සල්ලාලයට ගහලා, හූරලා, ගල්වලිනුත් ගහලා දැරියව බේරගෙන…මේ කොල්ලා ගැන ආඩම්බරයි. පුතා නොසිටින්න ලොකු කරදරයක් වෙනවා..සැකකරුගේ සොහොයුරියක් ඉසුරු පුතාට තර්ජනය කරලා තිබුණා… නිවාඩුව අවසන් වී නව පාසල් වාරය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. දෙසැම්බරයේ නිවාඩුව දරුවන් කාටත් රසවත් අත්දැකීමක් වන්නේ ඔවුන්ට ගමේ යහළු යෙහෙළියන් සමඟ කෙළි දෙළෙන් ගත කරන්නට සැලකිය යුතු කාලයක් ලැබෙන නිසාය. ඉකුත් දාහත් වැනි දා සන්ධ්‍යාවේ තංගල්ලේ කදුරුපොකුණේ තහංචිවැව පුංචි දියණියක් සිය නිවසේ සිට අසල ඇති ඥාතිවරියගේ නිවෙසට යන්නට පිටත් වුවාය. ඒ නිවසේ ඇයගේ වයසේම දරුවෙක් සිටියේය. ඔවුන් එක් වී සෙල්ලම් කිරීමට සැලසුම් කර තිබිණි.


දැරියගේ නිවසේ සිට එම ඥාති නිවෙසට ඇත්තේ කෙටි දුරකි. තහංචි වැවේ සිටියත් ඇයගේ මේ සොඳුරු ගමනට තහංචි දමන්නට තරම් ප්‍රශ්නයක් ඒ ගමේ අයට නොතිබිණි. ඒ නිසා කිසිදු බියකින් සැකයකින් තොරව ඇය සැහැල්ලුවෙන් ගමන පිටත් වූවාය. එහෙත් සිදු වුයේ කිසිවෙකු නොසිතු දෙයකි. සැඟ වී සිටි මිනිසෙකු කුඩා දැරියගේ ඇඟට කඩා පැන්නේය. මේ තිරිසන් මිනිසා කුඩා දැරිය තදින් ග්‍රහණයට ගෙන පාර අයිනට ඇදගෙන ගියේය. උගෙන් මිදෙන්නට ඇය තදින් කෑ ගැසුවාය. “අම්මේ අම්මේ… අනේ අම්මේ…අයියෝ” මේ මරහඬ අම්මාට හෝ නිවසේ අයට ඇසුණේ නැත. එහෙත් ඒ මොහොතේ තවත් දරුවෝ දෙදෙනෙක් පාරේ ගමන් කරමින් සිටියහ. ඔවුන් යමින් සිටියේ අසල ඇති කඩය වෙතය.

දැරියගේ මරහඬේ දෝංකාරය මේ කුඩා කොලු පැටවුන් දෙදෙනාට ඇසිණි. දරු දෙදෙනා එකලාව නැවතුණහ. යන ගමන තබා වහාම ආපිට හැරුණාහ. දුටු දෙයින් ඔවුහු වික්ෂිප්ත වූහ. බිහිසුණු දැකුමක් ඔවුන් අබියස දිගහැරෙමින් ඇත. කුඩා දැරියක ඇදගෙන රුකුලකට යන්නට තනන සල්ලාලයෙකි. දැරිය දිවි පරදුවට තබා ඒ තිරිසනාගෙන් බේරෙන්නට වෙර දරමින් හිඳී. තව මොහොතකින් මේ මල් කැකුළියගේ ජීවිතය විනාශ වෙයි. බොහෝ විට ඇයට යළිත් මෙලොව එළිය දකින්නට මේ තිරිසනා ඉඩ නොතබනු ඇත. දාහතර විය නොඉක්ම වූ මේ දරුපැටව් දෙදෙනා තව එක් තප්පරයක්වත් වැය නොකළහ. වියරු වැටී සිටි සල්ලාලයා වෙත කෑ ගසමින් දිව ගියහ. “අත ඇරපන් ඔය නංගිව…” සල්ලාලයාට ඒ හඬ ඇසෙන්නේ නැත. කොලුපැටියා මේ තිරිසනාගේ ඇඟට පැන්නේය. හැකි වේගයෙන් ඌට පහර එල්ල කරන්නට විය. කෑ ගසමින් සූරන්නට විය. වියරුවෙන් සිටි සල්ලාලයා මේ කුඩා දරුවාට පහරක් ගසා තල්ලු කළේය.

