දුටු මොහොතේ සිට අභීන් වෙත සිත බැඳුනේ කිමදැයි මම නොදනිමි. එය සසර පුරුද්දක් යයි මම විශ්වාස කලෙමි. ඒ බැඳුනු ආදරය නිසාවෙන් ඔහු වෙනුවෙන් මා නොකළ දෙයක් නැත.

ඔහු පවසන සෑම දෙයකටම මම එකග උනෙමි. ඔහු කැමති වූ ආකාරයට සිටියෙමි. මම සම්පුර්ණයෙන්ම ඔහුට බැඳී සිටියෙමි.

සැබවින්ම පෙම් කලේ මම ය. මම විතරම ය. ඔහුගේ සිතේ මා පිලිබඳ ඇත්තේ ආදරයක් නොවන බව ඔහු මට කැමැත්ත ප්‍රකාශ කල මොහොතේ දීත් මම දැන සිටියෙමි. ඒ කැමැත්ත ආදරයක් වනු ඇතැයි විශ්වාස කලේ මා ය. නමුත් මට වැරදිනි. ඒ වරදට මට සිදු වුයේ ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට ය. නමුත් අභීන් මම තාමත් තාමත් එදා වගේම ඔයාට ආදරෙයි .

නමුත් ඔහු, මගේ අසීමාන්තික ආදරය ඔහුට පෙනුනේ නැත.දැනුනේ ද නැත. මා විශ්වාස කරන අන්දමට ආදරය කරන පිරිමියා වෙතින් ආදරය ලැබීමට යුවතියක පින් කර තිබිය යුතුය. නමුත් මට ඒ පින තිබුනේ නැත. මගේ අවාසනාවට ඔහු දුටුවේ මා අතින් සිදු වූ සුළු සුළු අතපසු වීම් පමණි.

මගේ පළමු වරද වුයේ ඔහුගේ ඇමතුමකට එකවර පිළිතුරු නොදීමය.

මොනාද ස්නේහා එක සැරේ ෆෝන් එක ගන්න බැරිද? මම කී සැරයක් ගත්තද?

අනේ අභීන් මම නංගිට පාඩමක් කියල දිදී හිටියේ.

මොනා කරත් කමක් නෑ කෝල් කරන වෙලාවට එක සැරේ ෆෝන් එක ගන්නවා. කි ඔහු දුරකථනය විසංදී කළේය. මම යලිත් ඔහු ඇමතීමි.

ඇයි ?

අනේ ඉතින් තරහද? හරි හරි ආයේ එහෙම වෙන්නේ නෑ ප්‍රොමිස්

මම බොහෝ අපහසුවෙන් ඔහුගේ තරහව මග හරවා ගනිමි. සැබවින්ම ඔහු බොහෝ දරදඩු බව මට නොවැටහුණා නොවේ. හරි හෝ වැරදි හෝ ඔහුගේ මතය අවසාන මතය විය. තමන්ට අවශ්‍ය මොනයම් දෙයක් වුව ලබා ගැනීම ඔහුගේ ස්වභාවය විය. මා වෙනුවෙන් වත් ඔහු නම්‍යශීලි නොවිය. නමුත් එයට හේතුව ඔහු පවුලේ එකම දරුවා වීම බව මා දැනසිටි හෙයින් මසිතේ ඔහු කෙරෙහි අමනාපයක් නොවිණි. කවදා හෝ ඔහුගේ දැඩි පිළිවෙත් වෙනස් කරන්නට මට හැකි වෙතයි මම සිතුවෙමි.

ඉන්පසු ගෙවෙන හැම මොහොතකම දුරකථනය මා අසල විය. ඔහුගෙන් ලැබෙන එක ඇමතුමක් වත් මා අතින් මග හැරෙන්නේ නැති වෙන්නට මම පරිස්සම් උනෙමි.

නමුත් සෑම මොහොතකම මා නොදන්නා කිසියම් හිස් බවක් මසිත වෙලාගෙන පැවතිනි. එය අර්ථ දක්වන්නට මට වැටහුනේ නැත.

