Home Novels වස්සාන මල් වස්සාන මල් – 34 කොටස

වස්සාන මල් – 34 කොටස

0
23

🌹වස්සාන මල් 💐 🌹🥀💐🌹

මේ තිස් හතරවන මල් පොහොට්ටුවයි 💐🌹🥀🌹🌹

“මැඩම් මට අම්මා වගේ.. කිසි ප්‍රශ්නයක් නෑ, ඔ්නි දෙයක් අහන්න මැඩම්. ඕනි දෙයක් කියන්න.”

“අපේ හේෂිත ගැන මුතූ මොනවද හිතන්නේ?”

“මැ.. මැ..මැඩම්..”

මට ඊට එහායින් එක වචනයක්වත් කියා ගන්නට නොලැබිණි. මා ඒ වචන තුනත් ඇහින්දේ කීප වතාවකටය. භූමි ගැන සොයන්නට වෙහෙසෙනවාය කියා පොරොන්දු දුන් ඈ එක්වරම, හේෂිත ගැන හිතන්නේ මොනවද කියා මගෙන් අසාවි යැයි නිකමටවත් නොසිතුවෙමි.

“පුතේ, ඔයා ඔයාගෙ මහත්තයා ගැන කියපු කතා ඔක්කොම ඇත්ත නෙමේ කියන්න මං දන්නව. එහෙම කිව්ව කියල ඔයා දුක්වෙන්න ඕනිත් නෑ. මොකද, මං වුණත් ඔයාගෙ තැන හිටියනම් ඔයා කිව්වට වඩා වෙනස් දෙයක් කියන එකක් නෑ. ඒ හින්ද එ් කියපු දේවල් ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. තව, මං ඔයාට ගොඩක් ගරු කරනව, එන්නම් කියල ගිය මහත්තයා එනකම් තාම බලා ඉන්න එකට. ඒත්.. පුතේ, ඔයා තාමත් හිතනවද එයා ආයෙ එයි කියල..”

“භූමි, ආපහු එනව මැඩම්. එයා දන්නව, කවදහරි එයා එනකම් මං බලා ඉන්නව කියන්න”

“එනවනම්…එන්න තිබුණ කාලය හොඳටම වැඩියි නේද පුතේ.. තවත් ඒවි කියල බලා ඉන්න එක අපරාදෙ කියල හිතෙන් නැද්ද?”

“නෑ, මැඩම්.. මැරෙන්න මොහොතක් තියල හරි එයා එනකම් මං මේ විදිහටම බලා ඉන්නව. සමහරවිට එයා එනේකක්ම නැතිවෙයි. ඒත්.. මං බලා ඉන්නව මැඩම්.. එයා දුන්න දරු පැටියාව මට පුළුවන් විදිහට බලා හදාගෙන මං බලා ඉන්නව.”

“මුතු… පුතේ..”

“මට සමාවෙන්න මැඩම්, මට හේෂිත සර් ගැන හිතන්න බෑ.”

“කමක් නෑ දරුවො, ඒක ඔයාගෙ තීරණය.. මං සාමාන්‍යයෙන් අපේ වැඩ කරන ළමයින්ගේ පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගහන්නෑ. ඒත්.. මුතු කියන්නෙ මට විශේෂ දරුවෙක් හින්දත්, හේෂිත කියන්නෙ බොහෝම හොඳ දරුවෙක් හින්දත් මං මේ කතා කළේ.. හේෂිත මගේ ළඟම නෑයෙක් හින්ද කියනව නෙමේ, ඇත්තටම ඒ ළමයා පුදුම තරම් හොඳ ළමයෙක්.

ඒකාගෙන් මට බේරිල්ලක් නැති වුණා, කැමැත්ත අරන් දෙන්න කියල.

ඒත්.. මං කිව්ව, කැමැත්ත අරන් දෙන්න නම් බෑ. ඕනි නම් මං කතා කරල බලන්නම් කියල. ඒ වගේම දැන් මං ඔයත් එක්ක කතා කළා. ඔයා මට කිව්ව, විවාහයක් ගැන හිතන්නෑ කියල.

