28 Episode

ගොඩේ පතිනි

“පහන්දි අද මට ගොඩක් සතුටු දවසක්.මගෙ ඇසකින් මට දකින්න පුලුවන් උනා ඔයා ඇවිදිනවා.මාස ගානක් තිස්සෙ මං කොච්චර ආසාවෙන්ද හිටියෙ ඔයා මෙහෙම ඇවිදිනවා බලන්න…”

අද වෙද මහත්තයගෙ එක එක ඇසක දාලා බැන්ඩේජ් එක් ගැලෙව්වා.ඒ ඇසේ තුවාලෙ දැන් හොඳයි.ලබන සතියෙ තමයි අනික් ඇසේ ඔපරේෂන් එක තියෙන්නෙ.

එක ඇසකින් එයා මං ඇවිදින දිහා බලාගෙන සතුටු කඳුලු හෙලුවා.මාව බ/දා/ගෙ/න එයාගෙ සතුට ප්‍රකාෂ කරා.දුව ඉපදුනු දවසට පස්සෙ ඔහු මේ තරම්ම සතුටින් ඉන්නවා මං ඔය දැක්කාමයි.

දූ පැටියටත් හරිම සතුටුයි දැන් එයාගෙ අප්පච්චිට එයාව පේන නිසා.

“දෙයියන්ගෙ පිහිටෙන් ඔපරේෂන් එකත් සාර්ථක වෙලා අයියගෙ අනික් ඇසේ පෙනීම ඉක්මනටම ලැබෙන්න ඕනි.මං අයියා වෙනුවෙන් බෝධි පූජාවකුත් තියන්න ලෑස්ති කරා…”

“ඔයාට ගොඩක් පිං.මං වෙනුවෙන් මේ කරන දේවල් වලට…”

කෙලි පැටික්ක දණ ගාගෙන ඇවිල්ලා වෙද මහත්තයගෙ කකුලක් අල්ලගෙන නැගිට්ටා. පැටියට හරි සතුටුයි අප්පච්චිගෙ එක ඇසක් පේන නිසා.මේ දවස් ටිකේම එයා දුකෙන් වගේ හිටියෙ අප්පච්චිට එයාව නොපෙනුනු නිසා.

“මගෙ බෝනික්කි.දැන් අප්පච්චිට ඔයාව පේනවා හොඳේ.මගෙ මැණික් කැටේ හබුං කෑවද?…”

කෙ/ල්/ල අප්පච්චිගෙ අනික් ඇසේ බැන්ඩේජ් එක අතගානවා.පැටියට තේරෙනවා අප්පච්චිට ඌවා වෙලා කියලා.

“මොන හබුංද?මේ/කි බොන්නෙම කු/ක්/කු විතරයි.බත් ටිකක් කවාගන්න ගුටියක් දෙන්නම ඕනි.නැත්නම් කන්නෑ.හරිම මුරණ්ඩුයි අයියෙ මේ/කි…”

“අම්මි මේ ඇත්තද කියන්නෙ දෝණි?ඔයා හබුං කෑවෙ නැද්ද?ඔන්න අද ඉඳන් එහෙම බෑ.හබුං කෑවෙ නැත්නම් අම්මා මීට පස්සෙ කු/ක්/කු දෙන්නෙත් නෑ…”

වෙද මහත්තයගෙ දකුණු ඇසට උඩින් ඇහිබැම හරියෙන් තුවාල කැලලක් තියනවා. එතෙන්ට වෙන්න ඇති මගෙ අතින් මල් පෝච්චි පාර වදින්න ඇත්තෙ.දැන් ඒ තුවාලෙ හොඳටම සනීපයි.

“කකුල් වලයි තුනටියෙයි මොකුත් ප්‍රශ්නයක් නෑ නේද නංගි?හිරි වැටීමක්,කැක්කුමක් එහෙම?…”

“නෑ අයියෙ.ඒත් මං හයියෙන් දුවන්න කකුල් රිදෙන එහෙම වැඩ කරන්නෑ.බයයි ආපහු ප්‍රශ්නයක් උනොත් එහෙම…”

“එහෙම මොකුත් වෙන්නෑ නංගි.බය නැතුව ඉන්න.කොහොම හරි අන්තිමේදි අවුරුදු ගානක් තිස්සෙ බලන් ඉඳපු දවස උදා වුනානෙ…”

“ඔව් අයියෙ.මේ හැම දේකටම ඔයාට ගොඩක් පිං.ඔයා නිසා තමයි මං අද ඇවිදින්නෙ.මගෙ මුළු ජීවිත කාලෙම ඔයාට ණයයි…”

මං ඔහුගෙ අත් දෙක අල්ලලා සි/ප ගත්තා. මං වෙනුවෙන් මේ තරම් ලොකු කැපකිරීමක් කරපු ඔහුට ඉක්මන් සුවය මං හදවතින්ම ප්‍රාර්ථනා කරා.

