06 වන දිගහැරුම

Episode 06

“කොහෙන්ද මම හිතුවා ඕක නැති වෙලා කියලා.”

සෙහන්සා සිය ජංගමය අතට ගත්තේ සතුටිනි.ඒ තමාට නැවත එය ලැබේවියැයි ඇය කිසිසේත්ම නොසිතූ බැවිනි.

“එදා උ/ඹ/ව කිඩ්නැප් කරන් යද්දී ඕක උ/ඹ අතින් බිම වැටිලා .මම උ/ඹ ගියාට පස්සේ

කාර් එකේ ටික වෙලාවක් හිටියා කාර් එකේම ශොක් වෙලා .මට උඹේ ෆෝන් එකේ රින්ග්ස් යනවා ඇහුනේ හීනෙන් වගේ .පස්සේ මම කාර් එකෙන් බැහැලා බලද්දි දැක්කේ උ/ඹේ මොබයිල් එක.”

මිෂ්කා එසේ කියද්දිත් සෙහන්සා හුන්නේ ඇයගේ ජංගමය තුළට දිසෙන්ගේ දුරකථන අංකය ඇතුළත් කර වට්ස්ඇප් සමාජ මාධ්‍ය වෙත ගොස් එම අංකයට වට්ස්ඇප් ගිණුමක් තිබේද යන්න පරීක්ෂා කරමිනි.

“මම තනියම කියවනවා උ/ඹ ඕක ඔබ ඔබ ඉන්නවා නේද?”

“නෑ නෑ මං කියන දේ අහන් හිටියේ “

සෙහන්සා ඇගේ අවධානය නැවත ජංගමය වෙත යොමු කරමින් කීවාය.

එක්වරම ඇයගේ දෑස් දෑල්වී මුහුණේ සතුටු සිනාවක් ඇඳුනු බැවින් මිෂ්කා හිඳ උන් ඇසුනින් නැගිට ඇයගේ ජංගමයට එබී බැලුවේ සිය මිතුරිය සිහියක් නැතිව එහි යමක් බලමින් උන් නිසාමය.

ඇය බලමින් උන්නේ කඩවසම් තරුණයෙක්ගේ ඡායාරූපයක් බව දුටු මිෂ්‍කා සිය මිතුරිය ගේ ජංගමය උදුරාගත්තේ ඇයටත් නොදැනෙන්නමය.

සිය මිතුරිය නොසිතූ ලෙසින් සිය ජංගම ය උදුරා ගැනීම නිසා සෙහන්සා ඇය පසුපස දිවුවේ එය නැවතත් සිය අතට ගැනීමටය.

මිෂ්කා කාමරය පුරාම දිව යද්දී සෙහන්සා ඈ පසුපස හඹා ගියේ තම ජංගමය උදුරා ගැනීමටය.

මිෂ්කා අනතුරුව මිතුරියගේ ජංගමය ගෙන ඇගේ සයනයේ අසුන් ගත්තේ එම තරුණයාගේ ඡායාරූපය දෙස හොඳින් බලමින්.

“කවුද බං මේ හැන්ඩි කොල්ලා.හරියට ටැම්ල් ඇක්ටර් කෙනෙක් වගේ”.

ඉන්පසුව ඇය එම වට්ස්ඇප් ගිණුමේ සදහන් කර තිබූ නම කියවන්නට වූවාය.

“දිසෙන්..කව්ද බං මේ “

ඈ එසේ සෙහන්සාගෙන් අසමින් නැවතත් ඔහුගේ ඡායාරූපය දෙස බලන්නට වූවාය.

කළු පැහැති අත් නැති බැනියමකුත්,නිල් පැහැති ඩෙනිම් කලසමකුත් ඇඳ සුදු යකඩ මාලයක් පැළද සිටි තරුණයා සැබැවින්ම බෙහෙවින් කඩවසම්ය.

ඔහුගේ පෙනුම බොහෝ සෙයින් වැදගත් වුවත් ඔහු ඇඳගෙන උන්නේ රස්තියාදුකාර අන්දමට බවත් දුටු මිෂ්කා අනුමාන කළේ මේ ඇය බේරා ගත් තරුණයා විය හැකි යැයියයි අනුමාන කරමිනි.

