විසි එක්වන දිගහැරුම
Episode 22
සෙහංසා හැංහෙනා තුරු ඔහු මද වේලවක් හිඳ ඉන් පසුව දොර සමීපයට ගියේ දොර විවර කිරීමටයි…..
ඔහු දොර විවර කරද්දී දුටුවේ කෑම මේසයේ අසුන්ගෙන සිටිනා සෙහංසාගේ මවයි…..
ඒ සමඟම සාලයේ සිට දිසෙන් ගේ කුටිය අසළට ඇවිදන් ආවේ සෙහංසාගේ පියා රෙජිනෝල් ය………..
දිසෙන්ගේ වේගවත් ව තිබූ පපුවේ ගැස්ම වැඩි වෙන්නට වැඩිවේලාවක් ගියේ නැත………..
“ආ…දිසෙන් ගුඩ් මෝනින්……”
“ආ ඉන්න අංකල්…..මම මේ එළියට එන ගමන් හිටියේ………..”
දිසෙන් රෙජිනෝල්ට සිය කුටියට පිවිසීමට ඉඩ නොදී සිය කුටියේ දොර වසා දැමුවේ කඩිනමිනි.
“මම මේ දිසෙන්ගෙන් අහන්න ආවේ තාම අතේ තුවාලේ හොඳ නැද්ද කියලා අහන්න…..”
“දැන් නං අඩුයි සර්…….”
“එහෙනම් එන්න අපි කමු …..”
“අංකල් යාලුවෙක්ට පොඩි මැසේජ් එකක් යවන්න තියෙනවා..ඒකෙ යවලා ඉක්මනට එන්නම්…….”
“කවුද දිසෙන් ඔයාගේ ගෑනු ළමයා ද ?..හරි හරි ඔය නැතුව නාකි වෙලා ඕව කරන්නද ?…..මම එහෙනම් කන්න යනවා ……..”
ර්ජිනෝල් කෑම මේසෙට යනතුරු බලාසිටි දිසෙන් සිය කුටියට පිවිසියේ සැනසුම් සුසුමක් හෙලමින්….
“ඇති යන්තම් ……ශේෂා අපි අද අනු නමයෙන් බේරුණේ. …….”
දිසෙන් එසේ කීවත් සෙහංසා ගෙන් පිළිතුරක් ලැබුණේ නැති නිසා දිසෙන් ඇයව සොයන්නට වූවේය…
ඇය සැඟවී සිටි ස්ථානයට ගිය දිසෙන් දුටුවේ කුටියේ පිටුපස තිබූ door window ව විවර කර ඇති අන්දමයි…….
එසේනම් සෙහන්සා පැන ගන්නට ඇත …..
එහෙත් ඊට යාබදව ඇති සේවක කාමර පේළිය නිසා කිසිවකු හෝ ඇය දකින්නට ඉඩ ඇත ……..
මින්පසුව සෙහංසා කෙතරම් පෙරැත්ත කළත් ඇයව සිය කුටියේ නවත්වා ගැනීම නොකළ යුතු බව දිසෙන් සිතා ගත්තේය ……
දිසෙන් මොහොතක් සයනයේ හිඳ කල්පනා කරන්නට වූයේ පෙරදා රැය පිළිබඳවයි …..
සෙහන්සා ගේ දඟකාරකම ,රූමත්කම හුරුබුහුටි කම අබියස තම සිත පාලනය කිරීම අපහසුය…….
වෙනත් තරුණයෙකුට මෙවන් අවස්ථාවක් ලැබුනානම් සෙහන්සාට නම් පහසුවෙන් ගැලවීමට නොලබනු ඇත ……..
ඇඟේ දඟකාරකම් වලට තම සිත අතරමං කරන්නට හැක……….
මෙතෙක් දවසක් සිතේ ගුළිකරගෙන සිටි ආදරය පෙරදා රැයේ වාන් දමාගොස් ඇයට තමා ආදරය කී බව සිහි වූ දිසෙන් ගේ සිතේ පසුතැවිල්ලක් ඇති වුණි……..
ඒත් කවදා වෙනකන් මෙසේ ඇගෙන් ආදරය
සඟවාගෙන සිටින්නද?……
ඇය තමාට ආදරේ බව ඇත්තකි …….
තමා ද ඇයට ආදරේ බව ඇත්තකි …..
ඒත් මේ ආදරයට පැවැත්මක් ඇත්ද ?…..
