Home Novels වස්සාන මල් වස්සාන මල් – 24 කොටස

වස්සාන මල් – 24 කොටස

0
41

💐🌹 මේ විසි හතර වන මල් පොහොට්ටුවයි… 🌹💐🌹

නගරයෙන් මදක් එහාට වන්නට තිබූ අළුත් සේවාස්ථානය, කලින් තැන වගේ නොවේ. හරිම නිසංසලය. බොහෝ ඉඩකඩ ඇති තැනක මනා බාහිර හා අභ්‍යන්තර ආයතන අලංකරණයකින් යුක්තය. හරියටම වපසරිය නොදත්තද, ආයතන පරිශ්‍රය අක්කරයකටත් වඩා වැඩි බිමක විහිදී ඇති බවක් බැලූ බැල්මටත් පෙනේ.

පාර අයිනටම වෙන්නට වාහන නැවැත්වීමට පහසුකම් සහිතව සුපිරි වෙළඳ සැලකි. අප ආයතනය මඟින් නිපදවන නිෂ්පාදන, ඕනෑම පාරිභෝගිකයෙකුට සහනදායි මිලට ගන්නට එතැනින් හැක. හැබැයි එහි අපේ නිෂ්පාදන විතරක් නොව එදිනෙදා පාවිච්චියට උවමනා කරන හැම දෙයකින්ම පරිපූර්ණය. එහි නෑය කියන්නට දෙයක් නැති තරම්ය.

ඊළඟට තියෙන්නේ අපේ නිෂ්පාදනාගාරයය. වැඩි ඉඩකඩක් අයත්ව තිබුණේ එයටය. මහල් කීපයකින් යුක්තය. පිටටත් යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන හඬ ඇසේ. බෙදාහැරීම් අංශයද ඒ ආසන්නයේය.

ඔය සියල්ල පහු කරගෙන ගිය තැන හමුවෙන්නේ කාර්යාල භූමියය. ප්‍රධාන පාරෙන් ආවොත් අන්තිමට තියෙන්නේ කාර්යාලය වීද අතුරු මාර්ගයකින් පැමිණි විට මුලින්ම හමු වෙන්නේ කාර්යාලයය.

පිවිසුම් දෙකේම ආරක්ෂක කුටි දෙකකි. අතුරු මාර්ගයෙන් විත් කාර්යාලයට පිවිසෙන තැන ඇති ආරක්ෂාව වගේ නොව ප්‍රධාන පිවිසුමේ තියෙන ආරක්ෂාව දැඩිය.

අධි තාක්ෂණික නවීන ආරක්ෂණ වැඩ පිළිවෙළක් මුළු වැඩභූමිය පුරාම ක්‍රියාත්මකය. ඒ වීද ආරක්ෂක නිලධාරීන්ගේ සේවාවද පුළුල්ය. දැඩිය. ප්‍රධාන පාරෙන් යන එනවාට වඩා අපට පහසු ඇතුළු වට පාරෙන් යන එන එකය. ඒ පාරේ කලබල අඩුය.

මුළු වැඩබිමෙහිම නැකතට වැඩ ආරම්භ වූයේ අදය. අද දවසේම තියෙන්නේ ආගමික හා ආරම්භක සුහද වැඩසටහන්ය. හරියටම කිව්වොත් වැඩ ආරම්භ වන්නේ හෙට සිටය.

උදේ සෙත් පිරිත් මධ්‍යයේ සුබ නැකැතට මුළු මහත් ආයතන පරිශ්‍රයේම වැඩ ආරම්භයට මූලාම්භය දුන්නේ ‘ වාහලතැන්න’ සමූහ ව්‍යාපාරයේ සභාපතිනියගේ සුරතිනි. මේ ඉක්ම වූ අවුරුදු හතරටම ඇය දැක ඇත්තේ එක් වරකි. එ් පෙර ස්ථානයේ අප සේවය කළ කාර්යාලය විවෘත කරපු දාය. එදාත් ආවා ගියා මිස නොරැදිනි.

ආයතන ඉහළ කළමනාකාරීත්වය කිව්වේ ඈ අසනීපයෙන් නිසා රැදෙන්නට අවකාශ නැති බවකි. එහෙත්… අද එසේ නොවේ. ඇය දවස පුරාම බොහෝ කඩිසරවත්, ප්‍රියශීලිවත් කාර්යාල භූමිය පුරා සැරිසැරුවාය.

නිතරම සිනාවතින් හැඩවුණ ඈ මූණට හමුවෙන සේවක සේවිකාවන් සමඟ වචනයක් හෝ කතා කිරීමට පසුබට නොවූවාය. තරාතිරම තත්ත්වය වැදගත් නොවිණි. සනීපාරක්ෂක සේවක සේවිකාවන්ගෙන් පවා බොහෝ සුහදව ආගිය තොරතුරු විචාළාය. අපේ අම්මාටත් වඩා වයසින් බාල යැයි සිතිය හැකි ඇයට අවුරුදු පනහක් ඇති නැති තරම්ය.