“මේ කොල්ල නේද අර උ/ඹ/ව බේරගත්ත හීරෝ .ශේෂා බොරු නෙමේ කො/ල්/ලා ඇත්තටම ටැම්ල් ඇක්ටර් කෙනෙක් වගේ”

සෙහන්සා ඔහුගේ ඡායාරූපය දෙස තව මොහොතක් බලාගෙන උන්නේ ඒ රුව යළි තමාට දැකගත හැකි වේදැ යි නොවේදැයි සිතමින් සුසුමක් හෙළමිනි.

💓💓💓💓💓💓

මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ ප්‍රධානියා වූ සනුක රත්නායක තමා යටතේ වැඩ කරන නිලධාරීන් දෙදෙනා දෙස විමසිලිමත් දෑසින් බැලුවේය.

“නාර්කොටික් ඔෆිසර් සිරිවර්ධන ,නාර්කොටික් ඔෆිසර් ගම්ලත් මම අද ඔය දෙන්නව කැඳෙව්වේ අපේ මිෂන් එකේ කරෙන්ට්ලී සිටුවේෂන් එක ගැන කතා කරන්න .පහුගිය දවසක ඩිරෙක්ටර් සර් මට කතාකරලා ඇහුවා අපේ මිෂන් එකට මොනවද වෙන්නේ කියලා.ඉතින් ඔෆිසර් සිරිවර්ධන කොහොමද ඔයාගේ වැඩකටයුතුවල තත්ත්වය ?”.

එවර සනුක ගේ අවධානය යොමු වූයේ තමාගේ ඉදිරිපස අසුනේ අසුන්ගෙන සාවධානව තමාට ඇහුම්කන් දෙන මත්ද්‍රව්‍ය නිවාරණ නිළධාරී සිරිවර්ධන වෙතටය.

“සර් ,පහුගිය මාස දෙකේම ඩ්‍ර/ග්/ස් පාවිච්චි කරන අය එක්ක ඉදලාම මට පුංචි හෝඩුවාවල් කිහිපයක් ලැබිලා තියෙනවා පිටරටින් ඩ්‍ර/ග්/ස් මෙහෙට ගෙන්නන්නේ කවුද කියලා තාම හරියටම කියන්න බෑ .ඒත් මේකට සැකකරන පුළුවන් තුන් දෙනෙක් ඉන්නවා මම ඒ තුන් දෙනාම මේ ටිකේ ෆලෝ කරගෙන ඉන්නෙ .මම හිතෙනවා සර්.මාස තුනක් යන්න කලින් මට හරියටම මේ කෙනාව හොයාගන්න පුළුවන් වෙයි කියලා .මේ තියෙන්නෙ සර් මේ සැකකරුවන්ගේ ඩීටේල්ස්”

සිරිවර්ධන එසේ කීවේ සිය ප්‍රධානියා දෙස තමා අතේ වූ ලිපිගොනුව දිගුකරමිනි.

සනුක ඒ ලිපි ගොනුව අතට ගෙන බලන්නට වූයේ ය .

“මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් පොලිටීෂියන් කෙනෙක් ,අනෙක් දෙන්නම නමගිය බිස්නස්මන්ලා.සිරිවර්ධන මේ කට්ටිය ඔයා හැන්ඩ්ල් කරන්න ඕනේ පරිස්සමින් .මොකද මේක ඔයාගේ හිතේ තියෙන සැකයක් විතරයි .මේ වගේ කෙනෙක් නිකරුනේ සැක කරලා ඒකෙන් එයාගෙ නමට හානියක් වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් .ඒ නිසා පරිස්සමෙන්.ඔයාට මේ තුන්දෙනාගෙන් වැඩිපුරම සැක කවුද ?”

“සර් මට නම් වැඩිපුරම සැක මේ පොලිටීෂියන්ව . මේ කෙනා මීට අවුරුදු තුනකට කලින් මෙච්චර ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි .ඒත් මේ අවුරුදු තුන ඇතුළත මේ කෙනා ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක් වෙලා.මටනම් හිතෙන්නේ ඩ්‍රග්ස් පිටරටින් ගෙනල්ලා ලංකාව පුරාම බෙදා හැරලා තමයි මෙයා මෙච්චර ලොකු සල්ලිකාරයෙක් උනේ කියලා .ඩ්‍රග්ස් ඩීලර්ස්ලාගෙ තැන් කීපයකම කීපදෙනෙක්ම ලංකාවට ඩ්‍රග්ස් ගෙන්නේ මෙයා තමයි කියලා කතා වෙනවා ඇහුණා.මට පුළුවන් වෙයි වැඩි කාලයක් යන්න කලින් මේකෙ ඇත්ත නැත්ත හොයා ගන්න “.

