ඒ සෙනසුරාදාව අතිශයින් ප්‍රියජනක විය. මාත් විශාලුත් යන විට ඇය ඇගේ කුඩා සොයුරියත් සමග සුදානම් වී සිටියාය.
සැබවින්ම ඇය අතිශයින් සුන්දර යුවතියකි. එදින ඇය හැද සිටියේ රතු පැහැති සල්වාර් ඇදුමක් බව මට මතකය.
අප උදේ වරුවේ සිනමා පටයක් බලන්නට ගොස් දිවා ආහාර ගැනීමට අවන්හලකට ගියෙමු. අනතුරුව සැන්දෑව එළබෙන විට මුහුදු වෙරළට ගියෙමු.
මොහොතකට ඇයත් මාත් තනි වුයේ විශාල් ප්‍රින්සස්වද රැගෙන අයිස් ක්‍රීම් ගෙන ඒමට ගිය නිසාවෙනි.
මම හිතුවේ ඔයා අද එන එකක් නෑ කියල. ප්‍රථමයෙන් නිහඩතාවය බින්දේ ඇයය. විශාල් මට කිව්වා ඔයා එන්න කැමති උනේම නෑ බලෙන් එක්ක ආවේ කියල. කොහොම උනත් ඔයා ආපු එකට මට ගොඩක් සතුටුයි.
ඇයි ඒ? මම ඇසුවෙමි. ඒ වෙනුවට අද මම කොහොමහරි එන්නයි හිටියේ කීවානම් කොපමණ හොද දැයි අද මට සිතේ. නමුත් සිතේ ඇති දේ සෘජුව පවසන්නට නම් මම කිසි දින දන සිටියේ නැත.
දන්නේ නෑ. ඇය පැවසුවේ ඈත දියඹේ තිබු නැවක් දෙස බලාගෙනය. ඔයත් අවොත් හොදයි කියල මට හිතුන. ඈ පවසද්දී මට සතුටු සිතිනි. නමුත් මම එය ඇයට නොපෙන්වීමි.
ඉන්පසු විශාල් හා ප්‍රින්සස් පැමිණි බැවින් අපේ කතාව පොදු එකක් විය. සැන්දෑ කළුවර වැටෙන තෙක්ම මුහුදු වෙරළේ කාලය ගත කර අපි නැවත එන්නට පිටත් වීමු.
අභින් උඹට මොකද හිතෙන්නේ ස්නේහා ගැන. විශාල් විමසුවේ අප දෙදෙනා ඇය හා සොයුරිය හැරලවා ආපසු එන ගමනේදීය.
උඹ එදත් ඇහුවේ ඔය ප්‍රශ්නෙමනේ බන්
හරි ඉතින් උත්තර දීපන්කො.
ලස්සන කෙල්ලෙක්
එච්චරද?
එච්චරද මෙච්චරද අහන්නේ මම දන්නේ කොහොමද? තාම දැක්කෙත් දවස් දෙකයි. උඹනේ දන්නේ
හ්ම්. මචන් උඹ කැමති නැද්ද ස්නේහා වගේ කෙල්ලෙකුට.
මට ඔය කෙල්ලෝ ගැන හිත හිත ඉන්න වෙලාවක් නෑ. මම හිතට විරුද්දව බොරු කීමි.
ඒ උනාට ස්නේහා නම් උඹට කැමතියි.
මොකක්?
ඔව්
ඒකි උඹට කිව්වද?
නෑ … එත් මට හිතාගන්න පුළුවන්
මේ දැකල දවස් දෙකකින් කොල්ලෙකුට කැමති වෙන එක ඒකිගේ හැටිද?
විශාල් මහා හැදින් තිරිංග තද කරමින් යතුරු පඩිය නැවත්වුයේ පාර මැද ය.
මේ උඹට මම එකක් කියන්නම්. ඒකි ගැන එහෙම කතා කරන්න එපා. උඹ ඒකිට අකමැති නම් ඒක වෙනම දෙයක්. එයා එහෙම දකින දකින කොල්ලෝ පස්සේ යන කෙල්ලක් නෙවෙයි. උඹ දන්නවද? මේ ඒකි කොල්ලෙක් ගැන වෙනස් විදියකට කතා කරපු පලවෙනි වතාව. ඇත්තටම එයා ආශ්‍රය කරන එකම කොල්ල මම. එයාගේ ලගින්ම ඉන්න යාලුවෙක් විදියට මට දැනුනු දේ තමයි මම උඹට කිව්වේ.
හරි හරි ඉතින් උඹට ඔච්චර තරහ ගන්න දෙයක් මම කිව්වේ නෑනේ දැන් යමන් ගෙදර පරක්කු වෙලා.
විශාල් ඉන්පසු කිසිවක් කතා නොකළේය.
සදුදට ක්ලාස් වරෙන් . මා නිවසට කල ඔහු පිටත්ව ගියේය.
සැබවින්ම විශාල් එසේ කීවේ කුමන හේතුවක් නිසාද යන වග මට සිතාගත නොහැක. ඇගේ ජංගම දුරකතනයට අමතම්දෝ යයි සිත සිතා සිටින විට ම මට ඇගෙන් ඇමතුමක් ලැබිණි.
