Ex වයිෆ්
36 වන කොටස
“මොකද බලන් ඉන්නේ ගිහාන් අත්සන් කරන්න..”
හිරූෂා ගිහාන් වෙත පෑන දිගුකළා..
ගිහාන් පෑන අතට අරන් අත්සන් කරන්නේ නැතුව කල්පනා කරන්න ගත්‍තා.
අත්සන් කරනවාද නැද්ද ?.ගිහාන්ගේ හිතේ ලොකු දෙගිඩියාවක් ඇතිවුණා..
චේතනායි හිරූෂායි අතර ගිහාන් දෝලනය වුණා.ආයෙමත් වතාවක් හිරූෂා ළඟ නතර වෙනවාද එහෙමත් නැතිනම් චේතනා ළඟම රැඳිලා ඉන්නවද කියලා ගිහාන් කල්පනා කරන්න ගත්තා .
හිරූෂා ලඟ නතර වුණත් පළක් නෑ කියලා ගිහාන්ට හිතුණා .මෙතෙක් දවස් තමන්ගේ හිතේ හිරූෂා ගැන ආදරයක් නොතිබුනත් හිරූෂා තමන්ට ආදරය කළා ..ඒ ආදරේ අද මළගම් ගිහින් කියලා ගිහාන්ට හිතුණේ හිරූෂාගෙ ආදරේ වියැකිච්ච ඇස් දෙක දැකලා ..
ඇත්තටම මගේ හිතේ හිරූෂා ගැන තිබ්බේ ආදරයක් ද ආකර්ෂණයක් ද ?මටනම් තවම ඒ ගැන හිතාගන්නවත් බෑ .හිරූෂාට බැඳුනේ
බාහිර පෙනුම නිසා ඇතිවෙච්ච කැමැත්තක ට නේද කියලා ගිහාන්ට හිතුණා ..
ගිහාන් ඇත්තටම ආදරේ කලේ හිරූෂාගේ පෙනුමට….ගිහාන් දැක්කේ හිරූෂාගේ පිරිපුන් ලැම විතරයි …ඒ පිරිපුන් ලැම යට තියෙන හදවත හඳුනා ගන්න ගිහාන්ට කවදාවත් උවමනාවක් වත් වෙලාවක්වත් තිබ්බෙ නෑ ..හිරූශා ගැන හිතේ ඇති වෙච්ච ආකර්ෂණය ආදරයක් කියලා රැවටුණු ගිහාන් හිරූෂා එක්ක විවාහ වුණා ..
විවාහ වෙලා අවුරුදු පහ දහය යද්දි දරුවන්ගෙ පවුලේ ප්‍රශ්න එක්කම ඒ ආකර්ෂණය වියැකී ගියා ..
ආදරයයි ආකර්ෂණය අතර වෙනස ඒකයි ..
කෙනෙක් තව කෙනෙක්ගෙ හදවතට බැඳිලා විවාහා වෙච්ච දෙන්නෙක්ගෙ පවුල් ජීවිතයේ දරුවන්ගේ මොනතරම් ගැටළු ඇතිවුණත් ඒ දෙන්නගේ තියෙන ආදරේ නිසා ඒ දෙන්නගෙ බැඳීම කවදාවත් වියැකෙන්නේ නෑ ….
ඒක නිසා කවදාවත් ආදරේ කියලා ආකර්ෂණයට රැවටිලා විවාහ වෙන්න හොඳ නෑ ..අද මේ හැම දෙයක්ම ගිහාන් ටයි හිරූෂාටයි සිද්ධ වුණේ ඒ නිසා ..
චේතනාට මම ඇත්තටම ආදරේ කරනවද ගිහාන් ඒගමන එහෙම කල්පනා කරනවා .ඒකත් ආදරයක්ද ආකර්ෂණයක් ද කියලා ගිහාන්ට තෝරගන්න අමාරුයි …ඒ වුණත් දැන් ගිහාන් චේතනා ට ඇබ්බැහි වෙලා ඉන්නේ ..හරියට නිකම් ම/ත් බෙහෙතකට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට ඒකෙන් මිදෙන්න අමාරුයි වගේ ගිහාන්ට චේතනාගෙන් මිඳෙන්න අමාරූයි..
