනෙක් කියලා සඳුනි කල්පනා කරා.ඒත් සඳුනි මේ වැඩේට සම්බන්ධ කරාම ගාමන්ට් එකේ වැඩවලට මොනවා වේවිද කියලා සැකයක් හිරූෂාට ඇති වුණා ..
“හිරූ..මදූකාව ෂොප් එකේ වැඩ වලට සම්බන්ධ කර ගත්තොත් ගාමන්ට් එකේ වැඩ ටික හරියට වෙයිද?..”
“උදේ වරුවේ ගාමන්ට් එකේ වැඩ බලන්න මදුකා ඉන්නවනේ..දවල් මම දුවව අරගෙන ගෙදරට ආවම හවස් වරුව මට බලාගන්න පුළුවන් ..දුවව බලාගන්න අම්මලා ඉන්නවා නේ …දැන් පුතත් ලොකුයිනේ…ඒක නිසා මට බයක් නෑ…මම වැඩ කරද්දි මගේ ළඟහරි තියාගෙන ඉන්න පුළුවන් නේ…දුවව තෙරපි හොස්පිට්ල් ගෙනියන දවස්වලට අම්මට පොඩ්ඩක් ගාමන්ට් එකට වෙලා ඉන්න කියනවා …එතන කොහොමත් දැන් ලොකුවට බලන්න දෙයකුත් නෑ …”
හිරූෂා ගැන ලොකු සතුටක් සඳුනිට ඇති වුණා….හිරූෂාට දවසින් දවස ඉහළටම යන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා කියලා සඳුනි නිහඬව ප්‍රාර්ථනා කරා.
“මම අකිලට කියලා උ/ඹ/ට හොඳ වාහනයක් හොයලා දෙන්නම්..උ/ඹ පුළුවන්නම් ඩ්‍රයිවින් ටිකක් ඉගෙන ග/නි/න්..”
තමාගේ හැමදේටම උදව්වට ඉන්න මිතුරිය දිහා හිරූෂා බලාගෙන හිටියේ කෘතඥ පූර්වකව..අම්මාත් තාත්තාත් නංගීත් සඳුනිත් තමාගේ උදව්වට ලඟට වෙලා ඉන්න එක කොයිතරම් ලොකු ශක්තියක් ද කියලා හිරූෂාට හිතුනා…
💔💔💔💔💔💔💔💔💔💔💔💔
දවසින් දවස වැඩි වෙන වියදම එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා ගිහාන් කල්පනා කරා…ගෙදර දොරේ වියදමට අමතරව චේතනාගේ පුතා දනූෂ්ට වියදම් කරන්න වෙන එක ගිහාන්ට දරාගන්න බැරි වුණා…
චේතනාගේ අම්මා ලක්ෂ්මීගේ ම/ර/ණ/යටත් ගිහාන් ගේ අතේ තිබ්බ සැලකිය යුතු මුදලක් විය පැහැදම් වුණා…ගිහාන්ට සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවේ චේතනාගේ අම්මගේ ම/ර/ණ/ය/ත් එක්ක..
දනූෂ් ගිහාන්ගේ ගෙදර පදිංචියට ආවත් එක්කම චේතනාගෙයි ගිහාන් ගෙයි නිදහස සීමා වූණා…අඩුම තරමේ ගිහාන්ට තමන්ගේ ගෙදර තමන්ට ඕන විදිහට ජීවත් වෙන්නත් බැරි වුණා.ගිහාන්ට ඒක ලොකු මානසික වදයක් වුණා..
ගිහාන් දනූෂ්ව ගෙදරින් පිට කරන්න හැදුවත් ඒකට චේතනා පොඩ්ඩක් වත් කැමති වුණේ නැහැ…චේතනාගෙයි ගිහාන්ගෙයි රණ්ඩු සරුවල් වැඩිවෙන්න ගත්තා..
