මහේලගේ කලිසමේ කොනක එල්ලුණු බලුපැටියා බුරමින් කෑ ගැහුවේ ඔහුගේ හද හැස්ම වැඩිකරමිනි.

බලු පැටියා තමාව සපා කන්නට තැත් දරන්න්නේ යැයි සිතුණු මහේල බලු පැටියාට කෑ ගහන්නට වූවේය.

“දුප්…දුප්”

දිසෙන් වහා පහත් වී බලු පැටියා ඔහුගෙන් මුදවා ගෙන සිය දෑතට ගත්තේය.

“මොකෝ….මේ රණ්ඩු කරන්නේ.අපිව අඳුරන්නේ නැති නිසාද පැටියෝ”.

දිසෙන් බලු පැටියා ගේ ඇඟ මුදුවට අතගාමින් ඉන් අනතුරුව හිස අතගාද්දී බලු පැටියා උන්නේ ඔහුට හොඳ හැටි හීලෑවීය.

මේ සිදුවීම දෙස ජයන්ති පුදුමයෙන් බලා සිටියාය

සෑම දෙයක්ම දෙස සැකයෙන් බැලීමට පුරුදු වී ඇති ඇය මේ තරුණයා දෙස සැකයෙන් බැලුවේ එක් ක්ෂණයකින් මේ තරුණයා බලු පැටියාව ඔහුට හීලෑ කරගත් නිසාවෙනි.

ව්‍යායාම අවසන් වී නිවස තුළට පැමිණෙමින් උන් රෙජිනෝල් හා දුලන්සා පුදුමයෙන් ඇස් විසල් කරමින් බලන් උන්නේ නිවසෙන් බැහැර කිසිවෙකුගේ අතට නොයන බෲනෝ මේ තරුණයාගේ පපුවට තුරුල් වී සුව සේ හිඳිනවා දැකීමෙනි.

“දිසෙන් එක්ක යාලු වුනාට මෙයා ලේසියෙන් කෙනෙක් එක්ක යාලු වෙන්නේ නෑ.අපි හතර දෙනා අතට විතරයි යන්නේ.ගෙදර වැඩට ඉන්න කෙනෙක් ළගටවත් යන්නේ නෑ.මැගිලින් මේ දිසෙන්ට එයාගේ රූම්එක පෙන්වන්න”.

රෙජිනෝල් කෑම මේසය සූදානම් කරමින් උන් මැගිලින්‍ට එසේ අණ කිරීමත් සමඟ මැගිලින් එතැනට ආවේ දිසෙන්ව ඔහුගේ කාමරය වෙත ගෙන යාමටයි.

දුලන්සා මොහොතක් දිසෙන් දෙස බලා සිටියේ තරුණයා පහුගිය දිනට වඩා අද දින සමීපව දැකීම නිසාය.

ඔහුගේ උස් ,සික්ස්පැක් සිරුර කඩවසම් මුහුණ,තියුණු තීක්ෂණ ඇස් පැහැපත් රන්වන් පැහැය අතර මොහොතක් අතරමං ව සිටි තරුණිය ,ඉක්මන් ගමනින් උඩුමහළ බලා දිව ගියේ ඇගේ කාමරයට ගොස් ඇඟපත දොවාගෙන ඒමටයි.

දුලංසාඇඟපත දොවාගෙන ඇදුම් මාරු කර පැමිණියේ ඊට යාබද සෙහංසාගේ කාමරයටයි

ඒ වන විට සෙහන්සා කාර්‍යාලයට යාමට සූදානම් වෙමින් සිටියාය..

බිම පුරාවට වූයේ අල්මාරියේ වූ ඇඳුම්‍ ය.

සෙහංසාබොහෝ වෙලාවක් තිස්සේ ඇඳුම් තෝරමින් උන් බවට දුලන්සාට සිතිණි.

සෙහංසා ඇඳගෙන හිටියේ කාර්‍යාලයට අඳින දණහිසට මඳක් කොට අළු පැහැති ටයිට් සායකුත් රතුපැහැ අත්දිග බ්ලවුස් එකකුත් ය.

තොල් අලේපන ගල්වමින් සිටි සෙහෙන්සා කණ්නාඩි මේසයේ ප්‍රතිබිම්බයෙන් පෙනෙන සිය නැගණිය දෙස බැලුවේ ඇයගෙන් දෑසින් ඇයි යනුවෙන් සන් කරමිනි.

