Ex වයිෆ්

41 වන කොටස

තාත්තෙක් කියන්නේ පුතෙක්ගේ ලෝකයේ වීරයෙක් වුණාට අද මම මගේ පුතාගේ ලෝකයේ දුෂ්ටයා වෙලා කියලා ගිහාන්ට එහෙම හිතුණා…

“අභීත කතා කරනවා..”

හිරූෂා ඒ ගමන පුතාට සැර වුණා…

“මට බෑ…මට එයා එක්ක කතාවක් නැහැ ..”

අභීත එහෙම කියාගෙනම කාමරය ඇතුළට ගියා..

අපි දෙන්නා අතර මොන දේ වුනත් ගිහාන් කියන්නේ අබීතගේ තාත්තා..මගෙයි ගිහාන්ගෙයි බැඳීම නීතියෙන් ආරම්බ කරලා නීතීයෙන් අවසන් වුණත් ගිහාන්ගෙයි දරුවන්ගෙයි තියෙන ලේ* බැඳීම එහෙම කවදාවත් අවසන් වෙන්නෑ..අභීතට තාත්තාට එහෙම කතා කරන්න දෙන්න බෑ..හිරූෂා එහෙම හිතා ගත්තා..

“අභීත කාමරෙයෙන් එලියට
එනවා..ඇවිත් තාත්තා එක්ක කතා කරනවා…”

“මොකක්ද අම්මා..මට බෑ…”

අභීත කාමරයෙන් එළියට ඇවිත් එහෙම කිව්වා..

“අම්මාගෙයි තාත්තාගෙයි මොන ප්‍රශ්න තිබ්බත් ඔයාට ඒවා අදාළ නැහැ…ඔයාට අයිතියක් නෑ අභීත තාත්තට ඔහොම සලකන්න..ඇවිත් තාත්තා එක්ක කතා කරනවා. ..

හිරූෂා එහෙම කිව්වාම ගිහාන්ට පුදුමත් හිතුණා…හිරූෂා නම් මහ පුදුම ගෑ//නියෙක් .හිරූෂා කියන්නේ කොච්චර හොඳ අම්මා කෙනෙක්ද?..දරුවන්ව කොච්චර හොඳට හදනවාද?..හසුරුවනවාද?.ඒකට චේතනා..පුතාගේ වැරදි දැක දැක නිහඬව ඉඳලා ඒවාට අනුබල දෙනවා..ගිහාන් එහෙම කල්පනා කළා..

අභීත අකමැත්තෙන්ම ඇමතුමට පිළිතුරු දුන්නා…

“පුතේ කොහමද?..”

තාත්තාගේ කටහඬෙන් දැනිච්ච ආදරේට අභීත මදක් තිගැස්සිලා ගියා..තාත්තා අපිට ආදරේද?.අභීත මොහොතක් කල්පනා කළා…තාත්තා අපිට ආදරේ නම් නංගිට එහෙම වෙනස්කම් කරයිද?අපි ගැන නොහිතා වෙන ගෑනුකෙනෙක් ළඟට යයිද?ආයේම අබීතට එහෙම කල්පනා වුණා..අභීත අකමැත්තෙන් ගිහාන්ට පිළිතුරු දුන්නා..

“හොඳින් ඉන්නවා..”

“කෑවද…පුතේ..?”

“ඔව්…”

“පාඩම් කරනවාද?..

“ඔව්…මේ පාඩ්ම් කරන්න ලෑස්ති වුණේ..”

කිසිම හැඟීමක් දැනීමක් නැති විදිහට පුතා එහෙම කතා කරද්දි ගිහාන්ට දුක හිතුණා..ගිහාන් ලොකු සුසුමක් පා කරේ මේ සේරම තමන්ගේ වැරදි නිසා නේද කියලා.
ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියන්නේ නිකන්ද?..දැන් ඒ වැරදි හදාගන්න බෑ.ඒත් මම මගේ පුතාට කරන්න ඕනේ හැම යුතුකමක්ම කරනවා කියලා ගිහාන් හිතාගත්තා..

“හරි.පුතා පාඩම් කරන්න..මොනා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න .මම තියන්නම් පුතා..”

ගිහාන් ඇමතුම විසන්ධි කලේත් අභීත ඇමතුම විසන්ධි කලේත් එකම එක මොහොතක….

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

දුවව ඉස්කෝලේට බස්සපු හිරූෂා මහරගම බස් එකට නැග්ගේ සඳුනි කියපු ෂොප් එකට යන්න හිතාගෙන ..

සඳුනි කියපු මං සලකුණු හොයාගෙන හිරූෂාට ෂොප් එක හොයා ගන්න අමාරු වුණේ නැහැ..

