Home Novels වස්සාන මල් වස්සාන මල් – 19 කොටස

වස්සාන මල් – 19 කොටස

0
21

·වස්සාන 💐 🌹 🌹💐

මේ දහ නවවන මල් පොහොට්ටුවයි… 🌹💐🌹

“නෙතූ, කට වහගන්නව.”

“මගෙ කට වහන්න නෙමේ, දැන්වත් ඔය නාඩගම නවත්ත ගන්න. මමයි මෙයාගෙ කසාද ගෑනි, ඒ වුණාට මං ගැන වද වෙනවටත් වඩා කොච්චර හරි වදවෙන්නෙ නංගී ගැන. මටත් ඉවසනව කියල මෙච්චරම ඉවසන්න බෑ ගිම්හාන.. ඒක තේරුම් ගන්න.”

අක්කා අන්තිම ටික කිව්වේ හැඬුම් ඉකිබිඳුම් අතරේය. අක්කාගේත්, ගිම්හානගේත් කුලගෙයි ගින්නක් ඇවිලෙන ලකුණු දැක දැක සතුටු වෙන හිතක් කොහොමටවත් නොතිබිණි. මගේ හිස ගිනි ගත්තේ එහෙයිනි. දෑතින්ම හිස බදාගෙන මම පුටුවකට බර වූයේ මෙතුවකට නොතිබූ අලුත් හිතේ බරක්ද සමඟිනි.

“අම්මි ඩෝල්.. ඇයි..? ඔළුව රිදෙනවද?”

වස්තූ වහා මට ළං වූයේය. මගේ නළලට, ගෙලට අත තියා බැලුවේය. පුතු පැටියාද මා අසුන් ගෙන සිටි පුටුවත්තට නැග ගත්තේය. වස්තූ සේම මගේ නළලට, ගෙලට සිඟිති අත තියා බැලුවේය.

“අම්මි, ඌවා..?”

මගේ ගෙල බදාගෙන දෙකොපුල් සිප ගත්තේය. වස්තූ අනිත් පසින් විත් මා ළයට තුරුළු වූයේය. දෙදරුවන් දෙඅතින් ළයට තුරුළු කරගත් මම මාරුවෙන් මාරුවට දෙහිස් සිම්ඹෙමි. ‘මගේ අසරණයින් දෙන්න, මට වැටි, වැටී නැඟිටින්න හයිය දෙන මගේ පුංචි යෝධයො දෙන්න.’

“අම්මි, බාම් ගෙනත් ගාන්නද?”

වස්තූ ඇසුවේය. මම හිස වැනිමි.

“මම බාම් ගාන්නෙ.. මම බාම් ගාන්නෙ..”

පුතු, වස්තූ පස්සේ දිව්වේ එහෙම කියමිනි.

“ඔයාට බෑ මල්ලී, ඔයාගෙ අත දැවිල්ල ගනී.”

“නෑ, මට පුළුවන්..”

“හා, එහෙනන්.. හැබැයි අඬන්න බෑ දැවිල්ල හැදිල. අනිත් සැරේ අම්මගෙ ඔළුවෙ කැක්කුම වැඩිවෙයි, ඔයා අඬන්න ගත්තම.”

අම්මාගේ ආදරයට දෙදෙනා අතර සීතල යුද්ධයකි. ඒ වෙලාවට නම් වස්තූත් පුතුට අන්තය.

“අම්මි, දොයිය..”

මම පොඩි පුටුවෙන් ලොකු පුටුවට මාරු වීමි. කුෂන් කොට්ටයක් හිස තියාගෙන පුටුවේ ඇලවුණෙමි. පුතු පැටියා නැග්ගේ මා ගතටය. වේදනානාශක ආලේපන සුවඳ දැනුණේ යන්තමටය. වස්තු මල්ලි රවටන්නට ඇබින්දක් අතට දෙන්නට ඇත.

“දැන් අයියා..”

අයිය මලෝ ගිවිසුම් ගසන්නට දක්ෂය. මට ඔවුන්ගේ රණ්ඩු සරුවල් බේරන්නට සීමිතව මැදිහත් වෙන්නට ලැබෙන්නේ ඒකය.

“ආච්චම්මා, තාම ඇවිත් නෑ නේද වස්තු කැටේ?”

“තාම නෑ වගේ..”

තාමත් පහළ පැත්තෙන් දෙන්න දෙමහල්ලන්ගේ වාද විවාද ඇසෙන්නේ ඒක හින්දා වන්නට ඇත. කාලෙකින් නොගිය ඥාති නිවසට යනවා යැයි කියා අම්මා ගෙදරින් එළියට බැස්සේ අපත් සමඟමය.

