08 වන දිගහැරුම
Episode 08
“දිසෙන් ඔයා මගේ බොඩිගාඩ් වුනාට ඒක මේ ඔෆිස් එකේ කවුරුවත් දැනගන්න බෑ…මම ඊයේ රෑ ඉදන් කල්පනා කරා මේ ගැන….මම තීරණය කලා”.
ඈ එසේ තරුණයාට පවසන් යද්දීම යමෙක් ඇගේ කුටිය ඉදිරිපිට බලාසිටිනවා දුටු හෙයින් ඈ කරමින් සිටි කතාව නවත්වා……
අද එතැන් සිට 💓💓💓💓
ඒ පුද්ගලයාට අතින් සන් කළේ එතැනට පැමිණනෙ ලෙසයි.
“Madam told me to come to the cabin”
එසේ අසමින් එතැනට පැමිණියේ මැදිවියේ පසුවන පුද්ගලයකුයි.තරුණයාට ඉංග්‍රීසි බස හැසිරවීමට වටහාගැනීමට හැකිදැයි කල්පනා කර ඇය ඔහු හා සිංහලෙන්ම කතා කරේ තරුණයාව අපහසුතාවයකට ලක් නොකිරීමටයි.
“මිස්ට දුනුවිල මේ මගේ පී .ඒ ..හෙට ඉදන් එයා වැඩ බාරගන්නවා.”
“ම්ස්.මට මේ ළමයාගේ සෙටිෆිකට් මට බාරදන්න කියන්න .මොකක්ද මිස් මේ ළමයාගේ නම?”.
දුනුවිල එසේ අසද්දී සෙහන්සා නිහඬව දිසෙන් දෙස බැලුවේ ඈ ඔහුගේ සම්පූර්ණ නම නොදන්නා බැවින්.
“දිසෙන් අමරවංශ”.
තරුණයා එසේ කීවේ දුනුවිල දෙස බලමින් ඔහු ඉන්නේ මේ කිසිවක් හිතාගත නොහැකිව ය.
“දිසෙන් අපේ කසින් කෙනෙක් වෙනවා මිස්ට දුනුවිල.එයාට පොඩ්ඩක් උදව් කරන්න.මගේ කැබින් එකේ එහා පැත්තේ කොනේ මෙයාට ටේබල් එකකයි ඩෙස්ක් එකකු යි ඇරේන්ජ කරලා දෙන්න”
“හොඳමයි මිස්.මම ලෑස්ති කරන්නම්”
දුනුවිල එසේ කීවේ ඇගේ කාර්‍යාලය
කුටියෙන් පිටව යන ගමන්මය.
සෙහන්සා දෙස දිසෙන් බලා සිටියේ විමතියෙන් මෙන් ඈ මේ සිදුකිරීමට යන්නේ සිතමින්..
“සොරි දිසෙන් ඔයාට ඒක කියන්න කලින් මිස්ට දුනවිල ආවා.එයා තමයි මෙහේ H.R.Manager .මම තීරණය කලේ ඔයාව මගේ පී.ඒ කරන්න”.
දිසෙන් කල්පනා කරන්නට වුයේ ඔහුට එය වටගහාත නොහැකිවය.
සෙහෙන්සා ට ඔහු උන් ඉරියව්වෙන් වැටහුණේ තමා පැවසූ දේ ඔහුට වටහාගත නොහැකි බවයි.
“ඒ කියන්නේ ඔයා අද ඉදන් මොඩර්න් ටෝයිස් ප්‍රයිවට් ලිමිටඩ් වල කළමනාකාර අධ්‍යක්ෂකගේ පුද්ගලික සහයක .”
දිසෙන් මොහොතක් බලා සිටියේ ඈ කියනා දේ අදහාහත නොහැකිව මෙනි.
තමා වැනි කෙනෙක් මෙවන් තනතුරකට කෙසේ සුදුසු වෙන්නේදැයි කල්පනා කරමින් තරුණයා උන්නේ මොහොතක් නිහඬවය.
“මම කොහොමද මිස් මේ වගේ ජොබ් එකකට ගැලපෙන්නේ.මම ත්‍රීවිල් දුවපු කෙනෙක්.මම වගේ කාඩයෙක්ට මේ වගේ ජොබ් එකක් හරියනවද?”
දිසෙන් එසේ ඇසුවේ ඈගේ සොඳුරු මුහුණ දෙස අපහසුවෙන් එක එල්ලේ බලමිනි.