හරි එච්චරයි. දැන් ඒක මෙහෙමම අමතක කරන්න. ඔයාගෙ ඔය ආත්ම විශ්වාසයට මං ගොඩක් ගරු කරනව පුතේ. ඔයා විශ්වාස කරන විදිහටම ඔයාගෙ භූමි කවදා හරි ඔයාටම ලැබෙයි.”

වාහලතැන්න මැතිනිය මේසය මතවූ අත් ලේන්සුව ඇස්මුලට තියා තද කර ගත්තීය. ඇයම නොදන්නීය, ඒ කඳුළ වැටුණේ දැන් මේ තමා ඉදිරියේ ඉන්නා මුතු නම් ඈ නමටද, එසේත් නැත්නම් මුතු වෙතින් දකින අතීත පුන්සඳා වාහලතැන්න නමටද කියන්නට නම්.

“ඉතිං, ඉතිං දරුවො කොහොමද පුතාල හෙම, සනීපෙන් ඉන්නවද?”

“ඔව්, මැඩම්.. හොඳින් ඉන්නව.”

“මේ ළඟ ඩේ කෙයාර් එකේ නේද ඉන්නව කිව්වෙ. අද ඩේ කෙයාර් තියන් නැතුව එක්ක එන්න ඔෆිස් එකට. මං ආසයි ඒ දඟමල්ලට. ඇත්තමයි දරුවො, ඔයා ඒ දෙන්න පුදුම තරම් ලස්සනට හදල තියෙනව. දෙන්න දෙවිදියක් වුණාට වයසෙ හැටියට නෙමේ, හොඳ වගකීමෙන් වැඩ කරනව.

මං දැක්කනෙ, එදා ට්‍රිප් එක ගිය වෙලාවෙ. අනේ, මට ආසම හිතුණෙ මුහුදෙ නටල නටල ඇති වුණාම ඔයා නාවල හෝල් එකට එව්වට පස්සෙ, බෑග් එක උඩ දාල තිබුණ ඇඳුම් එකින් එක තනියෙන් ඇඳගත්ත හැටියට. මං පැට්ටට නොදැනෙන්න ඒ කරපු දේවල් ඔක්කොම බලාගෙන හිටිය.”

“ඔය දැන් තනියම හරියට ඇඳගත්තට ඉස්සර එහෙම නෑ මැඩම්. අඳින්නෙම කලිසමේ අනිත් පැත්ත. සමහරදාට මං මගට ඇවිල්ල ඒක හදන්නේ.”

“ඔයත් කියන්නෙ, හරිම කතා තමයි. ඒ පොඩි එකා ටිකින් ටික නැතුව එක පාරට දෙයක් පුරුදු වෙනවෑ දරුවො. වැරදි වැරදියට කරල තමයි හරිම දේ කරන්න පටන් ගන්නෙ.”

“නෑ.. ඉතිං, මේ මං කිව්වෙ මැඩම්..”

“ඇත්තමයි, වෙන දරුවො වගේ නෙමෙයි, ඔයාට කිසි කරදරයක් කරන්නැති දරුවො දෙන්නෙක්. ඇස්වහක් කටවහක් නෑ පුතේ, ඒ අතින් නම් ඔයා හොඳටම වාසනාවන්තයි.”

“තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියනවනෙ මැඩම්.. ඉතිං, මං ඒ දෙන්නට පුංචි කාලෙ ඉඳන්ම තමන්ගේ දේවල් තමන්ටම කරගන්න කියල දුන්න. අපරාදෙ කියන්න බෑ, ඒ දෙන්නත් පොඩි කාලෙ ඉඳන්ම මගෙ තත්ත්වය තේරුම් අරගෙනද මන්ද ඒ ජීවිතේට හුරු වුණා. එහෙම නොවුණා නම් මට මෙහෙම ජීවත්වෙන්නත් බැරි වෙනව.”