අප දෙදෙනාගේ සම්බන්දයේ තේරුමක් ඇද්ද වග මම නිතර සිතුවෙමි.

මා දිනකට සිය වතාවක් ඔහු අමතයි නම් ඔහුට මා සිහිවන්නේ එක වරකි. වෙනත් පෙම්වතුන් පෙම්බස් දොඩන වෙලාවල් වලදී මට සිදු වන්නේ ඔහුගේ ආයතනයේ විස්තර වලට සවන් දෙන්නටය. මට මතක ඇති අයුරින් ඔහු කිසිදු දිනෙක ආදරයෙන් මා අමතා නැත. ඔහුට මා නිකම්ම ස්නේහා පමණකි.

අභීන් ඇයි ඔයාට ඔයිට වඩා හොඳින් මාත් එක්ක කතා කරන්න බැරි? මා විමසුවේ ඉවසා සිටිය නොහැකි තැන ය.

මෙහෙම නෙමෙයි නම් කොහොමද මට කතා කරන්න කියන්නේ ?

මට ඒක කියන්න තේරෙන්නේ නෑ. ඒ උනාට ඔහොම නිකම්ම කතා කරන්නේ නැතුව ටිකක් ආදරෙන් කතා කරන්න බැරිද? ඔයා මට කෝල් එකක් ගන්නෙත් ඉදල හිටලා. ඒ අරගෙන කතා කරන්නේ හරියට ඔෆිස් එකේ ඔයා යටතේ වැඩ කරන කෙනෙකුට වගේ. මම ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. අපි අපි ගැන කතා කරන්නේ කවදද?

ඔයා කියන්නේ අර ෆිල්ම් වල වගේ බොළඳ ප්‍රේමවන්තයෙක් වෙන්න කියලද?

බොළඳ නොවී ආදරේ කරන්න බැහැ අභීන්.

අනේ නිකම් විකාර කතා කියන්නේ නැතුව ඉන්න ස්නේහා.

එපමණකි. මට අවැසි දෙය කෙදිනක වත් ඔහුට වටහා දීමට මට හැකි නොවිණි. නමුත් කුමන හේතුවක් නිසා හෝ ඔහු හැරයන්නට මට නොසිතිනි. සැබවින්ම මම ඔහුට බොහෝ ආදරය කරමි. ඔහු මගේ ජිවිතයේ පළමු පිරිමියා විය. අන්තිමයාද ඔහු වනු ඇත.

වෙනස් වේ යයි බලා සිටි නමුත් එය සිදු නොවිනි.
ඒ තවත් දවසකි. සවස 4ට පමණ වන්නට ඇත. මම ඔහු මුණගැසීම පිණිස අපට සුපුරුදු වෙරලට යමින් සිටියෙමි. ඒ ද ත්‍රිරෝද රථයකිනි. රථයේ දෝෂයක් නිසාවෙන් අතරමග බසින්නට වුයේ මගේ අවාසනාවටය. වෙරල තෙක් වූ පාලු මාවතේ මට වෙනත් රථයක් සොයා ගැනීමට හැකි වුයේද නැත. මට වූ කරදරය පවසන්නට සිතුවත් දුරකතනයද ක්‍රියා විරහිත වී තිබුනි. ඒ මාවතේ දුරකථන කුටියක් වත් තිබුනේ නෑ. මට වුයේ පයින්ම යන්නටය. ඒ මදිවට වහින්නත් පටන් ගත්ත ටික දුරක් යනකොට. හදිසියේ ගෙදරින් ආපු නිසා කුඩයක් වත් අතේ තිබුනේ නෑ. ගසක් වත් තිබුනේ නැති ඒ පාරේ තිබුනේ විසල් තාප්ප වලින් වට වෙච්ච ගෙවල් විතරයි.