ඒත් අවසන් මොහොත තෙක් මේ ආදරය රැකගැනීමට සටන් කිරීමට ඔහු සිතා ගත්තේය ……
ආදරය මෙතරම් පුදුමාකාර දෙයක් බව දිසෙන්ට වැටහුනේ ඇයගේ ආදරය ලැබුණු පසුය…….
දැන් නම් දිසෙන්ට ඇයගෙන් ඈත්වීමට තියා ඒ ගැන සිතීමටවත් නොහැකි තරම් ය…..
ඇයගේ රෝස පෙති වල පහස….
ඒ සුදු මුහුණේ සුන්දරත්වය ….
ඒ සියුමැලි සිරුරේ උණුසුම …
ඇගේ කෙස් කළඹේ සුවඳ….
ඇය මීවිත බඳුනක් බඳුය ……
තවමත් ඔහුගේ සිත මත් කරයි ..
දිසෙන් කෑම මේසයට යද්දි ඈ කෑම මේසයේ අසුන්ගෙන කෑම කමින් උන්නේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි….
පුරුදු පරිදිම ජයන්ති කෑම මේසයෙන් නැගිට්ටේ ඒ සමඟය…….
“මොකෝ අක්කී අද ඔෆිස් යන්නැද්ද ….?…
“නෑ අද දහයට විතර යන්නේ ….”
“ඒ මොකෝ ඒ….?”
“මට ඕන නිසා ඇයි…?”
“ත/මු/සෙ/ට අක්කේ….ඕකට උත්තර දෙන්න ඔච්චර අමාරුද …? .
“මොකද ඔය ළමයි දෙන්න කොයි තිස්සෙත් රණ්ඩු කරන්නේ……….ඉන්නේ දෙන්නයි කොයිවෙලාවෙත් ඇනකොටා ගන්නවා ………………”
“මේ අක්කා තමයි තාත්ති …………..කොයිවෙලාවෙත් මාත් එක්ක රණ්ඩුවට එන්නේ….”
“නවත්ව ගන්න ඔය දෙන්නගේ රණ්ඩුව….ඇයි ශේෂ අද පරක්කු වෙලා යන්නේ …..
“නෑ තාත්ති …..ඊයේ රෑ ක්ලබ් ගියානේ…..තවම නිදිමතයි” ……
“ඒක තමයි ……ඔය ළමයා නිසා මේ දිසෙන්ටත් පුදුම වදයක් තියෙන්නේ ….දිසෙන්ගේ මූණ හොඳටම නිදිමත පත පාටයි ………..”
රෙජිනෝල් එසේ පවසද්දී දිසෙන් ඇය දෙස බැලුවේ හෙමිහිට හිස ඔසවා ය …..
සෙහන්සා ඔහුට ඇසක් ගසා ඉඟිකරේ ඒ සමගම ය ……
දිසෙන් හිමිහිට වටපිට බැලුවේ එය රෙජිනෝල් හා දුලන්සා දුටුවාදැයි පිරික්සා බැලීමට ය …..
ඔහු සැනසුම් සුසුමක් හෙලුවේ ඔවුන් දෙදෙනාගේ මුහුණේ කිසිදු වෙනසක් නොතිබූ නිසාය……
“මේ කෙල්ල නම් මාව පිස්සු වට්ටලා නවත්තන්නේ..මේකට නම් මායම් 64 ට වඩා තියෙනවා …..”
දිසෙන් එසේ සිතට කියාගත්තෙ ඈ දෙස හොරෙන් බලමිනි……
“තාත්ති අද මම කොහොමද lectures යන්නේ …..අයියේ ඔයාට පුලුවන්ද මාව එක්කන් යන්න……”
සෙහන්සා කලබල වූයේ දුලන්සාගේ වදන්වලට ය…….
නැත එයට ඉඩ දිය යුතු නැත ………..
දැනටමත් දුලංසා දිසෙන්ට පෙම් කරනවා දැයි සැකයක් සෙහංසා තුළ ඇති වීමෙන් ඇය මදක් කලබල වූවාය….
“ඒ ළමයට තව ටිකක් නිදාගන්න දෙන්න….මම ඔයාව drop කරං යන්නම්….”
රෙජිනෝල් එසේ කීමත් සමඟ සෙහංසා ගේ සිතේ ඇතිවූයේ වචනයෙන් කිව නොහැකි සැනසීමකි……….
