හතළිස් හත්වන දිගහැරුම ———————————
“දේව්.. අපි ආවා.. දේව්…”
දරුවාත් උස්සාගෙන ත්‍රීරෝද රථයෙන් බිමට බට මන්දස්මි රියදුරුට කුලිය ගෙවා දේව්ට තට්ටු කළාය. කොහේදෝ ඈතක බලාහුන් ඔහු ගැස්සිණි. මන්දස්මි අතහුන් කෙල්ලව වඩාගත් ඉන්දුමතී බලාහුන්නේ කෙල්ලගේ ඉදිරියට නෙරූ කුස දෙසය.
“මැණික.. ඔයාට බෑ මේවා.. අපි ආයෙම යමු අපෙ ගෙදර..”
“එපා අම්මා.. ඔයා මට දේව්ව ගෙට එක්කන් ගිහින් දීලා මේකෙම ගෙදර යන්න.. මට පුලුවන් දේව් බලාගන්න.. අනික ඔයාගෙ බිස්නස් වැටිලා.. ඒවා වැටෙනව කියන්නෙ අපි හැමෝම අමාරුවෙ..”
ඈ ඉන්දුමතීගේ කම්මුල අතගා සිනාසුනාය. ඊළඟ මොහොතේ ඕ වත්ත සිසාරා බැලුවාය. සති ගණනකින් අතුගා නොදැමූ මිදුල පුරාම වල්ගස් බිහිවී වියළි කොළ ටොන් ගණනක් එකතු වී ගොසිනි. දිය සීරාව ගලා ගොස් මිදුලේ තැන්තැන්හී මඩ ගොහොරු සෑදී ගොසිනි. ඕ සිමෙන්ති බංකුව දෙස බැලුවාය. එතැන ඈ නැතිවදෝ හද්දා පාළුය. පරවී වැටුණ කුණුවුණ බෝගන්විලා පෙති ගොන්නක් එහි තනි රකිනු ඈ දැක්කාය. අත් බෑගය ඉන්දුමතී අතට දුන් කෙල්ල අතරමඟින් ගෙන ආ බඩු මලු ගොන්න බිම තබා දේව්ගේ උරස මෘදුව අල්ලා ගත්තාය.
“දේව් බහිමු.. එන්න..”
කිහිලි කරුවට වාරු වීගෙන තවමත් හිදගෙන ඈ දෙස බලා හිදින ඔහුගේ හිස අත ගා ඈ සිනසුනාය.
“අංකල් මහත්තයව ගෙට එක්කන් යන්න උදව්වක් දෙන්න පුලුවන් ද..” ඕ ඇසුවේ රියදුරුගෙනි. ඉන්දුමතී බලා හුන්නේ ළය ඉහිලුම් නොදුන් කම්පාවකිනි.
“ඉන්න දුවේ.. යමු.. කෝ එන්න පුතේ..”
මැදිවියේ රියදුරු එක් පසකින් දේව් ගතට වාරු කරගද්දී මන්දි අනෙක් පසින් ඔහුව බදා අල්ලාගත්තේ ආයාසයෙනි. ඔහු ස්තෝප්පුවේ හිඳ වූ කෙල්ල ගේ දොර හැරියේ බරම බර හුස්මකින් ළය පුරවා ගැනීමෙන් පසුවය. ඈ යලිත් මේ බිමට පා තබන්නට නොහිතුව මුත් දෛවය විසින් ඈට හිමිකර දුන් ඉරණම මහා පුදුමාකාර බව ඈට හැඟිණි. විවර වූ දොරින් පෙනෙන ගෙතුළ දෙස ඈ පිළිමයක් වාගේ බලා හුන්නාය. තැන් තැන් හී විසි කළ ඔහුගේ ඇඳුම් සාලය පුරාමත් තරප්පු පෙළ පුරාමත් ඉහිරී ගොසිනි. සති ගණනකින් අතු නොගෑ බිම පුරාම සිගරැට් අළු ගොඩ ගැසී ගෙනය. හිස් විස්කි බෝතල් දෙක තුනක් ඇයගේ පය වැදී හීනි හඬක් නඟමින් පෙරළී ගියේය. ඈ ඔහු දෙස හැරී බැලුවාය. අනතුරුව ඉන්දුමතී දෙස බලා හිනැහුණාය.
