සදැසි හවස මිදුලට වෙලා පාර දිහා බලාගෙන හිටියා.. ඊයෙ රෑ ගැන හිතද්දී කෙල්ලට පුදුමයි ..රෑ නින්දට වැටුනට මොකද මැවි මැවී පෙනෙන්නේ රශ්වින්ගේ මූණමයි ..නැගිට්ට වෙලේ ඉඳලා මතක් වෙන්නෙත් රශ්වින්ව.. ඒ බැල්ම ..ඒ හිනාව ..ඒ කතාව…ලස්සනට සිංදු කියපු හැටි …නලල සිපගත්ත හැටි..හැමදේම ඒ අන්තිම රාත්‍රියේ දැකපු හීනයක්ද

‘‘දෝනි ”

අප්පච්චි ආපු නිසා කෙල්ල නැගිට්ටා.

‘‘ මං දූ එනකම් බලාගෙන හිටියේ වැදගත් දෙයක් කතා කරන්න… දෝණිගේ අම්මා තමයි හරි නම් මේවා කතා කරන්න ඕනේ .ඒත් .. ”

අප්පච්චි කතාව නතර කළා.

‘‘කමක් නැහැ කියන්න අප්පච්චි ”

‘‘දෝණිගේ කවුරුහරි මහත්තයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවද”

අප්පච්චි අහද්දි සදැසි පුදුම වුණා

‘‘නැහැ”

‘‘එතකොට ඊයෙ ආපු මහත්තයා.. ”

‘‘ ඒ මහත්තයා තමා මාව ගෙනත් ඇරලුවෙ.. අප්පච්චිට මං සිද්ධ වෙච්ච දේවල් කීවනේ ”

‘‘හ්ම් එහෙමද? ”

‘‘ඇයි අප්පච්චි ”

‘‘දුවගෙ දැන් කල වයස හරි ..මං දෝණිට කටයුත්තක් බැලුවා ..ගමේ කපු හාමිනේ තමා කතා කළේ . බොහොම වැදගත් පවුලක දරුවෙක්.. හෙට ඒ ගෙදරින් එනව දුව බලන්න”

සදැසි පුදුමෙන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.. මෙහෙම දෙයක් සදැසි හීනෙකින්වත් හිතුවේ නැහැ

‘‘මේ ඕයි මල්ලි..තමුසෙ දැන්ද මේ ගෙදර එන්නෙ. කීයක් වැඩද අද..මේ පොඩි එකීගෙ බර්ත්ඩේ එක කියලා මතකත් නැද්ද තමුසෙට”

රශ්වින් හොරා වගේ ගෙට ගොඩ වෙනකොටම අක්කා දුම්මල වරම අතට ගත්තා.

‘‘කෑ ගහන්න එපා ඕයි.අම්මට ඇහෙයි. ”

‘‘ඇහෙන්න තමයි කිව්වෙ. ”

රශ්මිකා කොල්ලට ටොක්කක් ඇන්නා

‘‘අප්පෝ තමුසෙ ළග ගද ..තමුසෙට මොන පෙරේතයෙක් වැහිලද ඕයි”

‘‘කට වහ ගන්නවකො මගුල.අර මනුස්සයා මාසෙකට වතාවක් ගෙදර එන එකමයි හොද..මම එහෙම නම් අවුරුදු ගාණකට එන් නෑ. ”

රශ්වින් කිව්වෙ නේවි එකේ ඉන්න රශ්මිකාගෙ හස්බන්ඩ්ව මතක් කරගෙන.හස්බන්ඩ් ආව දවසට විතරයි රශ්මිකා එයාගෙ ගෙදරට යන්නෙ. නැත්නම් පොඩි එකී එක්ක ඉන්නෙ මහ ගෙදර.

‘‘තමුසෙ ඊයෙ රෑ හිටියෙ කොහෙද? ”

‘‘කාර් එකේ”

රශ්වින් කිව්වෙ ඇත්තටම.මොකද කොල්ලා සදැසිට යාළුවෙක් රිකිල්ලගස්කඩ ඉන්නවා කිව්වෙ බොරුවට.රශ්වින් ඊයෙ රෑ මග කාර් එක නතර කරලා ඒකෙම නිදා ගත්තා.

‘‘කවුරු එක්කද”

‘‘කෙල්ලෙක් එක්ක”

‘‘රශ්මිකාගෙ ඇස් උඩ ගියා. ”

‘‘මොකක්”

‘‘ඔව් ඕයි..මරු ඈ.. වතුර බැරල් එකක ඔබලා ගත්තා නම් දියකිදුරියක්ම තමයි. ”

කෙල්ලා සදැසිගෙ රූපෙ මතක් කරගෙන කිව්වා.උදේ කොල්ලා ඇහැරුණේ වැලි ලොරියක් කන උඩ හෝන් කරද්දි..ඒ එක්කම මතක් වුණේ පොඩි එකීගෙ බර්ත්ඩේ එක කියලා.. රශ්වින් එහෙමම නුවර පාරට කාර් එක දැම්මා.

