වස්සාන මල් 💐💐🥀

මේ හතළිස් හයවන මල් පොහොට්ටුවයි 💐🌹🥀🌹🌹

බලා හිටියා දෙනෙත් රිදෙන තුරු

තාමත් නුඹ නෑ මම පමණයි

සෙනේවන්ත බව කියන්න ආව පිරිස බෝමයි

දිවි සටනින් පරදින්නට බැරි බාධක එමටයි

පුළුවන් නම් ඇවිත් යන්න

මාව නුඹට බාරයි..

( ප්‍රියංගිකා කරස්නාගොඩ නංගී… මුතූට ආදරේලු….)

මා, පුන්සඳා වාහලතැන්න මැතිනියගේ සුරතින් අලුත් තනතුරේ පත්වීම් ලිපිය භාරගත්තේ ඇගේම කාමරය ඇතුළේදීය. ඇයත් මාත් පමණක් ඉන්නැද්දිය. විශේෂ සතුටක් නොවූවද එය නොපෙන්වා මම ඇයට සතුටම පෑවෙමි. ඒ වනවිට මම යම්තාක් දුරට අලුත් තනතුර ගැන හිත පහදවා ගෙන සිටියෙමි.

“මුතු, බයවෙලාද ඉන්නෙ මාත් එක්ක වැඩ කරන්න බැරිවෙයි කියල.”

“ම්ම්ම්.. නෑ මැඩම්.. එහෙම නෑ..”

“නැත්තෙ නෑ.. මොකක් හරි අවුලක් තියෙනව, ඔයාගෙ දිහා බැලුවාම මට ඒක පේනව.”

“මැඩම් එක්ක වැඩ කරන්න නම් පොඩ්ඩක්වත් බය නෑ, මැඩම්..”

“එහෙනන්, මොනවටද බය?”

“ඒ පෝස්ට් එකට මාව ගැලපෙයිද කියල පොඩී බයක් තියෙනව.”

“අනේ, දරුවො.. ඔයා තමයි ඒකට ගැලපෙනම කෙනා. ඒ හින්ද ඒ ගැන හිතල වොරි වෙන්න එපා. තව.. ඔයාට මං, යන්න එන්න පහසු තැනක කෝස් එකක් තියෙයිද කියල බලල ඒකට දාන්නත් හිතාගෙන ඉන්නව. එතකොට.. ඔයාගෙ සුදුසුකම් ගැන කාටවත් ප්‍රශ්න කරන්න බැරි වෙයි.”

ඒ ගැනනම් මමත් කල්පනා කළෙමි. තනතුරක් දරනවා නම් එයට ගැලපෙන පසුබිම ඔක්කොටම කලින් සපුරා ගත යුතුය. ඒ හින්ද වාහලතැන්න මැතිනියගේ ඒ යෝජනාවට මම සතුටින් එකඟ වීමි.

පුන්සඳා වාහලතැන්න මැතිනියගේ සමීපයේ වැඩ කිරීම මට කොහොමටවත් ලොකු ගැටලුවක් නොවිණි. ඇය පුදුම තරම් ඉවසිලිවන්තව, පරිණත බුද්ධියකින් ඕනෑම දෙයක් ගැන වරක් දෙකක් නොව සිය දහස්වර හිතා තීන්දු තීරණ ගන්නියක් බව ඈ ඇසුරේදී මට ඕනෑවටත් වඩා දැනිණි.

ඇත්තටම, ඈ සමඟ එක්ව කටයුතු කිරීම කොහොමටවත් මට ගැටලුවක් නොවිණි. මහා පහසුවක් පමණක්ම විය. එමෙන්ම ඇය අන්බසටත් වඩා නම්‍යශීලී වීමත් අලුත් තනතුරේ බරින් මා හිස සැහැල්ලු කරවන්නට සමත් විය.

රයිනි, චම්ලි, ගයාෂා සම්බන්ධයෙන්ද ඇගේ දැඩි ස්ථාවර තීරණය ලිහිල් කරන්නට මට හැකි වුණේද ඇගේ නම්‍යශීලී ගති ස්වභාවය හින්දාය. රයිනිලාගේ දුක් ගැනවිලි කෙතෙක් වීද වාසනාවන්ත මැතිනියගේ තීරණය වී තිබුණේ, වැඩ කළ මාසයේ පමණක් වැටුප් ගෙවා, ඒ තිදෙනාම සේවයෙන් ඉවත් කිරීමටය.

ලිපි හදන්නට භාර වූයේ මේ මටය. රාජකාරියක් පවසන සැණින් ක්‍රියාත්මක වීම පුරුද්ද වීද හිතාමතාම ඒ රාජකාරිය නම් පහු කළෙමි. වාහලතැන්න මැතිනිය දෙතුන් වරක් විමසන කම්ම පහු කළෙමි. ඈ.. සිත තැවුල් නැති තුටින් ඇති මොහොතක් එනතෙක් කල් මැරිමි.

“මැඩම්, අපි මේ තුන් දෙනාට තව එකම එක එක..ම.. එක චාන්ස් එකක් දීල බලමුද?”

“චාන්ස් එකක්.. කාටද?මුතූ..”

