බිරිඳක් ලෙස මගෙන් ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා මම ඉටු කලෙමි. කුමන විදිහකින් වත් අතපසුවීමක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ මන්. කොටින්ම කිව්වොත් මම ඔහුට සැලකුවේ මගේ ජිවිතේ ජීවමාන දෙවියන් ලෙස. මගේ ජිවිතේ පළමු තැන ඔහු විය. ඒ වගේම ඔහුගේ ජීවිතයේත් පළමු තැන මා වනු දැකීමට මම සිහින දැක්කෙමි. නමුත් මට වැරදිනි. පළමු තැන තබා ඔහුගේ ලෝකයේ කොහෙවත් මා සිටියේ නැත. උදෑසනින්ම සුදානම් වී කාර්යාලයට යන ඔහුට මා ඇමතුවේ නැත්තම් දුරකථන ඇමතුමක් දෙන්නට වත් මතක් වෙන්නේ නැත.

අභීන් ..

ඇයි ?

ඔයා කැවද බලන්න ගත්තේ.

ඔව් ඔව් ස්නේහා මේ වැඩ අස්සේ. බොරුවට කරදර නොකර ඉන්න.

මම සුසුම් හෙලමි. මා ගැන වගක්වත් නැති මේ විවාහ ජිවිතයේ ඇති අරුත මට නොවැටහිණි. බොහෝ රාත්‍රි වී නිවසට පැමිණෙන ඔහු සිරුර දොවාගෙන පරිගණකය ඉදිරියේ වාඩි වෙයි.

අභින් කන්නේ නැද්ද?

මම කන්නම් පස්සේ.

අඩුම තරමින් මා කෑවද විමසන්නට වත් ඔහුට සිහි නොවෙයි.

මම කවන්නද? නමුත් මම අසමි.

හා. ඔහු පිළිතුරු දෙන්නේ මගේ දිහා බලන්නේ වත් නැතුව.

මම කවමි. ඔහු පරිගණකය දෙස බලාගෙන යාන්ත්‍රික ලෙස අහර ගනී.

තවත් පැයකට පමණ පසු යහනට පැමිණෙන ඔහු පසුදා උදෑසන වන තුරු සුවසේ නිදාගනි. ඉතාම කලාතුරකින් දිනයක නිදියහනේදී පමණක් බිරිඳක් සිටින බව ඔහුට සිහි වේ.

මම ඔයාට ආදරෙයි ස්නේහා. එවන් විටෙක මගේ දෙනෙත් තුලට එබෙන ඔහු කියයි. නමුත් ඒ දෑසේ ඇත්තේ ආදරය නොව ආශාව පමණක් බව මට වැටහේ. නමුත් කලාතුරකින් එළඹෙන එවන් එක මොහොතක් නිසා දිනපතාම ඔහු අතින් සිදුවන අතපසුවීම් මම අමතක කරමි. ඒ ඒ තරමටම මා ඔහුට පෙම් කරන නිසාය. මගේ සැනසිල්ලට හේතු වෙමින් ඔහුගේ ජිවිතයේ මා හැර වෙනත් ලඳක් නැති බව මම දනිමි. ඔහුගේ එකම අඩුව ආදරය කරන්නට නොදැන සිටිමය. මම එලෙස සිතා සිත සන්සුන් කරගමි.

ඉවසල ඉවසල දරාගන්නම බැරි තැන මම එක දවසක් අභීන්ට කතා කරන්න හිතුවා. ඒ එක්තරා අදුරු උදැසනක බව මට මතකයි. ඒ වෙනකොට අපි විවාහ වෙලා වසරක් ගත වෙලා.

අභීන්

ඔහු හිටියේ කන්නාඩි මේසය ගාවට වෙලා ඔෆිස් යන්න ලෑස්ති වෙන ගමන්.

ඇයි?

මම ඔහු ගාවට ගියා.

මේ මම බලාපොරොත්තු වෙච්ච ජිවිතේ නෙවේ අභීන්.

ඔහු මොහොතක් වෙලා මගේ දිහා බලන් හිටිය. ඇත්ත ස්නේහා ඔයා තියා මම වත් බලාපොරොත්තු වෙච්ච ජිවිතයක් නෙමෙයි මේක. ඉස්සර මම මගේ පාඩුවේ නිදහසේ හිටපු කොල්ලෙක්. ඔයාව මට අමතර බරක් ඇත්තටම. මට ඒක මහා හිසරදයක්. එදා එයා කියපු හැටි මට තාම ඇහෙනවා වගේ.

ඔහු එහෙම කිව්වේ කිසිම ගානක් නැතුව. මට මොහොතකට කතා කරගන්නවත් මතක් උනේ නෑ. මම අභින්ගෙන් එහෙම කතාවක් බලාපොරොත්තු උනේ නෑ.

අපි ඩිවෝස් වෙමු නේද ස්නේහා ඒක ඔයාටත් හොදයි මටත් හොදයි.

ඔයා ඔය ඇත්තටමද කියන්නේ? මම මොහොතකට හිතුව එයා විහිලු කරනවා කියල.