‘‘අනේ පලයං බං යන්න.උඹ වගේ බේබද්දෙක් එක්ක එන කෙල්ලො කවුද? ”

අක්කා කට ඇද කළා.

‘‘ආ එහෙමද තමුසෙ හිතාගෙන ඉන්නෙ. ”

‘‘මේ.. එව්වා මං දන් නෑ ..ඕං හෙට අර මනමාලි බලන්න යන්න ලෑස්ති වෙනවා.අම්මා අරෙහෙ මග බලාන.දැන්වත් ඔය බීම නවත්වනවා.නැත්නම් තමුසෙට මගුලක් හරි යන් නැති වෙයි. ”

රශ්වින් ගැස්සුණා.එක පාරටම කොල්ලගෙ හිතට ආවෙ කෙල්ලගෙ රූපෙ

‘‘අනේ මගේ සුදු අක්කෙ..මේ පාරත් ශේප් එකක් දාලා දෙනවකො.ඔයා මගෙ හොද අක්කනේ..මට බෑ ඕයි ඔය මනමාලියො බලන්න යන්න.මාර චාටර්නෙ අප්පා”

‘‘ආ..ඒ පාර පෙනේද බටර් පාර”

‘‘ප්ලීස් අක්කි. ”

‘‘මේ විකාර නොකර යන්න ලෑස්ති වෙනවා.. ”

රශ්වින් මූණ එල්ල ගත්තා.

‘‘මාමී… ”

පොඩි එකී කොහෙදෝ ඉදලා දුවගෙන ඇවිත් කොල්ලගෙ ඔඩොක්කුවට පැන්නා.

‘‘මට චොකෝ ගෙනාවද? ”

‘‘චූටි..මං චූටිට හවසට ගේනවා ලොකු රිස්බරි චොක්ලට් එකක්”

‘‘අපොයි ගෙනෙයි කියලා තමා බය..මේ අද රෑ නම් ගෙදර ඉන්න ඕනෙ හරිද”

රශ්මිකා රවාගෙන ඇතුලට ගියා.

‘‘මනමාලී..දියකිදුරි…පිස්සු වගේ .. ”

කොල්ලා ගෙ කට කොනට හිනාවක් නැගුණා.

🌷🌷🌷🌷🌷

සදැසිට රෑ නින්ද එන් නෑ. හෙට එන මනමාලයා ගැන හිතා ගන්න බෑ.ඒ අස්සෙ හිත ඉල්ලන්නෙම රශ්වින්ව

‘අනේ මහත්තයා..මං ඔයා ගැන කිසිම දෙයක් දන් නෑ..ඒත් මට ඔයාව අමතක කරන්නම බෑනෙ..ඒත් ඔයාට මාව මතකත් නැතුව ඇති.ඔයා මට ළංවුණු වෙලාවෙ මට දැනුනෙ අමුතුම හැගීමක්..ඔයා මට මුණ නොගැහුනානම් …

හෙට මාව බලන්න එනවලු කෙනෙක්.අනේ මන්දා..මට මේ මොකද වෙලා තියෙන්නෙ..මගෙ හිත කියන්නෙම රශ්වින් ගැන.ඒත් එයා ආයෙත් එයිද? ’

සදැසි කල්පනා කළාට උත්තරයක් ලැබුණෙ නෑ.

🌹🌹🌹🌹

ජීවිතේ පළවෙනි පාරට කොල්ලෙක් ඉස්සරහට හෙප්පුව අරං යන්නෙ.සදැසි ගිඩිගිඩි ගාලා ගැහෙනවා. තිබුණු එකම සාරිය කෙල්ල ඇදගත්තෙ අප්පච්චිගෙ හිත රිදවන්න බැරි නිසා. මල්ලිලා දෙන්නා අක්කගෙ සාරි පොටේ එල්ලිලා ඉන්නවා.සදැසි බිම බලාගෙනම ගියෙ අප්පච්චි එක්කමයි.හෙප්පුව දිග් කරපු ගමන් මනමාලයා රුපියල් දාහෙ කොලයක් දැම්මෙ සදැසිව පුදුම කරවලා.

🌹🌹🌹🌹🌹

‘‘ මනමාල මාමි.එන්නලු ඔයාට ඉක්මණට”

චූටි කාමරේට එබුණා .රශ්වින් කොණ්ඩෙ පීරනවා.

‘‘මේ එනවා පැටියෝ”

‘‘ මේ ඕයි තමුසෙගෙ කසාදෙ නෙවෙයි අද ..එනවා ඉක්මණට”

අක්කා කෑගහනවා සාලෙ ඉදලා..රශ්වින් ඔරවගෙන සාලෙට ආවා.

