මෙහන්සා 12 කොටස
මේ කොටස කියවනකොට මිහින් අතේ ෆෝන් එකක් තිබුනේ නැද්ද කියල ඇහුවොත් කට්ටියගේ ඔලු ගෙඩි ටික පලනවා මම. මොකද මම ඉස්කෝලේ යන කාලේ ෆෝන් එක කියන එක හැම කෙනෙක් ගාවම තිබුනේ නෑ. ස්මාට් ෆෝන් වට්සැප් ඒවා නම් කොහෙත්ම නැහැ. සමහරු ගාව පුංචි නොකිය ෆෝන් එකක් තිබුන. එච්චර තමයි. ඒ නිසා මිහින් අතේ ෆෝන් එකක් තිබුනේ නැද්ද කියල අහගෙන එන්නෙපා හරිද.
මුලින්ම මෙහන්සාව තමන්ගේ පුංචි අම්මගේ ගෙදරට ඇරලවන මිහින් ඊට පස්සේ ලොකු අම්මගේ ගෙදර ගිහින් එහෙ කට්ටියට පන්තිය කරල ආපහු එන ගමන් නංගිවත් එක්කගෙන එනවා.
මේ කියන දවසේ පන්තිය ඉවර වෙල මිහින්ට වෙලාවට මෙහන්සව ගන්න එන්න බැරි උනේ බස් එක අතරමගදී කැඩුණු නිසා. එදා ඉරිදා දවසක් නිසා බස් තිබුනෙත් අඩුවෙන්. ඒ නිසා ප්‍රධාන පාරට පයින්ම එන්න තමයි මිහින්ට උනේ. මේ පරක්කු වෙන්න හේතුව දන්නේ නැති මෙහන්සා පන්තිය ඉවර කරලා පුංචි අම්මගේ ගෙදරට වෙලා හිටියේ නොඉවසිල්ලෙන්. හවස හයත් පහු වෙලා. මිහින් තාමත් නෑ.
බලන්නකෝ පුන්චම්මේ අයිය තාමත් නෑනේ
ඒක නෙවෙන්නම් පුතේ මාත් බැලුවේ. දැන් එන්න වෙලානේ නේද? මන් එහෙට කෝල් කරාම කිව්ව ආව කියල
මන් එහෙනම් මගට යන්නද පුන්චම්මේ ඉස්සරහට හම්බෙයිනේ එතකොට
පිස්සුද දරුවෝ මේ කරුවල වැටීගෙන එන වෙලේ තනියම යන්න? බලන්නකෝ බාප්පත් නෑනේ. මන් කොහොමද ඔයාව තනියම යවන්නේ? අපි තව ටිකක් බලමු
තව හිටියොත් තවත් පරක්කු වෙනවනේ පුන්චම්මේ. අයිය මගට හම්බෙයිනේ මම හෙමින් යන්නම්
එහෙනම් පරිස්සමින් යන්න. කොහොමටත් තව හිටියොත් රෑ වෙන එකනේ. මේ කොල්ලට මොනා උනා ද?
එහෙනම් මම යන්නම් පුන්චම්මේ. ලොකූ… මම ලබන සතියේ එද්දි අර රචනාව ලියල තියන්න ඕනේ හරිද? කියමින් කෙල්ල පිටත් උනා.
පරිස්සමින් යන්න. වැස්සකුත් එන්න වගේ. කුඩයක් තියෙනවද දුවේ?
ඔව් තියෙනවා පුන්චම්මේ. වහින්නේ නැති වෙයි.
ඒ කිව්වත් ඇය නිවසින් පිටව සැහෙන දුරක් ආවට පස්සේ වැස්ස පටන් ගත්ත. කුඩේ තිබුනත් වැස්ස සැර වැඩි නිසා කෙල්ලව හොදටම තෙමෙනව. හුලාගත් වැඩියි ඒ මදිවට. කෙල්ලවත් එක්කම ගහගෙන යන්න වගේ.