“ඒක තමයි, මාත් මේ තාරුණී එක්කත් කිව්වෙ, මුතු කියන්නෙ, ඔය මතු පිටින් පේනවට වඩා පුදුම තරම් හිත හයිය කෙල්ලෙක් කියල.”

” තත්..තත්..තාරුණී මැඩම් එක්ක..”

“ඔය යන එන ගමන්වලදි අපි ඉතිං, ඔයාල ගැනත් කතා වෙනවනෙ දරුවො.”

පුන්සඳා වාහලතැන්න මැතිනිය ඔය එහෙම කිව්වාට තාරුණී එදිරිමාන්න නම් අප විෂයෙහි සුබවාදී දෘෂ්ටියකින් තාමවත් බලන බවක් පෙනෙන්නේ නැත. ඕ දකින්නේම අඩුපාඩුවකි. වැරැද්දකි. පැවරූ කාර්යයක් ඉක්මනට කළත් වැරැද්දකි.

“මෙච්චර ඉක්මනට ඒ වැඩේ කළාද?හරියටම කළා කියල ෂුවර්ද?”

“ඔව්, මැඩම්.. දෙපාරක් චෙක් කරලත් බැලුවා.”

“ඔයාලගෙ චෙක් කිරිල්ලෙ හොඳකම ඉතිං, දනනෙ මමනෙ. අනිවාර්යයෙන් උඩින් පල්ලෙන් ගහල දාන්න ඇති. යන්න, යන්න රී චෙක් කරල බලන්න.”

ඇය එවෙලාවට කියන්නේ එහෙමය.

බැරි වෙලාවත් නියමිත කාර්යය එක විනාඩියක් පමා වුවහොත් ඒත් දෝෂාරෝපන මල්ලකි.

“අනේ මන්ද, ඔයාලට වැඩක් කිව්වොත් අතගානවනෙ. බලන්න, ඔය පොඩි වැඩේට මෙච්චර වෙලාවක් ගන්න ඕනිද කියල. ඔහොම නම් බෑ.. ඔයාල තව ක්වික් වෙන්න ඕනි.”

පෙරළා උත්තර දෙන්නට නම් කටට සෑහෙන්නට වචන ගලා එයි. එහෙත්.. හිතින් කටට වාරණ දමා බොහෝම අමාරුවෙන් ඉවසන්නෙමි. මා විතරක් නොවේ, බොහෝ අය එසේය.

තාරුණී එදිරිමාන්නට උවමනා වැඩ විතරය. වැඩ කරන අය ගැන කිසි තැකීමක් නැත්තේය. කර්මාන්ත ශාලාවේත්, කාර්යාලයේත්, වෙළඳ සංකීර්ණයේත් ඔය කාගේත් පොදු මතය එහෙමය. පොදු මතය එහෙම බව සැබෑය. එහෙත්.. ඒ හැමෝටම වඩා තාරුණී අප විෂයෙහි දක්වන සෘණ ආකල්පය විශාලය.

🌹💐🌹

ළදරු පාසල ඇරුණු විගස මම පුතු පැටියාව කාර්යාලයට එක්කාගෙන ආවේ වාහලතැන්න මැතිනියගේ ඉල්ලීම පරිදිය. පුතු පැටියා අප වැඩ ඇරී ගෙදර එනකම්ම සිටියේ ඈ සමඟය. දාහක් දේ කියා පුතු පැටියාව එකඟ කරගෙන මම ඔහුව වාහලතැන්න මැතිනියගේ කාර්යාල කාමරයට එක්ක ගෙන ගියෙමි.

ඒත්.. මට බයය. මේ දඟමල්ල මොනවායින් මොනවා කරත්දැයි හිත බයය. එහෙත්.. දවස අවසනදීවත් ඇයගෙන් පුතු පැටියාට එරෙහි යමක් නොකියවිණ. කිව්වේ ඇය කාර්යාලයට එන හැමදාකටම පුතු පැටියා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොතියන ලෙසටය. ඇය සමඟ තබන ලෙසටය. එහෙත්.. ඒ පුරුද්ද කීප දෙනෙකගේ හිත සුව පිණිස නොවීය.