මහරගම පමුණුව පාරේ තිබ්බ තරමක් විශාල නිමි ඇඳුම් සාප්පුව ඇතුළට හිරූෂා ගියේ චකිතයකින් වගේ…

“මට තිලක්ෂණා මැඩම්ව හම්බ වෙන්න පුළුවන්ද?”

ඒ සාප්පුව ඇතුළේ කැෂියර් එකේ හිටපු තරුණ පිරිමි ළමයාගෙන් හිරූෂා එහෙම ඇහුවා..

“ඉන්නවා මිස්. මිස්ගේ නම මොකක්ද ?..”

“හිරූෂා..”

“පොඩ්ඩක් ඉන්න මිස් ..අපේ මැඩ්ම්ට කෝල් එකක් දීලා බලන්න..”

කැෂියර් එකේ හිටපු තරුණ පිරිමි ළමයා සාප්පුවේ අයිතිකාරිය වෙච්ච තිලක්ෂණා මැඩම්ට ඇමතුමක් අරන් හිරූෂා ගැන දැනුම් දුන්නා.තිලක්ෂණා මැඩම් හිරූෂාව තමන්ව හමුවට එවන ලෙසට අවසර දුන්නා…..

“මැඩම් කිව්වා මිස්ව එවන්න කියලා..මිස් උඩම තට්ටුවේ දකුණු පැත්තේ තියෙන කාමරයට යන්න..මිස් ලිෆ්ට් එක තියෙනවා…ඒකෙන් යන්න..”

හිරූෂා ෂොප් එකේ කැෂියර් එකේ හිටපු තරුණ පිරිමි ළමයාට එහෙම ස්තූති කරලා ලිෆ්ට් එකෙන් ගිහින් ත්‍රිලක්ෂණා මැඩම්ව මුණ ගැහුණා..

ත්‍රිලක්ෂණා කියන්නේ හිරූෂාගේ වයසට සමාන වයසක් ඇති කාන්තාවක්.. ත්‍රිලක්ෂණා හිරූෂාට සිය කාර්යාල කාමරයේ ඉදිරියේ ඇති අසුන අභිනයෙන් පෙන්වා එහි ඉඳ ගන්නා ලෙස පැවසූවා …

හිරූෂා එහි හිඳ ගත්තා ..

“සඳුනි මට හිරූෂා ගැන කිව්වා …ගොඩක් දක්ෂ කෙනෙක් කියලා කිව්වා..කෝ ඔයා ගෙනාපු සාම්පල් පෙන්නන්න ..”

හිරූෂා අතේ වූ බෑගය තුළින් මැසූ සාම්පල් එළියට අරගෙන ත්‍රිලක්ෂණා ට පෙන්නුවා .
ත්‍රිලක්ෂණා හිරූෂා මැසූ සාම්පල් දෑතට අරගෙන පරික්ෂා කරලා බැලුවා …

හොඳ නීට් එකට මහලා තියනවා ..රෙදි වල මැහුම් වල කොලිටියත් හොඳයි..ත්‍රිලක්ෂණාට හිරූෂාගේ ඇඳුම් ගැන පැහැදීමක් ඇතිවුණා..හිරූෂාට ඇඳුම් ඕඩර් බාර දෙන්න ත්‍රිලක්ෂණා තීරණය කළා…

“හොඳට කරලා තියෙනවා..කොලිටි එක අඩු නොකර මේ වගේ හොඳටම මට ඕඩරේ කරලා ඕනේ..මම ඔයාට සාධාරණ ගානක් ගෙවනවා..මට මේ හැම සාම්පල් එකෙන්ම පීසස් පනහේ ගානේ ඕනේ..මට හිතෙනවා මේ ගවුම් හොඳට යයි කියලා…සති දෙකකින් මට ඕඩරේ රෙඩි කරලා ඕනේ…”

ත්‍රිලක්ෂණා එහෙම කිව්වම හිරූෂාට ලොකු සතුටක් දැනුණා…ජීවිතයට මෙච්චර දවස් දුක් දීලාම එපාවෙලා වෙන්නැති… ජීවිතය කොහොමහරි ජයගන්න පොටක් පෑදුණු වෙලාවේ කොහොමහරි ගොඩ යන්න ඕනේ..හිරූෂා එහෙම කල්පනා කරන ගමන් චූටි දෝණිගේ ඉස්කෝලේ ලඟට යන්න බස් එකට ගොඩ උනා …

බස් එකේ යන ගමන් හිරූෂා කල්පනා කරේ මෙච්චර ඇඳුම් ගොඩක් සති දෙකකින් තනියම කොහොම ලෑස්ති කරන්නද කියලා…

හිරූෂා චූටි දෝණිව අරගෙන ගෙදර යන ගමන් ගෙදර සේරටම කන්න අයිස්ක්‍රීම් අරගත්තේ හිතට දැනිච්ච සතුටට..