මා සංග්‍රහ කමිටුවේ සාමාජිකයෙක් පමණක් වූවාට තිබ්බ තරම් හැම වැඩකටම මුලින් කියවෙන නම් දෙක තුන අතර මගේ නමත් වූවායින් කීප සැරේ සභාපතිනියගේ ප්‍රිය ඇසුර ලැබිණි. පොඩ්ඩ බැරි වෙනකොට නමින්ම කතා කරන්නට වූවාය.

‘මුතූ, කෝ පුතේ ස්වාමීන් වහන්සේලාට උණු පැන් ටිකක් ගේන්න.. අනේ මුතූ මේ මෙතන වැලි පෑගෙනව වගේ දැනෙනව තියෙන තැනකින් කොස්ස හොයල දෙන්න දරුවෝ.. මං අතු ගාල දාන්නම්.. මුතූ පොඩ්ඩක් හොයල බලන්න පුතේ, ඔක්කොම කට්ටිය කෑව බිව්වද කියල..”

කියන පරක්කුවෙන් ඇගේ සේවයට ඉදිරිපත් විමි. සමහරුන්ගේ නම් ඇහේ කටු ඇනෙනවා ඇනෙනවා වාගේත් පෙනුණි. මට ඇහෙන්නට ඇනුම් පදද හුවමාරු විණ. ඒවාට සැලෙන්නටවත්, ඒවාට කිපෙන්නටවත් වෙලාවක් නොවිණ. කැපී පෙනීමේ අවශ්‍යතාවයක් නැතිද, මවිසින් කළ යුතු යම් මෙහෙයක් වේ නම් හොයා බලා කරන පුරුද්දට ඇණවීමකින් තොරව වුවද දුව පැන කළයුත්ත එපරිද්දෙන්ම කළෙමි.

” අද නම් අල්ලන්නෙ පොඩි පහේ ගොට්ටක් නම් නෙමේ, දාර සයිස් ලොකුම ලොකු ගොට්ටක්..”

“චෙයාමන්ට පුත්තු නැතිලු. නැටුවට වැඩක් නෑලු.”

“හිටියත් දෙයියෑ බං මෙයැයිට. කුරුඳු තලන්න ආව මිනිහත් එක්ක පැනල ගියා මදිවට කසාද බඳින්නෙත් නැතුව දරුවෙක් හදාගත්ත. වැඩේ කියන්නේ ඒ මෝඩ මිනිහත් දාල ගියපු එකනෙ.”

“අපරාදෙ, යසට තිබුණ අක්කගෙ කසාඳෙත් කැඩෙනව තව පොඩ්ඩෙන්.. ඒ මිනිහත් එක්ක සෙට් වෙලා.”

අහන් ඉන්නට පුළුවන් දේද, බැරි දේද ඔවුන් මුවින් පිට වීය. ඔය ඔක්කොම මට ඇහෙන්නටය. තමන් සොයා බලා දෙයක් කරන්නට දන්නේද නැත. කියන වැඩක් හරියට කරන්නට දන්නේද නැත.

අනෙකෙක් එහෙම වැඩකට සහය දක්වනු රුස්සන්නේද නැත. මා යන එන වෙලාවට වෙන කතාවක හිටියද එය නවතා හෝ හිත රිදෙන වචනයක් දෙකක් නම් ඔවුන් මුවින් වැරදුණේම නැත. මට විතරක් නොවේ, මා වගේම අද දවසේ සභාපතිනියගේත්, අනෙකුත් ඉහළ කළමනාකාරීත්වයේත් අවධානයට ලක්වුණ අනෙකුන්ටද ඔවුන්ගේ සැළකීම එපරිද්දෙන්ම බව වැටහිණ.

“අරුන්ට මොනවා වෙලාද බං.. දෙතුන් සැරයක්ම මං යන එනකොට හින්ට් දෙක තුනක් ඇරිය. දෙන්න හිතුණා පස්ස ඇරිල හොම්බට හැටක් විතර. කොහෙද, මොකක් හරි හදිසියේ එහෙට මෙහෙට යනකොටනෙ කිව්වේ. යන්තම් ඔරවල බලන්න විතරයි පුළුවන් වුණේ.”

චමායා දැනුත් කේන්තියෙනි.

“ගනන් නොගෙන හිටපන් බං.. මට නම් හොඳම ඒවයින් කියනව.”

“ඈ.. කෝ.. බලන්න කොයි කටෙන්ද එහෙම කතාවක් කිව්වේ? වෙනදාට මොකක් හරි කුණු කතාවක් ඇහුණොත් තලල, පොඩිකරල, මිරිකල සම්බල හදල මලවන උඹ අද මොකද මේ..?”
චමායා මා මුහුණට එබිණි. මම ඇහක් වසා කට ඇද කළෙමි. දෙඅත විදා වටයක් කැරකුණෙමි.

” අපි හැදෙන්න හදන්නේ..”

💐🌹 බෝනස් දෙන්නම්💐🌹

ඕකට ඉතිං, කට ඇද කරගෙන මූණ කළු කරගන්න ඕනියෑ.. ඔව් ඉතිං, චුට්ටයි තමා.. හිත හිරවෙනකොට දිගම දිග කොටස් ලියන්නෙ කොහොමද අප්පා…

💐🌹 තෙරුවන් සරණයි.. ඇතත් නැතත් සතුටින් ඉමු නේ…