වෙස්
33 වන කොටස
රෝහලේ ඇතුළු පස සිට පැමිණි හෙදිය සෙහන්සා හා රෙජිනෝල් දෙස අනුකම්පා සහගත බැල්මක් හෙළුවාය…….
“i am sorry …ඒ පේෂන්ට් දැන් ටිකකට කලින් නැතිවුනා……”
හෙදිය එසේ කියනවාත් සමඟ සෙහන්සා ගේ ගතට අප්‍රාණික ගතියක් දැනෙන්නට විය…
ඇය ළඟ තිබූ බිත්තියකට හේත්තු වූයේ සිහි නැතිව බිම ඇද වැටේ යැයි බියෙනි …
“මොනවා…”
රෙජිනෝල්ද එක්වර කම්පාවට පත් වූයේ ඒ අසාය.ගහක් ගලක් මෙන් සිටි ඒ තරුණයාට මෙබඳු ඉරණමකට මුහුණ දීමට සිදු වූයේ කිනම් අවාසනාවකට දැයි රෙජිනෝල්ට සිතී රෙජිනෝල්ගේ දෑස් වලටද කඳුළක් ඉනුවේ එක්වරමය…
රෙජිනෝල් සෙහන්සා දෙස බැලුවේය.ඔහු එවිට දුටුවේ බිත්තියකට හේත්තු වී ඈ සිහින් සරින් ඉකිබිඳින අන්දමයි..සෙහන්සා මෙසේ ඉකිබිඳින්නේ දිසෙන් ගැන ඇගේ සිතේ ඇති සුවිශේෂි හැඟීමකට දැයි රෙජිනෝල්ට සිහින් සැකයක් ඇති වුණී…
රෙජිනෝල් බිත්තියට වාරු වී හිඳින සිය දියණියගේ හිස හෙමිහිට අතගාන්නට වූවේය..සෙහෙන්සා දුක වාවාගත නොහැකිව පියාගේ පපුවට බරවී ඉකිගසමින් හඬන්නට වූවේ ලොවම අමතක වූ විලසිනි…
“එහෙම තමයි ශේෂා…අපි මේ ලෝකෙන් කොයි වෙලේ යනවද කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි…ඒ ඒ ළමයා ගෙනාපූ ආයුෂ ..මොනා කරන්නද?.”
සෙහන්සාගේ හැඬුම උත්සන්න වූයේ බලාගෙන සිටියදීමය…ඈගේ හැඩීමෙන් පියාගේ කමිසය තෙමී යන්නට වැඩි වෙලාවක් ගියේ නැත…
“ඇයි පුතේ මෙහෙම අඬන්නේ…මට කියන්න..ඔයාගෙයි ඒ දරුවාගෙයි එහෙම සම්බන්ධයක් තිබුණද?..”
සෙහන්සා මොහොතක් පියා දෙස බියවී මෙන් බලා සිටියාය.ඈ කල්පනා කරන්නට වූවේ මේ ගැන පවසනවාද නැතැයිද යනුවෙන් කල්පනා කරමිනි..
පෙරදී තමාගෙත් දිසෙන් ගේත් සම්බන්ධය සඟවාගෙන සිටියත් දැන් එසේ සඟවා සිටීමෙන් පලක් නැතැයි ඇයට සිතුණී..පියාට මේ සම්බන්ධයට විරුද්ධ වීමට දැන් ඔහු මේ ලොව.ජීවත් වන්නේද නැත..ඒ නිසා මේ සියල්ල පවසා සිත නිදහස් කර ගැනීමට ඇයට උවමනා වූවාය.
ඇය පියාගේ ළයට තුරුළු වී සියල්ලම පියාට පැවසුවේ නෙතු කඳුළැලි වලින් පුරවාගෙනය..