❤️❤️❤️❤️❤️❤️
“මොකෝ ගම්ලත් ඔයාගේ කිසි සද්දයක් නැත්තේ……මම දවස් ගාණක් ට්‍රයි කරා මේ number එකට කතා කරන්න…..”
“අනේ sorry sir ….මිෂන් එකත් එක්ක මං ගොඩක් බිසී වෙලා හිටියේ …………..මේ සිම් එක ගලවල තිබ්බේ……..චීෆ්ට කතා කරන්න සිම් එක දාගත්තේ ……………”
“එහෙමද මම හිතුවේ ගම්ලත් missionඑක අත ඇරලා ද කියලා………මිෂන් එකේ සංකීර්ණ කම වැඩි හින්දා…………..”
“අයියෝ නෑ සර් …….”
“මට මුකුත් රිපෝට් එකක් වත් කාලෙකින් ඔයා එව්වෙ නෑ ……”
“ඒ ගැන බයවෙන්න එපා සර්……රිපෝට් එකක් හදලා මම ඉක්මනට එවන්නම්………….”
“මොකක්ද mission එකේ දැන් තත්වය……… ඔයා හිතනවද ඔයා යන පාත් එක හරි කියලා …………”
“ඔව් සර් ඒ ගැන කිසිම ඩවුට් එකක් නෑ…….”.
“අපේ සිරිවර්ධන නම් යන්නේ වෙනම පාත් එකක………ඔය ඩීල් සේරම යන්නේ සාමාන්‍යයෙන් එක තැනකට……..සමහරවිට ඔය දෙන්නා පාත් දෙකකින් යන්නේ එකම පාරකට වෙන්න පුළුවන් …….”
“ඔව් සර්….එහෙම වෙන්න පුළුවන් ………..”
“හැබැයි ගම්ලත් ……මේක තව වැඩි කාලයක් අදින්න බෑ ………….දැනටමත් ලොක්කා බර බරේ දානවා මේ වැඩේ delay කියලා…….”
“කිසි දේකට බය වෙන්න එපා ……දැනටමත් මම අර lady ව වටලවන්න ප්ලෑන් කරන් ඉන්නේ …………..”
“හරි …….best of luck ………ඔයා මේ වැඩේ කරොත් අපේ ඩිපාර්ට්මන්ට් එකේ රෙකෝඩ් එකක් ඔයා කඩනවා …………ඒ ඔයාගේ ප්‍රමෝෂන් එක …….එහෙනම් පරිස්සමෙන් වැඩේ කරන් යන්න…….
මගෙන් හෙල්ප් එකක් ඕන වුනොත් කියන්න …..
“හරි සර් තැන්කියූ……”
සිය ප්‍රධානියාගේ ඇමතුම විසන්ධි වූ පසු narcotic officer ගම්ලත් කල්පනා කරන්නට වූයේ සිය මිෂන් එකේ ඉදිරිය ගැනයි….
ඔහු සකසා සිටිමින් උන් වාර්තාව නැවත සැකසීමට ආරම්භ කළේ තමාට ලැබුණු යම් යම් සාක්ෂි හා තොරතුරු එකිනෙකට ගොනු කරමින් ..
❤️❤️❤️❤️❤️❤️
“ටක්…ටක්…ටක්…..”
කිසිවෙකු තම කුටියේ දොරට තට්ටු කරනු ඇසී දිසෙන් නින්දෙන් ඇහැරුනේ එක්වරම ගැස්සීය…..
“කවුද ?මම නිදි ….”
“dissaine දොර අරින්න මම ශේෂා ….”…..
සිය කුටියේ බිත්තියේ වූ ඔරලෝසුවෙන් disain වෙලාව බැලුවේය.
වෙලාව 10:30 ය….
ඔහු එක්වරම ඉද්ද ගැසුවාක් මෙන් නැගිටුණේ සෙහන්සා 10 30 තිහට කාර්යාලයට යාමට සූදානම් වන ලෙස කියූ නිසාය ……….
“මට පොඩ්ඩක් නින්ද ගියා ……ඉන්න මං ඉක්මනටම ඇස් වෙලා එන්නම්…….”
“අයියෝ දිසෙන් …..මම සාලෙට වෙලා ඉන්නම්..ඔයා ඉක්මනට එන්න…”
“හරි මට 10 මිනිට්ස් දෙන්න ……….”
ඇඟපත දොවාගත් දිසෙන් පෙරදා මැද සූදානම් කර තිබූ කාර්යාලය ඇඳුම් ඇඳ හිසකෙස් සකසා සාලයට ආවේ කඩිනමින් ….
