Home Novels වස්සාන මල් වස්සාන මල් – 9 කොටස

වස්සාන මල් – 9 කොටස

0
179

වස්සාන 💐 🌹

💐🌹🌹💐 මේ නව වන මල් කැකුළයි 💐🌹🌹🌹

බලා ඉදිමි එනතුරු නුඹ කිරිකැටියා තුරුළු කරන් ආදරයෙන් ළය මඩලේ හිස තියන්න ආදරය බස් මුමුණන්නට කෝල බැලුම් විසිකරන්න ප්‍රිය හිමියනි වඩිනු මැනවි මගෙ ලෝකය එළිය කරන්

Priyangika karasnagoda… ( ආදරෙයි නංගී)

අවේලාවේ වීද ග්‍රාමීය රෝහලක් වූ එය ඇතුළට අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව යා ගන්නට හැකි විය. එහි තියෙන්නේද කාන්තා සහ පිරිමි කියා වාට්ටු දෙකක් පමණි.

ඇඳන් දහයක් විතර ඇති කාන්තා වාට්ටුවේ කොනක අම්මාත්, පුතු පැටියාත් උන්හ. මම ඔවුන් වෙත දිව ගියෙමි. අප යනවිට පුතු පැටියා උන්නේ නින්දේය. අම්මා ඔහු අසල වූ ප්ලාස්ටික් ස්ටූලයක ඉඳගෙන සිටියාය.

” මොකක්දම්මේ, පුතු පැටියට වුණේ?”

“මන්ද පොඩි පුතේ, එකපාරටම පලු දාන්න ගත්ත. මුලින් මුලින් දැම්මෙ චූටි චූටි පලු. පස්සේ බලා ඉන්නැද්දිම වගේ විශාල වෙන්න ගත්ත. දැක්කම බය හිතෙනව. ගෙදර හිටියෙත් අක්කා විතරයි.

මම පහළ ගෙදර ළමයව කතා කරගෙන එවෙලෙම එක්ක ආව. දෙයියන්ගෙ පිහිටයි කියල දැන් ඔය බෙහෙත් හෙම දුන්නට පස්සේ අඩු වෙලා තියෙන්නේ.”

මට මද සැනසීමක් දැනිණ. දුරකථන පණිවිඩය ලද මොහොතේ සිට මා හිටියේ කියාගන්නට නොතේරෙන දුකක් හිතේ තද කරගෙනය.

මහ ගොඩකින් ඒ දුක තුනී නොවීද දරුවාගේ මුහුණ දුටු සැණින් දුක දශම ගණනකින් විතර අඩු විය. මා පුතු ළඟ නවතිද්දී අම්මා ඉඳුත් සමඟ ආපසු ගියේ හවසට බලන්නට එනවාය කියාය.

නින්දේ සිටි පුතු මුව වෙහෙසකර පාටය. වෙනදාට නින්දෙනුත් හිනා වෙන හිනාවත ඒ මුවෙහි නොපිපිණ. මම ඔහු ගත පිරි මැද මැද ඔහු වෙතින් ඇස් ඉවතට නොගෙනම බලා සිටියෙමි.

දෑසින් කඳුළු වැටුණේ අනෝරාවටය. කොහොමත් දරුවන් ලෙඩ වෙනවාය කියන්නේ හයිය ඇති මගේ හිත බිංදුවටම බස්සනවා කියන එකය. ඉස්සරත් වස්තූ ලෙඩ වුණාමත් එහෙමය.

කඳුළු අරපරිස්සමට වට්ටන ඇස්වලින් කිසි පරිස්සමක් නැතුව කඳුළු වැටෙන්නේය. වස්තූගේ මුව, දෑත් දෙපා විතරක් නොව මුළු සර්වාංගයම පිරි මැද මැද ඔහු උකුලේ තියා වන වනා ඇඬූ කඳුළින් දවස ගෙවන්නෙමි.

කීප සැරයක් ඔහුත් සමඟ රෝහල්ගතද වූයෙමි. අන්තිම සැරයේ වස්තු රෝගාතුර වී රොහල් ගත කළේ මාත්, භූමිත් අපේ වත්ත පහළ නිවසේ කූඩූ වුවාට පසුවය.