ගිහාන් කවදත් වගකීම් විරහිතයි..දෝණිගේ අසනීපේ ඉස්සරහා ගිහාන් පසුබාලා ඒ වගකීම් වලින් පැනලා ගිහින් අත් දෙක සෝදගෙන හිරූෂාගේ පිටේ ඒ වගකීම් පැටැව්වේ අන්න ඒ නිසාමයි..
තමන්ගේ දරු පවුලට වඩා ආත්මාර්ථය ලොකු කරගත් ගිහාන්ට ,කෑලි කැඩිලා සුනුවිසුනු වෙන්න හදන කූඩුව රැක ගන්න ඕනි කියලා මේ මොහොතේදිවත් හිතුනේ නෑ .
ඒ උනත් මේ දික්කසාදය තමන්ට අවාසි සහගතයි .මේ දික්කසාදය නිසා තමාගේ තියෙන නම්බුනාම ගිලිහිලා වැටෙයි කියලා ගිහාන්ට හිතුනා..
ඒ නිසා ඩිවෝස් පේපර්ස් වලට අත්සන් කරන්නේ නෑ කියලා ගිහාන් හිතුවා ..
“මට බෑ..මම මේක අත්සන් කරන්නේ නෑ ..”
ගිහාන් එහෙම කිව්වම ගිහාන්ගේ අම්මා නම් සැනසුම් සුසුමක් හෙලුවා .ඒත් හිරූෂාගේ මූණ අදුරු වුණා ..
තමන්ගෙ ජීවිතය අපායක් කරපු ගිහාන්ව කොහොමහරි එළවලා දාන්න ඕනේ මේ මනුස්සයා ජීවිතයේ ඉන්නකම් අපිට කවදාවත් සැනසීමක් නෑ හිරූෂාට එහෙම හිතුණා..
“ආ එහෙමද ?.මම එහෙනම් ඩිවෝස් නඩුවක් දානවා …අයථා සම්බන්ධයක් යටතේ ..මම ළඟ ඒක ඔප්පු කරන්න සාක්ෂි ඕන තරම් තියෙනවා …හරි අපි එහෙනම් උසාවියෙදි හම්බවෙමු ..එතකොට කවුරු කවුරුත් තමුසගේ පැටිකිරිය දැන ගනී …ලැජ්ජ වෙන්නේ මම නෙමේ ත/මු/සේ..එක ගෑ/නි/යෙ/ක් එක්ක හොරෙන් පවුල් කකා ලෝකෙට පේන්න විතරක් මාව තියාගන්නවට මම කැමති නෑ …”
හිරූෂා එහෙම කිව්වම ගිහානුයි ගිහාන්ගෙ අම්මයි තාත්තයි හිරූෂාගේ දිහා බය වෙලා වගේ බලාගෙන හිටියා..
“උසාවි ගිහිල්ලා රටේ ලෝකෙ මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙනවද ?..මේක ගොඩින් බේර ගන්නවද ?.මොකක්ද කියන්නේ ගිහාන්?.”
හිරූෂා එහෙම කියද්දී ගිහාන් හිරූෂාගේ දිහා බලාගෙන මොහොතක් කල්පනා කරා.මේ යකඩ ගෑ/නි පොඩ්ඩක්වත් විශ්වාස කරන්න බෑ ..කිව්වත් වගේම මාව ලැජ්ජා කරාවි එහෙම හිතපු ගිහාන් මදක් පසුබෑවා…
හිරූෂා කියන දේට එකඟ වුනා නම් හරි.එහෙම වුනොත් මට නිදහසේ ඉන්න පුළුවන් …එහෙම හිතලා ගිහාන් ඒ ඩිවෝස් පේපර් එකේ අත්සන් කරන්න හිතුවා…
ගිහාන් වෙවුලන අතින් ඩිවෝස් පේපර්ස් අත්සන් කරද්දී එතන හිටපු ගිහාන්ගෙයි හිරූෂාගෙයි දෙමාපියන්ට දැනුනේ හදවත මොහොතක් නැවතුණා වගේ..
