18

මට නම් අදහගන්නත් බැරි තරම් මෙහන්සා. කොල්ල කිව්වේ සතුට දරාගන්න බැරුව. ජිවිතේ කවදාවත් කොල්ල මේ තරම් සතුටු වෙලා නැහැ. ජයග්‍රහණයක් ලැබුනම කොච්චර සතුටක් දැනෙනවද කියල කොල්ල මේ විඳින්නේ ජිවිතේ පලවෙනි වතාවට.

මටත් එහෙමයි. මේ තරගෙන් මෙච්චර දුර එන්න පුළුවන් වෙයි කියල මම හිතුවෙත් නැහැ ඇත්තටම. ඇත්තමයි. කෙල්ල කිව්වෙත් සතුටෙන්.

ඕල් අයිලන්ඩ් වලින් පස් දෙනෙක් තෝරනවා. එතෙන්ට එන්න පුළුවන් නම් හරි වටිනවා.

ඔයා හිතනවද බැරි වෙයි කියල?

දැන් නම් මට හිතෙනවා පුළුවන් වෙයි කියල. කොල්ල දැඩි අධිෂ්ටානයකින් යුතුව කියනකොට මෙහන්සා සතුටෙන් හිස සැලුවේ ඒකට එකග වෙලා. මාත් හිතනවා අපිට පුළුවන් වෙයි කියල.

ඇය අපිට කියල අදහස් කලේ තමාත් ඇයත් ගැන බව තේරුනාම කොල්ලට ගොඩක් සතුටු හිතුන.කෙල්ල කියන පුංචි දෙකින් උනත් මෙච්චර සතුටක් තමන්ට දැනෙන්න නම් තමන් ඇයට කොච්චර හිතින් බැඳිලද කියල කොල්ලට හිතුන. කොල්ලට ඉබේටම සුසුම් හෙලුනේ ඒත් ඒ බැඳීම තමන්ගේ හිතේ විතරක් තියෙන ඒක පාර්ශවික බැඳීමක් කියල මතක් වෙලා.

කිලාන් සතුටෙන් ඉඳල එකපාරටම තද කල්පනාවකට වැටුන බව දැක්ක කෙල්ල කල්පනා කරේ කොල්ලට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියල. ඒත් කෙල්ලට ඒ ගැන එච්චර හිතන්න බැරි උනේ ඒ එක්කම කොල්ල ඇයට කතා කරපු හින්ද.

ඔයා කොහොමද ගෙදර යන්නේ?

අයිය එනවා කිව්වා.

සම වයසේ තරුණයෙකුට ඇය අයියා කියන්නේ ඇයි? කොල්ලට හිතුන. සමහරවිට එයා පුරුදු වෙලා තියෙන විදිය වෙන්නැති. අනේ අම්මප මටත් ඔලුවට එන ප්‍රශ්න.

ඇයි මිහින් අද ඉස්කෝලේ ගියේ නැද්ද?

ඇත්තමයි මට අමතක උනා. තාම එකයිනේ වෙලාව. අද වේලාසනින් ඉවර වෙයි කියල මතක් උනේ නැහැ. කෙල්ල කිව්වේ හිත හිත. කමක් නැහැ. මම අයිය එනකම් මෙතන ඉන්නව.

ඔයාට පිස්සුද මෙහන්සා. අපේ ඉස්කෝලේ ඉදන් මෙතෙන්ට විනාඩියෙන් දෙකෙන් එන්න පුළුවන් කියලද හිතන්නේ. ඉස්කෝලේ ඇරෙන්නත් තව පැය බාගයක් තියෙනවා. මෙහෙට එන්න මේ වෙලාවේ පැය දෙකක් වත් යයි.

ඔව් ඒකත් ඇත්ත. අනේ මම දැන් මොකද කරන්නේ? කෙල්ල කිව්වේ බයෙන්.

මට එක්කන් යන්න පුලුවන්. එයා කැමති වෙයිද මන්ද. කිලාන් හිතුවෙ කෙල්ලගෙ හැටි දන්න නිසා.