රෙජිනෝල් ඇයව තුරුළු කරගෙන ඇගේ හිස අතගෑවේ දුකින්ද නැතිනම් කරකියාගත දෙයක් නොහැකිවද යන්න ඔහුම දැන සිටියේ නැත.එසේ නම් ජයන්ති කී අනාවැකිය සැබෑ වී ඇත.ගින්දරයි පුළුනුයි එක ළඟ තබා ගිනිගෙන දැවී ඇත…
සෙහන්සා යනු දුලන්සා මෙන් නොව මුරණ්ඩු තරුණියකි.ඈ කුඩා කාලයේ පටන් ආශක්ත වූ ලැබෙන තුරු සටන් කර හිමි කර ගන්නට තැත් දරන්නියකි.එසේ නම් මේ සියලුම දේ සිදු වී ඇත්තේ යහපතටයැයි ඔහුට සිතුණි..
රෙජිනෝල්ගේ හිතේ දිසෙන් ගැන දැනුණු දුක මදකට සමනය වූයේ ඔහුගේ මරණය එකඅතකින් වෙස් වලාගත් ආශිර්වාදයක් සේ ඔහුට දැනුණු නිසාවෙනි..
“මට දිසෙන්ව බලන්න ඕනී…”
ඔහු පණ සුන්ව සිටියත් ඔහුගේ ළඟට වී ඒ උණුසුම නැතිවී යනතුරුවත් සිටීමට සෙහන්සාට උවමනා විය.
“දුව මෝචරියේ වෙන්නැති…”
“නෑ එයා අයි සී යූ එකේ හිටියේ ..තාම ඒකේ වෙන්න.ඇති..”
සෙහන්සා රෙජිනෝල්ගේ දෑත්ගසා දමා එතනින් පිටව එක්වරම රෝහල් වාට්ටුව තුළට ගමන් කරන්නට වූවාය..රෙජිනෝල් ඇයගේ පසුපසින් දිව යන්නට වූවේය..
“මිස් කොහේද යන්නේ..”
දිසෙන් ගැන ආරංචිය පැවසූ හෙදිය ඈව නවත්වා ගැනීමට උත්සහ කරමින් එසේ ඇසුවාය..
“මට එයාව බලන්න ඕනේ…”
“මිස් අයි.සී යූ එකේ ඉන්නකොට බලන්න.බෑ…”
හෙදිය කීවේ තදින් අවධාරණයෙනි.සෙහන්සා හෙදිය දෙස බැලුවේ දැස් කඳුළු වලින් පුරවාගෙන හීන් හඬින් ඉකිබිඳිනාගමන්මය..
“අනේ එයා මම බඳින්න හිටපු කෙනා .මට එයාව පොඩ්ඩක් බලන්න දෙන්න..අනේ මට තවත් ඉවසන්න බෑ…
ඈ එසේ අයදිද්දී හෙදියගේ සිත මදකට මෙළෙක් විය..විවාහපත් වීමට සිටි ආදරවන්තයා මෙසේ අවසන් ගමන් ගිය මොහොතේ මේ තරුණිය කෙසේ නම් ඉවසා සිටින්නේද?හෙදියට එසේ අනුකම්පා සිතී ඈ සෙහන්සාව ඇතුලට කැටුව යාමට තීරණය කළාය.
“එන්න මිස්…අපි සාමාන්‍යයෙන් එහෙම යන්න දෙන්නේ නැහැ…හැබැයි ඉක්මනට බලලා එන්න ඕනේ.ඇතුළට යන්න නම් දෙන්නේ නෑ මිස්..”
සෙහන්සා කැටුව හෙදිය අයි.සී.යූ එක අබියසට එක්කන් යද්දි රෙජිනෝල්ද සෙහන්සාට පසුපසින් වන්නට ඇවිදන් ආවේය..
හෙදිය ඇතුලේ වුන් සේවකයාට ඉඟියෙන් දිසෙන්ගේ ඇඟ වසා තිබූ සුදු රෙදිකඩ ඉවත් කරන මෙන් කීවාය.සේවකයා ඔහු වසා තිබූ සුදු පිරුවටය ඉවත් කර දැම්මේ ඒ සමඟිනි…සෙහන්සාගේ දෑස් විසල් විසල් වුණේ ඒ සමඟිනි..