“පුතාව කාමරේටම එක්ක යන්නද දුව..”
“ලොකු උදව්වක් මාමෙ..”
“කෝ මැණික ඉන්න.. මම අල්ලගන්නම්..”
දරුවා කෙල්ල අතට දුන් ඉන්දුමතී රියදුරු හා එක්ව කොල්ලාගේ කාමරයට ඔහුව ගෙන යන අයුරු මොහොතක් බලාහුන් මන්දස්මි කෙල්ලගේ කම්මුල සිම්ඹාය.
“අන්තිමට ආයෙ අපි දෙන්න අප්පත්ති හොයන් ආවා..”
“ආයෙ අම්මි අඬන්නැද්ද..”
“නෑ රත්තරනෙ අම්මි ආයෙ කවදාවත් අඬන්නෑ..”
“අප්පත්තිට බේත් දෙමු අම්මියි මැණිතයි..”
“ඔව් මගෙ මැණිකම අප්පච්චිට බේත් දෙන්නකෝ.. මගෙ මැණිකත් ලොකු වෙලා අප්පච්චි වගේම දොස්තර නෝනා කෙනෙක් වෙන්නෝනා.. හාද..”
කැරලි හිසකෙස් කන පිටුපස රඳවමින් හිස සෑලූ කෙල්ල මන්දිගේ කම්මුල සිම්බාය. ඇයගේ හිස අත ගා ඇව බිම තැබූ ඈ ස්තෝප්පුවේ තැබූ බඩු මලු අත් දෙකට ගත්තාය. කෙල්ල දිව විත් එල්ලුණේ ඇයගේ ගවුමේය.
“කෝ ඉන්න මැණිකට බෑ..”
“අම්මිතත් බෑ තමා අනී..”
“නැ නෑ අම්මිට පුලුවන් මැණිකට තමා බැරි.. කෝ ඉන්න මට අරං යන්න ගෙට..”
“මතත් එකක් ඕනි..”
“හප්…”
මූණ හපුටු කරගෙන තමාට රවන කෙල්ලට තොල් පෙරලූ මන්දස්මි කිරිපිටි පැකට්ටු දෙක ඈ අත තබා සිනාසුණාය.
“ඔන්න හරි.. මැණිකටත් ගෙනියන්න දුන්නා ඔන්න පෙට්ටියක්.. යං ඕකත් අරං..”
“යං අම්මි යං…”
දෝතින්ම කිරිපිටි පැකට්ටු දෙක බදාගෙන වැනි වැනී ගෙට යන කෙල්ල දෙස බලා නිහඬවම මද සිනාවත් තොල් අතර රඳවාගත් මන්දස්මි ඊළඟ මොහොතේකුස පිරිමැද බඩු මලු දෙක දෝතින් ගෙන මුළුතැන්ගෙට පියමැන්නාය. ඈ එහි යද්දි මුළුතැන්ගෙයම අපායක් වාගේය. ඔහු ඈ නොමැති දිනවල කඩෙන් කන්නට ඇත. නරක් වී ගිය කෑම බීම සියල්ල කුණු කූඩයට විසි කළ ඈ කෙල්ලව වඩාගෙන සාලයට ආයේ සුසුමක් හෙළමිණි.
“මැණික..”
“අම්මේ…” තරප්පු පෙළ බැස ආ ඉන්දුමතීගේ හඬට ඕ ගැස්සුණාය. රියදුරු ඈට හිනැහිණ.
“ඔයා ඇයි මෙච්චර මුරණ්ඩු.. මට ඔයා වැඩි නෑ.. අනික මේ හැමදෙම දේව්ගෙයි ඔයාගෙයි.. ඔයා මේම දුක් විදින්න ඕනා නෑනෙ..”