“රයිනිලට මැඩම්”

පුන්සඳා වාහලතැන්න මැතිනිය, සන්සුන් නෙතින් මා දෙසම බලා සිටියාය. මම ඇගේ මුණිවත ආයෙත් ප්‍රයෝජනයට ගත්තෙමි.

“මේ වෙලාවෙ, හදිසියේ ජොබ් එක නැති වුණොත් එයාලට දරාගන්න බැරි වෙයි මැඩම්..”

“එතකොට මුතු දරාගත්තෙ.. මුතූගෙත් ජොබ් එක නැති වුණේ එයාලටත් වඩා හදිසියේමනෙ..”

“ඒක හින්දනෙ මැඩම් මං ඒ දුක ඕනවටත් වඩා දන්නෙ..”

“මුතූ, හැඟීම් එක්ක තීන්දු තීරණ ගන්න මට මේ සීට් එකේ ඉඳන්බැරිවෙන අවස්ථාත් තියෙනව. මේත්.. එහෙම තැනක්. මොකද, මේ තුන්දෙනා ඔයාට කරපු වැරැද්ද විතරක් නෙමේ.. රාජකාරිය පැත්තෙනුත් වැරදි කරල තියෙනව. ඒ හින්ද සමාවක් දෙන්න පුළුවන් තැනක මෙයාල නෑ.”

“ගයාෂාට ඒ චෝදනාව නෑ නේද මැඩම්..?”

“ඔව්.. මුතූ.. ඒකනෙ.. මං ගයාෂගෙ ලෙටර් එක හදන්න කිව්වෙ, අභියාචනාවක් තියේනම් ලිඛිතව දන්වන්න කියල. මොකද එයා ඉල්ලීමක් කළොත් එ් ගැන සලකා බලන්න මං හිතාගත්ත.

අර දෙන්නට නම් එහෙම ඉල්ලීමක් කරන්නවත් අවස්ථාවක් දෙන්න කොහොමටවත් පුළුවන්කමක් නෑ. මං අර ස්ටාෆ් මීටිං එකේදී කිව්ව වගේ එහෙම එයාල ගැන සුළුවෙන් හිතල තීරණයක් ගත්තොත් තව අයටත් වැරදි කරන්න උඩගෙඩි දුන්න වගේ වෙනව. ඒ හින්ද මං ගත්ත තීරණයෙ වැරැද්දක් මං දකින් නෑ මුතූ..”

“මැඩම්.. අපි එහෙමනම් ගයාෂාට ගහන්න කිව්ව ලෙටර් එක රයිනිටයි, චම්ලිටයි ගහමුද? එයාලට කියන්න තියෙන දෙයක් තියෙනවනම් ඒ ගැනත් අහල, එයාල ගැන තීරණයක් ගනිමුද? ගයාෂාගෙ රාජකාරියත් ගැටලු නැති එකේ එයාගෙ දඬුවම ටිකා..ක් ලිහිල් කරමුද මැඩම්..”

“තමන්ගෙ ජොබ් එක හදාගන්නවත් ඔය තරම් ආලවට්ටම් දැම්ම නැති කෙනා බලන්න එපෑ.. මේ තමන්ටම වැරදි කරපු මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින හැටි.”

ඇගේ කතාවෙන්ම ඇයගේ දැඩි තීරණය දෝලනය වෙන බව තේරුම් ගත්තෙමි. මගේ පැත්තට නතු වෙන බව දැනිණි.

“මං වැරැද්දක් කළේ නෑ.. ඒ හින්ද අද නැතත් හෙට හරි මට සාධාරණයක් වෙයි කියල මගෙ හිත මට කිව්ව. ඒ හින්ද මං ඉවසීමෙන් බලා හිටිය මැඩම්.. ඒ ඉවසීමම, හිතුවෙවත් නැති විදිහට මේ ප්‍රශ්නය විසඳුව.”

“වැරදි කරන කෙනාම නෙමෙයි, තමයි දරුවො දඬුවම් විඳින්නේ.. .. නිවැරැද්දේත් දඬුවම් විඳින අය ඕනි තරම්.. එ පෙර අකුසල් හින්ද වෙන්න ඇති සමහරවිට. මාත්.. පහුගිය කාලෙ වින්ඳෙ එහෙම දුකක්. ඇත්තම කියනවනම් මුතූ.. මං නෙමෙයි මගෙ දරුව..”

කටවල් මදි වෙයිද මන්ද බනින්න.. අනේ ඉතිං, තාම මං හීන ලෝකෙ.. ඒ අතටත් මේ අතටත් පාවෙවී, පාවෙවී ඉන්නව.. කොයිවෙලේ එක්කො.. ඒ හීන ලෝකෙන් ‘ ජබොහ්..’ ගාල බිම වැටෙයිද දන්නෑ. එහෙම නැත්නම් හීනය දිනල, ඒ සතුටට උඩ පනින්න ගිහින් ආයෙත් බිමටම පතබෑවෙයිද දන්නෑ.. ඒ ගැන හිතනකොට ඉතිං, මට පිස්සු වගේ.. කතාවත් එක තැනම ලොප් වෙන්නේ ඒ පිස්සුවෙ ආනුභාවෙන්ලු