මම අම්මගෙන් අහනව මොකද කරන්නෙ කියල. හදිසියෙන්ම තීරනය කරපු කෙල්ල කිව්වෙ ලග තිබිච්ච දුරකතන කුටියක් අසලට යමින්.

මේකෙන් ගන්න. තමන්ගෙ අතේ තිබිච්ච ජංගම දුරකතනය කෙල්ල දිහාවට දිගු කරල කිලාන් කිව්ව.

එපා මම මේකෙන් ගන්නම්. කෙල්ල කිව්වෙ දුරකතන කුටියෙන් ඇමතුම ගන්න ලෑස්ති වෙලා.

මගෙන් එහෙම උදව්වක් වත් එපාද මෙහන්සා. කොල්ල ඇහුවෙ මූනත් එක්ක අදුරු කරගෙන.

මට බැරිම වෙලාවක් ආවොත් ඔයාගෙන් උදව්වක් ඉල්ලන්නම්කෝ. කෙල්ල හිනා වෙලා කිව්වෙ ගෙදර අංකය සටහන් කරමින්.

කොල්ලට දුක හිතුනත් ඒක පෙන්නන්නෙ නැතුව හිටියෙ කෙල්ල ඇමතුම අරන් ඉවර වෙනකම්.

ඇයි ඔයා තවමත් ඉන්නෙ යන්නෙ නැද්ද. කොල්ල තාමත් තමන් ලග බව දැකපු මෙහන්සා ඇහුවෙ කොල්ල දිහා බලන්නෙවත් නැතුව.

ඒ වචන ටික ඇහුනම නම් කොල්ලට දුකයි තරහයි ඔක්කොම එකතු වෙලා දැනුන. ඒ හැගීමෙන්මයි එක පාරටම කෙල්ලව තමන්ගෙ පැත්තට හරව ගත්තෙ. ඒ වේගෙට කෙල්ල අතේ තිබ්බ දුරකතන අතලුවත් අත හැරුන. කොල්ලගෙ සවිමත් දෑතට මැදි උනු මෙහන්සා කිලාන් දිහා බැලුවෙ හොදටම බය වෙලා.

ඔයාව මෙතන තනියම දාල මට යන්න පුලුවන් කියලද හිතන්නෙ? සිතිවිලි ඒ විදියටම වචන වලට පෙරලුනේ කොල්ල තරහෙන් වගේම දුකෙන් හිටපු හින්ද.

ඇයි එහෙම යන්න බැරි කියල වෙන වෙලාවක නම් කෙල්ල අහන්ව. මෙවෙලෙ එහෙම අහන්නවත් කෙල්ලට හිතුනෙ නෑ. තමන්ගෙ දෙඋරහිසේ රැදිල තිබුන කොල්ලගෙ අත් දෙක අයින් කරන්නවත් කිසිම වෙහෙසක් ගත්තෙ නැති මෙහන්සා ඔලුව බිමට හරවගත්ත. කෙල්ලට කදුලු ආවෙ බය හින්දමයි. ජීවිතේ කවදාවත් කවුරුත් කෙල්ලට එහෙම සැරෙන් කතා කරල තිබුනෙ නෑ.

කෙල්ල ඉකිබිදිනව දැනුනු කිලාන් කලබල උනා. තමන් කතා කරා සැර වැඩී කියල කොල්ලට හිතුනේ. දැන්නම් එයා ආයෙ මාත් එක්ක කතා කරන එකක් නෑ. කොල්ල හිතුවෙ තමන්ගෙ ඉක්මන් තරහව ගැන දහස් වාරයක් පසුතැවිලි වෙමින්.

සොරි මෙහන්සා. කොල්ල කිව්වෙ ඉක්මනටම ඇගේ උරහිසේ රැදුන දෑත් ගනිමින්. ඔයා එහෙම කිව්වම මට තරහ ගියා.

