විසිවන දිගහැරුම ————————–

දෙව්මින් මහ වැස්සේම නුවර රෝහල වෙත කාරය පැදවූයේ විදුලි වේගයෙනි. මහ වැහි මැද ඔහු රොහල් කොරිඩෝව දිග දිව ගියේ ඈතුළු සිත පෙළෙන නොසන්සුන් බව වැඩි වැඩියෙන් ඔහු කඩාගෙන එළියට එන්නට දගලද්දීය. ඔහු අධි සත්කාර ඒකකය සමීපයට යද්දීත් ස්වේතා එහි දොරේ එල්ලී හඬමින් හුන්නාය.

“අම්මා… මොකද වුණේ මගෙ කෙල්ලට…”

“අනේ පුතාහ්…”

මෙපමණ වේලා හැඬුම කාගෙන හුන් ස්වේතා මහ හඬින් විලාප තියමින් හිස සඟවා ගත්තේ දෙව්මින්ගේ පුළුල් ළයේය. දෙව්මින් ඇයගේ හිස පිරිමැද්දේ හිත තුළ අදෘශ්‍යමානව උපන් අනුකම්පාවකිනි.

“මොකද වුනේ අම්මා.. ප්ලීස්.. මොකද්ද මගෙ කෙල්ලට වුණේ..”

“පුතාගෙ අම්ම දවල් ටිකක් සද්දෙන් කතා කරල ගිය වෙලේ ඉදල කෙල්ල උන්නෙ හුඟක් අවුලින්.. පුතා අපිව ගෙදර ඇරලුවත් එවළෙ ඉදල කාමරේට වෙලාමයි එයා උන්නේ.. අනේ..”

“ප්ලීස්.. අඩන්නැතුව උනේ මොකද්ද කියන්න අම්මා.. මම හුඟක් බය වෙලා ඉන්නේ.. ඇයි මේ මගෙ කෙල්ලටම සේරම වෙන්නෙ..”

“මම දන්නෑ පුතා.. මම දන්නෑ.. එක පාරටම කාමරේ ඉදල වැනි වැනී එළියට දුව නහයෙන් කටින් ලේ දාගෙන පඩිපෙළ දිගේ පෙරළිලා ඇවිත් වැටුණා.. අනේ.. අනේ දෙයියනේ මට ඉදපු එකම දරුවා..”

ස්වේතා දේව්ගේ ළය මැද හිස ගසාගනිමින් කෑ මොර දුන්නාය. කොල්ලාගේ හිස කැරකෙන්නාක් වාගේය. ඒ සිත උඩ මැවී ගියෙ නෙහාගේ සිනාමුසු මුහුණය. හුරතල් කතාබහය. මුරණ්ඩු හැසිරීමය. ඔහු එහෙම්මම ස්වේතා අසල වූ අසුනේ හිඳවා ඇයව භාරගත් වෛද්‍යවරයා සොයා ගියේ හිස ගිනි ගත්තෙකු පරිද්දෙනි.

“ඩොක්ටර්…”

මොනවාදෝ කොළයට සටහන් කරමින් හුන් මැදිවියේ වෛද්‍යවරයා ඔහු දෙස හැරී බලද්දී ඔහු හුන්නෙර් නළල මත ඉපැදුණ දහදිය බිදිති ඇඟිලි වලින් රූරා විසිකරමිනි.

“දේව් පුතා… ඔයා මෙහෙ..”

“අමරසිංහ අංකල්.. ඔයාද නෙහා භාර ගත්තෙ..”

“පුතා කියන්නෙ නෙහා සමරවික්‍රම ගැනද..”

“ඔව්.. අන්කල් එයාට මොකද්ද මේ වුණේ.. ප්ලීස් මට නිකන් පිස්සු වගේ මේව දිහා බලද්දි..”

“හරි පුදුමයි ඔයා කොහොමද නෙහාව දන්නේ..”

“මම බදින්න ඉන්නෙ එයා..”

“ඕ.. මයි ගෝඩ් දේව් පුතා…”

ඔහු බැරෑරුම් ලෙස නළල රැලි කරගෙන බලාගෙන හුන්නේ දේව්ගේ එහා මෙහා දුවන අවිවේකී ඇස් යුග්මය දෙසය. තම පිළිතුරු අපේක්ෂාවෙන් බලාහිදින ඔහු දෙස තවත් මොහොතක් බලා හිඳි වෛද්‍ය අමරසිංහ දකුණත තැබුවේ කොල්ලාගේ උරහිසිනි.