ඔහු තමාගේ දෑස් දෙස මෙසේ බලා සිටියදී තමාට උන් හිටි තැන් එක්වර අමතක වී ගියාක් සේ දැනිණි.
ඈ මොහොතක් ඔහු දෙස බලා සිටියේ ඒ දෑස් වලින් ඔහුට මොනවාදෝ මුමුණමින්.
ඔහුගේ හිත හිරිවැටී යන්නාසේ දැනුණේ ඇගේ ඒ බැල්මටය.
ඈ දෑසින් තමාට යම්කිසි ඇරයුමක් කරන බවක් ඔහුට හැඟිණි
.ඇගේ තද දුඹුරු පැහැති බෝල ඇස් දෙකට තමාගේ හදවත සොරකම් කිරීමට දිය නොහැකි බව තරයේ තම සිතට සිහිපත් කරදෙමින් ඔහු බිම බලාගත්තේ ඒ බැල්ම මඟ හරවාගෙනය.
ඈද එක්වරම බිම බලාගත්තේ ලැජ්ජාවෙනි.
ඇය මෙතෙක් කල් කිසිම තරුණයෙකු දෙස මේ ආකාරයෙන් බලා නැත.
කිසිදා කිසිවකු හමුවේ නොනැමී නිසල ව හුන් තම සිත මොහු ඉදිරියේ මෙතරම් සසල වෙන්නේ ඇයිදැයි ඈ උන්නේ සිතා ගත නොහැකිවය.
තමා තරුණියක් නිසා ඔහු තමා ගැන වැරදියට සිතාගත හැකියයි ඈට සිතිණි.එහෙත් තරුණියන්ට තරුණයන්ට මෙන්ම ආදර හැඟීම් ඇති වෙන්නේ නැත්ද?
තරුණියන් පමණක් සෑම විටම තම හැඟීම් යටපත් කරන් ජීවත් විය යුතුදැයි සිතමින් ඈ මොහොතක් කල්පනා කළාය.
සිය සිත අපහසුවෙන් හසුරාගත් සෙහන්සා උගුරකට වේලී මෙන් තිබූ සිය උගුර පාදන් කතා කරන්නට ගත්තේ අපහසුවෙන් ඒ මුවට වචන ගනිමිනි.
“ඇයි ඔහොම තමන්ව පහත් කරන් කතා කරන්නේ.ඔයා හොදට ඉගෙන් ගත්ත කෙනෙක්.ඔයා කොළඹ ආවේ හොඳ ජොබ් එකක් හොයාගෙන ජොබ් එකක් හම්බවුණේ නැති නිසානේ ඔයා ත්‍රීවිල් රස්සාව කරේ”
ඈ එසේ කිව්වේ ඔහු දෙස සෲජු බැල්මක් හෙළමිනි.
“මම ඉංග්‍රීසී හොඳට දන්නේ නෑ.කම්පියුටර් දන්නේත් නෑ.ඉතින් මිස්ම කියන්න මම මේ වගේ ජොබ් එකකට ගැලපෙනවද?”
දිසෙන් කීවේ ඒ ඔහුට සිතිණු දේය.
“මම ඔයාට උදව් කරන්නම්.අපි ටික ටික ඒවා ඉගෙන ගමු.උනන්දුවයි උත්සහයයි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ .ඔයා මගේ ජීවිතේ බේරා ගත්තා දිසෙන්.මම අද ජිවත් වෙන්නේ ඔයා නිසා මම මැරෙනකන් ඒක අමතක කරන්නේ නෑ.
සෙහන්සා එසේ කීවේ මහත් හැගීම්බර හඩකින් බව දිසෙන්ට වැටහුණි.
ඒ හදවතේ තමා කෙරේ සුවිශේෂි හැඟීමක් ඇති බව දිසෙන්ට වැටහුනත් ඒ හැඟීම් තෝරා බේරා ගන්නවට වඩා කෙසේහෝ කිසිවක් නො වැටහුනා සේ සිත දැඩි කර සිටීමට ඔහු සිතා ගත්තේය.
ඇගේ කාර්‍යාලීය කුටිය තුළ සිටියේ ඔහුගේ මිතුරා මහේල කී පරිද්දෙන්ම ඇස්,කන් නැති පරිද්දෙනි.
වැරදීමකින් වත් ඇගේ ඇස්වල නොගැටී ඔහු දෙනෙත් හසුරුවා සිටියේ අපහසුවෙන්.
