වස්සාන මල්💐🌹🌹
මේ තිස් තුන්වන මල් පොහොට්ටුවයි💐💐🥀🌹🥀🥀
“අද යන්නෙපා අම්මෙ..”
ඉන්න හිතාගෙන ආවත් මගේ මුවින් ගිලිහුණු වචනවලට හිලව් කර අම්මා අදම යාවී දෝ කියා බයක් හිතුණි. මොනවා කොහොම වීද මේ මගේ අම්මාය. ගිම්හාන විෂයයෙහිදී ඇය මා ගැන වද නොවී අක්කා ගැන විතරක්ම හිතුවා කියා විටෙක හිත කිව්වද, නිදහසේ කල්පනා කරනකොට හිතෙන්නේ එ් වෙලාවේ අම්මා අක්කාගේ ගැනම වද වූ එක සාධාරණය කියාය. ගිම්හාන නිසා මට නැතිවූයේ වසර ගණනාවක් තිස්සේ බැඳුණු සෙනෙහස පමණි. අක්කාට සිය කෙලිකමම අහිමි විය. ඒ නිසාම අනාගතයම අඳුරකට වැටෙන මං සලකුණු පහළ විය. අම්මා කෙනෙක් විදිහට එවෙලේ අම්මා අක්කා ගැන වැඩිපුර හිතු එකට දොසක් කියන්නට විදිහක් නැත. ඊටත් පසු ඇය හැදුවේ අක්කාත් නංගීත් අතර තියෙන දුරස්ථභාවය බිඳ ඒ දෙදෙනා ළං කිරීමටය. එහෙම ළං වෙන්නට මට බැරි වීද එක් කුස තියා ලොවට බිහිකළ දෙදරුවන්ගේ විරසකය මවකට තරම් තදට වෙනෙකෙකුට දැනේද කියාත් සැකය. ඒ අතින් බලන කළ අප අතර වන විරසකය බිඳින්නට අම්මා දැරූ තැත අසාධාරණ නොවේ.
“යන්න කියල හිතාගෙන තමයි ආවෙ. ඒත්.. මේ ළමයි දෙන්න පැලෙන්න හැදුව අද ඉඳල යන්න කියල. දැන් මං ගියොත් ඒ නොදරුවො දෙන්නට දුක හිතෙයි.”
“නොදරුවො දෙන්නට විතරක් නෙමේ මේ නොදැරිවිටත් දුකයි. ඒ හින්ද යන්නෙපා.”
“අනේ, උඹේ නොදරුකම. දැක්කනෙ, දරුවො නොදරුවගෙ කටින් වක්කඩේ කැඩුවැහැ කියවුණු වචනවල සැර. හොඳයි ඉතිං, මේ අම්මම හින්ද. නරිවාදන් අහගෙන තව ඉවසන් ඉන්න.”
“නරිවාදන් නෙමේ අනේ.. ඔය මගෙ දුකට කියවුණු දේවල්. නැතුව තරහට නෙමේ.”
මම උකුලේ ඉන්නැද්දිම අම්මාගේ මුහුණ අතගා කුස සිම්ඹෙමි.
“අනේ.. උඹේ කපටිකම..”
අම්මා, තරහින් නොවේ. එයම සැනසීමකි. මම ඒ සැනසීම මුසු සතුටින්ම අම්මාගේ වුවන ඉඹගෙන ඉඹගෙන ගියෙමි.
“නාකි හුරතල් නෙමේ, ඔය යාළුවට තව අරගෙන කන්න කියපන් පොඩි පුතේ.. මං මේ දරුවො දෙන්න ගැන බලල එන්නම්.”
“ඒයි.. බොන්ඩියෙ, මොකක්ද යකු ඒ කරපු තුප්පහි වැඩේ තේරුම?”
අම්මා මා වෙතින් ඉවත්ව යන තුරු ඉඳ මම ඉඳුගෙ අතක් රිදෙන්නට කෙනිත්තුවෙමි.
