වස්සාන මල් 🌷💐🌹

මේ හැටවන මල් පොහොට්ටුවයි 💐🌷🌹

සේරිවානිජ ජාතකේ එන මිනිබිරිය ඔබ යැයි හැගේ…

නොඉල්ලන මුත් එරන් වලලු ….

ජීවිතෙයි නුබ පතන්නේ…

මේනකා ක්‍රිෂාන්තිගේ ආදරණීය හිත💚💛🧡

වස්තු පුත නුඹේ පෙම

අම්මෙකුට ලැබෙන පින

කියවද්දි මගේ නෙත

පිරුණි කඳුළැල් වලින

අයියාගෙ පුතෙකු වුව
ආදරය හිත පිරුණ

ඒ වගේ දරු පැතුම
අම්මෙකුගෙ සැනසීම

ඉතිං ගී සිහිල් කර
සමු ගන්න කල පැමින

ඒ පෙමෙහි අකුල් හැර
ඉන්න සමු ගනිමි මම…

රේණු අක්කාගේ ආදරණීය හිත🧡💛🌹🌷💐

❤️❤️❤️
“අතීතෙ ගැන හිතල ඔයාල දුක් වුණාට ඒ දේවල් ඒ විදිහට වුණ එක ගැන මං ගොඩක් සතුටු වෙනව.”

සිහිලැල් අක්කගෙ කතාව අවසන කීවේය. මම නම් ඔහු සතුටු වෙන කාරණා දැන උන්නෙමි. ඒත්.. අක්කාට සිහිලැල් කියන්නට යන දේ ගැන මෙලෝ අවබෝධයක් නොතිබ්බ හැඩය.

“මෙයා කියන්න හදන්නේ.. ඒ දේවල් එහෙම වුණේ නැත්නම් එයාට මාව හම්බ වෙන්නේ නෑ කියල.”

මම කීවෙමි. ඔය අවුරුදු ගානකින් මා, අක්කා හා කිළිටක් නැතුව කතා කළාමය.

“ආන්න හරි.. එ් දේවල් මේ විදිහට වුණේ නැත්නම් මේ කොහෙවත් ඉඳිය සිහිලැල්ට ගීමුතුව ලැබෙන් නෑ. ඒක හින්දා පහුගිය දේවල් ගැන හිතල ගීනෙතු දුක් වෙන්න එපා.”

සිහිලැල් අක්කා ඉදිරිපිටදීම මගේ බඳ වටා අතක් ඔතා ගත්තේය. පහුගිය කාලයේ දෙකට ගනින්නවත් බැරුව ඉන්නා කාලයේ නම් ඔහු ඔහොම නිදහසේ මා ඇසුරු නොකළේය. ඒකටත් එක්ක අද කවුරු හිටියත් කිසි ගානක් නැතුව විටෙක මා සිපගන්නේය. බඳවටා අත යවා ගතට තෙරපා ගන්නේය.

” පුතේ…”

සිහිලැල්ගෙ අම්මා කුරුඳු වාඩියේ අස්සක් මුල්ලක් නෑරමත්, මිදුල වටේමත් ඇවිද අවසන සිහිලැල්ව ඇමතුවාය.

“අම්මා..”

සිහිලැල් අම්මා වෙතට ගියේ මාවත් ඇදගෙනමය

“ඔයා මේ වගේ තැනක හිටියේ අරමුණක් ඇතුව. හැමදාටම ඉන්න හිතාගෙන නෙමේ.

ඒත්.. පුතා මේ දරුවා එහෙම නෙමේ.. ඒ දරුවා අච්චර සැපක් අතෑරල දාල මේ වගේ තැනකට ඇවිත් ඔයත් එක්ක ජීවිතේ බෙදාගත්තෙ ඔයාව විශ්වාස කරල.. ඔයාට ආදරේ හින්ද. කවදටවත් අමතක කරන්න එපා පුතා.. මුතු දුක් වින්දනම් දුක් වින්දෙ ඔයා හින්ද කියන එක..”

“නෑ.. අම්මා.. කවදටවත් නෑ.. අම්මටත් වඩා මං ගී මැණිකගෙ ආදරේ ඇස් දෙකින් දැක්ක කෙනෙක්. හොඳටම වින්ද කෙනෙක්. ආයෙ කවදටවත් මං හින්ද ගී මැණිකට අඬන්න දෙන්නෑ අම්මා.”

“මට උඹ ගැන ආඩම්බරයි පුතේ..”

සිහිලැල්ගෙ අම්මා ඔහු හිස සිම්ඹාය. ඉන් නොනැවතී මා හිසත් සිම්ඹාය. පුතු හින්ද අම්මා අාඩම්බර වනවා වගේම ඒ අම්මාත්, පුතුත් ගැන හිතද්දී මා දස දහස්වර ආඩම්බර වීමි.