එන්න කියල කිව්වා වෙලාවට ගියේ නැත්තම් බැනුම් අහන්න වෙනවා කියල දන්නා නිසාම වැස්ස බලන්නෙත් නැතුව මම තෙමි තෙමීම මම ගියේ දුවගෙන. එත් එතකොටත් මම විනාඩි 10කටත් වඩා පරක්කුයි. මම ඉක්මනට වෙරල අයිනේ තිබුණු දුරකථන කුටියෙන් අභීන්ට ගත්තා. එයා පෙන්න හිටපු නැති නිසා.

අභීන් මම

ඇයි?

ඔයා ඉන්න කියපු තැන මම ඉන්නේ

ඉතින්

ඔයා එන්නේ නැද්ද? මම ඇහුවේ ගොඩක් අසරණ වෙලා

මම ආවා තමුසෙට කියන වෙලාවට එන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ. ආව නම් ආපු විදිහටම ආපහු යනවා.

අනේ මට ඔහොම කතා කරන්නෙපා අභීන් චුට්ටක් වෙච්ච දේ අහල ඉන්නකෝ

මට අහන්න දෙයක් නෑ . එක සැරේ ෆෝන් එක ගන්න බෑ කියන වෙලාවට එන්න බෑ ඒ මදිවට ෆෝන් එකත් ඔෆ් කරගෙන. මොකද්ද මේකේ තේරුම?

අනේ බබා ප්ලීස් මම කියන දේ අහල ඉන්නකෝ

අනේ මේ නවත්තගන්නවා කී ඔහු දුරකථනය විසඳි කළේය. මම යලිත් ඔහු අමතන්නට උත්සහ කලෙමි. නමුත් ඒ වන විටත් ඔහු එය ක්‍රියා විරහිත කර තිබිණි. මට මහා අසරණ හැගීමක් දැනිණි. කල යුත්තේ කුමක්දැයි මට වැටහුනේ නැත. මුළු මුහුදු වෙරලටම සිටියේ මා පමණි. තනිකමත් පාළුවත් ශෝකයත් මා වෙලා ගත්තේය. මම මහා වර්ෂාව මැද්දෙම ගිහින් රල බිදෙන හරියෙන් ඉදගත්තා.

මම මේ ගෙත්තමක් ගොතන්න හදන්නේ දිරච්ච නුලකින්. එයා කවදාවත් මට ආදරේ කරන්නේ නෑ. මම වෙනුවෙන් විනාඩි 10ක් ඉන්න බැරි එක්කෙනා. එයා එනකම් මම කොච්චර බලන් ඉන්නවද. හොදටම හිත රිදිලා හිටපු නිසා මට තදින් වහිනවා කියල වත් දැනුනේ නෑ. අඩන්නේ නැතුව ඉන්න හැදුවත් මට එහෙම ඉන්න පුළුවන් උනේ නෑ. ඇස් වලින් ගලපු කදුළු වැහි වතුරට එකතු වුනා.

ස්නේහා දෙවියනේ මොනවා කරනවද මේ වැස්සේ මෙතන තනියම? ඒ විශාල්ගේ කටහඩ. තවත් දරාගෙන ඉන්න පුළුවන් උනේ නෑ . මම දුවල ගිහිල්ල ඔහුට තුරුල් උනා. අභීන් වෙතින් බලාපොරොත්තු වෙච්ච රැකවරණය මට ලැබුනේ විශාල්ගෙන්.

ඔයා ගෙදර ආවේ නෑ කියල අම්ම කෝල් කරා. අභින්ගේ ෆෝන් එකත් වහලා. මම නිකමට මෙතෙන්ට ආවේ දෙන්නම වැස්සට අහු වෙලා කියල හිතන්. බලනකොට ඔයා මෙතන තනියම. කෝ අභීන් ? මොකද උනේ?

එයා මට ආදරේ නෑ විශ්. අනේ මට කියන්න මොකද්ද මගේ වැරැද්ද? එයා මට චුට්ටක් වත් ආදරේ නෑ. අනේ ඇයි මට එයා ගැන ආදරේ හිතුනේ?

