වසර ගණනාවකදීම ශ්‍රී ලංකාව පිළිබඳ ආයහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන හියුමන් රයිට්ස් වොච් ආයතනය, මෙවර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2019 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම බරපතළ අනතුරකට මුහුණ පා ඇති බවයි. එමෙන්ම නව අගමැතිවරයා වශයෙන් පත්වූ මහින්ද රාජපක්ෂගෙ 2005 – 2015 පාලන සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ යුද අපරාධ සිදුවූ බවද මෙම වාර්තාවේ සඳහන්ව ඇත. මානව හිමිකම් සුරැකීමට එරෙහි චෝදනා අතරට හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා පත්කිරීමද පෙන්වා දී තිබේ. ඔහු පසුගිය යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට චෝදනා ලැබූවකු බවට මෙම වාර්තාවෙන් සඳහන් කරයි.

පසුගිය ජනවාරි 14 වැනිදා නිකුත් කළ 2020 වර්ෂයට අදාළ වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් වෙන්කර ඇති පිටු 02 කින් යුත් කොටස ඔවුන් සිය වෙබ් අඩවිය ඔස්සේ හඳුන්වා දී ඇත්තේ ‘මිනිවළෙන් මානව හිමිකම් රැගෙන ඒම – යනුවෙනි.


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පසුගිය රජය සමයේ සිදුවූ ප්‍රහාරයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ නිවාස සහ ව්‍යාපාරවලට හානිවී ඇතැයි ද එම වාර්තා කියයි. මීට අමතරව දේශපාලන රැකවරණ ඉල්ලා සිටිමින් පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි දහසක් පමණ වූ මුස්ලිම් ජනයාද රටතුළදී අතවරයට ලක්වූ බව පවසයි.

එසේම 2006 වර්ෂයේදී ත්‍රිකුණාමලයේදී සිදු කළ වෙඩි තැබීමකින් සිසුන් පිරිසක් ඝාතනය කිරීමේ චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් 13 දෙනකු 2019 ජූලි මාසයේදී ශ්‍රී ලංකා අධිකරණය විසින් නිදහස් කිරීම ආදී සිදුවීම් ගණනාවක්ද ශ්‍රී ලංකාවට එරෙහිව මානවහිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත මෙම වාර්තාවේ සටහන් කර ඇත.