හතළිස් අටවන දිගහැරුම

“තේව්.. ඇහැරෙන්නකෝ.. උයා තාම දොයිද අනී..”

ඇඳ පත්තට කොට්ටයක් තබාගෙන ඇස්පියන් හුන් දේව් ඇහැරුණේ කෙල්ලගේ හඬටය. හේ ඇස් පියන් හරිද්දී ඇඳ කොණක් අල්ලාගෙන ඇඹෙරෙමින් ඈ කිරිදත් පෙන්වා සිනාසුනාය. දහවල මන්දස්මි සමඟ හොස්පිට්ල් ගොස් වෙලුම් පටි මාරු කළ දකුණු කකුලට කටින් පිඹිමින් නොකඩවා පිරිමදින කෙල්ල දෙස ඔහු බලාහුන්නේය.

උඩුකය නිරුවත්ව ලා කහ පැහැයට හුරු කුඩා කලිසමක් පමණක් හැඳ හුන් ඇයගේ ඇත්දළ පාට වත දෙස ඔහුගේ සිත කොහේදෝ අතරමං කරවීය. ඈ උරුම කරගෙන තිබුණේ මන්දස්මිගේ පැහැය පමණකි.

නමුත් ඇයගේ සිනාව, කතාව, රූපය මන්දස්මිට අයිති යමක් නොවේ. උවමනාවෙන් ඒ ඉරියව් දෙස බලාහුන් ඔහුට හැඟුණේ ආගන්තුක හුරුපුරුදු බවකි. හීනි රිදුමක් දෙන කොණ්දට වමත තබා බර හුස්මක් ගත් හේ කෙදිරූයේ පාදයේ වේදනාවටය.

“තේව්… උයාට සිදෙනෝද අනී..”

“හ්ම්ම් ටිකක් රිදෙනවා..”

“උයා දන්නෝද මැණිත ඩොං ගාල මෙන්න මෙතන ඌවා වුණා..”

කෙල්ල පෙන්නන්නේ කුඩා තුවාල කැලැලක් ඉතුරු වුණ වම් දණහිසය. ඔහු ඇස් ලොකුකර සිනාසිනි.

“උයා හිනාවෙන්න අපා.. මැණිතට සිදුණා.. මැණිත ඇඬුවා..”

“අයියෝ.. ඉතිං.. බේත් දැම්මද අම්මි..”

“අම්මි ගාව බේත් තිබ්බෙ නෑ අනී.. එයා මැණිත සෝදලා ඌවෙ පතියක් බැදල පූ ගෑවා..”

“ඉතිං හොඳ වුණාද..”

“හ්ම්ම්.. මැණිත උයාටත් පූ ගාන්නද..”

දේව්ගේ කම්මුලට තට්ටු කළ කෙල්ල ඇස් රවුම් කර සිනාසුනාය. ඔහු හිරිකඩ එන ජනේලය දෙස බැලීය. බැල්කනිය දිග එතුණ පාලු මල් වැලේ රතුපාට මල් පොහොට්ටු දෙකතුනක් පීපී තිබිණ. කෙල්ල තවමත් ඔහුගේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහුගේ මුහුණ දෙසම බලා හිදියාය. කොල්ලාගේ මහත දකුණත දෝතින්ම බදාගෙන ඕ ඔහුගේ ඇස්වලට එඹී බලාහුන්නාය.

“මැණිත පූ ගාන්නද අප්පත්ති..”

හේ රූඩකඩයක් වාගේ සිතුවිල්ලක් නැති නමුදු අහේතුකව හිස සැලීය. එහෙම්මම කෙල්ලට ඇඳට නග්ගවා ඔහු ඈට සිනාසිණ. මුහුණට වැටෙන අකීකරු අක්බමරු පොකුටු හිස කෙස් ඈ වරක් දෙවරක්ම අත්තලින් පිස්සාය. ඔහුගේ දෙපා අතරින් වැතිරුණ ඈ වෙලුම්පටි බැදි දකුණුපාදයට නොකඩවා පිඹිණු ඔහු බලාගෙන හුන්නේ ඒ පිරිමි ළයේ කොණක් අසීමාන්තිකව හීරී රිදෙන්නට ගද්දීය.

“අම්මි කෝ…”

“උයාට සුප් හදනවා..”

“ඇයි මට විතරක්.. ඉන්නකෝ මම ඔයාට ටිකක් දෙන්නම්..”

“මැණිත ඉල්ලුවා අනී.. අම්මි හප් කීවා.. ඒවා උයාටලු.. අම්මි මැණිතට වඩා ආදරේ උයාට..”

