ධාරාවී…10

සෙහස් ගෙට ගොඩවුනේ සාලෙ උන්න විජේමාන්න මහතා දිහා බලන්නෙවත් නැතුව. ඔහු හිටියෙ ඒ තරමටම නොසන්සුන් වෙලා. ධාරාවි ඔහුගෙ හිත තුල කෝපයකුත් නොසන්සුන්කමකුත් ලජ්ජාවකුත් ඇති කරලා තිබුනා. ඔහු කෙලින්ම ගියෙ තමන්ගෙ කාමරේට. මොනවද කරන්නෙ මොනවද කියන්නෙ කියලා ඔහුට හිතා ගන්න බෑ.

ඔහු නොසන්සුන් හිතින් කාමරය පුරා ඇවිද්දා. කිසිම දෙයක් සන්සුන්ව කල්පනා කරන්න බැරි තරම් ඔහු නොසන්සුන්. අර කැහුටු මුඩුක්කු කෙල්ල.. ඒකිට ඒකිට කොහෙන් ද එච්චර හයියක්. එහෙම කතා කරන්න. සෙහස්ට හිතා ගන්නම බැරිවුනේ ඒක. මොන තරම් අමතක කරන්න උත්සහ කලත් ඔහුට ඈව අමතක කරන්න බෑ.

ඒ වචන විල විතරක් නෙවී ඒ ඇස්වල ඒ මූණෙ බයක් ගෑවිලාවත් නෑ. තමන් මොනා කරයිද කියලා නොදැනත් කියෝගෙන ගිය ලස්සන අර සමච්චල් හිනාව ඒවා මතක් වෙද්දි සෙහස්ට දැනුනෙ තමන්ව වෙව්ලනවා වගේ. ඒ කෝපයට ද ලජ්ජාවට ද නැත්තං බයට ද කියලා ඔහුට තේරෙන්නෙ නෑ.

මං බය වෙන්න අර මුඩුක්කු කෙල්ලට… උඹට පිස්සු ද සෙහස්..උඹ මොකටද ඒ කෙල්ලට බය වෙන්නෙ… හිත තමන්ගෙන අහනවා සෙහස් දැනෙනවා. ඒත් ඒත් පියාගෙ සේරම දේපල වල අයිතිය තීරණය වෙන්නෙ ධාරාවීමත කියලා ඔහුට තේරුනෙ තවත් තත්පර ගානකට පස්සෙ. තමන් කොච්චර කැමති උනත් ධාරාවි ඇකමැති උනොත් මේ විවාහය සිද්ධ වෙන්නෙ නෑ. එහෙම උනොත් පියාගෙ දේපල තමන්ට ලැබෙන්නෙ නෑ.

අනිත් අතට කොහොම හරි කැමති කරගෙන විවාහ උනත් ඒ වගේ කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න ලේසි නෑ. ගහලවත් බැනලවත් ඒ කෙල්ලව බය කරලා තියා ගන්න බෑ කියලා සෙහස් දැන් තේරුං අරන් ඉවරයි. ඒ කෙන් පේන්නෙ තමන් දුර්වලයෙක් කියන එක විතරයි. දැම්මම ඔහොම කියවගෙන එන එකී මැරි කලාට පස්සෙ මට නිදහසේ හුස්ම ගන්නවත් බැරි වෙයි.

කොහොමත් ඩැඩී ගන්නෙ ඒ කෙල්ලගෙ පැත්ත මොනා උනත් ඩැඩී මට වඩා ඒකිට ආදරෙයි ඒකනෙ මෙච්චර අකමැතී කියද්දි මට බලෙන් බන්ඳලා දෙන්න හදන්නෙ.. සෙහස් හිතනවා හිතනවා ඉවරයක් නැතුව. ඒ අස්සෙ ඔහුට දාරාවි කියපු දේවල් මතක් වෙනවා. ඒ සමච්චල් හිනාව මතක් වෙද්දි ඉන්න තැනකට ගිහින් බෙල්ල මිරිකන්න හිතෙන තරම් කෝපයක් දැනෙනවා ඔහුට. ඒත් ඕකි මරලා නං මට නිදහසේ ඉන්න වෙන්නෙ නෑ. මල හොල්මනක් වගේ පස්සෙන් එයි මාව මරාගෙන කන්න ඔහුට එහෙමත් හිතෙනවා.