කොලු පැටියා බිම වැටිණි. ඔහුගේ දෑත් සීරිණි. යළිත් මේ තිරිසනා තමන් වෙත හැරෙන්නට පෙර කොලු පැටියා බිම තිබූ ගල් කීපයක් ගෙන නැගිට්ටේ ය. ඉල්කකය ගෙන හැකි උපරිම වේගයෙන් ගල් පහරක් මේ සල්ලාල තිරිසනා වෙත එල්ල කළේය. ක්‍රීඩාවට හුරු කොලු පැටියාගේ ඉලක්කය වැරදුණේ නැත. දෙවෙනි ගල් පහර වදින විට තිරිසනාට තරු විසි විණි. තිරිසන් සල්ලාලයා ඇඳිවත හදමින් දිව යන්නට විය. දිව යන එකා පසුපස ගොස් තවත් ගල් පහරවල් කීපයක් එල්ල කළ කොලු පැටියා නැවත කුඩා දැරිය සිටි තැනට දිව ආවේය. ඇය සිටියේ මුව පැටියෙකු සේ ගැහෙමිනි. ඇඳුම් ඉරී තිබිණි. 

මෙහිදී පො.කො හේරත්(92814),පො.කො.(73055) පො. කො. වැටකේදෙණිය(40928) යන මහත්වරුන්ගේ සහාය අපට ලැබුණා. සැකකරු අල්ලා ගැනීමේ වැටලීම කිරීම සඳහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ” තංගල්ල පොලිසීයේ ළමා හා කාන්තා කාර්යාංශයයේ ප්‍රධානි උප පොලිස් පරීක්ෂක හසිනි දිනුෂා මහත්මිය කීවාය. කටේ කිරිසුවඳ නොගිය ළදැරියකටවත් තනි මඟ යා නොහැකි අශිෂ්ට වටපිටාවක රටේ දරුවන්ගේ ඉරණම විසඳෙන්නේ එසේය. 

එහෙත් වංචාව, දූෂණය, හොරකම, පරපීඩනය දැන දැන මුනිවත රකින පෞරුෂ විහීන නිගණ්ඨ සමාජයක ඉසුරු නිම්සර වැනි දරුපැටව් ද බිහි වන්නේය. උන් දුටු තැන අශිෂ්ටකමට එරෙහි වෙති. ඊට එරෙහිව සිය දිරි පමණින් සටන් කරති. හඬ නඟති. මේ දරුපැටව් වීරයන් වනවා නොව කොඳු විහීන වැඩිහිටියන්ට ආදර්ශ සපයති. සමජයක් ගමන් කළ යුතු දිශානතිය කියා දෙති. මේ කොලු පැටියා සමාජ ආකල්ප වෙනස් විය යුතු ආකාරය පෙන්වා දී ඇත. එහෙත් දැන් ඔහුට තර්ජන එල්ල වී ඇතැයි පොලිසියෙන්ම කියවෙන්නේ නම් අපට තංගල්ල කදුරුපොකුණ තහංචිවැව මිනිසුන්ට කිව යුතු දෙයක් ඇත. පිට කොන්දක් සහිත එක් පිරිමියෙකු හෝ ඔය ගමේ සිටිනවා නම් මේ දරු පැටියාගේ එක් රෝම කූපයකට හෝ අනතුරක් වන්නට ඉඩක් නැත. දැන් රටම බලා සිටින්නේ තහංචිවැව අවට ඔබේ හැසිරීම දෙසය. ඉනෝකා සමරවික්‍රමසිළුමිණ


සල්ලාලයාගේ ග්‍රහණයෙන් මුදාගත් දැරිය ද කැඳවාගෙන කොලුපැටියා දැරියගේ මිත්තනිය සොයාගෙන ගියේය. දැරිය මිත්තනිය බදාගෙන ඉකි ගසමින් හඬ හඬා සියලු තොරතුරු කීවාය. “උඹලා බුදු වෙන්න ඕන මයෙ පුතේ…” මිත්තනිය හඬමින්ම කීවාය. මිත්තණිය දැරියත්, මේ කොලු පැටියාත් සමඟ කෙළින්ම පැමිණියේ තංගල්ල පොලිසියටය. ඒ එන විට මේ කිසිවෙකු සිදු වුයේ කුමක්දැයි පැහැදිලිව කීමට තරම් තිදෙනාගෙන් එකෙකුගේවත් මනස නිරවුල්ව නොතිබිණි. 

