Home Novels වස්සාන මල් වස්සාන මල් – 32 කොටස

වස්සාන මල් – 32 කොටස

0
25

වස්සාන මල් 💐💐🥀🌹🥀🥀

💐💐💐 මේ තිස් දෙවන මල් පොහොට්ටුවයි 💐🌹🌹

ගෙදර සුරතලයට ඇති කරන බල්ලෙකු බළලෙකු මැරුණත් ඒ බව මෙතරම් සැහැල්ලුවෙන් වචනවලට පෙරළන්නට හැකි දැයි නොදන්නෙමි. භූමිට අම්මා කිව්වා මෙන් ව්‍යසනයක් සිදු වූවාය කියා හිත කෙසේවත් පිළි නොගත්තද අම්මා එකපාරටම එහෙම කියද්දී මම නොසෑහෙන්න සසල විමි. වචනයක් කියා ගන්නට බැරුව තෘෂ්නිම්භූතව නිනව්වක් නැතුව බලා සිටියෙමි.

අම්මාටත් වඩා කලින් මාව වටහාගත්තී ඉඳූය. ඇය වහා හුනස්නෙන් නැඟිට විත්, මගේ අතවූ බන්දේසිය නිදහස් කර ගත්තාය. අනතුරු මගේ ඉඟ වටා අතක් පටලාගෙන”කලබල වෙන්න එපා සුද්දී.. අපි මේකෙ ඇත්ත නැත්ත හොයල බලමු.”යි කීවාය.

“නෑ, මේ.. මං කිව්වෙ කුරුඳු බාසුන්නැහැල කිව්ව දේ. ඒ මිනිස්සුන්ට එහෙම බොරු කරන්න උවමනාවක් නැති එකේ ආරංචිය බොරු වෙන්නත් බෑ.”අම්මා ටිකක් පසුතැවිලි හඬින් කිව්වාය.

“ඒ දවස්වල මං ඇහුවම භූමි ඉන්න තැනක් දන්නවද කියල, දන්නෑ කියපු මනුස්සයාට කොහොමද එකපාරටම භූමි මැරුණය කියල ආරංචි එන්නෙ.”

“කවුරු දන්නවද ඒකෙ වගක්. ඒකනෙ මං ඒ ගැන තව හොයන්න කියල කිව්වෙ.”

“හොයන්න දෙයක් නෑ. භූමිට කිසිම දෙයක් වෙලත් නෑ. වෙන්නෙත් නෑ. නේන්න ගිය ගමනක් නෙමෙයි මේ. ඒත්.. මොනම හරි දෙයක් වෙලා තියෙනව, එයාට ආපහු එන්න බැරි වෙන්න. මං දන්නව, එයා කවදාම හරි එයි අපිව බලන්න.”

“ඔය ඔය පේන්නැද්ද ළමයෝ මේකිගෙ මනස්ගාත.. මෙච්චර දෙයක් කරල මෙච්චර කාලෙකට උන්නද මළාද කියලවත් බැලුවේ නැති මිනිහා ගැන තියෙන්නේ පුදුමාකාර විශ්වාසයක්.. පුදුමාකාර කැක්කුමක්.”

ඉඳු නිහඬව මදහසක් පෑවා මිසක් කිසිවක් නොකීවාය. ඒකටත් එක්ක ඔක්කොටම හරියන්න අම්මා කතා කළාය.

“ඌ හිටිය නැතා මට කමක් නෑ. දැන් උඹ ඔය තනියම දුක් වින්දා හොඳටම ඇති. ඉක්මනටම තීරණයක් ගනින්. අර ළමයගෙ තීරණයෙත් කිසි වෙනසක් වෙලා නෑ. අද වුණත් උඹයි, දරුවයි භාරගන්න ඒ ළමයා මනාපයි.