අස්සන් කරපු ඩිවෝස් පේපර් එක ගිහාන් හිරූෂාගේ අතේ තිබ්බේ කිසිම හැඟීමක් නැති විදිහට ..
“මේ ඩොකියුමන්ට් එකේ සයින් කරන්න ..”
“මේ මොකක්ද ?..”
“දිවුරුම් ප්‍රකාශය..ලමයින්ගේ වියහියදම් කරනවා කියලා අපි පදිංචි වෙලා ඉන්න ගේ පවරනවා කියලා..”
ගිහාන් ඒ දිවුරුම් ප්‍රකාශය අතේ තියාගෙන මොහොතක් කල්පනා කරා ..ඇත්තටම හිරූෂාගේ ඉල්ලීම වැරදි නැහැ කියලා ගිහාන්ට හිතුණා..මොනදේ උනත් ඒ දරුවො දෙන්න මගේ දරුවෝ ..මම හිරූෂාගෙන් ඈත් වුණත් ඒ හැම වියදමක්ම දරනවා …එහෙම හිතපු ගිහාන් දිවුරුම් ප්‍රකාශය අත්සන් කරලා හිරූෂා ගේ අතේ තිබ්බා ..
හිරූෂාට මොන තරම් ශක්තිමත් හිතක් තිබ්බත් ගෙදර ආපු වෙලාවෙ ඉඳන් හිරූෂා උන්නේ කඳුළු බිබී …
ගිහාන් මොන තරම් ලේසියෙන් අපේ බැඳීම අමතක කරාද ?වෙන කෙනෙක් නම් මේ වගේ වැරැද්දක් කරලා බිරිඳට අහු උනාම නොවඳිනා වැඳුම් හරි වැදලා පවුල රැකගන්න සමාව ඉල්ලනවා ..
ඒත් ගිහාන් එහෙම කළේ නෑ …ගිහාන්ට ඒ තරමට මාවයි දරුවො දෙන්නවයි එපා වෙලා තිබ්බේ ..ගිහාන්ට අර ගෑනු කෙනා විතරයි ඕනේ..එහෙම හිත හිතා හිරූෂා දුක් වෙන්න ගත්තා ..
හිරූෂා ගේ නංගි හිරුශාගේ කාමරයට ආවේ එතකොටමයි..හඬලා රතු වෙච්ච අක්කගේ මූණ දැක්කම හිරූෂාගේ නංගිට දුක හිතුනා …
“අක්කේ මොකද මේ අඬන්නේ …අම්මයි තාත්තයි තව එක අවස්ථාවක් දෙමු කිව්වම ඔයාම නේද ගිහාන්ව එපා කියලා මේ ඩිවෝස් එක ඕනෙමයි කියලා කිව්වේ ..ඉතිං මොකටද දැන් දුක් වෙන්නේ …”
හිරූෂාගේ නංගී එහෙම ඇහුවේ හිරූෂාගේ ළඟින් ඇඳේ වාඩිවෙන ගමන් …
“ඔව් මට දුක ඒක නෙමේ ..කොයි තරම් කාලයක් ආදරේ කරලා කොයි තරම් කාලයක් අපි එකට ජීවත් වුනාද ?.. එයා මට ඇත්තටම ආදරේ කරලා නෑ..අඩුම තරමේ එයාට සමාව ගන්න වත් උවමනාවක් තිබ්බෙ නෑ..ඒ තරමට එයාට අපිව එපාවෙලා …”
” බොරුවට සමාව අරගෙන සමාදාන වෙලා ඒ වැරදි ආයේ කරනවට වඩා එයා ඔහොම වෙන් වෙන්න කැමති වෙච්ච එක හොඳයි …ඔයා හරි නම් දුක් වෙන්න නෙවෙයි ඕනේ …පාටියක් දාන්න ඕනේ…”
“ඒක නං ඇත්ත නන්ගි…බැඳීමක් බලෙන් තියාගන්න එක හිතට ලොකු දුකක් …බැඳීමක් නැති තැනක රැඳෙනවට වඩා ඒ බැදීමෙන් ඈත් වෙන එක වටිනවා …මට අපේ එ අතීතය මතක් වෙලා දුක හිතුනේ..මම විතරයි එයාට ආදරේ කරලා තියෙන්නේ …”
හිරූෂා එහෙම කිව්වේ ලොකු සුසුමක් පිට කරන ගමන් ..