ගිහාන්ගේ ගෙදර ලොක්කා වෙන්න දනූෂ් නිතරම උත්සහ කළා..කාටවත් දෙවනි වෙන්න අකමැති ගිහාන්ට මේක ඉවසගන්න අමාරු වුණා.
“දනූෂ් නැගිටිනවා ඔය පුටුවෙන්….ඔය පුටුවේ මමයි වාඩි වෙන්නේ…”
ගිහාන් වාඩිවෙලා ඉන්න සෝෆා එකේ මහ පුටුවේ දනූෂ් වාඩිවෙලා…ගිහාන්ට ඒ පුටුවේ වාඩි වුණේ නැතිනම් කෑවේ නෑ වගේ.. ඒ පුටුව ගිහාන්ට ඒ තරම් පුරුද්දක් වෙලා…
“ඇයි මේ ගෙදරට තියෙන්නේ මේ පුටුව විතරද?..මේ තියෙන්නේ තව පුටු…”
දනූෂ් කීවේ ගණනකට නොමැතිව තව තවත් ඒ පුටුවේ හරි බරි ගැහිලා වාඩි වෙලා. .
දනූෂ් පුටුවෙන් නැගිටින්නේ නැතිව කට ගහන් කිසිම ගරුසරුවක් නැතුව කථා කරන විදියට ගිහාන්ගේ ඇඟේ ලේ* කුපිත වුණා..
“මම මේ පුටුවේ වාඩි වෙලා ඉන්නේ කියලා ත/මු/සේ දන්නවානේ.නැගිටිනවා ඔය පුටුවෙන්…”
ගිහාන් කොයිතරම් කෑගැහුවත් දනූෂ් නම් ගණනකට වත් ගත්තේ නැහැ..දනූෂ් ඒ කිසි දෙයක් ඇහුණේ නෑ වගේ සෝෆාවේ වාඩි වෙලා ටීවී එක බල බලා හිටියා…
ගිහාන් රිමෝට් එක අරගෙන ටීවී එකේ යන චැන්ල් එක මාරු කලා..ඒකට නම් දනූෂ්ට තරහාත් ගියා…
“මහත්තයා දානවා ශක්ති ටීවී එකට..පේන්නේ නැද්ද මම ටී.වී එක බල බල හිටියා කියලා..චැනල් එක මාරු කලේ..”
දනූෂ් චිත්‍රපටියේ අවසාන මොහොත බලමින් හිටියේ….ඒ නිසාම දනූෂ්ට හොඳටම තරහා ගියා…
“දී/ප/න් මහත්තයා ඔය රිමෝට් එක….මේක හරි වදයක් වුණානේ..මේ ගෙදර කැමති තැනක වාඩිවෙන්න විදිහක් නෑ.කැමති ටීවී චැනල් එකක් බලන්න විදිහක් නෑ…කිසිම නිදහසක් නෑනේ…”
දනුෂ් ගිරිය පුප්පමින් යටි ගිරියෙන් කෑගහන්න ගත්තා.ගිහාන්ගේ තරහ තවත් වැඩිවුණා…
නානකාමරයේ හිටපු චේතනා ඉක්මනට දුවගෙන සාලේට ආවා..
“මොකෝ මේ කෑගහන්නේ…”
“මේ ගෙදර මට ඕනේ දෙයක් කරන්න බෑ.කැමති චැනල් එකක් දාන්න් බෑ
කැමති පුටුවක වාඩි වෙන්න බෑ..”
දනූෂ් චේතනාට ගතු කියන හැටි ගිහාන් බලාගෙන උන්නේ තරහෙන්…
“චේතනා..මේ ගෙදර ඉන්නවානම් මූ//ට මම කියන විදිහට ඉන්න කියන්න.මම කීපාරක් කිව්වද මේ පුටුවෙන් නැගිටින්න කියලා..තවම මෙතනින් නැගිට්ටේ නෑ…මම මට ඕනේ චැනල් එකක් දාගත්තේ…”
“අයි අයියෝ ඔයාත් පොඩි ලමයෙක් වගේ නේ මාත්තියා..කොයි තිස්සෙත් මේ/කා එක්ක රණ්ඩු කර ගත්ත ගමන්…ඒකාතාම පොඩි එකානේ..මාත්තයා පාඩුවේ ඉන්න….”