එක්කො ඒ ළමයා ගැන හිතාපන්. එහෙමත් නැත්නම් ඔය ඔෆිස් එකෙත් ඉන්නව කියන්නෙ උඹ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න මහත්තෙක්. අන්න එයා ගැන හරි හිතපන්.”

” ඉ..න්ඳු…”

මට කෑ ගැස්සිණි. මෙතුවක් කාටවත් නොකීවෙමි. අම්මා දැනගත්තා නම් කොහොමටවත් මට නිවනක් නැත්තේය. දැන් කොහොමටවත් මට සැනසීමක් නොවේ. එක්කෝ නිම්නකය, එක්කෝ කළමනාකරු හේෂිතය.

අම්මා උදේ දිවා රාත්‍රි ඔය මන්තර මතුරනු නියතය. අනේ.. දෙයියනේ.. ඉන්න තැනකින් එන්න භූමි.. දැන් මට දුක් දුන්න ඇති නේද රත්තරන්.. මම ගෙල මඳක් හරවා ගවුම් උරිස්සේ නෙත් අතුල්ලා ගත්තෙමි.

” මෙයා මෙහෙම තනියම, මේ දරු

පැටව් දෙන්නත් එක්ක ජීවත් වෙනව නේද කියල මතක් වෙනකොට අනේ මගෙ පපුව පිච්චෙන තරමක් මෙයා දන්නෑ දරුවො. කවදාහරි මං මැරෙන්නෙ මෙයා ගැනම හිතල හිතල පපුව පැලිල.. ඕන් අද කිව්ව කියල හිතාගන්න දුවේ..

මෙයා නොදන්නවට මගෙ හිත මෙයා ගැන නොසෑහෙන්න වද වෙනව.. දෙයියනේ..”

“අම්මා මං ගැන වදවෙන්න එපා.. මට ජීවිතේ තැනක වැරදුණා. ඒත්.. ඒ වැරැද්ද පස්සෙම එල්ලි එල්ලී ජීවත්වෙන්නෑ මං..”

“ඒකම තමයි, පොඩි පුතේ පුන පුනා මේ කියන්නෙ.. වැරැද්දක් වුණා.

ඒක එතනින් අමතක කරල දාපන්.. උඹ අලුත් ජීවිතයක් ගැන හිතපන්.. උඹේ හිත කොච්චර හයිය උනත් කොතැනකදී හරි උඹව කඩා වැටෙයි මගෙ අම්මා.. එදාට උඹට වාරුවක් වෙන්න උඹේ කියල උඹ ළඟ ඉන්න පිරිමි පරාණයක් ඕනි වෙයි.”

“දැනුත් කියල මගෙ හිත කඩා වැටෙන් නැත්තේ නෑනෙ අම්මා.. ඒ කඩා වැටෙන හැමතැනකදිම මං ඉස්සෙල්ලටත් වඩා හයියට නැඟිට්ට. ඉතිං, ඉස්සරහටත් ඒක ඒවිදිහමයි අම්මා.. අම්මා පොඩ්ඩක්වත් මා ගැන බය වෙන්න එපා..”

“හෝද හෝද මඩේ දාන්නහැ එකම දේ කිය කියා මගාරිනව මිසක් උඹ උඹේ ජීවිතේ පිළිවෙළක් කරගෙන මාව නිදහස් කරන්න හිතන් නැත්තේ ඇයි කියපන් පොඩි පුතේ..”

“දැනුත් මගෙ ජීවිතේ පිළිවෙළයි..”

“අම්මා..පල්ල.. මට මේ කට ගලක උලාගත්ත නම් මීට වඩා හොඳ නැද්ද දෙයියනේ..”

අම්මා ආයෙත් වතාවක් පරල වෙන්නට වාගේය. ඉඳු දෙතොලතරට දඹරැඟිල්ල තියා නිහඬ වන්නැයි මට ඉඟි කළාය.

