වස්සාන මල් 🌹🌹💐🌷

🌹💐 මේ හැට එක්වන මලයි…🌷🌹💐

වස්සානෙ අත ළඟම
සතුට ඉතිරී යනෙන

ඒ සොඳුරු සුයාමය
ඉතිං ඇවිදින් ඔන්න

ආදරය හිත පිරුණු
විශ්වාසෙ රජ කෙරුනු

ගී මුතුගෙ රජ කිරුළු
හිස දරන් යනු මැනවි

ලස්සනට හිත කියෙව්
ඒ සොඳුරු කතාවත

සමු ගන්න මග බලයි
සතුට හිත පුරෝගන…

❤️❤️ රේණු අක්කගෙ ආදරණීය හිත❤️🧡

ජීවිතේ අමාවකේ හද්දින්නක් පායලා වගෙයි..
කාලවර්න මේගයේ රිදී ඉරක් ඇදිලා හැඩයි…

ඉඩෝරයේ තුරු ගොමුවට මල් වැස්සක් වැටුනා වගෙයි..
ඔබේ සතුටු සිනා පොදින් මගේ සිතේ විඩා නිවාලයි..

ආදරණීය මේනකා ක්‍රිෂාන්ති.. මේ ඇගේ ආදරයයි..

ඉඩෝරයට ඉරිතැලුනු දිවිමගට
වස්සානයෙ සිහිලත් අරන්

ආවාද ආපහු මගෙ විජිතයට
නුඹේ ආදරේ සුවඳත් දරන් ..

ලෙයින් දුන් පුත් කුමරු මා
සිහසුනේ හොබවන්න

ගත සිතින් වෙන් නොවී
ගී මැණික ළඟ ඉන්න..

❤💐

සභාවෙන් හීන් මුණු මූණුවක් ඇසී නෑසිණි. සිහිලැල් ආයෙත් කතාව පටන් ගත්තේය.

“ඔයාලගෙ මේ දුක්ගන්නාරාල තමයි.. මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මගෙත් දුක්ගන්නාරාල වුණේ.. නන්නන්තාර වෙලා යන එන මගක් හොයාගන්න බැරිව අතරමං වෙලා හිටිය කාලෙක මෙයා තමයි මගෙ ළඟින් හිටියේ. අම්මගෙ කටහඬවත් අහන්න නැතුව හිටිව කාලෙක මෙයා තමයි මට අම්මා වුණේ.. කොටින්ම කියනවනම් සතුටක් නොතිබ්බ කාලෙක මට සතුට ගෙනාවේ මෙයා තමයි.. මේ තමයි මගේ ජීවිත කතාවේ ගීතය.. ගීමුතු වාහලතැන්න.. මගේ බිරිඳ.. මගේ සෙවණැල්ල..”

සිහිලැල් මාව ඔහු ළඟටම ගත්තේය. මගේ බඳවටා අතක් යැව්වේය. ඇත්තමයි මට ඉකි බිඳුණි. තොල් දෙක කිටි කිටියේ තද කරගත්තේ හයියෙන් ඇඬේවි යැයි බයටය. එහෙත්.. එක් නිමේෂයකින් නෙත් පියන් යට එක්කාසු වූ කඳුළු කම්මුල් තෙමුවේ මටත් නොදැනීමය. වහා කඩදාසි ලේන්සුව ඇස් මුලට තියා තද කර ගත්තෙමි.

” ඇයි අම්මි අඬන්නෙ..”

පුතු පැටියා ඇහුවේ හෙමින් නොවේ..

“අඬන්නෑ.. පුතු…”

මම කොඳුළෙමි.

“තාත්තී, මේ අම්මි කියනදේ අහන්නෑ. අඬනව. අම්මිට උම්මා එකක් දීල අඬන්න එපා කියන්න.”

මුළු සභාවම එකම හිනාවකින් ඇළලී ගියේය. කඳුළු අතරින් ඉතිං මා මුවටත් හිනාවක් ආවේය.

