Home Story Book නිමක් නැති ආදරේ නිමක් නැති ආදරේ – 43 කොටස

නිමක් නැති ආදරේ – 43 කොටස

0
140

43 කොටස

“කොහෙ යනවා කියලා හිතාගෙනද අයිසේ යන්නේ…..”

සදෙව් සද්දෙට එහෙම ඇහුවේ පාර පැනපු මනුස්සයගෙන්…

අම්මෝ එයා කෑ ගහපු පාරට මාත් බය වුනා…සදෙව්ට මෙච්චර කේන්ති යනවා මං මේ දැක්කමයි….

ඒ මනුස්සයත් අපිට රවාගෙනම පාර අයිනට ගියේ…

ඒත් එක්කම කාර් එක වේගෙන් ඉස්සරහට ගත්තු සදෙව් රවාගෙනම වගේ ඩ්‍රයිව් කලේ මං දිහාවත් බලන් නැතුව…

බයටම මමත් ආයේ කතාවට ගියේ නෑ…

දේව් ලඟදිත් මං එහෙමයි…එයාට තරහ ගිහින් ඉන්න වෙලාවට මම මී පැටියා වගේ සද්ද නැතුව ඉන්නවා…ඊටපස්සෙ ටිකකින් කේන්ති නිවුනම එයාම

ඇවිත් කතා කරනවා..

මං සදෙව් දිහා කීපසැරයක්ම බැලුවත් එයාට දැනුනෙවත් නැද්ද කොහෙද…එයා හිටියේ මොකක් හරි ලොකු කල්පනාවක…..

ටික වෙලාවකට පස්සේ කාර් එක වේගය අඩු කරපු සදෙව් පාරේ අයිනට වෙන්න කාර් එක නැවැත්තුවේ..පාරේ තදබදයත් ටිකක් අඩු තැනකදි…

“ඇයි සදෙව්…..”

එයා ඔලුව පාත් කරන්ම හිටිය නිසා මං ඇහුවේ එයාගෙ උරහිසට අත තියමින්…එයාට ගොඩක් අමාරුද දන් නෑ….

මං කතා කරද්දි මගෙ දිහා බලපු එයා,

“ටිකක් ඉඳලා යමුද…පොඩි ෆේන්ට් එකක් වගේ…”

“අනේ….ඉන්න වතුර ටිකක් බොමු….”

හෑන්ඩ් බෑග් එක අවුස්සමින් මං හෙව්වෙ වතුර බෝතලෙ..වතුර බෝතලේ මූඩිය ඇරපු මං ඒක දුන්නේ සදෙව්ගෙ අතට…

වතුරු උගුරු කීපයක් කටට හලා ගත් එයා කාර් එකේ දොර අරිමින් එලියට බැස්සා…

මං එයාදිහාමයි බලන් හිටියේ …

ඊටපස්සේ බෝතලේ වතුර ටිකක් අතට හලාගත්තු එයා ඒ වතුරෙන්ම මූන තෙමාගන්න ගමන් කාර් එකේ බොනට් එකට හේත්තු උනා…

“මොනවද ඔයා ඔච්චර හිතන්නේ….”

එයා මොනවහරි කල්පනා කරනවා වගේ තෙරුන නිසා මං මටම මුමුනගත්තේ එහෙම..කාර් එක දොර ඇරගත්තු මමත් එයා ඉන්න තැනට ගියා…

“ලස්සනයි නේද අර ඈතින් පේන කඳු වළල්ල….”

මං ලඟට එද්දි එයා එහෙම ඇහුවා…ඒ දිහා බලලා ලාවට වගේ හිනා වුන මම කෙලින්ම බැලුවේ ඒ ඇස් දිහා…එයත් මගේ ඇස් දිහාම බැලුවේ ඒ මොහොතෙමයි…

හිතට දැනුන මොකද්දො හැඟීමක් නිසා මං ඉක්මන්ට මගේ ඇස් බිමට හරවගත්තේ…

“ඉතින් මොකද්ද අපි අන්තිමට කතා කරේ…ම්ම්ම්..අහ්…මූනෙ ලප තියෙන කොල්ලො වාසනාවන්තයිනේ….”

එයා එහෙම කියද්දි මං ආයෙත් බැලුවේ එයාගේ මූන දිහා…ඔව් එයාගෙ ඇහිබැම උඩ ලපයක් තියෙනවා…ඒත් කලින් මට ඒ ලපය එච්චර මතක තිබුනේ නෑ..

