Ex වයිෆ්
29 වන කොටස
“අනේ පුතේ ඉක්මන් කරලා ඔය නංගිව බේරා ගන්න …”
ටීචර් හයියෙන් කෑගැහුවා …
ඒත් එක්කම දැකපු දෙයින් ටීචර් බයෙන් බිරන්තට්ටු වුණා …
ඒ ලොරිය දරුවා ළඟටම ළං වෙලා තිබුණු නිසා..
චූටි දෝණිගේ පස්සෙන් දුවගෙන ආපු පිරිමි ළමයෙක් වේගයෙන් පැනලා චූටි දෝණිව ඇදලා මෙහා පැත්තට ගත්තා …
චූටි දෝණි නූලෙන් බේරුනා ..
ටීචගේ ඇඟට * ටිකක් ඉනුවේ එතකොට තමා..
දෝණිගේ පස්සෙන් ආපු පිරිමි ළමයි කට්ටියයි ටීචයි සැනසුම් සුසුම් හෙළුවා ..
ටීචර් චූටි දෝණිව අතට ගත්තා ..
චූටි දෝණි ටීචර්ගේ අතින් බිමට පැනලා බේරගත්ත අයියගේ අතින් අල්ලගත්තා ..
ඒ පුතා චූටි දෝණිව පරිස්සමින් අල්ලගෙන පන්ති කාමරේට ගිහින් බැස්සුවා ..
ටීචර් චූටි දෝණිගේ වාර්තා පොතේ තිබෙන භාර කාරයන්ගෙ දුරකථන අංක සොයාගත්තා ..
ඉක්මනින්ම හිරූෂාගේ අංකයට ඇමතුමක් දුන්නා ..
“අම්මා පුළුවන් තරම් ඉක්මනට ඉස්කෝලෙට එන්න …”
“ඇ..යි ටී..ච..ර් …දරුවාට අසනීපයක්වත්ද ?..
“නෑ අම්මා එහෙම දෙයක් නෙමෙයි ..දැන් කොහොමත් ස්කූල් ඇරෙන්නත් ලඟයි නේ ..පුළුවන් තරම් ඉක්මනට එන්න ..”
“හා ටීචර් …”
හිරූෂා දඩි බිඩි ගාලා ලෑස්ති උනේ හිතේ චකිතයකින්..
චූටි දෝණි මොකක්හරි දඟ වැඩක් වත් කරා වත්ද ?
ටීචර් ඒකට කම්ප්ලේන් කරන්න හදනවා වෙන්නැති ..
හිරූෂා එහෙම හිතමින් කලබලයෙන් ඉස්කෝලෙට දුවගෙන ගියා ..
අම්මව දැකපු ගමන් චූටි දෝණි සතුට වැඩි කමට අත්පුඩි ගහන්න ගත්තා ..
“අ..ම්..මා…”
චූටි දෝණි එහෙම කියාගෙන අම්මව තුරුල් කර ගත්තා …
හිරූෂා චූටි දෝණිව අතින් අල්ලගෙන ටීචර් ලඟට ගියා ..
“අද මෙතන කේශාරා හොඳ ජල්ලියක් අල්ලලා ඉන්නේ …”
“ඇය ටීචර් ..මොකද්ද උනේ ?..”
“කෑම කන්න කිව්වම ලන්ච් බොක්ස් එක පොලවෙ ගහලා දැම්මා..බිමට හලපු බත් ටික අස්කරන්න dustpan එක ගන්න අල්ලපු පන්තියට ගිය ටිකට දරුවා එලියට පැනලා…”
“එළියට කිව්වේ ටීචර් ඉස්කෝලෙ වත්තට ද ?..”
“ඉස්කෝලේ වත්තට නම් තව කමක් නෑ …මෙයා කෙලින්ම ගිහින් තියෙන්නෙ මහපාරට ..”
“මො..න..වා ටී..ච..ර්..”
“මම dustpan එක අරගෙන පන්තියට එනකොට දරුවා පන්තියේ හිටපු නැති නිසා හොයන්න එලියට ගියා…”
“ඉතින් ටීචර් …”
ටීචර් හැම සිදුවීමක්ම හිරූෂාට කිව්වා …
ඒ දේවල් අහන් ඉද්දිදිත් හිරූෂාගේ ඇඟේ හිරි ගඩු පිපුණා …
හිරූෂාගේ ඇස් වලට කඳුළු පිරුණා .