සෙහන්සා දෑස් පිසඳා යලි බැලුවේ ඈට වැරදීමක් සිදු වුණිදැයි සිතාය.එහෙත් ඇයට වැරදීමක් සිදු වුණේ නැත….
“මේ ඉන්නේ මගේ දිසේන් නෙවෙයි….වෙන කෙනෙක්…”..
ඈ එසේ කීවා නොව ඈට එසේ කියවිණි ..ඒ සමඟම හෙදිය විමතියට පත්ව සෙහන්සා වෙත ළං වුනාය ..
“මෙයා නෙමෙද මිස්…?..”
“නෑ මෙයා නෙමේ.එයා ෆෙයා කෙනෙක්…මෙයාට වඩා යන්ග්…”
සෙහන්සා එසේ කීවිට හෙදිය ඈ දෙස බැලුවේ කල්පනාබරිතවය..
“මම හිටපු වෙලාවේ මෙයා තමයි අයි.සී.යූ එකට ආවේ …ඉන්න බලන්න..අද උදේ අයි සීයූ එකේ කවුද හිටියේ කියලා බලන්න…”
හෙදිය අයි සී යූ එක ඇතුළට පිවිස එහි වූ පොතක් ගෙන එළියට ආවාය..
ඈ පොත දිග හැර බලන තුරු සෙහන්සාත් රෙජිනෝලුත් බලාසිටියේ ගැහෙන හදවත අසීරුවෙන් වාරු කරගෙනය.
“අද උදේ අයි.සී.යූ එකේ හිටපු පේෂන්ට් වෝඩ් නම්බර් ට්වෙල් වල ඉන්නවා.මිස් කියන කෙනා එයාද කියලා පොඩ්ඩක් බලන්න…”
සෙහන්සා පියා සමඟ දොළහේ වාට්ටුව සොයාගෙන ගියේ අසිහියෙන් මෙනි..
දොළහේ වාට්ටුවේ හුන් හෙදියක් ළඟට ගිය ඈ දිසෙන් ගැන අසන්නට වූයේ කලබලයෙනි..හෙදිය වාට්ටුවේ කොනේම වූ ඇඳක් පෙන්නුවේ ඇඟිල්ලක් දිගු කරමිනි.
සෙහන්සා ඒ ඇඳ වෙත දුවගෙන ගියේ එක පිම්මටය…ඇඳ උඩ හුන් දිසෙන් දුටුමතින් ඇගේ සිතට ඇති වුණේ වචනින් කිව නොහැකි සතුටකි..ඈ කඳුළැල් සලමින් සිනහවෙමින් දිසෙන්ගේ අතක් අල්ලාගෙන ඉන්නා විලාශය රෙජිනෝල් බලන් හිටියේ පුදුමයෙනි..
දියණියගේ හදවත ගැඹුරටම මේ තරුණයා ගමන් කළේ කෙසේදැයි රෙජිනෝල් පුදුමයෙන් කල්පනා කරන්නට වූවේය.
මේ දෙදනා කෙසේ වෙන් කරන්නේ දැයි ඔහු ඉන් අනතුරුව කල්ප්නා කළේය.
“දිසෙන් නැගිටින්න…”
සෙහන්සා කිහිපවරක් කතා කළත් දිසෙන් අවදිවූයේ නැත…ඔහු දෑස් පියාගෙන තද නින්දක වැටී සිටී.ඔහුගේ උස්පහත්වන පපුවෙන් ඔහු සාමාන්‍ය පරිදි හුස්මගන්නා බව ඈට වැටහුණාය.
ඒ සමඟම ඈ දුටුවේ ඔහුගේ අතේ මැණික් කටුවට ගසා තිබූ සේලයින් කටුවය..මේ දින කීපයට ඔහු ඇදී පෑදි උන් අයුරු දැක ඈ හද රිදුම් දෙන්නට විය..