“මම සතුටින් ඉන්නෙ අම්මා.. දුකින් නෙවෙ.. දේව් ඉන්නෙ කොතනද අන්න එතන තමා මට රජකම හම්බුණා වගේ දැනෙන්නෙ.. අම්මා වීල් එකේම ගෙදර යන්න.. ගිහින් වෙනදා වගේම කම්පැණි එකේ වැඩ බලාගන්න දේව් ගැන බරක් ඔලුවට ගන්න එපා.. එයා මා ගාව පරිස්සම්…”
“මං ඒක දන්නව.. මේ බඩගෙඩියයි කෙල්ලයි එක්ක ඔයා පරිස්සම් වෙන්නෝනා..”
“කෙල්ල කරදර කරන්නෑ අම්මා.. අනික බඩගෙඩියක් උස්සන් උන්න කියල මන්දස්මි දුර්වල වෙලා නෑනෙ.. මම ඉස්සර මන්දස්මි ම තමා.. අවුලකට තියෙන්නෙ බඩගෙඩිය ඉස්සරහට ඇවිල්ලා තව පැටියෙක් හුස්ම ගන්න එක විතරයි…”
“ඔයත් එක්ක කතා කරල දිනන්න බෑ…”
ඕ සිනාසුනාය. ඉන්දුමතීගේ ළය වේදනාවකින් දුකකින් හා පසුතැවිල්ලකින් පෙළෙද්දී මන්දස්මි සිනාසුනාය.
“අම්මා මුරණ්ඩූ වෙන එක තාම ගිහින් නෑ.. යන්න ඔයා ගිහින් මට කෝල් කරන්න.. අංකල් අම්මව ගෙදරම දාන්න..”
“හරි දුව.. යන්නං එහෙනම්..”
“හරි අංකල්.. අම්මෙ පරිස්සමෙන්..”
ඉන්දුමතීගේ හිස අත ගෑ මන්දස්මි ඈ නොපෙනී යන තුරුම බලා හුන්නාය. අනතුරුව ඕ කෙල්ලගේ අතින් අල්ලාගෙනම තරප්පු පෙළ හිමි හෙමින් නැග්ගාය. ඈ ඔහුගේ කාමරයට යද්දී ඔහු හුන්නේ දුරකථනය දෙස බලාගෙන මොනවාදෝ කල්පනා කරමිනි.
“දේව්…”
ඈ නිහඬවම ඇඳ මතින් ඉදගද්දී ඔහු ගැස්සිණ. කෙල්ල දිවවිත් ඔහු බදාගත්තාය.
“මැණික මෙහෙ එන්න.. අප්පච්චිට රිදෙනවා..”
ඕ බලහත්කාරයෙන් ම කෙල්ල වඩාගෙන උකුළින් ඉන්දවාගෙන ළයට තුරුළු කරගත්තාය.
“අම්මි උක්කුං..”
ඕ ගවුම් කර ඇද්දාය. ඔහු දෙස බලාහුන් ඈ ගවුම් කරි කෙල්ලව ළයට තද කරගෙන ඔහු සමීපයටම ගොස් නැවත හිඳගත්තාය. දේව් ඈ දෙස බලාහුන්නේ මොනවාදෝ හැගුමකින් හිත පෙළෙද්දීය. ඕ එක් අතරින් දරුවා අල්ලාගෙන අනික් අතින් ඔහුගෙ කැනියුලා සිදුර ඉතිරි වූ අත පිරිමැද්දාය. ඒ පිටි අල්ලට ඇයගේ කඳුළක් වැටිණ.
“මම ඔයා ළග අඩන්න ආස නෑ දේව්.. ඔයා ඕනෙමයි කියල ඔයාවම ඉල්ලන්න ආසත් නෑ.. මොකද මම ඔයාව ගෙවුණ කාලය පුරාවට ඉල්ලුවා.. දෙවියන්ගෙනුත් ඉල්ලුවා. පඩුරුත් බැන්දා.. දේව් මම මෝඩයි ඔයාව ඉල්ලල බෝධි පූජාත් තිබ්බ.. ඔයාට හිනා යනව නේද.. ම්ම්..”
ඈ ඔහුගෙ නිකටින් අල්ලාගෙන ඒ ඇස්වලට එඹුණාය. ඒ ඇස් එක තැනක නොයිද එහා මෙහා දුවයි.
“හිනා යනවද…”
“නෑ..”