කෙල්ල තාම අඩනව. මම හින්ද. මම එයාව ඇඩෙව්ව. ඒ හැඩුම තව ඉවසන්න බැරි තැන කොල්ල හෙමින් හෙමින් ආයෙත් කෙල්ල ලං උනා. බිමට හරවගෙන හිටපු මූන ඔසවල තමන් දිහාට හරවගත්තු කොල්ල දෑතින්ම ඒ කම්මුල් දේපසින් අල්ලගෙන ඒ කදුලු පිරුනු නිල් ඇස් දෙක දිහා මොහොතක් බලන් හිටිය. ඇය වෙනකෙකුගෙ පෙම්වතියක් කියල නම් එවෙලෙ කිලාන්ට මතක් උනේ නෑ.

අඩන්න එපා මෙහන්සා. කොල්ල කිව්වෙ තමන්ට හැකි මෘදුතම කටහඩින්. ඔයා අඩනව මට බලන් ඉන්න බෑ. පස්සෙ කොල්ලම ඒ දෑසෙ මූනෙ රැදුනු කදුලු පිසදැම්ම.

කෙල්ල කිලාන් දිහා බලන් හිටියෙ කොල්ලගෙ ඒ දයාබර බව අදහගන්න බැරුව. තමන්ට නොතේරෙන යමක් ඒ දෑස් වල ගැබ් වෙලා තියෙනව කියල කෙල්ලට හිතුනෙ පලවෙනි වතාවට. කෙල්ලට දැනුනෙ මිහින් ලගදි දැනෙනවට වඩා වෙනස් රැකවරනයක්. ඒ හැගීමට කෙල්ල ආස කරා.

ආයෙත් කවදාවත් ඔය ඇස් වලින් මම හින්ද කදුලු වැටෙන ඉඩ තියන්නෙ නෑ මෙහන්සා. මේ පලවෙනි වගේම අන්තිම වතාව.

මට උදව්වක් කරනවද ප්ලීස්. කෙල්ල ඇහුවෙ සිහින් හඩින්.

ඇය දැන් දැන් මෙතනින් යන්න කියල තමන්ට කියාවි කියල කොල්ලට හිතුනෙ. කියන්න මෙහන්සා ඕනෙම දෙයක්. කොල්ල ඇහුවෙ හැගුම් හිරකරගෙන.

මාව ගෙදර එක්ක යන්න පුලුවන්ද ප්ලීස්. කෙල්ල හෙමින් කියනකොට කොල්ල බැලුවෙ පුදුමෙන්. ඇගේ හිත රිදිල ඉන්නකොටත් මේ වගේ ඉල්ලීමක් කරයි කියල කොල්ලට හිතුනෙ නෑ. කොල්ලට හිතුනෙ ඇයට පාඩුවෙ ඉන්න දීල යන්න කියයි කියල. මේ කෙල්ල නම් මහ පුදුම කෙල්ලක්.

ඇත්තටම ද කිව්වෙ මෙහන්සා? කොල්ල ඇහුවෙ සිතට දැනුනු සතුටෙනුත් පුදුමෙනුත්.

ඔව්.

එතකොට ආන්ටිට කියන්නෙ නැද්ද වේලාසන ඉවර උනා කියල.

ගෙදර ගිහාම කියනව ඔයා එක්ක ආව කියල. කෙල්ල කියනකොට ඒ ගැන තව ප්‍රශ්න අහන්නෙපා කියල කෙල්ලගෙ හඩින්ම කොල්ලට තේරුනා. මේ අවස්තාව මගඇරගන්න කොල්ලට ඕනෙ උනේ නෑ. කෙල්ලගෙ සමහර හැසිරීම් කොල්ලට පුදුමයක් උනත් කෙල්ල ගැන වැරදි දෙයක් හිතන්න නම් කිලාන්ට පුලුවන් උනේ නෑ. ඇය වෙනුවෙන් තමන්ගෙ හිතේ තියෙන මහමෙරක් තරම් ආදරය දන්නේ තමන් විතරයි. එය නිශ්පල බව කොල්ලට හැම වෙලාවකම දැනෙනව. ඒත් ඒ ආදරය ගැන අනුකම්පා කරල දෙවියො දීපු අවස්තාවක් වගේ මේ මොහොත කිලාන්ට දැනුනෙ. ඒ නිසා ඒක නැති කරරගන්න කොල්ලට ඕනෙ උනෙත් නෑ.

