17 වන දිගහැරුම …..🖤❤️🖤

දෙවියනේ ඒ කාමරේ එහෙම් පිටින්ම පරණ රජ මාළිගාවක තියන කාමරයක් වගේමයි. කාමරේ හරි මැද විශාල වියන් ඇදක්ද ඒ වටා දුහුල් විනිවිද පේන සුදු රෙදිද එල්ලා තිබ්බා.

ඊට ටිකක් එහයින් විශාල පුටු දෙකක් හා එයට මැදිවෙන විදිහට කුඩා ස්ටූල් එකක්ද කාමරය කෙළවරේ කාමරය උණුසුම් වෙන්න උදුනක්ද උදුනට ඉහළින් මෙන්ම කාමරයේ බිත්ති වල නා නා ප්‍රකාර පැරණි සිතුවම්ද වටිනා කිවහැකි ගෘහ භාණ්ඩ රැසක්ද එහි උනා.

ඇත්තෙන්ම ඉතා පිළිවෙල උන මේ කාමරයේ පුදුම තරම් හුරු බවක් මට දැනෙනකොට මම කල්පනා කලේ මම මේ කාමරේට මීට කලින් ආවාදෝ කියලයි.

තවත් පැහැදිලිව කාමරය බලා ගන්න මෙන්ම ඔලිවර්ව බලන්න තියන ආසාවෙන් මං මගෙ අතේ තිබ්බ ඉටිපන්දම මදක් ඉහළට ඔසවලා වටේට යවමින් අඩියක් ඉස්සරහට තිබ්බේ..

” ඩොක්ටර් ඔලිවර් , ඔයා ඉන්නවද…?”

මං මදක් හයියෙන් කතා කලත් සිදු උනේ මගේ කටහඩ මටම දෝංකාර දීලා ඇහුන එකයි. හිතේ ඇති උනේ මද තිගැස්මක්. මොකද මේ කාමරේ ඇතුලේ කවුරුහරිම ඉන්නවා මං හොදටම දැක්කා.

මං කොච්චර කතා කලත් පිළිතුරක් නොඑද්දී ආව මෝඩකම කියල මගෙ හිතට දැනෙද්දී ආයෙත් යන්න හැරුනත් මගේ ඇස් කොනට අහු උන දේත් එක්ක මං ඒ පැත්තට හැරිලා ඉටිපන්දම මදක් ඉහළට එසවූවේ..

මං දැක්කේ එහි එක බිත්තියක බාගයක්ම ආවරණය වෙන විදියට රතු පැහැ තිර රෙද්දකින් වසා තිබූ විශාල චිත්‍රයකි. බැලු බැල්මට විශාල චිත්‍රය වටින එකක් විය යුතුයි.

ඒත් ඒ චිත්‍රය කාගෙවත් ඇස් වලට අහු නොවෙන විදියට වහලා තිබුන එක ගැන මගෙ හිතේ ඇති උනේ සැකයක්. කාටවත් පේන්නේ නැති වෙන්න හංගලා තියන්න තරම් මොකක්ද මේකේ තියන විශේශත්වේ කියලා හිත කියද්දී ඒ මොකක්ද කියලා බලන්න හිත යටින් ආසා උනේ..

මං හෙමින් සීරුව ඒ රෙද්ද අයින් කරන්න හිතන් මගෙ අතැගිලි එයට අරන් ගිහින් එම රතු පැහැ රෙද්දෙහි කොනක් අල්ල ගත්තා.. හේතුවක් නොදන්නවා උනත් මගෙ ඇස් වලට කදුලු පිරිලා හදවත ගැහෙන්න ගත්තේ පපුව හාරාගෙන යන දුකක් හදවතට දැනෙනකොටයි.

ඒත් එක්කම මගෙ ඔලුව ඇතුලේ විවිද කටහඩවල් සිනහා හඩවල් දෝංකාර දෙද්දී තිර රෙද්ද මත තිබූ අතැගිලි අත ඇරලා මං මගේ නලල එක අතකින් තෙරපව ගත්තා..