රාත්‍රීන් තුනක් රෝහලේ ගත කරන්නට සිදුවිය. ඒ දවස් තුනටම එක වේලක් මග නොහැර තුන් වේලම කාටත් කලින් වාට්ටුවට ආවේ භූමිය. මගේත් වස්තුගේත් සියළු අඩුවැඩිය අරගෙන එන ඔහු වස්තුට සේම මටද තාත්තෙකු සේ විය. වස්තුගේ සුවදුක් ඇසීම කරන්නේ දෙවනුවය. මුලින්ම විමසන්නේ මගේ ගැනය. සනසන්නේ මාවය.

“මං නෙමෙයි අනේ, ලෙඩා.. මෙන්න මේ අහිංසකයා. මගෙ ගැන නෙමේ එයා ගැන අහන්න.”

මම භූමිගේ අතක වෙලී කියන්නෙමි.

“වස්තුගෙ අම්මි ඩෝලෙ සනීපෙන් ඉන්න එපෑ, වස්තුව බලාකියා ගන්න. ඒ හින්දයි එයා ගැන මුලින්ම හොයල බලන්නෙ.”

“නැතුව, ඔයා මගෙ වස්තු කැටේට වෙනස්කම් කරනව නෙමෙයි නේද?”

“අපෝයි.. වස්තුගෙ ඩෝල කැටේට වෙනස්කමක් කළත් වස්තුට නම් වෙනස්කමක් කරන්නෑ. එහෙම වුණොත් මං දන්නව මාව කොනිති ගහලම මරල දායි මේ අම්මි.”

“ඒ.. හිතන් ඉන්නෙ මට වෙනස්කම් කරන්නද?”

මම භූමිගේ දකුණත් බාහුව නොරිදෙන්නට කෙනිත්තුවෙමි.

“කවුද දැන් එහෙම කිව්වෙ? ඩෝලෙ?”

මුලින් මුලින් ඔහුට මා ගී මැණිකේ විතරකි. ඔහුත් සමඟ එක්ව වසන්නට ගත්දා සිට නම් කටට එන්නේ කුමන හුරතල් නමද, එය කියන්නේය. එ්ත්.. තාමත් වැඩිපුරම කියන්නේ ගී මැණිකේ කියාය.

වස්තූ සම්බන්ධ කතාවලදී නම් කියන්නේම අම්මි ඩෝල් හෝ ඩෝල් හෝ ඩෝලේ කියාය. මගේ නසරානි වැඩකට කේන්ති ගිය විට නම් “ගී….” කියන උච්ච ස්වරය ඇසේ. වෙලාවකට ඔය උච්ච ස්වරය අසන්නටත් හිත ප්‍රියය.

ඒ ස්වරයේ අර බයාදු ස්වරයක් නැත්තේය. මා විෂයෙහි පතුරුවන ඒකාධිපති ස්වරයක් එහි විය. ඒ හින්දා දවසට කීප වරක් “ගී…” යි අසන වැඩ මාතින් සිදුවේ.

නෙත් කොනින් හෙලන නුරුස්නා බැල්මට මගේ චණ්ඩි හිතත් තිගැස්සුණ තරම් සමහරවිට භූමිවත් නොදැන ඉන්නට ඇත. ඒ ස්වරයටත්, ඒ බැල්මටත් හැකිලෙන හිත හංගා හොර බැල්මක් විතරක් දී යසට අවස්ථාව මග හරින්නෙමි. ඉතිං, ඊළඟ විනාඩියේ භූමිට මාතින් වූ වරද අමතකය. ඇස් මානයේ නොදකින කල මොකක් නමුත් කියා ඇස් මානයට ගෙන්වා ගන්නේය.

“ඉක්මනට සනීප වෙන්න වස්තූ.. එපා වෙනව, ඔයයි අම්මියි නැතුව ඒ ගෙදර ඉන්න.”

ඔහු වස්තූට කියයි.

“මට දැන් සනීපයි. මාව ගෙදර යවන්න කියල භූමි අන්කල් ඩොක්ටර් අන්කල්ට කියන්නකො.”

වස්තුත් භූමිගේ ගෙලේ එල්ලී කියවන්නේය. ලෙඩුන් බලන වේලාවද ඉක්මවා යනතෙක්ම අප සමඟ වෙසෙන භූමි අප වෙතින් නික්ම යන්නේ වස්තුට විතරක් නොව මටද බතුත් කවා අනතුරුවය. රෝහලේදී කන්නට අප්පිරියාවයි කියා මා කෑම වරයි කියා බයට ඔහු එසේ කරන්නේය.