දරු මුණුබුරු මිණිබිරියන් හින්දා අම්මාගේ නිදහස් ගමන් බිමන් ඇහිරී ඇති නිසා වෙලාවකට ඈ ඉන්නේ ළතැවුලෙනි. ඒ හින්දා නිවාඩුවකට ගෙදර ඉන්නා හැම වෙලාවෙම ඇයට යන්නට ඕනිය කියන ගමන් යන්නට මම ඇයව නිදහස් කරන්නෙමි.

ඒ හින්දා නිවාඩු දවසකටත් ගෙදරින් බැහැර වේ නම් පුතු පැටියාත්, වස්තුත් දෙදෙනාම එක්කාසු කරගෙන යන්නේ අම්මාගේ නිදහස ඈට දිය යුතු හින්දාය.

💐🌹💐🌹💐🌹💐🌹

තීරණයක් ගත යුතු තවත් මංසන්ධියක මා හිරවූයේය. කුලී පදනම යටතේ ලබාගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය සේවා ස්ථානය, සින්නක්කරයටම මිලදීගත් ඉඩමක වූ ගොඩනැගිල්ලකට ගෙන යෑමට ඉහළ ආයතන කළමනාකාරීත්වය තීරණය කර තිබුණේ හදිසියේ නොවේ.

දැන් මාස කීපයක් තිස්සේම ඔය ආරංචිය සේවක සේවිකාවන් අතර පැතිරිණි. එකම දිස්ත්‍රික්කයේ වීද මේ ස්ථාන දෙක අතර වූයේ කිලෝමීටර් තිහක තරම් වූ දුරකි. දැනට පවත්නා සේවා ස්ථානයටත් කිලෝමීටර් විස්සක් විතර දුර ගෙවාගෙන එන මට නම් එම දුර නිවසේ සිට යෑම්ඊම් දුෂ්කරය.

මා මෙන්ම මටත් වඩා දුර ඉඳන් එන්නෝද වූහ. ආයතනික තීරණය වූයේ නව සේවා ස්ථානයේ රැකියාවට යෑම ඒම දුෂ්කර අයට ඉල්ලා අස්වීමට අවස්ථාව ලබා දීමය. තවද දැන් සේවා ස්ථානය තිබෙන නගරයට පමණක් ආයතනය මඟින් බස් රථයක් ලබා දීමටත් ඔවුන් තීරණය කර තිබුණි.

අපට තිබුණේ ඔය තීරණවලට අනුගත වීමටය. මා හිරවුණේ ඔය තීරණ අතරය. ඉදිරි මාස තුනක වැටුපක් ගෙන ඉල්ලා අස්වෙන්නේද, නැත්නම් කිලෝමීටර් පනහක පමණ දුර ගෙවා නව සේවා ස්ථානයේ රැකියාවට යන්නේද කියන තැන හිරවුණද රැකියාව අහිමි කරගන්නට පුළුවන් තැනක මා නොසිටියේය.

හිත රිදෙන තැන් සේවා ස්ථානයේදීත් සුලබ වීද, ඒ සියල්ල හිනාවෙන්, කතාවෙන්, තරහින්, කේන්තියෙන් ඉවසා ගත්තේ රැකියාව අත අරින්නට කොහොමටවත් නොහැකි හින්දාය. නැත්නම් සියක් වතාවක් රැකියාව තිත්ත කරන්නට මා සමඟ එක්ව වැඩ කළ මගේම සගයින් සහය වීය. ඒ වෙලාවට කටට එන දෙයක් කියා ඒ එපාවීම් ඉවසා ගත්තද, කාටත් හොරෙන් ඒ වෙනස්කම් දරා ගන්නට බැරුව ඉකි බිඳ අඬපු දවස්ද වීය.

ඒ කවුරුත් නොදැක්ක ගීමුතුගේ අභ්‍යන්තරය හැමදාම දුටුවේ ගීමුතුම විතරය. එහෙම බැලුවොත් ප්‍රියයන් හා අප්‍රියයන් වෙසෙන සේවා ස්ථානයෙන් සමු ගැනීමත් හිතට හොඳය.

ඒත්.. රැකියාවක් නැතුව මගේ දරු පැටවුන්ගේ අනාගත අභිවෘද්ධිය කෙසේ නම් සකසන්නද? තියෙන රැකියාව අතෑර අලුත් රැකියාවක් හොයා ගන්නවා කියන එකත් පහසු දෙයක් නොවේ.