සිරිවර්ධන එසේ ප්‍රධානියාට කරුණු පැහැදිලි කරන්නට වූයේය.ඔහු පළපුරුදු නිළදාරියෙක් වශයෙන් ඔහුව විශ්වාස කළ හැකියැයි සනුකට සිතුණි.

“ඕකේ ගුඩ් ,අපි බලමුකෝ .කොහොමද ඔෆිසර් ගම්ලත් ඔයාගේ තත්වෙ?.”

සනුක ඇසුවේ සිය දෙපාර්තමේන්තුවට වසර කීපයකට පෙර පැමිණියත් තමාගේ දක්ෂකම නිසාම කාගෙත් විශ්වාසයට ,ප්‍රශංසාවට බඳුන් වූ තරුණ මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී ගම්ලත් දෙස සිය අවධානය යොමු කරමින් .

“සර් මම නං මේකට සැක කරන්නේ ලේඩි කෙනෙකුයි ,පාතාලයේ මැ/ර/යෙ/කුයි .මට හිතෙන්නේ මේ දෙන්න එකතු වෙලා තමයි මේ දේවල් කරන්නේ .”

ගම්ලත්ගේ ඒ ප්‍රකාශය සමඟ ඔහුගේ ඉදිරි අසුනේ වූ වූ සනුකත් ,ඔහුට යාබද අසුනේ වුන් සිරිවර්ධනත් ඔහු දෙස බැලුවේ ඔවුන්ගේ දෑස් නළලට යවමිනි .

සනුක තරුණයාගේ තේජාන්විත දෙනෙත් දෙස බලා සිටියේ ඔහු කෙතරම් උපායශීලී සූක්ෂම නුවණක් ඇති පුද්ගලයෙකු වුවත් මෙවර ඔහුගේ අනුමානය නිවැරදි එකක් නොවන බවය .

“ඔෆිසර් ගම්ලත් මේ වගේ ජාවාරමක් කරන එක ලොකු රිස්ක් එකක්.ඒ වගේ රිස්ක් එකක් අරගෙන මේ වගේ බිස්නස් එකක් රන් කරන්න ලේඩි කෙනෙක්ට පුලුවන්ද.අනික රටින් ඩ්‍ර/ග්/ස් ගෙනල්ලා ඒවා වරායේ එයාර්පෝට්ස් වල කට්ටියගේ ඇස් වහලා මේවා කරන්න ඒ කෙනා කොච්චර සූක්ෂම වෙන්න ඕනේද?”

සනුක ඇසුවේ තමා ඉදිරියේ ඉඳගෙන සිටින
තරුණ නිලධාරියා ලෙස අපහාසාත්මක බැල්මක් හෙළමිනි.

හෙළමිනි.ඔහුට සිතෙන්නේ ම මෙය මේ තරුණයාගේ වැරදි උපකල්පනයක් ලෙසිනි .

” මට මේ ගැන හෝඩුවාවක් කීපයක් ආවා සර්.ඔය පාතාල නායකයා තමයි මේ ලේඩිට සපෝර්ට් කරන්නේ.මේ තියෙන්නෙ සර් ඩීටේල්ස්”.

දිසෙන් එසේ කියමින් සිය ප්‍රධානියාට ගෙනහැර පෙන්වූයේ ලිපි ගොනුවකි.

ඒ ලිපි ගොනුව කියවූ විට නම් සනුකට සිතෙන්නේ ඔහුගේ මේ සැකය පදනම් විරහිත එකක් නොවන බවයි.

බියකරු දරුණු සිතක් සුන්දර මුහුණකට වසන් වී කාන්තා ලාලිත්‍යයෙන් අනූන කතක් තුළ වුව තිබිය හැකි යැයි සනුකට සිතිණි.

මේ තරුණයා ගේ සහජ උපායශීලීබව හා තීක්ෂණ බුද්ධිය සනුක හඳුනා ගත්තේ ඔහු රැකියාවට ආ මුල්ම දිනවල දීමය.

ගම්ලත් හා සිරිවර්ධන දෙදෙනා ගෙන් කෙනෙක් කෙසේ හෝ මේ ජාවාරමේ අදිසි හස්තය අසුකරගනී යැයි හැඟීමක් සනුක තුල ඇති වීමෙන් ඔහුගේ හිත නිදහස් විය.

💓💓💓💓💓💓💓💓💓💓💓

නිවසට ව හිඳිමින් ගතකරන මෙම ඒකාකාරී ජීවිතය සෙහෙන්සාට නම් තවත් ඉවසා සිටිය නොහැකි තරම් ය.