ඒ උනත් අපි මිහින්ට කෝල් කරල කියමු ඔයා මාත් එක්ක එනව කියල. නැත්තම් එයා රස්තියාදු වෙයිනෙ. දහසක් දේවල් හිතමින් ඉදල කිලාන් අන්තිමට කිව්ව.

කොහොමද ඉතින් කියන්නෙ? කෙල්ල ඇහුවෙ කොල්ල කොච්චර හොදද කියල හිතමින්. තමන්ට වෙනද වගේ අයිය මොනව කරයිද කියල මතක් නොවෙච්ච එක ගැන කෙල්ලට ලැජ්ජ හිතුන.

සෙනාල් ගාව ෆෝන් එකක් තියෙනව. එයාට කියමු. කොල්ල කිව්වෙ සෙනාල්ට ඇමතුමක් ගනිමින්.

හෙලෝ සෙනාල්. ඔව් බන් ඊලග එකටත් තේරුනා. කෝ ඔතන මිහින් ඉන්නවද? මිහින් ද? ඔව් බන් අද තරගෙ වේලාසන ඉවර උනා. ඔව් ඒක තමයි. ඉන්නව. දෙන්නද?

අයියා.. ඔව්. හා පුලුවන්. ඔව්. ඔයාට එන්න වෙලා යනවනෙ. තියන්නද. බුදු සරනයි.

ඇගේ කතා විලාසය උනත් මොන තරම් සොදුරුද කියල කොල්ල කල්පනා කරේ ඒ අතරෙ. කතා විලාශය විතරක් නෙමෙයි ඇගේ හැම ඉරියව්වක්ම සොදුරුයි. කොල්ල හිතුවෙ කෙල්ල දිහාම බලාගෙන. මොහොතකට වත් ඇයගෙන් ඇස් ඉවතට ගන්න කොල්ලට බැරි උනා.

අයිය කිව්ව ඔයත් එක්ක එන්න කියල. කෙල්ල කිව්වෙ ෆෝන් එක ආපහු කොල්ලගෙ අතට දෙමින්.

එහෙනම් අපි යමු. කොල්ල කිව්වෙ මොහොතක් ඈ දිහා බලන් ඉදල.

ඇයි? කෙල්ල ඇහුවෙ ඒ බැල්ම දරාගන්න බැරි තැන.

ආයෙ කවදාවත් අර වගේඅ අඩන්න එපා මෙහන්සා ඔයා අඩනව මට දරාගෙන ඉන්න පුලුවන් කමක් නෑ. කොල්ල කිව්වෙ ඇයට නෙමෙයි තමන්ටම කියාගන්නව වගේ.

මම ටිකක් බය උනා. ඒක අමතක කරමු. කොල්ලගේ වචන හිතට බර වැඩියි වගේ දැනුනත් මෙහන්සා කිව්වේ ඒක පෙන්නන්නේ නැතුව.

ඒත් ඇය කියන තරම් පහසුවෙන් ඒ මොහොත අමතක කරන්න බැහැ කියල කොල්ලට හිතුන. ඒ මගේ ජීවිතේ අමතක වෙන්නැති වෙලාවක්. ඔයත් එක්ක ගත කරපු හැම මොහොතක්ම ගලේ කොටපු අකුරක් වගේ මට මතක තියෙයි මෙහන්සා. කොල්ල හිතුව විතරයි.

බස් එකටත් නැගල කවුලුව අසල අසුනකින් ඉදගත්තු මෙහන්සා බැලුවෙ කිලාන් දිහා. කොල්ල ඉන්නෙ තමන් ලගින් ඉදගන්නවද නැද්ද කියල හිතමින් බව කෙල්ල තේරුනා. අමතර පන්ති වල හැමදාම කෙල්ලන්ගෙ පේලි වල ඉදගන්න්වා කියන ඔහු මේ පොදු බස් එහෙක තමන්ගෙ එහා පැත්තෙ ශීට් එකෙන් වාඩි වෙන්න පැකිලෙන්නෙ මොකද කියල කෙල්ලට හිතුන. තමන් අහල තියෙන කිලානුත් මේ කිලානුත් දෙන්නෙක්ද කියල කෙල්ලට හිතුනෙ අද දවසෙ සිය වෙනි වතාවට වෙන්න ඕනෙ.