හේතුවක් නැතුවම මා කෙරෙහි තරහ හිත් ඇති කරගෙන සිටි ඔවුන්ට වැඩි වැඩියෙන් ඇනුම් පද කීමට එය හේතුවක් විය. ඇනුම් පද කීමෙන් නොනැවතී තාරුණී එදිරිමාන්න සමඟ මට විරුද්ධව බොහෝ කේලම් කීමටද ඔවුන් පෙළඹිණි. ඔවුන්, එසේ කේලම් කියන බව හසු වුණේ මටත් නොවේ, චමායාටය.

චමායාට දුරකථන ඇමතුමක් ආවේ, ඇගේ පෙම්වතාගෙනි. දවසට එකක් වගේ ලැබෙන ඔය ඇමතුම ලද සැණින් ඈ කරන්නේ දුරකථනයත් රැගෙන කාර්යාල බිමෙන් එළියට දුවන එකය. ගහක් දෙකක් කොනිත්ත කොනිත්තා, රිදව රිදවා කරන ඔය කතාබහ විනාඩි දහයකට වඩා නම් දික් නොවේ.

“බෝයියාගෙන් කෝල් එකක් ආව ගමන් භූමිතෙල් ගෑවිච්ච ගැරඬියා වගේ එළියට දුවන්නෙ මොකද බං, ඔය ඉන්න තැනක ඉඳලම ආන්ස්වර් කරපන්කො. මොකද උඹලගෙ පැණි කතා අපි අහගෙන ඉන්නව කියලෑ.”

“මේකිට එන ස්පෙෂල් කෝල් එක දැන් මුළු ඔෆිස් එකටම නෝට් වෙලා තියෙන්නේ.”

ඔය මොන විදිහෙ දේ කිව්වත් චමායා දුරකථනය රැගෙන එළියට දුවන එක නොනැවතිණ. එදාත් එහෙම දවසකි. ඇයගේ දුරකථන ඇමතුම අතරතුරේ තාරුණී එදිරිමාන්නගේ කාමරයේ ඉඳන් රයිනි දුරකථන ඇමතුමක් ගන්නා හැටි වීදුරු කවුළුව අස්සෙන් චමායා දැක තිබුණි. චමායාගේත් ඇමතුම මගදී විසන්ධි වූවායින් ඇය ඉඳ ඇත්තේ නැවත ඔහු හා සම්බන්ධ වීමට උත්සාහ කරමිනි. නමුත් දුරකථන අවහිරතා නිසා උත්සාහයන් නිරර්ථක වීලු. ඒ අතරේ රයිනිගේ මුවින් මුතු, මුතු කියා ඇසෙද්දී චමායා දුරකථන ඇමතුම ගන්නා එක පසෙක තියා රයිනිගේ කතාවට ඇහුම් කන් දුන්නේලු. චමායා කිව්වේ ඒ ඇමතුම පුරාවටම කියෙව්වේ මගෙ ගැන කියාය. නැති වැරදිත් එක දෙක කර ඇගේ කනේ තිබ්බාලු. රයිනි, කිව්ව විදිහට නම් මා දැන් හේෂිතත් දැලේ දාගෙනලු. ඒ නිසාම කාර්යාලය හොල්ලාගෙන සිටින්නේ මාලු.

චමායා විත් ඒ ගැන කියද්දී මට කේන්ති ගියේ මටම පාලනය කර ගත නොහැකි විදිහටය. එහෙත්.. වෙනදාට අපිටත් හරියන්නට කේන්ති ගන්නා ඉඳූ මා සන්සුන් කළාය.