චේතනා එහෙම කිව්වම ගිහාන්ට චේතනා එක්කත් තරහ ගියා..
මේ චේතනා තමයි දනූෂ්ව සුද්ද කරලා නරක් කරන්නේ…
වැරදි දැක දැක නිහඬව ඉන්නවා…
ඒමදිවට බොරුවට හුරතල් කරනවා….
ගිහාන් එහෙම හිතලා චේතනා දිහා තරහෙන් රවලා බැලුවා…
“ත/මු/සේ හරියට මේකාව හදාගන්නෙ නැත්තම් මම මේකාව හදලා ගන්නම්…”
ගිහාන් එහෙම කියලා දනූෂ් ළඟට පැන්නා…
“නැ/ගි/ට/ප/න් ඔය පුටුවෙන්…”
“ඇයි ත/මු/සේ මට මොනව කරන්නද?…”
දනූෂ් පුටුවේ තව තවත් ඇලිලා වගේ වාඩි වෙලා එහෙම ඇහුවා …
“උ/ඹ නැගිටිනවද නැද්ද?…”
“මේ සේරටම මුල ටීවී එක නේ…හි/ට/ප/න් මං හොඳ වැඩක් කරන්න…”
දනූෂ් ටීවී ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ ටීවී එකට සෝෆා එකේ coffee table එකේ එහා පැත්තෙ තිබ්බ පොඩි ස්ටූල් එකක් අරගෙන හයියෙන් දමලා ගැහුවා..
ඒ ගහපු පාරට ටීවීඑක කුඩුපට්ටම් වුණා..
ගිහාන් ගේ පපුව එකපාරටම පිච්චිලා ගියා වගේ ගිහාන්ට දැනුනා…
අනේ දෙවියනේ මම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ….
පුතාට ක්‍රෙඩිට් කාඩ් එකෙන් කම්පියුටර් එකක් අරන් දුන්නු නිසා දැන් ඉතින් අලුතින් ටීවී එකක් ගන්න විදිහක් වත් නෑ…
තරහයි දුකයි වැඩිකමට ගිහාන්ගේ ඇස්වලට කඳුළු ඉනුවා..
ගිහාන් දනුෂ්ගේ ටී ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා දනුෂ්ව ලඟට ගත්තා ..
“උ/ඹ හිතන්නේ උ/ඹ මහා ලොකු කෙ/රු/ම්/කා/රයා කියලද ?…උ/ඹ මේ නාස්ති කරන්නේ උ/ඹ හම්බකරන සල්ලි ද ?..”
ගිහාන් දනූෂ්ට තරු විසි වෙන්න අත පුරෝල කම්මුල් පාරක් ගැහුවා …
බීමතින් නොහිටියත් වියරු වැටිලා හිටපු දනූෂ් ගිහාන්ව පැත්තකට තල්ලු කරලා දැම්මා..
“ත/මු/සෙ/ට මාව හදන්න බෑ මහත්තයා…මම ඉන්නේ මට ඕන විදිහට…කොහෙවත් ඉදන් ආපු උ/ඹ කොහොමද අපිට පාට් දාන්නේ…මම ත/මු/සෙ/ට බයත් නෑ .මේ ගෑ/ණි/ට බයත් නෑ..”
දනුෂ්ගේ කතා අහන් ඉන්න බැරි කමට ගිහාන් බිම වැටිලා හිටපු තැනින් නැගිටලා කාමරේට ගියා…
තමන්ගේ ප්‍රතිරූපය කජු කිරි කො /ල්/ලෙ/ක් නිසා අද සම්පූර්ණයෙන්ම දියවෙලා ගියා කියලා ගිහාන්ට ලැජ්ජා හිතුනා….