“කවුද අම්මද කෑම හදල දුන්නෙ..”

කුඩා රයිස් කුකරයේ බතක් උයන්නටත්, පොල් සම්බෝලයක්, පරිප්පුවක්, රොටියක් හදන්නටත්, බිත්තරයක් තම්බා ගන්නටත්, පපඩමයක්, අල බැඳුමක් බැඳගන්නටත් විතරක් දන්නා භූමිගේ හපන්කම් බත්පතින් දිස් නොවන කළ මම අසමි.

“නැත්නම් වෙන කවුද?”

“නැන්දම්මා එහෙනන් බෑන පොඩ්ඩ එක්ක යාළු වෙලා නැතැයි.”

“මොන.. මූණවත් බලන්නෑ. කෑම ටික ගෙනැල්ල දොරකඩින් තියල උන්දැ යනව.”

අම්මා භූමි එක්ක තරහ හිතුවක්කාරයට භූමි වෙසෙන මාළිඟයට ආ වෙලාවේ මට පිටු පෑවේ නෑ කියාය. පිටු පෑවේ නැති තරම දන්නේ නම් මාය. මට නොවැන්ද ටික විතරය.

එදා ගිම්හානගේත්, අක්කාගේත් විවාහය සිදුවුනදාය. නගරයේ ප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයක ඉතා උසස් ආකාරයෙන් පැවති උත්සවය මම වර්ජනය කළෙමි. අම්මා නම් උත්සාහ කළේම මා එක්කරන් යාමටමය.

අක්කාව හමුවීම ප්‍රතික්ෂේප කළා වුවද ඇයත් දුරකතනයට දිග හෑලි පණිවුඩ තියා වාක්‍යයෙන් වාක්‍යයට සමාවෙන්නැයි ඉල්ලා එන්නැයි කියා තිබුණි. එහෙත්.. කවුරු කීවත් මට ඒ අවස්ථාවට සහභාගි වන්නට නොහිතුණි. මොනවා කීයා හිත හදා ගන්නට දැඟලුවද, ඒ මගේ හීනවල අයිතිකරුවාය.

මගේ හීනවල නිර්මාතෘවරයාය. ඒ හීන කුඩුපට්ටම් කර මගේම අක්කා පතිනිය කරගෙන කුලගෙයට පිය මනින ඔහු දකින්නට මගෙ හිත හයිය නැතිය කියන්නට මම දැන උන්නෙමි.

අනික අපේ සබඳතාවය රහසක් වු, නොවූ අයට මා දිහා හොරෙන් බලා තැවෙන්නට හෝ රහසින් සතුටු වෙන්නට හෝ මාතෘකාවක් වන්නටද නොසිතුණි. ඒ හින්දා මම ගෙදර නැවතුණෙමි. දහ අතේ කියා නම්මා ගැනීමට නොහැකි වූ තැන අම්මා මා රකින්නට බාරදුන්නේ භූමිටය.

භූමිට මගේ ජීවිතය භාර දෙන්නෙමියි හිතුවේ එදා නොවේය. අක්කාත්, ගිම්හානත් විවාහයෙන් පසු අපේ ගෙදර පදිංචියට එනවාය කියා දැනගත් දවසේමය. ඔවුනගේ බැඳියාව ගැන දැනගත්දාම මා අම්මාගෙන් ඉල්ලු ඉල්ලීමකි. ඒ ඔවුන් දෙදෙනාට මේ නිවසේ පදිංචියට එන්නට එපාය කියන එකය.

ඒත්.. ඒ ඉල්ලීමවත් ඉටු කරන්නට ඔවුන් සූදානම් නෑ කියා දැනගත් විට මම කේන්තියෙන්, තරහෙන්, දුකෙන් වගේම ආත්මානුකම්පාවෙන්ද පෙළුණෙමි. ඔවුන් මග හැර යන්නට තැන් සිතුවෙමි.