“ඒ මට ඇති.. ඔයා ළඟ නැතිවුණාම මට අමාරු වුණා දේව්.. ඒ මාස තුන කල්ප තුනක් වගේ.. පොඩ්ඩ බැරි වෙද්දි කෑ ගහන්න කෙනෙක් නැති වෙද්දී.. හිත රිදෙන්නවත් මොනාවත් කියන්න කෙනෙක් නැති වෙද්දී.. රෑ තිස්සෙට මේ පපුව උඩ ගුලිවෙන්න කෙනෙක් නැති වෙද්දී.. දේව්.. මට ගෙදර එනකල් පාර බලාගෙන ඉන්න කෙනෙක් නැති වෙද්දී.. කොච්චර වුණත් ෆර්ෆියුම් සුවඳ කාගෙන සැර විස්කි ගඳ නොදැනෙද්දී මට පාළු හිතුණා.. මට බෑ ඔයාව දාල යන්න මොනා වුණත්.. ඔයා අකමැති වුණත් මේ වෙලාවෙ මම ඔයා එක්ක ආවෙ ඔයාට මාව ඕනා කියල මගෙ හිත කියපු නිසා..”
ඔහු නිහඬවම ඈ කියාගෙන යන දෙස බලා හුන්නා මිසක වදනක්වත් නොදෙඩීය. ඈ මෘදුව ඔහුගේ ළය පිරිමැද්දාය. ඇයගේ හඳ ගැස්ම පවා හොදාකාරවම ඔහුට ඇසිණ.
“ඔයා ඇයි මුකුත් නොකියන්නේ.. අඩුම තරමෙ මට බනින්න හරි පුලුවන් ද.. දේව් මම ඔයාගෙන් නාහා මෙහාට ඔයා ළඟ තනියට ආපු එක වදයක් නම් මම ආයෙම යන්නම්.. මම ආයෙ එන්නෑ දේව්..”
ළයේ එල්ලීගෙන හුන් කෙල්ලව දෝතින් ම ගෙන මන්දස්මි තැත් කළේ නැගිටින්නටය. සැනෙන් ශක්තිමත් පිරිමි දෑතක් ඇයගේ ගවුමේ යාන්තමට පැටලිණි. ඈ ඔහුගේ මුහුණ දෙස හැරී බැලුවාය.
“එපා..”
“දේව්…”
“යන්න එපා..”
ඕ එහෙම්මම ඒ මුහුණ දෙස බලා හුන්නාය. ඔහු ළගින් හිදගෙන ඒ ඇස්වල එඹුණාය.
“දේව්…”
“මන්දස්මි…”
“මම අහන් ඉන්නේ..”
“මම දන්නෑ මන්දස්මි.. මොනවා උණත් පපුව කොච්චර ඇවිලුණත් උ ඹව දැක්කම ඒක නිවෙනවා..”
“දේව්..”
“හ්ම්… උ ඹ මායාවක් වගේ බං.. ඇල්ලුවත් ඇති මාව සීතල වෙලා යනවා..”
“ඔයා මාව තේරුම් ගත්තද කවදාහරි ඒ කියන්නෙ..”
“නෑ.. මම දන්නෑ ඒවට උත්තර.. මම කීවෙ දැනෙන දේ..”
“ම්ම්ම්… ඒකට කමක් නෑ.. කෞමදී කතා කළාද..”
“නෑ..”
“මං අරං බලන්නද..” ඈ මිමිණුවාය. ඔහු ගැස්සිණ.
“එපා..”
“හ්ම්ම්…”
ළයේ එල්ලී හුන් කෙල්ලගේ පයක් දේව්ගේ කුසේ වැදිණ. ඔහු ඈ දෙස බලා හුන්නාය. ඒ නෙත් ඇයගේ කුසින් නතර විණි. ඔහු ඇයගේ මුහුණ දෙස කෙලින් බැලීය.
“එයාට මාස හතයි..”
“මන්දස්මි…. කෝමද මං හිතපු දේ කිව්වෙ..”
“මට තාම ඔයාව දැනෙන නිසා.. ඔයා නොදන්නව වුණාට මට ඔයාව ඉස්සර වගේම දැනෙනවා..”