“පුතා.. තවත් ඉඳියොත් අපට යන්න රෑ වෙනව. යමු නේද?”

මා බැලුවේ සිහිලැල් දෙසය. ඔහුගේ උත්තරය කුමක් වේදැයි කියාය. එහෙත්.. ඔහුට කලින් උත්තර දුන්නේ ගිම්හානය.

“භූමි, අද ඉඳල ගියා නම් ඉවරනෙ..”

“මට නම් කිසි අවුලක් නෑ. අම්මා මොකද කියන්නෙ..”

“ඉඳල කොහොමද පුතා.. වෙන දවසක එන්නම් දවසක් දෙකක් ඉඳල යන්න. දැන් කොහොමත් ෆැක්ට්‍රි විසිට් එකකට හෙම ආවම ඇවිත් යන්න පුළුවන්නෙ..”

අම්මා එහෙම කියා ආ පාරේම හෙමිහිට ඇවිද ගියාය.

“අපි..”

‘මොකද කරන්නේ..’ නොකියා එපමණක් කියා සිහිලැල්ගෙ වත දෙස බැලිමි.

“අද ඉඳන් මං කොහෙද අපි මාත් එක්ක.. ආයෙ ඒකෙ අහන්න දේකුත් තියේද? මෙච්චර දවසක් අපිට අපි මගෑරුණ හොඳටම ඇති. අද ඉඳන් මේ සිහිලැල් එක දවසකටවත් ගීව මගෑර ගන්නෙ නෑ. ඉස්සරහට කරන්නේ මොනවද, ඒ කොහොමද කියල අපි අම්මත් එක්්කත් කතා කරල බලල හොඳ තීරණයක් ගමු. හා ද?”

මම හිස වැනිමි. තනියම හිතන්නට, තනියම තීරණ ගන්නට මේ ගැහැනු හිතත් අලසය. කරන්නට දෙයක් නැතිකමටම පහුගිය කාලයේ එහෙම තීරණ ගත්තාට මා හිටියේ බොහෝ හෙම්බත්වය.

තෙහෙට්ටුවෙනි. දැන් ඒ හැමකකින්ම නිදහස් වෙන්නට මට උවමනාය. ඒ හින්දා කැමැත්තෙන්ම මා ගැන, අප ගැන නිවැරදි තීරණ ගැනීමේ අයිතිවාසිකම මම ඔහුට පවරා දෙන්නෙමි.

“භූමි..”

ගිම්හාන ගොඩක් වෙලා ඉඳන් කියන්නට, අර ඇද ඇද හිටිය කතාවට ප්‍රවිෂ්ටයක් ගන්නට වගේය.

“කියන්න ගිම්හාන..”

“අත් දෙකට හිර කරල තද කරල, මගේ කරගෙන, තියාගන්න හිටිය දෙයක් ඇඟිලි කරු අස්සෙන් මටත් නොදැනීම ගිලිහිලා ගියාම දැනෙන දුක මං මැරෙනකම්ම එකම විදිහට මට දැනෙයි භූමි.

ඒ දුක කවුරු මොනවා කිව්වත් මගෙ හිතෙන් ඈත් කරගන්න මට කවදටවත් බැරි වෙයි. ඒ දුක.. සිය දහස් වාරයකටත් වැඩියෙන් අද වෙනකම් මං වින්ද. මොකද මට රැකගන්න බැරුව මංම මගෑර ගත්තට මුතු සතුටින් නොවේ කියල හිතෙන, දැනෙන වාරයක් ගානේම මං හිතින් මැරි මැරිම ඉපදුණා.

මුතූ දුක් විඳින්නේ මං හින්ද නේද කියල මතක් වෙනකොට මටම මට දෙන්න දඬුවමක් තිබුණේ නෑ භූමි.. ඒත්.. අද ඉඳන් මගෙ හිතේ තිබුණ අන්න ඒ දුක නැතුව යයි.

මටත් වඩා මුතූව සතුටින් තියන්න ඔයාට පුළුවන් කියල මං දන්නව. ඒ හින්ද මුතූ ගැන හිතල අද ඉඳන් මට සතුටු වෙන්න පුළුවන් භූමි.. මං අලුතින් කියන්න ඕනි නෑනෙ.. මුතූ කියන්නෙ පිරිමියෙක් ආත්ම ගාණක් පේ වෙලා හරි ප්‍රාර්ථනා කරන්න ඕනි කෙනෙක්.