කෙල්ල තොල් පෙරලා මූණ හපුටු කරගෙන යලිත් කකුලට පිඹින්නට ගත්තාය. ඔහු ආයාසයෙන් සිනාව ගිල්ලේය. මොහොතකට අතීතයේ තනිවීය. ඔහු ඇඳ ඇතිරිල්ල සිනිදුවට පිරිමැද්දේය. එකෝමෙක වරක් මන්දිගේ පහස ලද තමා අසිහියෙන් හුන් අඳුරුම අඳුරු රැයක් සිහියට නැගිණ. ඔහු දුරකථනය අතට ගෙන බැලීය. ඇයගෙන් කෙටි පණිවිඩයක්වත් නැත. එහා පසින් ඇමතුමට ප්‍රතිචාරයක් නැති බවක් ඇසිණ. හේ දුරකථනය ඇඳ කොණකට විසි කර හිරිකඩ එන ජනේලය දෙස බැලීය.

“උයා ශෝයි අප්පත්ති…”

දණගාගෙන විත් දේව්ගේ ගෙල බදාගත් කෙල්ල මිමිණුවාය. රැවුළු කොට මුහුණේ ඇනෙද්දී ඕ සුරතල්ව ගෙල හකුලුවා සිනාසුණාය. අනතුරුව ඈ සිඟිති තොල් තැබුවේ ඔහුගේ කම්මුලටය. සත්තකින්ම දේව්ගේ චිත්ත සන්තානයම ඒ පහසට ගැස්සීය.

“බබා..”

“මං බබා නෙවේ අනී.. මැණිත කියන්න..”

“හරි හරි මැණික..”

“අම්මි උයාට බනිනව අනී ඉස්සර..”

“මට.. අම්මි බැන්නද..” කෙල්ල හිස සැලුවාය.

“මොකක් කියලද බනින්නෙ..”

“උයා මෝතයෙක්ලු..” ඔහු සිනාසිණි. කෙල්ල හප් කීවාය.

“අම්මි නංගි බබාතත් ඒම කිව්වා..”

“නංගි බබාටත් ඒම කිව්වද.. ඒනං අපි අම්මිට බනිමු..”

“අපා තේව්… අම්මි පව්.. හප් කීවම අම්මි අඩනවා… සෑටත් අඩනව.. හබුං කද්දිත් අඩනවා.. උක්කුං බොත්තිත් අඩනව.. අම්මිට හප් කියන්න අපා.. හාත..”

කෙල්ලගේ හිස අත ගා ඔහු සිනාසෙන්නට තැත් කළේය. ඒ ඇස් අනවසර කඳුළු පටලයක් බැදී අහේතුකව බොඳ විණ. ඊළඟ මොහොතේ ඔහු ගැස්සුණේ ඇය කාමරයේ අඟුලු බෝලය අල්ලාගත් හඬටය. ඇස් පියස් සලා කඳුල පැන්නූ ඔහු කෙල්ලගේ පිටට මෘදුව තට්ටු කළේය. මොනවාදෝ බාජන දෙකක් අතැතිව මන්දස්මි හිමි හිමින් ඇඳ සමීපයට විත් හිදගත්තාය. කෙල්ල තවත් වැරෙන් ඒ ගෙල බදාගෙන හිස සඟවා ගත්තාය.

“ඔයා මොනාව කරන්නෙ මෙතන.. මෙහෙ එන්න මැණික.. මම ඔයාව පුළුවන් තරම් හෙව්වා.. අප්පච්චිට රිදෙනවා.. මෙහෙ එන්න.. මම කිව්වා නේද..”

දුම් දමන සුප් බදුන කණ්ණාඩි මේසය මත තබා මන්දස්මි කෙල්ලගේ අතින් අල්ලාගත්තේ සැර මුහුණක් මවාගනිමිනි. කෙල්ල ඔහු බදාගත්තා විනා මන්දස්මිව ගනනකට නොගත්තාය.

“මැණිතට තේව් එක්ක ඉන්නෝන අම්මි..”

“තේව්.. මොකද්ද ඒ කිව්වෙ.. හොඳටම වැඩී දැන්.. මෙහෙ එනවා..”

“උයත් තේව් කියන්නේ…”

“මැණික දේව් කියල හරියන්නෑ. අප්පච්චි කියන්න.. ගුටි දෙනව හරිද ආයෙ අම්මිට ඇහුනොත් දේව් කියනවා..”

වේගයෙන් හුස්ම ගත් ඕ මදක් නිසොල්මන්ව හතිලූවාය. දේව් බලාහුන්නේ හුස්ම වැටෙන ඒ ළය් දෙසය. ඕ යලි වරක් කෙල්ල ඈ වෙත ඇදගන්නට තැත් කරද්දී ඔහු ඈව වැලැක්වීය.