දැන් තමයි මං ඒක හරියටම දැක්කේ…

“ලස්සනයි ඒක….”

මං කිව්වෙ එයාගේ පුංචි ලපය දිහා බලාගෙන…

මං එහෙම කියද්දි එයාට පුංචි ආඩම්බරකමක් දැනුනද කොහෙද ආඩම්බර හිනාවක් දැම්මේ….

“අපෝ… ජීවිතේ පලවෙනි වතාවට නේ කෙල්ලෙක් ලස්සනයි කිව්වෙ….”

මං හිනාවෙවී කියද්දි එයාටත් හිනා…

“ඔව්නේ…මට ඉතින් බොරුවට හරි ලස්සනයි කියන්නෙ අම්මා තමයි…”

එයා අත් දෙක පපුවෙ බැඳගනිමින් මං දිහා බලාගෙන කිව්වේ…

“බොරු බොරු….මං දන්නවා කලින් යාලුවෙලා හිටියානේ….”

මං කිව්වෙ එයාට බොරුවට රවමින්…

“ම්ම්ම්…ඔක්කොම දන්නවා නේ…කොහොමද දන්නේ…”

“ඇයි ඉතින් සමහරු හීනෙමුත් සමහරුන්ගෙ නම් කියනවා මට ඇහිලා තියෙනවා…”

මං කිව්වෙ එයා දිහා ඇස් කොනෙන් බලමින්…

“මම..? හීනෙන් කියනවා..??” එයා ඇහුවේ පුදුමෙන්..

“ඒ විතරක් ඈ…අර ගෙදර බිත්ති වලත් ලියලා තියෙන්නේ…”

මං කියද්දි හෙමින් හුස්මක් හෙලපු එයා ආයෙමත් බැලුවේ ඈතින් පේන කඳු දිහා…

“ඒක ලිව්වෙ කවුරු කියලද ඔයා හිතන්නේ…??”

එයා කිව්වේ ඈතක් බලාගෙන…

“වෙන කවුද.. හංසි මිසක්…”

“හ්ම්ම්ම්…..නෑ තාරු…ඒක ලිව්වෙ එයා නෙමේ….”

“එයා නෙමේ….?? එහෙනම්…”

“ඒක ලිව්වෙ මගෙ අම්මා….”

“ඒත්….”

“ඔව් මැනික….එයා අසනීප වෙන්න කලින්..එයා තමයි එහෙම ලිව්වේ…මං හිතන්නෙ එයාට මේ ලෙඩේ ගැන කලින්ම දැනිලා තිබුනේ…

එයා ඒක බලාපොරොත්තුවෙන් හිටියද කියලත් මට වෙලාවකට හිතෙනවා…”

“ඒවා ලියල තියෙන්නෙ ලේ වලින්….”

“හ්ම්ම්ම්….ඔව්…මං ඇහුවම කිව්වෙ එලවලු කපද්දි ඇඟිල්ල කැපිලා ලේ ගොඩක් ආපු නිසා නිකමට වගේ ලිව්ව කියල මට කිව්වෙ…”

“පව්…අම්මා ඔයාට ගොඩක් ආදරෙයි සදෙව්…”

“එයා ඒක නිකමට ලිව්වත් මට ඒක හුඟාක් වටිනවා මැනික…පහුගිය අවුරුද්දම මාව ජීවත් කරේ ඒ වචන ටික කිව්වොත් හරි….එහෙම නැත්නම් මට මොනව වෙයිද කියල මං වත් දන් නෑ….”

එහෙම කියපු එයා ඇගිලි තුඩු වලින් දෑස් තද කලේ..
පිට අල්ලෙන් ඇස් පිහිදගත්තු එයා ලාවට හිනාවෙමින් ආයෙත් මං දිහා බැලුවා…

“හැමදේම හොඳින් විසඳේවි….ඒ නිසා දුක් වෙන්න එපා…” මං කිව්වේ එයාගේ උරහිසට අත තියමින්…

ඇත්තටම ඒ වචන දේව්ගේ…එයා මට නිතරම කියන ඒ වචන මං අද සදෙව්ට කිව්වේ සදෙව්ගෙ හිත හදන්න…

“ඔයා හිනාවෙද්දි කම්මුල් වල ගැහෙනවද…”

එයා ඇහුවේ මගෙ දකුනු පැත්තෙ කම්මුල දිහා බලමින්..

