Ex වයිෆ්
44 වන කොටස
“අම්මී.මේ තාත්‍තී…එයා දැන් ශෝයි නේ..ඉස්සර වගේ නෝටි නෑ..බබාට දැන් බනින්නේ නැහැ.මේ චොකෝත් ගෙනල්ලා…”
චූටි දෝණි එහෙම කීවේ අතේ තිබ්බ ලොකු චොක්ලට් එක හිරූෂාට පෙන්වන ගමන්…
ගිහාන් චූටි දුව දිහා ඇස් පිල්ලමක් වත් ගහන්නේ නැතුව බලාගෙන ඉන්න හැටි හිරූෂා දැක්කා……
මෙච්චර කාලයක් කතා කරන්නෙවත් නැතුව හිටපු චූටි දෝණි මේ වගේ ගිරවියෙක් වගේ කතා කරද්දි ගිහාන්ට පුදුම නො හිතේවිද?…
හිරූෂා කල්පනා කළේ ගිහාන්ව එළවනවාද නැද්ද කියලා…
ගිහාන් මොන තරම් වැරැද්දක් කළත් ගිහාන් තමන්ගේ දරුවන්ගේ තාත්තා…පොඩ්ඩක් දරුවොත් එක්ක කතා කරන්න දීලා යවනවා කියල හිරූෂා හිතුවා…
“දැන් දුව හොඳට කතා කරනවා නේද?..”
ගිහාන් හිරූෂාගෙන් එහෙම ඇහුවා…
“ටිකක් කතා කරනවා….”
හිරූෂා එහෙම කිව්වේ ගානකට වත් නැතුව…
හිරූෂා ගිහාන්ගේ එහා පැත්තට වෙන්න වාඩිවෙලා ඉන්න චූටි දෝණි දිහා බැලුවා…
දැන් චූටි දෝණි ගිහාන්ගේ ලඟින් ඉන්නකොට හරියට ගිහාන්ගේ කපාපු පළුව වගේ..
ගිහාන්ගෙ පැහැපත් කම එහෙම පිටින්ම චූටි දෝණිට ඇවිල්ලා….
චූටි දූ අම්මට ලගින් වාඩි වෙන්න කියලා බංකුවට අත දිගු කරලා ඉඟියෙන් කිව්වා…
“මම සිංදුවක් කියන්නද අම්මි?…”
“හා කියන්නකො දුව …”
“පුංචී කියපු එකක්ද අම්මා කියපු එකක්ද ?…”
“බබාට කැමති එකක් කියන්න….”
“johny johny yes papa
eating sugar no papa
telling lies no papa..
open your mouth…ha..ha..ha…”
චූටි දෝණි හා හා හා කියලා කියපු හුරතල් විලාශයට ගිහාන්ට ආස හිතුණා..
චූටි දුව දැන් ගොඩක් හුරතල් ….
දැක්කම ආසාවේ බෑ …..
කියලා ගිහාන්ට හිතුනා….
එදා මේ කැදැල්ල අපායක් විදියට දැකපු ගිහාන් අද මේ කැදැල්ල දැක්කේ සුරපුරයක් වගේ …
එදා තමාව විනාශ කරන ආපු වදකාරියෙක් වගේ දැක්ක චූටි දෝණිව අද ගිහාන් දැක්කේ සුර කුමරියක් වගේ…..
ගිහාන් චුටි දෝණි දිහා ලෝබ කමින් බලන් ඉන්න විදිහ හිරූෂා දැක්කා..
දැන් කරන්න කිසිම දෙයක් නෑ ගිහාන්…
ඔයාට ඒ දවස් වල චූටි දෝණි වහ කදුරු වගේ වුණා ….
චූටි දුව මේ තත්ත්වයෙන් ගොඩ දාන්න ඔයාට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ …
ඔයා චූටි දෝණිව අතඇරලා දැම්මා..
එදා ඔයා අතඇරියා වගේ මමත් දෝනිව අත හැරියා නම් අද දෝණි මෙතන නෑ..
ඔයා අපිව හිතින් දාලා යන්න හදද්දි මම කොච්චර උත්සහ කරත් මට ඔයාගේ හිත නවත්තන්න බැරි වුණා ….