සමාජශීලී ජීවිතයක් ගත කළ තමන් කුටියක් තුළට වී කෙසේ සිටින්නෙම්දැයි ඈ කල්පනා කරන්නට වූවාය.

සෙහංසාගේ වෙනස්වීම දින ගණනාවක් තිස්සේ දුටු රෙජිනෝල් වටහා ගත්තේ නිවසේ මේ ගතකරන හුදකලා ජීවිතය නිසා මේ ආකාරයෙන් ඈ මෙසේ මැලවී ඉන්නා බවයි.

කුඩා කාලයේ පටන් සෙහන්සාත් දුලංසාත් ප්‍රියකරන සියලුම දේවල් කිසිදු අඩුපාඩුවක් නොකර ලබා දෙමින් ඔවුන්ගේ සතුටම පමණක් පැතූ රෙජිනෝල්ට ඈ මෙසේ කල්පනා කරමින් දුකින් කල් ගත කරන අන්දම ඉවසා බලා සිටිය නොහැකි තරම්‍ ය.

කප්පම්කරුවන්ගේ පැහැරගැනීමෙන් පසු හිතේ බයක් නැතිව කිසිදු ආරක්ෂාවක් නොමැතිව ඈව නිවසින් පිටතට යවන්නේ කෙසේදැයි ඔහු කල්පනා කරන්නට වුවේය..

.ජීවිතයේ පළමු වරට තමාට පුතකු නැති අඩුව ඔහුට දැනෙන්නට විය.

පුතකු සිටියා නම් ඔහු සිය සොහොයුරියන් ආරක්ෂා කරනු ඇත

බාල දියණිය වි/ශ්/ව විද්‍යාලයට යවන්නේත් ඔහු බියෙනි.සිය ව්‍යාපාර කටයුතු අතර දහසකුත් වැඩ මැද තමා කෙසේ ඔවුන් දෙදෙනා ආරක්ෂා කරන්නේද? මීට ගත හැකි එකම පියවර ඈට ආරක්ෂකයෙකු ගැනීම පමණි.

එහෙත් හදිසියේම ඊට විශ්වාසනාවන්ත කෙනෙකු සොයා ගන්නේ කෙසේද කල්පනා කරමින් සිටි විට ඔහුට සිහිපත් වූයේ දිසේන් ය.

ඒ ඇස් වල ඇත්තේ අභීත ,තේජාන්විත බවකි.

එතරම් විශ්වාසවන්ත කෙනෙක් සොයාගත නොහැකි බව තේරුම්ගත් රෙජිනෝල් තීරණය කරේ ඔහුට අමතා කෙසේ හෝ මේ රැකියාවට කැමති කරගත යුතු බවයි

“ජයන්ති ලොකු දුව ව එදා අර කිඩ්නැපර්ස් ලාගෙන් බේරගත්ත ළමයාට කතා කරලා දුවගේ බොඩිගාඩ් කරගන්න කොහොමහරි කැමති කරගන්න ඕන .මෙහෙම ගේ අස්සට වෙලා ඒ ළමයා ලෙඩ වෙයි “

“ඔයාට පිස්සුද රෙජී.ගින්දරයි පුළුනුයි ලඟින් තිබ්බම ගිනි ගන්නවා කියලා ඔයා දන්නවනේ.අනික ඒ කො/ල්/ලො කිසිම චාරයට නැති රස්තියාදුකාරයෝ .අපේ දුවගේ ආරක්ෂාවට ගන්න තියා ගේකට වද්ද ගන්නවත් හොඳ නෑ .ඒකට උ/ගෙ තිබ්බ ආඩම්බර කම .ඔයා එදා කතා කරාම ගත් කටටම බෑ කියලා කියපු හැටි. ඔය ත්‍රීවිල් කාරයෝ ඕන්නෑ අපි හොඳ එක්කෙනෙක් බලමු .”

ජයන්ති එසේ කීවේ අඳිමින් උන් ඔසරියේ නෙරිය සකසමිනි.