“ඔයා නිසා මටත් ඩිලේ……”
ඈ කීවේ ඔහු දෙස මවාගත් රැවුමක් එල්ල කරමින් මිදුලට යන මොහොතේය…..
ඔහු කිසිවක් නොකියා නිහඬව සිටියේ තවමත් මේ සිටින්නේ ඇගේ නිවසේ නිසාය ……
“මගේ අත හොඳයි …..අද මම ඩ්‍රයිව් කරන්නම්……”
“පුලුවන්ද “
ඇය ඇසූයේ රියදුරු අසුනට යාබද අසුනේ හිඳ ගනිමින්……
ඔහු කිසිවක් නොදොඩා රියදුරු අසුනේ හිඳගත්තේ ඈ දෙස රවා බලමින් ………….
“මොකෝ රවන්නේ………..”
” ඔයා නිසා ඊයේ රෑ මට නින්ද ගියෙත් නෑ …..ඒ නිසා නිදා ගත්තම මම පරක්කුයි කියලා මට රවනවා නේද?”….
“ඔයාට නින්ද ගියේ නැද්ද දිෂ්…….”
“කොහේ නින්ද යන්න ද ගල් රෝලක් මගේ ඇඟ උඩින් ඉන්න කොට …..”
“මම ඇත්තටම නිදා ගත්තෙ එහෙමද?….ඒ උනාට මම බර නෑනේ…කිලෝ පනස් ගානක් කියන්නේ මොකක්ද ……..මට නම් හොදට නින්ද ගියා……..සනීපෙට…..ඔයා මොනවද නිදාගන්නේ නැතුව කරේ…….මම දන්නවා ……මගේ දිහා බලන් හිටියා නේද………”
“හම්මෝ වැඩේමයි……….ඔයාගේ දිහා බලන් ඉඳලා මට පිළිකුල් භාවනාව කරන්න වෙන්නේ ………”
“ඔයා නම් හරි නරකයි…..මෝ/ඩ/යා…….”
ඒ කීවේ ඔහුගේ උරහිස ට පහරක් එල්ල කරමින්………
“තව පොඩ්ඩෙන් මට බ්ලැන්ස් නැති වෙලා යනවා………..”
“ආදරේට නේ දිෂ්…………”
ඇය කීවේ ඔහුගේ වම් අත ඇගේ දකුණතින් අල්ලා ගනිමින් ………
ඒ අතේ ඇගේ ඇඟිලි තුඩු වලින් රටා මැව්වාය…….
“මොනාද බ/න් කරන්නේ කුචී…………”
“මට අද ගොඩක් ගොඩාක් සතුටු දවසක් ……..”
“ඒ මොකද ?….”
“දැන් ඔයා මගේ………ඒ නිසා …මම හිතුවේ මම විතරයි ඔයාට ආදරය කරන්නේ කියලා ……..”
“ඔය මායම් හැට හතරට කවුද ඉතිං අහුවෙන්නේ නැත්තේ………….”
“ආ ඇත්තද …හැබැයි ……ඔයාට මායම් දාන් එන තේඋඩිච්චියන් ගේ මායාම් වලට අහු වෙන්න ගියොත් මම දනී කරන දේ ……”
“ඒ කවුද …?”
“අර ඔෆිස් එකේ ඉන්න තේඋඩිච්චි සොනාලී………”
“ගෑනු ළමයි ගෑනු ළමයි එක්ක හෙන ජෙලස් නේද …..”
දිසෙන් කීවේ ඇයව තරහ ගැස්සීමට මෙනි….
එක්වරම සෙහන්සාගේ ජංගමයට ඇමතුමක් පැමිණියේ රෙජිනෝල් ගෙනි …
“හලෝ තාත්තී…………”
“දු…ව…..”
පියාගේ කටහඬ තුළ වූ කලබලකාරී ගතියට සෙහන්සා එක්වරම තිගැස්සී ගියාය ……
“ඇයි තාත්තේ කියන්න …..”
“පුතේ පොඩි කරදරයක් ……..ඉක්මනට බොරුපනට එන්න……….”
“බොරුපන ..”
“ඔව් අම්මගේ ළමා නිවාස ළඟට ……..”
“අම්…ම…ට කරදරයක් වත්ද ?”
හමුවෙමු මීළඟ දිගහැරුමෙන්