වස්සාන මල්

මේ පනස් නවවන මල් පොහොට්ටුවයි 💐🌹💐🌹🌹

වසන්තය උදාවී
සෙනේහය පිටාරව

ගලා යන නිමේෂය
ඉතිං එළැඹි තියේ…

ඉතිං හිනැහෙමු අපිත්
සිහිල් සුළඟක් වගේ

ගී තයක තණුව වී
හෙමි හෙමින් ගලා යන…

සියළු දුක් සෝ තැවුල්
පිස දමා නෙත් අගින්

හිනැහෙන්න දැන් වරම්
සමු ගනිමු සංතොසින්…

ආයුබෝවන් ගී මැණිකේ…

ආදරණීය රේණු අක්කාගේ මුතූ වෙනුවෙන් බැඳුණු හිත…💐🌹

” කවුරු මොනව කිව්වත් මටත් ඕනි වුණේ මගෙ පොඩි පුතාගෙ ජීවිතේ සතුටින් ගෙවෙනව දකින්න. ඒකිගෙ හිත හොඳකමට හැමදාම ඒකිට උරුම වුණේ දුකක් විතරයි. ඒත්.. ඒකි එදා ඉඳන්ම එ් හැම දුකක්ම හිනා වෙලා බාරගත්ත.

හිනාවෙන්න බැරිම තැන්වලදිත් අනිත් අයගෙ සතුට ගැන හිතල ඒකි හිනා වුණා. කොච්චර ඇට්ටරී වුණත් පොඩි පුතා ආත්මාර්ථකාමී වුණේ නෑ කවදටත්. අද මේ වෙනකම් මගෙ කෙල්ල ගැන මගේ හිතේ තිබුණ ගින්දර දන්නෙ මං විතරයි. ඒකි ගැන මතක් වෙන මතක් වෙන හැම සැරයකම මං හරියට විස්සෝප වුණා.

ඒකිට අයිති වෙන්න තිබ්බ දෙයක් ඒකිගෙන් උදුරගෙන, ඒකිව දුකට ඇදල දැම්මෙ මං නේද කියල හිතුණම මං හැමදාම පිච්චුණා. ඒ හින්දම මං ප්‍රාර්ථනා කළේම පොඩි පුතාට හැම අතින්ම සම්පූර්ණ වෙච්චි ජීවිතයක්.

භූමිට ඒ ජීවිතය දෙන්න පුළුවන් කියල මට කිසි විශ්වාසයක් තිබුණේ නෑ. ආයෙත් භූමිත් එක්ක එකතු වෙනව කියන්නෙ මගෙ කෙල්ල දුක් විඳින එක විතරයි නේද කියල හිතුණ හින්දයි මං භූමිට බොරු කිව්වෙ..”

“ගිය දේවල් ගියා. දැන්වත් මට මගෙ ගීව දෙන්න. අද ඉඳන්වත් එයා මගෙ ළඟ සතුටින් පරිස්සමෙන් තියාගන්න මට ඉඩ දෙන්න. එයාගෙන් කියල කිසිම කිසි දෙයක් මට එපා. එයයි, වස්තුයි විතරක් මට දෙන්න.”

සිහිලැල් අහිංසකව ඉල්ලුවේය. මා මත්තේ ඔහු මෙතරම් බැගෑපත් වෙන්නට උවමනා නැතිද බැගෑබරව ඉල්ලා සිටියේය.

“තාත්තී.. පුතු පැටියා..”

පුතු පැටියා දුවගෙනවිත් සිහිලැල්ගෙ දෙපා බදා ගත්තේය. පුතු පැටියා කොහොමත් පොඩිකමට නොවේ, හොඳටම පැහිලා.. ඉඳිලාය. අපතර වූ කතාබහින් ඔහු මොනවා මොනවා අහුලා ගත්තාද නොදන්නෙමි. එහෙත්.. සිහිලැල් අවසන කී වචන ටික නම් හොඳටම අහුලාගෙනය.

“පුතු පැටියා කොහොමත් තාත්තිගෙනෙ. පුතු පැටියාව කාගෙන්වත් ඉල්ලන්න දෙයක් නෑ.”

සිහිලැල් පුතු පැටියා දෝතට ගත්තේය. දෙකම්මුල් සිපගෙන සිපගෙන ගියේය.

“එතකොට අම්මි ඔයාගෙ නෙමෙයිද?”

තාත්තිගෙ ආදරය විඳ අවසන පුතු පැටියා ආයෙත් ඇසුවේය. භූමිජ හයියෙන් හිනා වූයේය.