“ඕකිලා කේලම් කියන බව දන්නෙ අද ඊයෙද බං. ඔන්න ඔහේ ඕන එකෙකුට ඕන එකක් කියාගන්න ඇරල සද්ද නැතුව ඉඳහන්. ඔය කේලමියො කවුද කියල තාරුණී දැනගත්ත දවසට ඒකිට වෙන්නෙ තමන්ගෙ අතින්ම බඩ කපාගෙන මැරෙන්න. ඒ දවස වැඩි ඈතක නෑ බං. මොකද එක දිගට බොරු කරල දිනපු එකෙක් නෑ. කොයිවෙලේ හරි ඔය බොරුව අහුවෙනව.”

පුදුමය, ඉඳූ සන්සුන්ය.

“තාරුණී ඇන්දිල ඉන්නෙ පොඩි ඇන්දීමක් නෙමේ බං. ගේට් පාස් එකක්වත් නැතුව මුන් ලොක්කො නැති වෙච්චි ගමන්ම දුවනව අර ටෙක්ස්ටයිල් එකටයි, මේ ටෙක්ස්ටයිල් එකටයි.. අර වැඩේටයි, මේ වැඩේටයි.. ඒව කියන්න මෙලෝ යකෙක් නෑ. මොකද ෆේස්ටු ෆේස් මිසක් අපේ ඔය හැංගි හොරා කේලම් නෑනෙ. ඒත්.. අපිව විෂයි, උන්ව හොඳයි මේකෙ මහ එකාලටත්.”

“අපි ඉතිං, එළියට යන්න උවමනාවක් තියේ නම් කවුරු හිටියත්, යනව. උවමනාවක් නැත්නම් කවුරු නොහිටියත් යන්නෑ. අපි වැඩ කරන්නේ අපිට අවංක වෙලානෙ බං.. ඒකනෙ මේ කරුම ඔක්කෝම. ඔය අනිත් උන් වගේ අවස්ථාවාදී වුණානම් මේ මොකවත් නෑ.”

මා කිව්වේ හැබෑ තත්ත්වයය.

හිතුවා හරිය. රයිනිගේ දුරකථන ඇමතුමේ ප්‍රතිඵල පහුවදාම ලැබිණි. තාරුණී එදිරිමාන්න ආවේම මූණ පුළුටු කරගෙනය. එ් ආව සැණින් කාර්යාලයට කැඳවීමක් ලැබුණි. මා වහා බැලුවේ රයිනි දෙසය. එතකොටත් ඈ සිටියේ මා දෙස බලාගෙනය. මා ඈ දෙස බලත්ම වහා ඇස් හංගාගත්තී මේසය මතවූ පරිගනක මවුසය බොරුවට එහෙට මෙහෙට කළාය.

“පට්ට පට පට.. කේලම් ටික වැඩ කරල වගේ..”

මා කිව්වේ සද්දෙටය.

“ගණන් ගන්න එපා මුතුවා.. කාර්යාලයක පැවැත්මක් නෑ කේලමියො නැත්නම්. උඹ ඔය කියන දෙයක් ඒ කනින් අහල මේ කනින් පිට කරල ඒක අස්සෙම ඒ ටික තියල වරෙන්.”

ඉඳු ළඟටම විත් කීවාය. එහෙත්.. තාරුණීගේ කැඳවීම මා සලිත කර තිබුණි. මට බය හිතුණේ මෙතුවක්ම ඈ කියන කියන හැමදෙයක්ම හිස නවා පිළිගත්තා සේ හිටියාට කොයිවෙලේ මගෙ ඉවසීම කෙළවර වේදැයි කියාය.

💐🌹💐 සඳුදාට එන්නම්..🌹💐

ඇත්තමයි හිතා හිටියේ දිගම දිගම දිග කොටසක් දෙනව කියල. ඒත්.. මන්ද අනේ.. කොච්චර කළත් ඔච්චරනෙ..

ඉතිං, පරිස්සමෙන් නේද ඔයාල ඔක්කෝම.. යාන්තමට හිස කෙලින් තියාගෙන මේ ජීවන රටාවත් එක්ක පොර බඳින අතරේ ආයෙ වසංගතයත් සක්‍රීය වේගෙන එනව නේද? ඒ හින්ද ගොඩ පරිස්සමෙන්..තෙරුවන් සරණයි