Ex වයිෆ්

47 වන කොටස

“මේ දරුවා ආයේ ඉස්සර වගේම වෙලා නේ දුවේ..මුරණ්ඩු වෙලා..වචනයක් වත් කතා කරන්නේ නැහැ…”

ඒ එක්කම හිරූෂාට මතක් වුණේ චූටිදූ වෙනස්වෙලා කතා කරන්න ගත්තේ නංගි මෙහේ ආවාට පස්සේ නේද කියලා ….

චූටි දූ දැන් නංගී නැති නිසා ඉස්සර වගේ වෙලාද හිරූෂාට එහෙම හිතුණා…

ආයේ දෝණි කතා නොකර ඉඳීද කියලා හිතලා හිරූෂාගේ පපුව බයටම රිදෙන්න ගත්තා..

මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ නංගිට කෝල් එකක් අරන් චුටි දූට දෙන එක කියලා හිරූෂාට හිතුණා..

මදුසමය ගත කරන නංගිට කතා කරලා කරදර කරන එක හරි නෑ කියලා හිරූෂාට හිතුණත් හිරූෂා නංගිට ඇමතුමක් ගත්තේ වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැති නිසා..

හිරූෂා කිහිප වතාවක් නංගිට ඇමතුම් ගත්තත් නංගී දුරකතනයට පිළිතුරු දුන්නේ නැහැ…හිරූෂා මොබයිල් එක පසෙකින් තියලා අඬන චූටි දෝණිව නලවන්න ගත්තා.

කොච්චර නැලෙව්වත් චූටි දෝණි නැලවෙන පාටක් නෑ කියලා හිරූෂාට හිතුණා..

ඒ එක්කම හිරූෂාගේ මොබයිල් එකට ඇමතුමක් ආවා.ඇමතුම නංගිගෙන් කියලා දැනගත්ත හිරූෂා හඬන චූටි දූව පරක් කරගෙන ඒ ඇමතුමට පිළිතුරු දුන්නා.

“හලෝ අක්කී.කෝ අපේ කේශි බබා…”

ඒ කටහඬ අහලා චූටි දුව එකපාරටම තිගැස්සුණා..පුංචි අම්මාගේ කටහඬ ඇහිලා චුටි දූගේ ඇඩිල්ල එක පාරටම අතුරුදහන් වුණා…

හොරෙහෙන් හෙමීට අම්මාගේ මොබයිල් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුවා..ස්ක්‍රීන් එකෙන් පේන පුංචි අම්මාගේ මුහුණ දිහා චූටි දෝණි ඇස්පිල්ලමක් වත් ගහන් නැතුව බලාගෙන හිටියා…

“මේ ඉන්නේ නංගී.ඔයා නෑ කියලා කන්නේ නෑ බොන්නේ නැහැ.කතා කරන්නේවත් නැහැ..ආයේමත් දුව ඉස්සර වගේ වෙලා…”

හිරූෂා කීවේ චූටි දූ දිහාවට ස්ක්‍රීන් එක හරවන ගමන්..

හිරූෂාගේ නංගී ඇස් දෙකේ කදුළු කැට පුරවගෙන තමන්ගේ දිහා හොරෙන් බලන් බිම බලන් ඉන්න චූටි දු දිහා බැලුවේ හරිම දුකින්…

මෙච්චර දවස් ළඟටම වෙලා ඉඳලා එකපාරටම මම මෙහෙම ඈත් වුණාම අහිංසක පුංචි දරුවා කොහොම නම් ඉවසන්නද කියලා හිරූෂාගේ නංගිට හිතුනා…

වෙනදාට පුංචි රෝස මලක් වගේ ලස්සනට ඉන්න දූ අද මැලවිලා…අඬලා අඬලාම අද ඒ සුදු මුහුණ රත් පැහැ වෙලා ගිහින් තියෙන විදිහ දැක්කම හිරූෂාගේ නංගිටත් දුක හිතුනා..

“කේෂි බබා…කොහොමද ඉතින් ඔයාට ?..”

නංගි එහෙම ඇහුවත් චූටි දුවගෙන් කිසිම උත්තරයක් නෑ…

“පුංචි එක්ක තරහ වෙලාද ?..පුංචි පවු නේ පුතේ…”

චූටි දෝනි ගස්සලා අහක බලාගත්තා..