“ඔයාට හිතෙන්නැද්ද ජයන්ති අපේ දුවගේ ආරක්ෂාවට ඒ ළමයා තරම් තරම් හරියන වෙන කෙනෙක් හොයාගන්න බෑ කියලා .කිසිම දෙයක් බලාපොරොත්තු වෙන් නෙමෙයි ඒ ළමයා මේ අපේ දුවට උදව් කරේ .ඒ ළමයාට එදා මගෙන් සල්ලි ඉල්ලන්න තිබ්බා .ඒ වගේ හොඳ මනුස්සකම තියෙන ළමයෙක්ට ඔහොම කතා කරන්න එපා.රස්සාවෙන් මිනිස්සු මනින්නේ ලංකාවේ විතරයි.අපි හැමෝම එකවගේ මිනිස්සු.මම ඒ ළමයට කතා කරලා කොහොම හරි කැමති කරවා ගන්නවා .”

රෙජිනෝල් එතනින් පිටත්ව ගියේ ජංගමයෙන් තරුණයාට ඇමතුමක් ගනිමින් .

ජයන්ති ඊට එරෙහි නොවී නිහඬව ඔසරිය අඳිමින් උන්නේ සැමියා කියූ කතාව සැබෑවක් නිසාත් ඈලිමෑලි ව මැළවී ඉන්නා දියණිය ගැන ඇයට දුක සිතීමත් නිසාය .

එක් වරක් ඇමතුමක් ගත්තද එහා පසින් කිසිවෙකුත් පිළිතුරු නොදුන්නත් රෙජිනෝල් නැවත වතාවක් දිසෙන්ට ඇමතුමක් ගත්තේය.

මද වේලාවකින් එහා පසින් පිළිතුරු දෙද්දී රෙජිනෝල්ට ඇතිවූයේ සතුටකි .

“හෙලෝ ..දිසෙන් මේ කතා කරන්නේ රෙජිනෝල්.අර ඔය ළමයා ගිය සතියේ බේර ගත්තේ මගේ දුවව”.

රෙජිනෝල්ගෙන් ඇමතුමක් ලැබීම ගැන දිසෙන්ට පුදුම සිතුණි .

“මතකයි සර් ..”

දිසෙන් ඒ මොහතේ සිටියේ හයර් එකක් එනතුරු තීරෝද රථ ගාලේ ,කුලියට ගත් ත්‍රීරෝද රථයේ අසුන් ගෙන මුහුණින් ගලනා දා බිඳු පිස දමමිනි.

රාත්‍රී කාලයේ මෙන් නොව දහවලේ දී මෙලෙස හයර් එකක් එනතුරු අව්වේ සිටීම ඉතාම අපහසුය…

” මම කතා කළේ මේ ළමයගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්”

දිසෙන්ගේ සිත තුළ ඇති වූයේ ලොකු කුතුහලයකි.

රෙජිනෝල් වැනි ධනවතෙකුට දුප්පත් ත්‍රී රෝද රථ රියදුරකු ගෙන් ඉල්ලීමට ඇති උදව්ව කුමක්දැයි සිතා ගැනීමට නොහැකි ව දිසෙන් කල්පනා කරන්නට වුවේය…

“ඒ මොකක්ද සර්? “

තරුණයා එක්වරක් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා මෙවර ඔහුගේ ප්‍රතිචාරය කුමක් වේද සිතමින් රෙජිනෝල් සිය හඬ අවදි කර ගත්තේය.

“පුතා මගේ දුවගේ ජීවිතය ගැන මට බයයි .සල්ලිවලට හරි ,මගේ තරහකාරයෙක් හරි දුවට කරදරයක් කරයි කියලා බය නිසාම මම දුවට එදායින් පස්සෙ ගෙයින් එළියට යන්න දුන්නේ නෑ.ශේෂා හරිම සෝෂල් ළමයෙක් .ඒ ළමයා
ගේ අස්සටම වෙලා මලානිකව ඉන්නවා බලන් ඉන්න බැරි කමට මම පුතාට මේ කතා කරේ.පුතා මගෙ දුවගෙ ආරක්ෂාව ගැන බලාගන්න ඕනි .ඔය ළමයා එදා මේකට බෑ කිව්වා තමයි .ඒත් ඔය ළමයා තරම් ඒකට සුදුසු වෙන කෙනෙක් හොයාගන්න බැරි නිසයි මං කතා කරේ….. මට ඉන්නෙ ඔය දුවල දෙන්න විතරයි විතරයි.පුතෙක්වත් හිටියනං මේ කිසි ප්‍රශ්නයක් නෑ .මේකට මෙදාපාර බෑ කියන්න එපා.අපි ඔය ළමයට වැඩකාරයාට වගේ සලකන්නේ නෑ..”

මහා ධනපතියෙකු එසේ ඉල්ලා සිටීම මේ තරුණයාට ගෙනාවේ පුදුමයකි.