“මේකයි.. මට පුතාව කලබල කරන්න ඕනි නෑ..”

“මොකද්ද.. මොකද්ද අංකල් ඒකෙ තේරුම..”

“පුතා දන්නවනෙ ඩොක්ටර් කෙනෙක් විදියට පුතාත් දන්නව මේ වෙලාවෙ ඩොක්ටර්ස්ලා විදියට අපි හිත හයිය කරගන්නම ඕනි..”

“මම දන්නව…ඒත් මට අංකල් කියන දේ පැහැදිලි නෑ..”

“මේකයි පුතා.. නෙහාගෙ මොලේ ගෙඩියක්.. ඒක අහම්බෙන් ටෙස්‍ට් එකකින් අපට හම්බවුණේ.. මුලින් ටීට්මන්ට් කරේ දියවෙලා යන්න.. බට් දැන් ඒක උඩුදුවල වැඩියි.. කැන්සර් එකක තත්වෙකට ඇවිල්ල තියෙනවා.. ඔපරේෂන් එකකට ගන්න එක ඩේන්ජර්ස් වගේ අපට පේන විදියට.. ඒත් අපි මේක අතාරින්නෙ නෑ.. උපරිම ට්‍රයි කරනව සුව අතට පත් කරගන්න… තේරුණාද…”

“අංකල්..”

දේව් හිස බදාගෙන පිට තියාගත්තේ කොරිඩෝවේ සුදු බිත්තියටය. කන ළගින්ම මහ හඬින් හෙනයක් පුපුරා ගියේය. තම චිත්ත ධෛර්යය දියාරු වී යන්නාක් මෙන් හැඟීමක් ඒ සිතට පිවිසිණි. ඔහු උන්නේ පියවි සිහියක් නැති ගානටය. කාලාන්තරයක් තිස්සේ ඈ හිස රුදාවෙන් පෙළෙන බැව් ඔහුට කීවා මතකය. තමා ඈ ගැන සැළකිලිමත් නොවුණාට හේ හිතට දොස් කීවේය.

“පුතා.. ඔයා ස්ට්‍රේස් අරං බෑනෙ..නේද දරුවෝ.. ඩොක්ටර්ල විදියට අපි පොඩි ළමයි වෙලා බෑනේ.. උපරිම අපි ට්‍රයි කරමු හරිද.. දැනට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.. අපි හිමීට ටීට්මන්ට්ස් ටික කරගෙන යමුකො..”

අමරසිංහ දේව්ගේ උරට තට්ටු කර හිනැහී ඔහු පසු කරගෙන යන අයුරු කොල්ලා දැක්කේ කදුලු පටලයකින් වැසී ගිය නෙත් වලිනි. ඔහු පිස්සෙකු වගේ ස්වේතා සොයා ඇවිද යද්දී සට සට ගා ඒ ඇස්වලින් කඳුළු හැලිණි.

“පුතේ.. මගෙ කෙල්ලට මොකද…”

“බබාට ඒ තරම් අමාරුවක් නෑ අම්මා.. අපි බලමුකෝ..”

“ප්ලීස් පුතා.. මට හංගන්නැතුව කියන්න…”

“එයාගෙ මොලේ ගෙඩියක්.. ඒත් ඒක හොද කරන්න පුලුවන් .. පොඩි ඔපරේෂන් එකක් විතරයි .. ඔන්න බලනකො මගෙ කෙල්ල සනීප වුණ ගමන් මම එයාව බදිනව.. “

ඔහු ස්වේතාගේ හිස අතගා සිනාසුණේ ළය හාරාගෙන ඉරාගෙන පනින වේදනාව උපන්ගෙයිම මරා දමමිනි. අමරසිංහගේ අවසරය මත ඔහු අධි සත්කාර ඒකකයට යද්දී නෙහා උන්නේ නානා ප්‍රකාර මැෂින් ගොඩකට හිරවීගෙනය. ඔහු ඈ සමීපයෙන් හිඳගෙන ඇයගෙ හිස අතගෑවේ අපරිමිත ස්නේහකිනි.