මුලින්ම මතක් වූයේ භූමිවය. ගැහැනු ළමයෙකු තම ජීවිතය ගැන හදිසි තීරණ ගැනීමට ඉක්මන් වීම නොහොඹී, එය සැබෑය. ඒත්.. මම මගේ තීරණයේ වැරැද්ද, නිවැරැද්ද ගැන හිත හිතා නොතැවිමි. ඒ තීරණයෙන් මට වන අනර්ථයන් ගැන නොසිතුවෙමි. එකම තීරණයක් ගත්තෙමි. එකම තීරණයක එල්බගෙන සිටියෙමි. හැබැයි ඒ තීරණය එතෙක් තිබුණේ හිතේය.

“යන්..”

අම්මලා හෝටලය වෙත යනතෙක් බලාගෙන සිටිය මම ඒ වනවිටත් ලෑස්ති කරගෙන සිටි ඇඳුම් කැඩුම් සහ අත්‍යාවශ්‍ය ලියකියවිලි සහිත බෑගයත් අරන් භූමි ඉදිරියේ පෙනී සිටියෙමි.

“ගී මැණිකෙ, මොකද මේ?”

භූමි ඇස් දෙකත් නළලේ ඉන්දවාගෙන මා දෙසත්, මා අතවූ විසල් බෑගය දෙසත් බලාගෙන සිටියේය.

“ඔය ඇස් දෙකේ පිට පොට යයි භූමි..”

හරි නම් අද මා කඳුළු විලක් මැද්දේ දවසැරිය යුතුය. එහෙම මා මහ හඬින් සිනාසෙන්නේ උමතුවෙන්ද කියා භූමි සිතුවාද නොදන්නෙමි. ඒ තරම් විශ්මයක් ඔහු නෙත්වල විය.

“භූමි, ඇහෙන් නැද්ද, යන්..”

“කො.. කො.. කොහෙද ගී.. ගී.. මැණිකෙ..”

“වෙන කොහේ යන්නද? ඔයා ඉන්න තැනට.”

මම ඔහුගේ උරිස්සේ එල්ලුණෙමි.

“ගී මැණිකේ, මොනවද මේ කියන්නේ..”

“මේ දැන් ඉඳල මං ඉන්නෙ ඔයා ළඟ. ඔයත්තෙක්ක..”

“ගී මැණිකෙ.. පිස්සු කතා නම් කියන්න එපා.”

“පිස්සු කතා නෙමේ, අයියෝ.. ඔයාට වෙනව මාව බාරගන්න. අද ඉඳන් මං ඔයාගෙ.”

“ඒක.. ඒක.. හරියන වැඩක් නෙමේ..”

“හරියන වැඩක් නෙමේ කියල ඔයා කියන්නේ කොහොමද? මේක තමයි හරියනම වැඩේ.”

“ගී මැණිකේ, පොඩ්ඩක් මං කියන දේ අහන්නකො..”

“මාව නවත්තන්න නම් බොරුවට වචන නාස්ති කරන්න එපා භූමි.. හිතුවක්කාරී එක්ක කොහොම ඉහ ගහල ඉන්නද කියල හිතන්නත් එපා. මෙතන ඉඳන් ඔයා ඉන්න තැනට මාව එක්ක යනකම් විතරක් හිතුවක්කාර වෙන්නම්. ඊට පස්සේ ඕනි එකක් කියල ඔයා කියන කියන පදේට නටන්න උත්සාහ කරන්නම්.”

ඒ මුවේ හිනාවක් ඇදුණේ එතකොටය. ඒකත් මොහොතකටය. ආයෙත් අර බැරෑරුම් බැල්ම ඒ නෙත්වලට ආවේය.

“ගිම්හාන මහත්තයා නැතුව ගියත් ගී මැණිකෙට කවදාවත් වරදින්නෑ ගී මැණිකෙ. ඒ හින්දා ඉවසගෙන ඉන්න. ඔයාගෙත් ඉරණම්කාරයා එයි. එතකන් ඉවසීමෙන් බලාගෙන ඉන්න.”

“මගෙ ඉරණම්කාරයා තවත් එන්න දෙයක් නෑ. එයා ඇවිත් ටිකක් කල්. මට එයාව අඳුරගන්න පරක්කු වුණා.”

” ඔයාගෙ ඉරණම්කාරයා මංම කියල ගී මැණිකේ කොහොමද හිතන්නෙ?”

“කොහොම හරි හිතනවනෙ.. ඔයාට ඒක වැඩක් නෑ.”

“ගී මැණිකෙ.. ගී මැණිකෙ..”