ඇයි ඔයා තව ටිකක් උස යන්නද හිටගෙන ඉන්නෙ?

කොල්ල හිනා වෙලා ඉදගත්ත. කිලාන් හිටියෙ ඇත්තටම සතුටින්. මේ වගේ අවස්තාවක් ඒවි කියල හීනෙන් වත් හිතුවද.

මට එක දෙයක් මතක් උනා. කොල්ල කිව්වෙ හිනා වෙලා.

ඔව් මම දන්නව ඔයා අර රස්තියාදුකාරය වගේ යකඩ බඩු ගොඩක් දාගෙන අපිට මීට් වෙච්ච දවසනෙ මතක් උනේ.

හ්ම්ම්. කොහොමද දන්නෙ.

මම දන්න තරමින් ඒක නැතුව ඉතින් වෙන මතක් වෙන්න දෙයක් නැහැනෙ.

මම දැන් ඒ බඩු දාන්නෙ නෑ මෙහන්සා. එදා බස් එකේම දාල ආව.

ඇයි ඒ?

ඔයා මට රස්තියාදුකාරය කිව්ව නිසා

මම කියන ඒව ඔයාට ඒ තරමට වැදගත්ද?

ඔව්.

ඇයි?

එදා ඉතින් මම හින්ද බැනුම් ඇහුවෙ මිහින් නෙ. කොල්ල ටිකක් වෙල හිත හිත ඉදල යාලුවන්ට දීපු උත්තරේම දුන්නෙ ඇත්තම හේතුව කෙල්ලට කියන්න බැරි නිසා. මම හින්ද ඌ බැනුම් අහන්න ඕන් නෑනෙ. කොල්ල කිව්වෙ ඈතක් බලාගෙන.

ඒ කිව්වෙ හිතපු දේම නෙමෙයි කියල කෙල්ලට තේරුනා. මොකද කිලාන් ඇත්ත කියනකොට කියන දේ ගැන හිතේ විශ්වාසයක් ඇතුව කතා කරනකොට කතා කරන විදියයි දැන් උත්තර දෙන විදියයි වෙනස් කියල කෙල්ල තේරුම් අරන් තිබුනෙ මේ ගත වෙච්ච දවසට. ඒත් කෙල්ල ඒ ගැන ඇහුවෙ නෑ. මට කියන්නෙ නැති ඒත් මම දැනගන්න ඕනෙ දෙයක් එයා හිතේ තියන් ඉන්නව කියල මට දැනෙනව. ඒත් ඒ ගැන කොහොමද මම අහන්නෙ? කෙල්ල හිතුව විතරයි.

කොහොමද ඔයාගෙ ස්ටඩීස්? කෙල්ල ඇහුවෙ සිතුවිලි වලට තිත තියල.

ඔහෙ කරගෙන යනව මෙහන්සා.

ඔයාගෙ තාත්තට හොදට සල්ලි තියෙන නිසා ඔයාට ඉගෙන ගන්න ඕනෙ නෑලු නේද?

ඇත්ත ඒකම නෙමෙයි මෙහන්සා. ඒත් එහෙම තමයි හැමෝම හිතන් ඉන්නෙ. මාත් ඉතින් අනිත් මිනිස්සුන්ව නිවැරදි කරන්න යන්නෙ නැහැ. ඕනෙ එකක් හිතාගත්තාවෙ කියල මට ඕනෙ විදියට ඉන්නව. ඒත් මම ඔයාට කියන්නම්. මොකද මම කැමති නැහැ ඔයා මම ගැන වැරදි දේවල් හිතන් ඉන්නවට.
ඇයි කියල අහන්න කටට ආවත් කෙල්ල සද්ද නැතුව හිටියෙ කිලාන්ට කතා කරන්න දීල.