එය අතිදුෂ්කරය. ඒ හින්දා මේ රැකියාව රැකගත යුතුමය. ඒ වූවා කියා උදේ හවස අති දුෂ්කර ගමනක යෙදෙන්නට වෙනවා නේද කියා හිතෙනකොටත් හිස කැක්කුමය. එබැවින් පහුගිය ටිකේම මා හිටියේ එහෙට මෙහෙට වැනෙන අතීරණ අතරය.

එදා, මට ඇහෙන්නටම අක්කාත්, ගිම්හානත් මා අරඹයා වචන හුවමාරු කරගත්තාට පසුවත් කීප දවසේ ඒ දෙන්නාගේ කනුකුණු කතා ඇහෙන්නට වූයේය. ඒ හැම විටකම අක්කාගේ කටේ වූයේ ගිම්හාන තාමත් මා ගැන වද වෙනවාය කියාය. එහෙත්… ඔහු කොහොම මා ගැන වදවෙනවාද කියන්නට මම නොදත්තෙමි.

මන්ද, ඔහුට මා ගැන වද වෙන්නට එක පුංචිම අවස්ථාවක්වත් මම නොදුන්නෙමි. සමහරවිට ඔහු අස්වාමිකව මා ජීවිතය දිනන්නට දරන තැත දැක හිතින් වදවූවාද කියන්නට නොදත්තෙමි.

මන්ද ඔහුගේ චංචල හිත කියවන්නට මා අපෝසත්ය. එදා ළඟින් ඉඳිද්දීවත් කියවගන්නට බැරිවූ ඔහු හිත, මෙදා දුරින් ඉඳ කොහොම නම් කියවන්නද?

මට උරුම වෙන්නට තිබූ ලෝකයේ කිරුළු දැරුවාට අක්කා ගැන අබමල් රොනක තරම්වත් ඊර්ෂ්‍යාවක් නොවිණ. ඒ හින්දා ඔවුන් අතර මා නිසා ගැටුම් ඇතිවනු දකින්නට මම රිසි නොවිමි.

රැකියා ස්ථානයේ ඉස්සරහට වන වෙනස්කම දරාගන්නේ කෙසේදැයි උදේ, දිවා, රාත්‍රී වෙනසක් නැතුව කල්පනා කළ මම හදිසි තීරණයක් ගත්තෙමි. ඒ මගේ තීරණය හැම පැත්තෙන්ම වාසි සහගත වන්නේ මටය. එතකොට අම්මාගේ විවාහ යෝජනා කරදරයෙන්ද ගැලවී සිටින්නට මට හැකිය. මොක නැතත් එයම සතුටකි. සැනසිල්ලකි.

“අම්මෙ, අක්කලට කියන්න උඩ තට්ටුව මං විකුණනව, එයාලට ගන්න කියල.”

වැඩ ඇරී විත් මුළුතැන්ගෙයි රාත්‍රී ආහාරය සකසමින් සිටි මම බුදුන් පුදට මල් නෙලමින් සිටි අම්මා ළඟට දුවගෙන ගියේ එහෙම කියාගෙනමය. බැස යන ඉරේ ලා රන්වන් පැහැය වත පුරා ඉහිරී තිබ්බාට මා හිටිහැටියේ කිවූ දේ ඇසූ ගමන්ම අම්මාගෙ වත අඳුරුව ගියේය. අතවූ ප්ලාස්ටික් මල් කූඩයද මඳකට ඇලවීය.

නෙලාගත් මල් බිම වැටෙන්නට නොදී පරිස්සම් කරගන්නට අම්මා කලබලයෙන් දැරූ තැත ව්‍යර්ථ වීය. සුදු ඉද්ද මල් අහුරක්ම බිමට වැටිණි.

“පිස්සුද, බං පොඩි පුතේ, හැබෑටම උඹට? බලහන්, අච්චර පරිස්සමට කඩාපු මල් මිටත් අපතේ ගියා, උඹේ කඩිප්පුලි කතාවට.”

“මගෙ කඩිප්පුලි කතාවට නෙමේ, අම්මා එලෝ මෙලෝ සිහියක් නැතුව මල් වට්ටිය පරිස්සම් කරන්න ගිහින් තමයි එච්චර දෙයක් වුණේ. කෝ, ඉන්න මං මල් ටිකක් කඩල දෙන්නම්, මෙච්චර ඕසෙට තියෙද්දී ඕකට නාහෙන් අඬන්න ඕනැයි.”

