වස්සාන මල් 💐💐🥀🌹🥀🥀
මේ පනස් එක්වන මල් පොහොට්ටුවයි 💐🌹🥀🌹🌹
“ගුඩ් මෝනිං මැඩම්.. ගුඩ් මෝනිං සර්..” කියාගෙන හේෂිත පළමුවෙන් දොර විවර කරගෙන ඇතුළට යද්දී මට එහෙම සුභ පැතීමක් ගැන තියා කිසිම කිසිවක් මුවට නාවේය. මගේ ඇස් ගියේ පුතු පැටියා වෙතටය.
ඔහු සිහිලැල් වාහලතැන්නගේ මේසය මත නැඟගෙන කුඩා ජාතික කොඩියත් වන වනා මහ සද්දෙට “ලංකා ආදරෙයි.. ලංකා ආදරෙයි..” ඒ පද දෙක විතරක් ගයන්නේය. ඔය දැන් මොහොතකට කලින් රූපවාහිනීයේ පෙන්වූ “සුවදෙන සුවඳක්” චිත්‍රපටයේ එන ගීතයක මුල් පදයයි. මට හිතුණේම කන පොඩ්ඩක් මිරිකා මේසයෙන් බස්සා ගන්නටය. එහෙත්..
එහෙම දඬුවමක් දෙන්නටවත් පුන්සඳා වාහලතැන්න ගෙන් අවසරයක් නොවන බව දත් හින්දාත්, මේ පිරිසක් මැද එහෙම දඬුවමක්වත් දෙන එක නොහොඹි හින්දාත් තරහින්ම ඉවත බලා ගත්තෙමි.
“අම්මි.. අම්මි.. ලංකා ආදරෙයි.. ලංකා ආදරෙයි..”
පුතු පැටියා මා දැකිවනම මට පේන්නට තවත් සද්දෙට ගයන්නට වූයේ නැටුමේ වේගයත් වැඩිකරය. පුතු පැටියා වෙතම ඇස් හරවාගෙන මා ඔහුට ඉඟි කළේ දඟ නොකර මේසයෙන් බසින ලෙසය. එහෙත්..
මේකා මා දෙන ඉඟි එකක්වත් ගනන් ගන්නේවත් නැත. පුන්සඳා වාහලතැන්න විතරක් ඉන්නා තැනක නම් කමකුත් නැත. මේ පිරිසක් මැද පුතු නටනා නාඩගම් ගැන ඇත්තටම මා සිටියේ පුදුම තරම් වද වෙමිනි. වායුසමනය කරන ලද කාමරයේ පවා මට දැනුණේ දාහයකි. මම සාරි පොටින් මුහුණ ගෙල පිසඳා ගත්තෙමි.
ගීතයේත්, නැටුමේත් අවදානයේ සිටි පුතු පැටියා මේසය ගැට්ටටම ආ බවක් ඔහු නොදැක්කේය. එහෙත්.. මම දැක්කෙමි. මම වහා ඔහු දෙසට පැන්නෙමි.
“පුතු පැටියා..”
එසැණින්ම පුටුවක්ද පස්සට තල්ලු වන හඬ ඇසිණි.
“වස්තු..”
එහෙම කියනවාත් ඇසිණි. ඒ අකුරු තුන ගිලිහි හඬෙහි හුරු පුරුද්දක් වූවාට හඬ පස්සේ නොගියෙමි. වහා පුතු පැටියාව අල්ලා ගත්තෙමි. වැටෙන්නට ගිය පුතු එක පැත්තකින් මා අල්ලා ගනිද්දී අනෙක් පසින් ඔහු අල්ලා ගත්තේය.
පුතු පැටියා ඔහුගේත්, මගේත් දෙදෙනාගේම ගෙලේ එල්ලුණි. මොකක්ද මන්දා හුරුපුරුදු සුවඳක් ළං ළංව දැනුණාට තවමත් මම ඔහු දෙස හිස ඔසවා නොබැලිමි. මා සිටියේ වෙවුලමිනි. හිතුවේම පුතු බිමටම වැටුණා කියාය. ඇත්තටම..
පුතු පැටියාට එන්න එන්නම විසේ වැඩිය. හරි යන්නේ නැත. ගෙදර ගිහින් මේ දාංගලේට නම් දඬුවමක් දෙන්නටම ඕනෑය. ඒ වෙව්ලීම් අස්සේම හිතුණි.
සිතුවිලි අස්සේ එන්නැද්දී මටවත් නොදැනීම පුතු මගෙන් සහ ඔහුගෙන් මිදී බිමට පැනගෙනය. හුස්මක් වැටෙනා මානයේ සිටියේ ඔහුය. තාමත් ඇස් මත නොගැටුණ ඔහුය.