ඔයා අපිව දාලා හැරෙන්න බැරි තරම් ලොකු දුරකට ගියා ..
දැන් ඔයා හැරිලා ආවත් මට ආයේ ආපස්සට හැරෙන්න බැහැ ගිහාන්..
ඔයා මාව දාලා ගියා කියලා මම අඬ අඬ හිටියේ නෑ ගිහින් …ඔයා මාව අතරමං කරලා ගිය තැන ඉඳලා මම මහ ගොඩක් දුර ඉස්සරහට ආවා…
ඒත් ඔයා තාම එතනමයි නේද ?..
අද ඔයා ආවේ ඇයි කියලා මම දන්නේ නෑ…ඒත් මට මගේ පාරේ ඉස්සරහට යන්න දෙන්න ගිහාන්…
හිරූෂා එහෙම හිතුවා.
bench එකේ ගිහාන්ගෙ ළඟ වාඩිවෙලා හිටපු චූටි දෝණි එකපාරටම අඩන්න ගත්තා ….
අඬාගෙන අම්මාගේ උකුලට පැන්නා ..
“අම්මි ….තාත්තිට යන්න කියන්න …තාත්ති අපා…”
චූටි දෝණි ඉකි ගහගහා අම්මගේ බෙල්ල බදාගෙන අඩනවා..
මෙතෙක් වෙලා පුංචි ගිරවියෙක් වගේ හුරතලයට කියව කියවා හිටපු චූටි දෝණිට වෙච්ච විපරියාසය ගැන හිතාගන්න බැරුව ගිහානුයි හිරූෂායි අන්ද මන්ද වෙලා බලාගෙන ඉන්නවා….
“ඇයි චූටි දෝණි මේ…”
සුදු මූණ රතු කරගෙන අඩන දෝණි දිහා දුකින් බලාගෙන හිරූෂා එහෙම ඇහුවා..
“අම්මේ …මේ තා…ත්…ත..ට යන්න කියන්න…”
“ඇයි චූටි දෝනි මේ..?”
හිරූෂායි ගිහානුයි මවිත වෙලා දෝණි දිහා බලාගෙන ඉන්නවා..
“මේ තාත්ති නෝටි…මට බයයි තාත්තිට යන්න කියන්න…තාත්ති මට මේකෙන් ගහයි …”
චූටි දූ ගිහාන්ගෙ කලිසමේ හම් බෙල්ට් පටිය දිහා පෙන්නලා එහෙම කිව්වා …
චූටි දෝණි එහෙම කිව්වම හිරූෂාගේ පපුව පත්තුවෙලා ගියා වගේ වුණා ..
ඒ දවස්වල චූටි දෝණිට කරපු කියපු දේවල් මතක් වෙලා ගිහාන්ගෙ හිතේ ලොකු පසුතැවීමක් ඇති වුණා….
ඒ දවස් වල කිසිදෙයක් නොතේරෙන විදිහට හිටියට චූටි දෝණිට මේ හැම වෙනස්කමක්ම තේරිලා වගේ…..
මොනා කරන්නද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ නේ ගිහාන්ට එහෙම හිතුණා..
ඒ දවස්වල කරපු හැම නපුරුකමක්ම ගිහාන්ට මැවි මැවි පෙනුණා..
චූටි දෝණිගේ ඇඬිල්ල ඇහිලා ගේ ඇතුලේ ඉදන් හිරූෂාගේ අම්මායි අභීත පුතායි දුවගෙන ආවා..
“ඇයි ලොකු දු මේ දරුවා අඬන්නේ…?”
හිරූෂාගේ අම්මා චූටි දෝණිව තුරුලට ගත්තා…
අභීත පුතා තාත්තා දිහා රවාගෙන බලන් හිටියා…හිරූෂා ඉඟියෙන් අබීතට තාත්තාට රවන්න එපා කියලා කීවා..
“ආ මේ ඔය ළමයාද?..මොකෝ මේ පැත්ත මතක් වෙලා..”
හිරූෂාගේ අම්මා එහෙම ඇහුවාම ගිහාන්ට ලැජ්ජා හිතුණා..