දහවල් කෑම වේලාවේදී ඈ කෑමගෙනවිත් තිබුණේ ඔහුටත් සමඟමය .
මැගිලින්‍ට කියා ඈ ඔහුටත් සමඟ බත්මුලක් බැඳන් ආ ඇය එය ඔහුගේ අත තැබුවේ
“දිසෙන් යමු ලන්ච් ගන්න.ලන්ච් රූම් එක එහාපැත්තේ තියෙන්නේ”.
කියමින් කෑමට යන්නට සූදානමිනි.
“මිස් කාල එන්න .මට දැන්ම බඩගිනි නෑ.”
ඈ සමඟ ජෝඩු දා කෑමට යාමට
පැකිළිණු ඔහු කීවේ අසීරුවෙන් ඇගේ දෑස් මගහරිමින් ඇය අධ්‍යනය කිරීමට දුන් ලිපි ගොනු දෙස බලමිනි.
තමා මග හැරීමට ඔහු එසේ කියන බව දැනගත් සෙහන්සා නිහඬවම ආපන ශාලාවට ගියේ ඔහුගේ ආඩම්බරකමට සිතින් බනිමින් .
💓💓💓💓💓💓💓💓💓
ඇය ඇගේ හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් රිය පදවන් ගියේ මඳක් අසීරුවෙන් මෙනි.
ඒ දවස පුරාම මෙසේ ඔහුට ළංවී සිටියත් ඔහු තමා ගැන කිසිදු නිනව්වක් නොමැතිව හැඟීමක් නොමැතිව හිඳිනා අන්දම ඇගේ හදවත පාරවන බැවිනි .
ඒ ගැන කල්පනා කිරීමෙන්ම ඇගේ හිස කකියන්නට මෙන් වූයෙන් ඈ සිටියේ අපහසුවෙන් රිය පදවමින්.
ඇගේ රිය ඇදෙන්නට වූයේ වැල්ලවත්ත දෙසට බැවින් දිසෙන් ඇය දෙස බැලුවේ කුහුලෙන් .
“මිස් අපි ගෙදර නෙමේ ද යන්නේ ?”
ඔහු එසේ අසද්දී ඈ එක්වරම ගැසීසී ගිය අයුරින් ඔහු දෙස බැලුවේ ඇගේ නලලත වේදනාවෙන් මිරිකාගමින්.ඔහු ඈ දෙස බැලුවේ ඈහට අසනීපයක් ඇත්දැයි
සිතමින්.
“මගේ ඔළුව ටිකක් රිදෙනවා වගේ .මට නුගේගොඩට පොඩ්ඩක් යන්න ඕනේ .ඒත් ඩ්‍රයිව් කරගන්න අමාරුයි “.
ඇය කීවේ තවදුරටත් රිය ඉදිරියට ගෙන යමින් ඔහු දෙස නොබලාමය.
“කෝ දෙන්න මිස් මන් ඩ්‍රයිව් කරන්නම්”.
දිසෙන් එසේ කීවේ ඇය ගැන උපන් අනුකම්පාවෙන් .
“ඔයාට පුලුවන්ද මේක ඩ්‍රයිව් කරන්න”.
තරුණිය එසේ කීවේ රියේ වේගය අඩුකරමිනි.
“මිසුත් මොනව කියනවද මන්දා .ත්‍රීවිල් දුවපු මට මේ කාර් එක මොකක්ද?.අපේ තංගල්ලේ ඉන්න ලොකු තාත්තාට කාර් එකක් තියෙනවා.මේ වගේ ලොකු එකක් නෙමේ ලාන්සර් එකක්.මම ඒක පැදලා පුරුදු උනේ පොඩි කාලේමයි.අර ඉස්සරහ ලේන් එක ළග වාහනේ නවත්වන්න.මම ඩ්‍රයිවින් සීට් එකට එන්නම්”.
ඈ රිය ඒ මාවතට ගෙන ගොස් නැවත්වූයේ ඔහුගේ ඒ කීමටය.ඔහු හා.ඇය අසුන් හුවමාරු කරගත්තේ සැනෙකිනි.
ඔහු හොඳින් හුරු පුරුදු ලෙසින් තම රිය හසුරුවන අන්දම ඇය බලා සිටියේ විස්මයෙන්.තමා තමාවත් ඔහු තරම් දක්ෂ ලෙස රිය නො පදවන බව ඈට සිතුනි .