“අර ආපු දෙන්නාගෙන් කවුද අක්කී ඔයාගේ බොඩිගාර්ඩ්?”

දුලන්සා එසේ ඇසුවේ සෙහන්සා දෙස දෑස් විදහා බලා සිටිමිනි.

තමන් පැහැපත් වුවත් සොදුරු වූවත් සොයුරිය තරමට සුන්දර නැතැයි ඇයට සිතිනි .

සොයුරියගේ වටකුරු දිලිසෙන තද දුඹුරු ඇස්…….
සොදුරු සිනහව……
උස් හැඩති සිරුර…..

කෙතරම් සොදුරුද ?….

තමා කෙතරම් ව්‍යායාම කරත්,ආහාර පාලනය කරත් සොයුරිය මෙන් හැඩ නැතැයි දුලන්සාට සිතුනි ….

පුළුල් නිතඹ,පිරුණු ළමැද, සිහින් ඉඟක් ඇති අක්කාට ඕනෑම ඇඳුමක් ලස්සන යැයි ඇයට සිතිණි.

“සුදු උස එක්කෙනා නංගී.”

සෙහන්සා කීවේ ඔහුගැන විශේෂත්වයක් නොපෙන්වා මය .

“වාව් ඒ කියන්නේ අර ටැමිල් ඇක්ටර් කෙනෙක් වගේ එක්කෙනා නේද?අපේ කැම්පස් එකේ කෙල්ලෝ දැක්ක නම් ෂුවර් උන්ටික පිස්සු වැටෙනවා අක්කී.”

දුලන්සා එසේ කියද්දී සෙහන්සා ඇයගේ මුහුණේ ඉරියව් දෙස ප්‍රතිබ්ම්බයෙන් බැලුවේ තිගැස්සී මෙනි.

සිය සිත බැදුනා සේ දුලාන්සාගේ සිතත් දිසෙන් කෙරේ බැඳේ යැයි සැකයක් සෙහන්සා ට ඇති විය.

සෙහන්සා බියවී මෙන් දුලංසා දෙස බැලුවාය .

දුලන්සාගේ මුහුණේ ඉරියව්වල කිසිදු වෙනසක් නොතිබූ නිසා සෙහංසා උණුසුම් සුසුමක් පිට කළාය …

“අක්කේ ඒත් අවුල රස්තියාදුකාර පාට නේද?ත/මු/සේ කොහෙමද ඔහොම ඔෆිස් එකට එක්ක යන්නේ.බොඩිෆිට් ඇදලා සුදු යකඩ චේන් දාලා.පොඩ්ඩක් පොෂ් කරලා ගන්න වෙයි නේද?”.

දුලන්සා කීවේ අත්බෑගය කරේ දමාගෙන අඩි උස සපත්තු දෙක කකුළට දමාගන්නා සෙහෙන්සා දෙස බලමිනි.

“මේ ඔයා ඒගැන වද වෙන්න එපා.මම එයා ගැන බලාගන්නම්”.

“කතා කරන්නේ නිකන් තාත්තා ත/මු/සෙ/ට බඳින්න කෙනෙක් ගෙනත් දුන්නා වගේ .ඔය ඉන්නේ තමුසෙගෙ බොඩි ගාර්ඩ්.”

දුලන්සා සෙහන්සා ට ගස්සමින් කාමරයෙන් පිටවී ගියාය.

සෙහන්සා සිනහෙමින්ම පහළ මාලයට ආවේ නැගණිය කියූ වදන් සිහිපත් වීමෙනි.

ඉහළ මාලයේ සිට ඈ පහළට එන අයුරු දිසෙන් දැක්කේ උදෑසන කෑම කමින් ඉන්නාගමන්මය.

ඈ දුටු ගමන්ම කෑම හිරවෙන්නට මෙන් ආ හෙයින් ඔහු එක් ක්ෂණයෙන් වතුර විදූරුව ගෙන එක හුස්මට බොන්නට වූවේය.

ඉන්පසුව ඔහු බිම බලාගෙනම කන්නට වූයේ තමා ඈගේ මායා දැලට හසුවේයැයි බියක් දැනීය.

