විසිඑක්වන දිගහැරුම

“දේව් පුතා.. මම කියන දේ ගැන කලබල වෙන්න එපා.. මේක තවත් හංගන එකේ තේරුමක් නැහැනෙ..”

වෛද්‍ය අමරසිංහ දේව්ගේ උරහිස මිරිකා අල්ලාගත්තේ උදෑසනම නැවුම් වූ නුවර මන්දාරම් අහස දෙස බලා හිදිමිනි. ඔහුට නුදුරින් ස්වේතා සිටගෙන හුන්නේ සුදුමැලි වූ ගරුඩ මූර්තියක් වාගේය. අධි සත්කාර ඒකකයේ වීදුරු කවුලුව තුළින් නෙහා අවදි වී කොල්ලාගේ ඇස් දෙසම බලාගෙන හිදිනු ඔහු නුදුටුවාම නොවේ.

“අංකල්…”

“දේව්.. නෙහාගෙ තත්වය ගොඩක් ඩේන්ජර්ස්… එයාට ඔපරේෂන් එකක් කරන්න පුළුවන්කමක් නෑ.. අයි ඇම් සොරි.. ඔපරේෂන් එකේදි එයාගෙ ජීවිත අවදානම හුඟක් වැඩියි.. අපට ස්තීරවම සහතික වෙන්න බෑ ජීවිතය බේර ගන්න පුලුවන් කියල..”

“අනේ දෙයියනේ මගෙ දරුවා…”

රෝහල් බිත්ති දෙදරන්නට ගිරිය යටින් කෑ මොර දුන් ස්වේතා හිස හප්පා ගත්තේ සුදු පැහැ බිත්තියේය. ඕ පිස්සුවෙන් වගේ ළයට පහර දෙන්නට ගත්තේ සිහි විකල් වූවකු සේය. දේව් ඈව තම ළයට සිරකරගත්තෙ ඇස් දෙකින් ඇල්ලක් සේ කඳුලු ගලාගෙන හැලෙද්දීය.

“ඇයි දෙයියනේ මගෙ කෙල්ලටම මෙහෙම වුණේ..”

“ප්ලීස් අම්මා.. අඩන්න එපා..”

“මට මගෙ දරුව ඕනෙ දෙයියනේ.. අනේ ඩොක්ටර් මට මගෙ දරුව ඕනි…”

“සොරි මිසිස් ස්වේතා.. අපි උපරිම ටෙස්ට් කළා.. කරන්න පුලුවන් හොඳම දේ මේ ටික කාලෙ එයාව සතුටින් පරිස්සමෙන් බලාගන්න එක.. අපි එයාව දවල් වෙද්දි චාර්ජ් කරන්නම්.. ඊට වඩා අපට බැහැ.. අනික මෙතන ජීවිත අවදානම වැඩී.. හේතුව ඒක කැන්සර් එකකට තුන් වෙනි අවධියටම ඇවිල්ල..”

කොල්ලාගේ පිටට තට්ටු කළ වෛද්‍ය අමරසිංහ හිමිහිට පියවර තබා යනෙන දෙස කොල්ලා බලාගෙන හුන්නේ ළය සිරකරන ලද වේදනාවකිනි.

“මම මහ කාළකන්නි ගෑණියක්…”

“නෑ අම්මා.. අපි හැමෝම ඒමයි.. නෙහා හොඳ වැඩී.. හොඳ අය වැඩිකල් ඉන්නෑ… මම නෙහා බදිනවා..”

“පුතා.. මගෙ කෙල්ල කොයි වෙලේ හරි යාවි..”