‘‘බලනවා ..ඔහොම ඉන්නකොට කොච්චර ප්‍රියමනාපද කියලා..ඔය විදිහට රෑටත් ගෙදර එනවා නම් මොකද නේද අම්මා”

රශ්මිකා පැත්තක හිටපු අම්මාවත් කතාවට ඇදලා ගත්තා

‘‘ඒකනෙ..දැන් මනමාලිවත් මේකව හදාගන් නැතෑ”

අම්මා කිව්වෙ කලකිරීමෙන්.රශ්වින්ට කියලා කියලා ඇති වෙලා එයාට.

‘‘බම්බු මනමාලි. ”

රශ්වින් ගෙ හිතට මාර අප්සෙට්..කොල්ලට මතක් වෙන්නෙම දියකිදුරිව..කොහොම හරි මනමාලිගෙ ගෙදරට ගියා..මනමාලි ඇවිත් හෙප්පුව දිග් කරද්දි රශ්වින්ට මැවිලා පෙනුනෙ සදැසිව. මනමාලි කොට ගවුමක් ඇදගෙන හෙප්පුවක් දිග් කරනවා.

‘අපොයි.අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයිලු.’

රශ්වින්ගෙ මූණ හොදටම අබ්ලික් වුණා.සල්ලි කාරියක් වුණාට වැඩක්ද? අම්මලාත් මූණ දෙල් කරගෙන..

🌹🌹🌹

සදැසිට කලන්තෙ වගේ.මනමාලයාගෙ මූණ කෙල්ල බැලුවෙ දෙගිඩියාවෙන්.බැලූ බැල්මට පේනවා සදැසිට වඩා ගොඩක් වැඩිමල් කියලා.සදැසි කොච්චර අසරණ වුණාද කියනවා නම් කෙල්ලට ඇඩෙනවා. මතක් වෙන්නෙම රශ්වින්ව..ඒත් රශ්වින් ආයෙ එයිද? නැද්ද? රශ්වින්ට වෙන කෙනෙක් ඉන්නවද..රශ්වින්ගෙ හිතේ තමන් ගැන හැගීමක් තියෙනවාද.එක දවසක් දැක්ක පලියට කොල්ලෙක් ගැන එහෙම තීරණ ගන්න පුළුවන්ද? සදැසිගෙ ඔලුව පැලෙන්න වගේ..සදැසි නිහඩ නිසා අප්පච්චි කතා කලා.

‘‘නෝනා මගෙ නම් අකමැත්තක් නෑ..මං දන්නවා මගෙ දරුවා මගෙ වචනෙට පිටින් යන්නෙ නෑ කියලා.ඔය උත්තර නොදෙන්නනෙ ලැජ්ජාවට.අපි මගුල තීන්දු කරගමු.මේ පුතා ගැන මං හොයලා බැලුවා.වරදක් ආරංචි වුණේ නෑ මට”
අප්පච්චි එහෙම කියනකොට සදැසි කදුළු පිරුණු ඇස් ඒ දිහාට යොමු කළා.

🌹🌹🌹🌹🌹

‘‘මොකද්ද මල්ලි නවත්තනවකො ඔය හිනාව.. ”

රශ්මිකා කොල්ලගෙ පිටට පාරක් ගැහැවා.කොල්ලා එක්ක චූටිත් හිනාවෙනවා. චූටි පොඩිකමට මනමාලි ආපු හැටි රගපාලා පෙන්නනවා. පැත්තක හිටපු අම්මයි තාත්තයි දෙන්නත් බල බල හිනාවෙනවා.

‘‘මොඩ්න් මනමාලිලා එහෙමලු අක්කෙ..ෆැෂනබල් බ්‍රයිඩ්ස්..වාව්… ”

‘‘සියවසට ගැලපෙන්න එහෙම තමයි ඉතිං.සල්ලි වලට මොනවද කරන්න බැරි. ”
‘‘ඉතිං තමුසෙටත් තිබ්බෙ අයියා ළගට ඔහොම යන්න.අයියා තමුසෙට පයින් දෙකක් දීලා පන්නනකොට..අම්මෝ මට ඒ දර්ශනේ බලන්න ආසයි. ”

‘‘තමුසෙ කියෙව්වට ඒ කෙල්ල මොඩ් විදිහට හිටියට හොදයි.. ”

‘‘අපොයි ඔව් හරි හොදයි. මගෙන් ඇහැවා ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනකේ ඉන්නවද කියලා..මං ඉතිං ගත් කටටම කීවා මතක නෑ ගාණ කියලා. ඒකි කියපි මට නම් දැනට නවයයි කියලා.හහහා… ”

කොල්ලා අයෙත් හිනාවෙනවා.

‘‘හා..හා..දැන් ඔය විකාර නවත්වනවා..ඒ කටයුත්ත හරි යන් නෑ.. අපි වෙන එකක් බලමු.. ”

තාත්තා අන්තිම තීන්දුව දුන්නා.කොල්ලට ෆුල් ෆිට්.රශ්වින් රශ්මිකාට පේන්න කට ඇද කළා.