“මේ කතාව කෙලෙස කොතනින් අරඹන්න දැයි මට වටහාගත නොහැක. සැබවින්ම මගේ දෛවය වෙනස් කරගත්තේ මා විසිනි. මම එදින කුමන මානසිකත්වයක සිටියාදැයි මට තවමත් සිතාගත නොහැක. දැනුදු ඒ ගැන සිය දහස් වාරයක් පසුතැවෙමි. මැරි මැරී උපදිමි. මා කළ වරදට ඇය මට දඩුවම් නොකළාය. නමුත් හදවතේ සාක්ෂියෙන් මා මියයන මොහොත වනතුරු දඩුවම් විදිමි. සිතින් විදවමි. ඒ සියල්ල සිදු වී හමාරය. ඇය යලි මා සතු නොවේ. ඉවසාගත නොහැක්කේ ඇගේ සදාකාලික සමුගැනීමට වගකිව යුත්තේ මා වීමයි.”
“ඇය මවෙතින් සදහටම සමුගැන්මට පෙර මවෙත ලබා දුන් අමිල තිළිණය පමණක් අද මා සතුව ඇත. ඒ අපගේ පුංචි පුතුය. ඇයට පොරොන්දු වූ ලෙසටම මම ඔහු ආදරයෙන් හදා වඩා ගත්තෙමි. පුංචිම දුකක් හෝ ඇතිවීමට ඉඩ නොතැබුවෙමි. ඇය නොමැති තැන පුතු මගේ ලෝකයම විය. ඇයත් මාත් අතර සිදු වූ කිසිදු දෙයක් නොදැන සිටි පුතු ඇයට තරමට මටද ආදරය කළේය. සත්‍යය දන්නේ නම් ඔහු මට ආදරය කරනු තබා මුහුණ වත් නොබලන බව මම දනිමි. එනිසාම සිදු වූ දෑ ඔහුට පැවසීමට තරම් ශක්තියක් මට නොවිණි. මගේ වරදින් ඔහුගේ මව ඔහුට අහිමි විය. මටද අහිමි විය. ඒ නිසාම ඔහුද අහිමි කරගැනීමට හැකියාවක් මට නොවිණි. මා සතු එකම සැනසීම පුතුගේ ආදරය පමණි. නමුත් කෙදිනක හෝ පුතු මෙම සත්‍යය දැනගත යුතු බව මම දනිමි. ඔහුගේ මව කෙතරම් උතුම් ලඳක් ද යන වග ඔහු දැනගත යුතුය. අප අතර සිදු වූ සියල්ල ලියා තබන්නට මා තීරණය කලේ ඒ අනුවය.”
“ආදරණීය පුතු, මෙය කියවීමෙන් පසු ඔබේ පියා ගැන ඔබට ඕනෑම තීරණයක් ගත හැක. නමුත් ඔබට මෙය ලැබෙන විට මා ජිවතුන් අතර නොසිටිවී. මා ආත්මාර්ථකාමී වුවා යයි ඔබට සිතේවි. ඔව්. මම පිළිගනිමි. එයට හේතුව මගේ පනටත් වඩා මම ඔබට ආදරය කිරීමයි. ඔබේ මවට සිදු වූ දෙය දැන ඔබ මදෙස තරහෙන් හෝ බැලුවොත් මට එය දරාගත නොහැකි බව මා දන්නා නිසයි. පුතේ, මට සමාවෙන්න. සමාව ඉල්ලීමට තරම් වත් මා නුසුදුසු බව මම දනිමි. නමුත් මම ඔබෙන් සමාව අයදිමි. ඔබේ මවගේ අකල් මරණයට වග කිව යුතු වන්නේ මා ය. ඔබත් ඇයත් දුරු රටක තනි වුයේ මා නිසා ය. නමුත් ඇය වෙනුවෙන් මට කල හැකි එකම දෙය මම කලෙමි. ඇයට වූ පොරොන්දු කිසිවක් මට ඉටු කල නොහැකි වුවත් ඇයට වූ අවසන් පොරොන්දුව මම දිවි හිමියෙන් ඉටු කලෙමි. ඒ ඔබට කිසිදු දුකක් නොදී රැක බලා ගැනීමයි. සමාජයේ ඉහල තැනකට ගෙන ඒමයි. මම එය කලෙමි. සෙනෙහස් ඉරුගල්බණ්ඩාර යයි කී පමණින් රටක් නොව මුළු ලෝකයක් ඔබ හදුනන තැනට මම ඔබ රැගෙන ආවෙමි. ඒ ඔබේ මව තරමටම මා ඔබට ආදරය කරන නිසයි.