මම අම්මාගේ නහයත් මිරිකා සුදු පිරුවට ඇඳ හිනාවෙන ඉද්ද පඳුරට කිට්ටු කළෙමි.

“ඕන්නෑ.. ඕන්නෑ.. කවදාවත් නැතුව උඹ මට මල් කඩන්න උදව් වුණේ නැතිවට කාරි නෑ. කියහන්, අර කියාගෙන ආව අප්‍රබංසෙ තේරුම මොකක්ද කියල ඔක්කොටම කලින්.”

“කඩාපු මල් ටික හිත හොඳින්පූුජා කරල හිත සන්සුන් කරගෙනම එන්නකො. අග ඉඳන් මුලටම තේරුම් කරන්නම් ඊට පස්සේ.”

“ඒ පූජා කරන මලින් ඇති ඵලක් නෑ, ගාථාත් පැටලෙයි, උඹ කියෙව්ව කතාව මතක් වෙලා. ඒ හින්දා හිත එකලස් කරගෙන මල් පූජා කරන්න කියාපන්, උඹ මොකක්ද කියන්නේ කියල.”

“අම්මට කලබල වෙන්න දෙයක් නෙමෙයි කිව්වේ.”

“මං කලබල වෙන්න ඕනිද, නැද්ද කියල මං තීරණය කරන්නම්. දැන් ඔය ලෙහාගෙන ආව මඩිස්සලය ආයෙ ඔබන්න ඕනි නෑ. ලෙහෙලම පෙන්නපන්. එතකොට මගෙ හිත සුද්ධයි.”

අම්මා කලබල වූ තාලෙට කියන්නට හිතාගෙන ආ දෙය මේ වෙලාවේ නොකියා ඉන්නට හිත කිව්වේය. ඒ වුණත් අම්මාගෙන් ගැලවීමක් නොවිණි.

” නෑ, ඉතිං.. මං කිව්වේ මේ වෙලාවෙ මට ජොබ් එක නැති කරගෙනත් බෑ. ඒ වුණා කියල උදේ හවස මෙහෙ ඉඳන් බඩගාන්න පුළුවන් කමකුත් නෑ. ඔෆිස් එකෙන් වාහනයක් එවුවත් පහට ඕෆ් වෙලා ටවුමට එනකොට හයම වෙයි. සමහරවිට ඊටත් පහුවෙන්න පුළුවන්. කට්ටිය එකතු කරගෙන, මගින් මගට හල හලා එනකොට හරියටම වෙලාවක් කියන්න දැන්ම කොහොමටවත් බෑ.

කොහොම හරි ටවුමට ආව කියමුකෝ, ඒ ඇවිල්ලත් එතන ඉඳන් එන්න බස්සෙකක් නොතිබ්බොත් මාර කට්ටක් කන්න වෙන්නෙ. මට මතක් වෙනකොටත් නිකන් කලන්තෙ වගේ.

ඒ හින්දා මට හිතෙනව, ඒ ළඟක ගෙයක් ගත්ත නම් මේ ඔක්කොම හරියයි කියල. ඒකට ඉතිං, මා අතේ සල්ලි තියෙනවයි කියලද? ඒක හින්දා හොඳම විසඳුම මට ලියල තියෙන උඩ තට්ටුවත් අරගෙන මුළු ගෙයිම තනි අයිතිය අක්කා ගන්න එක.”

විඩෙන් විඩේ විරූපී වෙන, වඩා විරූපී වෙන, වඩාත්ම විරූපී වෙන වත ගැන නොසිතා මම මගේ හිත එළියට දැම්මෙමි.

“නාඳුනන පළාතකට පදිංචියට යන්න.. ඇත්තටම උඹට වැහිච්ච පිස්සුව මොකක්ද කියහන්, ඔක්කොමට ඉස්සෙල්ලා.”

“මට වැහිච්ච පිස්සුවක් නෑ, අම්මෙ.. දැන් ටික දවසක ඉඳන් පහළ පැත්තෙන් එන සද්ද බද්දත් වැඩියි. ඒව ඇහෙනකොට මේ වහලයට තවත් ඉස්සරහට ඉන්න පුළුවන් වෙයිද කියලත් සැකයි මට.