හිරූෂා ගෙදර ගිහින් හිරූෂාගේ අම්මා එක්ක කතා කළේ මේ ඇඳුම් ඕඩරේ සති දෙකකින් තනියම කොහොම ලැස්ති කරන්නද කියලා…

හිරූෂාගේ අම්මා මොහොතක් කල්පනා කරා..

“පුතේ කොහොමත් ඔයාට ඔය ඕඩර් එක තනියම සති දෙකකින් කරන්න බෑ ..අපි උදව්වට මහන්න ගෑනු ළමයෙක් හොයා ගමු….ඔයා දන්නව නේද ගමේ මල්කාන්තිගේ දුවව…”

“ඔව්.අම්මා..මදූකා නන්ගිනේ..”

“මදූකා අපූරුවට මහන්න දන්නවා ..ඒ කෙ//ල්ලව කතාකරලා මෙහෙට ගෙන්න ගමු …ලොක්කිටයි ඒ කෙලීටයි එකතුවෙලා වැඩේ කරගන්න පුළුවන් ..”.

අම්මා එහෙම් කිව්වත් හිරූෂා කල්පනා කරන්න ගත්තේ..වැඩේ පටන් ගත්ත ගමන් තව එක්කෙනෙක්ට වැටුප් ගෙවන්නේ කොහොමද කියලා…

“ඒත් අම්මේ තව කෙනෙක්ව ගෙන්වගෙන මහනවා නම් එයාටත් මැෂිමක් ගන්න වෙනවා …ගෙවන්නත් ඕනේ ..ඇඳුම් මහන්න රෙදි ගන්නත් ඕනේ ..අම්මාගෙන් එදා ගත්ත ලක්ෂ තුනත් ගෙවන්න තියෙනවා..”

“අපිට දැන්මම සල්ලි ඕනෙ නෑ …තව මැෂිමකුයි රෙදියි ගන්න මම තාත්තාගෙන් සල්ලි ඉල්ලලා දෙන්නම්… ඒ ළමයට අපි මාසෙට නේ ගෙවන්නේ..ඒ වෙද්දි ලොක්කිට ඕඩරේ බාර දීලා සල්ලි ගන්න පුලුවන්නේ..”

අම්මා එහෙම කිව්වම හිරූෂාට සැනසීමක් දැණුනා..කොහොම හරි අමාරුවෙන් හරි ජීවීතේ හදාගන්න ඕනේ .. හැමදාම ගිහාන්ට අතපාන්න බෑනේ හිරූෂා එහෙම කල්පනා කරා…මේ හැමදේටම උදව්වට අම්මල ඉන්න නිසා හොඳයි .හිරූෂා එහෙම කල්පනා කරලා සැනසුම් සුසුමක් හෙළුවා..

“එහෙනම් අම්මේ අපි අර ගෑනු ළමයට කතා කරලා බලමු…..”

හිරූෂා අම්මාට එහෙම කිව්වා…හිරූෂාට හිතුණා මේ තමන්ගේ ජීවීතයේ හැරවුම්ලක්ෂය කියලා.

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

ගිහාන් චේතනා එක්ක වැඩ ඇරිලා ගෙදර ආවා…චේතනා ඇඟපත හෝදගෙන කුසියයට ගියේ රෑට කන්න මොනව හරි රත් කරන්න කියලා .

චේතනා කල්පනා කලේ රෑට කන්න පිට්ටු හදන්න කියලා …චේතනා පිටි ටික අරගෙන පැත්තකින් තියලා බිඳපු පොල් ගෙඩියෙන් බෑයක් අරගෙන ගාන්න ගත්තා …

පොල් ටික ගාලා ඉවරකරපු චේතනා පිටි වල කලවං කරලා ලුනු වතුර ටික ටික දාලා පුංචි පුංචි පිට්ටු කැට හදාගත්තා ..මුට්ටියේ දාපු වතුර එක නටාගෙන එන නිසා චේතනා පිට්ටු බම්බුව ට පිට්ටු කැට දාලා ලිපේ තැම්බෙන්න තිබ්බා…

ඒ අතරතුර කිරි හොද්දක් හදලා හොඳට කට දන ලුණුමිරිසක් හැදුවා …

කුස්සියේ පිට්ටු තම්බ තම්බා ඉන්න චේතනා එක පාරටම ගැස්සිලා ගියේ සාලයෙන් ඇහිච්ච ඒ සද්දෙට …ගිහාන් කා එක්කහරි එක්ක කතා කරන සද්දයක් චේතනාට ඇහුණා…