හොදටම හැන්දෑ වෙලා හින්දත් වැහි අඳුර හින්දත් ආදී දෙක තුනකට වඩා ඉස්සරහ පේන්නෙත් නෑ. වැස්ස නතර වෙන්නෙත් නෑ. දැන් නම් කෙල්ල හොදටම තෙතබරි වෙලා. තව ඉස්සරහට යන්න නම් බෑ කියල කෙල්ලට හිතුන. වැස්ස ටිකක් අඩු වෙනකම් ඉන්න තැනක් බලපු ඇය අසල තිබිච්ච විශාල ගහක් යට නතර උනා.
ගහ යට වැහි දෙකයි. ඒත් ඔන්නොහෙ කමක් නෑ මම මෙතන ඉන්නවා. වැස්ස ටිකක් අඩු උනහම ආපහු පුන්චිලගේ ගෙදර යනව. දැන් නම් කෙල්ලට බයිත් එක්ක. මිහින් කවදාවත් මෙච්චර පරක්කු වෙලා නෑ.
පාලු පාරේ කවුරුත් ඇත්තෙත් නැහැ. ආපු මෝඩකම කියල කෙල්ලට හිතුන. සීතලත් බියත් එක්කම කෙල්ල ඇත දෙකින්ම කුඩේ අල්ලාගෙන බල බල හිටියේ වැස්ස පායනකම්.
ඒ හැන්දෑවේම යාලුවෙකුගේ ගෙදර ගියපු කිලාන් ආපහු ගෙදර යමින් හිටියේ ඒ පාරෙමයි. අම්ම කොච්චර එපා කිව්වත් කොල්ල කාරෙකත් අරගෙන ඕනේ ඕනේ තැන් වල යනවා.
තාම ලයිසන් අරගෙන නැති නිසා මේ වගේ අතුරු පාරවල් වල එහෙන් මෙහෙන් දාල තමයි යන්නේ. එහෙම කියල ඉතින් චන්ඩිය කෙලින්ම මේන් රෝඩ් එකේ යන්නත් බය නම් නැහැ. ඕනේ නම් දඩ කොලයක් ලියයි. කිලාන් බය වෙනවද ඒවාට. නෑනේ. යකාටවත් බය නෑනේ.
තද වැස්ස නිසා යාර කිහිපෙකට වඩා දුර පෙනුනේ නැතත් වාහනයේ ඉදිරිපස පහන් වල එළියෙන් ඉස්සරහ ගහක් යට කවුරුහරි ඉන්නවා කිලාන් දැක්ක. තවත් ලං වෙනකොට ඒ ඉන්නේ කෙල්ලක් කියල දැක්ක කොල්ල පුදුම උනා.
මේ මහා වැස්සේ ගහක් යටට වෙලා ඉන්න මේ කෙල්ලට පිස්සුද? කියල තමන්ටම කියාගත්තත් පේන මානෙක ගෙයක් වත් තිබ්බේ නැති නිසා එකපාරටම මගදී වැස්ස පටන් ගත්තු නිසා ඇය අසරණ වෙලා ඇති කියල කොල්ලට ආයෙත් හිතුන.
ඒ හින්දම තමයි ලං වෙද්දී වාහනේ වේගේ අඩු කලේ. ශටර් එකෙන් එලිය බලපු කොල්ල ට ඇස් අදහගන්නත් බැරි උනේ හිටියේ කවුද කියල අදුනගත්තු නිසා. නිතරම හදවතේ ලැගුම් ගෙන තමන්ට නින්ද නැති කල ඇය මේ විදියට හම්බවෙයි කියල කොල්ල නිකමට වත් හිතල තිබුනේ නැති නිසා ඉබේම තිරිංග තද වෙලා වාහනේ නතර උනා.
මොහොතක් වෙලා ඔහු ඇය දෙස බලන් හිටියේ පුදුමෙන් වගේම කුතුහලයෙන්. ඇය මේ වෙලාවේ මෙතන මොනවා කරනවද?
පාලු මාවතේ තමන් ගාව වාහනයක් නතර කරපු නිසා මෙහන්සා ඔලුව උස්සල බැලුවේ බයෙන්. වාහනේ හිටපු එක්කෙනා දැක්කම ඇය ඊටත් වඩා බය උනා.