හලෝ. අභීන් ? අභීන් නේද? මා පිළිතුරු දෙත්ම ඇගේ ලයාන්විත මෘදු සිහින් කටහඬ ඇසිනි.
ඔව් අභීන් තමයි. ඔය කවුද? ඒ ඇය බව හොදින්ම දනිතත් මා ඇසුවා මතකය. සත්‍යය නම් මගේ ජීවිතයේ කිසිදු දිනෙක මම යුවතියක් ඇසුරු කොට නොතිබුනෙමි. එහෙයින් ඔවුන් සමග ගනුදෙනු කල යුතු ආකාරයද මම දන සිටියේ නැත.
ඇය සුසුම් හෙලන හඬ මට ඇසිනි.
මම ස්නේහා.. අදුනගන්න බැරිද? ඇය ඇසුවේ ඉතා මෘදුවය. මා දිවියේ අසා ඇති මිහිරිතම කට හඬ ඇත්තේ යට විය යුතුය.
ආ ස්නේහා කියන්න ඇයි හදිස්සියක්ද?
නෑ හදිස්සියක් නෙවෙයි මම මේ ඔයා ගෙදර ආවද බලන්න ගත්තේ.
ඔව් මන් ගෙදර තමයි ඉන්නේ
මන් තියන්නම් එහෙනම් බුදු සරණයි අභීන්.
හා
ඇය යලිත් සුසුම් හෙලනු ඇසිනි. අනතුරුව ඈ දුරකථනය විසන්දි කළාය.
මගේ මෝඩකම. මට මීට වඩා හොදින් ඇයත් සමග කතා කරන්නට තිබිණි. ඇය මා ඇමතු පළමු අවස්ථාවේදීම මා කතා කල අයුරු වැරදි යයි පසුව මට සිතිනි. ඇගේ සිත රිදෙන්නට ඇත.
මම යලිත් ඇගේ අංකය ගත්තෙමි.
සොරි ස්නේහා.. හැකි තරම් මෘදුව කීවෙමි.
ඇය සෙමෙන් ඉකිබිඳින හඬ ඇසිණි. ඇයි ඔයා අඩන්නේ?
මමයි සමාව ඉල්ලන්න ඕනේ අභීන්. ඔයාව මට වැදගත් කියල මම හිතුවට මාව ඔයාට තවත් එක කෙල්ලෙක් විතරයි නේද? මට සමාවෙන්න. මම ආයිත් ඔයාට කරදරයක් වෙන්නේ නෑ. ඇය හඩමින්ම පවසා අනතුරුව මට වචනයක් වත් කීමට ඉඩ නොතබා දුරකථනය විසන්දි කළාය. මට කිසිස්වක් වැටහුනේ නැත.
මම ඒ මොහොතේ ම විශාල්ට ඇමතුමක් ගෙන සිදු වූ සියල්ල කීවෙමි. ඔහු නිහඬව සියල්ල අසා සිටියේය.
අභීන් හොඳට කල්පනා කරලා මට ඇත්ත කියපං. උඹ ඒ කෙල්ලට කැමතිද නැද්ද? උඹ අකමැති නම් මම මොන විදිහකට හරි එයාට ඒක තෝරලා දෙන්නම්. හැබැයි මේ විදියට හිත රිදවන්න නම් උඹට අයිතියක් නෑ.
මම මොකද්ද බන් කලේ ඉතින්?
උඹට ඒක වත් තේරෙන්නේ නැත්තම් ඉතින් එතනින් එහාට ඒ ගැන කතා කරලා වැඩක් නෑනේ.
මම කොහොමද එයාට කැමතිද නැද්ද කියල තීරණය කරන්නේ? තාම දැක්කෙත් දවස් දෙකයි. මම එයා ගැන මුකුත් දන්නෙත් නෑ
ආදරේ කියන්නේ කෙනෙක් ගැන සේරම විස්තර දැනගෙන බලෙන් හිතක ඇති කරවන දෙයක් නෙවෙයි. ඒක ඉබේ වෙන දෙයක්. ඒ වගේම දැකපු ගමන් හිතක ඇතිවෙන ආදරේ හරි බලවත්. ඒකට කවුද කින්ද මන්ද කියන එක ඒ තරම් වැදගත් නෑ. ස්නේහට වෙලා තියෙන්නේ ඒක. උඹගේ හිතෙත් ඒකි ගැන නැතුවම නෙමෙයිනේ. හොඳට හිතල මට උත්තරයක් දීපන්. මන් තියනවා. හෙට වැඩ ගොඩක් තියනවා කරන්න. කී විශාල් දුරකථනය විසන්දි කළේය.
ඒ ගමන ඒ ගොන් වස්සා කිවේ කුමක් ගැනද? දුටු දිනයේ සිට ඇය මට ආදරය කරන බවද? නමුත් විශාල් කී එක දෙයක් සත්‍යකි. දුටු මොහොතේ සිට මසිතේ ද ඇය ගැන ඇත්තේ විශේෂ හැගුමකි. එය ආදරයද නැද්ද යන්න මම නොදනිමි. කුමක් වුවත් මට එය ආදරයකට හරවා ගත හැකි වෙනු ඇත.