බිම බලන් හිටිය මට ඉටිපන්දමේ එළිය නිසා ඇස් කොනට අහු උනේ ඇද උඩ ඉන්න තරුණ යුවලක්ව. ඔවුන් දෙදෙනාගේ රූප බොද වෙලා පේද්දී මං ගෙල හරවලා ඒ දිහා ඕනෑකමින් වගේ බැලුවේ. විශ්වාස කරන්න ඇද උඩ තරුණයෙක්ගෙ පපුවට ගුලි වෙලා සැපට නිදන් හිටියේ එක තරුණියක්.

ඒ දෙන්නා මං කැලේ දැක්ක දෙන්නමයි. හදවත ගැහෙන වේගේ වැදිවෙද්දී මං මදක් වේගෙන් ඇහි පිල්ලම් ගහලා බලද්දී ඒ දෙන්නා ඇද උඩ හිටියේ නෑ.. හුස්මක් අරන් කටින් පිට කරපු මං අනිත් පැත්ත හැරෙනකොට දැක්කේ ඒ දෙන්නම පුටුව උඩ ඉදගෙන අත් අල්ලන් කතා කරන විදියයි. සිනහා වෙමින් තුරුල් වෙමින් කතා කරන ඒ දෙන්නාගෙන් මං දැක්කේ පුදුම තරම් ආදරයක්. ලග ලගටම පේන බොද උන මේ චායාවල් මගෙ හිතේ මැවෙන මායාවක් කියලා හිතට ඒත් ඉගැන්නුවත් මගෙ යටි හිත කියන්නෙම වෙනමම කතාවක්.

එක පාරටම මහා ශබ්දයක් නංවමින් විදිල්ලක් කෙටුවෙත් අතේ තියන් හිටිය ඉටි පන්දමෙන් වැක්කෙරුන ඉටි මගෙ අතට වැටිලා පිච්චුනෙත් මගෙ අතින් ඉටිපන්දම වැටිලා නිවිලා ගියෙත් ක්ශනිකවයි ..

අදුර තුල තිබූ එකම ආලෝකය නිවී යද්දී නැවත අදුර රජයද්දී මට දැනුනේ නුහුරු බියක්. පිටත මහා හඩක් නංවමින් ඇද හැලෙන වර්ශාවේ ශබ්දයත් කන් බිහිරි කරවන්න තරම් ගෙරවිලි හඩත් මගෙ හදවත ගැහෙන ශබ්දයක් ඇරුන කොට මගෙ කන් වලට වෙන කිසිදු ශබ්දයක් ඇහෙන්නේ නැති තරම්.

හිත බයෙන් වෙලෙද්දී මං අත් දෙක මිටමොලවලා මගෙ පපුවට තියා ගත්තා. විසල් වීදුරු ජනෙල් අතරින් සැරින් සැරේ අහසේ ඇදී යන ආලෝකය කාමරය තුළට එන්නේ මුලු කාමරයම තත්පර දෙකකට පමණක් ආලෝකමත් කරමින්..

” ඔ…ඔලිවර් ඔයා ඉන්නවනම් එන්නකෝ.. මට බයයි..?

හදවතේ ඇතිවන බය තව තවත් වැඩි වෙද්දී මං හෙමිහිට මිමිනුවේ. ඒත් එක්කම මට ඇහුනේ බරට අඩි තියලා ඇවිදින හඬක්. ඒ හඩ කොහෙන්ද ඇහෙන්නේ කියලා මට හිතා ගන්න බැරි වෙද්දී මං පපුවට තියන් ඉන්න අත් දෙක තව තවත් තද කරගෙන පිටිපස්සෙන් පිටිපස්සට අඩිය තියලා ගිහින් බිත්තියට පිට තියලා හේත්තු උනා. බය වැඩි කමට මගෙ ඇස් වලින් කදුලු ගලනවා ..

අඩි ශබ්දය ලග ලගම ඇහෙද්දී ඊට සමානව මගෙ හදවත ගැහෙන වේගය වැඩිය. එකපාරටම අහසේ ඇදී ගියපු විදුලි රේඛාවක් නිසා මුලු කාමරයම එළිය වෙලා යද්දී මගෙ ඇස් වලට අහු උනේ මට අඩි දහයක් විත‍ර ඉදිරියෙන් හිටන් ඉන්න කලු කබායකින් සැරසුන ඔලුව වැහෙන්න ආවරණය කරගෙන හිටිය උස දේහදාරී පුද්ගලයෙකි.