ඇගේ සිනහව,බැල්ම දුටුවන් අතරමං කරන සුළු හෙයින් තමා ඇගෙන් ප්‍රවේශම් විය යුතු වව ඔහු සිය සිතට සිහිපත් කරදෙමින් කෑම කන්නට වූයේ කෑම මේසයේ අසුන්ගත් ඈ දෙස එක බැල්මක් වත් නොහෙළාමය.

ඈ සිය පියාට යාබද අසුනේ හිඳගත්තේ හොරහෙන් ඔහු දෙස බලමිනි

ඈ කෑමට තෝරාගත්තේ පිට්ටු ය.පිට්ටු වලට පොල්කිරිත් ,කොච්චි දමා සැදූ ලුණු මිරිස් දමා අනමින් ඈ කෑවේ ඔහු කොයි මොහොතේ හෝ තමා දෙස බලාවි යැයි සිතමිනි.

එහෙත් ඔහු ඈ දෙස නොබලාම කනඅයුරු දකිද්දී ඈට දැනුණේ කිසිවෙක් සිය හද කොනිති ගසන්නා මෙනි.

කෑම මේසයේ කෑම ගනිමින් සිටි දිසෙනුත් මහේල දුටු ජයන්තිගේ මුහුණ නොරොක් වීමට වැඩි වේලාවක් ගියේ නැත ….

“ඔයාට අද ලෑස්තිවෙන්න පරක්කු උනාද ජයන්ති.මම පරක්කු නිසා කන්න ගත්‍තා.එන්න ඇවිත් කන්න”.

රෙජිනෝල්ඩ් එසේ කීවේ සෙහන්සා අසුන්ගෙන සිටින අසුනට යාබද අසුන ඈට පෙන්වමිනි.

එහෙත් ජයන්ති එහි ඉඳ ගත්තේ නැත …..

“මැගීලින් මට ගෙනියන්න උදේ කෑම එකක් බැදලා දෙන්න”.

“ටිකක් ඉන්න ලොකු නෝනා ගෙනත් දෙන්නම් ..”

ජයන්තිකිසි දිනෙකවත් මෙලෙස උදේට නිවසින් නොකා ගිය දිනයක් නැති හෙයින් රෙජිනෝල්ට වැටහුණේ ඈ මෙසේ හැසිරෙන්නේ තරුණයන් දෙදෙනා කෑම මේසයේ අසුන්ගෙන කෑම කමින් උන් නිසා බවයි.

මේ ගැන මේ මොහොතේ කතා කිරීම නුසුදුසු හෙයින් රෙජිනෝල් නිහඬව කෑම කන්නට වූයේ කිසිවක් නොසිදු පරිද්දෙනි.

“රෙජී .අද මට ටිකක් වෙලාසන යන්න ඕනේ.මම යනවා.දුව මම යනවා.නංගිව කැම්පස් එකෙන් බස්සවන්ම ඔයා යන්න”

ජයන්ති නිවසින් පිටත් වුණේ තරුණයන් දෙදෙනා ලෙස නොබලා ඉවත බලාගෙනමය.

සෙහන්සාත් සිය මවගේ වෙනස දැක අවබෝධ කරගත්තේ ඈ තරුණයන් දෙදෙනාට ඇති අකැමත්ත එසේ පෙන්වූ බවයි.

කෙතරම් සමාජ සේවා වැඩ කළත්,ළමා නිවාසයක් සිදුකරන් ගියේ ඈ ජීවත් වන්නේ පොළවේ පය නොගසා අහසින් පොළවට බැස ගත් අයෙකු පරිදියැයි සිතූ සෙහන්සා නිහඬව කෑම කන්නට වූවාය.

💓💓💓💓💓💓💓

“මචං පරිසස්මෙන් හොඳේ මෙහේ ඉන්නවනම් ඇස් කන් පියාගෙන ඉ/ඳ/ප?න්.නැත්නම් වැඩිදවසක් යන්න කලින් ජොබ් එකට කෙ/ළ/වෙලා යාවි”

“ඇයිඒ ?”

දිසෙන් එසේ ඇසුවේ අතට ටීෂර්ට් දෙකක් ගනිමින් ඉන් එකක් තෝරා ගත නොහැකිව කල්පනා කරන ගමිනි.

“එකක් සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්.අනික් එක කොට මොඩ්ල් ළග පිකප්.ඒ කෙල්ලෝ දෙන්නා දැක්කම මොන කොල්ලාගේද බං හිත නොයන්නේ.ඒකයි කිව්වේ ඇස්,කන් වහන් ඉ/ඳ/ප/න් කියලා.”