“ඔව් යාවි.. මම මගෙ මැණිකව යවන්නෙ මේ දෙව්මින් සූරියබණ්ඩාරගේ වයිෆ් විදියට ඒක ස්තීරයි.. කවුරු කොහොම කීවත් මම කෙල්ලව බදිනව…”

එක හුස්මට කියාගෙන කියාගෙන ගිය දෙව්මින් පියවර තැබුවේ කෙල්ල නිදාහුන් ඇද සමීපයටය. ඔහුගේ මෘදු පිරිමැදුමට ඈ හිමිහිට ඇස්පිය හැරියාය. ඈ වෙවලන අතින් අල්ලා ගත්තේ කොල්ලාගේ දකුණතය.

“දේව්… මට ඇත්ත කියන්නකො.. මාව මැරෙයිද..”

“මොනවද මේ කියවන්නෙ.. පිස්සුද මැණික…”

“මට හිතෙනව මට ඉක්මනට යන්න වෙයි කියල..”

“ඔයා හොඳ වෙනව.. මේ සතිය ඇතුළත මම ඔයාව බදිනව.. බය වෙන්න එපා… ලස්සන මනමාලියක් කරල අරං යනව..”

“දේව්.. බොරු හීනද…”

“නෑ මැණික… ඔයාව අද හවසට ගෙදර එක්ක යන්න පුලුවන්.. මායි අම්මයි ඔයාව ගන්න එනව හරිද.. පැටිය පරිස්සමෙන් ඉන්න හරිද.. පොඩි වැඩ ටිකක් තියෙයි ඉවර කර ගත්තු ගමන් එනව..”

දේව් කදුළක් වැටෙන්නට පෙරාතුව නෙහාගේ නළල සිඹ හිස අතගා පෙරලා ආයෙ පපුව සීරූ අහේතුක වේදනාවක් හා තම මවත් මන්දස්මිත් ගැන කෝපය මුහුවුණ හැඟීමක් හිත යට පෙරලි කරද්දීය.


දේව් හා ස්වේතා නෙහාව රැගෙන ආයේ සවස් යාමය ඉක්මවෙද්දීය. දේව් ඈව දෝතින්ම කාරයේ සිට කාමරයට උස්සාගෙන යනු ස්වේතා බලාහෙන හුන්නේ බලාපොරොත්තු සිදී ගිය මුහුණකිනි. ඈට අතීතය සිහිවේ. වර්තමානය ගැන අහේතුක බියක් පැලපදියම් වී ඇත්තේය. ඕ සලිත වී ගියේ ඉෂ්ට නොවුන බලාපොරොත්තුවක ඈ ගිලිහුණ පුරුකක් වීම හින්දාමය.

“මැණික ළඟින් මට දැන් හැමදාම ඉන්න පුලුවන් ..”

කෙල්ලව ඇඳ මත තබා දේව් ඇයගේ කන් පෙත්තට රහසින් කෙදිරීය.

“දේව්.. මට බොරු කරන්න එපා..”

“මොකද්ද මම කරපු බොරුව.. මම මැණිකට බොරු කරනවද…”

“ඔව්.. ඔයා මට බොරු කළා…”

ඈ වියරුවෙන් වාගේ කියවද්දී දේව් ඇයගේ දකුණත මිරිකා අල්ලගෙන ඈ අසළ ඇදෙන් වාඩි වීය. එ ඇස්වල කෝපාන්විත බැල්මක් තිබෙනු දුටු ඔහු ඇතුළාන්තයෙන් ගැස්සී ගියේය.

“මම බොරු කරල නෑ ඔයාට කවදාවත් ම..”

“දේව්.. මම ඇත්ත දන්නව.. මාව හොස්පිටල් එකෙන් එව්වෙ මට හොඳ වුණ නිසා නෙවෙයි.. මාව හොඳ කරන්න බැරි නිසා.. මම මැරෙනව කියල එයාල දන්න නිසා.. “

“මැණික.. කවුරුහරි ඔයාට බොරු කරල.. ඔයා හොඳ වෙලා එක්ක ආවෙ.. අපි මේ සතිය ඇතුළත බදිනව..”

“එච්චර කල් මම හිටියොත් හොඳයි.. දේව් දැන්වත් බොරු කියන එක නවත්තන්න ප්ලීස්…”

“කව්ද ඔයාට මෙව්ව කීවෙ..”