ඔබේ මව වචනයෙන් පැවසිය නොහැකි තරම් උතුම් ලඳකි. ඇය මට මෙලොව ජීවත් වන කිසිම කෙනෙකුට වඩා ආදරය කල නමුත් එය තේරුම් ගත නොහැකි වුයේ මට ය. එය මගේ අවාසනාව මගේ නොලැබීම බව මම සිතමි.
ඔබ නිරතුරුව මගෙන් විමසුව ද මා පිළිතුරු නොදුන් පැනය ඔබට මතක ද?
“තාත්තේ, අම්මයි මමයි මම පොඩි කාලේ ස්වීඩන් වල හිටියේ ඇයි ? අම්ම මැරෙනකම්ම මම තාත්තව දැනගෙන හිටියේ නැත්තේ ඇයි ?”
“කවදාහරි දැනගන්න ලැබෙයි පුතේ” කියමින් මම ඒ පැනය මගහැරියෙමි.
එයට හේතුව මෙය කියවීමෙන් අනතුරුව ඔබට වැටහෙනු ඇත.
ස්නේහා ..ඔබේ මව මගේ මුළු ජිවිතයම වූ නමුදු මට එය වැටහුනේ ඇය මවෙතින් ඈත් වී ගිය පසුවයි.
-පිවිසුම-
මගේ පියාගේ ඇවෑමෙන් පසුව නීතිඥ මහතා විසින් මට ලබා දුන් ලිපි ලේඛන අතර තිබු මා වෙනුවෙන් පියා විසින් ලියන ලද ලිපිය ඉහත සඳහන් වේ. සැබවින්ම කුඩා කල සිට මා පෙලූ සියලු පැනයන්ට පිළිතුරු එම ලිපියේ විය. මම මවත් පියාත් දෙදෙනාම ගැන තීරණ නොගනිමි. වරද පියාගේ වුවත් මම ඔහුට ආදරය කරමි. මියයන මොහොතේ මවගේ ඉල්ලීම වුයේ එයයි. අම්මා.. ආදරණිය අම්මා. ඇය මගේ ලෝකයම වුවාය. මා දුටු සුන්දරතම සුරුපීතම කාන්තාව ඇය විය. එමෙන්ම මා දන්නා නිරිභිතම ලඳ ඇය බව පියාගේ ලිපිය කියවීමෙන් පසුව මම සිතමි. කුමන අන්දමේ දරා ගැනීමේ හැකියාවක් ඇයට තිබෙන්නට ඇත්ද? මේ ඔවුන් දෙදෙනාගේ කතාවයි.
අභීන් සෙනෙහස් ඉරුගල්බණ්ඩාර
දින ගණනක සිට ඇද හැලෙන වැස්සකි. වැස්ස නිසාවෙන් කිසිදු වැඩක් කරන්නට සිත් නොදේ. මම උදෑසන අවදි වූ මොහොතේ සිටම ඇදට වී කල්පනා කරමින් සිටියේ වැස්ස ගැන ය. සිතට දැනෙන අලසකමත් සීතල කාලගුණයත් නිසා නොදැනුවත්වම යලි මට නින්ද ගොස් තිබිණ. නැවත මා අවදි වුයේ යතුරු පැදියක හඩක් ඇසීමෙනි.
“ඒයි . උඹ නිදි ද? කම්මැලියා නැගිටපන්.” මොහොතකින් විශාල්ගේ සුපුරුදු හඬ ඇසිනි. මම දෙනෙත් හැර බැලීමි. ඔහු හොඳින් ඇඳ පැළඳගෙන මා අසල විය.
“මේ වැස්සේ නිදියන්නැතුව නටන්නද බං” අනික් පසට හැරී කොට්ටයද තුරුල් කරගනිමින් මම කීවෙමි.