“අඬන්න ඕනි තැන්වල හිනාවෙලා කඳුළු හංගාගෙන ඉන්න දන්නව වුණාට, හිනාවෙන්න ඕනි තැන්වල හිනාවෙන්න දන්නෑ කියල මාත් දැනගත්තෙ අද..”

සිහිලැල් කීවේ කට කොනකට හිනාවක් අරගෙනය.

” හැමදාම ඔය ගුණකථන නෑ නේද සර්..”

කවුදෝ සභාවෙන් කීවේය.

“අන්න හරි.. සමහරවිට මේ මුල්ම දවසත්, අවසන් දවසත් වෙන්න පුළුවන්..”

ආයෙත් ඔහු එහෙම කියා මගේ හිසත් අතගා, පුතු පැටියා මාතින් ගත්තේය. වස්තුට හිසින් ඔහු ළඟට එන්නැයි කීවේය.

“මෙතන ඉන්න ඔයාලට නම් මෙයාලවත් අමුතුවෙන් අඳුන්නල දෙන්න ඕනි නෑ කියල දන්නව.. ඒ වුණත් අපේ අනිත් බ්‍රාන්චස්වල අය හඳුනන් නැති හින්ද මේ දෙන්නත් හඳුන්වල දෙන්නම්.. මේ තමයි අපි දෙන්නගෙ පුතු පැටියා.. මිහිජ වාහලතැන්න.. එතකොට මේ.. මගෙ බිරිඳගෙ අයියගෙ පුතා.. එහෙම වුණාට එයා තමයි අපේ ලොකු පුතා.. මේ තමයි ජීවිතේ ලොකු දුෂ්කර කාලෙක පුංචිකමට, අම්මට හයියක් වුණ මගෙ වීරයො දෙන්න..”

මේ සිහිලැල් නම් අද හදන්නේ මා අඬවන්නමය. ඔහු කියන්නා වගේ දුක දරාගන්නට හිත හයිය වුණාට, මේ ආදරය දරාගන්නට හිත හයිය නැත. මට විතරක් නොව මගේ පුුතුන්ටද දෙන ගෞරවය දරන්නට හිත හයිය නැත. මේ දේවල් මට බර වැඩිය. මම අසීරුවෙන් ඒ ආදරය, ඒ ගෞරවය දරා ඉන්නට වෙහෙසුණෙමි.

“මැඩම්..”

මා සිටියේ තනිවමය. සිහිලැල්ගෙ කාමරයේය. හුරු පුරුදු කටහඬක් වෙනස් ආමන්ත්‍රණයකින් ඇසෙත්ම මා ඒ පැත්තට හැරුණේ ඔරවාගෙනය.

“මැරුම් කන්න ඕනිද?”

“ඇයි වදේ.. මැඩම්ලට මැඩම් නොකියා අහවල් එකක් කියන්නද?”

“අහගන්න එපා, අහවල් එක ගැන..”

මා හුනස්නෙන් නැඟී ඉඳුලා වෙත ගියේම අතපය දික් කරගෙනය.

“අන්න අරෙහෙ රයිනිලා ඊරියො වගේ අඬනව. බලා ඉන්න ශෝචනීයයි. අපිටත් වැඳ වැඳ කියනව මැඩම්ගෙන් සමාවගන්න ඕනිලු. මොකද කියන්නෙ එක්කන් එන්නද?”

“අනෙ.. මේ.. පිස්සු නටන් නැතුව ඉඳහල්ල.. එයාලට මං සමාව දුන්නේ ඒ කාලෙමයි.”

“ඒ වුණාට අපිට නම් කුරිරු ආසාවක් තියේ හොටු පෙරාගෙන, බුහෑ…බුහෑ… ගාගෙන ඇවිල්ල ආයෙ පාරක් සමාවගන්න හැටි බලන්න.”