මං මගෑර ගත්තට වෙන කිසිම පිරිමියෙක් ලේසියෙන් මගෑර ගන්න නොහිතන කෙනෙක්. මේ ඇත්තමයි කියන්නෙ භූමි.. එ් අතින් උඹ ගොඩක් වාසනාවන්තයි. ඉරිසියාවක් නෑ මචං.. මුතූට ලැබෙන්න තිබුණ ජීවිතේ තමයි ඔය. ඇත්තමයි.. මට හරිම සතුටුයි..”

” මගෙ පණත් හරි මේකිත් හරි මචං.. පහුගිය ටිකේ මොනව වුණත් අද ඉඳන් පණ වගේ තමයි බලා ගන්නෙ.”

ඒ කියපු විදිහට නම් ඇත්තටම ඕන් මට ඇඬිණි. මම සිහිලැල්ගෙ කොන්ද බදාගෙන මුහුණ කමිසයේ හංගා ගත්තෙමි.

“උඹල කවුරුත් නෙමේ මචං, මට ලොකුම ප්‍රශ්නෙ උඹලගෙ අම්මා..”

සිහිලැල්ට කියන්නට ලැබුණේ එපමණකි. ගිම්හාන වහා අම්මා වෙනුවෙන් ඉදිරිපත් වූවේය.

“මුතුගෙ මූණට මුතුගෙ හොඳක් දැක්කෙ නැතුවට අම්මා තාමත් මුතුට කැමතියි. මට හැමදාම ආඩපාලි කියනව, මුතු නැති කරගත්තෙ මගෙ නොසන්ඩාල වැඩ හින්ද නේද කියල.

මුතූ වගේ නෙමේ නෙතූ ටිකක් ඔතෑනි හින්ද අම්මා නෙතූට කැමති නෑ. ඒ නැන්දම්මටයි, ලේලිටයි එකට ඉන්න බෑ භූමි.. ඔය ඔහොම රටට පේන්න හිටියට ඒ දෙන්න ළං වුණොත් ඇවිලෙනව.”

දරුවෙකු මොන වැරැද්දක් කළද, අම්මාට ඔහු නිවැරදි අහිංසකයෙකු වන්නා සේම දරුවෙකුද අම්මාගේ දොස් නොදකින්නේය. දොස් අහන්නට රිසි නොවන්නේය. වීර නැන්දා මට මොන වරදක් කළත් කම් නැත. ගිම්හානට ඒ ගැන එකින් එක කියන්නට මට කිසි උවමනාවක් නොවිණි.

“මුතූ.. සතුටින් ඉන්න නංගී… ඔයාට හොඳම හොඳ ජීවිතයක් ලැබෙයි අද ඉඳන්.. භූමි ළඟ ඔයාට කිසිම කිසි අඩුපාඩුවක් දැනෙන එකක් නෑ.”

ගිම්හාන එහෙම කිව්වාටවත් මම හිස උස්සා නොබැලිමි.

“තවත් හැංගෙන්න දෙයක් නෑ. කට්ටියම ගිහින්..”

සිහිලැල් ඔහු පිටුපස උන් මාව බඳෙන් ඔසවා ඉස්සරහට ගත්තේය. බිමින් තියා ආයෙත් දෙකකුල් දෙකෙන් උස්සා වටයක් කැරකුණේය.

“භූමි..භූමි.. මාව වැටෙයි..”

මම කෑ ගැසුවේ ඔහු මා වට්ටාවි යැයි බියෙන්ම නොවේ.. නිකම් බොරුවටත් එක්කය.

“වට්ටපු කාලෙ ඉවරයි. ආයෙ වට්ටන්න හිතන්නෙවත් නෑ.”

එහෙම කියා ඔහු මා වඩාගෙන ඉන්නැද්දීම මගෙ කුස සිපගත්තේය.

“මොකද කියන්නෙ, ආයෙත් සැරයක් පුතු පැටියෙක්ට ට්‍රයි කරලම යමුද?”

“මොනව කියනවද මන්දා මේ මනුස්සයා. බලාගෙන යනකොට පුතු පැටියා කියපු නම තමයි හරියටම හරි..”

“මොකක්ද මොකක්ද පුතු පැටියා කිව්වෙ?”

“මහ කුපාඩියා..”

“අමතක කරන්න එපා අම්මි කුපාඩියා කියලත් කිවුව.. හරිද..”

“අනේ.. යනව යන්න මැට්ටො..”

මම දෙකකුලෙන් නොරිදෙනනට වගේ සිහිලැල්ගෙ කුසට ගහගෙන ගහගෙන ගියෙමි.

“දඟලන්න ගියොත් නම්.. ඔන්න දෙන්නම වැටෙයි..”

“මාව බිමින් තියන්න..”

“බෑ.. මට මෙහෙමම ඉන්න හිතෙනව.”