නැවත මුලු කාමරයම අදුරු වෙලා යද්දී කෑ ගැහෙයි කියලා බයටම මං දෝතින්ම මගෙ මුව වහ ගත්තේ ඇස් වලින් පවා කදුලු ගලන විටයි. මේ සිද්ද වෙන දේවල් ගැන කිසිම දෙයක් මට නොතේරුනත් හිත ඇතුලෙන් විලාප තිබ්බත් මගෙ හඩ පිටට නොයෙන තරම්ය.

උගුරේ මොනාහරි හිර වී ගිහින් වගේ. අඩි ශබ්දය ලගින්ම ඇහෙද්දී මං නොසන්සුන්ව තව තවත් බිත්තියට පිට තියලා ගුලි උනේ. මගෙ කකුක් පවා පොළවට ඇලී ගිහින් වගේ..

විනාඩියක් දෙකක් ගත වෙන්න ඇති, වර්ශාව ඇරුනකොට කිසිම ශබ්දයක් මට ඇහෙන්නේ නැතිව යද්දී මං කලුවරේ උනත් ඇස් කරකවලා වටපිට බැලුවේ නොසන්සුන්වයි.

කෙළ පිඩක් ගිලපු මං හිතට ශක්තිය අරන් මේ කාමරෙන් එළියට යන්න අඩිය තිබ්බ තත්පරේම ආයෙත් විදිල්ලක එළිය කාමරයට ඇවිත් ආලෝකමත් කලේ.

විශ්වාස කරන්න කලු ලෝගුව දාගෙන හිටිය පුද්ගලයා හිටියේ මගෙ මූණට අඟල් තුනක් පමණ දුරිනි. නොහිතුව මොහොතක සිද්ද උන දේ නිසා මගෙ මුලු ගතම වෙව්ලා ගියෙත් මං කන් දෙක අත් දෙකෙන් තද කරන් ඇස් පියාගෙන යටි ගිරියෙන් කෑ ගැහුවෙත් එකටමයි…

මං කෑ ගහනවත් එක්කම මගේ උරහිසට දැනුනේ සීතල ස්පර්ශයක්. එහෙමම මාව බිත්තියට තද වෙද්දී මම දෙවියන් යැද්දේ මේ සියල්ලම.හීනයක් වෙන්න කියලා විතරමයි..

දෝතින්ම කන් දෙක වහන් ඉදපු මගෙ කෑ ගැහිල්ලේ අඩුවක් සිද්ද උනේ නෑ.. මගෙ කෑ ගැහිල්ල කාමරේ ඇතුලේ දෝංකාර දීලා ආපිට මටම ඇහෙනකොටත් මං තව තවත් දගලමින් කෑ ගැහුවා. උරහිසට දැනී තිබ්බ සීතල ස්පර්ශය ඉතා රලුයි. කොතරම් දැගලුවත් බේරෙන්න නොහැකියි කියලා මට දැනෙද්දිත් මං මගෙ උත්සහය අත ඇරියේ නෑ..

” අනේ ඔලිවර් …. මාව බේර ගන්න, අනේ එන්නකෝ…”

උපරිම ශක්තිය එකතු කරලා කොතරම් වෙලා කෑ ගැහුවද කියලවත් මතකයක් නැති තරම් ය.. දෝතින්ම කන් දෙක වහන් කෑ ගහපු මගෙ අත් දෙක උඩට ඉස්සිලා මගෙ හිසටම ඉහලින් රැදෙනකොට මගෙ අත් වලට අයිස් මෙන් සීතල ස්පර්ශයක් දැනෙනකොට මට හිතුනේ මං #යක්ශයකුගේබිල්ලක්වත්වෙලාදෝ කියලා විතරමයි. ඊලගට යටිගිරියෙන් කෑගහපු මගෙ කට වැහිලා ගියේ සීතල අත්ලකටයි. මුලු ගතම පණ නැතිව යනවා වගේ හැගීමක් මට දැනෙද්දී මගෙ ඇස් වලින් කදුකු කඩාගෙන වැටුනා..