“අම්මා.මම මේ ළමයි දෙන්නා බලන්න ආවා..”
“ඒ නැදෑකම් තිබ්බේ ඉස්සර.මම දැන් අම්මා නෙමේ..”
හිරූෂාගේ අම්මා එහෙම කීවාම ගිහාන්ගේ මුහුණ වෙනස් වුණා..
“ආත්තත්තේ තාත්තාට යන්න කියන්න..බබාට බයයි..”
චූටි දෝණි දෑතින් මුහුණ වසාගෙන අඬනවා….
අබීත තාත්තාගේ දිහා බැලුවේ යන්න කියන්න වගේ…
එ එක්කම ගේ ඇතුළේ මහ මහා හිටපු මදූකා එතැනට ආවා.
“මිස්…අර ඕඩර් එක හරි.එක ගවුමක් මහන්න රෙදි මදි වුනා..”
“හා හරි මදූකා.ඔයා ළමයින්ට අනික් ඕඩර් එක මහන්න කියන්න.අනිද්දාට අපි ෂොප් එකට බඩු දෙන්න තියෙනවා..”
“හරි මිස්…”
මදූකා එහෙම අහගෙන ගෙට ගිය හැටි ගිහාන් බලාගෙන උන්නේ පුදුමයෙන් වගේ…..
“ඔයා දැන් ඇදුම් මහන බිස්නස් එකක් කරනවාද?..”
“ඔව් පොඩියට වගේ…”
ගිහාන්ට මේ දේවල් දැකලා අදහාගන්න බෑ වගේ..හිරූෂා ගැන තමන් හිතපු විදිහ මොනතරම් වැරදිද?…
හිරූෂා මොනතරම් ශක්තිමත් කාන්තාවක්ද?….
මම හිතුවේ මම නැතිවුණාට පස්සේ හිරූෂා වැටෙයිකියලා..ඒත් එහෙම වෙලා නෑ..
හිරූෂා නැතිවුණාම වැටුණේ මම…හිරූෂා අද දෙපයින් තනියම නැගිටිලා..
අවුරුදු පහළවකට කිට්ටු වෙන්න තමන් නිකම්ම නිකම් තිරිවානා ගලක් කියලා හිතන් ඉදලා තියෙන්නේ ඔප නොදාපු මැණික් කැටයකට නේද කියලා ගිහන්ට හිතුණා..
අද ඒ ඔප නොදාපු මැණික් කැටේ ලස්සනට ඔප වැටිලා දිස්නේ ගහන හැටි දැක්කාම ගිහාන්ගේ ඇස් දෙකත් නිලංකාර වෙලා යනවා වගේ..
“තාත්ති යන්න…මට තාත්ති අපා…”
ගෙයි දොරකඩ උළුවස්ස ලඟ ඉඳගෙන ආත්තම්මාගේ අතේ ඉඳන් චූටි දෝණි එහෙම කිය කියා අඩනවා …
“අම්මි ගෙත එන්න …”
හිරූෂා අඬන දෝණි ළඟට ආවා …
අම්මා ගේ ඇතුලට ආවා විතරයි චූටි දුව දොර දඩාස් ගාලා මහ හයියෙන් වැහුවා….
එක පාරට සිද්ධ වෙච්ච දේට ගිහාන්ට පුදුමත් හිතුනා ..
හිරූෂාට කෙසේ වෙතත් අද මාව මගේ දරු දෙන්නටත් එපා වෙලා ..අන්තිමට මට ඒ දෙන්නත් නැති වුණා …
ගිහාන් කාර් එකේ නැගලා පිටත් වුනේ හරියට නිකම් පරාජිතයෙක් වගේ ….
ගිහාන් කාරෙක පදවගෙන ගියේ තමන්ගෙ අතින් පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් වලට පසුතැවෙමින්…
පහුගිය කාලේ තමන් හැසුරුණේ මොනතරම් වැරදි විදිහටද?.
