Home Novels අහසම ගුගුරා අහසම ගුගුරා – 58 කොටස

අහසම ගුගුරා – 58 කොටස

0
8

අහසම ගුගුරා… ❤️‍🔥
-58- (short episode)

‘ජීවිතේ කියන්නේ මඟහැරුණු දේවල් සහ මඟහැරෙන්න නියමිත දේවල්වල ඓක්‍යයට.’
-මංජුල වෙඩිවර්ධන (මගේ ආදරණීය යක්ෂණී)

“අපි හෙට උදේම යනවද..?”

කවිනි විමසුවේ විවෘත උඩුමහලට පිවිසෙමිනි. එහි එක් කෙළවරකට වන්නට විසල් සහ රනුක හිඳගෙන සිටියේ බිම එලූ විශාල කලාලයක් මත ය. ඒ මධ්‍යයෙහි මත්පැන් බෝතල් දෙකක් සහ තවත් දේ වූ අතර තරුණයන් දෙදෙනා කෙටි බිත්තියට පිට දී හිඳගෙන සිටියේ අංශක අනූවක කෝණයක ආකාරයෙනි. උඩුකය නිරුවත්ව සිටි ඔවුන් දෙදෙනා ම කොට කලිසම්වලින් පමණක් සැරසී සිටියහ. තවමත් සවස් යාමය උදා වී නොතිබුණෙන් තදබල සීතලක් පරිසරයෙහි නොවීය.

“නෑ කවී… දවල් වෙලා යමු… හදිසියක් නෑනේ… හෙට හොඳ නින්දක් දාමු…”

රනුක කීවේ යුවතියන් ගෙන ආ කටගැස්ම දීසි කිහිපය කලාලය මත තබන්නට උදව් වෙමිනි. නදිනි, රනුකගේ පසෙකින් හිඳගත් පසු ඔහු, ඇගේ කර වටා අතක් දමා ඇයව, තමන් වෙතට ළං කරගත්තේ ය. කවිනි, විසල්ගේ දෙපසට විහිද වූ දිගු දෙපා මැද හිඳගත්තේ ඔහු ලබාදුන් ඉඟියට අනුකූලව ය. ඔහු, ඇගේ බඳ වටා දෑත් යවා ඇයව, සිය පපුවට හේත්තු කරගත්තේ ය. යුවතියන් දෙදෙනා ද කෙටි කලිසම් සහ සැහැල්ලු ටී ෂර්ට්වලින් සැරසී සිටියේ ගත කරමින් සිටින සැහැල්ලු නිවාඩුව පිළිඹිබු කරන්නාක් මෙනි.

“නිලමේ අයියලා එන්නේ කීයටද..?”

කවිනි සෙමෙන් විමසුවේ විසල්ගෙනි.

“උන් එද්දී හය, හත වගේ වෙයි… නිලමේගේ මල්ලියි, තව කොල්ලෝ දෙන්නෙකුයි එනවා කිව්වා. එකෙක් අපේ එකේම සයන්ස් එකේ කොල්ලෙක්…”

කවිනි හිස සැලුවා ය.

“මට මේක කියන්නකෝ… ඇයි අපි මෙහෙ ඇවිත් කෙල්ලෝ වෙනමයි කොල්ලෝ වෙනමයි රූම්ස් බෙදාගත්තේ..? කවීට තිබ්බනේ විසූ අයියගේ එකේම බෑග්ස් තියාගන්න. රනූට පුලුවන්නේ මගේ එකේ බෑග්ස් තියාගන්න…”

නදිනි විමසුවේ ඉදිරියට නැවී වීදුරුවකට මත්පැන් පුරවන රනුකගෙනි.

“මෙච්චර ප්‍රශ්න තියන ලෝකේ උ ඹ ට අහන්න තිබ්බ එකම ප්‍රශ්නේ ඕකද නදී..?”

රනුක පුරවා දුන් මත්පැන් වීදුරු දෙකෙන් එකක් කවිනි හට දෙමින් විසල් විමසුවේ සරදම් සිනාවක් පාමිනි.

“ඒක නම් මටත් තිබ්බ ප්‍රශ්නයක් ඇත්තටම…”

කවිනි ද කීවේ විසල්ගේ සිනහව පුළුල් කරවමිනි. රනුක හඬනගා සිනාසෙමින් මත්පැන් පිරවූ අනෙක් වීදුරු දෙකෙන් එකක් නදිනි අතට දී යළිත් කෙටි තාප්පයට හේත්තු වූයේ නදිනිගේ කර වටා අත යවමිනි.