“ඔය වහන්තරාවල් දාගෙන, අපිට මේ කතා කරන්න තියෙන කාලෙත් නැති කරගන් නැතුව ඉමු බංල.”

“මැඩම් කියනවනම් හා ඉතිං..”

මම ආයෙත් රැව්වෙමි. රවා ඉඳුගෙ අත කෙනිත්තුවෙමි.

“මේ.. ඉතිං, කියහල්ලකො භූමි කිව්ව වගේ උඹල දවස් දෙක තුනක් ඉදල යන්න එනවද අපේ ගෙදර?”

“දවස් දෙක තුනක්… එච්චර දවසක් නිවාඩු දෙන්නෙ උඹේ ආච්චිද?”

“නෑ, මගෙ මහත්තයා..”

“අප්පට සිරි.. ඒකත් එහෙමයි නේද?”

සිහිලැල්ගෙ මූලාසන කතාව අවසාන වූ වහාම සභාවෙන් වගේම සජීවීව තාක්ෂණය හරහා එකතුව සිටිය අනෙක් ශාඛාවල අයද “සර්.. පාර්ටියක්.. සර්.. පාර්ටියක්..” කියා කෑ ගසන්නට වූහ.

“පාර්ටි දෙනව.. පාර්ටි දෙනව..”

සිහිලැල් කීවේ හිනා වෙවීය.

“කවදද සර්..”

“අද මං ගානෙ ලන්ච් එක විතරක් රෙඩි කරල තියෙනව. ළඟදිම දවසක අපේ බ්‍රාන්චස්වල ඔක්කොම අයව එක තැනකට ගෙනැල්ල පොඩි පොඩි ඉවෙන්ට් ටිකක් හෙම තියන්න පොඩි අයිඩියාවක් තියෙයි. ඒක හොඳටම සංවිධානය කරන්න ඕනි නිසා මට තව ටික කාලයක් දෙන්න.”

හැම පැත්තෙන්ම ප්‍රීතිඝෝෂා හඬ ඇසිණි. සිහිලැල් ඒ හඬ මැද්දේම සභාවට විසිරෙන්නට ඉඩ දුන්නේය. පෝලිමේ විත් කට්ටිය අපට සුභ පතන්නට ගත්තේ ඉන්පසුවය. සිහිලැල් ඉඳුලාට ගෙදර එන්නැයි ආරාධනා කළේ එතකොටය.

“ඉතිං, එනවද කියහල්ලකො..”

මම ආයෙත් ඇසුවෙමි.

“එන්නම්, එන්නම්..”

“කවදද?”

“උඹලගෙ සෙකන්ඩ් හනිමුන් ටුවර් එකෙන් පස්සේ..”

“මොකක්..”

“යෑස්.. අන්න ඒකෙන් පස්සේ..”

තවත් යමක් කියන්නට ඉඳුලාට නොහැකි විය. ඈතින් සිහිලැල් කාමරය දෙසට එනවා දකිත්ම ඔවුහු හුනස්නෙන් නැඟිටගත්හ. පිටතින් කාමරයේ වන කිසිවක් නොපෙනුණාට ඇතුළෙ ඉන්නා අයට පිටත වන සියල්ල මනාව පෙනේ.

“පව්නෙ, කාලෙකින් හම්බ වුණ කපල් එකනෙ.. උදැල්ල දාන්න හොඳ නෑනෙ.. ඒ හින්ද අපි යනව, සුදා.. “

එහෙම කියාගෙනම මට කිසිවක් කියන්නට ඉඩක් නොතියාම කලබලයෙන් යන්නට ගියහ.

“මොනවද යාළුවො කියන්නෙ?”

සිහිලැල් මාවෙතට ආවෙ එහෙම අහගෙනය.

“මුකුත් නෑ..”

සිහිලැල් මදෙස බැලුවේ යටැසිනි. ‘මුකුත් නැතිවෙන්නට බෑ..’ ඒ බැල්මේ කියවුණි.