ඔහු එසේ ඉල්ලා සිටින්නේ දියණියගේ ආරක්ෂාව පිළිබඳ බියක් ඔහු සිත තුළ ඇති නිසා යැයි සිතූ තරුණයාට මේ යෝජනාවට කැමත්‍ත ප්‍රකාශ කිරීමට සිතුණි.

එක අතකින් මේ තීරෝද රථ රැකියාව කරමින් දුක් විඳිනවාට වඩා එවන් රැකියාවක් කිරීම හොඳ යැයි දිසෙන්ට සිතුනි .

එහෙත් සිත කාන්දමකට ඇලෙන ලෝහයක් පරිද්දෙන් ඈ කරා ඇඳි යාම ඔහුගේ සිතට දෙගිඩියාවක් ගෙනදෙන්නට විය..

අසීරුවෙන් හෝ සිය සිත එක්තැන් කරගෙන ඇගෙ ආරක්ෂකයා ලෙස සේවය කිරීමට හිත හදා ගනිමින් ඔහු එම යෝජනාවට කැමති වීමට සිතුවේය.

“හරි සර් මෙච්චරම කියන නිසා මම එන්නම්.”

“මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක් .මම ඔය ළමයට හොඳට සලකන්නම්. ඔයාට කරන්න තියෙන්නේ දුවව ආරක්ෂා කරන එක විතරයි.ගේ ඇතුලේ ඇරෙන්න එලියට ගිය හැම විනාඩියකම ඔය ළමයා දුව එක්කම ඉන්න ඕනේ.ඔය ඉන්න තැන ඉඳන් ඔය ළමයට මේක කරන්න අමාරුයි.මම අපේ ගෙදර කාමරයක් ලෑස්ති කරන්නම්.ඔයා අපේ ගෙදර නවතින්න ලෑස්ති වෙලා එහෙනම් හෙට උදේට එන්න .”

ඒ ඇමතුම විසන්ධි වූයේ රෙජිනෝල්ඩ්ගේ හිතට සැනසීම කුත් දිසෙන්ගේ හිතට ලොකු බරකුත් එකතු කරගෙන ම ය …

💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

වෙනදා තරම් රෑ වන තුරු පාරේ නොඉඳ වේලාසනින් දිසෙන් ගෙදර ආවේ පසුදා උදෑසනම රෙජිනෝල්ගේ නිවසට යාමට වුවමනා නිසාය.

මහේලත් ඔහු සමඟ ආවේ මෙතෙක් කාලයක් තමා සමඟ එකට කා බී වැටී සිටි මිතුරා සමග එක නිවසේ ගතකරන අවසන් දිනය අද නිසාවෙනි .

“අද උ/ඹ/ට මම ගානේ කොත්තුවක්”.

එන ගමන් ඔහු කුඩා හෝටලයකින් කොත්තු දෙකක් ගත්තේ දිසෙන් ගේ හිතට දුකක් ඇති කරමින්.

කාත් කවුරුවත් නොමැති අනාථයකු පරිද්දෙන් කොළඹට වී සිටි තමාට ඔහු නැවතී උන් නවාතැනේ මෙතෙක් කල් නවාතැන් දුන්නේ ඔහුය.

තනිකම මැකුවේ ඔහුමය…

කුලියට තිරෝද රථයක් සොයාගන්නා තුරු දිසෙන්ට කන්නට දුන්නේ ඔහුය…..

අටේ පන්තියෙන් එහා ඉගෙන නොගත් ඔහු නූගතෙකු වුවත් මනුස්සකම,මිතුරුකම හොඳින් දන්නා හොඳ මිනිසෙකි.

මිතුරාව හැර යෑමට සිදුවීම ගැන දිසෙන් සිටියේ දුකිනි.

“අ/ඩෝ සුද්දා උ/ඹ/ට බඩගිනි නැදද ?මට නම් හොඳටම බඩගිනී ය/කූ.ව/රෙ/න් කෝ කන්න.ඔහොම නාලා හෝදලාම උ/ඹ/ව දියවෙලා යයි”

මෙතෙක් වේලා කල්පනා කරමින් ඇඟපත දොවමින් සිටි දිසෙන් කල්පනාවෙන් මිදුනේ මිතුරා ගේ හඬට ය .

ඔහු විවර කර තිබූ ජල කරාමය වසා දැමුවේ සැනෙකිනි.ඇඟපත පිසදමමින්ම ඔහු ගෙපැළට ගොඩවූයේ මිතුරාගේ හදිසීගැන්වීම නිසාවෙනි.