“එයාට ඉන්න දෙන්න මන්දස්මි…”

“ඔයාට රිදෙනව දේව්.. එයාට මේවා තේරෙන්නෑනෙ..”

“එයාට ඉන්න දෙන්න..”

“හ්ම්ම්..”

ඈ මොහොතක් කැඩපතේ ඇදි ඇගේ රූ දෙස බලා හුන්නාය. කෙල්ල හොරාට ඈට හිනැහිණ. ඈ තොල් හපා හප් කීවාය.

“ඔයාගෙ තුවාල රිදුණට දැන් හොදයි දේව්.. තව දවස් දෙක තුනකින් ඇවිදින්න පුලුවන්. ඩොක්ටර් ක්ෂිතිජ කිව්වා මාසෙකින් ඔයාට මෙච්චර හොඳ වෙයි කියල හිතුවෙ නෑ කියල.. අනික මෙට්ටෙ උඩ ඕම ඉන්න එක ඔයාට එපා වෙනව කියල මම දන්නවා.. අදට ඕම ඉන්න.. මම හෙට ඔයාව ඇවිද්දවන්නම්..”

ඇඳ මත ගලවා දැමූ ඔහුගේ රෙදි සියල්ල එක ගොඩකට එකතු කර මන්දස්මි සිනාසුණාය. සෑම විනාඩියක් පාසාම හතිලන ඈ දෙස දේව් බලාහුන්නේ එක්තරා විදියක වේදනාවක් හිත තුළ නැගෙද්දීය. සුප් බදුන ඔහු ළගට ගෙන ආ කෙල්ල ඔහුගේ ඇස් අස්සේ අතරමං වුණාය.

“මම සුප් එකක් හැදුවා.. බීල ඉමුද..”

“මට ඔයාල කන ඒවම කන්න පුලුවන් මන්දස්මි.. මම ලෙඩෙක් නෙවේ..”

“හරි හරි.. මම නිකන් හැදුවෙ හැමදාම ඔයාට බත් කාලම එපා වෙලා ඇති කියල හිතුණ.. අනික හොස්පිට්ල් ඉදල ඇවිල්ලා මට මහන්සි බතක් මාලුවක් උයනවට වඩා මේක ලේසි නිසා හැදුවෙ..”

“හ්ම්ම්…”

“බොන්න බැරිද මේක.. ඒනං තව පැයක් ඉවසල ඉන්නකෝ මම මොනාහරි හදන්නම්..”

හීනියට මිමිණූ කෙල්ල නැගිටින්නට උත්සහ කළාය. ඔහු අල්ලාගත්තේ ඇයගේ බාහුවෙනි. ගවුම් කර හැලිණ. සිතුවිල්ලක් නැති ගානට ගවුම් කර උරස මත රඳවා ඔහු මෙච්චර වෙලා ගෙල බදාහුන් කෙල්ල දෙස බැලුවාය.

“දැන් මම එපා කීවෙ නෑනෙ.. ආයෙ බත් ඔන්නෑ ඕකම බොමු..”

පිලිතුරක් නොදීම ඒ ගැහැණු මුහුන මත සිනාවක් ඇදිණ. මුහුණට වැටුණ කෙස් රොද පිසි ඈ කෙල්ලට තොල් හැපුවාය. ඕ සුප් බදුන දෙස හොරෙන් බලනු කොල්ලා බලාගෙනය.

“මන්දස්මි ඕකෙන් පොඩ්ඩක් කෙල්ලටත් පොවන්න..”

“මේක ඔයාට හැදුවෙ..”

“මං කීවෙ අප්පත්ති උයාට.. අම්මි ආදරේ උයාට මැණිතට නෙවී..”

කෙල්ල කෙදිරුවාය. ඔහු පුළුල්ව සිනාසිනි. මන්දස්මි ඇස් ලොකු කළාය.

“මන්දස්මි මට ඕක දෙන්න.. මම බොන්නම්..”

“දේව්..”

“කීවනේ ඕක මට දෙන්න මම බොන්නම්…මට පුලුවන් දැන්..”

මන්දස්මි අතින් සුප් බදුන ගත් දේව් පොඩි එ කීට දිව ඇද්දේය. ඕ ඔහුගේ උකුලින් හිඳගෙන ඔහුගේ කුසට තට්ටු කළේය. මාරුවෙන් මාරුවට කුඩා හැන්දෙන් සුප් බොන ඔහු දෙසත් කෙල්ල දෙසත් බලාහුන් මන්දස්මි සුසුමක් හෙලා නැගිටින්නට තැත් කළාය.