අනේ දෙවියනේ මගේ දරුවාට වෙන්න ගිය අනතුර…
මම මාස ගානක් ඉස්කෝලේ දරුවා ළඟට වෙලා හිටියා..
ටීචර්මයි දරුවාව බලාගන්නම් කියලා මට ඉස්කෝලේ එන්න එපා කිව්වේ ..
එක දවසට සිද්ද වෙච්ච දේ …
මම දරුවාව ඇහේ මූනේ තියලා පරිස්සම් කරලා බලාගන්නේ..
එහෙවු මට තව පොඩ්ඩෙන් දරුවාව නැති වෙනවා …
හිරූෂා චූටි දෝණිගේ අතින් අල්ලගෙන කල්පනා කරනවා …
චූටි දෝණි අම්මාට වඩා ගන්න කියලා ඇඟේ එල්ලෙනවා ..
හිරූෂා චූටි දෝණිව වඩාගත්තේ ඒ පුංචි හිස ආදරයෙන් සිප ගෙන …
දරුවාගේ ආරක්ෂාව ගැන සහතික කරන්න බැරි පාසලක දරුවාව තියලා යන්නේ කොහොමද ?..
හිරූෂාගේ හිත වද වෙනවා ..
හිරූෂා හදිසි තීරණ ගන්න කෙනෙක් නොවුනත් පාසලේ පන්ති කාමරේ ඉඳන්ම හිරූෂා තීරණයක් ගත්තා ..
ඒ දරුවාව පාසලෙන් අස් කරන්න …
ඒත් හිරූෂා නිහඬව හිටියේ ගිහාන් එක්ක මේ දේවල් කතා කරන්න ඕන නිසා ..
හිරූෂා චූටි දෝණිව රැගෙන කල්පනා බරිතව පාසලෙන් පිට වුණා …
“චූටි දෝණි ඇයි ක්ලාස් රූම් එකෙන් එලියට පැනලා පාරට ගියේ.හොඳ ළමයි එහෙම කරන්නේ නෑනේ …බලන්න තව පොඩ්ඩෙන් මගේ දෝනි ඇක්සිඩන්ට් වෙනවා නේ ..ආයේ නෝටි වැඩ කරන්න එපා …”
හිරූෂා ගෙදර ඇවිල්ලා චූටි දෝණිට එහෙම අවවාද දුන්නා …
චූටි දෝණි ඇස් දෙකත් ලොකු කරගෙන සේරම අහන් හිටියා ..
දැන් චූටි දුවට කියන හැමදේම හොඳට තේරෙනවා ..
ටීචර් මට බැන්නා ..අම්මා වගේ මට කවුරුවත් ආදරේ නෑ …මට අම්මා ළඟට දුවන් එන්න හිතුනා …
නෝටි වැඩක් කරනවා කියලා හිතුණේ නෑ අම්මී..
චූටි දෝණිට එහෙම කියන්න ඕන උනත් උගුරට එක වචනයක්වත් ආවේ නෑ ..
දුව ඇස් වල කඳුළු පුරෝගෙන අම්මව තුරුල් කර ගත්තා ..
“අ..ම්.මා “
එතනින් එහාට එක වචනයක්වත් පිට වුණේ නෑ ..
තරහ වැඩිකමට චූටි දෝණි අඬන්න ගත්තා ..
හිතේ තියෙන හැඟීම් වචනයෙන් කියන්න බැරි චූටි දෝණි හරිම අසරණයි ..
උගුරේ කිසිම ආබාදයක් නැතිවුනත් ..
කන් හොදින් ඇසුණත්..
චූටි දෝණිගේ අවධානය අඩු නිසා චූටි දෝණි දන්න වචන ප්‍රමාණය හරිම අඩුයි ..
ඒ තමයි ඔටිසම් රෝගයේ ස්වාභාවය …
හිරූෂා හඬන චූටිදෝණිව සිප වැළඳ ගත්තා..