“මගෙ මොකෝ.. අම්මා එන්නැතෑ.. හොයාගෙන..”

“අම්මා නෙමෙයි.. මට ෂුවර් නැත්තේ භූමිජයා..”

“අපි යන්..”

“මොනව වුණත් අපි දෙන්න මෙතන හරි ලස්සන ජීවිතයක් ගත කළා.. ආයෙ ඒ වගේ කාලයක් කවදාවත් එන්නෑ. මං ඒ කාලෙට හැමදාමත් ආදරෙයි ගී.. සිහිලැල්ගෙ ජීවිතේ වස්සාන මල් පිපුණ ඒ කාලය පුදුම තරම් ලස්සනයි.”

“ඇයි දැන් වස්සාන මල්වලට මොනව වෙලාද?”

“ටික දවසක් මහ ඉඩෝරයකට අහුවෙලා මලානික වෙලා. ඒත් දැන් ආයෙ ඒ වස්සාන මල් පිපෙන්න පටන්ගත්ත..ආයෙ කවදවත් ඒ පිපෙන්න පටන්ගත්ත වස්සාන මල්වලට ඉඩෝරයට අහුවෙන්න දෙන්නෑ ඉතිං..”

සිහිලැල් මා බිමින් තියා මගෙ බඳ වටා දෝතම යවා තද කර මගෙ උරිස්සේ නිකට තියා කනට කර කිව්වේය. හෙමිහිට කම්මුලක් සිපගත්තේය. ආයෙත් අනෙක් පැත්තෙන් එබී එපස කම්මුල සිපගත්තේය.

දෙපෙති කම්මුල් ඔය පහස විඳින්නේ අවුරුදු ගානකට පස්සේය. මම හිතු හිතූ විදිහට එපෙති කම්මුල් ඔහු සතු කරගන්නට ඉඩ දී හෙමිහිට නෙත් පියා ගත්තෙමි.

🌷🌷🌹💐💐🌷🌷🌹

සිහිලැල්ගෙ ඇස් මායිමේ ඉඳන් ආයෙ ජීවිතය විඳින්නට නීත්‍යානුකූලව අවසර ලැබුණේ අද ඉඳන්ය. දෙපස සමීපතයින් දෙතුන් දෙනා විතරක් වටකරගෙන සිහිලැල්ගෙ නිවසේදී විශේෂ බලපත්‍රයක් මත අපි නීතියෙන් අපේ වූයෙමු.

එදාම සිහිලැල්ගෙ අම්මා වාහලතැන්න සමූහයේ සභාපතිත්වයෙන් ඉවත්ව සිහිලැල්ට සභාපතිත්වය බලෙන්ම ඇගේ ගැහුවාය. ඔහුගේ සභාපතිත්වයෙන් අද අධ්‍යක්ෂක මණ්ඩලයේ හමුව තියෙන්නේ ප්‍රධාන ශාඛාවේ නොවේ. මා සේවය කළාවූ ශාඛාවේය. ඔය ඔක්කෝම තීරණ සිහිලැල්ගේය. අපට තිබුණේ අවනත වන්නට විතරය.

“පුතා, දුවත් එක්ක යන්න. මායි, දරුවො දෙන්නයි හේෂිතත් එක්ක එන්නම්. තාරුණී රිසයින් පේපර් දීල තියෙන හින්ද එන්නෑ කිව්ව. හැබැයි පුතා, අද විතරයි ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ඔයා ඔෆිසියල් ගමන් යන්නේ.. ඒකත් මතක තියාගන්න.. “

අම්මා තීරණය කළේ එය විතරය.

“බලමුකෝ.. බලමුකෝ..”

සිහිලැල් යතුර උඩ දම දමා අල්ල අල්ලා රිය වෙත ආවේ මටත් ඇසෙන් ඉඟි කර කරය. ඔහු රියට ගොඩවී මටද රියට ගොඩවෙන්නැයි කීවෙද ඉඟියෙනි. මා ඉඟි කළේ පිටුපස අසුන විවෘත කරන්නැයි කියාය. අත නළලට ගසාගත් ඔහු හිනාවී ස්වයංක්‍රීයව පිටුපස දොර ඇර දුන්නේය. මම ඔහුම මා අතට දුන් කළු කෝටය අසුනට කළෙමි.

“හැමදාම මගෙ පස්සෙන් බ්ලේසරයත් උස්සන් එන්න ඕනි හරිද.. එහෙම නැති බෝඩ් මීටින්ග්වලට මම යන්නෑ.”

ඔහු වම්පසින් අසුන්ගතවූ මගේ ආසන බඳපටිය පළඳන ගමන් ඔහු කිව්වේය. ඒ අහවරත් මා කුස සිපගත්තේය.