“අපිත් හිතන්නේ උඹේ අම්මා හිතනව වගේම තමයි. නාස්ති වෙන්නෙ, උඹේ වටිනා තරුණ කාලෙ. භූමි කියන්නෙ කාලයකට ඉස්සෙල්ලා උඹ දැකපු හීනයක් විතරයි. ඒ හීනෙ රෑ ඉවරවෙනකොටම මැකිලත් ගිහින්. තවත් ඒ මැකිල ගිය හීන පස්සේ යන්න නෙමේ උඹට තියෙන්නේ හොඳ මනුස්සයෙක් බැඳල සතුටින් ඉන්න එක. එතකොට උඹේ ඔය හිතේ තියෙන බරත් නැතිවෙනව. අහපන් මුතූ, ගිම්හාන වගේම භූමි කියන්නෙත් උඹේ ජීවිතෙන් පිටමං කරන්න ඕනි දෙන්නෙක්. ඒ හින්ද උන් දෙන්නවම අතෑරල දාපන්. එක පාරටම නෙමේ ටිකින් ටික හරි උන් ගිම්හාන වගෙම භූමිවත් උඹේ හිතින් අයින් කරලම දාපන්. මට හිතෙන්නේ එකෙක් නෙමේ උන් දෙන්නම හිතේ තියාගෙන ආදරයෙන් මතක් කර කර ඒ මත්තෙම නැහෙන්න ඕනි දෙන්නෙක් නෙමේ. බලහන්, හේෂිත සර් මොන තරම් හොඳද? බැඳල ළමෙක් ඉන්න මනුස්සයෙක් කියල බැලූ බැල්මටම කියන්නවත් පුළුවන්ද? එකපාරටම නෙමේ ටිකින් ටික හිතහන් අන්න ඒ මනුස්සය ගැන. උඹට ලස්සන අනාගතයක් තියෙන්න ඕනි මුතූ.. ඔය දුක්වින්ඳ හොඳටම ඇති උඹ.”
“කවුරු මොනව කිව්වත් මට මේ ජීවිතේ දුකක් නෙමෙයි. ඒ හින්ද හේෂිත සර් ගැන ආයෙ කතා නොකර හිටපන්.”
“මට තහංචි දාන්න උඹට බෑ. මං අද උඹලගෙ අම්මා ආව බව කිව්වම, ආවෙම හේෂිත සර් ගැන කතා කරනව කියල හිතාගෙනමයි.”
“අඟේ ඉඳන් කන කන්න එපා මෝඩි..”
“උඹේ උපහැරණ කොච්චර ගැලපෙනවද කියලනම් මං දන්නෑ. ඒත්.. ආයෙත් කියන්නම්, උඹ ගැන වගේම උඹේ දරුවා ගැනත් හිතල ඉක්මනටම තතීරණයක් ගනින්..”
ඉඳුත් අම්මාට එහාය. මගේ කොන්දේසි කිසිවක් මායිමකට නොගත්තී ලියක ආධාරකය ශක්තිමත් ගසකැයි පුන පුනාම කිව්වාය. අවසන, ඇගේ තර්ක බිඳින්නට ගොස් හිත මිතුරියකද අහිමි වේදැයි බියෙන් නිහඬ වෘතය රැක්කෙමි.
💐🌹💐🌹💐🌹💐🌹💐🌹
කාලයකට පස්සේ රාත්‍රිය බොහෝ දොඩමළු විය. පුතුන් දෙදෙනා ආච්චම්මා හා හරියට කතාවේය. නොනවතින කතාවේය. වෙනදාට අම්මත් එක්ක අට විතර වෙනකොටම නිදි කිරන පුතුන්ට නින්දේ වගක් නැත. තරඟයට කතාවේය. වෙනදා වගේ සරලව කා බී නිදන්නට හැටියක් නොවූ නිසා මාද තවම මුළුතැන්ගෙයි හට්ටි මුට්ටි, පිඟන් කෝප්ප අතරේය. සමහර කතාවලට මමද එතැන ඉඳන්ම උත්තර දෙන්නෙමි.
“ආච්චම්මා, ඔයා දන්නෑනෙ.. මේ අයියා එළි කරන්නේ දුටුගැමුණු සජතුමා යුද්ධ කළා වගේ.”
පුතු පැටියා කියන්නට යන කතාව සිහිව මටත් දෙතොලතරට හිනාවක් ආවේය.
“ඇයි, පුතේ.. එහෙම කියන්නෙ?”
“නෑ, ආච්චම්මෙ, මෙතන චුට්ටක් එළිකරනව.. අතන චුට්ටක් එළි කරනව. ආයෙත් තව තැනක චුට්ටක් එළි කරනව.. එහෙමයි.. ඉතිං, මං කිව්ව අයියෙ, එහෙම නැතුව දුටුගැමුණු සජතුමා කීබත් කෑව වගේ එළි කරන්න කියල. ඒ වුණාට අයියා කියන දේ අහන්නෑ.”
“ඇත්තනෙ වස්තු මල්ලා කියන්නෙ, හෙමින් හෙමින් එක තැනක ඉඳන් චුට්ට චුට්ට එළි කරගෙන යන එක තමයි හරි.”
“දැන් එහෙම තමයි ආච්චම්මෙ.. මං එළි කරන්නේ..”