“කේශී බබා කතා කරන්න…පුංචි බලාගෙන ඉන්නවා…”

හිරූෂා චූටි දුවට කොච්චර එහෙම කිව්වත් චූටි දුව පුංචි එක්ක කතා කරන්නනෙම නෑ….

පුංචි නැති සාංකාවට කතා නොකර ඉන්න චූටි දුව පුංචි කතා කරපු ගමන් ආයේ කතා කරයි කියලා හිතන් හිටපු හිරුශාගේ බලාපොරොත්තු සේරම උපන්ගෙයි මැ/රු/ණා..

“කොහොමද බබා පුංචි එක්ක කතා කරන්නකෝ…”

නංගී කොච්චර එහෙම ඇවිටිලි කරත් චූටි දුවගේ කිසිම වෙනසක් නෑ….දුව එක වචනයක්වත් කතා කරන්නේ නැහැ..

“මගේ දෝනි තාම පුංචි එක්ක තරහයි ද ?.පුංචි එක්ක කතා කරන්නකෝ …”

දැන් හිරූෂාගේ නංගිගේ කටහඬත් හැඩුම්බර වෙලා ..

මෙච්චර දවස් අම්මට වඩා චූටි දුව ආදරය කළේ මටයි ..මම නැති සාංකාව දරුවාට ලොකුවට දැනෙනවා ඇති.අනේ දෙවියනේ පව් අසරණ දරුවා…හිරූෂාගේ නංගිට එහෙම හිතුණා…

“හලෝ කේශී..හව් ආර් යූ…?”

බාප්පා එහෙම කතා කරාම කේශාරා දුව ගස්සගෙන අහක බලා ගත්තා..
.
බාප්පා එක්ක තියෙන තරහට අම්මගේ අතේ තිබ්බ මොබයිල් එක චූටි දුව බිමට විසි කරන්න හැදුවා..හිරූෂා මොබයිල් එක වීසී කරන්න නොදී බේරගත්තා..

“නංගි මම පස්සේ කෝල් එකක් ගන්නම්..ඔයාලා එහෙනම් පරිස්සමින් ඉන්න …”

හිරූෂා ඇමතුම විසන්ධි කලේ හිතින් දහස්වාරයක් චූටි දුව ගැන දුක් වෙමින්…

ලස්සනට ගිරවියක් වගේ කතා කරපු දුව අද මෙහෙම ඉන්නකොට හිරූෂා කොහොම නම් ඉවසන්නද?..
.
හිරූෂා චූටි දෝණි තුරුළු කරගෙන ඇඳේ වැතිරුණේ හිතට දැනුන දුකත් එක්කමයි..ටික වෙලාවක් යද්දි චුටි දුවට ඉබේම නින්ද ගියා …

හිරූෂාත් දුවව තුරුල් කරගෙනම ඇඳේ වැතිරිලා හිටියා..මුළු දවසම දුවත් එක්ක දඟලලා හෙම්බත් වෙලා හිටපු හිරූෂාට කවදාවත් නැතිව මහ දවාලේ නින්ද ගියා ….

“උ/ඹේ වයසටද දාගෙන ඉන්න කෙ/ල්/ල…?”

“ඇයි ඇයි මොකක්ද දැන් අවුල?..”

දිනේෂ් ගීත්ගෙන් එහෙම අහද්දී මුළු ලන්ච් රූම් එකම දිනේෂ් දිහා හිනාවෙලා බැලුවා.

දිනේෂ්ගේ පෙම්වතිය සාරිකා විවාහය ඔන්න මෙන්න තියද්දි දිනේෂ්ව හැරගියාට ප්ස්සේ දිනේෂ් අවුරුදු පහකට වඩා ගතකලේ හුදකලා ජීවිතයක්…අවුරුදු තිස්පහටත් ආසන්න දිනේෂ් විවාහවෙන්නේ නැතුව ඉන්නවා කියලා තීරණය කරලා හිටියේ..

ඒත් මේ ළඟදී ගීත් දැකපු දෙයක් නිසා දිනේෂ් ගැන ඔෆිස් එකේ ලොකු රාවයක් යන්න ගත්තා.