ඔව්. ඔහු කිව්වේ හිනාවක් පවා නැතුව.

ඔයාට මාව ඇත්තටම එපා ද අභීන්? මම ඇහුවේ කටහඩ පාලනය කරගෙන.

එපා. ඔහු දුන්නේ තනි උත්තරයක්. ඔයාටම තේරෙනවනේ මේක කිසිම තේරුමක් නැති දෙයක්. ඉතින් තවත් අපි එක වහලක් යට ඉන්න එකේ තේරුමක් නෑනෙ. මට ඕනේ නිදහසේ පාඩුවේ ඉන්න. ඔයා ඉන්නෙක මට ඇත්තටම වදයක්.

ඔහු කියද්දී මට දැනුනු කම්පනය දැනුත් මට දැනෙනවා වගේ.

ඔයාට නිදහස තියෙනවා කැමති විදියකට ජිවත් වෙන්න. ඩිවෝස් පේපර්ස් මම ලෑස්ති කරන්නම්. මගෙත් එක්ක තරහ වෙන්න එපා ස්නේහා. කාමරෙන් එලියට යන්න ගිය ඔහු නැවත නතර වෙලා කිව්වේ මේ ටික. පස්සේ එහෙමම ගියා.

මම මුකුත් කිව්වේ නෑ. මොහොතකට මම හිතුව මම නපුරු හීනයක් දැක්ක කියල. නෑ ඒක හීනයක් නෙමෙයි. ඇත්ත. ඔහුට මාව එපා උනා. දැන් මම එයාගේ ජීවිතෙන් යන්න ඕනේ.

මම මුළු කාමරේ පුරාම බැලුවේ අන්තිම පාරට. පතිකුලය දෙවියන් හා සමව මා සැලකු මගේ සැමියා ජිවිතයේ ගෙවුණු සුන්දර මතකයන් රැදුණු කාමරය ඒ ඔක්කොම දාල මට යන්න වෙලා.

මට මොකද්ද කරන්න ඕනේ කියලවත් හිතාගන්න පුළුවන් උනේ නෑ. ඔහු කී වදන් මට නැවත ඇහෙනකොට මට ආයෙත් සැරයක් මාව තියාගන්න කියල ඔහුට ආයාචනා කරන්න හිතුනේ නෑ. මට ගෙදර යන්නත් බෑ. ඩිවෝස් උනා කිව්වම අම්මල ලෝකෙට මුණ දෙන්නේ කොහොමද?

මට විශාල් මතක් උනේ ඒ අතරේ. පොඩි කාලේ ඉදන් මගේ හැම දේකටම හිටියේ එයා. මම ඔහුට ඇමතුමක් ගත්තා.

විශාල්

කියන්න ස්නේහා

මට ඔයාව මීට් වෙන්න ඕනේ

කොහෙටද මම එන්න ඕනේ

බීච් එකට

අභීන් මට මුණ ගැහෙන්නට පෙර මගෙත් විශාල්ගේත් සති අන්තය ගෙවුනේ එහිය. මගේ ජීවිතේට ඔයා ඕනේ ස්නේහා කියමින් අභීන් මා හා විවාහ වන්නට තීරණය කලෙත් එහි ය. දරුණු සිත් වේදනාවක් නිසා අභීන් අමතක කිරීමට විශාල්ට මා පිළින දුන්නෙත් එහිය. මගේ ජිවිතයේ මිහිරි මෙන්ම අමිහිරි මතකයන් රැසක් සගවාගත් ඒ මුහුදු තීරයේදී අවසන් වරට විශාල් හමු වීමට මට උවමනා විය.

කියන්න ස්නේහා මොකද්ද ප්‍රශ්නේ. මා දුටු ගමන්ම විශාල් ඇහුවේ කලබල වෙලා

හැමදේම ඉවර උනා විශාල්

ඉවරවුනා කිව්වේ?

එයාට මාව එපා උනා

මොකක්

ඔව්

විහිලු කරන්න එපා ස්නේහා බොරු නේද ඔයා කියන්නේ?

මගේ මුනෙන් ඔයාට පේනවද මම බොරුවක් කියනවා කියල. ඒක ඇත්ත විශාල්. එයාට මාව එපා උනා. මම හදවතින්ම එයාට කරපු ආදරේ එයාට වදයක් උනා.

හරිද වැරදිද මම දන්නේ නෑ මම හැමදේම විශාල්ට කිව්වා. ඔහු කලේ නිහඬව අහන හිටපු එක. අඩුම තරමින් මෙහෙම දෙයක් වෙයි කියල මම කලින්ම ඔයාට කිව්වා ස්නේහා කියලවත් ඔහු කිව්වේ නෑ

දැන් මගෙන් මොනවද වෙන්න ඕනේ ස්නේහා? හැමදේම අහන ඉදල අන්තිමට ඔහු ඇහුවේ ඒක.

මට කොහෙහරි රටකට යන්න හදල දෙන්න

රට යන්න? ඔයා? තනියම? පිස්සුද?

ඔව්

හරි ඔයාට ඕනේ නිදහසේ ඉන්න නම් මම එක්ක යන්නම්

නිදහසේ නෙමෙයි මට තනියම ඉන්නයි ඕනේ.