“ටිකක් ඕනාද..”

සුප් හැන්දක් අත තබා ඔහු සිනාසිණ. ඈ බලා හුන්නාය. ඒ අත් වෙව්ලනු ඔහු නොදැක්කාම නොවේ. ඒ සිහින් දිගු ඇගිලි කොට ගවුම් කොන පැටලිණ. ඉදිරියට නෙරූ කුස නිසා ඉදිරියෙන් කොට වුණ ගවුමෙන් නිරාවරණය වූ කලවා දෙස ඔහු මොහොතක් බලා හිද ඈ දෙස බැලීය.

“එපාද..”

“හ්ම්ම්..”

“චුට්ටක් බොන්න..”

“ඒත් දෙව්..”

“ප්‍රශ්න අහන්න එපා.. මේක කටේ දාගන්නවා..”

ඔහු රැවීය. ඈ නිහඬවම සුප් හැන්ද මුවට ගෙන සිනාසෙන්නට උත්සහ කළාය. කොපුල් තෙමා කදුලක් පෙරිණ. එය සඟවාගන්නටදෝ ඕ හිරිකඩ ඉහිරෙන බැල්කනිය වෙත පියවර ඇහින්දාය.

සීරුවට වැහි වහී. කෙල්ලත් ඔහුත් සිනාසෙනු වරින් වර කන වැකිණ. ඕ හැරී බැලුවාය. ඔහුගේ සිනාව ඒ ළය අහේතුක ආසාවකින් පිරවීය. අවසාන කල සුප්බදුන පසක ලා වතුර වීදුරුව් කෙල්ලට පෙවූ ඔහුගේ ඇස් ඈ වෙත නතර විණි. ඈ අහස දෙස බලා හුන්නාය.

“මන්දස්මි ත මුසෙ කෑවද..”

“ඉතුරු සුප් තියේ දේව්.. මම බබාටයි මටයි ඉතුරු කරගත්ත..”

“බබා ආයෙ බොන එකක් නෑ.. ඒ ඔක්කොම බොන්න..”

යන්තම් හිස සලා ඕ හිමි හිමින් කණ්නාඩි මේසය වෙත ඇවිද ආවාය. ඇයගේ අත වැදී එහි තිබූ ස්ටෙත් එක බිම වැටින. ඕ ගැස්සී අසරණව ඔහු දෙස බැලුවාය. කෙල්ල ඇඳෙන් රූටා බැස්සේ එවලේය.

“දේව් අනේ ඒක වැටුණා.. මං.. අනෙ මං දැක්කෙ නෑ..”

“මැණික..” ඔහුගේ හඬට කෙල්ල හැරී බැලුවාය.

“අරක අරං මට දෙන්නකෝ…”

ඔහුගේ ස්වරයට කෙල්ල සැනෙන් අවනත විණ. ඔහු දෙස අසරණව බලාහුන් මන්දස්මි දෙස කොල්ලා රැවුමක් පා කලේය. ඒ ඇස් බිමට බර විණි.

“මන්දස්මි.. මෙතනට ඇවිත් ඉදගන්නවකෝ..”

කිසිත් නොකී ඈ ඇද මත හිදගෙන බර හුස්මක් ගත්තාය. ස්ටෙතය කන මත රැද වූ ඔහු මෘදුව ඇයගේ අටමස් කුස පිරිමැදීය. ඒ ළය වේගයෙන් ගැහෙනු ඔහුට ඇසිණ.

“මන්දස්මි.. ත මුසෙ බය වෙලාද..”

“න්න්න්නෑ…”

“එහෙනම් ඔය තරම් ගැහෙන්නෙ..”

“දන්නෑ මම..”

ස්ටෙතය කුස පුරා යවමින් ඔහු මොනවාදෝ මුමුණනු ඈ බලාගෙන හුන්නේ විශ්මයෙනි. ඔහුගේ අත්තලේ රස්නය පවා තුනී ගවුම කාගෙන ඇයගේ කුසට දැණින. ඊළග මොහොතේ ඔහුගේ දඹරගිල්ල ඇයගේ කෙහෙරළට එතිණ.

“බබාව අහන්න දෙන්නද..”

“කොහොමද..”

කිසිත් නොකියා ස්ටෙතය ඇයගේ දෙසවන මත රදවා ඔහු සිනිදුවට ඔහුගේ අත කුසින් තැබීය. නෙත කොනකින් ලොකුම ලොකු කඳුළක් ඔහුගේ අත්තලට වැටෙද්දී ඇස්පිය නොහෙලාම කෙල්ල වේගවත් සුසුමක් පිටකරමින් ඔහු දෙසම බලා හුන්නාය.