“මැණික…”

“ම්හ්…. දේව්.. මට මොනා වෙලාද.. මැෂින් ගොඩක්.. මට හැරෙන්නත් බෑ.. මට හරි මහන්සියක් දැනෙනව..”

“මම දන්නව මැණික.. ඉක්මනටම ඔයාට හොඳ වේව්..”

“ප්ලීස් කියන්න… ඔයා මොනාහරි මගෙන් හංගනවද.. කෝ අම්ම..”

“අම්ම එළියෙ ඉන්නවා.. ඔයාව භාර ඩොක්ටර් මම දන්න කෙනෙක්.. මැණික බලල යන්න ආවෙ ඒකයි..”

“මම මැරෙයිද දේව්.. ඔලුව පුපුරන්න වගෙ රිදෙනව..”

“පිස්සි.. පිස්සු කියවන්න එපා.. ඉක්මණට හොඳ වෙලා එන්න.. ඉක්මනට බදින්නෝන.. බබාල ගොඩක් හදාගන්න ඕනි පඩිපේළි වගේ..”

ඈ හිනැහුණාය. ඔහු බලාගෙන හුන්නේ ඇයගේ ඇස් දෙසය. ඒ ඇස් තමාටම ලියාගන්නට මෙතරම් භාධා කුමකටද.. ඒ ඇස්වල තමාට හුරු පුරුදු ගතියක් දැනුනේ කාලාන්තරයක් තිස්සේය. ඔහු නැවී ඇයගෙ ඇස් පියන් තටු සිඹීය.

“ඔයාගෙ අම්මා අපට කැමති වෙයිද…”

“මැණික හොඳ වෙන්නකෝ.. මම ජීවත් වෙන්නෙ මැණික එක්කනේ… එයා කැමති වුණත් අකමැති වුණත් මම ඔයාව බදිනව එච්චරයි .. මන්දස්මියි අම්මයි ඔයාව මට නැති කරන්න හැදුවට මට ඔයා ඉන්නවනෙ..”

“මන්දස්මි… මොකද්ද ඒ…”

“මම ඔයාට කිව්ව මතකද අම්මගෙ යාලුවෙක්ගෙ දුවක් ගැන.. “

“අර එක්ක එනව කියපු කෙල්ලද…”

“හ්ම්…”

“ඒ කෙල්ල මන්දස්මි ද…”

“ඔව්.. මම දන්නෙ අද ගෙදර ගියාම.. ඒකිව එළියට ඇදල දාන්න හදද්දි මැණික හොස්පිටල් කියල අම්ම කෝල් කරේ.. මම එහෙම්මම ආව..”

“දේව්…” ඈ අල්ලා ගත්තේ ඔහුගේ කම්මුලෙනි.

“ම්ම්..”

“ඔයා මගෙ විතරයි නේද…”

“ඇයි සැකද..”

“නෑ බයයි… මට ඔයාව ඕනිමයි… මන්දස්මි මට ඔයාව නැති කරාවි..”

“මට මැණික විශ්වාසයි.. කාටවත් අපිව නැති කරන්න බෑ… ඔපරේෂන් එකෙන් පස්සෙ අපි බදිමු.. චාමෙට හරි.. හාද…”

“හ්ම්ම්…”

සිනාසී හිස වැනූ ඈව ළයට තුරුළු කරගත් දේව් ඇයගේ හිස සිඹ යන්තම් පිරිමැද්දේ මන්දස්මිත් තම මවත් කෙරෙහි අප්‍රසාදයක් හිත තුළ දලු ලා වැඩෙද්දීය


“අම්මා.. දේව් අයිය මේ තරම් වෙනස් වෙලා කියල මම දන්නෙ නෑ… මට හිතාගන්න බෑ.. වෙලාවකට දෛවය මටම හිනාවෙනවද කියල මට හිතෙනව..”

“මටත් සිද්ද වෙච්ච දේවල් තාම හිතාගන්න බෑ දුව..”