කොපමණ බෝධිපූජා කරත් ,
කොපමණ බාරහාර වුණත්,
චිකිත්සක ප්‍රතිකර්ම කරත් ..
කැප කිරීමෙන් දරුවාගේ වැඩ කළත් තවම මේ දරුවව කතා කරවගන්න බැරි වුණා …
වෙන මොනවත් ඕනේ නෑ…
දරුවාව කතා කරගන්න තිබ්බා නම් ඇති..
හිරූෂා එහෙම හිතමින් සෝ සුසුම් හෙළුවා ..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
රෑ නිදාගන්න ඇඳට ගිය ගිහාන්ට මතක් වුණේ චේතනාව …
චේතනා වෙනදාට දවසට කීපාරක් කෝල් කරනවාද?..ඒත් අද එක කෝල එකක්වත් නෑ..
කාර්යාලය අවසන් වී ගෙදර ගිය මොහතේ ඉඳන් ගිහාන් චේතනාට ඇමතුමක් දෙන්න උත්සහ කරත් චේතනාගේ ජංගමය ක්‍රියා කළේ නැහැ…
ගිහාන්ගේ ජංගමය නද දෙන්න ගත්තා..
චේතනාගේ ඇමතුමක් එනකල් මඟ බලාගෙන හිටපු ගිහාන් ඒ ඇමතුමට තිගැස්සී ගියා…
ඇමතුම හිරූෂාගෙන් කියලා දැක්කම ගිහාන්ගේ හිතට දැනුණු උද්‍යෝගය අඩුවෙලා ගියා …
“හලෝ…”
ගිහාන් කතා කරේ ඕනෑවට එපාවට වගේ…
“ගිහාන් ඇයි ඔයාට අසනීපයක් වත්ද?..”
“එහෙම එකක් නෑ හිරූෂා…ඇයි කතා කළේ..?..”
ගිහාන් ඇහුවේ ගහගන්න වගේ..
“ඇයි මට දැන් ඔයාට කතා කරන්න වත් බැරිද?..”
“මම එහෙම කිව්වේ නෑනේ මොකක්ද නඩුව…”
“ඇයි ගිහාන් ඔහොම කතා කරන්නේ..මම කතා කරනවට ඔයා කැමති නැද්ද?..”
“නෑ ඉතින් ඔය ගෙදර කොයි වෙලාවෙත් මොකක් හරි ප්‍රශ්නයක් නේ..”
“ඇයි මේ ගෙදර මගේ විතරද?.ඔයාගේ ගේ නෙවෙයිද?…..”
“නෑ ඉතින් අර ළමයා නිසා ඔය ගෙදර කොයි වෙලාවත් ෆයර් වෙලානේ තියෙන්නේ..”.
“අර ළමයා කියලා කියන්නේ ඒ ඔයාගේ දරුවා නෙවෙයිද?..ගෙදර ,ළමයි ,ප්‍රශ්න මේ සේරම මගේ..ඔයා මේ හැම දෙයකින්ම පැනලා ගිහින් ඔහෙට වෙලා ජොලි කර කර ඉන්නවා .”
හිරූෂා කිවේ ගිහාන්ගේ නොසැලකිලිමත් කම, වගකීමක් නැති බවට තරහෙන්….
හිරූෂා එහෙම කිව්වාම නම් ගිහාන් තිගැස්සිලා ගියා..
හිරූෂාට මේ දේවල් ආරංචි වෙලාවවත්ද?
ගිහාන්ගේ හෘද ස්පන්දනය වේගවත් වුණා..
ගිහාන් අමාරුවෙන් උගුර පාදා ගත්තා..
“ඔව් මම මෙහෙට වෙලා ජොලි කරනවානම් තමුසෙලාට කන්න බොන්න දීලා ජීවත් කරවන්නේ කවුද ?..”
“ගිහාන් මම කතා කරේ ඔයා එක්ක රණ්ඩු වෙන්න නෙවෙයි..ඇයි ඔයාට මාව මෙච්චර රුස්සන් නැත්තේ…”
හිරූෂාට මේ මුකුත් ආරංචි වෙලා නෑ..
ගිහාන් මදක් සන්සුන් වුණා…
“එහෙම මුකුත් නෑ..කියන්න..”