කිසිම කතා බහක් නැතුව කලබලෙන් කාමරේට දුවලා ගිය සෙහස් විජේමාන්න මහතාගෙ හිතට ඇති කලේ බියක්. ඔහු ගියෙ ධාරාවිව මුණ ගැහෙන්න කියලා විජේමාන්න මහතා දන්නවා. මොකද දහස් දේවල් කියලා දහසක් කොන්දේසි දාලා ඈව මුණ ගැහෙන්න සෙහස්ව යැව්වෙ ඔහු. ඉතිං මෙහෙම හදිස්සියෙන් කලබලෙන් ආපහු ඇවිත් කාමරේට වැදුනා කියන්නෙ තත්වය සුභ දායක නෑ කියලා විජේමාන්න මහතාට හිතුනා.

එනිසා මයි ඔහු සෙහස්ගෙ කාමරේට ගියෙ. ඒ යද්දිත් සෙහස් උන්නෙ කාමරේ පුරා නොසන්සුන් ලෙසින් සක්මන් කරමින්.

සෙහස් මොකද ළමයො ඔය..හොඳින් නේද..ඔයා…
විජේමාන්න මහතා ඇහුවෙ හුඟක්ම සන්සුන් හඬකින්. සෙහස්ට පියා ගැන පවා ඇති වුනේ කෝපයක්.

ඔව් හොඳින් හොඳටම හොඳින්.. මට අරකිගෙ බෙල්ල මිරික ගන්න බැරිවුනා.. ඒ වචන වල තිබුනෙ කෝපය පිරුණු නොරිස්සුමක්.

මොනවද සෙහස් වුනේ…?

ඩැඩී මට පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යන්න… සෙහස් කීවේ නුරුස්සනා සුළු හඬකින්.

සෙහස් මොනවද වෙලා තියෙන්නෙ මෙතන… කියන්න බෑද ඔයාට.

ඩැඩී මට තනියම ඉන්න ඕනි..

සෙහස්…

ප්ලීස් ඩැඩී… මට පාඩුවෙ ඉන්න දීලා යන්න මෙතනින්..

විකාර කියන්නෙ නැතුව සිද්ධ වුන දෙයක් කියනවා සෙහස්..මොනවද වුනේ…

ඩැඩී ඉන්න ඔහොම මං යන්නංකො එලියට හරිනෙ එතකොට… එහෙම කියාගෙන සෙහස් කාමරෙන් එලියට ගියා.

මේ කොල්ලට මොනා වෙලා ද ඒ ගමන…
පිටවෙලා යන සෙහස් දිහා බලාගෙන විජේමාන්න මහතා හිතුවා. සෙහස් කෙලින්ම ගියෙ උඩුමහගෙ තිබුන ඔහුගෙ පෞද්ගලික ව්‍යායාමාගාරයට. කිසි දෙයක් කරන්න තරන් සන්සුන් හිතක් ඔහුට තිබුනෙ නෑ. ඔහු එහි තිබුන කික් බෑග් එකකට පහර දීගෙන ගියෙ හරියට ධාරාවිට ගහන්න බැරිවුන තරහට වගේ.

කොපමණ වෙලාවක් එහෙම කලාද කියලා ඔහුට මතක නෑ. ඔහුගෙ මුළු ගතම ගිනියම් වෙලා දහදියෙන් නැහැවිලා කියලා ඔහුට දැනුනා. නලලින් බේරුන දහදිය කම්මුල් දිගේ ගලාගෙන යනවා ඔහුට දැනුනා. ඔහු හැදගෙන උන්න ටී කමිසය ගලවලා දැම්මෙ එය දහදියෙන් තෙත් වෙලා තිබුන නිසා.