“ඉක්මනටම ආයෙ මේ බණ්ඩි ගෙඩියට පුතු පැටියෙක් දෙන්න ඕනි. ඊටපස්සෙ අම්මි පැටියයි, චූටි පුතු පැටියයි ඇස් දෙක වගේ බලාගන්න ඕනි. මගෙ ලොකු පුතු පැටියා මට මිස් වුණා. අම්මි පැටියා මිස් වුණා.

ඒ ඔක්කෝම හිලව් වෙන්න, එක විනාඩියකට මිස් කරගන්නැතුව ළඟින් ඉන්න ඕනි මට. කොහොමත් අපි තව පරක්කු වුණොත් ලොකු පුතු පැටියයි, චූටි පුතු පැටියයි අතර ගැප් එකත් වැඩිවෙනව. ඒ හින්ද කරන දෙයක් දැන් දැන්ම කරන්න ඕනි.”

කුසට හිස තියාගෙනම ඉඳ එහෙම කියා අහවර හිස ඔසවා මනමාලකම් උතුරා ගිය බැල්මකින් මදෙසම බලා සිටියේය.

“මහ වල් පාටයි අප්පා.. අර වචනෙම තමයි ගැලපෙන්නෙ.”

“වල් කෙල්ලො ළඟ ඉන්නැද්දි බෝපැල වගේ සුචරිවත් කොල්ලොත් වල් වෙනව.. හුම්..”

“අනේ.. මටනෙ කියන්නෙ.. බෝ පැල වගේ සුචරිවත් කොල්ලගෙ තරම..හුම්..”

“ඔහොම ඉන්නකෝ නංගී.. ඉවසල.. කාලෙකින් මේ කොල්ලගෙ තරම පෙන්නන්නත් බැරිවුණානෙ.”

“අනේ.. මේ කට වහගෙන යන්ද.. අම්මල බලනව ඇති කෝ කියල.”

“අප්පට සිරි.. යමුනෙ.. කොහෙද, ළඟ ඉන්නකොට මට ඔක්කෝම අමතක වෙනවනෙ.”

නළලට අතකුත් ගසා ගත් ඔහු රිය පණ ගන්වා ගත්තේ මට ඇසකුත් වසා ආයෙත් මනමාල බැල්මක් මට දීය. මට ඉතිං, ඔය කෝලම්වලට හිනා නොවී ඉන්නට බැරිවිය.

කලකදී මම, භූමි ඇසුරේ ආදරය විතරක්ම වින්දෙමි. ඒ ගෙවුණේ සුහුඹුල් කාලයක් බව සැබෑය. එහෙත්.. කවදටවත් අනාදර එකම එක බැල්මක්වත් ඔහු වෙතින් නොලද්දෙමි.

අපතර තිබුණේ සතුට, සොම්නස, සෙනෙහස විතරමය. අඩුපාඩුකම් එමට වීද ඒ සුව සහනය අප වෙතින් මොහොතකටවත් දුරස්ව නොගියේය. භූමි ගැන හාංකවිසියක තොරතුරක්වත් නොලද කාලයේත් ඔහු එනතෙක්ම මග බලා හිටියේ ඒ ඉතිරි කළ ගිය ස්නේහ සුවඳට ඉව කරමිනි.

භූමි ඇසුරේ අඩුපාඩුවක් නැතුව සෙනෙහස ඇතිතරම් විඳ විඳ ජීවිතය ගෙවන්නට මග බලා හිටියාට, මෙවන් සැපපිරි ජීවිතයක් කොහොමවත් බලාපොරොත්තු නොවුණෙමි.

මා ලොබ බැන්දේ ඔහු වෙතින් හැමුව මා හඳුනාගත් ආදර සුවඳට විතරය. එහෙත්.. අන්තිමේ භූමිත් එක්කම මට මාත් නොපැතූ, නොසිතූ සැපවත් ජීවිතයක්ද ලද්දෙමි.

🌷💐🌹🌷🌷🌷

තොරතෝංචියක් නැති කතාවට නිමක් ලැබුණේය. සිහිලැල් ආ ගමනට තිත තියා රිය අංගනයේ සිය රථය නැවැත්වූයේය. මෙතෙක් ගලවා දමා ආ කමිසයේ, උඩ බොත්තම් දෙක පියවා ගත්තේය. ගැටය බුරුල් කර, කරෙන් පන්නා මාතට දුන් ටයිපටිය ගෙන දමා ගත්තේ මට දිවත් දික්කරය.

“මැඩම් බැහැල බ්ලෙසර් එක ගන්නවද?”