“පිං ඕන්නෑ නංගි.ඔයයි දරුවයි හැමදාම මං ළඟින් ඉන්නවා නම් මට ඒ හොඳටම ඇති. ඔයා මට බෝනික්කියක් වගේ ලස්සන දූ පොඩිත්තක් දීලා තියෙන්නෙ.ඉතින් වෙන මොකුත් මට එපා…”

කෙ/ල්/ල වැටි වැටි ඇවිදගෙන වෙද මහත්තයා ගාවට ආවා.එයා දුවව වඩාගෙන සාලෙට එක්කන් ගියා.මං හෝදන්න තියන රෙදි ටික වොශින් මැෂින් එකට දාලා සීතම්මය දවල්ට උයන්න උදව් කරා.දුවටත් කෑම හදලා අරන් ආවා කවන්න.

“කෝ මගෙ මැණිකා එන්න අප්පච්චි ගාවට. ඔන්න මගෙ බෝනික්කි හපනා වගේ එනවා. මගෙ මැණිකා චෝයිනෙ.කෝ හපනා ඉක්මන් කරලා එන්න…”

වෙද මහත්තයා දූ පැටියගෙ අත් දෙකෙන් අල්ලගෙන සාලෙ පුරාම ඇවිද්දනවා.කෙ/ල්/ල/ත් හයියෙන් හිනා වෙවී අත්පුඩි ගගහා වැනි වැනි ඇවිදිනවා.ටික දුරක් ඇවිදන් ගිහින් බිම වැටෙනවා.ආයෙ නැගිටලා ඇවිදිනවා.

“නංගි මෙයාගෙ උපන්දිනෙත් ළඟයි නේද?…”

“ඔව් අයියෙ.ලබන මාසෙනෙ.තව සති දෙකයි…”

වෙද මහත්තයා කෙ/ල්/ල/ව ඔඩොක්කුවෙන් තියා ගත්තා.මං බත් පොඩි කරලා චුට්ට චුට්ට කෙ/ල්/ල/ට කැව්වා.අප්පච්චි අතේ ඉන්නැද්දි නම් කෙ/ල්/ල අගේට කනවා. තනියම ඉන්නැද්දි තමයි කවාගන්න අමාරු.

“මං හිතුවෙ උපන්දිනේ දවසට පැටියව එයාලැ ආච්චිලෑ දිහා එක්කන් යන්න…”

“ඒකත් හොඳයි අයියෙ.අම්මත් ගොඩක් ආසාවෙන් ඇත්තෙ මාව දකින්න.ඒත් වුනත් ඔයාගෙ ඔපරේෂන් එක කරලා ටික කාලයක් යනකල් ඔයා කොහෙවත් යන්න එපා.

ඇහැට විෂබීජ ගියොත් එහෙම ආයෙ තුවාල වෙයි.ඔච්චර කල් හිටපු එකේ ඔයාගෙ ඇස හොඳටම සනීප වුනාම යමු…”

“එහෙනම් අපි ලොකු කේක් එකක් ගෙනල්ලා කපලා උපන්දිනේ සෙලිබ්‍රේට් කරමු.තෑගිත් ගෙනත් දෙමු අපේ බෝනික්කොට.ලස්සන ගව්ම්,සපත්තු එහෙම,,,,ළමා නිවාසෙකට දානෙකුත් දෙමු.එහෙම හොඳයි නේද?…”

අලුත් දෙයක් මතක් වුනා වගේ එයා ඇහුවා.

“ඒක නම් ගුඩ් අයිඩියා එකක් අයියෙ.කෑම ගෙදරින් උයාගෙන ගිහින් දෙමු.සීතම්මට කියන්න ඕනි හෙට අනිද්දා දවසක ළමා නිවාසෙට ගිහින් අවශ්‍ය කරන බඩු ටික අහගෙන එන්න කියලා.උපන්දිනේ දවසෙම දානෙ දෙන්න ලැබුනොත් හොඳයි…”

“පැටියවත් එක්කන් යමු.ළමයි ගොඩ දැක්කම එයාටත් ආස හිතෙයි…”

“එපා අයියෙ.ළමා නිවාසෙට යද්දි අපි සීතම්මට දරුවත් එක්ක ගෙදර ඉන්න කියමු…”

“ඒ ඇයි නංගි එහෙම කිව්වෙ?…”

පහන්දි තව බත් කටක් පුංචි සිහන්‍යාට කැව්වා.කෙ/ල්/ල බෝනික්කො තු/රු/ල් කරගෙන සෙල්ලම් කරනවා.

“මං එහෙම කිව්වෙ අයියෙ එතන ඉන්නෙ දෙමව්පියො අහිමි වෙච්චි දරුවො.ජීවිතේ කවදාවත් අම්මෙකුගෙ තාත්තෙකුගෙ ආදරයක්,සෙනෙහසක්,රැකවරණයක් ලබලා නැති දරුවො.