“ගී.. ගී.. ගී.. මැණික..”
අවුරුදු ගානකට පස්සේ හීනෙන් විතරක් ඇවිත් මා අමතන ඒ හඬ මා අසලින්ම ඇසිණි. මගේ ඇස් ඉස්සුණේ ඒ හඬත් එක්කය. දෙ.. දෙ.. දෙ..යි..ය..නේ.. ඒ ඔහුය.
” භූ… භූ… භූ..මි…”
මගේ මුවින් ගිලිහුණි. ඉතිං, එච්චරය.. ඇසි පිය හෙලන්නටවත් අවසරයක් නොදුන් නෙත් ඔහු මත්තේම අලවාගෙන සිටියෙමි. එදවස කොටටම කපා තිබුණ කූරු කොණ්ඩය රැලි වුණේ කොහොමද කියන්නට නොදනිමි. හරියට පුතු පැටියාගේ වගේමය. හොඳටෝම මුඩු කර තිබූ රැවුලක් නොවූ මුහුණට හීනියට රැවුලක්ද ඇවිත්ය. මුහුණ මත ඇලවුණු ඇස් ටිකින් ටික ඔහු මුළු සර්වංගයම විනිවිද ගියේ මටත් හොරෙනි.
නිතරෝම අත් රහිත ටීෂර්ටයක් සහ කොට කලිසමක් විතරක් ඇඳි ඔහු ලා දම්පාටට හුරු අත් දිග කමිසයට කලු දිග කලිසමක් ඇඳ සිටියේය. තද දම් පැහැති පසුබිමේ කළු තරු වැටුණු ටයි පටිය මනාව ගලපා තිබුණි.
පය සරසා තිබුණේ දිලිසෙන කළු පැහැය එනකම්ම ඔප දමා තිබුණ සපත්තු යුවළකිනි. ඇත්තටම ඔහු දුටුදා පටන් එදා අවසන් දවසේ ගම යනවා යැයි කියූ දවස වෙනකම්ම ඔහු දිග කලිසමක්, කමිසයක් අඳිනවා නොදුටුවෙමි. දුටුවේම එකම විදිහේ ටීෂර්ටයෙනි. කොට කලිසමෙනි. ඇඳුම් කියාත් මහ ගොඩක් නොතිබිණි.
හරියටම තිබුණේ කොට කලිසම් හයකි. ටීෂර්ට පහකි. අවසන් දවසේ ඇඳන් ආ විදිහේ ඇඳුමකට නම් තිබුණේම ඒ එකම විතරය. පයට දාන්නට තිබුණේ එකම රබර් සෙරෙප්පු යුවළක් විතරකි. එය මිදුලට බැස්සත්, වත්තට ගියත්, ඉඳහිට හෝ කඩයකට ගියත් ඒ හැමකකටම ඔරොත්තු දුන්නේය.
මම අද ඇස් මානයේ ඉන්නා ඔහුත්, එදා මගේ ඇස් මානයේ සිටි ඔහුත් හරි හරියට සංසන්දනය කළෙමි. හුරුපුරුදුකම් හින්දා මිසක අනෙකෙකුට නම් මේ එදා දුටු භූමිය කියා එකවරම හඳුනා ගන්නටත් බැරි තරම්ය. මට නම් ඔහු කොයි වේෂයෙන් මගේ නෙත් බැල්මක දැවටුණත් සැනින් හඳුනන්නෙමි.
“ගී.., මගෙ මැණිකෙ.. ඔයා.. ඔයා..”
ඔහු මගේ දෙවුරෙන් අල්වා ගත්තේය. සිතුවිලි දැහැන කැඩී බිඳී විසුරුණි.
“භූ.. භූ.. භූ..මි..”
මා මුවෙන් ගිලිහුණි. එහෙත්.. ඒ ඔහුටවත් අයිති නැති නමක් නේදෝයි කියා පසුව හිතුණි. මා ආවේශ වූයේ ඒත්තෙක්කමය.
“බොරුකාරයා.. මායාකාරයා.. මට එපා.. මටෝන් නෑ.. එපා.. එපා.. මාව අල්ලන්න එපා.. ගන්නව ඔය අත් දෙක.. කිව්ව නේද ගන්න ඔය අත් දෙක.. මාව රවට්ටල, මට බොරු කියල.. මාව දුර ගමනක් එක්ක යන්න වගේ ඇවිත්.. මාව අතරමං කරල ගිය බොරුකාරයා.. මටෝන් නෑ.. ඕනිම නෑ.. මට එපාමයි..”