කියන පරක්කුවෙන් මම ඔසරි පොටත් අතින් අල්ලාගෙන රියෙන් බැස්සෙමි. නෙරියේ රැලි අතින් පිරි මැද ගත්තෙමි. සිහිලැල්ගෙ ඇරයුමෙන් උදේ ගෙදරටම පැමිණ, ඔහු කිවුව විදිහටම, පේන නොපෙනෙන තරමේ මුහුණට රූපලාවණ්‍ය සත්කාරයක් කළ ශිල්පිණිය, ගෙල මුලට කර බැන්ද නුහුරු කොණ්ඩ ගෙඩිය අතගා බැලිමි.

වෙනදට දඟ කොණ්ඩය පරිස්සම්ය. පසුපස අසුනේ වූ කළු කෝටය දකුණු අතට ගත්තේ ඔය ඔක්කොම කළාට පසුය.

“යන්..”

සිහිලැල් මා දකුණු පසින් හිටගත්තේය. ආරක්ෂක අංශයේ නිලධාරින් අපව නිහඬව පිළිගත්හ. අම්මාට කරන විශේෂ ආචාර කිසිවක් සිහිලැල් වෙනුවෙන් නොවිණි. අද වාහලතැන්න සමූහයේ සභාපතිත්වය වෙනස් වූ දන්නේ ඉතාම අතලොස්සකි. එය අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමෙන් පසු සමස්ත කාර්ය මණ්ඩලයම අමතන තෙක් රහසක් කරගන්නට භූමිට වුවමනා විය.

මට මේ බිම නුහුරු නුපුරුදු නොවේ. උදේ හවස ගෙවුණේ මෙහිය. එහෙත්.. අද දැනෙන්නේ මහා නුපුරුදු තැනකට මුල්ම වරට යනවා වගේ හැඟීමකි. කෝල බවකි. මා සිතුම් වටහාගත්තාක් මෙන් සිහිලැල් හෙමිහිට මගේ අතක් අල්වා ගත්තේය.

“ගී මැණික..රිලැක්ස්..”

මම යන්තමට හිස ඔසවා ඔහු දෙස බැලිමි. ඔහු වතේ වූ දිරි ගැන්වීමෙන් හිතට රිංගාගත් නුහුරු හැඟීම් අමතක කරන්නට වෙහෙසුණෙමි.

සිහිලැල් පුරුදුකාරයෙකු වගේ මා අත නෑරම කෙලින්ම ගියේ අම්මාගේ කාමරයටය.

“මීටින්ග් එකට තව මහ කාලයක් නෑ.”

සිහිලැල් කීවේ බිත්තිය මතවූ ඔරලෝසුව දිහා බලමිනි.

“කෝ අම්මල?”

“මීටින්ග් එකට තාරුණීගේ රූම් එක ඇරේන්ජ් කළේ.”

නොකියා කිව්වේ අම්මලා එහි වන්නට ඇතැයි කියාය.

“පුතු පැටියා දඟ කරයි භූමි.”

මට තාමත් ඔහු භූමිය. කොච්චර සරදම් කළත් කටට හුරු වගේම මං ආදරය කරන භූමි නමින් මිදී ඔහු අමතන්නට වෙන නමක් මට නොවේ.

“මේක හරියන කෙහෙල්මලක් නෙමේ. උඹ නම වෙනස් කරගනින්..”

භූමිජ ඉන්නැද්දීත් මම ඔහුට භූමි කියා කියද්දී සිහිලැල් භූමිජට කිව්වේය.

“මං මොකටද කියපන් අම්මා තාත්තා දුන්න නම වෙනස් කරන්නේ. උඹ මේ් මගෙ නම විකණ විකුණ කෙල්ලො අමාරුවෙ දැම්මා කියල.”

“බහු වචන නෑ මල්ලී.. ඒක වචනයෙන් කියපන්.. ගොඩක් අමාරුවෙ දැම්මෙ නෑ. එකයි අමාරුවෙ දැම්මෙ.. එපමණයි.නැද්ද මගෙ පණ..”

“උඹ රැවටෙන්න එපා නංගී.. මේකා වෙස් මාරුකරගෙන ලංකාව වටේ කරක් ගහල ඉන්නෙ. බලාගෙන ඉස්සරහට තව කීයක් එයිද දන්නෑ මූ බඩ කළා කියාගෙන.”

“ඔව්.. මං හැට හුටාමාරක් උන්ව බඩ කළා. බලාගෙන හිටහන් උප්පැන්න ලියන්න. මොකද මං උන් ඔක්කොටම දුන්නේ බොගෙ නම.. නිකන් නෙමේ වාසගමත් එක්ක.”