ඉතින් අපි අපේ දරුවාට ආදරේ කරන විදිය දැක්කම ඒ දරුවන්ගෙ හිත් මොන තරම් රිදෙයිද?අපටත් අම්මයි තාත්තයි හිටියා නම් කියලා එයාලට හිතෙයි.ඒ නිසා හොඳම දේ අපි දරුවව ගෙදර තියලා යමු…”

“ඔයාගෙ කතාව හරි නංගි.මට ඒක එච්චර දුරට කල්පනා උනේ නැහැ.වැඩිය වැඩක් නැති එකේ සීතම්මාට කියන්න අදම ළමා නිවාසෙට ගිහින් බලන්න කියලා.කොහොම හරි දුවගෙ උපන් දිනේ දවසටම වැඩේ දාගන්න බලන්න කියන්න…”

♥️♥️

කාලය හරි ඉක්මනින් ගෙවිලා ගියා.වෙද මහත්තයගෙ ඇසේ ඔපරේෂන් එකත් සාර්ථකව අවසන් වුනා.දැන් එයාට ඇස් දෙකම පේනවා.එදා තරම් මං සතුටින් හිටපු දවසක් වෙන නැති තරම්.ඔහු දැන් මේ ලෝකෙ ඇස් දෙකෙන්ම දකිනවා.මං නිසා පෙනීම අහිමි වුනු ඇස් දෙකම අද සනීප වෙලා ලෝකයෙ එලිය දකිනවා.

දූ පැටික්කිගෙ පළවෙනි උපන්දිනේත් උදා වුනා.අපි එයා වෙනුවෙන් ලස්සනම ලස්සන රෝස පාට සුරංගනාවියක් ඉන්න කේක් එකක් ඇනවුම් කරා.පැටියට ඇන්දෙව්වෙ රෝස පාට ගව්මක්.සපත්තු දෙක දාලා කොණ්ඩෙට බෑන්ඩ් එකක් දාලා මගෙ පැටියා සුරංගනාවියක් වගේ ලස්සනට හිටියා. ආසාවෙ බෑ මගෙ බෝනික්කි පැටියා.

ළමා නිවාසෙට දානෙකුත් දුන්නා.ඒ දරුවො වෙනුවෙන් රාත්‍රී ආහාරය පිළියෙළ කරලා සබන්,තුවා,දත් බුරුසු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යය ලබා දුන්නා.ළමා නිවාසෙට අවශ්‍යව තිබූ ඇඳන් දෙකකුත් පරිත්‍යාග කරා.

“මොකද අයියෙ ලැප් එකයි ලියුමයි අතේ තියාගෙන කල්පනා කරන්නෙ?මොකක් හරි ප්‍රශ්නයක්ද?…”

දරුවගෙ ඇඳුම් ටිකක් වේලෙන්න දාලා එද්දි වෙද මහත්තයා එයාගෙ ලැප්ටොප් එකයි ලියුමකුයි අතේ තියාගෙන කල්පනා කරනවා. මොකක් හරි ප්‍රශ්නයක් වගේ එයාට.මූණත් එච්චර හොඳ නැති පාටයි.

“ප්‍රශ්නයක් නංගි.හිතා ගන්න බැහැ මොනවා කරන්නද කියලා…”

නළල අතගගා ඔහු කල්පනා කරන විදියට මං තේරුම් ගත්තා මොකක් නමුත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නෙ කියලා.

දෙයියනේ,,,,😰මේ ලියුම එවලා තියෙනෙ සුදු බේබිවත්ද?අමාරුවෙන් වුනත් හිත හදාගෙන වෙද මහත්තයට ලං වෙන්න හැදුවා විතරයි දෛවය ආපහු මගෙ හීනත් එක්ක මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න පටන් අරන්ද?

“මට කියන්න පුලුවන් දෙයක් නම් කියන්න අයියෙ.අයියා වෙනුවෙන් මං ඕනම දෙයක් කරන්නම්…”

මං ඔහු ළඟින් වාඩි වුනා.හිනා වෙලා මගෙ කරට අත දාගත්තු ඔහු ලියුම දිගෑරියා.ඒකෙ තියන ඉංග්‍රීසි මට කියවන්න තේරෙන්නෑ.ඒක ඔහුත් දන්නවා.

“අවුරුදු දෙකක මෙඩිකල් කෝස් එකකට මට රට යන්න වෙලා නංගි…”

අනේ දෙයියනේ😔අවුරුදු දෙකක් මං කොහොමද ඔහු නැතුව දරුවත් එක්ක තනියම ඉන්නෙ?ඇයි දෙවියනේ මං ආදරේ කරන,මගෙ සෙනෙහස දෙන අයව මේ වගේ මගෙන් ඈත් කරන්නෙ?