හිරූෂා ළමයි දෙන්නා ඉදිරියේ තමුන් කොච්චර අභිමානයෙන් සිංහයෙක් වගේ හිටියද කියලා ගිහාන්ට මතක් උනා…..
චූටි දෝණි නොතේරුම් කමට පුංචි වැරැද්දක් කරත් තලපු ගහපු හැටි ගිහාන්ට මතක් වෙළා ගිහාන්ගේ ඇස් කඳුළින් පිරුණා…
තමන්ගේ රෝගී අසරණ පුංචි දුවට සලකපු නපුරු විදිහ ගිහාන්ගේ ඇස් ඉදිරියේ මැවිල පෙනුනා…
ගෙදර පුංචි බඩුවක් කැඩුවම දෝණිට හම් බෙල්ට් එක අරගෙන දඬුවම් කරපු හැටි ගිහාන්ට අද වගේ මතකයි…
ඒ නොදරුවට කරපු වෙනස්කම්…
හිරූෂාට කරපු ද්‍රෝහිකම් …
දැන් මතක් වෙද්දි ගිහාන්ගේ පපුවට වාවන්නේ නෑ…
මට හොඳ සැමියෙක් වෙන්න බැරි වුණා…
අඩුම තරමේ හොඳ තාත්තෙක් වෙන්න වත් බැරිවුනා…..
ලස්සන පවුලක් ලස්සන කැදැල්ලක් තියෙද්දි ඒ කැදැල්ල ආරක්ෂා කරගන්න තියා ඒ කැදැල්ලේ වටිනාකම වත් මට දැනුණේ නෑ.
මට පෙනුනේ චූටි දෝණිගේ හිරූෂාගේ වැරදිම විතරයි…
නිවැරදි ගැහැනියකුට වැරැද්දක් කරන කිසිම කෙනෙක්ට යා දෙන්නෙ නෑ….දවසින් දවස පරිහානිය කරා යනවා..
මම අද ඒ දේට විදවනවා….
දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නේ මේකට වෙන්න ඇති…
මේ ආත්මේ කරපු පව් වලට මම මේ ආත්මෙම විඳවනවා..
මගේ ඇස් ඉස්සරහ නිවැරදි පාරවල් තියෙද්දි මම ගමන් කරන්න තෝර ගතතේ වැරදි පාරවල් විතරයි…
මෝඩකමයි ,උද්දච්ච කමයි,තණ්හාවයි ,රාගයයි නිසා මගේ ඇස් අන්ධ වෙලා තිබුණේ…
තවත් මම පරක්කු නෑ …
අද ඉඳන්වත් මම මගේ දරු දෙන්නට හොඳ තාත්තා කෙනෙක් වෙනවා….
හිරූෂාට හොඳ සැමියෙක් වෙනවා…
ගිහාන් එහෙම හිතාගත්තා…
ගිහාන් ලක ලෑස්ති වෙලා ඉරණම් ගමනක් යන්න සූදානම් වුණා..
ගිහාන් කාර් එකේ යතුර අතට ගන්නකොටම චේතනා කාමරයට ආවා…
“මාත්තියා මේ කොහේ යන්නද?….”
චේතනා එහෙම ඇහුවෙ බයෙන් වගේ…
ගිහාන් චේතනා ට පිළිතුරු නොදීම කාර් එකේ යතුර අරගෙන කාර් එකට නැග්ගා…
“ආඩවනේ…පොඩි පොඩි දේවල් වලට මේවා කරන්න එපා මාත්තියා…”
චේතනා ගිහාන්ගේ කාර් එක පස්සෙන් ආවත් වැඩක් වුණේ නෑ …..