අවුරුදු විස්සක වගේ ගැහැණු ළමයෙක් එක්ක දිනේෂ් මොටර් බයිසිකල් එකේ රට වටේ යන හැටි දැකපු ගීත් ඒක මුළු ඔෆිස් එකටම ප්‍රචාරය කරලා දැන් දිනේෂ් හැමෝටම විහිලුවක් වෙලා..

“මොකක්ද බ/න් බාල අ/ප/රා/ධ කරන්නේ ..වයසට හරියන එකක් දාගනින්කෝ..”

“අනේ ප/ල/ය/න් බන් ඒ/කී මට වඩා අවුරුදු දොළහයි බාල..ඕවා මොකක්ද?…”

දිනේෂ් එහෙම කිව්වාම සමාරායි මලිතියි දෙන්නාත් හිනාවෙන්න ගත්තා..

“මූ/යි කෙ/ල්/ල/යි එකට එක්ක ඉන්නකොට හරියට නිකන් මාමයි දුවයි වගේ…”

ගීත් එහෙම.කිව්වම මුළු ලන්ච් රූම් එකම මහ හයියෙන් හිනා වෙන්න ගත්තා..

වොෂ් රූම් එකේ ඉඳලා තමන්ගේ කැබින් එකට ගමන් කරන් හිටපු ගිහාන් ලන්ච් රූම් එකෙන් ඇහෙන මේ සද්දේ මොකක්ද කියලා බලන්න නිකමට ඒ පැත්තට එබුණා..

“උ/ඹ/ල/ට පේන්නේ අපිව තමයි..බොසා නම් දෙවනි පාරත් බැන්දා…අපි මේ පලවෙනි පාර බදින්න හදද්දී උ/ඹ/ලා අපිට උදැල්ල දානවා….”

“ඒවා එහෙම තමයි මල්ලී.නිකන්ද කියන්නේ පහත් තැනින් වතුර ගලාගෙන යන්නේ කියලා…”

“බොස් නම් දෙකින් නවත්වන එකක් නැහැ…දෙකක් කරපු එ/කෙ/ක්/ට තව එකක් කරගන්න එක මහ දෙයක්ද?.ඒ ගෑ/නි/ව එපා වෙච්ච ගමන් තව එකක් කර ගනියි…”

කට්ටිය වටවෙලා හිනාවෙන්නේ තමන්ට නේද කියලා දැනගත්තම ගිහාන්ට පොළව පලන් යන්න හිතුණා…

කට්ටිය තමන්ව දකින්න කලින් මෙතනින් පැනගන්න ඕනේ කියලා ගිහාන්ට හිතුණා..

ගිහාන් දොර ඇරගෙන එතනින් පිටත් වුණා…ඒත් ගිහාන් පරක්කු වැඩියි.මලිති ඊට කලින් කට්ටියට ඉඟියෙන් ගිහාන්ව පෙන්නුවා…මුළු ලන්ච් රූම් එකම එකපාරට මීයට පිම්බා වගේ වුණා..

ගිහාන් කාර්‍යාලයේ තමන්ගේ කැබින් එකට වෙලා කල්පනා කරන්න ගත්තේ සිංහයෙක් වගේ හිටපු තමන්ට මේ මොනවාද වුණේ කියලා…

තමන්ගේ තත්ත්වය තරාතිරම ගැන ඕනෑවටත් වඩා හිතපු ගිහාන්ට අන්තිමට තත්ත්වයක් නැතිවෙලාම ගියා ..

හිරූෂා මැහුම් වැඩපොළේ වැඩ මදුකාට බලාගන්න කියලා බාර දීලා නංගිගේ දෙවනි ගමනට ලෑස්තිවුණා..

රාත්‍රී උත්සවයක් නිසා හිරූෂා ඇන්දේ ලස්සන කලු පාට ගවුමක්.ඒ ගවුම රන් පැහැයෙන් හැඩගන්වා තිබුණා..