සිහි විසඥව සිටි දිසෙන් ගේ හිස අතගාමින් සෙහන්සා ඉකිබිඳිමින් හඬන්නට වූයේ කාත් කවුරු නොමැති අසරණයෙකු පරිද්දෙන් රජයේ රෝහලක සාමාන්‍ය වාට්ටුවක ඔහේ වැටී අසරණව ඉන්නා ඔහු ගැන අනුකම්පාවෙනි.
දියණියගේ මේ හැසිරීම් වලට තරවටු කරනවාද නොදුටු අයුරෙන් සිටිනවාදැයි සිතාගත නොහැකිව රෙජිනෝල් කල්පනා කරන්නට වූවේය..
රෝහල් වාට්ටුව බාර වූ හෙදිය එතැනට පිවිසියේ ඒ සමඟම කලබලයෙන් මෙනි.
“මිස් මේ පේෂ්න්ට් ගොඩාක් අමාරුවෙන් ඉන්න කෙනෙක්.අයි සී යූ එකෙන් එළියට අරගත්තෙත් අද දවාලේ..අපි එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ…පේෂන්ව ඇහැරවන්න එපා..එයාට බෙඩ් රෙස්ට් එක ගොඩක් ඕනේ කරනවා..”
හෙදිය එසේ පවසා එතනින් පිට වූයේ වෙනත් රෝගියෙකු සමීපයටය…ඒ සමඟම සෙහන්සා තීරණය කළේ දිසෙන් ව මෙම රෝහලෙන් ඉවත් කරගෙන සියල් පහසුක්ම් වලින් සපිරි පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමටයි..ඇ එම තීරණය සිය පියාහට කීමට තීරණය කළාය.
“තාත්තේ අපි දිසෙන්ව මෙහෙන් ඩිස්චාර්ජ් කරමු…”
රෙජිනෝල්.ඇගේ වදන් වලට එක්වරම තිගගැස්සුණේ ඈ එවර කුමක් කිරීමට තැත් දරනවාදැයි කල්පනා කරමිනි.
“මේ ළමයා ඉන්නේ ගොඩක් සීරියස් සිටුවේෂන් එකක.මේ ළමයාගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා දු…”
සෙහන්සා පියා දෙස සෘජුව එකඑල්ලේ බැල්මක් හෙළුවාය ….
“තාත්ති ,මම හරි නංගි හරි අසනීප වුණොත් තාත්තා ගවර්මන්ට් හොස්පිට්ල් වල ඇඩ්මිට් කරනවද?…දිසෙන්ට මේ හැම දෙයක්ම හැමදෙයක්ම සිද්ද වුනේ මම නිසා….මතක තියාගන්න මේ ඉන්නේ තාත්තගේ බෑණා …මම කවදහරි බදිනවනම් බඳින්නේ මෙයාව විතරයි ..තාත්ති මෙයාට සලකන්න ඕනේ මට සලකන විදියටමයි …”
සෙහන්සා කිසිදු බියක් සැකක් නොමැතිව එසේ කතා කිරීම ගැන රෙජිනෝල්ඩ් මදක් තිගැස්සී ගියේය …මෙතුවක් දවස් ජයන්තී ප්‍රකාශ කළ අනාවැකි සැබෑවී ඇති බවක් ඔහුට හැඟිණි …
තමාගේ හුරතලය නිසා වැඩිමහල් දියණිය මෙතරම් මුරණ්ඩු වී ඇති බව රෙජිනෝල්ඩ්ට වැටහුනේ මේ මොහොතේ දී ය …
අසාධ්‍ය වී රෝහල් සයනයේ වැතිර සිටින දිසෙන් ගැන පලමු වතාවට රෙජිනෝල්ඩ්ගේ හිතේ තරහවක් ඇතිවිය ..මේ සියල්ලටම හේතුව මේ කෙළෙහි ගුණ නොදත් තරුණයා යැයි සිතා රෙජිනෝල් හිත යටින් දිසෙන්‍ට බැන වදින්නට වූවේය….