කියන්න ස්නේහා මට ඔක්කොම කියන්න

මම අඩමින් ම සේරම විශාල්ට කිව්වා. ඔහු සුසුම් හෙලනු මට දැනුනා.
මු මාර යකෙක්නේ. මගෙත් වැරැද්ද ස්නේහා ඔයාට එයාව අදුන්නලා දීපු එක

එහෙම කියන්නෙපා විශ්. මගේ වැරැද්ද. මට ආදරේ නොකරන කෙනෙකුට ආදරේ කරන එක මගේ වැරැද්ද

ඉන්නකෝ මම එයාට කතා කරන්නම්

එපා එපා මම ඔයාට මේවා කිව්වා කියල දැනගත්තොත් තව ටිකක් තරහ වෙයි.

අනේ මන්ද ස්නේහා ඔයාට තීරණයක් ගන්න කියල කියන්න මට බෑ එත් අභීන් ඔයාව හොදට බලාගන්න එකක් නෑ කියල මට හිතෙනවා. ඔයාට ගැලපෙන්නේ මලක් වගේ ඔයාව බලාගන්න පුළුවන් කොල්ලෙක් මිසක් අභීන් වගේ දරදඩු කෙනෙක් නෙමෙයි.

මම ඒක දන්නවා කවදාහරි එයා වෙනස් වෙයි කියල බලන් හිටියේ මට වැරදුනා. මම කිව්වේ ගොඩක් අසරණ වෙලා. අදින් පස්සේ මං එයාට වදයක් වෙන්නේ නෑ විශාල් එයාට මම හොද මදි ඇති නැත්තම් ගැලපෙන්නේ නැතුව ඇති. මම කොහොමහරි හිත හදාගන්නවා එයා නැතුව ඉන්න.

අපි දැන් යමු ස්නේහා තෙමිලා ඔයා ලෙඩ වෙයි ඔහු කිවේ ඇදගෙන හිටපු ජැකට් එක ගලවල මා වටේ පෙරවමින්. අනේ මේ සෙනෙහස මට අභින්ගෙන් ලැබුන නම්. මම හිතුවේ ආයෙත් ඇස් වලට කදුළු එද්දී.

අභින්ගෙයි මගෙයි සම්බන්දෙ එතනින් ඉවර වෙයි කියල මම හිතුවේ. විශාල්ට පොරොන්දු උනා වගේම මම එක කෝල් එකක් වත් දුන්නේ නෑ එයාට. හැබැයි ඒක එතනින් ඉවර උනේ නෑ.

අභීන් ව මට ආයිත් හම්බුනේ දවසක් ප්‍රින්සස් ඒ කිව්වේ මගේ නංගිව මොන්ටිසෝරියට ඇරලවල එද්දී. එතකොට අපි දෙන්න කතා නොකර ගොඩ දවසක් ගත වෙලා. පාර පනින්න බලන් ඉන්නකොට එයාගේ කාරෙක මා ලග නතර කළා.

නගින්න. වීදුරුව පහත කරලා එයා මට කිව්වා. මම වටපිට බැලුවා.

නගින්න නේද කිව්වේ.

මම ඉක්මනට වාහනේට නැගල දොර වැහුවා. එයා හයියෙන් ඩ්‍රයිව් කරගෙන ගිහින් නතර කරේ අපට පුරුදු මුහුදු වෙරළේ. මට අමිහිරි මතකයක් එකතු කරපු ඒ වෙරළට යන්න මට කිසිම උවමනාවක් තිබුනේ නෑ.

බහින්නේ නැද්ද ස්නේහා?

කියන්න තියෙන දෙයක් කියන්න අභීන්. ඔහුට තුරුල් වෙලා අඩන්න හිතුනත් මම කීවේ හිත තද කරගෙන

ඇයි ෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ ඔයාගේ?

තවත් අපිට කතා කරන්න දෙයක් ඇති කියල මම හිතුවේ නෑ

ඒ කිව්වේ?

අභීන් ඔයා එදා කලේ හරි දෙයක් කියලද හිතන් ඉන්නේ?

