එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසදුමක් නොලැබුණහොත් නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීමේ සජිත් පාර්ශවයේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නව පෙරමුණ වෙනුවෙන් දිස්ත්‍රික් නායකයින්ද පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. එහිදී කොළඹ දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහද, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගම්පහ දිස්ත්‍රික්කයටද පත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පත් කිරීමට නියමිතව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයටයි. නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයට ද නායකත්වය දෙනු ඇති. 

පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පාර්ශ්වය මේ වනවිට කලකිරීමකින් සිටින බවයි සජිත් පාර්ශවයේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ. ඒ අනුව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් ලබා ගැනීමේ අරමුණින් ඔවුන් සමග සජිත් පාර්ශවයේ සාකච්ඡා ද පවත්වා තිබෙනවා.