“මොකක්ද අර කළේ..?”

මම සිහිලැල්ගෙ අතක වෙලී ඇසුවෙමි.

“සෙකන්ඩ් පීරියඩ් එකට තාම මුකුත්ම කළේ නෑ..”

ඇත්තමයි, මුහුණ පුරාම මනමාලකමය. මම නෝක්කාඩු බැල්මක් විතරක් දී නිහඬ වීමි.

“ගී..”

“ම්ම්ම්..”

“හොටෙල් එකක් බුක් කළා. අපිට චේන්ජ් කරගන්න. එහෙන්ම ලන්ච් එක ගම්මුද?”

“හොටෙල් එකක්..? චේන්ජ් කරගන්න.. මේ රූම් එකක් තියෙද්දී…”

“වොෂ් එකක් හෙම දානවනම් ඒකටත් එක්ක..”

“වොෂ් දාන්න මෙහෙදිත් පුළුවන්නෙ භූමි.. මොනවටද, හොටෙල්වලට බොරුවට සල්ලි නාස්ති කරන්නේ..”

භූමි ඇස් හීනිකර එකම බැල්මෙන් මදෙස බලාගෙන සිටියේය. බොහොම සුරුවමට, රුපියලත් වියදම් කළ මට නාස්තිකාර වියදම් නුහුරුය. ඉතිං, එදාද අදද කියා නැතුව නිරපරාද දේට වියදම් කරන්නට පෙර දහඅතේ හිතන්නේ ඒකය.

“ඇයි.. ඔහොම බලන්නෙ? මං දන්නව මගෙ මහත්තයා කෝටිපතියෙක් කියල. එ් වුණත් ඉතිං, බොරුවට සල්ලි වියදම් කරන්න ඕනි නැති හින්දයි මං එහෙම කිව්වෙ.

අනික ස්ටාෆ් එකට මෙහෙ ලන්ච් එක රෙඩිකරල අපි හොටෙල්වලින් ලන්ච් ගන්න එක හරි නෑනෙ භූමි. අපි මෙහෙදිම චේන්ච් කරල මෙහෙන්ම ලන්ච් එක ගමු.”

“මහත්තයා කෝටිපතියෙක් නම් නෝනත් කෝටිපතිනියක්.. ඒක එකටම මතක තියාගන්න ඕනි හරිද නෝනා.. අද ඉඳන් මහත්තයාට කියල කිසි දෙයක් නෑ. තියෙන ඔක්කෝම නෝනාටත් අයිතියි.”

සිහිලැල් මාව ඔහුවෙතට ඇදගෙන, තදින් ඔහු ගතට තදකර ගත්තේය.

“ආයෙත් ඔයවගෙ කතා කිව්වොත් කට කනව”

කියා ලවන් පෙති චුට්ටක් රිද්දෙව්වේය. ඒත්තෙක්කම ඔහු තෙත් දෙතොලින් මා කොපුල් තල සිපගත්තේය. කීපවර සිපගත්තේය.

“භූමි, පුතු පැටියා එයි..”

“අවුලක් නෑ. ඒකා මට පර්මිෂන් දීල තියෙන්නේ..”

දෑස් අඩවන් කර ආයෙත් අර මනමාලකම් අඩුවක් නැති බැල්මය. මට මාව අමතක කරවන බැල්මය. ඒ වශීකෘත බැල්මට බයෙන් මා ඉක්මනට බිම බලා ගත්තෙමි. නැත්නම් මට වෙන්නේ ඒ බැල්ම යට ගල් වෙන්නටය.

“භූමි, ඔයා මුලින්ම වොෂ් දානවද?”

“අපි දෙන්නම..”

“හොඳට හිටී.. මේක ඔෆිස්සෙක..”

“ඒක තමයි බං, හොටෙල් එකක් ඇරෙන්ජ් කළේ..”

“දෙන්නම එකට වොෂ්දාන්න..”