මහේල එසේ කීවේ දිසෙන් දෙස බලමිනි.

“අනේ මට පි/ස්/සු නෑ උස අතුවල මල් තියෙන්නේ බලන්න විතරයි කියලා මං දන්නවා.අපි වගේ කාඩයොන්ට පුලුවන්ද වෙන දෙයක් ගැන හිතන්නවත්.”

දිසෙන් කීවේ ඉන් සුදු පැහති අත් කොට ටීෂර්ට් එක ඇඳීමට තොරාගනිමිනි.

“Exuese me “

එක්වරම සෙහන්සා ඒ කාමරයට එබුණේ දිසෙන් උඩුකය නිරුවත්ව හිඳිනාවිටදීය.

ඈ මෙසේ සිය කාමරයට කඩාපනිති යැයි නොසිතූ දිසෙන් ඔහුගේ අත වූ ටීෂර්ට් එක ඇඳ ගත්තේ කලබලයෙනි.

“Am soory.මම හිතුවේ නෑ ඔය චේන්ජ් කරන ගමන් කියලා.මම ආවේ ඔයාට දෙයක් කියලා යන්න”.

සෙහන්සා කීවේ එක්වර දුටු දසුනින් ලැජ්ජා වී බිම බලාගෙනමය.

ඔහු මේ තරම් කඩවසම් යැයි ඈ මීට පෙර දැන සිටියේම නැත.

ඔහුගේ හොඳින් වැඩුණු මස් පිඬුවලින් පූර්ණ අත් ,උරහිස් ,ඒ පුළුල් පපු පෙදෙස දුටු ඈට සිතුණේ මේ තමා දුටු කඩවසම්ම තරුණයා ලෙසිනි.

මීට පෙර චිත්‍රපටිවලින් දුටු නළුවෙකුවත් මේ තරම් කඩවසම් නොමැති බව ඇයට සිතුණි.

“ඒ මොකක්ද මිස්?”

“ඔයා මා එක්ක ඔෆිස් යන නිසා ෂර්ට් එකක් වගේ ඇන්දා නම් හොඳයි.ඒක කියලා යන්න ආවේ”

තරුණිය කීවේ තවමත් බිම බලාගත් ගමන්ය.

“මම ගාව ෂර්ට් නෑ මිස්…ඉක්මනටම ෂර්ට් ටිකක් ගන්නම්”.

තරුණයා එසේ කීවේ මේ මොහතේ ඔහු අත ඒ සඳහා මුදලක් නොමැති බැවිනි.

“ඒකට කමක් නෑ.ඒත් ඔය සුදු යකඩ මාලේ ගලවලා දාන්න.”.

“හා,හරි මිස් මම ඒක ගලවන්න හිටියේ . මට විනාඩි පහක් දෙන්න මිස් .ලෑස්ති වෙලා එන්නම් “

සෙහන්සා යටි සිතින් දිසෙන් ගේ ආඩම්බරකමට බැන වදිමින් කාලයට ගියාය.

💓💓💓💓💓💓💓💓💓

සෙහන්සා රියදුරු අසුනට ගියේ යාබද අසුනේ දුලංසාව හිඳුවා ගෙන ය .

දිසෙන් සිටියේ තනිව පසුපස අසුනේය .

ඔහු නිහඬව බලා සිටියේ සෙහන්සා ගේ රිය පැදවීම දෙසයි .

ගමේ ගැහැණුන්ගේ ලෝකය සිරවී ඇත්තේ නිවස තුළය.වැඩි මනක් කුස්සිය තුලය.

ඉවීමත් ගේ දොර වැඩ කිරීමත් දරුවන් නැලවීමත් සිය ජීවිතය කරගත් ඔවුන් ගැන ඔහුගේ සිත තුළ ඇති වූයේ දුකකි .

ඔවුන් සමග බලද්දි කොළඹ හතේ වෙසෙන මේ ලදුන් කෙතරම් ස්වාධීන ද ?වාසනාවන්ත ද සිතමින් ඔහු නිහඬවම උන්නේ අසුන් ගෙන ය .

“අක්කේ මාව ඔතනින් බස්සනවා.මොන සිහියකින් යනවද මන්දා “.