“ශ්..ශ්..ශ්…”

කන ගාවුන් ඇහුන ඒ හඩට මෙන්ම පහසට මගෙ කෑ ගැහිල්ල හා දැගලිල්ල නැවතෙනකොට , පියවෙලා තිබ්බ ඇස් විවර වෙලා ඉබේ ලොකු වෙනකොට මගෙ මුලු ගතම දහඩියෙන් නෑවෙන්න ගියේ නිමේශයකි

වේගෙන් උස් පහත් වෙන මගේ පපුව පිටතට එන්න තරම් වේගෙන් ගැහෙනවා. බය වැඩි කමට මට සිහිය නැති වෙලායයි කියලමයි හිතුනේ.. හිසට ඉහළින් තද වෙලා තිබ්බ මගෙ අත් වලට දැනුනේ අයිස් මෙන් සීතල රලු පහසක්. එය හරියට මළ මිනිහෙක් මගෙ අත් දෙක අල්ලන් ඉන්නවා වගෙයි .

මට ඒ නන්නාදුනන ආගන්තුක පුද්ගලයාගෙන් දැනුනේ ආත්මීය සුවදක්. ඒක මම කාමරේට එද්දි දැනුන සුවදට සමානයි. මොහොතකට සියල්ලම අමතක වෙද්දී මං ඒ සුවදට ඉව ඇල්ලුවේ හරියට ඒ සුවඳ විද ගන්න ආසාවෙන්..

“තමුසෙව වෙව්ලනවා..”

නැවත කන ගාවින් සීතල සුසුම් රැල් සමගින් ගැබුරු කටහඩක් ඇහෙද්දී මං පියවි සිහියට ආවේ. මනුස්සයෙක්ද, එහෙමත් නැත්තං අමනුස්සයෙක්ද, යක්ශයෙක්ද මම හිතත් එක්ක තනියම යුද්||ධයක. හිතට ශක්තිය ගත්ත මං ඝන අන්දකාරයේ උනත් මට කිසිවක් නොපෙනුනත් බෙල්ල ටිකක් හරවලා බැලුවේ..

“ක..කවුද ඔයා..?”

හිතට ශක්තිය ගත්ත තත්පරේම මං කටහඩ්ස් අවදි කලේ. මට දැනුනා මගෙ කන ගාව ඉදන් සීතල සුසුම් බෙල්ක තෙක් ගමන් කරන බවක්. දෙවියනේ මට හීනෙන් පේන , මං ළඟ හොල්මන් කරන ඒ සීතල සුසුම් අදුර ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.. ඔලුව උඩ අකුණු හත අටක් පුපුරා ගියා වගේ හැගීමක් මට දැනෙද්දී සිද්ද උනේ මගෙ බය තව තවත් වැඩි උන විතරයි.

“ඔයා හොල්මනක්ද…??”

රහසින් වගේ මං කොදුරද්දී මට දැනුනා මගෙ අත තවතවත් බිත්තියට තද වෙලා යන බවක්..

” නෑ.. “

මගෙ ඉදිරියේ ඉන්න ආගන්තුකයා නැවත මගෙ සවනට එලෙස කෙදිරුවේ. හේතුවක් නොදන්නවාඋනත් මගෙ යටි හිත කිව්වෙම මට කරදරයක් නෑ කියලමයි. මොක්දෝ හුරු බවක් දැනෙද්දී මං ඒ සීතල පහසට හිත යටින් වශී වෙලා ගියාදෝ කියලා මටම හැගුනා.

” එ..එහෙනම් ඔ..ඔයා හොල්මනක්ද..?”

“ඒත් නෑ..”

ඔහු දුන්න පිලිතුර එක්ක මගෙ බය තව තවත් වැඩිව ගියේ මගෙ ඇස් වලින් පවා කදුකු ගලන විටයි. මුවින් ඉකියක් පිට උනේ මට මං ගැනම ආත්මානුකම්පාවක් දැනෙන කොටය.