නොදැක්කාට වස්තු ලැජ්ජාවෙන් රතුව ඇතැයි මට සිතෙයි. වැලි කැටයක් පෑගෙන්නට නොදී, දූවිලි පොදක් වැදෙන්නට නොදී හැදුව වස්තු වගේ නොව පුතු පැටියා හැදුණේ හැම දෙයකටම ඔරොත්තු දෙන විදිහටය. එ් හින්දාද නොදන්නෙමි පුතු පැටියා බොහෝ වෙලාවලට, බොහෝ තැන්වලදි ප්‍රායෝගිකව හිතන්නේය.
“මේ… ඔයා මට හිනාවුණාට ගහකටවත් නැගගන්න බෑනෙ.”
වස්තුත් අතාරින්නට සූදානම් නැත. මල්ලාව ආච්චම්මා ඉදිරියේ හාස්‍යයට ලක් කරන්නට දැඩි උත්සාහයකය.
“කවුද කිව්වෙ? මට ගස් නඟින්න බෑ කියල.”
“කවුරුවත් කියන්න ඕනියෑ, මං අද දැක්කනෙ.. අර කවිත් පේර ගහේ උඩ. මෙයා පහළ ඉඳන් කට බලියගෙන බලා ඉන්නව.”
“හා.. ආච්චම්මා කියන්න, ඩොක්ටර්ස්ල ගස් නඟින්නෑ නේද?”
මල්ලා හැරෙන්නේ කොතනටදැයි කියන්නට මට නම් තේරුණි. ඒ හින්දාම මල්ලාගේ කතාව ඉවර වෙනකොටම තව පොඩ්ඩෙන් මට ‘බකස්’ ගා හිනාවක් යන්නට ආවේය. මම මහත් වෑයමෙන් ඒ හිනාව කට අතින් වසා හංගා ගත්තෙමි. ඒත්.. ඇත්තමයි, දෑසින් කඳුළු පනිනකම් රහසින් සිනහ වීමි.
“ඔව්, පුතේ.. ඩොක්ටර්ස්ල ගස් නඟින්නෑ.”
“හූ.. ඇද්ද.. ඩොක්ටර්ස්ල ගස් නඟින්නෑ. කවිත් ලොකු වෙලා පොල් කඩන මාමෙක් වෙනවලු. ඒකයි එයා ගස් නඟින්නෙ..”
ආච්චම්මාට නම් හයියෙන් හිනාය. තර්ක නැත. අයියා ගොළුය. මල්ලා දිනුම්ය.
එ් දොඩමළු සතුටු රැය ගැන හිතෙද්දී නම් අපේ හුදකලා නිසරු ජීවිතය ගැන දුකත් හිතුණි. වැඩියම දෙදරුවන් ගැනය. ඔවුන්ගේ සතුට නැති කළේ මාද කියා සිතුණි. ආච්චම්මා සෙවණේ මහ ගෙදර සතුටින්, සැහැල්ලුවෙන් ඉන්නට තිබූ අවස්ථා නැති කර නැති වගකීමක්, නැති බරක් දරුවන් හිස මතට දී ඔවුන්ව හුදකලා කළා නෙිද කියා මා ගැනම සියුම් තරහක් ඇති විය. ඒත්.. මගේ අසරණකමට මා වෙන කුමක් නම් කරන්නද?
“අක්කත් හෙට ගෙදරනෙ.. හෙටත් ඉඳලම යන්න අම්මෙ..”
මම පුදම තරම් යාප්පුවෙන් ඉල්ලුවෙමි.
“හෙට ඉන්න නෙමේ, හරි නම් මං අර කියපු ටික අහගෙන තව එක තත්පරයක් මෙහෙ ඉන්න ඕනි නෑ. පිට ළමයෙක් ඉන්නව කියලද කට කියෙව්වෙ. අම්මා කියන්නෙ පඹයෙක් ගාණට දාල උඹ පොඩි පුතේ මං ගැන හිතන්නේ.. අඩුම ගානේ උඹ අම්මා කෙනෙක් නේද කියල හිතලවත් අම්මා කෙනෙක්ගෙ හිත තේරුම් ගනින්. එක දරුවෙක් සැප විඳිද්දි තව දරුවෙක් දුක් විඳිනව බලන්න අම්මා කෙනෙකුට බෑ. ඒ හින්ද අම්මා හදන්නේ කොහොම හරි ඒ දුක් විඳින දරුවත් දුකින් ගලවගන්න.”
අම්මාට මා ගැන දුකය කියා දන්නෙමි. ඒ දුක ඇගේ හිතෙන් උගුල්ලා දමන්නට හැක්කේ ඈ කියන බහකට කැමති වී මගේ ජීවිත භාරකාරත්වය පිරිමි දෑතක් මතින් තිබ්බ දාකට කියන්නට දන්නෙමි. එහෙත්.. ගිම්හානට පෙම් කළ හිත මරා දමා, භූමිත් එක්ක ලෝක සම්මත නීතියකට නතු නොවී ජීවිතය බෙදාගත් මට තවත් පිරිමියෙකු ගැන හිතන්නට නොහැකි බව අම්මා තේරුම් නොගන්නීය. මා කියවන්නට උත්සාහ නොගන්නට අම්මා දුකට කාරණා එකතු කර කර ඇයත් දුක් ගන්නීය. මටද දුක් දෙවන්නීය.