“අන්න තාත්ති.. දැන් දෙන්න උත්තර..” ඔහු හිනා වෙවීම කිව්වේය.

“සිම්පල්නෙ.. අම්මිත්.. තාත්තිගෙ.. පුතු පැටියත් තාත්තිගෙ.. එ් වුණාට අම්මිව ආතම්මටත් අයිතිනෙ. ඒකයි ආතම්මගෙන් ඇහුවෙ අම්මිව තාත්තිගෙ ගෙදර එක්ක යන්න දෙනවද කියල.”

“ආච්චම්මෙ, ඔයා අම්මිව තාත්තිට දෙනව නේද කියන්නකො..”

“ඔයාගෙ තාත්ති මොන විදිහට ආවත් ඔයාගෙ අම්මිව තාත්තිට දෙන්න වෙනව කියල මේ ආච්චම්මා දැනගෙන හිටිය පුතේ.. ආච්චම්මා දුන් නැතත් අම්මි තාත්තිව අතාරින්නෑ කියල මේ ආච්චම්මා දැනගෙන හිටිය. ඒ හින්ද ආයෙ ආච්චම්මාට දෙන්න දෙයක් නෑ. කොහොමත් ඔයාගෙ අම්මි තාත්තිගෙ තමයි.”

“යේ.. යේ.. අපේ අම්මි අපේ තාත්තිගෙ.. අපේ තාත්ති අපෙ අම්මිගෙ.. මං ඒ දෙන්නගෙ.. මං විතරක් නෙමේ.. මගෙ වස්තු අයියත් ඒ දෙන්නගෙ..”

පුතු පැටියා තාත්තිගෙ දෝතින් මිදී එ්කම කිය කියා නටන්නට වූයේය. තිබුණා නම් ඒ ඇසිල්ලේ අප අප අතර යම් හිත් පීඩනයක් ඒ හැමකක්ම පුතුගේ නැටිල්ලෙන් දුරුව ගියා සේ විය.

💐🌹💐🌹💐🌹💐🌹

“මෙන්න අම්මෙ, මේ තමා අපි දෙන්නගෙ රාජධානිය..”

ආගිය කතා, සතුටු සාමිචී, තේ පැන් සංග්‍රහ අවසන සිහිලැල්ට වුවමනා වූයේ කුරුඳු වාඩියට යන්නටය. ඒ වෙනකොට ඉඳුලාත් අවුදිනි. ඉඳුලාට මේ අහඹු කතාවේ පෙරපර ගලපා ගන්නට මහ වෙලාවක් නොගියේ සිහිලැල් දුටු විගස වස්තු “භූමි මාමා..” කියා කෑ ගැසූ නිසාය.

“වස්තු..”

සිහිලැල් පෙරට ගොස් වස්තුව වැළඳ ගත්තේය.

“මෙච්චර දවසක් මගෙ අම්මි ඩෝල්ව බලන්න ආවෙ නැත්තේ ඇයි ඔයා? ඔයා.. ඔයා දන්නෑ මගෙ අම්මි ඩෝල් කොච්චර දුකින්ද හිටියේ කියල. මගෙ අම්මි හරි පව් භූමි මාමා.. ඔයා හොඳ නෑ.”

වස්තු කීවේ අඬ අඬාය. අනේ.. මගේ අසරණයා ඉකි ගහ ගහා ඇඬුවේය. අඬ අඬා කියෙව්වේය. මම නොදැන උන්නෙමි, මගෙ වස්තු අම්මාව මේ තරම් කියවා තේරුම් ගෙන උන්නා යැයි ඔය කියනකම් නොදත්තෙමි.

පහුගිය වකවානුවේ අප තුන්දෙනා හුදකලාව දිවිසැරිය ගැට ගහන්නට ගත් උත්සාහය වස්තු එකින් එක කිව්වේ මාවත් පුදුම කරය. වැඩි කතාබහ නැතිව හිටියත්, කිසි දෙයක් නොදත්තෙකු සේ හිටියත් මගෙ වස්තු මොන තරම් අම්මා ගැන දුක් වී ඇතිදැයි කියා මටත් තේරුණේ එවෙලේය.

“මටයි, මල්ලිටයි තියෙන දෙයක් කන්න දීල මගෙ අම්මි ඩෝලෙ රෑට කන්න බෑ මහන්සියි කියල කොච්චර දවසක් බඩගින්නෙ හිටියද කියල දන්නවද භූමි මාමෙ.. මගෙ අම්මි කවදාවත් අපිට නොදී ටොෆියක්වත් කෑවෙ නෑ.