ඔයා වෙලාවට ආවේ නැති උනාම මට තරහ ගියා හරි ඉතින් ඒක ඉවරයි දැන්

ඔයාට වගේ ලේසියෙන් මට ඒක ඉවර නෑ එදා මට දැනුනු හැටි ඔයාට දැනෙන්නේ නෑනේ. කොච්චර අඩන්නේ නැතුව ඉන්න හැදුවත් මට ඉකි ගැහුනා.

හරි ඉතින් දැන් මට මොකද්ද කරන්න කියන්නේ?

මුකුත් නෑ ඔයාගේ ගමන ඔයා යන්න මට හැමදාම ඔයාගෙන් බැනුම් අහන්න බෑ අභීන්

මගේ ගමන යන්න මට ඔයා ඕනේ ස්නේහා. අභීන් කිව්වේ මගේ අත් දෙකෙන්ම අල්ලාගෙන මගේ දිහාම බලාගෙන. ඒ තමයි එයා මට ආදරෙයි කියල මට දැනුනු පලවෙනි වතාව.

මම හිතන්නේ නෑ අභීන්. ඔයා ආදරේ කරන්න දන්නේ නෑ.

හරි මොකද්ද මම කරන්න ඕනේ. මැරි කරන්නද ඕනේ ඔයාට? එහෙනම් අපි මැරි කරමු. එයා එකපාරටම කියනකොට මම බලන් හිටියේ අදහගන්න බැරුව.

හැමදේම තීරණය කෙරුනේ හදිසියේ. අපි ගෙවල් වලට අපේ සම්බන්දය ගැන කිව්වා. මගේ පවුලේ අය‍ට අභීන් ට අකමැති වෙන්න කිසිම හේතුවක් තිබුනේ නෑ. එයා ගොඩාක් ලොකු පවුලක කොල්ලෙක්. තමන්ගේම කියල ගෙයක් වාහනයක් විතරක් නෙමෙයි ආයතනයකුත් තිබුනා. අපේ විවාහය සැලසුම් කෙරුනෙත් හදිසියේ. මන් හිටියේ ගොඩාක් සතුටින්. එත් මොකද්දෝ තේරෙන්නේ නැති හැගීමක් තිබුන මට. සමහරවිට මගේ ගෙදර දාල යන්න වෙන නිසා වෙන්නැති. ඒ අතරේ තමයි විශාල් මාව හොයාගෙන ආවේ.

මේ හොදට හිතල ගත්ත තීරණයක්ද ස්නේහා?

මම නෙමේ තීරණේ ගත්තේ එයා

ඉතින් ඔයා කැමති උනා?

ඔව්

ඔයාට හොදටම විශ්වාසද එයා ඔයාව සතුටින් තියාවි කියල. විශාල් ඇහුවේ මගේ ඇස් දිහාම බලාගෙන. මම බිම බැලුවේ හැංගෙන්න බැරි නිසා

ඔයාට ඒ විශ්වාසෙ නෑ නේද ස්නේහා?

මම එයාට ආදරෙයි විශාල් මට එයා ඕනේ

ඔයා ඔයාගේ ජිවිතේ බාරදෙන්නේ වැරදි කෙනෙක්ට ස්නේහා

බැන්දහම එයා වෙනස් වෙයි විශාල්

අවිනිශ්චිත දේකට ජිවිතේ බිලිදෙන්න එපා ස්නේහා ඔයාට තියෙන්නේ වටිනා ජිවිතයක්

එයා මාව සතුටින් තියයි විශාල්

ඔහු සුසුම් හෙලනවා මට දැනුනා. ඔයාට ඕනේ දේකට මම ඉන්නවා මැරි කළා කියල ඒකෙ වෙනසක් වෙන්නේ නෑ. කියල මගේ නළලත් ඉඹල ගියා එයා.

අපි විවාහ උනේ හැමෝගෙම සුබ පැතුම් මැද්දේ. සුන්දර මදුසමයකින් අනතුරුව මම ඔහුගේ විසල් නිවහනේ පදිංචියට ගියා. මේ ජීවිතේදී මේ ආත්මෙදි මම ප්‍රර්ථනා කරපු සේරම මට ලැබුන කියලයි මම හිතුවේ.