“අක්කට ඇත්තටම යාලුවෙලා ඉන්න කාලේ ගිහාන් අයියා මොන වගේ කෙනෙක් ද කියලා තේරුම් ගන්න බැරි උනාද ?..”
හිරූෂාගේ නංගි එහෙම කිව්වම හිරූෂා මොහොතක් කල්පනා කරා ..
“ඇත්තටම නොදැනුනාම නෙමෙයි..මම එයාගේ අඩුපාඩු වැරදි මට ටික ටික තේරුණා …මම ඒ දේවල් ගණන් ගත්තෙ නෑ ..බැන්දට පස්සේ මට ඒ දේවල් හදා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.මම ඇත්තටම ඒ කාලේ හරිම බොළඳයි .ඒ කාලේ මම හරි තීරණය ගත්තානම් අද මේ කිසි දුකක් නෑ…ඇත්තටම කෙ*ල්ලෙක් බඳින්න තෝරගන්න ඕනේ තමන්ගේ දරුවන්ට හොඳ දරුවට හොඳ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් පිරිමියෙක්ව…ඒත් ඒක තේරෙනකොට මම පරක්කු වැඩියි…”
අක්කා කියන දේවල් ඇත්ත ..
මේවා අපි හැමෝටම හොඳ පාඩම්..
මම බදින්න ඉන්න දිනුක ඇත්තටම මට ගැළපෙනවද ?මගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න එයාට පුළුවන් වෙයිද ?
හිරූෂාගේ නන්ගි එහෙම කල්පනා කරා..
ඒත් තවම දිනුකගෙන් එහෙම අනතුරු ඇඟවීමක් තමන්ට දැනුනේ නැති නිසා හිරූෂා ගෙ නංගි සැනසුම් සුසුමක් හෙලුවා..
උදේ පාන්දර ඉඳන් කොහෙදෝ යන්න ලක ලෑස්ති වෙන පුංචියි සීයයි දිහා චූටි දෝණි බලාගෙන හිටියේ ගොඩක් දුකින්..
ගතවෙච්ච මාසයක කාලයේ චූටි දෝණි දවස පුරාම හිටියේ පුංචි අම්මගෙ තුරුලට වෙලා ..
පුංචි අම්මා කියලා දෙන ලස්සන කවි කතා වලින් චූටි දෝණිගේ මුලු හිතම සතුටින් පිරිලා තිබුනේ ..පුංචි කියලා දෙන සින්දු කියන්න බැරි උනාට චූටි දෝණි ඒවා අහගෙන හිටියේ ගොඩාක් සතුටින් .
පුංචි ගියාම මුළු ගේම පාළුවෙනවා …පුංචි මාව දාලා යන්න එපා ..මට පුංචි ඕනේ …එහෙම කියලා පුංචිගෙ ඇඟේ එල්ලෙන්න චූටි දෝණිට හිතුනත් පුංචිව නවත්තන්න හැදුවත් කතා කරගන්න බැරුව දෝනි ගොඩක් දුක් වින්දා …
“අම්මා යන්නේ නැද්ද?..”
හිරූෂ ඇහුවේ කුස්සියේ උය උයා ඉන්න අම්මා ළගට ගිහින්..
“මම යන්නේ නෑ ලොකූ…නන්ගියි තාත්තයි විතරයි යන්නේ..”