ඔෆිස් එකේ වැඩ කරල කරල ගෙදර ඇවිල්ලත් මගෙ අම්මි රෑටත් කවර ඇලෙව්ව. මහන්සි යට වේලපහින් නිදාගත්තට හැමදාම රෑට ඇහැරල අම්මි කවර අලවල කියල මාත් දැනගන්නෙ උදේට. අම්මි මායි, මල්ලිවයි දුකක් නොදී බලාගන්න කොච්චර හරි දුක් වින්දා..”

වස්තුගේ කතාව අසා සිටි හැම කෙනාටම ඇඬුම් ආ බව ඇත්තය. වැඩියම ඇඬුවේ අම්මාය.. අක්කාය..

“භූමි මාමා හින්ද අම්මි ඩෝලෙ හැමදාම දුක් වින්දා පුතේ.. ඒක භූමි මාමා දන්නව. ඒත්.. අද ඉඳන් ඔයයි, මමයි, මල්ලියි, ආතම්මයි එකතුවෙලා අම්මි ඩෝලෙව සතුටින් තියමු.”

සිහිලැල් ඔහු පිරිමි නෙත්වල වූ කඳුළුවල තෙත නොසංගාම කිව්වේ මාත්, පුතු පැටියාත්, වස්තුවත් දෝතින් තුරුළු කරගෙනය.

“අපි කා අතිනුත් මුතුව මගෑරිල කියල දැන් මට ඕනවටත් වඩා තේරෙනව. ඒත්.. අද ඉඳල මගෙ පුතා අතින් මුතුව මිස් වෙන එකක් නෑ ආයෙ කවදාටවත්. මගෙ පුතා හින්ද කියනව නෙමේ.. මුතුව ඇස් දෙක වගේ පරිස්සමට බලාගනියි මෙයා ඉස්සරහට.”

සිහිලැල්ගෙ අම්මා විශ්වාසයෙන් කිව්වාය.

“මගෙ අතිනුත් මගෙ පොඩි පුතාට වුණ තරමක් වුණේ අකටයුතුකම්. එක තැනකදි ට සිද්ධ වුණා මගෙ ඇස් දෙකින් එක ඇහැක් ගැන විතරක් හිතන්න. එහෙම ඒ ඇහැ ගැන හිතුවේ නැත්නම් ඒ ඇහැ මට පෙනි පෙනීම පොට්ට වෙලා යන්න තිබුණ. ඒ හින්ද එවෙලෙ ඒ පොට්ට වෙන්න ගිය ඇහැ ගැන හිතල මං අනෙක් ඇහැ අමතක කළා.

ඇස් දෙකම එක හා වටින කෙනෙන්ට ඒ වෙලාවෙ කරන්න තිබුණේ ඒක විතරයි. ඒත්.. මට පස්සේ හරි තිබුණ අර නොසලකාම ඇරිය ඇහැ ගැනත් හොඳට හොයල බලන්න. ඒත්… ඒක එහෙම වුණේ නෑ. මගෙයි වැරැද්ද..”

අම්මා විස්සෝපයෙන් හැඬුවාය. හොඳටම හැඬුවාය.

“අම්මාගෙ කීමට පොඩි පුතා එයාගෙ අනාගතයම අතෑරල දැම්මට, කවදාවත් අම්මා හිතුවේ නෑ.. භූමි වගේ කෙනෙකුට ඒකිගෙ අනාගතය දීල දායි කියල. මං මේ කියන්නෙ අද ඉන්න භූමි ගැන නෙමෙයි.. එදා හිටිය භූමි ගැන.

එදා ඒ අකීකරුකම කළාම මං හිතුවේ අම්මාගෙන් පොඩි පුතා පලිගත්ත කියල. දරුවො විදිහට මේ දෙන්නම දන්නෑ එදා ඒ අකීකරුකම කරල පොඩි පුතා අම්මට දුන්නේ මොනතරම් දුකක්ද කියල.

එදා ඉඳන්.. මේ දැන් වෙනකම්ම පොඩි පුතා වෙනුවෙන් මේ අම්මා ගින්දර උහුලපු හැටි දන්නෙ මේ අම්මම විතරයි. මේ අම්මා වැරදිත් ඇති.

මට සැනසීම නැති කරල දාල මගෙ පොඩි එකී අකීකරුකම්ම කරද්දී, ඒකිගෙ අකීකරුකම් මට්ටු කරන්න කියල හිතාගෙන මාත් ඒකිව අතෑරලම දැම්මට පස්සේ ඒකි තට්ට තනියම ජීවිතේ කොහොම ගෙනියනව ඇතිද කියල හෝදිසි කරන්න මටත් යුතුකමක් තිබුණ. ඇත්ත.. මා අතින් ඒ යුතුකම් මගෑරුණා.”