“මොකද මගෙ නම කට පාඩම් කරනවද? මතක නැද්ද මං ගිම්හානත්තෙක්ක පැටලිල ඉන්නකොටත් කියනව ගිම්හාන මහත්තයා ඉක්මන් නොවුණ නම් ගී මැණිකෙ කසාද බඳින්නෙ මේ භූමි කියල. මතක් කරන්න භූමි, මතක් කරන්න.. සැරයක් දෙකක්ද එහෙම කියල තියෙන්නේ ඔයා?”

විටෙක කතා කර කර ඉන්නා ඇසිල්ලේ භූමි ඇසිපිය නොහෙළා මා දෙසම බලා සිටින්නේය. ඒ බවක් මා දකින්නේ මා ඇසුවකට ඔහුගෙන් ලැබෙන පිළිතුර පමාවනකොටය.

“භූමි..” මා ඔහුගේ නෙත් බැල්ම කලතමි. තිගැස්සෙන භූමි සසල හිනාවක් පායි.

“මොකෝ.. මා දිහාවෙ බලාගෙන භාවනා වඩනවද?”

“මට අයිති වුණානම් කියල හිතුණ.”

ඔහු නිනව් නැතුව වගේ කියන්නේය.

“කොහෙද, මට හම්බ වුණේ පරක්කු වෙලානෙ. ගිම්හාන මහත්තයා ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම අයිති කරගෙන නොවැ.”

ඔහු සුසුමක්ද හෙලන්නේය. මට ඉතිං, ඒවා භූමිගේ අතිශය සාර්ථක රංගනයන් විතරකි. මම අත්පුඩියක්ද ගසන්නෙමි.

“රඟපාන්න ගියා නම් අතිවිශිෂ්ඨ රංගනයට හිමි කුසලානය අත නෑර අවුරුද්දක් ගානේම ගන්න තිබුණ. අපරාදෙ.. ඇත්තමයි භූමි.. හැකියාව.. දැන් වුණත් පරක්කු නෑ. ට්‍රයි එකක් දීල බලමුද?”

එදවස මම ඔහුට සරදම් කළෙමි. නමුත් එදා මගේ වචනය ආපසු හරවා නොගන්නට වාසියට ගත්තේ ඔහුම කී එවන් වදන්ය.

“මතකද? ගී මැණිකෙම කිව්ව, මගෙ රඟපෑම් අතිවිශිෂ්ඨයි කියල.”

“දැන් එතකොට ඒ රඟපෑම් කියල මං හිතාගන්න ඕනි, එහෙමද? ඔව්.. ඉතිං, හැම එක්කෙනාම හොඳම නළු නිළියො. එයාල ඒ කුසලානය ගන්න පාවිච්චි කරල තියෙන්නේ මේ මාව. හරි, කමක් නෑ. ඔයාලගෙ රඟපෑම අතිම අතිවිශිෂ්ඨයි. මං යනව.”

එහෙම කියාගෙන මම අර තඩි බෑගයත් අමාරුවෙන් උස්සාගෙන ඉස්සරහට අඩියක් දෙකක් තිබ්බෙමි. මා මග හරහට හිටියේ භූමිය.

“භූමි.. අයින් වෙන්න.”

ඔහු ගතට අතක්වත් නොතියා, හිසවත් නොඋස්සා කිව්වෙමි.

“හිතුවක්කාර වෙන්න එපා.”

“ඔයාට ඒවයින් වැඩක් නෑ භූමි.”

“මට වැඩක් වෙනවද, නොවෙනවද කියල අද නෙවෙයි වෙන දවසක කියල දෙන්නම්. එතකන් ඉවසන්න.”

“මෙච්චර ඉවසන මටද ඔයා තවත් ඉවසන්න කියන්නේ භූමි. නෑ, මේ ගීමුතුගෙ ඉවසීම අදින් ඉවරයි.”

“මං කියනවට තව චූටි කාලයක් ඉවසිල්ලෙන් ඉන්න ගී මැණිකේ.”

“බ්බ්බෑහ්..”

“ගී මැණිකෙ භූමිගෙ. භූමි කියන දේ ගී මැණිකේ අහන්න ඕනි.”

“කිව්වනෙ, අහන්නම්. මාව ඔයා ළඟට එක්ක යන්න.”