“නෑ….” කම්මුල ස්පර්ශ කරපු මං පුදුමෙන් එයා දිහා බැලුවේ..

“නෑ මං දැක්කනේ…ආයේ හිනාවෙන්න…”

එයා කියද්දි මං ලාවට හිනාවෙලා එයා දිහා බලන් හිටියේ..

“ඔහොම නෙමේ හොඳට හිනාවෙන්න බලන්න….”

“අයියො මට බෑ…..”මං ලැජ්ජාවෙන් හිනාවෙවී කිව්වේ..

“අනේ අනේ එකපාරක්….”

“මගෙ වල ගැහෙන් නෑ අනේ…මං වාසනාවන්ත නෑ….”

“අහ් වල ගැහෙන්නෙ වාසනාවන්ත අයගෙද…”

“ඔව්…” මං කිව්වෙ ටිකක් ආඩම්බරෙන්…

“ඇත්තද…. එහෙනම් මෝඩි දැනගන්න..කම්මුල වල ගැහෙන්නෙ ඩී න් ඒ එකක් රෝන්ග් සයිඩ් ගියාම.. වාසනව නෙමේ… හරිද…ඒක ජානමය දෝශයක්….”

එයා කිව්වෙ මට හෙමින් ටොක්කක් අනිමින්…

“අනේ….හරි හරි දොස්තර මහත්තයෝ…ඒ වුනාට කට්ටිය කියන්නෙ එහෙමනේ…වාසනාවන්ත අයගෙ තමයි එහෙම වෙන්නේ….”

මං ආයෙමත් ආඩම්බරෙන් වගේ එහෙම කිව්වේ…

“ඇත්තද….තව මොනවද එහෙම තියෙන්නෙ…??”

“ඇයි නලදත්…ඒවත් ඒ වගේ….වාසනාවන්ත අයට තමයි තියෙන්නේ…”

“අහ්…ඩ්‍රැකියුලා දත්…මං හිතුවා ඒවා තියෙන්නෙ ලේ බොන්න කියලා…”

“අනේ කටවහන් ඉන්නකො….ඒවා තියෙන්නෙත් වාසනාවන්ත අයට හුම්…” එයාට රවමින් මං ආඩම්බර විදියට හිනාවුනා…

“අප්පේ ඇත්තද…දැන් කාටද ඔය වාසනාවේ නල දත් තියෙන්නේ… ඔයාටද..කෝ ආ කියන්න….බලන්න…”

එයා කිව්වෙ මගෙ කටට එබෙමින්…

එයාව එහාට තල්ලු කරපු මං,

“පිස්සුද අනේ….එහාට වෙන්න..මගෙ නෑ…
නලදත් තිබුනේ දේව්ට…”

“ඇත්තද….ඉතින් ආයේ මොනවද එයාගේ තිබුනේ…කම්මුල් එහෙමත් වල ගැහෙනවද….??”

“හ්ම්ම්ම්ම්….එයා හිනාවෙද්දි හරිම ලස්සනයි…කතා කරද්දිත් එහෙමයි….

ඒ නලදත තිබුනේ වම් පැත්තෙට වෙන්න…හිනාවෙනකොට කම්මුල් දෙකම වල ගැහෙනවා…

එයා හිනාවෙද්දි කෙල්ලො කන්න වගෙ එයා දිහා බලන් ඉන්නේ…මට නම් ඒ වෙලාවට හරි කේන්ති….. ඊඊඊඊ…”

“මට හිතාගන්න පුලුවන් ඒ කේන්තියේ තරම…”

එයා කිව්වෙ ඔලුවත් කස කස අහක බලාගනිමින්…ඒත් ඇස් කොනෙන් මගෙ දිහා බලමින්…

“අනේ මේ ඉන්න…හැබැයි අර පාර පැනපු මනුස්සයට ඔයා කෑගහපු තරම් නම් ඒ කේන්තිය සැර නෑ……”

“මං එච්චර සැරට කෑ ගැහුවද….”

“නැතුව…මාත් බය වුනා…”

“ආහ්….ඒ කියන්නේ ඔයා බය වුනානේ මට කේන්ති යද්දි…..”

“නෑ නෑ එහෙම බය වුන් නෑ…..මං මොකටද බය වෙන්නේ…” මං කියද්දි ලාවට හිනා වුනු එයා.,

“මට එහෙම කේන්ති යන් නෑ මැනික….