මාව එකපාරක් එපාවෙච්චි මිනිහෙක් මට දහස් වාරයක් එපා. ඒත්.. අක්කා ඒක දන්නෑනෙ. ඒ හින්දා ඔය කනින් කොනින් ඇහෙන කතන්දර මට දිරවන්න බෑ, ඒක හින්දා හොඳම විසඳුම මං මෙහෙන් තොලොන්චි වෙලාම යන එක.”

“එතකොට දරුව බලාගන්නෙ කවුද කියහන්. කලබල වෙලා ප්‍රශ්න විසඳන්න උඹ හරිම හපනා කියන්න මං දන්නව. අනික අනිත් අය රිද්දන්න හිතල හරි, අනිත් අයට යහපතක් වෙන්න හිතල හරි උඹ කළොත් කරන්නෙ උඹේ ජීවිතය බිල්ලට දෙන එක. ඒ හින්දා කලබල නොවී හෙමිහිට හිතාපන්. හිතල හොඳම තීරණයක් ගනින්.”

“අම්මෙ, අනිත් අයට රිද්දන්න එදා ඕනි වුණෙත් නෑ, අද ඕනි වෙන්නෙත් නෑ. ඒ හින්දා වහාම ඉල්ලා අස් කරගන්න ඒ කිව්ව කුණු කතාව. කාටවත් රිද්දන්න ඕනි වුණානම් මං මෙහෙම ඉන්නෑ අම්මෙ, කට්ටියම එකතු වෙලා මට රිද්දුවට මං ඒකම ආයෙ කාටවත් කළෙත්නෑ කරන්නෙත් නෑ කියන්න මං දන්නව.”

මට මා ගැනම දුකය. වේදනාය. ඇසට කඳුළක් ඉනුවේ ඒ ආත්ම පරාජයටය. සිදුවූ දේහි අස්සක් මුල්ලක් නෑරම දන්නා අම්මා වීද මා ගැන හිතන්නී එලෙසිනි. තවත් කතා කුමටද? මම අතවූ පිවිතුරු ඉද්ද මල් මිට වට්ටියට හලා අපවිත්‍ර සිතින් ගෙට ආවෙමි. රාත්‍රී ආහාරයට නුඩ්ල්ස් ඕනෑ යැයි කිව්වේ පුතු පැටියාය.

ඔහුත් මා වගේය. අමතර කෑම කන්නට ප්‍රියය. කප කපා හිටිය කැරට් රවුම් පෙති හීනි ගිනිකූරු ගානට ලියවුණේ කලිනි. බාගෙට නවත්වා අම්මා සොයා ගියාට පසු ඒවා කැපුණේ කුඩා කාලයේ තිබූ අලියා ගිනිකූරේ ගාණටය.

💐🌹💐🌹 ම්ම්ම්.. මතු තව මල් පොහොට්ටුවක් පිපෙන්නට තියා අදට පිපෙන්නේ මෙච්චරමලු.💐🌹

💐🌹 ලස්සනයි, හරිම ලස්සනයි.. ඒවගේ ලැබෙන ඔයාලගෙ ප්‍රතිචාර ළඟ හිත පිරෙනවා මහ හුඟාක්.., ඒක ඇත්තයි. ඒත්.. හොඳ වගේම නරකත්, වැරැද්දක් දුටු තැන ඒකත් පෙන්වා දෙනවා නම් ඒකටත් හිත බොහොම කැමැතියි. මම ලියන දේ ගැන විටෙක තෘප්තිමත් වෙනවා වගේම මගේම ලියවිලි ආයෙ කියවනකොට අතෘප්තිමත් වන තැන් මටම අහුවෙනව. එතකොට ‘ චී.. මේ මොන මළ ජරාවක්ද?’ කියල මටම හිතෙනව.

කවුරු මොනවා කිව්වත් මා ගැන කවදටත් අධි තක්සේරුවක් තියා හරි තක්සේරුවක්වත් වෙලාවකටමා ළඟ නෑ. ඒ හින්දා මං යන මග වැරදි නම් කියන්න මටම, මටම ඇහෙන්න. ඒක මට හරිම සතුටක්.

ඒ සතුට මට මේ ඊයෙ ගෙනාවෙ සිසිර ගමගේ මහතා. ඔහු මට කවදටත් හැකි උපරිමයෙන් මග හසර පෙන්වා දෙන්නෙක්. ඉතිං, එතුමාට තුති පුදන්නට මම මේක අවස්ථාවක් කරගන්නව. ‘ සිසිර අන්කල් බොහොම ස්තූතියි.. බොහොම පින්.. ආයුබෝම වේවා.. ඔබතුමාට