“මේ වෙලාව ඒකට වෙලාව නෙමෙයි. තේරුම් ගන්න රත්තරන් මැණිකේ.”

“නෑ, මේක තමයි කියපුම වෙලාව. තීරණය තියෙන්නේ ඔයාගෙ අතේ. කෙලින් තීරණයක් ගන්න භූමි.”

“කෙලින් තීරණයක් ගන්න බැරිකමක් නෑ. ඒත්.. මේ වෙලාවෙ ඔයා මාත් එක්ක එනව කියන්නේ ඔයාට ගොඩක් දුක් විඳින්න වෙනව කියන එක. දුකක් නොදී බලාගන්න පුළුවන් දවසක් එයි, ගී මැණිකේ.. එතකන් ඉවසන් ඉන්න මගෙ හොඳ කෙල්ල වගේ.”

“ඕනි දුකක් උහුලගන්න ලෑස්ති වෙලා මං මේ තීරණය ගත්තේ භූමි. මාව එක්ක යන්න.”

“කොහෙට එක්ක යන්නද? මගේම කියල තැනක් නැතිකොට.”

“මගේ කියල තියෙන හැම දෙයක්ම අද ඉඳන් ඔයාගෙ. ඒ හින්දා ඔයාගෙ තැනය, මගෙ තැනය කියල වෙනසක් හිතන්න එපා.”

“එහෙම කිව්වට ගී මැණිකේගෙ අම්මා ගී මැණිකෙව මට දෙන එකක් නෑ.”

“මම අම්මගෙ දුව බව ඇත්ත. ඒත්.. මං මගෙ. මගෙ ගැන තීරණ ගන්න මට පුළුවන් භූමි.”

“අර වැටිල ඉන්න ගෙපැලත් නැතුව මහමගට වැටුණොත් මං කියල ඔයා කොහෙට එක්ක යන්නද ගී මැණිකේ?”

“ඒක නැතිවෙන්නෙ නෑ. ඒක නැති වුණත් මේ ඉඩමෙන්ම අපිට ගෙයක් හදාගන්න පුළුවන්. අප්පචිචී මේවා නිරවුල්ව අපි හතර දෙනාට බෙදල දීල තියෙන්නේ.”

“ඔයාගෙ දේපලවලට වහල් වෙන්න මට බෑ.”

“වහල් වෙන්න ඕනි නෑ. මගෙ දෙයක් තියේනම් ඒ ඔක්කොම ඔයාගෙ. එච්චරයි මට කියන්න තියෙන්නේ.”

“මට තව ටික දවසක් දෙන්න ගී මැණිකේ.”

“දවසක්.. දවසක් නෙමේ තව එක විනාඩියක් දෙන්නෑ. පිරිමියෙක් නේද? පිරිමියෙක් විදිහට එක වචනයක් නැත්නම් මොකටද ඔය පිරිමිකම.”

මම ඔහු නොතකා යන්නට හැදුවෙමි.

“මගෙ පිරිමිකම ටෙස්ට් කරන්නද ඕනි.”

හිතන්නට කිසිවක් නොතැබීය. ඔහු මා ගත්තේ කරටය. දඟලා දඟලා බිමට බහින්නට හැදුවාට ඒ යදඩු ලිහිල් නොවිණ. වදනක්වත් කීවේද නැත. මා ඔහු කරමතින් ගෙන බිමට තිබ්බේ ඔහු වෙසෙන නිවස ඇතුළටත් ගියාට පස්සේය.

“උස්සගෙන ආවෙ ආයෙ යවන්න කියල හෙම හිතනව නෙමේ. මොන දුකක් මොන කරදරයක් ආවත් දැන් ඉතිං මාත් එක්ක ඉන්න වෙයි.”

“මාත් එළියට බැස්සේ ආයෙ තනියම යන්න නෙමේ.”

“කවදාකවත් පසුතැවෙන එකක් නැති වෙයිද?”

භූමි, මගේ මුහුණ මත වැටී දඟලන අකීකරු කෙස් රොදවල් කීපයක් කන දෙපැත්තෙන් ඇතුළට යවා හිස මෘදුව සිප ගනිමින් ඇසුවේය.