“ඔයාගෙ අම්මා.. “

“මොකක් අපේ අම්මා..”

දෙව්මින් දුන්නක් පරිද්දෙන් නැගිට්ටේය. දාඩිය බිදිති ගොන්නක් පිට දිගෙ පෙරිණි. ඔහු බලාගෙන හුන්නේ ඇයගේ කෝපාන්විත දෑස් දෙසය.

“ඔව් ඔයාගෙ අම්ම තමයි.. අර මන්දස්මි කියන එ/කිත් ආවා..”

“කොයි වෙලේද…”

“අද දවල්..”

“අද දවල් කෝමද ඒම එන්නෙ.. අනික අම්මට මම මේවා කියල තිබුණෙ නෑ…”

“හහ්… දේව් ඔයා දැන් බබා වෙන්න හදනවද.. හැමදේම කරල දන්නෑ කියන්න.. අනික හොඳට මතක තියාගන්න ඔයාට මගෙන් ගැලවීමක් නෑ කියල…”

ඕ ගිරිය යටින් හිනැහුණේ දෙව්මින් භීතියෙන් ඇළලී යද්දීය. ඇය වියරු වැටුණ යක්ෂනියක් පරිද්දෙන් දත් විලිස්සමින් ඇඳ රෙද්ද කොනිත්තමින් කාමරය දෙදරා යන්නට හිනැහුණාය.

“මැණික… ප්ලීස් ඇයි මේ..”

“උ/ඹල ඔක්කොම මේවගෙ ප්ලෑන්… මම එකතැන් උනාට පස්සෙ උ/ඹල දිනනව. අපෙ අම්මයි මායි පරදිනව… මන්දස්මිට පුලුවන් කිසිම අවුලක් නැතුව ඔයාව එයාගෙ කරගන්න..හහ්… මන්දස්මි ප්ලෑන් කරේ මේක තමා.. උන් ඔක්කොම මගෙ අම්මව රැවැට්ටුවා.. මම මේක අතාරින්නෑ. මම පළි ගන්නව..”

ඕ දත්මිටි කමින් මිටමොළවා ළයට පහර දෙමින් හිනැහුණාය. දේව් හුන්නේ පෙහෙලිකාවකට මැදි වුණ කෝපයෙනි. හේ ඈට පිළිතුරු නොදීම තරප්පු පෙළ නැග ආ ස්වේතාව හප්පාගෙනම ඇවිද විත් කාරය හරවා ගත්තේ ගෙදර යන්නටය.


“අම්මා අපි කරපු දේ හරි මදි.. කොච්චර වුනත් නෙහා උන්නෙ අසනීපෙන්..”

“ඩොක්ටර් අමරසිංහ මගෙ හොඳම යාලුවෙක්.. එයා තමා නුවර ඉන්න දක්ෂම ඩොක්ටර්.. එයා බැහැ කියනවනම් බැහැම තමා.. මට මගෙ පුතාව ඒ යක්ෂනීගෙන් ගලවගන්නයි ඕනා. මට ඉතුරු එකම වස්‍තුව එයා.. මට බෑ දැන දැන එයාට මිරිගුවක් පස්සෙ යන්න දෙන්න…”

“ඒත් අම්මා ඔයා දන්නෑ නෙහාගෙ හැටි…”

“මට එයා ගැන පහදගන්න ඕනා නෑ දුව.. එයාගෙ ඇගේ දුවන්නෙ ස්වේතාගෙ ලේ.. හොදින් හරි නරකිම් හරි කරගන්න ඕනා දේ කරගන්න ගැණියක් ස්වේතා.. නෙහා එක්ක මම කතා කරද්දි මම ඒක දැක්කා..”

“එයා අයියගෙන් පළිගනීවි…”

“ඊටකලින් මම ඉස්සර වෙන්නෝනා… දුව කැමතිද එයාව බදින්න..”