කොට කලිසමකින් පමණක් සැරසී නි/රු/වත් උඩුකයින් තමා අසලට පැමිණ අසුන්ගත් දිසෙන් දෙස මහේල බලා සිටියේ ගමක හැදී වැඩුනත්,ඔහු නාගරික ඉහළ පැලැන්තියේ තරුණයෙකුට වඩා කඩවසම් යැයි සිතමිනි.

“එහෙනම් බොක්ක උඹ හෙට ඉදන් බොඩිගාර්ඩ් කෙනෙක් නේද?හැබැයි උඹේ සික්ස්පැක් බොඩි එකයි මූණයි එක්ක උ/ඹ රඟපාන්න ගියානම් උ/ඹ ලංකාවේ අංක එකේ හීරෝ කෙනෙක් වෙනවා.එහෙනම් ආයේ ලොවෙත් නෑ උ/ඹ/ට ගහන්න වෙන නළුවෙක්.”

“අනේ ය/කූ බොරු බේගල් කිව්වා ඇති.උ/ඹ/ත් බටර් ගාන්න අංක එකනේද?”

දිසෙන් කීවේ සිය කොත්තුව දිග හරිමින්ය.

“අලියා දන්නේ නෑලු නේ උගේ තරම.තෝ/ත් එහෙම තමයි.මේක තමයි. අපිදෙන්නා මේ ගෙදර ඉඳන් කන අන්තිම කෑම වේල”.

“අඩෝ එහෙම කියන්න එපා උ/ඹ මගේ බොක්ක නේ මම උ/ඹ ව බලන්න එනවා.ඇවිත් සෙට්වෙලා යන්න එදාට මම ගානේ තමයි කෑම ,බීම.සේරම.”

“එළනේ .අන්න එහෙම නේ කො/ල්/ලෝ ඉන්න ඕනේ.මම අන්න බඩු ගෙනාවා.අපි කාලාම රෑ වෙලා වැල්ල පැත්තේ ගිහින් සෙට් වෙමු.”

මහේල කීවේ කටට දෙකට සිය කොත්තුව කා අවසන් කර ඉතිරිය ගුලිකොට ඔතන ගමන්‍ ය.

“හදිසියේ නේ මේක සෙට් උනේ.නීතා අක්කාට කියන්න ඕනේ විස්තරේ.ජස්ටින් අයියා මම හිතුව තරම් බර බරේ දැම්මේ නෑ නේද ? ත්‍රීවිල් එක එකපාරටම රිටන් කරාට”.

දිසෙන් කීවේ ඔහුගේ කොත්තුවේ ඉතිරියත් මහේල ගේ පාර්සලයට දමා ඔතමිනි.

දෙන්නා අත් සෝදා වෙරළට ගියේ රෑ සාජ්ජේ පටන් ගැනීමටයි.

“මට ආරංචිචි වෙච්ච ව්දියට මෑන් හයර් බහින්න හිතන්ලූ ඉඳලා තියෙන්නේ.උ/ඹන් ඉල්ලන්න ඉඳලා තියෙන්නේ.”

මහේල එසේ කීවේ ජස්ටින් ගේ මිතුරෙක්ගෙන් ඔහුට අද දහවලේ අසන්නට ලැබුණු ආරංචියකි.

“මම එහේ ගියාම රෙජිනෝල් ලොක්කාට කියලා උ/ඹ/ටත් ෆැක්ටරි එකේ ඩ්‍රයිවින් ජොබ් එකක් සෙට් කරලා දෙන්නම් “.

“අ/ඩෝ මට නම් බෑ.මට නම් දැන් මේ මුහුදේ සද්දෙයි.කෝච්චි සද්දෙයි නැතිව රෑට නිදාගන්නවත්,උදේට ඇහැරෙන්නේ වත් බෑ.මම ඉපදුණෙත් මෙහේ මැ__යන්නෙත් මෙහේ…

මහේල මදුවිත බෝතලේ විවර කර වීදුරුදෙකක් පුරවා ගත්තේය.

ලිං මැඩියන් පරිද්දෙන් ජීවත් වෙන ඔවුන්ව මේ ජීවීතයෙන් ගලවා ගැනීම අපහසු බව දිසෙන්ට සිතුණි.