මට දැනුනා හිසට ඉහලින් තද කරන් හිටිය මගෙ අත් දෙක ලිහිල් වෙන බවක්ම් අත් දෙක හෙමිහිට පහතට වැටෙන තත්පරේම මගෙ ඉන වටේ ඒ සීතල අත් දෙක එතෙද්දී මාව ඔහුගේ නිරුවත් වූ සීතල පපුවට හිර උනේ මගෙ මුලු ගතටම ඒ ස්පර්ශය දැනෙන විටයි..

” අඩන්න එපා, තමුසෙ අඩනවා මට බලන්න බෑ. ම..මාව පිච්චෙනවා ..”

විශ්වාස කරන්න ඒ හඩ තුල තිබ්බේ හුදෙක්ම සෙනෙහසම විතරයි. ඒ තරම්ම ආදරණීය ඇමතුමක් ඒක. ඒ කිව්ව දේ එක්ක මට තව හයියෙන් ඉකි ගැහුනේ පපුවට දරගන්න බැරු අමුතු දුකක් දැනෙනකොටයි.

සැරින් සැරේ කාමරේ ආලෝකමත් වෙද්දි මං ඔහු දිහා බැලුවත් ඔහුගේ මුහුණ පැහැදිලිව පෙනුනේ නෑ.. මට විශ්වාසයි මගෙ ඉදිරියේ ඉන්නේ මනුස්සයෙක් නෙවේ කියලා. ඒත් මට ඒ ගැන බයකට වඩා තිබ්බේ පපුව හාරාගෙන යනවා වගේ අමුතුම දුකක්..

“ඔයා අඩනවනම්, මට බයනම් මං යන්නම්..”

සීතල අතැගිලි වලින් මගෙ කම්මුල් මත තිබ්බ කදුකු පිහද්දී ඒ සීතල පහසට මගෙ ඇස් පියවිලා ගියා. ඔහු යනවා කිව්වම මගෙ හදවත කඩ වැටෙන බවක් මට දැනුනේ. දරා ගන්නබැරි විදියට ඔලුව රිදෙන්න ගද්දී මගෙ සිහිය මගෙන් ඈතට යනවා වගේ දැනෙද්දී මං අමාරුවෙන් එක අතක් ඔහුගේ බාහුවට බර කලා..

” මගෙන් ආයේ ඈතට යන්න එපා ෆ්‍රෑන්ක් .. මට පාලුයි. මට බලන් ඉදලා ඇති වෙලා.. මෙහෙම ගියොත් මාව මැ||රිලායයි. යනවනම් මාව අරන් යන්න. එ..එයාලා ආයේ එයි. ම..මට බයයි ගොඩක්. ම..මං ඔයාට ආදරෙයි..”

” ලෝරා..”

ඇස් අඩවන් වෙද්දූ විටින් විට එන ආලෝකයෙන් දකින ඔහුගේ රුව බොද වෙද්දී මං එලෙස කිව්වේ. මගෙ කටින් පිට උන කිසි දෙයක් ගැන මට තේරුමක් නෑ. ඒ ගැන කිසිම දෙයක් මම දන්නෙත් නෑ..

ඒත් ඒ අමුතු දේ ගැන මට හිතන්න වෙලාවක් තිබ්බෙත් නෑ.. මගෙ ඇස් පියවෙන තත්පරේ මං දැක්කේ ඔහුගේ ගෙලේ තිබ්බ ඒ රන් පැහැති ලොකට් එකයි.

ඇස් සම්පූර්ණයෙන්ම වැහිලා යද්දී මට දැනුනා මාව උඩට උස්සලා ගන්න බවක්. මගෙ කම්මුල අයිස් මෙන් සීතල පපුවට වදිද්දී ඒ පපුවෙන් ආව සුවද නැහැ පුඩු අතර විනිවිද යද්දී සත්තයි මට දැනුනේ මගෙ ආත්මයම සුවපත් වෙන බවකි..

මේක හීනයක්නම් ඔහු උදේ මං ගාව ඉන්න එකක් නෑ. ඒත් මේක ඇත්තක්නම් , ඒ කියන්නේ මගෙ පස්සෙන් එන්නේ ඒ වගේම සැරින් සැරේ මගෙ ඔලුවට ඇවිත් කරදර කරන්නේ යක්ශයෙක් අමනුස්සයෙක් කියන එකයි….