“දැරියගේ වයස අවුරුදු දහයයි. එයා පොලිසීයට එනකොට එයාගේ නාසය උඩ රතුපාට ගුලියක් වගේ තිබුණා. නාසය තුවාල වෙලා ලේ එනවා. කටත් තුවාල වෙලා. ඒ පුතාගේ වයස අවුරුදු පහළොවයි. එයාගේ ඇස්වලින් කඳුළු බේරෙනවා. කුඩා දැරියගේ ආච්චි අම්මා හොඳටම කලබල වෙලා හිටියේ. මේ කාගෙන්වත් වුණේ මොකක්ද කියලා ටිකක් වෙලා යන තුරු දැන ගන්න බැරි වුණා. මොකද ඔවුන් සියල්ල සිටියේ යම් කම්පනයකින් වගේ. සන්සුන් වෙන්න හැරලා ඔවුන්ගෙන් සිද්ධිය දැනගත්තා. ඇත්තටම මේ කොල්ලා ගැන ආඩම්බරයි. මේ පුතා නොසිටින්න අර කුඩා දැරියට ලොකු කරදරයක් වෙන්න තිබුණා. ඔහු ඉක්මනින් තැනට සුදුසු ආකාරයට ක්‍රියාත්මක වුණ නිසා තමයි ඒ දැරිය අපරාධයතින් බේරුණේ කියලා අප විශ්වාස කරනවා.” පොලිසිය අප සමඟ කීවේය. 

තංගල්ල පොලිසියේ නිලධාරීන් දැරිය රෝහල් ගත කිරීමට කටයුතු කළහ. ලබා දුන් තොරතුරු මත කුඩා දැරිය අතවරයට ලක් කිරීමට උත්සාහ කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගත්තේය. පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවසට යන විට ඔහු නිවසින් ද පැන ගොස්ය. පසුව කළ මෙහෙයුමක දී සල්ලාලයා පොලිස් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් සැකකරුගේ මව පවසා තිබුණේ මේ තැනැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවය. “පුතාට බය හිතුණෙ නැද් ද?. මේ මිනිහා අතේ තියෙන දේකින් ඇන්නා නම්…” අපි ඇසුවෙමු. “නෑ… මට මගේ නංගිව මතක් වුණා… එච්චරයි.” 

කොලුපැටියා අත්ලෙන් කඳුළු පිස දමමින් කීවේය. ඔහු ළයට තුරුලු කරගෙන සිප සනසන්නට සිතිණි. මේ වීර දරුපැටියා හඳුන්නෙත්තිගේ ඉසුරු නිම්සර ය. මේ දරුවා නිසා දිවි ගලවාගත් දියණිය දැන් සුවපත් වෙමින් සිටී. ඇය ලද මානසික පීඩාව සමහන් වෙන්නට තව කලක් ගතවනු ඇත. අපරාධකාර සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ ය. දැන් ඉසුරු නිම්සර පුතාට මේ කාලකණ්ණි සැක කරුගේ පාර්ශවයෙන් තර්ජනය. “සැකකරුගේ සොහොයුරියක් ඉසුරු පුතාට තර්ජනය කරලා තිබුණා. නමුත් පොලිසියෙන් ඔවුන් කැඳවා මේ දරුවාට තර්ජනය නොකරන ලෙසත් ඔවුන්ගේ සොයුරා කරන්නට ගිය වැරැද්දේ බරපතළකමත් තේරුම් කර දුන්නා. පොලිස් ස්ථානාධිපති ලාල් චන්ද්‍රසිරි මහත්තයා මේ වීර ක්‍රියාව කළ පුතුව ඇගයීමට ලක් කළා. ඇත්තටම අද සමාජයට මේ දරුවා විශාල ආදර්ශයක්. මේ වැනි දරුවෝ තමයි අද අපේ සමාජයට අවශ්‍ය වන්නේ.”