ඉස්සර අපි ගොඩක් සතුටෙන් හිටිය පවුලක් මෙහන්සා. අම්මයි තාත්තයි එක්ක මම මේ ලංකාවෙ ගියපු නැති තැනක් නැති තරම්. තාත්තිට තමයි මම ගොඩක් ආදරේ. තාත්ති ටීම් එකට යනකොට මම පොඩියි. ඒත් මට තේරුනා ඒ වැඩත් එක්ක ඒගොල්ලන්ට මාව මගඇරෙනව කියල. තාත්ති ක්‍රිකට් වලට ජොයින් උනාට පස්සෙ අපිට ගොඩක් දේවල් ලැබුන. ඒත් සතුටෙන් සැහැල්ලුවෙන් ගතකරපු කාලෙ නැති උනා මෙහන්සා. මම ගොඩක් වෙලාවට ඒ ගෙදර තනි උනා. මල්ලි හම්බුනාට පස්සෙ තමයි චුට්ටක් හරි හරිගියේ. එතකොට මගෙ ලමාකාලෙ මට ගන්න බැරි තරම් දුරකට ගිහින් ඉවරයි මෙහන්සා. වෙන අය වගේ මට ඕනෙ දේවල් ඉල්ලල කෑගහන්න මම කැමති නෑ.
මගේ ගැන බලන්න කවුරුත් හිටියෙ නැතිකොට මම මට ඕනෙ විදියට හැදුන. අනිත් අය මුකුත් නොදැන මට බලු කතා කියනකොට නැහැදිච්ච එකා කියනකොට මට ඇත්තටම ඕනෙ උනා එහෙම වෙන්න. මට ඕනෙ නෑ තාත්ති මගෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන්න. සමහරවිට මම ආත්මාර්තකාමි ඇති. ක්‍රිකට් තාත්තිගෙ ජීවිතේ වගේ ඒ වෙනුවෙන් එයා ෆැමිලි ලයිෆ් එක උගස් තිබ්බ මෙහන්සා. අම්මි පව් අම්මි අහින්සකයි. ඒ හිතට දුක් දුන්නට මම පසුතැවෙනව ඒත් මගේ ජීවිතේ හදාගන්න මට ඕනෙ කමක් නැහැ. මොකද මට බලාපොරොත්තු නැහැ දැන්.

එතකොට මට තේරෙන විදියට ඔයා ඕව කරන්නෙ තාත්තිගෙන් පලිගන්න

නැහැ මෙහන්සා මට ඕන කලේ අද දවසෙ විතරක් ජීවත් වෙන්න.

ආපහු හැරිල බලනකොට ගත වෙච්ච කාලෙ අපරාදෙ කියල හිතෙයි.

මම දන්නෙ නෑ මෙහන්සා මම කවදාවත් ඒ ගැන හිතල නෑ

පිරිමි ලමයෙක්ට උගත්කම ඕනෙ

සල්ලි ප්‍රසිද්දියයි විතරයි ඕනෙ ඒ දෙකම මට දැනටම තියෙනව

හරි ඒ වලින් ඔයාට මොනවද ලැබුනෙ. සතුට?

මොනවත් නෑ

එතකොට අද තරගෙ ඊලග වටේට තේරුනාම?

සතුට ඒ ගැන නම් මට වචන වලින් විස්තර කරන්න තේරෙන්නෙ නෑ මෙහන්සා

ඒකට හේතුව මොකක් කියලද හිතන්නෙ සල්ලිවත් ඔයාගෙ ප්‍රසිද්දිය වත් බලපෑවෙ නෑ නේද? ඒකට හේතුව ඔයා ඒක කලේ තනියෙන්. සල්ලි වලින් වත් ප්‍රසිද්දියෙන් වත් නෙමෙයි. ඒ වගේම සතුටක් තමයි ඉගෙනගත්තමත් ලැබෙන්නේ. කවදාහරි ඉගෙන ගත්තු දෙයක් විතරයි අපිට ඉතුරු වෙන්නේ. ප්‍රසිද්දියයි සල්ලි තාවකාලිකයි. එත් උගත්කම හැමදාම තියෙනවා. ඔයාට එහෙම හිතෙන්නැද්ද?