“එතකොට උඹ අද පන්ති යන්නේ නැද්ද? කාමරයේ කොනක වූ සෝපාව මත අසුන් ගනිමින් ඔහු විමසීය.
ඕකනේ ලංකාවට වෙලා තියෙන්නෙ. අපේ මිනිස්සුන්ට වැඩ නොකර අයිස් ගහන්න වැස්ස උනත් නිදහසට කාරණයක්. බූරුවො නැගිටපන්.
කම්මැලි බං
කම්මැලි කම පැත්තක තියල නැගිටලා ලෑස්ති වෙයන් ඉක්මනට. උඹ අවේ නැත්තන් මට තමයි කම්මැලි.
එතකොට තෝ මේ මාව පන්ති ගෙනියන්න දගලන්නේ තොගේ කම්මැලිකම නැති කරගන්නද?
නැතුව ඉතින් මට මොලේ අමාරුවක් නැහැනේ පෙට්‍රල් පුච්චගෙන තකහනියක් මෙහෙට එන්න.
නොදකින් උඹ වගේ යාලුවෙක්
නැගිටපන් නැගිටපන් මට පරක්කු වෙනවා. මා ඇදෙන් වැටෙන පරිදි කකුලෙන් අදිමින් ඔහු කෑ ගැසිය.
මොනාද බන් තාම තුනයිනේ වෙලාව. හතරටනේ පන්ති. තව පැයක්ම තියෙන්නේ. උඹටත් ඕනේ නම් ඇවිත් නිදාගනින් මට වද නොදී.
බෑ බෑ දැන් යමන් මම ස්නේහට පොරොන්දු උනා පොත් වගයක් ගෙනත් දෙනවා කියල. ඒකත් දීගෙනම යන්න ඕනේ. ඒකයි වේලාසනින් ආවේ. එද්දිම මම හිතුව උඹ අපතය වගේ නිදි ඇති කියල.
කවුද ස්නේහා කියන්නේ?
මගේ යාලුවෙක්. ඇයි බන් මම කියල තියෙන්නේ
මට මතක නෑ. අනේ මන්ද උඹයි උඹේ යාළුවොයි. මගුල අපරාදේ මට තව පය බාගයක් නිදාගන්න තිබුන. මම ඔහුට බැන වදිමින් නාන කාමරයට ගියෙමි.
මා සුදානම් වූ පසුව අප දෙදෙනා පිටත් වීමු. ඒ වන විට වැස්ස ද තුරල් වී තිබිණි.
ස්නේහාත් මාත් ප්‍රථම වරට හමු වුයේ එදින ය. ඒ දිනවල මම ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ උපාධිය සම්පුර්ණ කරමින් සිටියෙමි. විශාල් හමු වුයේ ඒ දේශන වලදී ය. ඔහුත් මාත් මුණ ගැසී කෙටි කාලයක් වුවද අප දෙදෙනා හොද මිතුරන් වීමු. ඔහුගේ මවත් මගේ මවත් පාසල් මිතුරියන් වීම අප දෙදෙනාගේ මිත්‍රත්වය දැඩි කරවන්නට ඉවහල් විය. ස්නේහා.. ඇය මට හැදිනගන්නට ලැබුනේ විශාල් නිසාවෙනි.
මොකද බන් හදිසිය හෙමින් යමන්කෝ
ස්නේහට තුනාමාරට පන්තියක් තියෙනවා ඊට ඉස්සෙල්ල පොත් ටික දීගන්න ඕනේ.
ඒකි උඹේ කෙල්ලද
නෑ බං මම කිව්වේ මගේ යාළුවා
මට පේන්නේ යාලුවට වැඩිය දෙයක් තියෙනවා මෙතන. නැත්තම් මොකද්ද ඔච්චර උඹට තියෙන තදියම
නෑ බං ඒකි ඇත්තටම මගේ යාලුවෙක් පොඩි කාලේ ඉදන් අදුරන්නේ
විශාල් යතුරුපැදිය පදවාගෙන ගොස් ඉතා සුන්දර උද්‍යානයකින් වට වූ දෙමහල් නිවසක් ඉදිරිපිට නතර කළේය.
උඹ ඉදපන් , මන් විනාඩියෙන් එනවා, මට පැවසු හෙතෙම පියවරකිහිපයක් ගොස් ආපසු හැරී ආවේය.