“ඒ මොකද ඒ අම්මා..?”
හිරූෂා ඇහුවේ පුදුමෙන් ..
“ඔයායි බබාලයි තනියම දාලා අපි කොහමද යන්නේ දුව..?”
“ඒත් තාත්තයි නංගියි එහේ තනියම නේ.”
“මායි තාත්තයි නංගියි ඊයේ මේ ගැන කතා කරා.නංගි ට්‍රාන්සර් එකක් අරන් මෙහාට එන්නම් කියලා කිව්වා..එතකන් මම මෙහේ ඉන්නවා…”
“ඒත් අම්මා ඒක අ/ප/රා/ද/යක් ..අම්මලා යන්න..මම ඉස්සරත් මෙහේ හිටියේ තනියම නේ.මට ඉස්සරහටත් එහෙම ඉන්න පුළුවන්..”
ඒ එක්කම වගේ එතනට හිරූෂාගේ නංගි ආවා..නංගිට ඇහුණා අම්මායි අක්කායි කතා කර කර උන්නු දේ ..
“පිස්සුද අක්කා.ඔයාව අපිට එහෙම තනි කරන්න පුලුවන්ද?කොහොමත් දිනුක කොලඹ වැඩ කරන නිසා එයා මෙහෙන් ඉඩමක් අරන් ඉන්නේ..අපි බැන්දාට පස්සේ කොළඹ පදිංචි වෙන්න හදන්නේ.කොහොමත් ට්‍රාන්සර් එකක් හදාගන්න හිටියේ ..”
“ඒ වුණත් නංගී මේ ඉක්මනට ට්‍රාන්සර් එකක් හදාගන්න පුළුවන් වෙයිද?.”
“දිනුක ගේ යාලුවෙක් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ වැඩ කරනවා..එයාට කියලා ඉක්මනට ට්‍රාන්සර් එක හදා ගන්න පුළුවන් වෙයි…අපි එහෙනම් ගිහින් එන්නම් අක්කා.”
චූටි දෝණි ඇස්වල කඳුළු පුරෝගෙන අම්මායි ආත්තම්මායි එක්ක පුංචියි සීයයි යන හැටි බලාගෙන ඉන්නවා…
පුංචි යන්න එපා. එහෙම කෑගැහලා කියන්න ඕනේ වුණත් කටට වචන ගන්න බැරුව අසරණව චූටි දෝණි ඉකි ගහ ගහා අඬන්න ගත්තා..
පුංචි අම්මා ගිය දවසේ ඉඳන් චූටි දෝණි හිටියේ සාංකාවෙන්…කොයි වෙලාවෙත් බලාගත්ත අත බලාගෙන ඉන්නවා..
හිරූෂායි අම්මායි සාංකාවෙන් ඉන්න චූටි දෝණි නළවන්න හැදුවත් නළවා ගන්න බෑ..
චූටි දෝණි මුරණ්ඩු වෙලා ..අම්මා එක්කත් රණ්ඩු කරනවා ….
ඉස්කෝලේ ගිහින් ගෙදර එන චූටි දූ වෙනදා කවදාවත් හවසට නිදාගන්නේ නැහැ…
ඒත් කවදාවත් නැතුව අද දවාලේ බත් කාලා බත් මතට චූටි දෝණිට නින්ද ගියා..හිරූෂාත් නිදා උන්නු චූටි දෝණි ළඟ ඇළවෙලා ඇස් පියාගත්තා..
චූටි දෝණි එක්ක දඟලලා හෙම්බත් වෙච්ච හිරූෂාටත් මහන්සිය වැඩි කමට ඇස්පියා ගත්ත ගමන්ම නින්ද ගියා..
නිදාගෙන උන්නූ හිරූෂා එකපාරටම ගැස්සිලා නින්දෙන් ඇහැරුණේ එකපාරටම නින්දෙන් ඇහිච්ච ඒ ශබ්දය නිසා…
හමුවෙමු මීළඟ කොටසෙන්