හැම පවුලකටම නරක කාලයක් එනවා..ඒ නරක කාලයේ හැමෝම එකා වගේ සමගියෙන් ඉන්න ඕනේ …
එකිනෙකාගේ අඩුපාඩු වලට,බැරි දුර්වලකම් වලට උදව් කරගෙන ඉන්න ඕනේ…
ඒත් මම කලේ මොනවද ?..
චූටි දෝණිව ගොඩ ගන්නවා වෙනුවට හංවඩු ගහ ගහා ඒ වගකීම් සේරම හිරූෂාගේ කර පිට ම පැටෙව්වා ..
චූටි දෝණිගේ අසාමාන්‍ය ගති ලක්ෂණ මට මගේ සමාජ තත්ත්වයට ලැජ්ජාවක් කියලා හිතලා මම පවුලෙන් ඈත්වෙලා ප්‍රශ්න වලින් පැනලා ගියා ..
අන්තිමට සිද්ධ වුණේ මාව සමාජයේ විහිලුවක් වෙච්ච එක….
ගිහාන් එහෙම හිතුවා…
ගිහාන්ට හිතට දැනිච්ච හැඟීම් ඉවසාගන්න බැරි වුණා ….
ගිහාන්ට මධුවිත සිහිපත් වුණා …ගිහාන් විදුරට කෝල් එකක් අරන් එන්න කිව්වා ….
ගිහාන් විදුරත් එක්ක ඒ දවස් වල නිතරම ආව සුපුරුදු අවන්හලට ගොඩ වුණා …
කාර් එකෙන් බැහැලා අවන්හලට ගොඩ වෙච්ච ගිහාන් දිහා විදුර පුදුම වෙලා වගේ බලන් හිටියා …
ගිහාන් ඉස්සර කොයි තරම් කඩවසම්ද?..කොයිතරම් ජේත්තුවට අඳිනවද ?..
එහෙම වුන්නු ගිහාන්ට මේ මොකද උනේ ?..
ඉස්සර තිබ්බ සරු පාටක් දැන් පේන්නවත් නෑ කියලා වීදුරට හිතුනා ..
හිරූෂාගෙන් දික්කසාද වෙලා චේතනා එක්ක විවාහ වෙච්ච හැටි ගිහාන් විදුරට කිව්වම විදුරගේ අත නළලට ගියා …..
මම මේ මනුස්සයට කොයි තරම් මේ දේවල් කියලා දුන්නද ?…..
ගිහාන් මේ තරම් මෝඩයෙක් කියලා මම නම් හිතුවේ නෑ …..මේ සේරටම මුල ප්‍රශ්න වලින් පැනලා යන්න කියලා හද්ද පිටිසරකට ගිහාන් ගියපු නිසායි..
අපිවත් ලග හිටිය නං මේ වගේ දෙයක් වෙන්න නොදී වලක්වන්න තිබ්බා ..
විදුරට එහෙම හිතුනා ..
විදුර නොසෑහෙන්න ගිහාන්ට දොස් කිව්වා…
ගිහානුයි විදුරයි මධුවිත වඩියෙන් වඩිය හිස් කරා…
“දැන් ඇති නවත්තමු …උ//ඹට එහේ යන්නත් ඕනනේ…”
විදුර කොච්චර සීමා මායිම් පැන වුවත් ගිහාන් පොඩ්ඩක්වත් ඇහුවේ නෑ….
කැලේ මාරු උනත් කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියන්නේ නිකන් ද ?…
ගිහාන් තවම යන්නේ වැරදි පාරේ ..ගිහාන් විහින් ප්‍රශ්න හදාගෙන ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ මධුවිත වලින් …
එක බෝතලයක් ඉවරවෙද්දි තවත් බෝතලයක්…..