එක්කෝ යමන් මම උඹවත් අදුන්නලා දෙන්නම්
මේ මේ මට ඕනේ නෑ උඹේ සුකිරි කෑලි අදුනගන්න දෙන ඉල්ලව්වක් දීල යමන් ඉක්මනට පරක්කු වෙනවා
කිව්වහම යමන් යකෝ .. ඔහු මාවද ඇදගෙන යන්නට විය.
අප දෙදෙනා නිවසේ ආලින්දයට ගොඩ වනවාත් සමගම ඉදිරියට දිව ආවේ පොඩිත්තියකි.
හානේ විශ් අයියා ඇවිල්ල අක්කි මෙන්ඩෝ විශ් අයිය ඇවිල්ලා. කෑ ගසමින් කී ඕ විශාල් වෙත දෑත පෑවේ ඇය වඩාගන්නට කියන්නාක් මෙනි. ඔහු එකෙනෙහිම ඈ ඔසවා ගත්තේය.
විශ් අයියා මොනවද මට ගෙනාවේ?
අනේ චුට්ටි අද නම් විශ් අයියට මුකුත් ගේන්න බැරි උනානේ. ඒ උනාට මම ඔයාට පෙන්නන්න යාලුවෙක් නම් එක්කන් ආව.
පොඩිත්තිය මා දුටුවේ එවිට වන්නට ඇත. මම ඇය සමග සිනාසුනෙමි. ඇය මදෙස මොහොතක් බලා සිට යන්තම් සිනා සී යලි විශාල් වෙත හැරුණාය.
ඔයා ආයේ එද්දී මට චොක්ලට් ගේනවා නේද විශ් අයියේ.
මම අනිත් දවසේ අනිවාරෙන්ම ගේන්නම්කො පැටියො. ඔයා ගිහින් දැන් අක්කිට එන්න කියන්නකෝ විශ් අයියට යන්න පරක්කු වෙනවා කියල. විශාල් පැවසුවේ ඇය යලි බිම තබමිනි.
අක්කි ලෑස්ති වෙනෝ. මන් ඉක්මනට එන්න කියන්නම්. පවසමින් ඕ යලි දිව ගියාය.
ඇය ගිය පසු විශාල් මදෙස බැලීය. කෙල්ලට උඹව නම් එච්චර ඇල්ලුවේ නෑ වගේ. හරි පුදුමයි. ප්‍රින්සස් හරි ඉක්මනට කවුරු එක්කත් ෆිට් වෙනවා.
මටත් පොඩි එවුන් අල්ලන්නේ නෑ බන්.
පොඩි එකීට ඒක තේරිලද කොහෙද එහෙනම්. විශාල් පවසත්ම ඉතාම සුන්දර රූමත් යුවතියක් දිවවිත් ඔහු වැළඳ ගත්තාය. අනේ විශාල් මම ගොඩ දවස් ඉදල බලන් හිටිය ඔයා එනකම්
ඔව් ඔව් සතියක් කියන්නෙත් ඔයාට ගොඩ දවසක්නේ
ඉතින් නැතුව. තප්පර වලින් බැලුවොත් ගොඩක් කල් නේන්නම්. කෝ මට පොත් ටික ගේනාවද?
රූමත් තරමට ඈ කටකාරියකි.
ඔව් ඔව් ගෙනාවා. යාලුවෙකුත් එක්කන් ආව ඔයාට අදුන්නලා දෙන්නම.
ඇය මා දුටුවේ එවිටය. මා දුටුවනම ඒ දෙනෙත් තුල අරක් ගත්තේ විමතියකි. හරියටම පවසතොත් ඈ මින් පෙර මා දැන හදුනාගෙන සිටියා වන්නක් ඇගේ දෑස් තුල විය. නමුත් මා මින් පෙර කිසි දිනෙක ඇය දැක නොතිබුනෙමි.
මේ තමයි මචන් ස්නේහා. මගේ අතිජාත මිතුරිය. ස්නේහා මේ තමයි අභීන් ඉරුගල්බණ්ඩාර. මම කියල තියෙනවනේ ඔයාට මෙයා ගැන. විශාල් කීවේ අප දෙදෙනා හදුන්වා දෙමිනි.