හිරූෂා පාසලේදී වෙච්ච සිදූවීම් එකක් නෑර ගිහාන්ට කිව්වා..
ගිහාන් සාවධානයෙන් අහන් හිටියා..
“මම කිව්වා නේ ඕවා හරියන වැඩ නෙවෙයි කියලා..කොහොද ඉතින් හිතුවක්කාර කම නේ..”
“ඩොක්ටර්ස්ලා නේ කිව්වේ එහෙම කරන්න කියලා..ඒත් සාමාන්‍ය පාසල් වලට දැම්මාම මෙයාලව ටීචර්ස්ලා අතාරිනවා.ළමයි විස්සක් තිහක් එක්ක ටීචර්ස්ලාට මෙයාලා එක්ක හැප්පෙන්න වෙලාවක් නෑ..මම අපේ තෙරපි වලට යන තැන මිස් එක්ක කතා කරා..ඒ මිස් නම් කියන්නේ ස්පෙශල් යුනිට් තියෙන ඉස්කෝලෙකට දාන්න කියලා..”
ගිහාන් මොහොතක් කල්පනා කළා..
“ස්පෙශල් යුනිට් තියෙන්නේ ගවර්මන්ට් ලොකු ලොකු ස්කූල් වල..ඒවාට දාගන්න අමාරුයි.මම කියන්නද අපි මෙයාව යුනිට් එකක් තියෙන ප්‍රයිවට් ස්කූල් එකකට දාමු.”
හිරූෂාට ඒ අදහස හොඳයි කියලා හිතුණා…
“ප්‍රයිවට් ස්කූල් වලට හැබයි ගෙවන්න වෙයි..”
“මොනා කරන්නද ?..ඔය ළමයා ඉපදිලා තියෙන්නේ මගේ සබ්බ සේසතම නැති නාස්ති කරලා දාන්න..”
ගිහාන්ගේ ඒ කතාවට හිරූෂාට තරහා ගියත් හිරූෂා නිහඬව හිටියේ ගිහාන් දුවට එහෙම හරි වියදම් කරන්න කැමත්ත දුන්නු නිසා…
“මට නිදිමතයි..මම තියන්නම්..ගුඩ් නයිට්..”
ගිහාන් හිරූෂාට නිදිමතයි කියලා ඇමතුම විසන්ධි කරත් ගිහාන්ගේ ඇස් වලට පොඩ්ඩක් වත් නිදිමත දැනුණේ නෑ…
ගිහාන්ගේ මුළු හිතම කලබල වෙලා චේතනාව හොයනවා..
ගිහාන් කිහිපවතාවක්ම චේතනාට අමතන්න උත්සහා කළා..
.
“ඔබ ඇමතු දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත.කරුණාකර පසුව අමතන්න..”
ඒ හැම වතාවකම දුරකතනයෙන් ලැබුණේ ඒ ප්‍රතිචාරය විතරමයි…
ගිහාන් තරහෙන් ජංගම දුරකතනය පසෙකට කරලා දෙඇස් පියා ගත්තා..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
කඩ කෑම කාලා කාලා ගිහාන් හිටියේ හොඳටම් එපාවෙලා..
සතියක් මුළුල්ලේම චේතනා ආවේ නැති නිසා ගිහාන්ගේ නිල නිවාසයත් තිබ්බේ පිස්සන් කොටුවක් වගේ…
හරිහැටි පිරිසුදු නොකරපු ගේ…
දූවිලි වැකුණු බඩු මුට්ටු දැක්කම ගිහාන්ට මතක් වුණේ චේතනාව..
තේ සාදන්න කුස්සියට ගියාමත් ගිහාන්ට මැවි මැවි පේන්නේ චේතනා අතේ තියෙන වළලු සොලවමින් කෑම හදන හැටි…
ඒ වළලු වල සද්දේ පවා ගිහාන්ට තවම ඇසෙනවා වගේ …
චේතනා මේතරම් තමන්ගේ හිත ඇඳ බැඳ ගත්තේ කොහොමද කියලා ගිහාන්ට තවම හිතාගන්න බෑ..
චේතනාගේ ආදර වදන් වලින් නැළවෙද්දී ,
ඒ පහසෙන් සැනසෙද්දී ,
දැනෙන මිහිරියාව නැතිව ගිහාන්ගේ සිතයි ගතයි දෙකම වැළපෙනවා..