“නෑ, ආච්චිගෙ රෙද්ද අපුල්ලන්න..”

ඒ ගමන නහය හැපුවේය.

“මොකද, මගෙ මූණ හැමතැනම සීල් තියෙන්නේ.. මේකෙ එකාල ඕව දැක්කොත් කතාවෙයි, ලොක්කට මදනගාය ඇවිස්සිල කියල.”

“ඔව්, අවුරුදු ගානක් නිදාගෙන හිටිය ලොක්කගෙ මදනයකා ඇවිස්සිල තමයි තියෙන්නේ. ලොක්කිට බේරෙන්න බැරිවෙයි.”

ආයෙත් හැදුවේ මා අල්ලාගන්නටය. මම හිනාවී ඈතට වූයෙමි.

“වැඩිය දඟලන්නැතුව ඉන්න නෝනා.. අල්ලගන්න බැරුව හෙම නෙමෙයි කරබගෙන ඉන්නෙ. අද ඉඳන් හැම දවසක්ම මගේ හින්ද..”

ඔහු එහෙම කියා ඇහැකුත් ගැහුවේය. තොල් උණ්ඩි කර කට ඇදකර සරදම් බැල්මක් හෙලුවේය. ඇත්තය, අද ඉඳන් හැම දවසක්ම ඔහුගේය.. මගේය.. අපේය..

🌷🌹🌺🌷🌹🥀🥀🌷🌹

ඔහු හිටියේ සැහැල්ලු ටී ෂර්ටයක්, සරමක් ඇඳගෙන ලී පුටුවේ ඉඳගෙනය. ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගන්නට උත්සාහ කරන ගමන්ය. මා හෙමින් සැරේ ගොස් ඔහු සිටි පුටු ඇන්දට බරවූයෙමි.

“ෂිහ්.. මේක ෆෝන් එක උස්සන්නෑනෙ..”

“කවුද?”

“භූමියා.. ඌට කිව්ව, ගෙවල් පැත්ත බලන්න කියල. යන්නම් කිව්වට මූ ගියාද කියල බලන්නවත් ෆෝන් එක උස්සන්නෑ.”

“අම්මට ගන්නකො..”

“මූ තාම ගිහින් නෑ.”

එහෙම කියනගමන් භූමි මා ඔහු උකුලෙන් ඉන්දව ගත්තේය. මගේ උරිස්සෙන් නිකට තියා ගත්තේය. කම්මුලකට කම්මුලක් තියා තද කර ගත්තේය. දුරකථනය නාද වුණේ එකෙණෙහිමය.

“කොහෙද බූරුවෝ ඉන්නෙ..”

“හරි, හරි දැන් ඔන්න ගෙදරට ආවා. තප්පුලන් නැතුව ඉඳහන්. මොකද ඔච්චර තදියම.. උඹ නොදැක්ක හඳක් නෙමෙයිනෙ ඕක..”

“මගෙන් කුනුහරුප අහගන් නැතුව තියාපන් ඔය ෆෝන් එක. මගෙ පැටව් දෙන්නවයි, අම්මවයි පරිස්සමෙන් බලාගෙන ඉඳපන්.. එච්චරයි හරිද..”

භූමිජ නම් හැදුවේ තවත් මොන මොනවදෝ කියන්නටය. ඒත්.. සිහිලැල් ඒකට ඉඩක් නොතිබ්බේය. දුරකථන නිහඬ කරම දැම්මේය.

හාත්පසම කළු සෙවණැලිය. සෞම්‍ය සඳ කිරණ ඒ කළු සෙවණැලි අස්සෙන් බිමට පෙරෙන්නේ ටික ටිකය. වටපිටම නිසලය. නිහඩය. ඒ නිහැඬියාව බිඳෙන්නේ රැහැයි හඬකට විතරය.