“අනේ.. අම්මෙ, මොනවද මේ කියවන්නෙ..

අම්මාගෙන් මට වරදක් වුණා කියල මං කවදටවත් හිතන්නෑ. අම්මා ගෙන් තියා මේ කාගෙන්වත් මට වැරැද්දක් වුණේ නෑ. එහෙම කවුරු හරි හිතනව නම් ඒ අදහස දැන්මම අතෑරගන්න. කවුරුත් ගිය දේවල් මත්තේම එල්ලි එල්ලී පසුතැවෙන්න එපා.”

මා කිව්වේ බොරුවට නොවේ ඇත්තටමය. ඒ වෙලාවට දුකක් සේ දැනුණාට ජීවිතේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ න්‍යායකට අනුවය. අපත් නොදන්නා අපූරුතම න්‍යායකට අනුවය. උත්සාහයෙන්, උනන්දුවෙන් ඒ න්‍යාය පත්‍රය සංශෝධනය කළ හැකි වීද, එය සම්පූර්ණයෙන්ම නම් වෙනස් කරන්නට පුළුවන්ය කියා මම නොඅදහමි.

“ඒ.. කොහොමද කියහන්කො රෝස කැලෙන් අහුලාගත්ත කුමාරයා උඹේ භූමි වුණේ.. අම්මෝ.. ඒක නම් අදහන්න වටින සීන් කෝන් එකක්. සම්පූර්ණයෙන්ම හොඳ චිත්‍රපටියක තිර පිටපතක්. ඇත්තටම.. උඹේ කතාවනම් මාරම මාරයි බං..”

ඉඳුලා මාව හුදකලාව අල්ලාගන්නට පුළුවන් වූ පළමුවෙනිම තත්පරයේ එහෙම කිව්වෝය. නිකනුත් නෙමේ.. හතර අතින්ම මාව කොනිත්තමිනි.

“රිදෙනව යකුනේ.. කොනිත්තන් නැතුව ඉඳහල්ලකො.”

මම එහෙට මෙහෙට ඇඹරුණෙමි.

“අද විතරනෙ.. උඹට හිංසාවක්, පීඩාවක් කරන්න පුළුවන් දවස. ඉතිං, පුළුවන් තරම් උඹට රිද්දන්න ඕනි..”

“අද විතරක්..”

” වාහලතැන්න ගෘප් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඌෂ්ණෙ වැදුණම අපිට කිට්ටු කරන්නවත් පුළුවන් වෙයිද මං අහන්නෙ..”

“ලේසිපාසුද චෙයාමන්ගෙ වයිෆරේ කිව්වම..”

“අනේ.. මේ කට වහගෙන ඉන්නවද..? මං ඔය ඩිරෙක්ටර් බෝඩ්වලට යනේකක් නෑ.”

“නොයා මොකද, සිහිලැල් වාහලතැන්නගේ ප්‍රිය භාර්යාව වෙනව කියන්නෙ ඔටෝම ඩිරෙක්ටර් බෝඩ් එකේ මෙම්බර් ෂිප් එක ලැබෙනව කියන එක. හා.. නැද්ද සර්..”

ඉඳු සර් කියනකම්ම සිහිලැල් ළඟට එනවාවත් නොදැක්කෙමි.

“මගෙ වෙනව කියන්නෙ මගේ කියල තියෙන හැමදෙයකම අයිතිකාරී කියන එක. මගෙ නූල් පටේ ඉඳල හැම දෙයක්ම අද ඉඳන් මෙයාගෙ.”

සිහිලැල් මා කරවටා අත දමා ගත්තේය.

“අපි දැනගෙන හිටිය කවදාහරි මුතුට කවදහරි හොඳ ජීවිතයක් ලැබෙයි කියල. ඒත්.. මේ තරමට දෙයක් වෙයි කියල නම් හිතුවේ නෑ. සතුටුයි සර්.. ඇත්තටම..”

“ඔය චාටු කතා අහන්න එපා. ඔය දැන් ඔහොම කිව්වට, ඔය ටික දත කෑවෙම මාව හේෂිතගේ කරේ එල්ලන්නමයි.”

“කරේ එල්ලන්න හැදුවට එල්ලගත්ත කියලද? පහුරු ගාල පහුරු ගාල ඒ මනුස්සයාව බිමටම ඇදල දැම්මා මිසක්. අපෙන් බැනුම් අහ අහ භූමි එනකම්ම බලා හිටියේ ඔය..”

“බලා හිටියට නරක් වුණාද.. මේ භූමි ආවෙ නැද්ද මැණික..”