ඔහු කැඩපතින් පෙනෙන තමන්ගෙම රැව දිහා ඔහේ බලාගෙන හිටියා. දහදියෙන් පිරුනු තමන්ගෙ ශක්තිමත් සිරුර මුලින්ම ඔහුගෙ හිතේ ඇති කලේ ආඩම්බරයක්. පුම්බපු ගෙම්බෙක් වගේ ඇග නං තියනවා ඒ උනාට මොලේ කලඳක් නෑ.. ඒත් එක්කම ධාරාවිගෙ සමච්චල් වචන ඔහුගෙ මතකය ආවා. මේකි මේකි නං මට නිදහසේ ඉන්න දෙන්නෙම නෑ. හෙම හිත හිතාම ඔහු නැවතත් කික් බෑගයට තදින් පා පහරක් එල්ල කලා. ධාරාවි ඕකිව මරනවා මං වෙලාවක.

ඒකි කොහොමද එහෙම කියන්නෙ ඒකි මට නිකමෙක් කීවා. වඩේ විකුණන කොල්ලෙක් මට වඩා හොඳයි කීවා. සල්ලි එක්කවත් ඒකිගෙ බැල්ලිවත් මං වගේ එකෙක් මැරි කරන්නෙ නෑ කියලා..මොනවත්ම නැති හිඟන මුඩුක්කු කෙල්ල ඒකිට කොහෙන්ද එහෙම හයියක්. ඇත්තටම මොන තරම් හිතුවත් සෙහස්ට හිතා ගන්නම බැරි වුනේ ඒක. ඈ කොහොම ද ඒ තරම් ශක්කිමත් වුනේ. අර කැහුටු කෙල්ල.

ඒත් අවාසනාවන්තම දේ නිවි සැනසිල්ලෙ කල්පනා කරලා බලද්දි ඈ කියපු සෑම දේම ඇත්ත වෙන එක. ඩැඩීගෙ සල්ලි දේපල යාන වාහන බලපුළුවන්කාර කං නොතිබුනා නං තමන් නිකමෙක් තමා. හැමෝම තමව තාමත් හදුන්වන්නෙ ජගත් විජේමාන්නගෙ පුතා විඳිහට. පිරිමියෙක් හැටියට ඇත්තටම තමන්ට අනන්‍යතාවයක් නෑ නේද කියලා පලවෙනි වතාවට ඔහුට හිතුනා. එහෙම බලද්දි තමා නිකමෙක් නෙවී.

ඉතිං ධාරාවි වගේ කෙල්ලෙක් අර විඳිහට කියන එකේ වැරැද්දක් නෑ තමා. මොනම කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නෑ තමන්ගෙම ස්ථාවරත්වයක් නැතුව වෙන කෙනෙක්ගෙන් ජීවත් වෙන්න බලාගෙන ඉන්න පිරිමියෙකුට. ජීවිතේ පලවෙනි වතාවට ඔහුට තමන් ගැනම විසල් ලජ්ජාවක් දැනුනා. හරියට අර පුංචි කෙල්ල ඉස්සරහා පැරදුනා වගේ හැඟීමක්.

ඔහු පහත මහලට දිව ගියෙ හදිසියෙ ඇතිවුන හැඟීමකට අනුව. ඇත්තටම සෙහස් කිසිම දෙයක් කරගන්න බැරි නිකමෙක් නෙවී. කුඩා වියේ ඉදන්ම ඔහු ක්ෂේත්‍ර ගනනාවක දක්ෂතා දක්වපු කෙනෙක්. ඉගනීමට කලාවට වගේ ක්‍රීඩාවටත් ඔහු එක වගේම දක්ෂතා දැක්වුවා. පහල මාලයේ එක් කාමරයක්ම වෙන්කරලා තිබුනෙ ඔහු දක්වපු විවිධ දක්ෂතා වලින් ලබාගත් සම්මාන සහතික පදක්ම් තෑගි බෝග තබන්න.