චූටි දූටත් ඒ ගවුම් රෙද්දෙන්ම ලස්සන ගවුමක් හිරූෂා සූදානම් කළා හිරූෂා චූටි දුවට අන්දවලා ඉක්මනට සූදානම් වුණා…

නංගිගේ දෙවෙනි ගමන තිබුනත් හිරූෂාගේ හිතේ නම් පොඩි සතුටක් වත් තිබුණේ නැත්තේ දෝණි තවමත් කතා කරන් නැති නිසා ..බලාගත් අත ඔහේ බලාගෙන ඉන්න නිසා…

අභීත පුතා කොච්චර කතා කලත් දූ අයියා ළඟට ගියේ නෑ…ආච්චි ළඟට සීයා ළඟට වත් යන්නෙ නෑ.අම්මා ළඟට වෙලා හිටියත් ඒ මුහුණේ කිසිම සතුටක් හිනාවක් නෑ..

උත්සව ශාලාවට යනකම් චූටි දෝණි වාහනයේ නැගලා ගියේ වටපිට බල බලා..ඒ වුණත් එක වචනයක්වත් කතා කලේ නෑ ..

චූටි දෝණි දිහා බලබලා සුසුම් හෙලමින් යන හිරූෂා ගේ දිහා හිරූෂාගේ අම්මා දුකින් බලාගෙන හිටියා …

“බයවෙන්න එපා ලොක්කී.පොඩ්ඩිව දැකපු ගමන් දරුවා කතා කරයි …”

“ඔව් ඒක ඇත්ත බයවෙන්න දෙයක් නෑ …දොස්තර මහත්තයා කිව්වනේ දරුවා කතා කරන් නැත්තෙ සාංකාව නිසා කියලා.”.

හිරූෂා නිහඬව චූටි දෝණිගේ හිස අතගෑවා..

ආයේමත් පුංචි අම්මගෙගේ ඇසුර ලැබුනට පස්සේ චූටි දෝණි කතා කරයි කියලා තමයි දොස්තර මහත්තයා වුණත් කිව්වේ .ඒ නිසා ඒගැන හිරූෂා වුනත් ලොකු විශ්වාසයකින් හිටියේ …

හිරූෂා හෝටලේ උත්සව ශාලාවට යනකම් කල්පනා කර කර ගියේ මේ දේවල් ගැන …

හිරූෂාවයි පවුලේ උදවියයි නංගිගේ මනමාලයාගේ පාර්ශවයේ අය මහා ඉහළින් පිළිගත්තා …

හිරූෂා ඇතුළු පිරිස උත්සව ශාලාවට ඇවිත් ටික වෙලාවක් ගත උනාට පස්සේ මනමාලියි මනමාලයයි උත්සව ශාලාවට ආවා …

මනමාලයාගේ පාර්ශවයේ අය මනමාලියි මනමාලයයි පිළිගන්න හැටි ,ඒ චාරිත්‍ර දිහා චූටි දෝණි ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා…

ඉන්දියෙන් විදියට ඇඳලා හිටපු රතු පාට සාරියට නංගි හරිම ලස්සනයි කියලා හිරූෂා ට හිතුනා…චූටි දෝණිත් ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්න විදිහ හිරූෂා දැක්කා …

ඡායාරූප ශිල්පීන් ඡායාරූප අරගෙන ඉවතට යනකම් හිරූෂා බලාගෙන හිටියේ චූටි දුවව පුංචි අම්මා ළඟට එක්කන් යන්න…

ඒ වැඩ කටයුතු ඉවර කරාට පස්සේ හිරූෂා චූටි දුවවත් අරගෙන පුංචි අම්මා ලඟට එක්කගෙන ගියා ..

පුංචි අම්මගේ ලස්සන දිහා දෝණි ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්නවා..

පුංචි අම්මාගේ උකුලට පැනලා මුහුණට හාදු ගොඩක් දෙන්න චූටි දුවට හිතුනා ….

“චූටි දෝණි …ඔයාගේ ගවුම හරි ලස්සනයිනේ…..අද ඔයත් හරි ලස්සනයි .කෝ එනවද පුංචි ලඟට “

පුංචි අම්මා එහෙම අහද්දී චූටි දුව පුංචි අම්මා දිහා බලාගෙන ලැජ්ජාවෙන් හිනාවුණා ….

“පුංචි මොනවද අහනවා…කෝ ඉතිං පුංචි එක්ක කතා කරන්න …”

හිරූෂා දෝණිට එහෙම කිව්වා..

දවස් තුනක් කතා නොකර හිටපු චූටි දෝණි මේ දැන් කතා කරයි කියලා හිරූෂා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා …

හමුවෙමු මීළග කොටසෙන්