“අම්මෙ, වැලිතලපත් තියෙන එකේ තේ කහට ටිකක් වක්කරන්නද?”
ගෙදර කිරිපිටි නැති බව මතක් වූයේ රෑය. එවෙලේම නිවස අසළ කඩයට ගියද එකම වර්ගයකවත් කිරිපිටි නොවුණි. හන්දියට යන්නට දුර වැඩිය. ඒ හින්දා ආපසු හැරුණෙමි.
“මට නම් කහට හොඳා. කෝ ළමයි දෙන්නට කිරි නැද්ද?”
අම්මා, දරුවන්ගේ කෝප්ප දෙසට එබී බැලුවාය. ඒවායේත් කහට දුටු ඈ මුව විරූපී විය.
“ළමයි කහට බොනවද බං..?”
“එයාලට සීනි චුට්ටක් දානව.”
“ඔව්, ආච්චම්මෙ.. අපෙ අම්මි ළඟ සල්ලි නැති හින්ද දැන් අපි කුක්කු පිටි බොන්නෑනෙ..”
පුතු පැටියා කට ඉස්සර කළේය. නැත්නම් මං හිතා හිටියේ අද ගේන්නට හිටියා අමතක වුණා කියා කියන්නටය.
“මේක හරියන මඟුලක් නෙමේ.. ඉක්මනට තීරණයක් ගනින්. මේ දරුවන්ටත් දුක් දිදී උඹත් දුක් විඳින එක වහාම නවත්තපන්..”
“මේ සතියේ විතරයි ඔහොම වුණේ.. ඒකට ඔච්චර කෑ ගහන්න එපා අම්මෙ..”
“ඇයි, දැන් උඹ මාසෙකට සැරයක් නෙමේද බඩු ගේන්නේ?”
“එහෙම තමයි.”
“එහෙම නම් උඹ දන්නැද්ද මාසෙකට කිරිපිටි මෙච්චර යනව, අච්චර යනව කියල කියන්න.”
“මේ මාසෙ පොඩ්ඩක් එහා මෙහා වුණා අම්මෙ.”
“මේ මාසෙ එහා මෙහා වෙච්චි පොඩ්ඩ බැලූ බැල්මටම මට පේනව. අනේ ඇත්තටම සැප විඳින්න පුළුවන්කම තියෙද්දී විහින් දුක් විඳින්නේ ඇයි කියපන්.. අර අරෙහෙ කන්න බොන්න ගොඩ ගහගෙන. උන්ගෙ හෙන නාස්තිය.. අක්කට කොච්චර කිව්වත් අරපරිස්සමෙන් ජීවත්වෙන්න දැනෙන්නෙම නෑ.”
අපේ අඩුපාඩු මහ ගෙදර ඇතිකම් එක්ක ආ වෙලේ ඉඳන් සංසන්දනයේය. තනියමත් කියෙව්වාය. අම්මාට දුක ඇතිය. ඒක අසාධාරණ නොවේ. ඒත්.. අම්මා කියන්නා වගේ මට සැප ඇති තැනකට ඉගිල්ලෙන්නට නොහිතේ.
💐🌹💐🌹💐🌹💐🌹
“මුතූ, මට මේක අහන්න යුතුකමක් නෑ පුතේ.. ඒත්.. ඔයත් මට මගේම දරුවෙක් වගේ හින්ද මේ අහනනෙ.. ඉස්සෙල්ලාම කියන්න, මං මේක ඇහුව කියල ඔයා මුකුත් හිතන් නෑ කියල.”
පුන්සඳා වාහලතැන්න මැතිනිය එදින කාර්යාලයට ආවේ විශේෂ යමකට නොවේ. තම ව්‍යාපාර සමුහයේ කටයුත්තකට තාරුණී එදිරිමාන්න විදෙස් ගත වූ බැවින් අප ශාඛාව වෙත ඉහළ කලමනාකාරිත්නයේ ඇල්ම බැල්ම සතියක් තිස්සේම නොවූ නිසා පැමිණි බව ඇඟෙව්වාය. මා කතාවට අල්ලා ගත්තේ ඇගේ කාර්යාලයට කැඳවීමක් කළායින් පස්සේය.
💐🌹💐 සෙනසුරාදාට තව මලක් පිපෙනකම්… 💐🥀🌹🌹💐🌹
සතුටින් පපරිස්සමෙන් ඉන්න ඕනි හොඳද? තෙරුවන් සරණයි