දැනටත් ඔහු පරිඝනක මාදුකාංග ඉංජිනේරුවෙක් වරලත් ගණකාධිකාරි වරයෙක් විතරක් නෙවී අත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඒ වගේම දක්ෂ මලල ක්‍රීඩකයෙක්. ඒත් ඔහුට ඒ කිසිම දේකින් ප්‍රයෝජන ගන්න උවමනාවත් තිබුනෙ නෑ. ඔහුට කිසිම දෙයක් ගැන වගකීමක් තිබුනෙ නෑ හැමෝම ඔහු කියන කියන දේ කරන නිසාත් පියා ඔහු ඉල්ලන ඉල්ලන දේ දෙන නිසාත් ඔහු නිකම්ම රසතියාදුකාර සෙල්ලක්කාර ජීවිතේකට හුරුවෙලා හිටියා. ඉතිං ඇත්තටම ඔහු නිකමෙක් තමා.

සෙහස් තමන්ගෙ සම්මාන කුසලතා සහතිකපත් පිරුනු කාමරේ පුරා ඔහේ ඇවිද්දා. මේ හිතට මොනවද වෙලා තියෙන්නෙ කියලා ඔහුටම මතක නෑ. ඒත් හිතට මොනා හරි වෙලා කියලා නං ඔහුට දැනෙනවා. ඇත්තටම මේ මුළු ජීවිත කාලෙම මෙහෙම ජීවත් වෙන්න බෑ කියලා ඔහුට හිතුනා.

ඩැඩීගෙ බලපැම් වලින් මිඳිලා ස්වාධීන මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න නං තමන්ගෙම අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්න ඕනි කියලා සෙහස්ට හිතුනා. ඔව් තවත් ජගත් විජේමාන්නගෙ පුතා විඳිහට ජීවත් වෙලා වැඩක් නෑ. දැන්නවත් සෙහස් විජේමාන්න වෙන්න ඕනි. ඒ විතරක් නෙවී. ජගත් විජේමාන්න කියන්නෙ සෙහස් විජේමාන්නගෙ පියා කියලා ලෝකයා හදුනන ගන්නත් ඕනි සෙහස්ට එහෙම හිතුනා.

සෙහස් ඉන්නෙ ලොකු අවුලක කියලා විජේමාන්න මහතට තේරුනා. කොල්ලා ගිහින් අර කෙල්ලට මොනා කීවද දන්නෙ නෑ. ධාරාවි පව් අහිංසක කෙල්ලෙක් ඒ කෙල්ල බය වෙලා ඇති මේකා ගිහින් කෑ ගහන්න තියා ගත්තා නං. තාම පුංචි කෙල්ලෙක්නෙ. විජේමාන්න මහතාට එහෙම හිතුනා. ඒ ළමයට කතා කරලා බලන්න ඕනි. ඔහු ඉදගෙන උන්න තැනින් නැඟිටිට්ටෙ ධාරාවි මුණගැහෙන්න යන්න. ඒත් එක්කම සෙහස් ඔහු ඉදිරියෙ හිටගත්තා.

උඩුකය නිරුවතින් දහදිය පිරුනු ගතින් ඉන්න සෙහස් දැක්කම විජේමාන්න මහතා තරමක් ගැස්සුනා. මේ කොල්ලට මොනා වෙලා ද ඔහු හිතුවා.