මම නැවත ඇය ඇමතු මුත් දුරකථනය ක්‍රියා විරහිත කර තිබිණි.
මට යලි ඇය සම්බන්ද කරගත හැකි වුයේ පසුදින උදෑසන ය.
කියන්න අභීන්
ස්නේහා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා අද හවසට බීච් එකට එන්න. ඇයට කීමට කිසිදු ඉඩක් නොතබා මම කීවෙමි.
කීයටද අභීන් ?
ඇය නම් පුදුම යුවතියකි. වෙනත් යුවතියක් නම් අදිමදි කරනු ඇත. නමුත් ඇය ?
පහට විතර
හා
මට ඇය මෙතෙක් කුමක් කලාද යන්න වැදගත් නැත. මෙතැන් සිට ඇය හිමි විය යුත්තේ මට පමණි. ආදරය කෙසේ වතු දු මට ඇය විශේෂය. ඒ මා දැනගත් පළමු යුවතිය ඇය වීම නිසාය. ආදරය කියා දෙයක් ඇත්නම් එය පසුව ඇතිවෙනු ඇත.
එදින සවස අයත් මමත් මුහුදු වෙරළේදී හමු උනෙමු.
ස්නේහා. මම මෙතනට ඔයාට එන්න කීවේ දෙයක් කියන්න. මම ඔයාට කැමතියි. මට මතක ඇති අයුරින් මා පැවසුවේ එය ය. ඒ ද ඇය දෙස නොව තෙරක් නොපෙනෙන මහා සයුර දෙස බලාගෙනය. නමුත් ඇය , ඇය එවිටම ඉදිරියට විත් මගේ දෑත් ඇගේ දෑත් අතරට ගෙන දෙනෙත් තුලට එබුනාය. මා දුටු සුන්දරතම සිනහව ඒ මුවගේ ලැගුම් ගෙන තිබිණි.
මම නම් ඔයාට කැමති නෙවෙයි අභීන් ආදරෙයි දැකපු දවසේ ඉදලම.
ඇය තරම් සෘජුව මට එය පැවසීමට නොහැකි වීම ගැන අද ද මෙය ලියන මේ මොහොතේ ද මම පසුතැවෙමි.
ඔයා සමහරවිට හිතයි කොල්ලන්ට ඒ වචන ටික කියලා මට හොඳට පුරුදු ඇති කියල නේද? ඒ උනාට මේ තමයි මම එහෙම කියපු පලවෙනි වතාව. ඒ වගේම අන්තිම වතාව. පලවෙනි ආදරේ හරි බලවත්. ඒ වගේම දැකපු ගමන් ඇතිවෙන ආදරේ ඊටත් වැඩ බලවත්. එහෙම වෙන්නේ සංසාර පුරුද්දට. ඔයා මගේ පලවෙනි ආදරේ. ඒ ආදරේ ඇති උනේ ඔයා දැකපු පලවෙනි දවසෙම. ඔයා මගේ ජිවිතේ කොටසක් කියල මට දැනුනා. ඒත් මන් දන්නවා ඔයාගේ හිතේ මම ගැන ආදරයක් නෑ තියෙන්නේ කැමැත්තක් විතරයි. ඒ උනාට මට ඉඩ දෙන්න ඔයාට ආදරේ කරන්න. කාලයත් එක්ක ඔයත් මට ආදරේ කරයි.
ඇය එදා කී යුරු ගලේ කෙටු අකුරක් මෙන් මගේ මතකයේ ඇත.
ඉන්පසු සිදු වූ දෑ ඇය ඇගේ දිනපොත් වල සටහන් කර තිබිණි. මට මගේ වදනින් එය විස්තර කල නොහැක. නමුත් ඔබ වැඩිහිටියෙක් වූ දිනයක ඒ දිනපොත් ලබාදෙන්නට මා සිතා සිටියෙමි. ඇය මියයන මොහොතේ ඔබත් සමග ඒ දිනපොත් මට දුන්නේ මා කෙරෙහි ඇගේ සිතේ ඇති ආදරය වටහා දෙන්නට මිස ඒවා ඔබට බලන්නට දෙන්නට නොවේ. ඒවා ඔබට නොදෙන ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියේ ඔබේ සිතේ මා ගැන අපැහැදීමක් ඇති වීම වලක්වන්නට බව මම දනිමි. නමුත් මම ඒවා ඔබට දෙමි. පුතේ මට සමාවෙන්න. මම යලිදු කියමි.
-අභීන් ඉරුගල්බණ්ඩාර-
ඉන්පසු මම කුතුහලයෙන් යුතුව මවගේ දිනපොත් පෙරලා බැලුවෙමි. මුතුවන් අකුරින් ඇය ලියා තිබු ඇගේ ශෝචනීය පෙම් කතාව මෙයයි.
-අභීන් සෙනෙහස් ඉරුගල්බණ්ඩාර-