පිළිතුරක් නොදී නිහඬව සිටින රෙජිනෝල් දෙස බැලූ සෙහංසා වටහාගත්තේ ඒ සඳහා ඔහුගෙන් විරෝධතාවයක් නැතැයි ලෙසිනි…සෙහන්සා වහාම රෝහල් වාට්ටුව භාරව සිටි හෙදිය හමුවීමට ගියා ය ..
“මිස් දිසෙන්ව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරන්න …”
සෙහන්සා එසේ කියූ සැනින් හෙදිය ඈ දෙස බැලුවේ විසල් කරගත් දෙනෙතිනි…
“මොනවා …ඇයි මිස් එහෙම කරන්නේ…එයාට මේ ප්‍රතිකාර අවශ්‍යම වෙලාව …කරුණාකරලා ලෙඩාගේ ජීවිතේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා …මිස් දන්නවද හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ටර්ස්ලා කොච්චර අමාරුවෙන් මේ පේෂන්ට්ව මේ තත්වයට ගත්තද කියලා ?..ඒ අයගේ මහන්සිය නිකරුණේ අපතේ යවන්න එපා …”
“මිස් ..ඔයාට වඩා එයා ගැන අයිතියක් මට තියෙනවා …ඒ මගේ future husband …එයා නවතින්න ඕන මොන හොස්පිට්ල් එකේ ද කියලා මමයි ඩිසයිඩ් කරන්නේ…එයාට මේ හොස්පිට්ල් එකේ ෆැසිලිටි මදි …එයාව මම ලංකා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරනවා…”
හෙදිය මොහොතක් මේ මාන්නක්කාර ,ධනවත් යුවතිය දෙස බලා සිටියාය …
“හරි එහෙනම් doctor සුමිත් තලගල්ලව හම්බවෙන්න …ඩොක්ටර් තමයි මේ පේෂන්ට්ට treatment කළේ ….”
සෙහන්සා වෛද්‍යවරයා හා කතා බස් කර ඉන් අනතුරුව ඔහු දුන් ලියවිල්ලකට අත්සන් කළේ රෝහලෙන් බැහැර වීම රෝගියාගේ ජීවිතයට ඇතිවන හානිය සම්බන්ධයෙන් තමා වගකියන බවට සහතික වෙමිනි…
පෞද්ගලික ඇම්බියුලන්ස් සේවාවක සහාය ලබාගත් සෙහංසා දිසෙන්ව ලංකා හොස්පිට්ල් එකට ඇතුලත් කර එහි සිටින ඒ හා සම්බන්ධ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරයාව වෙන් කරවා ගත්තාය..
මේ සියල්ල සිදු කිරීමෙන් අනතුරුව රෙජිනෝල් සෙහන්සා ට ගෙදර යාමට කතා කළේ දැන් බොහෝ රෑ බෝ වී තිබීම නිසාය..
“මට බෑ තාත්තා ගෙදර යන්න ..මම දිසෙන්ගේ තනියට ඉන්නවා …”
මෙතෙක් වෙලා දැඩි ඉවසීමෙන් සිටි රෙජිනෝල්ඩ්ගේ ඉවසීම අන්තිම බින්දුවට බැසුණි..
“ශේෂා,ඔයා දන්නවා මම වැඩිපුරම ආදරේ ඔයාට කියලා ..එහෙම කියලා ඔයා මාව මිස් යුස් කරන්න ලෑස්ති වෙන්න එපා….මෙච්චර කල් ඔයා කියපු දේවල් මම ඇහුවා …මීට පස්සෙ ඔයා මම කියන දේ කරන්න ලෑස්ති වෙන්න …ඔය දෙන්නගෙ මොනවගේ සම්බන්ධයක් තිබ්බත් ඒක මට වැඩක් නෑ..ඔයා මැරි කරන්න ඕනේ මේ තාත්තා කියන කෙනෙක් …”
මෙතෙක් දවස් තමාට සැරවැර කර නැති පියා මේ අයුරින් කතා කිරීම ගැන පුදුමයෙන් ඈ කල්පනා කරන්නට වූවාය..
හමුවෙමු මීලඟ කොටසින්