හැබැයි හුඟක් දුක හිතුනම නම් මං දේවල් ඉක්මන්ට අතාරිනවා…

කොච්චර ඕන කියලා හිතුනත් මට පුලුවන් ඒ වෙලාවට ඕනිම දෙයක් සදහටම මගේ ජීවිතෙන් අයින් කරලා දාන්න….”

එයා ඒක කිව්ව විදියනම් මට එච්චර ඇල්ලුවේ නෑ….අර කතාවකුත් තියෙන්නේ නිසල දිය ගැඹුරුයි නිහඬ මිනිසුන් දරුණුයි කියලා….
සදෙව්ත් අන්න ඒ වගේ කෙනෙක්ද කොහෙද….

“මොකෝ කල්පනා කරන්නේ…බය හිතුනද….”

“අම්මො ඔයා නිකම් සිල් අරන් වගේ හිටියට හරි සැරයි….”

“අහ්…අයියො මං එහෙම නෑ…”

“නැත්තෙ නෑ දැන් කිව්වෙ ඒකනේ…

තරහ යන එක නම් ටිකකින් නිවෙනවා කියමුකො..ඒත් අතෑරලම දානවා කියන්නෙ…

ඒක දරුනු වැඩි….”

“අයියො…විහිලුවක් කලේ…..” එයා කිව්වේ ආයෙත් මට හෙමින් ටොක්කක් අනිමින්…

“විහිලුවක් නෙමේ…ඒක ඇත්තටම තමයි කිව්වෙ…”

“අනේ මැනික ඇත්තමයි මං ඒක නිකමට කිව්වෙ…

මේහ්..ඒක නෙමේ….මට දේව් ව බලන්න ඕනි…ඔයා ගාව පොටෝ එකක් නැද්ද එයාගේ….”

සදෙව් අහද්දි මං බැලුවේ එයාගේ මූන දිහා…

“හ්ම්ම්ම්ම්….ඉන්නකො…”

එහෙම කියපු මං කාර් එක කිට්ටුවට ගිහින් කාර් එකේ දොර ඇරියා…මගේ හෑන්ඩ් බෑග් එක අවුස්සපු මං හෙව්වෙ මගෙ පර්ස් එක…

පර්ස් එකත් අරන් මං ආයේ ගියේ සදෙව් ගාවට…

පර්ස් එකේ විනිවිද පේන කවරෙ අතරින් මං එලියට ගත්තේ දේව් මා එක්ක ඉන්න පුංචි පොටෝ එක…

මේ ඉන්නෙ එයා….මං සදෙව්ට පෙන්නද්දි එයා ඇස් හීනි කරලා දේව්ගෙ රූපෙ දිහා බැලුවේ….

මගේ අතින් එයාගේ අතට පොටෝ එක ගත්තු එයා ඒ රූපේ දිහා බලන් හිටියේ බර කල්පනාවකින් වගේ…

“දේව්….එහෙනම් ඒ උබමයි….ඒත් ඒක හීනයක්…කවදාවත් දැකල නැති උබේ රූපෙම හීනෙන් මට පෙනුනේ කොහොමද….

හ්ම්ම්ම්…මට මේ හැමදේම හොයාගන්න ඕනි…

ඒ හිටියේ උබම නම්….අද ආයෙත් සැරයක් වරෙන් මගෙ ඉස්සරහට…උබට මට කියන්න දේවල් වගේම මට උබෙන් අහන්නත් හුඟක් දේවල් තියෙනවා……”

“ඒයි…මොනාද කල්පනා කරන්නේ…” මං ඇහුවේ සදෙව්ගෙ කල්පනාව බිඳමින්…

“ඇත්තටම දේව් ලස්සනයි මැනික…ඒ වගේම ඔයත් ලස්සනයි….”

“ඔතන ඔය ඉන්නේ නිල් පාට චෙක් ශර්ට් එකක් ඇඳන්නේ….ඕක ගත්තේ පේරාදෙණිය ගාඩ්න් එකේදි….

ඒත් එයා හුඟක්ම ලස්සන ඒ වගේම ගොඩක් කඩවසම් එයාගේ යුනිෆෝම් එකට…

අපේ ආර්මි යුනිෆෝම් එකට….”

හවසට කොටසක් දෙන්නම් පැටව්නේ🙈❤

කතාව ලස්සනද හි හි……😁🥰👀

කර්තෘ අයිතිය සුරකින්න