මධු සාජ්ජේ අතරතුර චේතනා සැරින් සැරේ ගිහාන්ට කෝල් කරා…ගිහාන් ඒ ඇමතුම් වලට පිළිතුරු දුන්නේ නෑ ..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
කාර්යාලයේ ප්‍රධාන ශාඛාවට යනවා කියල ගිය ගිහාන් මෙච්චර රෑ වෙනකන් ඇමතුමකටවත් පිළිතුරු නොදී මොනවද කරන්නේ කියලා චේතනා කල්පනා කරා …
චේතනා ගිහාන් ගෙදර එනකන් රෑ නිදිවරාගෙන බලාගෙන ඉඳලා බැරිම තැන පාන්දර නින්දට ගියා …
චේතනා උදේ ඇහැරිල් බලද්දිත් ගිහාන් ඇවිත් හිටියේ නෑ …
චේතනා ගෙවල් දොරවල් අස් පස් කරලා දවල්ට කෑම උයලා ඇඟපත සෝදලා කාර්යාලයට යන්න ලෑස්ති උනා …
ඒත් එක්කම ගිහාන්ගේ කාරෙක ගේ දොරකඩ නැවතුනා ..
කොන්ඩෙ පීර පීරා හිටපු චේතනා මිදුලට ගියාම දැක්කෙ වැනේ වැනි ගෙට ගොඩ වෙන ගිහාන්ව…
මොකද මේ කට ගොන්නක් බීගෙන ඇවිත් ඉන්නේ චේතනා එහෙම කල්පනා කරා.
“මාත්තියා මොකද මේ ….ඇයි මේ සිහියක් නැති වෙන්න බීලා…”
චේතනා ගිහාන්ට ලං වෙලා එහෙම ඇහුවා …..
“උ//ඹට මොකද මම මොනවා කරත්..උ//ඹ උ//ඹේ පාඩුවේ හිටපං …වැඩට ආපු ගෑ//නී ලමාතැනී වෙන්න හදනවා ..”
ගිහාන් එහෙම කිව්වම චේතනාගේ ඇස්වලට කඳුළු පිරුණා..
පිළිතුරක් දීගන්න බැරුව චේතනා නිරුත්තරව හිටියා …
“උ//ඹ කොහෙ යන්නද මේ ලෑස්ති වෙලා ඉන්නේ ?..”
“ඔෆිස් එකට යන්න …”
“අනේ ප//ලයන් බ/න් උ/ඹ නිකං හරියට ඔෆිස් එකේ මහ ලොකු රස්සාවක් කරනවා වගේ . එතන ගිහින් ටොයිලට් හෝද හෝද මට ලැජ්ජ කරනවා …ඔය කෙහෙල්මල් රස්සා ඕනෙ නෑ …උ//ඹ ගෙදර ඉ//ඳපන් “
මෙච්චර දවස් ගිහාන්ගෙ හිතේ පැසව පැසව තිබ්බ දේවල් අද ඒ විදිහට පිට උනාම චේතනා ට ඉවසගන්න බැරි උනා …
බීලා බීලා ලොවි ගෙඩි වගේ රතු වෙච්ච ගිහාන්ගෙ ඇස් දෙක දිහා චේතනා බලාගෙන හිටියා…..
“අනේ මේ මාත්තියා …මාත්තියා ට දැන්ද ඒක ලැජ්ජාවක් උනේ …මාත්තිය මට ලන්වුණේ ඒ සේරම දේවල් දැනගෙනනේ…ඉතින් ඇයි මෙහෙම කතා …”
තමන් එක්ක කට ගහගෙන ආපු චේතනා දිහා ගිහාන් රවාගෙන බලාගෙන හිටියා …..
“උ///ඹ එනවද මාත් එක්ක කට ගහන්න ..”
තවමත් වෙරි මරගාතේ ඉන්න ගිහාන් තරහෙන් ගුගුරන්න ගත්තා …
“මාතියගේ කලින් ගේනි කට වහගෙන හිටියට මම කට වහගෙන ඉන්නේ නෑ …මෙතන බීලා යැවිත් මට වද දෙනවා…සරියාන කරච්චල් අප්පා ..”
චේතනා එහෙම කිව්ව විතරයි ගිහාන් චේතනාට තරු විසි වෙන්න කම්මුල් පාරක් ගහලා පසෙකට තල්ලු කරා ….
හැඩිදැඩි ගිහාන් තල්ලු කරපු පාරට …..
හමුවෙමු මීළඟ කොටසින්💔💔💔💔
අහක බලාගෙන යන්න එපා …ලස්සනයි විතරක් නොකියා කතාව ගැන අදහසක් දාගෙන යන්න