කෙල්ලගේ හිස පිරිමැද ඇයගේ නළල සිඹ ඕ කාමරය සිසාර බැලුවාය. දින ගණනාවකින් නොසේදූ රෙදි කන්දකි. තැන්තැන්වල විසිකළ රෙදිවලින් සුළුවට පුස් ගඳක්ද නාස් පුඩු කාගෙන දැණින. කාමරයෙ තැන් තැන්හී එකතුවුණ සිගැරට් අලු දෙස බලා හිදි මන්දස්මි ඔහුගේ ඇස්වල යළිත් එඹුණාය. ඒ සිත මොනවාදෝ අහිංසක ආසාවක් ඉල්ලයි. ඈ ඔහුගේ රැවුලු කොට ඇනෙන කම්මුල සිනිදුවට පිරිමැද්දාය.
“දේව්..”
“හ්ම්ම්…”
“මම ඔයාගෙ පපුව උඩින් ඔලුව තියාගන්නද.. මට ආසයි ඒම ඉන්න… ඔයා ළඟට ඇවිත් අවුරුදු දෙක හමාරකට වඩා ගෙවිලා ගිහින්.. මම ආසයි දේව් එක වතාවක් හරි විදින්න.. මට බයයි මං මැ රේවි කියල..”
“මන්දස්මි.. කට වහගන්නවා..”
“ඔයාට නොකියා මේ හිතේ කොච්චර දේවල් තියෙද දේව්.. අහිංසක ආසාවල් ගොඩයි.. හැබෑ නොවේවිදෝ බයයි…”
තවත් කිසිවක් කියන්නට නොතැබූ දේව් වෙව්ලන දකුණතින් ඇයගේ බාහුවෙන් අල්ලා තුරුළු කරගත්තේ ඔහුගේ ළයටය. වෙව්ලන දෙතොල් කීපවරක් පපුව මත දැවටෙනු ඔහුට දැනින. අවුල් වී ගිය ඇයගේ හිසකෙස් අතරින් වෙව්ලන ඇඟිලි යැවූ ඔහු හුස්මක් ගත්තේය. හීනි ඉකිබිඳුමක් ඔහුගේ දෙසවන සීරීය. යටවී ගිය දකුණතට කෙල්ලගේ දෙපාත් කුසඔත් පැටියාගේ දැගලිල්ලත් එකවර දැණින.
“දේව්.. මාව ගැහෙනව ඇහෙනවද.. ඩොක්ටර් කෙනෙක් විදියට ඔයාට ඒක නිකන්ම සද්දයක් විතරයි.. ඒත් ඔයාගෙ සමහර හීන හැබෑවුණේ ඒ සද්දෙ උඩ දේව්.. ඒක නැවතුනානම් සමහර විට මන්දස්මි අද ඔයාගෙ පපුව උඩ නොයිදින්න තිබුණා..”
“මන්දස්මි.. කට වහන්න බැරිද..”
“අනේ මට කියන්න දෙන්න.. මගෙ ඔලුව රිදෙනවා.. සමහරවිට ඔයාට මාව නිකන්ම නිකන් මස් ගොඩක් විතරයි වෙන්නැති.. සමහර විට ඔයාට මාව මොචරියෙ දකින එක ඩමි එකක් විතරයි වෙන්නැති.. ඒත් මට කියන්න තේරෙන්නෑ දේව්.. ඒ ඩමි එක මැ රිලත් හුස්මගත්තෙ දේව් කියන කොල්ලා හින්දා..”
ඕ හිස සඟවාගත්තේ ඔහුගේ ගෙළ පාවුලය. හීනි වැස්සක් පේරාදෙණි බිම තෙමාගෙන හැලෙන්නට ගත්තේය. ඇයගේ අතේ තුරුලුව කෙල්ල නින්දට වැටී හුන්නාය. මන්දස්මි හීනි සිපුමක් ඔහුගේ නිකටට තැබුවාය.
“මට මෙහෙම වැටිල ඉන්න දෙන්න දේව්..”
ඈ කෙදිරිල්ලක් වාගේ කියද්දී ඔහු ඇයගේ මුව වසා තවත් තදින් ළයට සිර කරගත්තේ නිහඬවමය.
_ ඊළඟ කොටසින්