යහළුවන් දෙදෙනා වචනයෙන් මරාගනිද්දී මම සිනාවෙවී බලා ඉන්නෙමි. ඒ ඔවුනගෙ කතා ඉවර වී සිහිලැල් මට “ගී මැණික..” කියා ඇමතන කල්හිත් මා ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ “භූමි..”කියාය. දෙදෙනාම මහ හඬින් හිනාවේ. වත රතුවන්නේ මගේය. මම සිහිලැල්ට යන්තමට රවා ගස්සමි.

” භූමි.. ඇහුණද, බෝඩ් මීටින්ග් කියල බලන එකක් නෑ පුතු පැටියා දඟ කරයි.”

“මගෙ කොල්ලනෙ.. කමක් නෑ. දඟලපුදෙන්..”

ඔහුට නම් වගක් නැත.

” දුව පුතත් එක්ක එන්න..”

ස්ථාවර දුරකථනයට ඇමතුමක් දුන් අම්මා කිව්වාය.

“කෝ..”

සිහිලැල් මා වෙතට ආවෙ දෑත දික්කරගෙනය. උදේත්.. ටයි පටිය පළඳවා කළු කෝට් බෑය ඇන්දෙව්වේ මාය. මම දැනුත් කැමැත්තෙන්ම ඔහුට කෝටය ඇන්දෙව්වෙමි. ඒ කර චුට්ටක් ඔහු වෙතින් මෑත්ව ඔහු දෙසම බලා සිටියෙමි. කිසි අඩුවක් නැති පෞරුෂවත් පිරිමි රුව රිසි සේ විඳින්නට හිතය. නෙත් නොපියා විඳින්නට හිතය. මේ යැයි කියා පහදවා දෙන්නට බැරි මහා හැඟීමක් හිත පුරා ගලන්නේය. මහා ලෝභී හැඟීමක් හිත පුරා ඉතිරෙන්නේය. ඇස්වහක් කටවහක් නැත.. මේ රුව මටම වාසනාවන්.. මේ පෙම මටම වාසනාවන්.. ඇස් තෙත් වුණේ ආදරය වැඩිකමටය. ලෝබකම වැඩිකමටය.

“මොකෝ..”

“ලෝබයි..”

“මොනවටද?”

“ඔයාට..”

“මාත්..”

“ම්ම්ම්..”

“ලෝබයි..”

“මොනවටද?”

“ඔයාට..”

“ඔයාට.. මං ගොඩක් ආදරෙයි..”

මම ඔහු දෝතින් බදා ළයට හිස තියා ගත්තෙමි.

“මගෙ ගි මැණිකට මාත් මගෙ පණටත් වඩා ආදරෙයි..”

ඔහු අපමණ ආදරයකින් මගෙ හිස සිම්ඹේය.

💐🌹🌷🌹💐🌹🌷🌷💐💐

අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම අහවරව ඒ ගමන්ම ප්‍රධාන රැස්වීම් ශාලාවේ සමස්ත කාර්ය මණ්ඩලය රැස්වන්නට නියමිතය. මගේත්, සිහිලැල්ගේත් විවාහය හෝ සිහිලැල්ගෙ අභිනව සභාපතිත්වය අධ්‍යක්ෂක මණ්ඩලයට මහා පුදුමයක් නොවුණේ කලින්ම ඔවුන් ඒ ගැන දැනුවත්ව සිටි නිසාය. නමුත් සමස්ත කාර්ය මණ්ඩලය ඒ ගැන නොදැනුවත්ය. ඊටත් නව තාක්ෂණය ඔස්සේ අද මෙහි පැවැත්වෙන රැස්වීමට සජීවිව අනෙකුත් ශාඛාවල අයද සහභාගි වේ. ඉතිං, එතෙක් අධ්‍යක්ෂක මණ්ඩලය සිහිලැල්ගෙ විවාහය වගේම සභාපතිත්වයත් රහසක්ව රැකගත්හ. මගේ පාර්ශවයෙන් ඔය රහස දැන සිටියේ ඉඳුලා විතරය. උන්ට කොහොමත් ඕනි කාර්යාලයම හොල්මන් කරන්නටය.

” අර වහන්තරා ටික උඹ චෙයාමන්ගෙ වයිෆ් කියල දැනගත්තම ඩාම් වෙලා ඩූම් වෙන හැටි බලන්න මට තියෙන්නේ පුදුමාකාර ආසාවක් බං.. මට පුළුවන් නම් උන් ඉස්සරහට ගිහින් රතිඤ්ඤා වැලක්ම පට පට ගාල පුපුරවන්න.. අම්මා..හ්.. ඊට වඩා දෙයක් නෑ..”

ඉඳු කිව්වේ අනිත් දෙදෙනාගේම අදහසය.