“පසු තැවෙනවා නම් තැවෙන්නෙ, අර ඉස්සර ඔයා කියනව වගේ මට මුලින්ම හම්බ වුණේ නැත්තේ ඇයි කියල විතරයි. වෙන පසුතැවීමක් වෙන්න ඉඩක් ඔයා තියන එකක් නෑ කියල මට විශ්වාසයි.”

“ඔය තරම් විශ්වාසයක්.”

“ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරි එළියක් දැක්කත් බයවෙන්න ඕනි තමයි. ඒත්.. මන්ද භූමි, මට එහෙම බයක් දැනෙන්නෙම නෑ.”

මම ඔහුගේ ළපැත්තට බර වූයෙමි. ඔහු ආයෙත් වතාවක් හිසට හාදුවක් දුන්නේය. ගසක් වටා එතෙන ළවැලක් සේ තවත් තවත් ඔහු වෙතටම බැඳෙද්දී ඔහු හාදු වැස්සකින් මා නැහැවූයේය.

“මිහිජ බබාගෙ අම්මා ඉන්නව නේද?”

භූමි නැහැවූ හාදු වැස්සේ මතකයෙන් මා මිදුණි. වහා හුනස්නෙන් නැඟී සිටියෙමි. වාට්ටුවට වෛද්‍යවරයා ඇවිදින්ය. හෙදිය භූමියෙන් උපන් මිහිජගේ මව් සෙව්වේ ඒකය.

“ඔයාද මිහිජ බබාගෙ අම්මා?”

මැදි වයස් වෛද්‍යවරයා මගේ ඉහේ සිට පහළට බැලුවේය. මම හිස වැනුවෙමි.

“කොහෙද වැඩ කරන්නේ?”

“සරු ගෘප් එකේ.”

“දන්නවද, දරුවෙකුට මාස හයක් යනකම් දෙන්න කියල තියෙන මව්කිරි විතරයි.”

මම ඒකටත් හිස වැනිමි.

“දැන දැන කරල තියෙන්නේ බොහොම බරපතල වරදක්. දරුවගෙ අයිතිය නැති කළාට හරිනම් අම්මට විරුද්ධව නඩු දාන්නත් පුළුවන් දන්නවද?”

“සේවා අවශ්‍යතාවය හින්දා වැඩට යන්න උණේ ඩොක්ටර්, කැමැත්තෙන් ගියා නෙමේ.”

වෛද්‍යවරයා නළල රැලිගන්වා මා දෙස බලද්දී හෙදිය ‘සේවා අවශ්‍යතාවය..’ කියා මගෙම වචනයක් පුනරුච්චාරණය කරමින් සරදම් සිනා සැලුවාය. ඇයට සිනාවක් වී ඇත්තේ මා මුවින් ඉබේටම පිටවූ වචනයයි.

“ජොබ් එකට දස දහස් ගුණයක් මට මගෙ දරුව වටිනව ඩොක්ටර්.. ඒත්.. ඒ දරුවව ලස්සනට හදාවඩා ගන්න නම් මට මගෙ ජොබ් එකත් නොසෑහෙන් වටිනව. රස්සාව නැති කරගන්නව වගේ නෙමෙයි ඩොක්ටර් රස්සාවක් හොයාගන්න එක.

දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට හෝටලේක වළන් හෝදන රස්සාවක්වත් දෙන්න කැමති නෑ. අතේ තිබුණ රස්සාව නැති කරගෙන මාස හයක් දරුවට මව් කිරි විතරක් දුන්න නම් ඩොක්ටර් ඉතිරි අවුරුදු ගානම මගෙ දරුවට කන්න බොන්න දෙන එක සෑහෙන්න ප්‍රශ්නයක් වෙනව.

ඒ හින්දයි දරුවව දෙවෙනි තැනට වැටුණේ. නැතුව ආදරේ අඩුවක් නෙමෙයි ඩොක්ටර්.”

මම කියාගෙන කියාගෙන ගියෙමි. වෛද්‍යවරයාගේ මුවේ මුලින් මා වෙත හෙළූ නුරුස්නා බැල්ම දියාරුව ගිහින් දයාර්ද බැල්මක් ලියවිණි. සරදම් හිනා නැඟී හෙදි නිලධාරියණියද කට කලියාවක් නැතුව කියවන මා දෙස බලා සිටියේ විශ්මයෙන් වගේය.

“දරුවා බලා ගන්නෙ අම්මාය කිව්වද?”