මොකද සෙහස් මේ..මොනවද වෙලා තියෙන්නෙ..පිස්සෙක් වගේ ගිහින් අර කෙල්ලටත් කෑ ගැහුවද..?
විජ්මාන්න මහතා එක දිගටම ඇහුවා. ඒකි ඔය ටිකකට ඒක ඩෑඩ්ටත් කීව ද ශිහ් වස විලි ලැජ්ජාව එහෙම උනානං. මේකි නං මට නිදහසේ ඉන්න දෙන්නෙම නෑ සෙහස්ට එහෙම හිතුනා.

මං මේ මැරේජ් එකට කැමති නෑ ඩෑඩ්…. පියාගෙ ප්‍රශ්න වලට පිලිතුරු නොදී සෙහස් එකවරම කීවා.

සෙහස් පිස්සු හැදිලද උඹට.. මොකක්ද ඒ එකපාර වුන දේ..

කීවනෙ මං අර මුඩුක්කු කෙල්ලව මැරි කරන්නෙ නෑ… කිසි චාරයක් නැති කතා කරන්න දන්නෙ නැති කෙල්ලෙක් මට ඕනි නෑ..

මාත් එක්ක සෙල්ලං කරන්න එපා සෙහස්..උඹ මේ මැරේජ් එක කලේ නැත්තං මං උඹට එක සත පහක් දෙන්නෙ නෑ.. මේ සේරම ලියනවා ළමා නිවාසෙට..

ඉතිං ලියාගන්න..මට තවත් ඩෑඩ්ගෙන් එක සත පහක්වත් ඕනි නෑ..මට පුළුවන් තනියම මං ගැන බලා ගන්න..

සෙහස් උඹ හොඳ සිහියෙන් ද ඉන්නෙ ඔය..

ඔව් ඩෑඩ් වෙනදටත් වඩා හොඳ සිහියෙන්… මං අර මුඩුක්කු කෙල්ලව නං කීයටවත් මැරි කරන්නෙ නෑ.. මට ඔයාගෙන් කිසිම දෙයක් එපා.. දෙයියන්ගෙ නාමෙට මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න..

එහෙනං උඹට මොනවා ද ඕනි.. සේරම එපා කියලා දමලා ගහලා යන්න මොනවද උඹට වුනේ.. සාලිය කුමාරයා වගේ රොඩී කෙල්ලෙක් හොයා ගත්ත ද..?

ඩෑඩ්..මට කෙල්ලෙකා ඕනි නෑ..මේ වෙලාවෙ නං කොහොමත් ඕනි නෑ..මට ඕනි මට ඕනි…

මොනවද..?

මනුස්සයෙක් වෙන්න..
මොකක්..?

ඔව් මෙද්දර කාලයක් මිනිස්සු මට කිව්වෙ ජගත් විජේමාන්නගෙ පුතා කියලා..ඒත් මට ඕනි ජගත් විජේ මාන්න කියන්නෙ මගෙ තාත්තා කියලා මිනිස්සු කතාවෙන විඳිහෙ මනුස්සයෙක් වෙන්න.. ප්ලීස් ඩෑඩ් එක්ට බාදා කරන්න එපා..

හුස්මවත් ගන්නෙ නැතුව සෙහස් කියවගෙන යන දිහා බලාගෙන හිටිය විජේමාන්න මහතාගෙ දෑස් නලලට ගියෙ තත්පරෙන්. මේ කොල්ලට මොනවද මේ වෙලා තියෙන්නෙ ඔහු විමතියෙන් හිතුවා.

හමුවෙමු.

කොහොම ඒක..සෙහස් මාරයිනෙ.. දන්නවනෙ මගෙ කතා වල ඉන්න පිරිමිත් කෙල්ලො වගේම තමා. හිතුවක්කාරයි මුරණුඩුයි ආඩම්බරයි. ඉතිං ආදරේ හිතෙනවා. එහෙනං ගිහින් එන්නං බබලා පරිස්සමින් ඉන්න හොදේ.
රෑ වෙලා තව කොටසක් ඕනි අය ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න.