ඔව්. එක ඇත්ත. ඒ උනත්…

ඔයාට ඉගෙන ගන්න ඕනේ නැත්තම් ඇයි බයෝ වගේ විෂයක් තෝරගත්තෙ? කෙල්ල ඇහුවෙ කිලාන් කියන්න ගිය දේ සම්පුර්ණ කරන්න වත් දෙන්නේ නැතුව.

නිකම් මෙහන්සා. යාළුවො ඔක්කොම මැත්ස් බයෝ කරන්නේ. ඒ නිසා.

ඒ කියන්නේ ඔයා ඒ විෂයන් වලට කැමති නෑ ?

ඇත්තම කියනවනම් මම ඒ වලට කැමතිද නැද්ද කියලවත් මම හිතල නෑ.’

වාර විභාගේ ලකුණු?

මම හැමදාම පන්තියෙ අන්තිමය.

මොකක්?

ඔව් මෙහන්සා මම කවදාවත් උවමනාවෙන් පන්තියේ වැඩ කරලා නැහැ.

කෙල්ල මොහොතකට නිහඬ උනා. මට මෙහෙම කියන්න අයිතියක් නැහැ තමයි. ඒත් නිකමට එක දවසකට පන්තියේ වැඩ ටික කරලා බලන්න දිගටම කරන්න ආස හිතෙයි. මම ඔයා කියපු දේවල් වලට නිගමන දෙන්න යන්නේ නැහැ. හැබැයි ඔයාට ලැබිල තියෙන ජිවිතේ ගෙනියන්න ඕනේ විදිය තීරණය කරන්න ඕනේ ඔයා. ජීවිතේට වෙන දේවල් එක්ක ඒ ජිවිතේ වටේ ජිවත් වෙන අය ඒ අය අපිට සලකන විදිය මත අපේ ජිවිත ගත කරන විදිය තීරණය කරන එක මෝඩ වැඩක්.

ඒකෙන් ඇති වැඩේ?

ඉගෙන ගත්තු දේවල් අපතේ යන්නේ නැහැ කවදාවත්.

මම උත්සහ කරන්නම්. ඔයා කියන නිසා.

අකමැති නම් එපා

මගේ ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න මම කැමති මෙහන්සා.

මොනාද ඔයා කියන්න ගියේ? කොල්ල ඇහුවේ කෙල්ල මොනවහරි කියන්න ගිහින් ආයෙත් නිහඬ වෙච්ච බව දැක්ක නිසා.

නෑ මුකුත් නෑ

කියන්න මෙහන්සා.

නෑ මේ.. මම කැමතියි ඔයා හොදට එක්සෑම් පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වෙනවනම්. කෙල්ල කිව්වේ කොල්ල දිහාම බලාගෙන. ඔහුගේ මුහුණ ඇය ප්‍රිය කල සිනාවෙන් ඔපවත් වෙනව කෙල්ල බලන් හිටිය.

මම කොහොමහරි ඒක කරනවා මෙහන්සා. කොල්ල කිව්වේ ඇගේ නිල් දෑස් දෙස බලාගෙනම පොරොන්දුවක් ලෙසින්.

කෙල්ල හිටියේ තමන්ගේම වචන වලින් පුදුමයට පත් වෙලා. ඔහුට මෙච්චර දේවල් කියන්න තමන්ට මොන අයිතියක් වත් නැතත් එහෙම කියවෙන්නේ ඇයි? ඔහු මුනගැහුණු දවසේ ඉදල තමන් කලේ ඒ වගේ දේවල්මයි. කිසිදු බැඳීමක් හෝ හැඟීමක් නැති උනත් මේ ආගන්තුකය ගැන හිත විශේෂත්වයක් දක්වනවා කියල කෙල්ලට හිතුන. ඒත් ඔහු හමුවෙලා තාම දවස් කීයද? මේ තරම් ඔහු සමීප උනේ කොහොමද. ඔහු තමන් කියන දේවල් කිසිම විවාදයක් නැතුව පිළිගන්නේ ඇයි? මේවා සියල්ල ඇයට ගැටලුය. කවදා ඊට පිළිතුරු ලැබේද?

බහින තැන ලඟයි. කිලාන් කිව්වේ ඇය සිතිවිලි මැද හිර වෙලා ඉන්නකොට.