“නිලමේ කොයි වෙලේ හරි එන්නම් කියලා තිබ්බේ නදී… උන් ආවම අපි කපල් වෙන වෙනම රූම්ස්වල ඉන්නේ කියලා දැනගත්තම නෝන්ඩියි වගේනේ… මටයි මූටයි අවුලක් නෑ. අපි කොල්ලොනේ. ඒත් ඔයාලා දෙන්නා කෙල්ලොනේ… ආයේ ඕවා කැම්පස් එක පුරා ගියොත් එහෙම… ඒකයි අපි මෙහෙ එන්නත් කලින්ම එහෙම ඉමු කියලම කතා උනේ…”

රනුක පැහැදිලි කළේ ය.

“අනික නදී, ඔයාලා දෙන්නගේ අෆෙයාර් එක තාම කැම්පස් එකෙන් දන්නෙත් නෑනේ… එහෙම එකේ ඕවා පත්තු උනාම කතා ගොඩයි… අපි දෙන්නා තව මාසෙකින් කැම්පස් එකෙන් ගියාට උ ඹ ලා දෙන්නා ඉන්න ඕනනේ තව අවුරුද්දක්… නිලමේ ඇවිත් නිකමට හරි රූම් එකට යන්න ඕනේ කිව්වොත් ඒ යන රූම් එකේ කෙල්ලන්ගේ බඩුයි කොල්ලන්ගේ බඩුයි තිබ්බම ඌ වෙනම රූපයක් මවාගන්නවනේ… අපි මේ බැච් ට්‍රිප් එකක් ඇවිත් නෙවිනේ බං…”

විසල් ද ඌණපූර්ණයක් එකතු කළේ ය.

“විස්සා, මං චිවාස් එක කැඩුවේ. බ්ලැක් ලේබල් එක තියාගන්නම් රෑට…”

රනුක විමසුවේ ය. විසල් හිස සැලුවේ ය.

සංවාද සහ සිනාවන් අතරින් වීදුරුවෙන් වීදුරුව හිස් වූයේ සෙමිනි. තරුණයන් විසින් පෙර සූදානම් කරගත් ග ං ජා සු රු ට් ටු දෙකෙන් එකක් රනුක දැල්වීය.

“විසූ අයියේ, ගිටාර් එකත් තියන එකේ සිංදුවක් ගහමුකෝ…”

නදිනි ආරාධනා කළා ය. කවිනි, විසල්ගේ උකුළෙන් ඉවත්වන්නට තැනුවේ ඔහුට ගිටාරය වාදනය කිරීමට අවකාශය සලසා දෙන්නට ය.

“කොහෙද යන්නේ..?”

කවිනිගේ අතකින් අල්වාගනිමින් විසල් විමසුවේ ය.

“ඔයාට සිංදුව කියන්න නිසා…”

“ඉතිං ඔහොම හිටපන් දඟලන්නැතුව…
රනුවා උ ඹ ට ගිටාර් එක ගහන්න පුළුවන්නේ…?”

රනුක අසලම වූ ගිටාරය පෙන්වමින් විසල් විමසුවේ ය. රනුක හිස සලමින් දැල්වූ ග ං ජා සු රු ට් ටු ව නදිනි අතට දී පසෙක වූ ගිටාරය අතට ගත්තේ ය.

“රනූ අයියට ගිටාර් ප්ලේ කරන්න පුලුවන්ද..?”

කවිනි විමතියෙන් විමසීය.

“බලහන් විස්සා, උ ඹේ ගෑනි මං ගැන හිතන් ඉන්න විදිය…
නෑ කවී… සිංදු කියන්න නම් බෑ. ගිටාර් එක පොඩ්ඩක් ගහගන්න බැරිකමක් නෑ… විස්සා තමා ඉගැන්නුවේ…”

රනුක සිනාසෙමින් කීවේ ය. ඔහු ගිටාරය සුසර කරන්නට විය. විසල් ගීතය ගයන්නට තම ජංගම දුරකතනයෙන් ගේය පද තෝරන්නට විය.

“සිනා පෑවේ හදේ පෑරී
රිදුම් දුන් වේදනා අතරේ
ඔබේ දැසේ ගැලී ස්නේහේ
දුමාරේ මා වෙලීලා සේ…
ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ…
හ්ම්ම්ම්…
ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ
නිමේෂය කල්පයක් වාගේ…
තුහින අහසේ නුරාගී නෙත් තුළ තනිවී
හීන සිඹිමී මං…
සරාසඳ පරදාවී
සිනා සේලෙන් යශෝරාවී…”

විසල් ගීතය ගයන අතර ම සිය නිදහස් අත කවිනිගේ බඳ වටා ගෙනගියේ ඈ ඇඳසිටි ටී ෂර්ටය යටිනි. යුවතිය, ඔහුගේ අතැඟිලි පහසට හැකිලුනේ ලැජ්ජාශීලී සිනහවක් පාමිනි.