මඳක් දුර රිය පදවාගෙන ගිය තරුණයා රිය නැවැත්වූයේ ඉදිරියේ වූ ෆාමසියක් අසලය .
සිය හිස අතගාමින් උන් ඇය එක් වර ඔහු දෙස බැලුවේ.
“ඇයි නැවැත්තුවේ??”
” මම පොඩ්ඩක් පාමසියට ගිහින් එන්නම් මිස්”
ඔහු කීවේ එහි රථගාලේ ඇයගේ රිය නවත්වමිනි
.ෆාමසියට බැස ගිය ඔහු මද වෙලාවකින් ආවේ ඇය වෙත කුඩා බිස්කට් පැකට්ටුවක් හා පැනඩෝල් පෙති දෙකක් පාමින් .
ඇය එය තම අතට ගත්තේ ඇගේ දෑස් නලලේ තබා ගෙනය .ඒ තමා ගැන කිසිදු විශේෂත්වයක් නොදක්වන ඔහු මෙසේ එක්වරම තමා වෙත කාරුණික වීම නිසායි.
“ඔය බිස්කට් කාලා පැනඩෝල් දෙක බොන්න මිස්.”
ඔහු එසේ කීවේ නැවත රිය පැදවීමට පටන් ගනිමිනි.
“දැන් නම් මොකුත් කන්න බෑ දිසෙන්”.
ඇය කීවේ අප්‍රියාවෙන් මෙන් එදෙස බලමිනි.
“අපේ අම්මා කියනවා මිස් හිස්බඩ පැනඩෝල් බොන්න හොඳ නෑ කියලා
කොහොම හරි එකක් හරි කන්න මිස්”.
ඇගේ මුවඟට මදහසක් ආවේ ඔහු මේ ආකරයෙන් තමා ගැන සිතීම ඇයට සතුටක් ගෙන දුන් බැවිනි.
ඈ ඒ හවායන් කුකීස් බිස්කට් පැකට් එක විවර කර ඉන් බිස්කට් එකක් හිමිහිට කෑවේ ඔහු දෙස හොරෙන් බලමිනි .
ඉන් අනතුරුව පැනඩෝල් දෙක ඈ බීවේ ඇගේ මුව ඇඹුල් කරගනිමින්.
ඔහුට මඳ සිනාවක් ගියේ අප්පිරියාවෙන් කුඩා ළදැරියක් පරිද්දෙන් ඈ පැනඩෝල් බී ආකාරයටය.
ඇගේ හැම ඉරියව්වක්ම හැම හැසිරීමක්ම තමාගේ සිත මෙතරම් බැදගන්නේ ඇයි දැයි ඔහුට ගැටලුවකි .
ඈ අබියසදී සැහල්ලු වන සිය සිත මේ අයුරින් දරදඬු කරන් සිටීමට වීමෙ මොනතරම් කරුමයක්දැයි සිතූ තරුණයා රිය පදවන්නට වූවේ නිහඬමය.
රිය නුගේගොඩට පිවිසෙද්දීම ඔහු ඈ දෙස බැලුවේ රිය නැවත්විය යුත්තේ කොහේදැයි ඇසීමටය.එහෙත් ඈ උන්නේ අසුනේ හිස හේත්තු කරගෙන ඇගේ ඇස් දෙඇස් පියාගෙනමය.
ඈ ඉන්නේ අපහසුවෙන් යැයි සිතුණු තරුණයාට ඈ ගැන ඇතිවුණේ දුකක් සමග මුසු වූ අමුතුම හැඟීමකි.
ඈ මුල්වරම දුටු වෙලේ පවා සිය සිත සෙළවුණ හැටි ඔහුට මතකය.සිහියක් පතක් නැතිව දැඩි නිද්‍රාවෙන් සිටි ඈව මහේල ගේ ගෙපැලේ යහනේ ඔසවා තැබුවේ ඔහුමය.
එවෙලේ ඇගේ කිරිගරුඩ මෙන් දිලෙන දෙවොටර වලින් හරි අඩක් විවරව තිබියදී තමාගේ සිතේ ඈ ගැන ඇතිවූයේ අසංවර ආශාවක් නොව ඈගේ අඩනිරුවත් සිරුර මහේලගේ දෑස් වලින් වසන් කරගැනීමය. ඇද මත පසෙක තිබූ චීත්තය ගෙන ඇගේ ගත මත පෙරවූයේ එහෙයිනි
වසන් කරන් සිටියද තම සිතේ ඈගැන සිතෙන්නේ අමුතුම ලෙන්ගතුකමකි.ඔහුට සිතුණේම ඇගේ හිස අතගා ඇගේ නළලත සිපගැනීමටයි.