“මේක හරියන්නෑ. උඹට හොඳින් කිව්ව තේරෙන්නෙම නෑනෙ. අතෑරපන්කො.. නිම්නක ළමයව. ඒකා උඹ ගැන හොඳාකාරවම දන්නන උනත් කසාදයක්වත් බැන්දෙ නැති එකෙක්නෙ. කවදා හරි පසුතැවෙන්නත් පුළුවන්. යස අගේට කෙල්ලෙක් බඳින්න තිබුණ එකේ මේ ළමෙක් ඉන්න ගෑනියෙක්ව මොකට බැඳගත්තද කියල.”

“අන්නේකනෙ, මාත් කියන්නෙ.. නිම්නකට හොඳ කෙල්ලෙක් හොයල යස අගේට බැඳගන්න පුළුවන් එකේ නිකාන් නිස්කාරණේ මා පස්සෙ කැරකෙනව.”

“හ්ම්ම්.. නිම්නක අතෑරලම දාමු.. ඔය ඔෆිස් එකේ ඉන්නව කියන මහත්තයා බැඳල කෙළි පැට්ටෙක් එක්ක තනි වෙලාය කියනවනෙ.. අන්න ඒ මහත්තයා ගැන හිතන එක හොඳයි කියල මේ මට හිතෙනව.

මොකද ඒ වගේ මහත්තයෙක් කවදාවත් පුතු පැටියට වෙනස්කමක් කරන එකක් නෑ. දෙන්නට දෙන්නා පුළුවන්නෙ ඒ දරුවො දෙන්නට අම්මා අප්පච්චි වගේම ආදරෙන් ඉන්න.”

“අම්මෙ, මට ඔය කවුරුත් ඕනි නෑ. කිව්වම අහන්න. දෙයියනේ ගෑනියෙකුට මිනිහෙක් නැතුව තනියම ජීවත්වෙන්න බෑම කියල කියන්නෙ ඇයි අම්මෙ.. ගෑනු ඒ තරම්ම දුර්වලයි කියල හෑල්ලු කරන්නේ ගෑනු වෙච්චි ඕගොල්ලොමනෙ.

එහෙම වෙන්න එපා. ගෑනියෙක් තනිපංගලමේ දරුවොත් හදාගෙන ජීවත්වෙන්න පුළුවන් කියල හිතල තනියම ජීවත්වෙනව නම් ඒකට උදව් කරන්න, වචනයකින් හරි.

නැතුව එයාට “උඹට තනියම ජීවත් වෙන්න බෑ, උඹට බෑ” කියල මන්තරේ වගේ මතුර මතුරා හිත බිඳින එක නෙමෙයි වැඩේ. අම්මා.. තරහවෙන්න එපා මගෙත් එක්ක..

මං මේ ජීවිතේ ආයෙ කවදාවත්ම භූමි ඇර කෙනෙක් මගෙ දරුවගෙ තාත්තා හැටියටවත් බාප්පා හැටියටවත් ළං කරගන්නෑ.. නෑ.. නෑමයි.. ඒ හින්ද මට මඟුල් හොයන්න එපා.. මට මේ දරුවො දෙන්න හදාගෙන ජීවත්වෙන එක ප්‍රශ්නයක් නෙමේ. දුකකුත් නෙමේ. ඒ හින්ද අම්මා මගෙ ගැන තවත් වද වෙන්න එපා.

අම්මල හිතන් ඉන්නෙ ගෑනියෙක් කියන්නෙ කඩවල්වල එල්ලල තියෙන ලාබෙට විකුණන්න තියෙන බඩුවක් වගේ. කඩේ මුදලාලිට ඕනි කොහොම හරි කාගෙ හරි ඇඟේ ගහල දාන්නනෙ. අම්මත් එහෙමයි. මාව කාගෙ හරි ඇඟේ ගහල අත පිහිදගන්න හදන්නේ.. එතකොට හිත සුද්ධනෙ..”