“හොඳයි ඉතිං, අපේ මුතුම හින්ද..”

ඉඳුලා සිහිලැල්ට සරදම් කළහ. ඔහුත් හරි හරියට ඔවුන් එක්ක ඒ සරදම්වලට උත්තර දුන්නේය. වෙනදාට ඕනෑවටත් වඩා දොඩමලු මම වැඩිපුර නිහඬව බලා උන්නෙමි.

“භූමියා නම් මරු මචං.. ආශ්‍රය කරන්න තව වෙලාවක් නෑ. ඒ හින්ද යනව.. පුළුවන් වෙලාවක කතා කරල අපිව අප්ඩේට් කරපන් ඉදිරිය ගැන..”

ඉඳුලාත් ගියාට පසුය, සිහිලැල්ට කුරුඳු වාඩිය පැත්තෙ යන්නට උවමනා වූයේ.

“අපි ජීවිතේ පටන්ගත්ත තැන. මගෙ ජීවිතේ වගේම ගීගෙ ජීවිතේත් අලුතින්ම පිටුවක් ලියන්න පටන්ගත්ත තැන. අම්මලට කියන්න ඕනි මේක කවදාවත් වෙනස් කරන්න එපා කියල.”

“ආයෙ කාටවත් වෙනස් කරන්න එපා කියන්න ඕනි නෑ. අම්මා හදන්නේ මේ ඔක්කෝම මේ තුන්දෙනාට ලියල දීල නිදහස් වෙන්න..”

සිහිලැල් “ගිම්හාන යමු..” කියා ගිම්හානව ඉස්සර කරගෙන ආවේය. ගිම්හානටත් කියන්නට මොන මොනවාදෝ ටිකක් ඉතිරිව ඇති බවක් මුහුණ දිහා බැලූවිට පෙනුණි. ඔය පශ්චාත්තාපී කතා අසන්නට තරම් රුචියක් මට නොවේ. එහෙත්.. සිහිලැල් කීවේ “ඌටත් කියන්න තියෙන දෙයක් කියල හිත නිදහස් කරගන්න දෙමු”ය කියාය. අක්කාත් ඇගේ කතාව කියා දැමුවේ මාත් සිහිලැලුත් තනිකර ගෙනය.

“ගිම්හානව නංගිගෙන් උදුරගන්න ඕනි කියල කිසිම හැඟීමක් කවදටවත් තිබුණේ නෑ.

ඇත්තටම මං ගිම්හානට ආදරේ කළෙත් නෑ. කවුරු මොනව කිව්වත් එදා වුණේ අහම්බයක්.. මට අම්මා වුණත් පලු යන්න බැන්නෙ ඇයි තොට තිබුණේ නැද්ද ඌට ඇත්ත තේරුම් කරල දෙන්න කියල.

ඌට කිව්ව නම් නංගි ගන්න ඉන්න ඌ අක්කව බඩ කරයිද කියල. ඒත්.. ගිම්හාන වගෙම මාත් හිටියේ හොඳ සිහියෙන් නෙමේ. එදා සෝෂල් එකේදි, අපි බියර් කියල බිව්වෙ අරක්කු කලවම් කරපුව කියල අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ.

එදා මං වගේම ගිම්හානත් එකම කාමරේට දාල දොර වැහුවෙ කැම්පස් එකේ උන් හිතුවේ අපි දෙන්න අතර එෆෙයාර් එකක් නොතිබ්බට අපි දෙන්න අපි දෙන්න ගැන කැමැත්තෙන් ඉන්නව ඇති කියල හිතල.

මොකද අපි දෙන්න අපි දෙන්න ගැන හොයා බැලුව. මම ගිම්හාන ගැන බැලුවේ එකම ගමේ එකටම හැදුණ යාඵවා නේද කියල හිතල. එයා මං ගැන බැලුවේ එයා ආදරේ කරන කෙල්ලගෙ එකම අක්කා නේද කියල හිතල.

ඉතිං, ඒක වරදවා තේරුම් ගත්ත උන් හින්දයි එදා අපි දෙන්න ජීවිතේ පටලවගත්තෙ. ඒක එහෙම වුණත් දෝණි මගෙ ළඟට ආවෙ නැත්නම් අපි කීයටවත් එදා සිද්ධ වුණ කිසි දෙයක් කාටවත් කියන්නෑ.”

අක්කාගේ පාපොච්චාරණය නවත්වන්නට මාත් සිහිලැලුත් කීප වර උත්සාහ කළද ඇය කියාගෙන කියාගෙන ගියාය.

🌹💐🌹 සඳුදාට බොහෝ දුරට අවසන් කොටස