“මට බෑ අම්මා එයා ආදරේ නෙහාට..”

“එයා කාලයත් එක්ක මෙ ඇත්ත තේරුම් ගනී.. ස්වේතා මගෙ කොල්ලගෙ අහිංසක අම්මට කරපුවා.. එදාට මේ ලෝකෙ ස්වේතට වැඩිපුර වෛර කරන්නෙ දේව් දුව.. අනික ඔයාගෙ අම්ම වුනත් කැමති උනේ ඔයා දේව්ව බදිනවට.. ප්ලීස් මැණික මම ඔයාව උගුලක දානව නෙවේ.. මම දුකට මැරිලා යාවි.. මේකට කැමති වෙන්න…”

“මම කැමති වෙන්නම් අම්මා…”

“පුතා ඔයාට කැමති වේව්.. ඒක ඒම වෙන්නම ඕනා.. මගෙ සේරම දේපල ඔයාගෙ නමට හැරෙව්වා..”

“දෙයියනේ…”

මන්දි හිදගෙන හුන් තැනින් නැගිට්ටේ බියටපත් දෑසකිනි. හිස බමන්නා වාගේය. ඕ දෑත් දෙපා වෙව්ලද්දී සිහි එලවා ගැනීමට තැත් කළාය.

“මට ඇයි මේවා.. අක්කට එතකොට…”

“මෙවා එයාගෙ කැමැත්තෙන් ලීවෙ. එයා මේවට අයිතිවාසිකම් කියන්නෑ. ඔයාගෙන් පස්සෙ ඔයාගෙ දරුවට.. දේව්ට මේවාට අත තියන්න බෑ.. එයා ඒ නිසා මෙකට කැමති වෙන්නම ඕනි දුව.. මම ඔයාගෙ අත් දෙකින් එයාව තියන්නෙ මට මටත් වඩා ඔයාව විශ්වාස නිසා..”

ඉන්දුමතී හඬමින් සිපගත්තෙ ඒ දෑත් ය. ඊළඟ මොහොතේ කෝපාන්විතව ගුගුරමින් සාලයට කඩා පැන්නේ දෙව්මින් ය. ඒ දැස්වල ඇදි වෛරය වචනයට නගාගත නුහුණුව මන්දස්මි ඉන්දුමතීට මුවා වූවාය.

“අම්මා මගෙ අහිංසකී කෑවා..”

“මොන අහිංසකීද.. අර කපටි ගෑ/ණිගෙ දුව ගැනද කියන්නේ..”

“නෙහා අහිංසකයි.. මොන හයියකටද අම්මා ඒ කෙල්ලට මේවා කියන්න ගියේ..”

“ඇත්ත ඇත්ත විදියට කියන්නෝන.. මැරෙන එකා මැරෙන්නෑ කියල කොච්චර කාලයක් රවට්ටන්නද පුතා..”

“හහ්.. අම්ම හිතන්නෙ මැරෙන්න ළං වුනා කියල මම නෙහාව නොබැද මේ හිඟ/න්නි බදී කියලද.. අම්මට වැරදුනා.. මම හෙටම නෙහාව බදිනවා.. ඔන්න බලන්න..”

“පුතා… මමයි ඔයාගෙ අම්මා..”

“මට ඔයා ගැන අද කළකිරුණ හුඟක්.. හරි දුකයි..”

“පු…..තාහ්….”

“අනේ අම්මා…”

ළය දෝතින්ම මිරිකාගෙන කඩා හෙලූ ගසක් පරිද්දෙන් ඇදගෙන වැටෙන්නට ගිය ඉන්දුමතීව තමාට වාරු කරගනිමින් මන්දස්මි හුස්ම ඇල්ලුවාය. දේව් ඊළග මොහොතේ නැඹුරු වුණේ ඇයගේ වතටය. හුස්ම ගැනීම වරින් වර අඩුවී යනු ඔහුගේ දකුණතට දැනී ගියෙන් හිරි වැටුණේ ඔහුගේ ගතය.