“ඔව්, ඩොක්ටර්.”

“දරුවන්ට අලුත් අලුත් ආහාර දෙනකොට අම්මට ගොඩක් සැළකිල්ලෙන් ඒව දෙන්න කියන්න. දොවපු කිරි වුණත් දෙද්දී හොඳ පරිස්සමට දෙන්න කියන්න.”

වෛද්‍යවරයා මා කෙරෙහි අනුකම්පාවෙන් කිව්වේය. ගොඩක් අය කියන්නේ ඇත්තය. කතාවෙන් කෙනෙකු නම්මා ගැනීමේ යම් හැකියාවක් මට ඇතැයි හිතුණි. නැත්නම් වෛද්‍යවරයා හිටියේ මා කෙරෙහි මහ තරහක් හිතේ තියාගෙනය. ඒත්.. ඉතිං මගේම දරුවාගේ සෞඛ්‍ය සම්පත්තිය ගැන හිතාය.

“බය වෙන්න දෙයක් නෑ. පොඩි ඇලජික් එකක් වගේ. අම්මාත් අන්නාසි, තක්කාලි වගේ දේවල්වල නොකා පරිස්සම් වෙනවනම් බොහොම හොඳයි. හෙට දිහාවට ටිකට් කපන්න පුළුවන්.”

මම වෛද්‍යවරයාට මුව නොසෑහෙන්න තුති පිදුවෙමි.

අක්කාගේත්, ගිම්හානගේත් දූ සිඟිත්තියගේ උපන්දිනය අදය. සරුසාරෙට වසරේ උපන්දින සැමරුම තියෙන්නේ මේ වහළයටමය. අම්මා වරින් වරම මට එහි යන්නැයි අඬ ගැසුවද, බොහෝ ඉවසීමෙන් ඒ ඇරයුම ප්‍රතිකේෂ්ප කළෙමි.

මා යන්නේ නැතිනම් අම්මා හැදුවේ පුතාව එක්ක යන්නටය. නිවාඩුත් දමා ගෙදර නතර වුණේ පුතුපැටියාව බලා කියාගෙන ඉන්න තියෙන හින්දාය. උපන්දිනය සමරන්නට එන පිරිස අතරට පුතු පැටියාව අරගෙන යනවාට ඇති අකැමැත්ත හින්දාය.

එහෙව් එකේ අම්මාට පුතුව පහළට අරගෙන යන්නට දෙන්නට නොහිතුවෙමි. අම්මා පහළට ගියේ මා එක්ක තරහ හිත් ඇති කරගෙන වගේය. අම්මාගෙ තරහ ගැන මම වද නොවුණෙමි. කවුරු මොනවා කීවත් මේ ඉන්නා විදිහ මට හොඳය.

සුභ පැතුම් ගීයත් සමඟ අත්පොළසන් නාදයද ඇසිණි. උපන්දින කේකය කපනවා විය යුතුය. හුදකලාවට මම ප්‍රිය නැත්තෙමි. සුහද කෙළිලොල් ඇසුරට ප්‍රිය වෙමි. නමුත් විහින් හුදකලාව ඉන්නේ හිත රිදවෙන තැන් අලුත් වනවාට බය හින්දාමත් නොවේ. අප්‍රිය කරන රූ නෙත් මත්තේ ගැටෙනවාට ඇති අප්‍රියත්වය හින්දාය.

අම්මා මට බැන බැන පහළට බැස්ස සැණින් මම පහළට බහින තැන වූ දොර වසා අගුලු ලෑවෙමි. ඉස්සරහ දොර නම් තිබුණේ වේලපහින්ම වසාය. වස්තූටත් සැරින් සැරේ යන්නට එන්නට තියාගන්නට එපා කිව්වායින් ඔහුත් එනවානම් එන්නේ ඉන්නටම බැරු වූ පසුය කියන්නට දැන උන්නෙමි. ඒ හින්දා දොර අගුලු ලා කොටුවී මම මගේ පුතු පැටියාත් සමඟ උන්නෙමි. ඇතුළේ දොර නොව එළියේ දොරට තට්ටුවක් සමඟම සීනුව නාද වුණේ ඔය අතරේය.

🌹💐🌹💐 සඳුදාවේ වස්සාන මල් කැකුළක් පිපෙනකම්.. ආයුබෝවන්.. වාසනාවන්