හඬන්නට ගත්තාට පස්සේ නම් රැහැයියන් එක දිගටම අඬන්නට තියාගන්නේය. උන් හඬන්නට ගත්තාට පසුව නම් නම් නොදන්නා තවත් නිශාචරයින්ද හඬන්නට වන්නේය. ඒ නිශාචර හඬවල් මැද්දේ ඔහුත්, මාත් විතරය. අක්කර සිය ගණනක කැලෑවක වූ තනි වස්සාන කුටියක ඔහුත් මාත් විතරය.

” ගී මැණික..”

“ම්ම්ම්..”

“මේ බණ්ඩි ගෙඩිය ඇතුළෙ පුතු පැටියා ඉන්නැද්දි ඔයාට ගොඩක් කරදර කළාද?”

ඔහු ඇසුවේ මගේ රෑ ඇඳුමේ කර යටින් අතදා නිරුවත් කුස පිරිමදින ගමන්ය.

“එයා චුට්ටක්වත් කරදර කළේ නෑ.”

“ඔයාට බය හිතුන් නැද්ද තාත්තෙකුත් නැතුව එයාව මේ ලෝකෙට ගේන්න.”

“කවදහරි එයාගෙ තාත්ති එයි කියල මං දැනගෙන හිටිය. එයාගෙ තාත්ති, එයාගෙ අම්මිට ආදරේ කළේ බොරුවට නෙමේ කියල අම්මි දැනගෙන හිටිය. ඒ ආදරය මං නොසෑහෙන්න විශ්වාස කළා.”

“ඒ විශ්වාසය හැමදාටම තියාගන්න මැණික. කවදටවත් වෙනස් වෙන්නැති ආදරයක් තමයි එදාත් අදත් හෙටත් ඔයාගෙ භූමිගෙ හිතේ තියෙන්නේ.. ඔයා මට පෙන්නන්න හදපු ඇල්බම් එක දකිද්දී, වීඩියෝ දකිද්දී මට හරි ලෝබයි ගී.. ඔයාට ඕනිම කාලෙ මං ළඟ හිටියේ නෑ නේද කියල හිතෙනකොට.”

“එහෙමනම් ඔයාටත් ඕනිම කාලෙ මං ළඟ හිටියේ නෑනෙ. නිකමටවත් මට දැනුණනම් ඔයා ඉන්න තැනක්.. මං ඔයාව හොයාගෙන ඉනව භූමි..”

“නොදැන හිටිය එකමයි හොඳ.. බණ්ඩි ගෙඩියකුත් උස්සන් බැරි බැරිගාතෙ මාව බලන්න ජේල් එකට ආවනම් පපුව පැලිල මැරෙයි මාව.”

ඔහු කුස පිරිමදින ගමන්ම මගේ ළය නිම්නයට එබිණි.

“ඉක්මනටම මට තව පුතෙක් දෙන්න ගී මැණික.. පුතු පැටියා වෙනුවෙන් කරන්න බැරිවුණ හැමදේම මට කරන්න දෙන්න. ඔයාලව එක තත්පරයක්වත් මිස් කරගන්නැතුව මට මගෙ ඇස්දෙක යට තියාගෙන බලාගන්න දෙන්න.”

“ඉතිං, දෙන්න.. ඔයාටනෙ පුළුවන් මට පුතු පැටියෙක් දෙන්න. මං එයාව මගෙ බණ්ඩි ගෙඩියෙ තියාගෙන ආදරයෙන් බලාගන්නම්.”

“අම්මි, බණ්ඩි ගෙඩියෙ තියාගෙන ආදරයෙන් එයාව හදන්න. තාත්ති, අම්මිවයි, බණ්ඩි ගෙඩියයි ලොකු පුතු පැටියයි, වස්තු පැටියයි, එයාලගෙ ආතම්මවයි ඔක්කොමල ටික ආදරයෙන් බලාගන්නම්. හාද..”

“හා..”