“අම්මා…”

“අනේ අම්මා.. ඔයත් යනවද.. මට ජීවිතේ දීලා ඔයා යනවද අම්මා.. අයියෝ මම වගේ කාල/කණ්නි ගෑණියක්.. අම්මා.. අනේ දේව් අයියා.. අම්මට ..”

මන්දස්මි දෝතින්ම බදාගත්තේ කොල්ලාගෙ වම් පයය. තත්පරයක් වත් පමා නොවූ හේ ඉන්දුමතීව දෝතින්ම උසුලාගෙන කාරයට දමාගද්දි පඩරැලක් වාගේ ඇදුන මන්දස්මි ඔහු පිටිපසුන් හඬමින්ම කාරයට නැගුණාය.


මැෂින් ගොන්නකට යට වුණ ඉන්දුමතීගේ වත දෙස දේව් බලාගෙන හුන්නේ කදුලු පිරි දෑසිනි. මෙතරම් දුකක් ඒ හිත කොහොම උහුලගන්නදැයි ඔහුට දැනිනි. මන්දස්මි කොරිඩෝවේ කනුවල එල්ලීගෙන අදුරු අහස දෙස බලා සුසුම්ලනු ඔහුට පෙණිනි. කොල්ලා අල්ලාගත්තේ ඉන්දුමතීගේ දකුණතිනි.

“පුතා… “

“අම්මා… මට සමාවෙන්න…”

“පුතා.. මම ඔයාව ඇස් දෙකේ තියාන හැදුවෙ මේ තරම් විදවන්න කියල එදා හිතුණනනම් මම ඔයා මා ළඟට ආවා කියල දැනගත්ත දාම මැරෙනව…”

“අම්මා.. ප්ලීස් නවත්තන්න…”

“මට මරණෙ සැපයි පුතා.. මට විදව විදව ජීවත් වෙන්න බෑ…”

“අනේ නවත්තන්න අම්මා.. මට දුකයි.. මට අම්මවත් නැති කරගන්න බෑ…”

“දැනටමත් ඔයාට මාව නැති වෙලා ඉවරයි පුතා.. තවත් බලාපොරොත්තු නෑ…”

“ප්ලීස්.. මම අම්ම කියන දේකට කැමති වෙන්නං..”

ඔහු ඉන්දුමතීගේ නළල සිම්බේ පිස්සුවෙන් වාගේය. ඕ හඬමින්ම තුරුළු වුණේ පුත්ගේ උණුහුමටය.

“මන්දස්මි බදින්න…”

“මොකක්…”

“හ්ම්… මන්දස්මි බදින්න.. මං වෙනුවෙන් මන්දස්මි බදින්න පුතා… ඔයාගෙ අම්ම වළලාපු අතීතෙට ආයෙ යන්න ආසා නෑ.. ඒ හින්දා හැමදේම ඉවර වෙන්න මන්දස්මි බදින්න.. මම වැදල ඉල්ලන්නම්…”

ඉන්දුමතී උගුරෙන් කීවෙ කොල්ලාටය. ඔහුගේ සිත ඇයගේ රූ මැවිණ. කන ළගම අකුණක් පිපිරිණි. ඔහු බැලුවේ රෝහල් කොරිඩෝවය. කකුල් දෙකට බාටා දෙකක්වත් නොමැතිව ඇදිවත පිටින් ඔහු හා ආ මන්දස්මි සුදු පාට ගෑ බංකුවේ කොණක ගුලි වී හුන්නාය. ඒ ඇස්වල කදුලක් මෝදු විණි. ඔහු ඉන්දුමතී දෙස බැලීය.

“අම්මා කැමතිනම් මම මන්දස්මි බදින්නම්..”

ඔහු ඇසෙන නෑසෙන ස්වරයෙන් මිමිණීය.

__ ඊළග කොටසින්