කිලාන් වැස්ස ගැන හිතන්නෙත් නැතුව වාහනෙන් බැස්සා. ඇය මෙහෙම එළියේ තෙමි තෙමි ඉන්නකොට මම කොහොමද වාහනේ ඇතුලේ හොදට ඉන්නේ.
ඔයා මෙතන?
ඒ හඬ ඇහෙනකොටම කෙල්ලගේ හිතේ තියෙන බය නැති වෙලා පුරුදු තරහව හිතට ආව. කොල්ලගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හිතුනේ නෑ කෙල්ලට. යන්න ආපු ගමන යන්නේ නැතුව මොකට මෙතන නතර කරාද මන්ද. කෙල්ල හිතුවේ නොරිස්සුමෙන්.
ඇයි තනියම මේ වැස්සේ?
කෙල්ල නිහඬයි.
කෝ මිහින්?
මම ඔයාව ගෙදරට ඇරලවන්නද? කෙල්ල උත්තර දෙන්නේ නෑ කියල දන දැනම කිලාන් අහනව.
වැස්ස තවමත් මහා හඬින් ඇද වැටෙනව. ඇය නම් දැනටම හොදටම තෙමිලා ඉවරයි. සිරුරටම ඇලිල තිබිච්ච සුදු පාට ගවුම නිසාත් තනි කරලට ගොතපු දිග කොන්දේ රැඳිල ඉන්න අකමැත්තෙන් ඉවතට පැනල වැස්සට තෙමිලා දියබිඳු වැහෙමින් ඇගේ මුහුණ සිපගෙන හිටපු කෙස් රොදවල් නිසාත් ඇය වඩාත් සොඳුරුවට ඔහුට පෙනුන. තමනුත් ඇය වගේම තෙමෙනවා නේද කියන එකත් අමතක කරලා කොල්ල මොහොතක් නිහඬ වෙලා බලන් හිටියේ ඇගේ ලස්සන.
මාත් එක්ක කතා කරන්නවත් කැමති නැහැ නේද ඔයා? ටිකක් වෙලා ඉදල කොල්ල ආයෙත් කටහඬ අවදි කරේ සුසුමක් හෙළල. ඒ උනාට ඔයාව මෙතන තෙමෙන්න දෙන්න බැහැ. එන්න යමු වාහනේට.
මට මෙතන පාඩුවේ ඉන්න දීල ඔයා යන දිහාක යනවද ප්ලීස්. මුහුණේ ඇලිල තිබිච්ච කෙස් රොදවල් කන පිටුපසට කරමින් මෙහන්සා කිව්වේ බැරිම තැන.
ඒත් එහෙම දාල යන පාටක් නම් ඔහුගේ නැහැ.
හතුරෙක් උනත් මේ වගේ වේලාවට් දාල යන්න පුලුවන්ද? කොල්ල ඒ පාර එහෙම කිව්වේ ඔක්කොම විහිලුවකට ගත්තු විදියට සැහැල්ලුවෙන්.
මෙයා මේ නොකිය කියන්නේ මම මෙයාගේ හතුරෙක් කියලද? කෙල්ලට හිතුන.
මේ මිස්ටර්.. කෙල්ල ඒ නම් කිව්වෙ තරහෙන්.
මිස්ටර් නෙමෙයි මගේ නම කිලාන්.
මොක උනත් කමක් නැහැ ඔයා යන්න ආපු ගමන යනවද කරුණාකරල. මට ඔයත් එක්ක කතාවක් නැහැ.
මෙහන්සා.
එවර නම් කොල්ලගේ ඉවසීමේ සීමාව ඉවර උනා. දවසට දහස් වතාවක් සිත පුරා මුරගාන නම වදන් වලට පෙරලුනේ දැන්.
ඒ කටහඬේ තිබිච්ච ආදරණිය තරවටුවත් නොඉවසිලිමත් කෝපයත් දැනුනු කෙල්ල ඔහු දිහා බැලුවේ තිගැස්සිල.