“ඒක නම් කවීටමයි…”

නදිනි සිනහවක් පාමින් කීවා ය.

“හදේ කොනකින් දිස්නේ දේ
ඔබේ පෙම් ප්‍රාර්ථනා අඳුරේ…
හදේ කොනකින් දිස්නේ දේ
ඔබේ පෙම් ප්‍රාර්ථනා අඳුරේ
දෙතොල් පහසින් මිදිලා නම්
ග්‍රීෂ්මයක්මැයි ප්‍රේම වර්ෂාවේ…
රහසේ පායාවී අහසේ…
හ්ම්ම්ම්…
රහසේ පායාවී අහසේ
හීන දුන් තාරුකා මගේ…
තුහින අහසේ නුරාගී නෙත් තුළ තනිවී
හීන සිඹිමී මං…
සරාසඳ පරදාවී
සිනා සේලෙන් යශෝරාවී…
සරාසඳ පරදාවී
සිනා සේලෙන් යශෝරාවී…”

විසල් ගීතය අවසන් කරමින් කවිනිගේ ගෙල පිටුපස දෙතොල් තැවරුවේ රනුක සහ නදිනි එහි සිටින බවක් අමතක වූවාක් මෙනි.

“වෝව්… හව් රොමෑන්ටික්…”

නදිනි කීවේ සිනහවක් පාමිනි.

“ඉරිසියාකාරී…”

විසල් කීවේ ඇයට ඇද කරමිනි. රනුක ගිටාරය පසෙක තබා නදිනි අත වූ ග ං ජා සු රු ට් ටු ව ගෙන ඉන් දුම් උගුරක් ඇද එය ඉදිරියට නැවී කවිනි අතට දුන්නේ ය. අනතුරුව යළි නදිනි අසලට වී ඇගේ කර වටා අතක් දැමුවේ ඇගේ කන් පෙත්තක් සිපගනිමිනි.

“මේ ඇද්ද..?”

ඔහු සෙමෙන් ඇගෙන් විමසුවේ ඇය සිනාසෙන විට ය.

“මේ, ගෑනු ළමයි දෙන්නා… දැන් ඇතිවෙන්න බීපන්… චිවාස් එක මදි නම් බ්ලැක් ලේබල් එකත් කඩමු. අවුලක් නෑ… රෑට අරුන් ආවම ඔයාලා දෙන්නා බොන්න එන්නෙපා… අවුලකට නෙවි… නිලමේව අපි දන්නවා උනාට අනික් උන් තුන්දෙනා ගැන අපි දන්නේ නෑනේ… ඔයාලා දෙන්නා රෑට මොනා හරි බඩට දාගෙන කාමරේට ගිහින් දොර ලොක් කරගෙන නිදාගන්න… අපි එනකං ඉන්නෙපා… හරිද…?”

විසල් කීවේ යුවතියන් දෙදෙනා අමතමිනි. යුවතියන් දෙදෙනා ද එයට එකඟ වූහ. විසල්, තමන් අතැති ග ං ජා සු රු ට් ටු ව කවිනිගේ දෙතොල් අතර තබා ඇය ඉන් හුස්මක් ගන්නා තුරු හිඳ ආපසු ගත්තේ ඇගේ හිස පිටුපස සිඹිමිනි.

“ආයේ මෙහෙම නිදහසේ කවදා යන්න වෙයිද දන්නෑ…”

නදිනි කීවේ රනුකගේ නිරුවත් උරහිසක හිස රඳවමිනි.

“බයවෙන්නෙපා කෙල්ල, අපි පාස්-අවුට් උනාට පස්සේ අපි දෙන්නට මෙච්චර වැඩ හිටින්නෑ දැන් වගේ… ජොබ් එක විතරයිනේ… එතකොටත් කොහේ හරි යමු…
නැද්ද විස්සා..?”

ඇගේ හිස සිපගමිනි රනුක කී වදනට විසල් හිස සැලුවේ එකඟවෙමිනි.

“මේ මොහොතේ ජීවත්වෙයන් නදී… හෙට ගැන කරදර වෙන්නෙපා… ලෝකේ කොහේ හිටියත් උ ඹ ලා දෙන්නට අපි දෙන්නා ඉන්නවා… ඉන් එහා හිතන්නෙපා…”

විසල් කීවේ හිස් අහස කුස දෙසට දෑස දල්වමිනි. අනතුරුව ඔහු ග ං ජා සු රු ට් ටු වෙ න් උගුරක් ඇද රනුක වෙත කෙටි සිනහවක් පෑවේ රනුකගේ බැල්මට පිළිතුරු වශයෙනි.

✍🏼 සකුනි හතරසිංහ