“උ/ඹ නම් මාව පිස්සෙක් කරනවා කෙල්ලේ.”
ඔහු තම සිතට කියාගත්තේ එසේය.
එහෙත් එක්වරම ඔහුට සිහිපත් වූයේ ඈ ඉන්නේ තමාට නෙළීමට තබා සිතීමට නොහැකි උස අත්තක බවයි.අපහසුවෙන් සිය සිත මැඩ ගත් ඔහු සිය හඬ අවදි කලේ ඈට කතා කිරීමටයි.
“මිස් අපි දැන් ඉන්නේ පාමංකඩ පහුකරලා.මිස්ට කොහන්ද බහින්න ඕනේ”.
ඈ ඇගේ බෝල ඇස් විවර කරමින් වටපිට බැලුවේ ඈටයාමට අවැසි පෙදෙස පසුවුනාදැයි බලමින්.ඉදිරියෙන් එහාපසින් එය තිබෙනවා දුටු ඈ කීවේ
“දිසෙන් හමීඩියා එක ළග නවත්වන්න”.
ඈ කීවේ නුගේගොඩ හයිලෙවල් පාරේ ඇති හමීඩියා වෙළද සැල පෙන්වමින්.ඔහු නිහඬව රිය අනෙක් පසට හරවා එය අසළ නැවත්වූයේ හිසරදයෙන් පෙළෙමින් කුමකට ඈ එහි යනවාදැයි කල්පනා කරමින්
💓💓💓💓💓💓
හමීඩියා වෙළඳ සංකීර්ණයේ ඈ පිවිසියේ පිරිමින් සඳහා වෙන්වූ කාර්‍යාලීය ඇඳුම් කුටිය වෙතටයි.ඔහු ඈගේ මුහුණ දෙස බැලුවේ මේ ඈ සැරසෙන්නේ කුමකටදැයි බැලීමට මෙනි.
“දිසෙන් කියන්න ඔයාගේ ෂර්ට් සයිස් එක”
ඈ එසේ ඇසුවේ තරුණයා දෙස බලමින් සිහින් ස්වරයකින්.
ඈ මේ සදන්නේ තමාට කාර්‍යාලයට ඇඳීමට ෂර්ට් ගැනීමට බව ඔහුට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත.
“මිස් මේ ඔලුව කැක්කුම අස්සේ මෙහේ ආවේ මට ෂර්ට් ගන්නද?මට ඕන්නෑ මිස් කාටවත් වාතයක් වෙන්න.මම මේ මාසේ සැලරි ගත්තම ගන්නම්.එතකන් තියෙන ඇදුමක් අදින්නම්”.
දුප්පත් වූවා කියා මෙසේ අනෙකුන්ට නිකරුණේ දෑත පෑම මොන ලැජ්ජා නැති දෙයක් දැයි සිතමින් ඔහු එසේ කීවේ සිය අකමැත්ත පෙන්වමින් මුහුණ පුළුටු කරගනිමින්.
“මේ දිසෙන් ඔයාට මම මේවා නිකන් නෙමේ දෙන්නේ සැලරි ඇලවුන්ස් එකක් විදියට.ඔයා ට මාසේ අන්තිමට සැලරි දෙද්දී මම මේක එකෙන් කපා ගන්නම්.දැන් කියන්න ෂර්ට් සයිස් එක?”
ඈ එසේ කීවේ ඔහුව මඳක් සන්සුන් කරමින්.
“පහළවාමාර මිස්”.
ඔහු එසේ කීවේ එහි ඇති අනේක පාට ෂර්ට් දෙස බලමින්.
“මට පහළවාමාරෙන් ලානිල් පාට ලෝන්ග් ස්ලීව් එකකුයි සුදු පාට ලෝන්ග් ස්ලීව් එකකකුයි ලයිට් පර්පල් ලෝන්ග් ස්ලීව් එකකුයි ලයිට් පින්ක් ෂෝර්ට් ස්ලිව් එකකුයි ලයිට් ග්‍රීන් ෂෝට් ස්ලීව් එකකුයි දෙන්න.”