දුලංසා කීවේ කල්පනාවෙන් උන් සිය සොයුරිය ICBT කැම්පස් එක පසුකරමින් ඉදිරියට යනු ඇතැයි සිතා කලබල වීමෙන්.

“මම ඉන්නෙ හොඳ සිහියෙන්. ඩ්‍රයිව් කරද්දි කලබල නොකර ඉන්නවා “.

දුලන්සා බැස යාමෙන් පසු සෙහංසා දිසෙන්‍ට ඉදිරිපස අසුනට එන මෙන් කතා කරේ හිසින් සන් කරමිනි .

දිසෙන් ඒමට මදක් පැකිලුනේ ඔහු හා ඈ පමණක් රිය තුල සිටීම නිසාය.

“ඔයාව ගත්තෙ බොඩිගාර්ඩ්ට .දැන් වෙලා තියෙන්නේ මම ඔයාගේ ඩ්‍රයිවර් වෙච්ච එක නේ”.

දිසෙන් නිහඬව රියෙන් බැස ඉදිරිපස රියදුරු අසුනට යහ අසුනේ හිඳ ගත්තේය .

සෙහන්සාගේ රූමත් මුහුණ හා ඇගේ සුවඳ
ඔහුගේ සිත කෙතරම් අතරමං කරත් ඔහු සිත අපහසුවෙන් වාරු කරගෙන නිහඬව සිටියේය .

දිසෙන් සමීපයේ සිටි සෙහන්සා තමා දෙස නොබලා ගානකට නොගෙන ඔහු එන අයුරු දෙස හොරැහින් බලා විසල් සුසුමක් පිට කලේ ඔහුට තමා ගැන නිනව්වක් නැතැයි සිතමිනි .

බම්බලපිටියෙන් දුලන්සාව බසවා නැවත කොල්ලුපිටියේ ඇගේ පියාගේ කාර්‍යලයට යනතුරු කාලය මහා දිගු එකක් යැයි දිසෙන්ට දැනුණි.

ඒ ඈ ළගින් හිඳ ගෙන අහම්බයකින් වත් ඈ දෙස නොබලා මෙලෙස සිය සිත ගල්කර ගෙන සිටීම ඔහුටද කිරීමට අපහසු දෙයක් වූ නිසාවෙනි.

💓💓💓💓💓💓

ඇයගේ කාර්‍යාලය මෙතරම් විසල් කාර්‍යාලයක් යැයි ඔහුට වැටහුණේ ඒ තෙමහල් කාර්‍යාලය දුටු මතින්මය.

සෙහංසා නිවසේදි හැසිරෙන අන්දමට වඩා කාර්‍යාලයේ හැසිරීම බෙහෙවින් වෙනස් බව දිසෙන්ට සිතුණේ ඈ කාර්‍යාලය තුළ කිසිවෙක් හා වැඩි කතාවකට බහකට නොගිය බැවිනි.

ඇයගේ කැපී පෙනෙන පෞර්ෂය ඔහු දුටුවේ එහිදී ඈ කතාබස් කරන හා හැසිරෙන අන්දමෙනි.

ඔහු ඇගේ කාර්‍යාල කාමරය තුලට ආවේ ඇගේ පසුපසිනි.

බොහෝසෙයින් පිරිසිදු ඒ කුටියේ බිත්තිවල අතරින් පතර එල්ලා තිබුණේ අලංකාර සිතුවම්‍ පෙළකි.

“වාඩිවෙන්න.දිසෙන්”

ඇය සිය කාර්‍යල මේසයේ ඈට ඉදිරිපසින් වූ අසුන ඔහුට පිරිනැමුවේ එලෙසිනි.

ඔහු අසුන්ගත්තේ නිහඬවමය.ඔහුට දැනුණේ තමා මේ ස්ථානයට කිසිසේත්ම නොගැලපෙන බවයි.

“දිසෙන් ඔයා මගේ බොඩිගාඩ් වුනාට ඒක මේ ඔෆිස් එකේ කවුරුවත් දැනගන්න බෑ…මම ඊයේ රෑ ඉදන් කල්පනා කරා මේ ගැන….මම තීරණය කලා”.

ඈ එසේ තරුණයාට පවසන් යද්දීම යමෙක් ඇගේ කුටිය ඉදිරිපිට බලාසිටිනවා දුටු හෙයින් ඈ කරමින් සිටි කතාව නවත්වා……

හමුවෙමු මීලඟ දිගහැරුමෙන්