එකම දේ එක එක වෙලාවට, එක එක විදිහට කියමින් මම ඔහු ළමැදට මගේ අත් දෙකින්ම පහර දුන්නෙමි. නොනැවතීම පහර දුන්නෙමි. ‘එපා..’වත් නොකීවේය. මා නවත්තන්ටවත් උත්සාහයක් නොගත්තේය. නොසැලෙන, සෘජු, උපේක්ෂා නේත්‍ර බැල්ම මොහොතකටවත් මගෙන් ඉවතට නොගෙන මා දෙසම බලා සිටියේය.
“ඇයි, මට මේවා නොකීවෙ..? ඇයි මට මේවා හැංගුවෙ..? ඇයි මට මෙච්චරම බොරු කිව්වෙ.. අඩුම ගානේ.. අඩුම ගානේ.. මාව දාල ආව දවසෙවත් මට ඔක්කෝම නැතත් චුට්ටක් හරි ඇතතක් කියල එන්න ඇයි හිතුණෙ නැත්තේ.. ඔව්.. ඉතිං, කුරුඳු වාඩියෙ මෙලෝ මල හසරක් නොදන්නා භූමිට ගී මැණිකව ගැලපුණාට, මේ රාජ කුමාරයෙක් වගේ ඉන්න සිහිලැල් වාහලතැන්නව ගැලපෙන්නෑනෙ..
ඒක මං දන්නව.. අතාරින්න මාව.. කිව්වම අහල අතාරින්න.. මට යන්න දෙන්න.. මං.. මං.. එන්නෑ.. ආයෙ ආයෙ ඔය ඇස් ඉස්සරහට මං එන්නෑ.. ඇත්තමයි.. මං මේ ඇත්ත නිකමට හරි දැනන් හිටිය නම් මං එන්නෑ.
එන්නෑ.. එන්නෑමයි.. ඔච්චර දේවල් මාත් එක්ක කියෙව්ව.. ඇයි මැඩම් මට මේ තමයි මුතු මගේ පුතා කියල එක ෆොටෝ එකක් නොපෙන්නුවෙ. එහෙම වුණානම් මං කවදාවත් මෙහෙම ගමනක් එන්නෑ මැඩම්.. මං එන්නෑ.”
මම උමතුවෙන් වගේ කියෙව්වෙමි. ඔහේ කියෙව්වෙමි.
“ඇන්ටී.. මොකක්ද මේ පිස්සුව.. මොනවද.. මේ.. මේ.. මෙයා කියවන්නෙ..?”
එකාතකින් මෙච්චර ටිකක් කියවනකම් තාරුණී එදිරිමාන්න ඉවසන් සිටියාත් පුදුමය. කලබලකාරී ඇය හරි නම් මැද්දෙන් පනින්නට තිබුණේ මීට කලිනි.
“තාරුණී.. සිට්..”
“බිල්ලො වගේ වාඩිවෙලා බලන් ඉන්න නෙමේ.. ඇන්ටි මෙන්න මේ ඩ්‍රාමා එක දැන්වත් නවත්තල දාන්න. අද මේ මීටින්ග් එක තියන්නෙ.. පුතාගෙ ඇක්ට් එක ගැන කතා කරන්න මිසක් අම්මගෙ ඇක්ට් බලන්න නෙමේනෙ.”
“ඇක්ටර් කවුද ඇක්ට් කළේ කවුද කියල නොදැන කියවන්න එපා මැඩම්. ඔයාට බයද මේ කොහෙද යන කුණ්ඩවාලයක් කඩා වැටිල දෙවෙනි පාරටත් ඔයාගෙ මඟුල කැඩෙයි කියල. අනේ.. නෑ.. මැඩම්.. මට ඔය කවුරුත් ඕනි නෑ මං යනව.”
භූමිගෙන්.. මගේ උරිස් ගැලවුණේ කොයිවෙලේදැයි නොදන්නෙමි. ඒත්.. ඔහු අත්වලින් ගිලිහුණ පසු තවත් කුමට මේ රංගනයේ යෙදෙන්නද? මේ දැන්ම.. මේ දැන්ම.. ඉතිං, ඒ රංගනයට නැවතීමක් තියන්නට ඕනෑය.
මම තවත් මොහොතක්වත් පමා නොවී.. හැදුවේ මේ සීත කාමරයෙන් එළියට දුවන්නටය. මට අයිති නැති බැම්මකින් ඉක්මනටම මිදෙන්නටය. එහෙත්.. කලබලයට දොරත් නොඇරිණි. ඒ ගමන භූමි මා අල්වා ගත්තේ මගෙ බඳෙනි.