ගිහාන් කාර් එක අරගෙන පිටත් වුණා …
💔💔💔💔💔💔💔💔💔💔💔💔
ගේ ඉස්සරහ කාර් එකක් නවත්වන සද්දේ ඇහිලා ගාමන්ට් එකේ උන්නු හිරූෂා එකපාරටම තිගැස්සුණා..
ගේ ඉස්සරහ නැවැත්තූවේ ගිහාන්ගෙ කාර් එක කියලා හිරූෂාට අඳුර ගන්න බැරි උනත් කේෂාරා දුවට නම් අඳුර ගන්න පුළුවන් වුණා…
“තාත්තා ඇවිත් ..”
දැන් වෙලාව රෑ අටටත් ළඟයි …ගිහාන් මොකටද මේ මහ රෑ මෙහාට ආවේ …
හිරූෂා එහෙම කල්පනා කරමින් චූටි දෝණිව වඩාගෙන ගාමන්ට් එකෙන් එළියට ඇවිත් මිදුලට ආවා …
ඒ වෙද්දිත් මේ රෑ ආපු අමුත්තා කවුද කියලා බලන්න අබීත පුතාත් එලියට ඇවිදින් හිටියේ ..
ගිහාන් කාරෙක මිදුළට දැම්මේ පුදුමයෙන් වගේ වටපිට බලමින්..
මේ මොකද අලුතින් මේ හදලා තියෙන මේ ලොකු බිල්ඩින් එක…
ගිහාගේ ඇස්දෙක ගියේ හිරූෂාගේ මැහුම් වැඩපළ දිහාවට..
කේ ඇන්ඩ් ඒ ග්‍රාමන්ට්….
ඒ එක්කම ගිහාන් දැක්කා ගැරැජ් එකේ නවත්තලා තිබ්බ හිරූෂාගේ කාර් එක…
ඒ බිල්ඩින් එකේ තියෙන පුවරුව,වාහනය දැක්කම තමයි ගිහාන්ට තේරුනේ හිරූෂා දැන් ගොඩක් දියුණු වෙලා කියලා…
තමන් දවසින් දවස පරිහානියට යද්දි හිරූෂා දවසින් දවස දියුණුවට පියමන් කරලා…
ගිහාන්ට එහෙම හිතුනා…
“මොකෝ ගිහාන් මේ හදිස්සියේ ?..”
හිරූෂා එහෙම ඇහුවම ගිහාන්ගේ මුවට අගුල් වැටිලා වගේ වුණා …
ගිහාන්ට මොහොතක් කතා කරගන්න බැරුව ගියා….
“මොකද ගිහාන්…”
ගිහාන් ආයාසයෙන් මුවට වදන් ගත්තා …
“මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ හිරූෂා..”
ගිහාන් කිව්වේ හිරූෂා ළඟ හිටපු චූටි දෝණි අභීත දිහා බලන ගමන්..
“පුතේ නංගිව ගේ ඇතුලට අරගෙන යන්න …
හිරූෂා එහෙම කිව්වම අබීත පුතා ගිහාන් දිහා බැලුවේ නොරිසසුමකින් වගේ..
ඒත් අබීත අම්මට කීකරු පුතෙක් වුණ නිසා නිහඬව නංගිව අරගෙන ගේ ඇතුලට ගියා …
“කියන්න ගිහාන්…”
මේ රෑ හදිස්සියේ ගිහාන් තමන්ව හොයාගෙන ආවේ ඇයි කියලා හිතාගන්න බැරිව හිරූෂා එහෙම කිව්වා..
“අනේ මගේ හිරූ…මම වැරදියි කියලා මට දැනුයි තේරුණේ…මට සමාව දෙන්න හිරූ….”
ගිහාන් එහෙම කිව්වම හිරූෂා පුදුමයෙන් දෑස් විසල් කරගෙන ගිහාන් දිහා බලාගෙන හිටියා…
හමුවෙමු මීළඟ කොටසින්