විදුරුවෙන් වීදුරුව බොමින් මත් වෙමින් උන් තරුණයන් දෙන්නා ගීයක් ගයන්නට ගත්තේ ඔවුන්ට හැකි අයුරින් තාල අල්ලමිනි.

මහේල මදුවිත බෝතලයට අතේ ඇති කාසියකින් තට්ටු කළේ සංගීතයේ අඩුව පිරවීමටයි.

🎶🎶🎶

නිල්වන් මුහුදු තීරේ
ගල්මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව්තලේ
ඈ ඇත ඇගේ යහනතේ…

මා එතෙර ආ දා
ඈ නැවත ආවා
ඒ මොහොත සිහි වේ අද වගේ
මා හා තුරුලු වීලා
දෑසේ කඳුළු බීලා
රහසේ සුසුම් ලෑ හඬ ඇසේ….

නිල්වන් මුහුදු තීරේ……

රෑ සොඳුරු මොහොතේ
මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
ගෑ ඒ සුවඳ විහිදේ
මූණේ තවම මාගේ
නෑ මා පිසින්නේ නෑ මුව මගේ…..

නිල්වන් මුහුදු තීරේ……..

🎶🎶🎶

💓💓💓💓💓💓💓💓💓💓💓

ඒ පැහැබර උදෑසනේ රෙජිනෝල් මැදුරේ උදෑසනම සීනුව හැඩවූයේ දිසෙන්‍ ය.ඔහුව එහි ගෙනඇරලීමට ආවේ මහේලය.

මුරකරු ගෙඋයනට ගොස් රෙජිනෝල්ගෙන් අවසර ගෙන පැමිණියේ මඳ වෙලාවක් ඔවුන්ව එළියේ තබමිනි .

රෙජිනෝල්ගේ අවසරයට අනුව දෙදෙනාට නිවසට යාමට මුරකරුගෙන් අවසර ලැබුණි.

ඒ මොහතේ රෙජිනෝල් සිටියේ එළිමහනේ සිය බාල දියණිය හා ව්‍යයාම කරමිනි.

“ගුඩ් මෝනින් දිසෙන්.. ඔයාලා ගෙට යන්න.මැගිලින් ඔයාට රූම් එකක් ලෑස්ති කරලා තියෙන්නේ”.

රෙජිනෝල් ව්‍යායාම කිරීම මඳකට නවත්වමින් එසේ කීවේය.

මහේල ව්‍යායාම කරමින් උන් කළු දිග බොටාමකුත් කළු ටීෂර්ට් එකකුත් ඇඳ සිටි තරැණිය දෙස බැලුවේ හොරෙහිනි.

“උ/ඹ නම් සුද්දෝ.එහෙම් පිටින්ම සුර පුරයකට ආවා වගේ .. අක්කයි නංගියි දෙන්නාම කිරි කිරි ටොයියෝ වගේනේද?”

“කෑගහන්න එපා..ගෙයි ඉන්න එ/කෙ/ක්/ට ඇහුනොත් අපිව එළවලා දාවී”.

දිසෙන් මිමිණුවේ රහසිනි.

ඔවුන් නිවසට ඇතුල්වෙද්දීම සෙහන්සා සිටියේ සාලයේ වූ සෝෆාව මත වාඩි වී ඇගේ ජර්මන් ෂෙපඩ් වර්ගයේ බලු පැටියෙකු සුරතල් කරමිනි.

තරුණයන් දෙදෙනාගේ දෑස් එක්වරම යොමු වූයේ හීනී අත්පටි දැමූ රෝස පාට ස්කිනියකුත් ,කෙටි කලිසමකුත් ඇති පිජාමා එකක් ඇඳ සිටි සෙහංසා වෙතටය.

සෙහංසා දුටු මොහතේම දිසෙන්ට දැනුණේ ඔහුගේ හදවත මොහතකට නැවතුනාක් පරිද්දෙනි.

ඔහු එක්වරම බිම බලාගත්තේ ඈ දෙස බලා සිටීමට අපහසුවෙනි.

දිසෙන් පැමිණෙන බව ඈ දැන සිටියත් මෙතරම් උදයේම ඔහුගේ පැමිණීම බලාපොරත්තු නොවූ සෙහන්සා සිය ඇඳුම නිසා හටගත් ලැජ්ජාවෙන් එක්වරම ඉහළ මාලයේ වූ කුටිය වෙතට දිව යද්දී බලු පැටියා බුරමින් පැන්නේ තරුණයන් දෙදෙනා වෙතටයි…

හමුවෙමු මීලඟ දිගහැරුමෙන්.