“ගී මැණික.. ඇයි මේ.. මං ඔයාව කියල විශේෂයෙන් රැවැට්ටුවෙ නෑ කියල ඇයි ඔයාට තේරෙන් නැත්තේ.. ඒ දවස්වල තිබ්බ සිටුවේෂන් එකේ හැටියට මට කොහොමවත් සිහිලැල් වෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ කියල තේරෙනව නේද? මං භූමි වුණේ මොකක් හින්දද කියල දැන දැන ඇයි මෙහෙම හැසිරෙන්නෙ.”
“ලෝකෙටම බොරු කිව්වත් කමක් නෑ. මුළු ලෝකෙටම බොරු කාරයෙක් වුණත් කමක් නෑ. ඇයි මට බොරුකාරයෙක් වුණේ..? ඇයි මට ඇත්ත කියන්න බැරිවුණේ? වෙන මොකවත් හින්ද නෙමේ..
මාව විශ්වාස නැති හින්ද.. විශ්වාසයක් නැති තැනක කිසි බැඳීමක් නෑ. කිසි ආදරයක් නෑ.. කොටින්ම කිසි පැවැත්මක් නෑ. මං තරහ නෑ භූමි.. මාව අතාරින්න.. මේ ගියා වගේ මට මගෙ පාඩුවෙ මගේ ගමන යන්න පුළුවන්. මට යන්න දෙන්න.”
“එහෙම ලේසියෙන් යන්න දෙන්න පුළුවන් බැදීමක්ද ගී මැණික අපි දෙන්න අතර තිබුණේ..”
“හහ්.. බැඳීමක්.. අපි දෙන්න අතර.. එහෙම එකක් තිබුණද අපි අතර. ඒකද.. ඒකද.. මෙච්චර අවුරුදු පහක් යනකම්ම එහෙම බැඳීමක් නැතුව වගේ ජීවත් වුණේ..?”
“අවුරුදු වලින් ගනින්න එපා.. ගී.. ඔයා දැන් දන්නව ඒ අවුරුදු පහ මං හිටියේ කොහෙද කියන්න.”
“කොහේ හිටියත් ඔයා වගේ කෙනෙකුට මං ගැන හොයල බලන්න, මං ඉන්නවද නැද්ද කියල බලන්න බැරි වෙන්න බෑ.”
“බැරි වෙන්න බෑ නෙමෙයි බෑ… මට කියල විශ්වාසයෙන් හිටියේ මගෙ අම්මා විතරයි. භූමියත් ඇවිත් ගොඩ කාලයක් මෙහෙ හිටියේ නෑ. ඒ හිටිය කාලෙත් ඌ මාව නිදහස් කරගන්න දුවල පැන්න මිසක්.. වෙන දෙයක් කරන්න නිදහසක් තිබුණේ නෑ. ඉතිං, ඒ දෙන්න ඇර වෙන කාට මං ඔයා ගැන හොයන්න කියන්නද?”
“නිදහසට කාරණා ඕනි නෑ භූමි.. කොහොමටවත් දැන් අපිව ගැලපෙන්නෑ. ඔයා තාරුණී මැඩම්ව මැරි කරල මේවා.. දියුණු කරගෙන ඉන්න භූමි.. මං පොඩ්ඩක්වත් තරහ නෑ.”
“හිතුවක්කාරයි කියන්න මං තරම් දන්න වෙන කෙනෙක් නෑ. ඒත්.. කාට හිතුවක්කාර වුණත් මේ මට වෙන්න එපා. අනික.. එහෙම හිතුවක්කාර වෙන්නේ කොහොමද මගෙ කොල්ලගෙ අම්ම.
මට ජීවිතය දුන්නෙ.. මට කාත් කවුරුවත් ළඟක නැතුව තට්ට තනියම ජීවිතය අනන්ත අත අරින්න හිතුණ කාලෙක ජීවිතය දුන්නේ ඔයා.. ඉතිං, කොහොමද මගෙ ජීවිතය උදුරන් යන්න හදන්නේ.. කියන්න.. පුළුවන්ද එහෙම කරන්න..”
💐💐 එන්නම්කො.. ඉතිං.. දිනයක් කියන්න නම් බෑ.. ඒත් ඉක්මනට එනව. නෝක්කාඩු ඔක්කෝම මුතූට තියෙන ආදරය වැඩිකමට කියල දන්නව. ඉතිං ඒ ආදරයත් තියාගෙන ඉවසන් ඉන්නකො.. පුළුවන් වෙච්චි ගමන් දඅවල යන්න එනව වස්සාන මලකුත් අරන්..
ආ…… ඔන්න සඳ නැති අහසක් ඇවිත්… දන්නවනෙ.. තව අද හෙට දෙකේම මාත් අපේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ මාත් ඉන්නව. ආවොත් එන්න.. කතා කරන්න.. මැසේජ් 1 දෙන්න.. එතකොට ඉන්න තැන කියන්නම්.. තෙරුවන් සරණයි