ඇය සිනාසී මවෙත සුරත දිගු කලාය. හලෝ අභීන්.
හලෝ.
එහෙනම් අපි යන්නද මැඩම්?
ඉන්න ඉන්න මොනාහරි බීල යන්න.
බෑ බෑ මූ කෑගහනවා පන්තියට පරක්කු වෙනවා කියල. ඔයාට පොත් ටික අදම ඕනේ කිව්ව හින්දයි තකහනියේ ආවේ.
එහෙනම් ඔයා සෙනසුරාදට එනවද මෙහෙ?
ඔව් ඔව් නැතුව. චුට්ටි මගේ ඔලුව කයිනේ ආවෙ නැතොත්. විශාල් පැවසුවේ නැවත අප සමීපයට පැමිණි පොදිත්තිය දෙස බලමිනි.
විශ් අයියා ඔන්න මතක ඇතුව චොකලට් ගේන්න හරිද?
හරි පැටියෝ. මන් ගේන්නම්. ස්නේහා අපි යනවා.
අප දෙදෙන නැවත එන්නට පිටත් වීමු.
මොනාද උඹට ස්නේහා ගැන හිතෙන්නේ? විශාල් ඇසුවේ ආපසු එන ගමනේදී ය.
ලස්සන කෙල්ලෙක්. මට තියෙන ප්‍රශ්නේ උඹ ඒකිත් එක්ක යාලු නොවුනේ ඇයි කියනෙක.
මම කීවේ බන්. එයයි මායි පොඩි කාලේ ඉදන් යාළුවො ආදරේ බලෙන් ඇති කරවන්න බැහැනේ.
මා මට අවංක වනවා නම් එතනින් පසු මට ඇය සිහි නොවුණු මොහොතක් නොමැති තරම් ය. සති අන්තයේ විශාල් ඇය හමුවීමට යන බව මට සිහිවිය.
ශික් මටත් යන්න තිබුනානම්. මට සිතුනු නමුත් මාත් එන්නදැයි විශාල්ගෙන් විමසන්නට තරම් මගේ උඩගු සිත මට ඉඩ නොදුන්නේය.
විශාල්ගෙන් ඇමතුමක් ලැබුනේ ඇය දකින්නේ කෙලෙසදැයි සිතමින් මා ලත වෙද්දීය.
හලෝ අභීන් උඹ සෙනසුරාද මොකක් හරි වැඩක් දාගෙන තියෙනවද?
නෑ ඇයි ?
එහෙනම් උඹට පුළුවන්නේ මාත් එක්ක ස්නේහගේ ගෙදර යන්න එන්න
මම? ඇයි ඒ? මම විමසුවේ සිතේ සතුට සගවාගෙනය.
නෑ ඉතින් උඹට එදාට වැඩකුත් නෑ කියන්නේ ගෙදරට වෙලා අපතයා වගේ නිදියනවා කියන එකනේ. යමන් අපිත් එක්ක ෆිල්ම් එකක් බලල එමු.
අනේ මම එන එක හරි නෑ බන්. ස්නේහ කැමති වෙන එකක් නෑ .
නෑ නෑ එයාම තමයි කිව්වේ උඹවත් එක්ක එන්න කියල.
මොකක්? ඇයි ඒ? මේ අදුනන්නෙත් නැති මාව එක්ක එන්න කියන්නේ?
ඒක මම දන්නේ නෑ. පුළුවන් නම් උඹව එක්ක එන්න කිව්වා. මොකද කියන්නේ? එනවද? නැද්ද?
ම්ම්…. මට වැඩ වගයකුත් තියෙනවා. මම බලන්නම්. මට ඇති වැඩක් නැතත් මම කීවෙමි.
දැන් උඹ කීවේ වැඩක් නෑ කියලනේ. මොනාද බන් වරෙන්කො.
හරි මම එනවනම් උඹට කෝල් එකක් දෙන්නම්
එනවනම් නෙමේ. උඹ එනවා. සෙනසුරාදා උදේ මම ඇති ගේ ඉස්සරහ. පැවසු ඔහු දුරකථනය විසන්දි කළේය. මම සිතින් සිනාසුනෙමි.