“කොයි,,,රටටද,,අයියෙ?…”

“සිංගප්පූරුවට නංගි.මේකෙ තියෙන්නෙ අවුරුදු දෙකයි මාස තුනක් කියලා.මං කල්පනා කරේ කොහොමද යන්නෙ කියලා?…”

“ඇයි අයියා සිංගප්පූරුවට යන්න දන්නැද්ද?ප්ලේන් එකේනෙ යන්නෙ…”

ඔහු හිනා වුනා.මට ලැජ්ජ හිතුනා මං මෝ/ඩ ප්‍රශ්නයක්ද ඇහුවෙ කියලා හිතිලා.

“එහෙම එකක් නෙවෙයි නංගි.මට ඔයාවයි දරුවවයි දාලා යන්න බෑ.මේ පුංචි කෙ/ල්/ල මං නැතුව කොහොම ඉඳියිද?අප්පච්චි නෑ කිය කියා අඬයි…”

“දරුවට විතරක් නෙවෙයි අයියෙ.මටත් දැන් ඔයාව නැතුව ඉන්න බෑ…”

මගෙ ඒ සිතුවිලි වචන වලට පෙරලුනේ නැහැ.පෙරලන්න තරම් මගෙ හිත එඩිතර වුනේ නැහැ.ඒත් ඔහුගෙ ගමන වළක්වන්න තරම් කු/රි/රු හිතක් මට නෑ.ඔහු වෛද්‍යවරයෙක්.ඒ වෙනුවෙන් ඔහු හීන ගොන්නක් දකින්න ඇති.මේක ඔහුට ලොකු අවස්ථාවක්.

“කමක් නෑ අයියෙ.ඔයා දරුවා ගැන බය වෙන්න එපා.මං දරුවව බලාගෙන සීතම්මා එක්ක ඉන්නම්.ඔයා සිංගප්පූරු ගිහින් ඒ කෝස් එකේ වැඩ ටික හරියට කරගෙන දෙයියන්ගෙ පිහිටෙන් පරිස්සමින් ආයෙ ලංකාවට එන්න.මං ඔයා එනකල් දරුවත් එක්ක බලන් ඉන්නම්…”

“මං දන්නවා පහන්දි ඔයා ඔහොම කියන්නෙ හිත යට සෑහෙන දුකක් හිර කරගෙන කියලා.මට ඔය හිත දැනෙනවා.මං හැදුවෙ මේ ගමන කැන්සල් කරන්න…”

“ඒත් අයියෙ මේක ඔයාගෙ ඔයාගෙ හීනයක් නේද?…”

“නංගි කොහොමද ඒක දන්නෙ?…”

“මේක ලොකු අවස්ථාවක් අයියෙ.ලේසියෙන් කෙනෙකුට නොලැබෙන දුර්ලභ චාන්ස් එකක්.සිංගප්පූරුව කියන්නෙ ලොකු රටක්. එහෙම රටකට ගිහිල්ලා වෛද්‍යය විද්‍යාව ඉගන ගන්න ලැබෙනවා කියන්නෙ මොන තරම් ලොකු වාසනාවක්ද?…”

“ඔයාගෙ කතාව ඇත්ත නංගි.මං මේ කෝස් එකට ඉල්ලුම් කරන්නෙ අවුරුදු හතරක ඉඳන්.ලංකාවෙන් උනත් මේකට වැඩිය යවන්නෙ නෑ.අවුරුද්දකට හතර දෙනයි යවන්නෙ.මේ සැරේ දෙන්නයි…”

“ඒකනෙ අයියෙ.ඔයාට මේ ලැබිච්ච අවස්ථාවට පයින් ගහන්න එපා.ඔයා හරිම වාසනාවන්තයි.දෙයියන්ගෙ පිහිටෙන් ඔයා මේ ගමන ගිහින් එන්න.මායි දරු පැටියයි පරිස්සමට ඉන්නම්…”

“මාත් එක්ක තරහ නෑ නේද?…”

“කොහෙත්ම නෑ අයියෙ.ඔයාට හොඳක් යහපතක් වෙන්න කියලයි මං හැම තිස්සෙම ප්‍රාර්ථනා කරන්නෙ…”

“මං මේ ගමන යන්නෙ එක හේතුවක් නිසා නංගි.මේ කෝස් එක සාර්ථකව සම්පූර්ණ කර ගත්තොත් මට තව හොස්පිටල් එකක් ඕපන් කරන්න පුලුවන්.කවදා හරි ඒ දේවල් ලැබෙන්නෙ මගෙ දුවට.දරුවා වෙනුවෙන් මං මේ ගමන යන්නෙ.ඔයාට පිං මාව තේරුම් ගත්තට…”

මතු සම්බන්දයි