ඈ එසේ කීවේ වෙළඳ සැලේ සේවකයා වෙතටයි.
“ට්‍රවුසර් සයිස් මොකක්ද?”
ඈ නැවත ඇසුවේ සිහින් හඬින්
“34 මිස්”.
ඔහු කීවේන් ඈ වහ වහා තද නිල්පාට,කළුපාට,අළුපාට කලිසම් තුනක් තෝරාගෙන එයත් ෂර්ට් සමඟින් ඇඳුම් තෝරාගත් බෑගයටම දමා ගත්තාය.
“අරවත් ගන්න නෑ නේද පහ ගානේ ගන්න”
ඈ එසේ කීවේ ලැජ්ජාවෙන් මෙන් ඔහුට
යට ඇඳුම් පෙදෙස පෙන්වමින්.ඔහු එදෙසට ගියේ ලැජ්ජාවෙන් ඈට නොපෙනෙන්න සිනහෙමින්.
💓💓💓💓💓💓💓💓
ඔහු රෑ කෑම කා අනතුරුව සයනයට ආවේ ඈ ගැන උපන් සිතුවිලි දහසක් සිය හදවතට තුරුළු කරගනිමිනි.
ඈ කාර්යාලයට ඇඳීමට අවශ්‍ය සියලු ඇඳුම් මතක් කරමින් අරගත් අයුරු කාර්යාලයට ගැලපෙන සපත්තු ජෝඩුවක් පවා තෝරා දුන් අයුරුත් අවසානයේදී මිල අධික විදේශීය පිරිමි සුවඳ විලවුන් වර්ගයක් තිළිණ කළ අයුරු ඔහුට සිහිපත් වේ..
මේ තරුණිය මේ ආකාරයෙන් තමා ගැන සිතන්නේ ඇයිදැයි ඔහුට සිතාගත නොහැක.
ඇගේ සිත තුළ තමා වෙනුවෙන් පවතින්නේ කුමනාකාරයේ ලෙන්ගතුකමක් ද ?
ඒ තමා ඇයගේ ජීවිතය බේරා ගැනීම නිසා හටගත්තක්ද ?
නැත්නම් ඈ තමාට ආදරය කරනවාදැයි සිතාගත නොහැකිව ඔහු මදක් කල්පනා කරන්නට වූයේ ය .
ඔහු සිය කුටියේ වූ ජනේලය සමීපයේ මෙසේ කල්පනා කරමින් සිටින විට එක්වරම ඔහුගේ දෑස ගැටුණේ රෑ අහසයි.
ඒ අන්ධකාර අහසට සඳ මඩළ ගෙන එන්නේ කෙතරම් ආලෝකයක් ද?ඒ සඳ දෙස බලා සිටියදී පවා ඔහුට සිහිපත් වූයේ ඇයයි.
සඳ එළිය මුළු ලොවටම අයිති වුවත් සඳ අයිති අහසට ය.එලෙසම ඇයද එසේමය .
ඇය තමාගේ ජීවිතය එකළු කරත් තමාට ඈ හිමිකර ගැනීම තබා සිතීමද පවා නොහැකි බව සිතුනු තරුණයා විසල් හුස්මක් සුළඟට මුසු කරේ තමා ගැන ම උපන් දුකිනි.
එක් වරම ඇතිවූ සිතුවිල්ලකට අනුව ඔහු සිය කුටියේ වූ ජනේලය වසා දැම්මේය.
සිය සයනයේ වැතිරුණු ඔහු කල්පනා කරන්නට වූයේ තමා ගේ සිත අධි මාත්‍රික ව මත්කරන ඒ බැල්මෙන් ඒ සිනහවෙන් කෙසේ ගැලවෙන්නේ දැයි සිතමිනි.
ඈ ළඟම සිටියදී ඈ සිතට මේ අයුරින් ලංවෙද්දි ,තමා කෙසේ සිය සිත දරදඬු කරගෙන ඈට තම සිතට ඇතුළු නොවිය හැකි ආකාරයට සිය සිත දොරගුළු දාගන්නේ දැයි ඔහුට සිතාගත නොහැක .
එසේ වුවත් අපහසුවෙන් හෝ ඇයට දුකක් දී හෝ එසේ කරනවා හැර කිරීමට වෙන දෙයක් නොමැතිබව ඔහු තම සිතට සිහිපත් කර දෙමින් ………
හමුවෙමු මීලඟ දිගහැරුමෙන්