මගේ තැනට ආ අම්මාට එහෙම කතා කරන්නට කවදාවත් නොසිතුවෙමි. එහෙත්.. මටත් නොදැනීම එහෙම කියවිණි. අම්මා විසල් කරගත් නෙතින් මා දෙස බලා ඇසින් වට කඳුළක් හෙමීට පිටි අල්ලෙන් පිසඳා ගනිද්දී ඇත්තමයි හිත කඩාගෙනම වැටුණි. මම වහා අමිමාගේ ළඟ වැලි පොළවේ දන ගැසුවෙමි. දන ගසා ඒ උකුලේ හිස තියා ගත්තෙමි. මට හයියෙන් කෑ ගසා අඬා ඒ පිටවු වචන ගැන දුක් ගන්නට උවමනා විය. එහෙත්.. හයියෙන් හඬන්නට විදිහක්ද නැත. පහළ ගෙදර සෙල්ලමේ ඉන්නා දරුවන් කලබල වන්නට පුළුවන.

“මං.. මං.. උඹට වරදක් කරන්න හැදුවෙ නෑ, පොඩි පුතේ..”

අම්මා බිඳුණු හඬින් කීවාය.

“අනේ.. මං දන්නව අම්මෙ.. ඒත්.. මට වෙන කවුරුවත් ආයෙ ජීවිතේට එකතු කරගන්න බෑ. අම්මා හින්දාවත්. ඒ හින්ද ආයෙ මට මනුස්සයො හොයන්න මහන්සි වෙන්න එපා අම්මෙ.”

‘හ්ම්ම්’වත් නොකියා අම්මා දිගම දිග සුසුමක් හෙලුවාය. ඒ සුසුමේ සැරට මා ළය දැවුණි.

බෝනස් මලක් පිපෙනකම්… 💐🥀🌹🌹💐🌹

අහන්නකො, මට උවමනා වුණේ තරුණ වයසේ දරුවො ඉන්න ළාබාල අම්මා කෙනෙක් තට්ට තනියම ජීවිතේ ගෙවන්න ගන්න උත්සාහය ගැන ලියන්න. ඉතිං, ඒක ලියද්දි එයාලෙ ජීවිතේට වෙන හැල හැප්පීම්වලට එයා මුහුණ දෙන හැටි මට ලියන්න ඕනි. එයා කොච්චර හයියද කියල ඔයාලත්තෙක්ක කතා කරන්න මට ඕනි.

මීටත් වඩා දුක් විඳල තනියම ජීවිතේ ගැට ගහන අපේ කාන්තාවන් මේ සමාජයෙ බහුලයි. ඒ හින්ද අපේ ගී සමහරවිට මේ විඳින්නේ දුක චුට්ටක් වෙන්න ඇති.

ඉතිං, එයා ජීවත්වෙන්න ගන්න උත්සාහය නවත්තල මට එයාගෙ ජීවිතේට සතුටක් දැන්මම දෙන්න විදිහක් නෑනෙ. ෆේස්බුක් ලියද්දි එක දිගට කතාවක් ලියනව වගේ නෙමේ හින්ද සමහරතැන් එක තැනම පල් වෙනව ඇති.

මොකද එක දිගටම කතාව කියව කියව ලියන්න ඉඩක් නැති හින්ද. ඒවා තවදහරි පොතක් වෙනවනම් ගොඩක් සංස්කරණය වෙයි. මොකද එහෙම ආයෙ ආයෙ කියවනකොට වැරදි ගොඩක් අහුවෙනව. ඔය කරපු පොත් 4ම වුණත් ආයෙ පොත් කරන්න කියවද්දි මංම මං ගැන අවතක්සේරුවට ලක්කරගත්ත තැන් ගොඩයි. ඒ හින්ද මේ කරන සජීවී ලියමනේදි සිදුවෙන අඩුපාඩු ගැන ගැත්තීට සමාව දෙන්න