මුලදී කායික සුවයට පමණක් බැඳුනත් දැන් ගිහාන් මුළු හිතින්ම චේතනාට බැඳිලා…
පවුල් ජීවිතේ ප්‍රශ්න හැලහැප්පීම් නිසා ගිහාන්ට හිරූෂාව වදයක් වෙද්දී …
චේතනාව දැනුණේ සතුට සැනසීම පමණක් ගේන මදුවිතක් වගේ…
ගිහාන්ට දැන් චෙතනාව ම*ත් පෙත්තක් වගේ…
තත්වය තරාතිරම මේ හැමදෙයක්ම ඔලුව උඩ තියන් හිටපු ගිහාන්ට දැන් ඒ හැමදෙයක්ම අමතකයි..
චේතනා නැතිව ගිහාන්ගේ මුළු ගතම හිතම හඬා වැටෙනවා….
චේතනා ඇයි මට මෙහෙම කළේ…
ඇයි මාව මේ වගේ අමතක කළේ…
මෙහම කරන්න හේතුව මොකක්ද කියලා චේතනාට මට කියන්න වත් තිබුණා..
පාසල් පෙම්වතෙක් වගේ ගිහාන් වියරු වැටිලා..
ලක්ෂිකාට ඇමතුමක් ගත්තම ලක්ෂිකා කිව්වේ චේතනා චමිලගේ කාර්‍යාලටත් ආවේ නෑ කියලා..
අන්තිමට ගිහාන් තීරණය කළා චේතනා කියපු මං සලකුණු ඔස්සේ චේතනාගේ ගෙදර යන්න..
කාර්‍යාලය අවසන් වෙලා ගිහාන් චේතනාගේ ගේ හොයාගෙන ගියා..
වැඩට ගිහින් අවසන් වෙලා ගෙදර ඇවිත් සාලේ පුටුවක් උඩ වාඩිවෙලා හිටපු චේතනා ගිහාන්ගේ කාර් එකේ සද්දේ ඇහිලා එක පාරටම ගැස්සිලා ගියා ….
ආඩවනේ…මහත්තයා ගෙදර හොයාගෙන ඇවිල්ලානේද?..
මම දැන් මොනවද කරන්නේ ?…
චේතනා බය වෙලා ගෙට දිව්වා ..
කුස්සියේ උයමින් හිටපු අම්මා ළඟට චේතනා දුවගෙන ගියා …
“අම්මේ …මාව හොයාගෙන මාත්තියෙක් යෙවිත්…මම නෑ කියන්න ..”
“යේ මොකද?..”
“යේවා අම්මට වැඩක් නෑ ..මම කියපු දේ කරන්න “
චේතනාගේ අම්මා චේතනාගෙන් මොනවද අහන්න හැදුවත් ඊට කලින් චේතනා කාමරේට ගිහින් දොර වහහත්තා …
කාමරේ දොර අගුලු දා ගත්තා ….
ටක්….ටක්…ටක්….
ගිහාන් දොරට තට්ටු කරා ..
චේතනාගේ අම්මා හැඳි ගගා හිටපු හොද්ද ලිපෙන් බාලා ගේ දොර ඇරියා …
“චේතනා ඉන්නවද ?”
“චේතනා නෑ මාත්තයා…”
“මේ චේතනා ගේ නෙවෙයිද ?..”
“චේතනාගේ ගේ තමා..චේතනා වැඩකට ගියා …”
“චේතනා ආයේ කවදද එනවා කිව්වේ ?..”
ගිහාන් එහෙම ඇහුවේ චේතනාගේ ගේ වටපිට දිහා බලලා …
හරිම පුංචි ,දිරාපත් වන ගෙයක් …
ටකරන් වහල නිසා උෂ්ණාධික මේ පළාතේ උෂ්ණය වැඩිපුර ගේ ඇතුළේ රැදුණා…
චේතනාගේ අම්මා මොහොතක් කල්පනා කරා ….
“ත.ව ද..ව..ස් දෙ..ක තුනකින් එයි මාත්තියා..”
හමුවෙමු මීලඟ කොටසින්