සිහිලැල්ගෙ අම්මා මුලසුනට වූවාය. මා නම් හැදුවේ පුතුන් දෙදෙනාත් සමඟ වේදිකාවේ පසුපෙළ අසුනටවන්නටය. එහෙත්.. සිහිලැල්ගෙන්වත්, අම්මාගෙන්වත්, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන්වත් ඊට ඉඩක් නොලැබිණි. අම්මාගේ දකුණු පස සිහිලැල් අසුන් ගෙන පුතු පැටියා ඔහු උකුලේ තබා ගත්තේය. සිහිලැල් ළඟම අසුන වුයේ මටය. වස්තු මා ළගය.. සභාපතිනියගෙ සම්බන්ධීකරණ ලේකම් වූවාට පසුව මේ වේදිකාවේ වරක් මම පසු පෙළ අසුන් ගෙන ඇත්තෙමි. මගේ මේ ඉදිරි පෙළ ආගමනය රහස දන්නා අප හැර සෙස්සන්ට ප්‍රශ්නයක් වන්නටත් ඇතිය.

නියමිත වෙලාවටම රැස්වීම ඇරඹිණි. පුරුදු න්‍යායාත්මක විධි වලින් පසු සභාපතිනිය අසුනින් නැඟී සිටියාය. ඇය ඇගේ සභාපතිත්වය දරන ලද කාලය ගැන වැඩියමක් නොකියා ඇයට වාහලතැන්න සමූහය පවත්වා ගෙන යන්නට ශක්තියක් දුන් හැම දෙනාටම පොදුවේ සිය කෘතඥතාව පළ කළාය. සිය සභාපතිත්වය අත අරින්නට බලා හිටියේ මීට බොහෝ කලින් වුවත් නොසිතූ විරූ බාධක නිසා එය කල්ගිය බවත් දැන් ඊට හොඳම කාලය උදාවී ඇති බවත් කියා සිටියාය. බය නැතුව සිය මුලසුන පිරි නමන්නට හැකි පුතෙක් ඉන්නැද්දි තවත් මේ මුලසුන මත රැඳෙන්නට කැමති නොවැමියි කිව්වාය. වස්සාන සිහිලැල් වාහලතැන්න වන තම පුතුගේ නායකත්වයෙන් මේ වාහලතැන්න සමූහය දියුණු වෙන හැටි ළඟින් ඉඳ බලා ඉන්නැමැයි කියා ඇය සිහිලැල්ට සිය අසුන කැමැත්තෙන්ම පිරිනැමුවාය. සිහිලැල් පුතු පැටියා සමඟම අසුනින් නැඟී සිටියේය. ඔහු හාම මටත් නැඟිටින්නැයි ඉඟි කළේය. පුතුත් වඩාගෙන මාවත් අතින් අල්ලගෙන අම්මා ළඟට ගියේය. අප තිදෙනාම වේදිකාවේදිම අම්මාගේ දෙපා වැන්දේය. අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදීත් මුලසුන ගත්තේ අම්මාට වැඳ ආශිර්වාද ගැනීමෙන් අනතුරුවය. අම්මා සිහිලැල්ව, මාව වගේම පුතු පැටියාවත් සතුටු කඳුළින් සිප ගත්තාය. අනතුරුව මමත් පුතු පැටියාත් සිහිලැල්ගෙ දෙපා වැන්දෙමු. සිහිලැල් මා හිස අතගා මා නැඟිටුවා ගත්තේය. අච්චර පිරිසක් ඉදිරියේදීත් නළල සිඹ කම්මුල් සිපගත්තේය. පුතු පැටියාවත් සිඹ මා දෝතට දුන්නේය. ඔහු ළඟම සිටවා ගත්තේය.

සිහිලැල් සිය කාර්ය මණ්ඩලය අමතා කතා කරන්නට ගත්තේ ඉන්පසුවය. අවසර ගැනීම්, පිළිගැනීම් අහවර කළ ඔහු මා ඔහු අසළට ළං කරගත්තේය.

“ගොඩක් අයට මේ කවුද කියල කියන්න අමුතුවෙන් කියන්න ඕනි නැතුව ඇති. කාලයකට ඉස්සර නම් මේ බ්‍රාන්ච් එකේ අයට විතරක් හුරු කෙනෙක් වුණාට මේ වෙනකොට අපේ බ්‍රාන්ච්වල ඔක්කෝම අය දන්නව. මොකද ළඟකදි ඉදල මෙයා ඒ ඔක්කොගෙම දුක්ගන්නාරාල එහෙම නේද..?”

සිහිලැල් කතාව නවතා මෙහොතක් සිටියේය.

💐🌷🌹ආයෙත් එන්නම වෙනව.. කොහෙද අදත් ඉවර කරන්න බැරිවුණානෙ අප්පා