ගිහාන්ගෙ කටහඬත් නාදුනන පිරිමියෙක්ගේ කටහඬත් එක්ක තවත් ගෑනු කටහඬක් චේතනා ට ඇහුණා …වෙලාව දැන් රෑ නමයටත් ළඟයි ..කවුද මේ රෑ තිස්සේ ගෙදරට ආවේ කියලා චේතනා ට හිතුනා …

“ගිහාන් කවුද ආවේ …”

චේතනා කුස්සියෙ ඉඳන් උස් හඬින් ගිහාන්ගෙන් එහෙම ඇහුවා …

ඒ එක්කම සාලේ ඉඳන් තරමක් වියපත් කාන්තාවක් කුස්සියට කලබලෙන් ඇවිදගෙන ආවා …

තමන්ගේ ලඟට කලබලයෙන් දුවගෙන ආපු ඒ කෙනාව දැකලා චේතනා ට හීන්දාඩිය දාන්න ගත්තා…

ගිහානුත් ඒ එක්කම කුස්සියට ආවා …

“මේ ළමාතැනිව උ/ඹ මෙහෙට කැන්දන් ආවද ?උ//ඹට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැද්ද?..මේ වහු කුණ කරේ එල්ල ගත්තේ…”

“කෑ ගහන්න එපා අම්මේ අහල පහල ගෙවල් වලට ඇහෙයි…”

ගිහාන් එහෙම කිව්වේ අම්මගෙ කටහඬ උස් නිසාත් මේ වෙලාවේ වටපිටාවේ සද්දයක් නැති නිසා අහල පහල ගෙවල්වලට මේ දේවල් ඇහෙයි කියලා බයවෙලා…

“උ//ඹලට සේරම නාඩගම් නටන්න හොඳයි අපිට කතා කරන්න තමයි හොඳ නැත්තේ …අහල පහළ මිනිස්සු හොඳ හොඳ දේවල් කියනවා ඇති ..”

ගිහාන්ගේ අම්මා එහෙම කිව්වේ ගිහාන් දිහා සමච්චල් බැල්මක් හෙළන ගමන්.

“චේතනා ඔය වතුර ටිකක් ලිපේ තියන්න .අම්මටයි තාත්තාටයි තේ ටිකක් හදන්න ..”

ගිහාන් එහෙම කිව්වේ අම්මවයි තාත්තවයි සන්සුන් කරන්න කියලා හිතලා ..

“අනේ මේ මටනම් මේ ගෑ//නිගේ තේ බොන්න ඕනෙ නෑ…”

ඒත් සිද්ධ උනේ ගිහාන්ගේ අම්මා තවත් වියරු වැටිච්ච එක..චේතනා දුකින් බිම බලා ගත්තා

“අපි යමු නෝනේ ගෙදර …මම හිතුවේ මේ නාඩගම් දැන්වත් නැවතිලා ඇති කියලා …අර රත්තරන් ටිකට ඉන්න දැරිවිව එපා කියලා මේ වගේ දහදුරා වැඩ කරපු මේකාව පවුලෙන් අයින් කරල දාන්න ඕනේ ..නෝනගේ වදයට මම ආවේ ..අපි දැම්ම යමු ..”

ගිහාන් ගේ තාත්තා එහෙම කිව්වේ ලොකු කලකිරීමකින් …

“අම්මලා කොහෙද මේ රෑ තිස්සේ යන්නෙ හෙට උදේ යන්න …”

ගිහාන් එහෙම කිව්වා නෙමේ ආයාචනා කරා..

“නෑ මහත්තයෝ …අපි නෙමෙයි මේ ගෙදරින් යන්නේ….මේ ලැජ්ජා නැති ගෑ//නිව එලවලා මිසක් මම මේ ගෙදරින් දොට්ට බහින්නෙ නෑ …”

ගිහාන්ගේ අම්මා එහෙම කිව්වම බය වැඩි කමට චේතනා ගැහෙන්න ගත්තා …

“ගෙදර වැඩට ආපු ගෑ//ණි.ගෙදර වැඩ ටික කරලා යන්නැතුව ආවා මෙතන ළමාතැනී වෙන්න ..උ/ඹ මගේ පුතාගේ කරේ එල්ලිලා
මගේ කොල්ලාගේ ජීවිතය විනාශ කරා…මගේ කො//ල්ල තවත් විනාශ කරන්නැතිව මේ දැන්මම එලියට බැ//හැපන් ..”

ගිහාන් ගේ අම්මා චේතනාගේ ලගට පැනලා කෙස් වහල්ල අතින් ඇදලා ගත්තා …

හමුවෙමු මීළඟ කොටසෙන් 💔💔💔💔💔

ඔයාලා හැමෝටම ස්තුතියි ආදරෙයි