මම කොඳුළෙමි. කුස පිරි මැද මැද හිටිය ඔහු අත ඊටත් පහළට ගියේය. හෙමිහිට හෙමිහිට ඒ ඇඟිලි පහස යටිකය හොයා යද්දී ඔහු තොල් ළය මත්තේ දඟ කළේය. සරම් තොටිල්ලේ ඉන්නා ගමන් මම යන්තමට ඉස්සී ඔහු ගෙල බදාගත්තේය. වදනක්වත් නොකී ඔහු මා හරහට ගත්තේය. සයනය මතින් පරිස්සමට තිබ්බේය. මම ඔහු ගෙල අත නෑරම උන්නෙමි.

ඇඳි ඇඳුම් ලෙහුණේ ඔහු අතිනි. අවුරුදු ගානකින් හංගාගෙන හිටි දඟකම් ඇවිස්සුණේ ඔහු අතිනි. මා අතිනි. කෙළිකම් බිඳුණේත් මේ දඟකම් මේ විදිහටම තිබුණ දාකය. පතිදම් රැක්කේ එදා ඉඳන්ය. ඔහු නමටය.

භූමි නමටය. භූමි නමින් රැක්ක පතිදම්ද බිඳුණේය. සිහිලැල් වස්සාන වාහලතැන්න භූමි නමින් ගීගෙ හිතේ සදාකාලිකවම රැකි තිබුණ පතිදම් සින්ඳේය. බින්ඳේය. වින්ඳේය. ඉදින්.. ඒ වස්සාන ගී ගැයුන යාමයයි.

සිහිලැල්ව ගී ඇසෙන යාමයයි.. මුතු බෙල්ලියක් හෙමිහිට හෙමිහිට වස්සාන කුටීරයක් ඇතුළට රිංගායන්නට තතනන නිමේෂයයි. නොඉවසිලිමත්ව වස්සානයේ කුටීර දොර මුතු බෙල්ලිය වෙනුවෙන් විවරව බලා සිටින සුයාමයයි. මුතු බෙල්ලිය සියළු රස කලතා වස්සාන කුටීරයෙන් රිංගා මීවිත මීමධු උරාබොන සුයාමයයි. ඉඳින් දැන් වස්සාන මල් කැකුළු පිපිදේවි.. වස්සාන මල් පිපේවී.. ඒ වස්සාන ගොමුවේ පිපෙන මල් හැමදාටම සුවඳ දේවි…..

🌺🌺🥀🌷🌹

ඒ වස්සානය ඔවුන්ට දී අපි ඉතිං යන්න යමු..

වස්සාන මල් පරක්කු වෙවී හරි පිපෙනකම් ඉවසිල්ලෙන් බලා හිටිය මගේ මල් කැකුළු ඔක්කොටම ආදරෙයි..

වස්සාන මලුත්තෙක්ක හීන නවයක්ම මේ මුහුණු පොතේ දිගෑරිල ඉවරයි කියල හිතෙනකොටත් මට හරි පුදුමයි. එතනින් පහක්ම මුද්‍රිත හීන වුණා කියනකොට ඊටත් වඩා පුදුමයි. ඉතිං, ඒ කොහොම වුණත් ඒ පුදුම හැබෑවෙලා.

ඉතිං අහන්නකො.. වස්සාන මල් ඔබේ ආදරය දිනාගත්ත වගේම වැඩිපුර චෝදනා අහපු කතාවද කියලත් හිතෙනව. මගේ දහසක් වැඩ අස්සෙ කතා මං කවදටත් දවස ගානෙ දුන්නෑ.

හැබැයි දෙනව කියන දවසට නොදී ඉන්නත් දහසක් හේතු තිබුණ. ඔන්ලයින් ඉන්නව දැක්කම ඉන්බොක්ස් ඇවිත් ඔන්ලයින් ඉන්නෙ කතාව දෙන්න බැරි ඇයි අහන අය වෙනදා වගේ මගෙ නිදහසට කාරණා පිලිගන්න මැලිවුණා. මං ගනන් උස්සනව නේද කියල චෝදනා කළා. හිතත් රිදුණා.