“කොච්චර ප්‍රශ්න තිබ්බත් අම්ම අයියගේ කැමැත්තට ඉඩ දෙන්න.. නෙහා මට වැරදි කළත් අම්මටවත් අයියටවත් වරදක් කරළ නෑනෙ.. අනික ස්වේතා ආන්ටිගෙයි අම්මගෙයි ප්‍රශ්නවලට සමාව දෙන්න දෙවියො අයියයි නෙහායි එකතු කළාද දන්නෑ. අම්ම දන්නවද සමහර වෙලාවට අපිට දෙවනි අවස්තාවක් හම්බෙන්නෙ කලාතුරකින් .. කව්ද දන්නෙ අම්මටයි ස්වේතා ආන්ටිටයි ඒ අවස්තාව හම්බෙලාද කියල..”

ඉන්දුමතීගේ ළයට හිස තියාගෙන නිදාහුන් මන්දස්මි කෙදිරූයේ ඇසෙන නෑසෙන ගානටය. ඈට ඉන්දුමතී හඬන බැව් දැනේ. ඕ හිස ඔසවා ඇයගේ ඇස් කොණය එකතුවුණ උණු කදුල පිස්සාය.

“බෑ දුව.. කිසිම වෙලාවක අපට දෙවනි අවස්තාවක් නෑ.. ආවත් මම ඒක ගන්නෑ… ඒක කිසිම වෙලාවක සිද්ද නොවෙන්න ඕනි… නෙහා කවදාවත් දේව්ට මම බදින්න දෙන්නෑ. ස්වේතා මේ වහලෙට මම කවදාවත් වැද්ද ගන්නෑ දුව.. ඔයා කවදාවත් හේතු අහන්නෑ කියල පොරොන්දු වෙන්න.. හරියට ඔයාගෙ අම්මා මේ හැමදේම දරාගත්ත වගේ බලාගෙන ඉන්න…”

“මම අහන්නෑ අම්මා… අම්ම කවදාහරි හිතුණ දවසක කියන්න..”

“මට පුදුමයි.. ඔයා බලාපොරොත්තු තියන් ඉදල ආදරේ කරපු කෙනා වෙන කෙනෙක්ගේ වෙලා.. ඕම දරාගන්න මටවත් බැරි වුනා.. ඔයාට මේ තරම් බොරු කරපු නෙහාට මෙච්චර ලේසියෙන් ඔයාගෙ ජීවිත කාලෙම බලාපොරොත්තු තියන් ඉදපු කොල්ලව දීලා දාන්න හිත හයිය වුණේ කෝමද…”

“ආදරේ කියන්නෙ අල්ලල හිරකරල බදාගන්න එක නෙවේ අම්මා… දුරින් ඉදන් හරි අයිති නැතුවම ආදරේ කරන්න පුලුවන් .. ඒකට ළඟ ඉන්නම ඕන නෑ.. හදවතේ ඇතුළෙම ඉන්නවනම් ඇති… අනික දේව් අයිය සතුටින් ඉන්න කෙනාව එයාගෙන් අයින් කරල මගේ කරගත්තොත් මාත් විදවයි.. එයත් විදවයි.. අනික මේ උන්න වගේ මට දුර ඉදන් උනත් එයා දිහා බලන් ඉන්න පුලුවන් අම්මා..”

මන්දි සුසුමක් හෙලා කියාගෙන ගියාය. ඉන්දුමතීට හැඬුනේ ඉඹේටමය. ඒ ළය අමුවෙන්ම දවයි. හුස්ම හිරවෙන්නා වාගේ ඇයට දැණින.

“පුතා සතියක් තිස්සෙ ගෙදර ආවෙ නෑ… එයා මට කතා කරන්න කැමති නෑ.. ස්වේතා මොනාහරි මගෙ කොල්ලට කරලා.. කොල්ලව උදුරගත්ත..”

“දේව් අයිය අපට නොකියන මොනාහරි තියේ අම්මා.. එයා මොනාහරි හංගනව.. “

” කොහොම හිටපු දරුවෙක්ද.. මට ඉන්නෙ එච්චරයි දෙයියනේ… “

“මම දේව් අයියට කතා කරල මේ සේරම පහදන්නම්.. එයා ඒවි බලන්නකෝ.. අම්ම අඩන්න එපා..”

මන්දි අහිංසක සිනාවක් පා යන්තම් සිපුමක් තැබුවේ ඉන්දුමතීගේ කොපුලකය.