එතකොට ගෙදරට මොකද කියන්නේ?

ඒක මම කරගන්නම්. මා කිවේ නිශ්චිත අදහසක් ඇතුව නොවේ.

ස්නේහා ඔයා තාම අවුරුදු 22ක පුංචි කෙල්ලෙක්. ඔයා කොහොමද නන්නාදුනන රටකට ගිහින් තනියම ඉන්නේ?

පුංචි කෙල්ලෙක් නෙමෙයි මම දැන් බැදලා ඩිවෝස් වෙච්ච ගැනියෙක්. මට ඕනේ හැමදේකින්ම ඈත් වෙලා කොහෙහරි යන්න

මාව තේරුම් ගන්න විශාල්. මට වෙච්ච දේ වෙන කෙල්ලෙක්ට උනා නම් මම අද අහගත්තා ටික ඇහුවනම් ඒ කෙල්ල දිවිනසාගන්නවා. එත් මම එහෙම කරන්නේ නෑ. එයාට මාව එපා උනාට මම ජිවිතේ නැති කරගන්නේ නෑ. මට එහෙමත් හිතුනා. එත් මනුස්ස ආත්මයක් ලැබෙන්නේ ගොඩක් පින් කරාම. මම ඒක නැති කරගන්නේ නෑ. මගේ වටිනා ජිවිතේ මම නැති කරගත්තේ විහින්. ඒකට කාටවත් දොස් කියන්න බෑ. ඒත් මම ජිවත් වෙන්න ඕනේ. අද මට එහෙම කතා කරාට එයා කවදාහරි ඇත්ත තෙඋම් ගනී විශාල්. මම එයාගේ ජීවිතෙන් යනවා. ආයිත් කවදාවත් ඒ ජීවිතේට මම වදයක් වෙන්නේ නෑ. මට මේ උදව්ව විතරක් කරන්න ප්ලීස්.

ඔහු සුසුම් හෙලුවා. ඇමරිකා වල මගේ යාළුවො ඉන්නවා. මම ඔයාට එහෙට යන්න හදල දෙන්නම්. සතියක් යයි. ඔයා එයා නිසා ඉගෙනගන්න එකත් නැවැත්තුවා. ගිහින් ඩිග්රී එක කම්ප්ලිට් කරගන්න. ජිවිතේ එක හීනෙකින් එලි වෙන්නේ නෑ ස්නේහා. ඔහු එදා කිව්වා මට මතකයි.

මගේ පවුලේ අයට ඇත්ත නොකිය ඉන්න මම හිතාගෙනම හිටියේ. ඒක කොහොම කියන්නද කියල මම දැනගෙන හිටියෙත් නෑ. ඒ හින්ද මම කිව්වේ ඩිග්රි එක නිසා රට යනවා කියලා.

හොදයි පුතේ ඔයා තව ඉගෙන ගන්න හිතපු එක. අභීන් පුතා කැමති උනාද ඉතින්.

ඔව් අම්මේ කොහොමත් ඩිග්රි එක කරගත්තම මට හොදයි අනික මට ගෙදර ඉන්න කම්මැලි. මම කිව්වේ ඇගේ දෑස් මග ඇරලා.

පොරොන්දු උනු විදිහටම විශාල් මට විදෙස්ගත වෙන්න ඕනේ කරන දේවල් සේරම හදල දුන්නා. ඊලග සතියේ මම මව්බිමට සදහටම සමු දුන්නෙමි.

මගේ ඒකපාර්ශවික ආදරය අවසන් වුයේ එලෙසය. නමුත් එය එතෙකින් අවසන් නොවූ බව මට වැටහුනේ ඔහු නිසාවෙන් මා මවක් වීමට යන බව මට දැනෙද්දී ය. කලයුත්තේ කුමක්දැයි අදහසක් නොමැතිව මම මාසයක ට ආසන්න කාලයක් සිටියෙමි. මගේ වාසනාවකට හෝ කුස හොත් දරුවාගේ පිනකට පාසල් සමයේදී මගේ ලබැදි යෙහෙලියකව සිටි ඩියානා මට හමු වුයේ ඒ අතරදීය.

මම සියලු විස්තර ඇයට පැවසීමි. මට අනුකම්පා කල ඕ ඇයත් සමග ස්වීඩනයට යාමට එන ලෙස මට ආරාධනා කළාය. මම එයට එකග උනෙමි. නාදුනන රටක දරුවෙක් සමග තනි වනවාට වඩා හදුනන කිසිවෙකු ලග සිටීම සිතට සහනයකි. ඊටත් අද හෝ හෙට විශාල් මා සොයා එන බව මම දැන සිටියෙමි. ඔහු වත් මගේ රහස දැනගත යුතු නැත.

මගේ කියන කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව දරුවා හදා වඩා ගැනීමට මට අවැසි විය. අභීන් නැතත් ඔහුගේ ලෙයින් සැදුනු දරුවා මට තනියට සිටිනු ඇත. මට ඇති එකම සතුටත් සැනසීමත් එය විය.