ඒත්.. ඉවසන් හිටිය. මාව දන්න අය දන්නව. මට කලබලේට කතාව ටයිප් කරන්න බෑ. මට කතාව ටයිප් කරන්න කාලයක් තියෙනව. මං කතාව ටයිප් කරන්නේ උදේ 3, 4ට වගේ නැඟිටල වැඩිම වුණොත් දවසට පැයයි. ඒ පැයත් අඩුවෙන දවස් තිබුණ මට නොදැනිම නින්ද ගියාම. එතකොට සති අන්තෙ දෙන්න කතාවක් නැතිවෙනව.

ආයෙ දරුවෙක් ලෙඩවුණාම, මාව ලෙඩ වුණාම මට ෆෝන් 1ත් මහ කරදරයක්. පහුගිය ටිකේ ඒවත් අඩුපාඩුවක් නැතුව තිබුණ. ඕව මේව හින්ද කතාව පරක්කු වුණා. චුට්ටක් දෙන්න වුණා.

එතකොට කතාව එකතැනම පල්වෙනව වගේ මටත් දැනුණ. ඉතිං, ඒව එහෙම වුණා. මං මේ කිව්ව සමහරඅය තරහත් වෙලා කියල දැනුන හින්ද.. මගෙ ගනන්කාරකමට කතාව දෙන්නෑ කියල. මගෙ ගනන්කාරකම නම් ඉතිං, ඔය මාව දන්න අය දන්නව..

ඉතිං, තව එකක් කවදාවත් නැතුව මට කතාවට කමෙන්ට් කරපු කට්ටියත් මගෑරුණ. ඒක මගෙම වැරැද්දක් නෙමේ.. කොයිවෙලේවත් එක දිගට කමෙන්ට් 5 6කට වඩා රිෆ්ලයි කරන්න දුන්නෑ මේ මාක් අයියා මට. සැරින් සැරේට අමාරුවෙන් රිෆ්ලයි කළේ ඒකයි. තාමත් මගෑරුණ ඒව තියෙනව. ඒවා ඔක්කොටම රිෆ්ලයි කරලම තමයි කතාව අයින් කරන්නේ.

ඉතිං , අලුත් කතාව තමයි ඊලග ප්‍රශ්නෙ.. ඒකට කාලයක් ඕනිවෙයි වගේ. එකක් මගෙ ලොකු පුතා මේ සැරේ ඕලෙවල්. එයා වෙනුවෙන් චුට්ටක් කැපවෙන්නත් ඕනි. තව කතාව කොටස් කීපයක්එක දිගට ටයිප් කරල මිසක් ආයෙ කතාව දාන්න බෑ. නිරපරාදෙ ඔයාලගෙ වගෙම මගෙත් හිත රිද්දගන්න ඕනි නෑනෙ.. ඉතිං..බලමු.. කී කාලෙකින් එන්න පුළුවන්ද කියල.

ආ….. වස්තුගෙනුයි, පුතු පැටියාගෙනුයි මගෙ සඳ පැටව් දෙන්න දැක්ක ඔයාලට කියන්න තියෙන්නේ ඒ සඳගුණ වස්තුටත්, පුතු පැටියටත් අඩු නැතුව තිබුණ කියල මයි. ඒ සඳකතා එහෙමම තිබුණ කියල තමයි.

යමු නේද එහෙනන්…. බොහෝම අසීරුකාලයක හිතින් වැටිල ඉන්න අපි හැමෝගෙම හිත සන්සුන් වේවා.. සැහැල්ලු වේවා.. හිත තුටින් ගෙවෙන්නට හැකි කාලයක් උදාවෙිවා…තෙරුවන් සරණයි

අඩුපාඩුවක්, මදිපාඩුවක් වී නම් සමාවෙන සේක්වා…. තරහ නෑ කා එක්කවත්… යාළුයි…. ඔක්කොමත් එක්ක